ඉදිරිදර්ශන

එලිදරව් වූ ලේඛන, යුක්‍රේන යුද්ධයට එක්සත් ජනපදයේ දැවැන්ත මැදිහත්වීම පෙන්නුම් කරයි

[මෙය Leaked documents show massive US involvement in Ukraine war යන මැයෙන් 2023 ‌අප්‍රේල් 10 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය සතියේ, යුක්‍රේන යුද්ධයට එක්සත් ජනපද මැදිහත්වීම සම්බන්ධ පෙන්ටගනයේ සහ එක්සත් ජනපද ඔත්තු සේවා ආයතනවල රහස් ලේඛන දුසිම් ගනනක් සමාජ මාධ්‍ය වේදිකාවල සංසරනය වීමට පටන් ගත්තේය. සති අන්තයේ, එක්සත් ජනපද නිලධාරීන් ප්‍රධාන මාධ්‍ය ආයතන වෙත ප්‍රකාශ නිකුත්කරමින් ලේඛනවල සත්‍යතාව තහවුරු කලහ.

යුක්‍රේන හමුදාව කුලී හේවා බලකායක් ලෙස සේවය කරන යුද්ධයේ ප්‍රධාන ගාමක බලවේගය එක්සත් ජනපදය හා නැටෝව බව එලිදරව් වූ ලේඛන පැහැදිලි කරයි. නැටෝව යුක්‍රේනයට හමුදා භටයින් 150 කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බව ඒවා පෙන්වා දෙන අතර නැටෝව විසින් යුක්‍රේන හමුදාවට අරමුදල්, ආයුධ, පුහුනුව සහ සෘජුවම අන දෙන මට්ටම පෙන්නුම් කරයි.

2021 නොවැම්බර් 19 වන දින ගන්නා ලද මෙම ඡායාරූපයෙහි, යුක්‍රේනයේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ගොඩබිම් හමුදාවේ අනුයුක්ත කර්නල් බ්‍රැන්ඩන් ප්‍රෙස්ලි, යුක්‍රේනයේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක් යුද ගැටුම් පවතින, යුක්‍රේනයේ, ඩොනෙට්ස්ක් ඒකාබද්ධ හමුදා මෙහෙයුම් ප්‍රදේශයට කල සංචාරය අතරතුර සිතියමක් දෙස බලා සිටී. (ඒපී හරහා හරහා, යුක්‍රේන ඒකාබද්ධ හමුදා මෙහෙයුම් මාධ්‍ය සේවය) [AP Photo/Steve Ruark]

යුක්‍රේන දේශපාලන පද්ධතිය පැහැරගෙන සිය දහස් ගනනක් රුසියානු සහ යුක්‍රේන ජීවිත හානි වලට තුඩු දුන් විනාශකාරී යුද්ධයක් සඳහා එහි ජනගහනය මරනයට කැප කිරීමට ඩොලර් බිලියන ගනන් වියදම් කර ඇති යුද්ධය නැටෝවේ නිර්මානයක් බව, ඒවා සනාථ කරයි.

වෙනත් වචන වලින් කිවහොත්, බයිඩන්ගේ ධවල මන්දිරය විසින් ප්‍රවර්ධනය කරන ලද යුද්ධයේ සමස්ත ආඛ්‍යානයම බොරුවක් බව ලේඛන හෙලිදරව් කරයි.

2022 මැයි මාසයේදී ධවල මන්දිර ප්‍රකාශක ජෙන් සාකිගෙන් යුක්‍රේනයේ යුද්ධය “නේටෝහි කුලීකාර යුද්ධයක්”දැයි විමසන ලදී. සාකි පිලිතුරු දෙමින් කියා සිටියේ, “මේ ගැන රුසියාවේ ආස්ථානය එය බව මම දන්නවා, නමුත් එය කුලීකාර යුද්ධයක් නොවේ... එය රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධයකි. නැටෝව සම්බන්ධ නැහැ.”

