ඩොලරයේ ආධිපත්‍යය පිලිබඳ ප්‍රශ්නාර්ථ ඉස්මතු වෙයි

(මෙය Question marks emerge over dollar supremacy මැයෙන් 2023 අප්‍රේල් 5දා පල වූ ලිපියේ පරිවර්තනය යි.)

මුල්‍යමය අතින් ගත්කල එක්සත් ජනපද ඉතිහාසයේ දෙවන විශාලතම බැංකු කඩාවැටීම වන සිලිකන් වැලි බැංකුවේ (Silicon Valley Bank-එස්වීබී) ඇදවැටීම සහ ක්‍රෙඩිට් සුයිස් බැංකුව (Credit Suisse) පවරාගැනීමට සිදුවීම ආදී මූල්‍යමය කැලඹීම්වල නවතම වටය හේතුවෙන්, ගෝලීය මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සහ ලෝකයේ සංචිත මුදල ලෙස ඩොලරයේ භූමිකාව පිලිබඳ දීර්ඝ-කාලීන ගැටලු යලි වතාවක් ඉස්මතු කෙරී ඇත.

2022 මාර්තු 16 බදාදා, නිව් යෝක් කොටස් හුවමාරුවේ රූපවාහිනී තිරයක්, පොලී අනුපාත ඉහල දැමීමට ෆෙඩරල් රිසර්ව් බැංකුව ගත් තීරනය පෙන්වයි. (ඒපී ඡායාරූප/රිචඩ් ඩෲ) [AP Photo/Richard Drew]

වසරකට පෙරාතුව, එනම් පුටින් ආන්ඩුව යුක්‍රේනය තුල මිලිටරි මෙහෙයුම් දියත් කිරීමෙන් අනතුරුව, එක්සත් ජනපදය හා යුරෝපය රුසියාවට සම්බාධක පැනවූ අවස්ථාවේ ප්‍රශ්න ඉස්මතු විය. එකී සම්බාධක හේතුවෙන් රුසියානු මහ බැංකුව සතුව පැවති ඩොලර් බිලියන 300ක පමන මූල්‍ය වත්කම් කැටි ගැසුනි.

ඩොලරයේ ගෝලීය භූමිකාව හේතුවෙන් පැනවීමට හැකි වූ මෙම එජ-දිෂ්ට සම්බාධක පිලිබඳ ප්‍රසිද්ධ මත ප්‍රකාශයන් නොතිබුනු තරම් ය. එසේ වුවද, එය ලෝකය පුරා මහ බැංකු තුල භීතියේ කම්පන ධාරා ජනනය කලේ ය. එය රුසියාවට සිදුවිය හැකිවූයේ නම්, අනාගතයේ දී එක්සත් ජනපද අවශ්‍යතාවයන්ට එරෙහිව සිටින ඕනෑ ම රටකට සිදුවිය හැකි විය.

යුරෝපා බලයන්ගේ විරෝධතා නො තකා, ඩොලරයේ ආධිපත්‍යය හේතුවෙන්, ට්‍රම්ප් පරිපාලනය යටතේ වූ එක්සත් ජනපදය ඒකපාර්ශවික සම්බාධක පැනවීමට සමත් වූ ඉරානයෙහි අත්දැකීම ඒ වන විටත් පැවතුනි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හා චීන ජනාධිපති ෂී ජිංපිං අතර සාකච්ඡාවන්ගේ වඩාත් ම සිත්ගන්නා ප්‍රතිඵලය වූයේ සමුලුවෙන් පසුව පුටින් කල අදහස් දැක්වීම් බව, තීරු ලිපි රචක ෆාරීඩ් සකාරියා පසුගිය මාසයේ දී වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ලියූ ලිපියක සඳහන් කර තිබුනි. එයට ලැබී තිබුනේ සීමිත මාධ්‍ය ආවරනයකි.

“රුසියාව සහ ආසියාවේ, අප්‍රිකාවේ හා ලතින් ඇමරිකාවේ රටවල් අතර ගනුදෙනු සඳහා, චීන යුවාන් මුදල යොදාගැනීමේ අභිලාෂයෙන් අප පසුවෙනවා” යැයි ඔහු කීවේ ය.

එම ප්‍රකාශයෙහි ගම්‍යය වූයේ “ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය තුල, ඩොලරයේ ආධිපත්‍යය පලුදු කිරීමට, ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය සහ එහි විශාලතම බලශක්ති අපනයනය කරන්නා ක්‍රියාශීලී ව උත්සාහ දරමින් සිටින බව” යයි සකාරියා අදහස් දැක්වී ය.

ගෝලීය විනිමය ලෙස පවතින ඩොලරය, වෙනත් මුදලකින් විස්ථාපනය කිරීමට හැකි වෙතැයි යන්න ප්‍රතික්ෂේප කල ඔහු, “දහසක් කැපුම් වලින් ඇති කෙරෙන දුබලතාවෙන් එය (ඩොලරය) පීඩා විඳිය හැකි පසුබිමක් වඩවඩාත්' නිර්මානය වෙමින් පැවති බව පැවසීය.

