මාධ්‍ය ඇතුලු ධනපති සංස්ථාපිතයේ කොටස් කම්කරු අරගල වලට එරෙහිව ප්‍රතිගාමී උද්ඝෝෂනයක් අරඹයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝග වලට අනුව ක්‍රියාවට දමා ඇති කප්පාදු පියවර වලට එරෙහිව ලංකාව පුරා කම්කරු පන්තියේ අරගල වැඩෙන තතු තුල වික්‍රමසිංහ ආන්ඩුව, ධනපති මාධ්‍ය ඒකාබද්ධ කරගනිමින් ප්‍රතිගාමී උද්ඝෝෂනයක් දියත් කොට ඇත.

අරගලයට අවතීර්න වී සිටින ඛනිජ තෙල්, විශ්ව විද්‍යාල, පාසල්, ජල සම්පාදන ආදී ක්ෂේත්‍ර වල කම්කරුවන් “සොරුන්”, “කඩාකප්පල්කාරීන්” ලෙසින් හංවඩු ගසමින් දිනපතා පුවත්පත් සහ රූපවාහිනී නාලිකා හරහා අවලාද පොම්ප කරනු ලැබේ. මේ අවලාද මගින් උසිගන්වා ගැනෙන මධ්‍යම පන්තික නඩ, කම්කරු විරෝධතා කඩාකප්පල් කිරීම සඳහා ප්‍රකෝපකාරීව යොදා ගැනීමට ආන්ඩුව කටයුතු කරමින් සිටී.

මෙම උද්ඝෝෂනය නව ඉහලකට නංවමින් පසුගිය බදාදා (19) ජනාධිපති රනිල් වික්‍රමසිංහ උසස් පෙල පිලිතුරු පත්‍ර සම්බන්ධයෙන් වර්ජනයක නියැලී සිටින පාසල් ගුරුවරුන් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට එරෙහිව කඩා පනිමින්, ලමුන් “ප්‍රානඇපකරුවන්” ලෙස ගැනීමට ඔවුන්ට ඉඩ නොදෙනබවට ගුගුලේය. හදිසි නීතිය යටතේ අධ්‍යාපනය “අත්‍යාවශ්‍ය සේවාවක්” බවට පත් කරන බවට ද ඔහු තර්ජනය කලේය. පසුගිය මාසයේ මෙම බලතල ක්‍රියාවේ යෙදවූ වික්‍රමසිංහ, පෞද්ගලීකරනයට එරෙහිව වැඩ වර්ජනයට බට ඛනිජතෙල් සංස්ථාවේ වෘත්තිය සමිති නායකයින් ඇතුලුව විසි දෙනෙකුට සංස්ථා පරිශ්‍රයට ඇතුලුවීම තහනම් කරමින් ඔවුන් අනිවාර්ය නිවාඩු යැවීය.

දකුනේ මෙන්ම උතුරේ ද ධනපති මාධ්‍යකරුවන් මෙම ප්‍රහාරයෙන් පන ලබාගෙන ඇත. මාර්තු 30 වනදා “තෙල් සංස්ථාවට තෙල්බාලා ඉගැන්වූ පාඩම” යන මාතෘකාව යටතේ දිනමින පලකල කතුවැකියෙන් මර්දනය දියත් කිරීම පිලිබඳව ඛනිජ තෙල් අමාත්‍යවරයාට “ස්තූති” කලේය . කතුවැකිය මෙසේ කියයි. “මේ බංකොලොත්භාවයෙන් ඊයේ පෙරේදා මිදුනු රටකි. එහෙම රටේ කොතැනින් හෝ වැඩේ (පුද්ගලීකරනය) පටන් ගත යුතුය”. එනම් කම්කරුවන්ගේ විරෝධතා රුදුරු ආකාරයෙන් මඩිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිලිවෙල ක්‍රියාවට දැමිය යුතුය.