ලේඛන මගින් මෙය සම්පූර්න අසත්‍ය ප්‍රකාශයක් බව හෙලිදරව් වී ඇත. නැටෝව යුද්ධයට සම්බන්ධ නැත යන බයිඩන් පරිපාලනයේ බොරුව ක්‍රමානුකූලව ප්‍රවර්ධනය කර ඇති එක්සත් ජනපද මාධ්‍ය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රචාරක හස්තයට වඩා වැඩි දෙයක් නොවන බව, ඒවා විසින් හෙලිදරව් කර ඇත.

මෙම ලේඛන, ලෝකසමාජවාදීවෙබ්අඩවිය කලින් වාර්තා කර ඇති දේ සංයුක්ත කරුනු මගින් සනාථ කරයි.

ලේඛනවලින් කරන ප්‍රධාන හෙලිදරව් කිරීම් වලට අනුව:

● නැටෝව විශේෂ මෙහෙයුම් භටයන් 97 ක් දැනට යුක්‍රේනය තුල යොදවා ඇත

● එක්සත් ජනපද හමුදා සාමාජිකයින් 71 ක් ඇතුලුව එක්සත් ජනපදය 100 ක කාර්ය මන්ඩලයක් යුක්‍රේනය තුල යොදවා ඇත.

● එක්සත් ජනපද මිලිටරිය විසින්, යුක්‍රේන මිලිටරි පුහුනු කිරීම්, යුරෝපය තුල නැටෝ යෙදවුම් සහ යුක්‍රේනය තුල එක්සත් ජනපද මිලිටරි යෙදවුම්, පරිගනක පද්ධති හෝ මෘදුකාංග මගින් නිරීක්ෂන අතර, ඒ සියල්ල තනි පිටුවක වාර්තා කරයි.

● රුසියාව විසින් අල්ලාගෙන සිටින යුක්‍රේන භූමියෙන් ක්‍රිමියාව වෙන් කර දැමීම ඉලක්ක කරගත් සැලසුම්ගත ප්‍රහාරක මෙහෙයුමක් සඳහා එක්සත් ජනපදය සවිස්තරාත්මක සිතියම් සකස් කර ඇති අතර, මැයි මස මැද භාගයේ ආරම්භ වන ප්‍රහාරය සඳහා “හිතකර” කොන්දේසි පවතී.

● එක්සත් ජනපදය සහ එහි නැටෝ සහචරයින් මෙම ප්‍රහාරයේ කොටසක් ලෙස සටනට ඇද දැමීමට නියමිත හමුදාවන්ගෙන් හතරෙන් තුනක් පුහුනු කිරීම, අරමුදල් සැපයීම සහ සන්නද්ධ කිරීම සිදු කරයි. එක් ලේඛනයක් ප්‍රකාශ කරන්නේ “වසන්ත කාලයේ ප්‍රතිප්‍රහාර සඳහා සටන් කල හැකි [භට කන්ඩායම්] 12 ක් නිර්මානය කල හැකි බවයි: යුක්‍රේනය විසින් ජාත්‍යන්තර වශයෙන් 3 ක්, එක්සත් ජනපදයේ ඇලීඩ් ඇන්ඩ් පාර්ට්නර් මගින් පුහුනු වූ සහ සන්නද්ධ වූ 9 ක්,” ඊට ඇතුලත්ය..

රුසියානු ජීවිත හානිවල මට්ටම පිලිබඳව එක්සත් ජනපදයේ මහජනතාව සහ අභ්‍යන්තර ඉදිරිපත් කිරීම අතර දැවැන්ත විෂමතාවයක් පවතින බව ලේඛන පෙන්වා දෙයි. පෙබරවාරි 2 දා එක්සත් ජනපද නිලධාරීන්ගෙන් උපුටා දක්වමින් නිව්යෝර්ක්ටයිම්ස් වාර්තා කලේ, 'යුක්‍රේනයේ මියගිය සහ තුවාල ලැබූ රුසියානු හමුදා සංඛ්‍යාව 200,000 ට ආසන්න වෙමින් පවතී' යනුවෙනි. ඊට ප්‍රතිවිරෝධී ලෙස, අභ්‍යන්තර ලේඛන පෙන්වා දුන්නේ මෙහෙයුම් වලින් මියගිය රුසියානු සොල්දාදුවන් සංඛ්‍යාව 35,000 ත් 43,000 ත් අතර බවයි.