එවන් ක්‍රියා දාමයක් සිදුවෙමින් පවතින බවට ඉඟි පවතී. සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇති, චීනය හා රුසියාව අතර වෙලඳාමෙන් තුනෙන් දෙකක්, එම රටවල් දැන් සිදු කරමින් සිටින්නේ ඔවුන්ගේ ම මුදල්වලිනි.

සවුදි අරාබියෙන් තෙල් මිලට ගනිද්දී, ඒවාට යුවාන් මුදලින් ගෙවිය හැකි බවට වන ගනුදෙනුවකට චීනය එලැඹී ඇති අතර, එය වනාහි ආසන්න වසයෙන් වසර 50ක් තුල, තෙල් සඳහා ගෙවීම්වලට ඩොලරය හැර වෙනත් මුදලක් පිලිගැනීමට සවුදිවරුන් සූදානම් වූ පලමු අවස්ථාව යි.

ටෝටල්එනර්ජීස් නමැති ප්‍රන්ස සමාගම, යුවාන් මුදලින් ස්වාභාවික වායු නෞකාවක් මිලට ගැනීම සඳහා, චීනය සමග ගිවිසුමකට එලැඹී ඇත්තේ මෑත දී ය.

ලතින් ඇමරිකාවේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන බ්‍රසීලය ද වසරකට ඩොලර් බිලියන 150ක් පමන වන එහි විශාලතම වෙලඳ හවුල්කරුවා වන චීනයේ යුවාන් මුදල වැලඳ ගනිමින් සිටී.

පසුගිය සතියේ දී, චීනය හා බ්‍රසීලය ඔවුන්ගේ වෙලඳ ගිනුම් නිරවුල් කිරීමට, තමන්ගේ ම මුදල් වර්ග භාවිතා කරන බව නිවේදනය කලේ, ද්වි-පාර්ශවික සබඳතා සඳහා ඩොලරය යොදාගැනීම අත්හැර දමමිනි. එක්සත් ජනපදය ආධිපත්‍යය දරන ස්විෆ්ට් නමැති ජාත්‍යන්තර ගෙවීම් හා පනිවුඩ පද්ධතියට විකල්පයක් ලෙස, බෙයිජිනය ගොඩනැගීමට උත්සාහ දරමින් සිටින ජාත්‍යන්තර ගෙවීම් පද්ධතියකට බ්‍රසීලය ඇතුල් වන බව ද තීරනය කරනු ලැබිනි.

මෙම වර්ධනයන් කිසිවක් ඩොලර් රජු කිරීටයෙන් පහකිරීම අර්ථවත් නො කල ද ඒවා ඇඟවුම් කරන්නේ දීර්ඝ-කාලීන ක්‍රියා දාමයක වේගවත් වීමකි. මහ බැංකුවල මුදල් සංචිතයන් තුල ඩොලර් ප්‍රමානය 1999 දී සියයට 72ක් ව තිබී, අද වන විට සියයට 59 දක්වා ඇද වැටී තිබේ.

වෙලඳ ගනුදෙනුවල ඩොලරයෙහි තත්ත්වය දුර්වල වෙමින් පැවතියදී, මූල්‍ය වෙලඳපොලවල් මත එය අඛන්ඩ ව ආධිපත්‍යය දරයි. සියලු විදේශීය ගනුදෙනුවලින් සියයට 90ක් එමගින් සමන්විත වන අතර, සුරැකුම්පත් නිකුතුවලින් තුනෙන් දෙකක් පමන සිදු කරනු ලබන්නේ ඩොලර්වලිනි.

එහෙත්, එස්වීබී බැංකුව ඇදවැටීමේ නවතම සිද්ධිය ඇතුලු එක්සත් ජනපදයේ මූල්‍ය කුනාටු මාලාව සහ ෆෙඩරල් රිස්රව් බැංකුව විසින් පොලී අනුපාත ඉහල නැංවීම හේතුවෙන්, එක්සත් ජනපද භාන්ඩාගාර බිල්පත් තැන්පතු නිකුතුවල වෙලඳපොල වටිනාකම සැලකිය යුතු ලෙස අහිමි කරගෙන ඇති මධ්‍යම-ප්‍රමානයේ බැංකුවල ස්ථාවරත්වය අරබයා වන උත්සුකයන්, කම්පන ධාරාවන් ජනනය කරමින් පවතී.

ආයෝජකයෙකු හා මූල්‍ය විශ්ලේෂකයෙකු වන රුචිර් ෂර්මා නවතම කැලඹීම පිලිබඳ ව කල නිරීක්ෂනයක් සිය අදහස් දැක්වීමේ ලිපිය තුල උපුටා දැක්වීමට සකාරියා කටයුතු කලේ ය.

“මේ දැන්, මගේ මතකයට අනුව පලමු වතාවට, ඩොලරය ශක්තිමත් වනු වෙනුවට දුර්වල වෙමින් පවතින ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයක් අප ඉදිරියේ තිබෙනවා. මෙය ඉදිරියේ සිදුවීමට තිබෙන දේවල සංඥාවක් බව මම කල්පනා කරනවා” යැයි ෂර්මා කීවේ ය.