නිව්යෝර්ක්ටයිම්ස් අවධාරනය කලේ, 'එක්සත් ජනපදය රුසියාවේ ආරක්‍ෂක සහ ඔත්තු සේවා තුලට කෙතරම් ගැඹුරට රිංගා ඇතිද යන්නත්, සැලසුම් සහගත ප්‍රහාර පිලිබඳව යුක්‍රේනයට අනතුරු ඇඟවීමට සහ මොස්කව් යුධ යාන්ත්‍රනයේ ශක්තිය පිලිබඳ අවබෝධයක් ලබා ගැනීමට වොෂින්ටනයට ඉඩ සැලසීමත්' පෙන්නුම් කරන බවයි. එහෙත් මෙයින් පෙන්නුම් කරන්නේ, යුක්‍රේනය නැටෝ සන්ධානයට ගෙන ඒමේ උත්සාහයන් යුක්‍රේන ජනතාවට රුසියාවෙන් ව්‍යසනකාරී ප්‍රතිවිපාක සහිත මිලිටරි ප්‍රතිචාරයක් අවුලුවාලන බව එක්සත් ජනපදය හොඳින්ම දැන සිටි බව පමනි.

ලේඛනවල අනෙකුත් කොටස්, ලොව පුරා සිටින එහි “මිතුරන් සහ හවුල්කරුවන්” පිලිබඳව එක්සත් ජනපද ඔත්තු බැලීමේ තරම හෙලි කරයි. වොෂින්ටන්පෝස්ට් මෙසේ ලිවීය, 'එසේම, එක්සත් ජනපදය එහි මිත්‍ර පාක්ෂිකයින් ගැන ඔත්තු බලන බව මතක් කරමින්, තවත් ලියවිල්ලක් වාර්තා කරන්නේ දකුනු කොරියාවේ ජාතික ආරක්ෂක කවුන්සිලය මාර්තු මස මුලදී තම රටින් යුක්‍රේනයට කාලතුවක්කු පතොරම් ලබා දෙන ලෙස එක්සත් ජනපදය කල ඉල්ලීමක් සමඟ 'ඔට්ටු වූ' බවයි. එම ලේඛන, 'පෙනී යන පරිදි, සීඅයිඒ විසින් ලෝක නායකයින්ගේ තිරය පිටුපස සංවාද සඳහා රහස්‍ය මානව නියෝජිතයන් බඳවාගෙන ඇත්තේ කොතැනකදැයි හෙලිදරව් කරයි' යනුවෙන් පෝස්ට් ලිවීය. වෝල්ස්ට්‍රීට්ජර්නලය වාර්තා කලේ, “මෙම ලේඛනවල, මිත්‍ර රටවල් වන ඊශ්‍රායලය, දකුනු කොරියාව සහ එක්සත් රාජධානිය ඇතුලු විවිධ ජාතීන්ගේ අභ්‍යන්තර කටයුතු පිලිබඳ බුද්ධි තොරතුරු ද ඇතුලත් වන බව පෙනේ.”

මාධ්‍ය වාර්තා විසින් ලේඛනවල වඩාත්ම පුපුරන සුලු අංගය අවතක්සේරු කර ඇත: එනම්, එක්සත් ජනපද සහ නැටෝ හමුදා යුක්‍රේන භූමියේ සිටීමත්, සැලසුම්ගත යුක්‍රේන ප්‍රහාරයන්ට නායකත්වය දෙමින් සම්බන්ධීකරනය කරන්නේ එක්සත් ජනපදය බවත් ය.

ඒ වෙනුවට, ඔවුන් අවධානය යොමු කර ඇත්තේ කාන්දු වී ඇතැයි කියනු ලබන මූලාශ්‍රය සොයා ගැනීමටත්, ඒවා සොයා ගැනීමට පෙන්ටගනය දරන උත්සාහයන් කෙරෙහිත් ය.

සමස්ත එක්සත් ජනපද මාධ්‍ය ක්‍රමානුකූල ස්වයං-වාරනයක නිරත වී ඇත. නීති විරෝධී හා අප්‍රකාශිත යුද්ධයක් දියත් කිරීමේදී බයිඩන් පරිපාලනය විසින් දැවැන්ත ලෙස බොරු කීම සහ එහි සාපරාධී ස්වභාවය පෙන්නුම් කලද, ඔවුන් ලේඛන හෝ ඒවායේ උපුටා ගැනීම් පවා ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

මෙය, එක්සත් ජනපදය හා නැටෝව යුද්ධයේදී ඉටුකරමින් සිටින දැවැන්ත භූමිකාව මුලුමනින්ම සඟවමින්, එක්සත් ජනපදයේ පෙර නොවූ විරූ මැදිහත්වීමක් ඉල්ලා සිටිමින්, පසුගිය වසර පුරා යුද ප්‍රචාරක ප්‍රවාහයක් මුදා හල එක්සත් ජනපද මුද්‍රිත හා විකාශන මාධ්‍යවල භූමිකාවට අනුකූල වේ.

වෙනත් වචන වලින් කිවහොත්, ලෝකය න්‍යෂ්ටික යුද්ධයේ අද්දරට ගෙන ගොස් ඇත්තේ, ආන්ඩුව සහ මාධ්‍ය විසින් ගොතන ලද සම්පූර්න බොරු මත පදනම්වය.

ලේඛන බාහිරට පිටකිරීමට තුඩුදී ඇත්තේ, යුද්ධය මෙහෙයවීම සම්බන්ධයෙන් එක්සත් ජනපද මිලිටරිය තුල පවතින අතෘප්තිය විසින් පොලඹවා ඇති නමුත්, ලේඛන මුදා හැරීමේ ගැඹුරේ ඇති අභිප්‍රාය වන්නේ මිලිටරි උත්සන්න කිරීමකට සහයෝගය ගොඩනැගීම ලෙස මෙම සිදුවීම ඉදිරිපත් කල හැකිය.

දැනටමත්, එක්සත් ජනපද මාධ්‍ය, මෙම කාන්දුවීම් ඊටත් වඩා විශාල එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීමක් සඳහා තර්කයක් බවට පත් කිරීමට වෙහෙසෙමින් සිටී. 'කාන්දු වූ ලේඛන අඟවන්නේ යුක්‍රේන ගුවන් ආරක්‍ෂාව ශක්තිමත් නොකලහොත් අනතුරුදායක බව' යැයි නිව් යෝර්ක් ටයිම්ස් ලියයි. 'රුසියාවේ ගුවන් හමුදාව යුද්ධයේ ගමන් මග වෙනස් කිරීමෙන් වලක්වාලීමට නම් දැවැන්ත ආයුධ ගලා ඒමක් අවශ්‍ය වේ.'

එක්සත් ජනපදය ගැටුමට ඊටත් වඩා ගැඹුරු මැදිහත්වීමක් සූදානම් කරමින් සිටින බව කාන්දු වූ ලේඛන පෙන්වයි. ලේඛනවල දක්වා ඇති වසන්ත සමයේ ප්‍රහාරයක් සඳහා සැලසුම් ක්‍රියාවට නැංවූවත් නැතත්, එක්සත් ජනපදය හා නැටෝව, ෆින්ලන්තය සන්ධානයට ඇතුල් කර ගැනීමෙන් පසු, රුසියාවට මායිම්ව ඇති නැටෝ රාජ්‍යයන් වෙත දැවැන්ත හමුදාවන් යෙදවීමට සැලසුම් කරමින් සිටී.