කාරනය වූයේ එය නම් එය කනගාටු වීමට හේතුවක් බව සකාරියා සටහන් කලේ ය.

“වියපත් වෙමින් පවත්නා අධිරාජ්‍යයක පැවැත්ම පුබුදු කෙරෙන”, විධාන, තර්ජන හා හෙලාදැකීම් වලින් වඩ වඩා සමන්විත වන, එක්සත් ජනපද විදෙස් පිලිවෙතේ “අනම්‍ය භාවය” යනුවෙන් ඔහු හැඳින්වූ දෙය, මීට පෙර ලිපියක ඔහු පෙන්වා දුන්නේ ය.

එක්සත් ජනපදයේ ඒකධ්‍රැවීය තත්ත්වය යන සංකල්පයෙන් තද්භව වන, විදෙස් පිලිවෙතේ අනම්‍යභාවය ආර්ථික ව වඩ වඩා පැහැදිලි වේ.

“ඇමරිකාවේ දේශපාලනඥයෝ ඌනතාවන් පිලිබඳ කිසිදු තැකීමකින් තොර ව වියදම් කිරීමට පුරුදු වී තිබෙන බව පෙනේ- වසර 20කට පෙර දල වසයෙන් ඩොලර් ට්‍රිලියන 6.5ක් වූ රාජ්‍ය නය ප්‍රමානය, අද වන විට ඩොලර් ට්‍රිලියන 31.5 දක්වා ආසන්න වසයෙන් පස් ගුනයකින් ඉහල ගොස් තිබේ. මූල්‍ය කඩාවැටීම් මාලාවක් විසඳීමට ෆෙඩ් බැංකුව කටයුතු කලේ, වසර 20කට පෙර ඩොලර් බිලියන 730ක් වූ එහි ශේෂ පත්‍රය අද වන විට ඩොලර් ට්‍රිලියන 8.7ක් පමන දක්වා දොලොස් ගුනයකින් ප්‍රසාරනය කරමිනි. මේ සියල්ල සාර්ථක වන්නේ ඩොලරයේ සුවිශේෂී තත්ත්වය හේතුවෙන් පමනි. එය හැකිලී යන්නේ නම්, ඇමරිකාව පෙර කවරදාවත් නො වූ විපාකයකට මුහුන දෙනු ඇත.”

එක් අධිරාජ්‍යවාදී බලයක මුදල, තවෙකක මුදල විසින් විස්ථාපනය කල අවස්ථා, ආර්ථික විද්‍යා ඉතිහාසය තුල පවතින්නේ එකක් පමනි- එනම්, බ්‍රිතාන්‍ය පවුම එක්සත් ජනපද ඩොලරය විසින් විස්ථාපනය කිරීම යි.

ධනවාදයේ ගෝලීය නැගීමේ කාලය තුල, 19වැනි ශතවර්ෂය පුරා, ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියෙහි පදනම වූයේ පවුම යි. පලමුවන ලෝක යුද්ධය විසින් බ්‍රිතාන්‍ය මූල්‍ය ආධිපත්‍යය දැඩි ලෙස ඛාදනය කිරීම හේතුවෙන් එම භූමිකාව අවසන් විය.

එකඟතාවන් හා සාකච්ඡාවන්වල ප්‍රතිඵලයක් ලෙස ආධිපත්‍යධාරී ගෝලීය මුදල බවට පත් නො වූ ඩොලරය, එම තත්ත්වයට ලඟා වූයේ, එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලය බවට පත් වූ ලෝක යුද්ධ දෙකක් හරහා ය.

ලෝක යුද්ධ දෙක ඇති කරන ලද්දේ, ලෝකය ප්‍රතිමල්ලව ආර්ථික හා මූල්‍යමය කල්ලි බවට බෙදී ගිය 1930 ගනන්වල විෂකුරු මූල්‍ය හා වෙලඳ ගැටුම් විසිනි.

මේ දක්වා එහි පූර්ව අවදියේ පමනක් පසුවන, 1930 ගනන්වල පැවති කඳවුරු වලට සමාන තත්ත්වයකට ගෝලීය ආර්ථිකය යලි පැමිනෙන ඇඟවීම් මධ්‍යයේ, එයට පෙර බ්‍රිතාන්‍යය මෙන්, දැන් එක්සත් ජනපදය වනාහි “වියපත් වෙමින් පවත්නා අධිරාජ්‍යයකි.” මූල්‍යමය හා මිලිටරිමය යන දෙයාකාරයේ ම මාධ්‍යයන් යොදා ගනිමින්, ඩොලරයේ ආධිපත්‍යයට වලකපන ඕනෑ ම දෙයක් වැලැක්වීමට එක්සත් ජනපදය උත්සාහ කරන තතු යටතේ, මෙහි විපාක ප්‍රචන්ඩත්වයෙන් අඩු නො වනු ඇත.

Loading