මාර්තු 18 දා පොලිටිකෝ වාර්තා කලේ, “ඉදිරි මාසවලදී, සන්ධානය එහි නැඟෙනහිර මායිමේ යුද්ධෝපකරන ගබඩා කිරීමේ ප්‍රයත්නයන් වේගවත් කරන අතර, කෙටි දැනුම්දීමකින් මිත්‍ර පාක්ෂිකයින්ගේ ආධාර සඳහා සැනෙකින් ක්‍රියාත්මක විය හැකි ලක්ෂ ගනනක බලකායක් පත්කරනු ඇත... සංඛ්‍යාව විශාල වනු ඇත. නිලධාරීන්ගේ මතය අනුව, නේටෝ හමුදා භටයින් 300,000 දක්වා වනු ඇත.”

අවසාන වශයෙන්, යුද්ධය පිලිබඳව ආන්ඩුව සහ මාධ්‍ය විසින් ක්‍රමානුකූලව කරන බොරුවල අරමුන වන්නේ, ලේ වැගිරීමකට ඇද දමමින් සිටින 'තම රට තුල සිටින සතුරා' වන කම්කරු පන්තිය නොමග යැවීමයි.

මෙම ලේඛන පෙන්නුම් කරන්නේ, රුසියාවට එරෙහි එක්සත් ජනපද යුද්ධය මුලුමනින්ම මහජනයාගේ ඇස් වසා ආරම්භ කර ඇති බවයි. පැහැදිලිව එලඹිය හැකි නිගමනය නම්, නැටෝ හමුදා සෘජුවම යුක්‍රේනයට යැවීමට අවශ්‍ය බව එක්සත් ජනපදය තීරනය කරන්නේ නම්, එය මෙතෙක් යොදවා ඇති ක්‍රම භාවිතා කරමින් එය සිදු කරනු ඇති බව යි: එවා නම්, මාධ්‍ය බොරු සහ උපාමාරු වල ක්‍රමානුකූල ව්‍යාපාරයකි.

අප්‍රේල් 8 දා, ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් “2023 මැයි දිනය දක්වා ඉදිරියට! යුද්ධයට එරෙහිව සහ සමාජවාදය සඳහා කම්කරුවන්ගේ හා තරුනයන්ගේ මහජන ව්‍යාපාරයක් ගොඩනඟමු!” යන මැයෙන් වූ ප්‍රකාශය නිකුත්කලේය. එය පැහැදිලි කලේ:

මේ වසරේ කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සැමරීමේදී ක්‍රියාවලීන් දෙකක් මතුවී පෙනේ: ඒවා නම් ගෝලීය වහ්නි ජාලාවක් කරා උත්සන්න වන යුක්‍රේනයේ යුද්ධය සහ පන්ති අරගලයේ ජාත්‍යන්තර පුනර්ජීවනය යි. මෙම ක්‍රියාවලීන් දෙක ගැඹුරින් සම්බන්ධ වේ. අධිරාජ්‍යවාදී පාලක ප්‍රභූව යුද මාවතට තල්ලු කරන එම ආර්ථික, භූ දේශපාලනික හා සමාජීය ප්‍රතිවිරෝධතා ම කම්කරු පන්තිය රැඩිකල්කරනයට හා විප්ලවවාදී අරගල පුපුරා යාමට වෛෂයික ආවේගය සපයයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් අනුග්‍රහය දක්වන ඔන්ලයින් රැලිය අප්‍රේල් 30 දා පැවැත්වේ. යුද්ධය උත්සන්න වීමට විරුද්ධ වීමට මග සොයන සියලු දෙනා අද ම මෙහි ලියාපදිංචි වන ලෙස අපි දිරිමත් කර සිටිමු.

Loading