මෙම මර්දනය සාධාරනීකරනය සඳහා, ආන්ඩුව රාජ්‍ය අංශයේ කම්කරුවන්ට එරෙහිව නිරතුරුවම යොදාගන්නා ව්‍යාජ තර්කයන් ද දිනමින තම සේවයට කැඳවා ගනී. “දිනකට රුපියල් කෝටි 55 ක් පාඩු ලබන” තෙල් සංස්ථාව වසරකට “කෝටි 15ක බෝනස්” සඳහාද “කෝටි 25-30” ක් අතිකාල දීමනා සඳහාද වියදම් කරන බව පවසන කතුවැකිය, කම්කරුවන් මෙම දීමනා ලබා ගන්නේ “හොර චාට්” ඉදිරිපත් කරමින් යැයි අවලාදයක් ද නගයි. එසේ තර්ක කරන මෙම ධනපති ලියන්නා අවසානයේදී රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කල යුතු බව කියයි.

කතුවැකියට අනුව ගත් කල ලංකාව මුහුන දී සිටින අර්බුදය ලෝක ධනපති ක්‍රමය මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදයේ ප්‍රකාශනයක් නොව, උද්ධමනය හේතුවෙන් තම සැබෑ වැටුප් මට්ටම්වල දැවැන්ත ඛාදනයකට මුහුන දී සිටින කම්කරුවන්ට වැටුප් ගෙවීම ආදියෙන් ජනනය වූවකි.

අප්‍රේල් 16 දිනමින කතුවැකිය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය උසස් පෙල උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ඉවත් වීමේ ක්‍රියාමාර්ගයට එරෙහිව කඩා පැන්නේය. “දුෂ්කර ආකාරයෙන් අපි රටක් ලෙස, ගත කල කාලය දැන් නිමා වී ඇති” බව කියමින් එය “ඊට එසේ හිස එසවීමට තැත් කල සැනින් හෙල්මටයට ද වෙඩි තැබීමට පටන් ගෙන ඇත්තේ සරසවි ඇදුරෝය” යනුවෙන් චෝදනා කලේය.

දෙමල භාෂාවෙන් පලවන තමිලන් පුවත්පතේ මාර්තු 30 කතුවැකිය ද “වෘත්තිය සමිති අරාජිකවාදය නිමාවකට” ගෙන ඒම සඳහා ඛනිජ තෙල් වර්ජනය මර්දනය කිරීමට ආන්ඩුවගත් පියවර “සාදරයෙන් පිලිගන්නා” බව කීවේය.

කම්කරුවන්ට එරෙහිව මතු කරන මෙම කුතර්කයන්හි යථා අර්ථය මෙයයි: 'රට ප්‍රකෘතිමත් වෙමින් පවතින බැවින්' කම්කරුවන් අරගල නතර කොට ජාමුඅ හි කප්පාදු දන නමා පිලිගත යුතුය.

ධනපති මාධ්‍ය රට ප්‍රකෘතිමත්වීම සම්බන්ධයෙන් සාක්ෂි ලෙස ඉදිරිපත් කරන්නේ තෙල් මිල අඩු කිරීම, පෝලීම් නැති කිරීම ආදී දෑ ය. නමුත් සැබෑවටම ප්‍රකෘතිමත් වී ඇත්තේ ධනපති පන්තියේ ලාභ මිස සාමාන්‍ය ජනතාවගේ ජීවන කොන්දේසි නොවේ. මෙම මාධ්‍යයන් විසින් උත්කර්ෂයට නංවන භාන්ඩ කීපයක සුලු මිල අඩු කිරීම්, මහජනතාව මුහුන දෙන අර්බුදයේ පරිමාව සමග ගත් කල ඇති කරන්නේ නොගිනිය හැකි තරමේ බලපෑමකි.

මාධ්‍යය සහ ආන්ඩුව ආර්ථිකය හොඳ අතට හැරෙමින් පවතින බවට කරන ප්‍රකාශ බේගල් ය. ලංකාවේ ආර්ථිකයද ඇතුලුව ලෝක ආර්ථිකය ගමන් කරමින් තිබෙන්නේ අවපාතයක් දෙසටය. ජාමුඅ මෑතකදී නිකුත් කල වාර්තාවට අනුව මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධනයේ පෙර දැක්ම පසුගිය වසරට වඩා 0.6 කින් කඩා වැටී ඇත. ලංකාවේ ක්‍රියාත්මක වන ජාමුඅ කප්පාදු වැඩපිලිවෙල රුදුරු අත් හදා බැලීමක් බව ඔවුන් විසින්ම සඳහන් කොට ඇත.

ලමුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වීම ගැන මෙම ධනපති මාධ්‍යකරුවන්ගේ උත්සුකයන් වංචනිකය. ධනපති ආන්ඩු විසින්, කෝවිඩ් වසංගතය හමුවේ ආරක්ෂාකාරීව අධ්‍යාපනයේ යෙදෙනුවස් නිසි අන්තර්ජාල පහසුකම් නොසපයා සිසුන්ගේ අධ්‍යාපනය අඩපන කිරීම ගැන සහ අධ්‍යාපන වියදම් කපා ගුනාත්මකභාවය පිරිහෙලීම ගැන ඔවුන් වචනයකදු සඳහන් නොකරයි.

කම්කරු පංතියට එරෙහි මෙම ප්‍රතිගාමී උද්ඝෝෂනයේ වඩා දුර දිග යන ඇඟවුම් සහිතව, අප්‍රේල් 7 වනදා, “නීතිය සාමය බිඳ දමන වීදි කෝලාහල වලට ඉඩ දිය යුතුද?” යනුවෙන් කතුවැකියක් ලංකාදීප පල කලේය. “රටේ නීතිය හා සාමය කඩ කිරීමට කිසිවකුටත් ඉඩ නොදෙන” බවට වික්‍රමසිංහ කල ප්‍රකාශයක් උපුටා දක්වමින් එය මෙසේ කියයි: “රටක නීතිය හා සාමය පවත්වාගෙන යාමට රාජ්‍ය නායකයා අසමත් වන්නේ නම්, එහිදී රටේ පාලනය බිඳ වැටීම වැලැක්විය නොහැක. එවිට බිහිවන්නේ අරාජික තත්ත්වයකි.” පසුගිය වසරේ මහජන නැගිටීම අවස්ථාවේ සිදු වූයේ එය බව කතු වැකිය තවදුරටත් පවසයි.

වික්‍රමසිංහ විසින් අරගලකරුවන් ත්‍රස්තවාදීන් ලෙස කල හංවඩු ගැසීම පුනරුච්ඡාරනය කරමින් කතුවැකිය කියන්නේ එය මුලදී සාමකාමී අරගලයක් වුවත් “පසුව එය ප්‍රචන්ඩකාරී විවිධ අන්තවාදී දේශපාලන අරමුනු තිබූ පිරිසක් අතට පත්වී” රට මහා අනතුරකට මුහුන දුන් බවයි.

එම කතුවැකියෙන් ප්‍රකාශයට පත් වන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් පන්නා දමන ලද, කම්කරු පන්තියේ වැඩ වර්ජන සහ හර්තාල් තුනක්ද සහිතව මිලියන ගනනින් මහජනතාව සහභාගී වූ පසුගිය වසරේ මහජන නැගිටීම ආකාරයේ නැගිටීමක් පිලිබඳව ධනපති සංස්ථාපිතයට ඇති භීතියයි. ඒ පිලිබඳව සුපරික්ෂාකාරීවන කතුවැකිය ජනතාව සටනට පැමිනීමට තුඩු දෙන “හේතු පිලිබඳ විමසිලිමත්ව කටයුතු” කරන ලෙස ආන්ඩුවට උපදෙස් දෙයි.

මෙම ධනපති ලියනප්පුලාගේ අවලාද සහ කුතර්කයන්ට විපරීතව, වැඩ වර්ජන වනාහී කම්කරු පන්තියේ ප්‍රමුඛ සටන් විධික්‍රමයකි. 1899 දී වී.අයි. ලෙනින් ඔහුගේ 'වැඩ වර්ජන ගැන' නම් ලේඛනයේදී පෙන්වා දුන් පරිදි තනි තනි කම්කරුවාට ධනපති ආන්ඩුවේ සහ හාම්පුතුන්ගේ ප්‍රහාර වලට එරෙහිව පුද්ගලවාදී ආකාරයෙන් සටන් කල නොහැක. එම නිසා ඔවුන්ගේ තත්වයන් පහත දැමීම වැලැක්වීමට සහ තම ඉල්ලීම් දිනා ගැනීමට නම් “ඒකාබද්ධව සටන් කල යුතු බව පැහැදිලි වන අතර ඔවුනට වැඩවර්ජන සංවිධානය කිරීමට බල කෙරේ.”

ජාමුඅ නියෝග යටතේ ආන්ඩුව, රුපියල තියුනු ලෙස අවප්‍රමාන කිරීම, ආනයන කප්පාදුව සහ එකතු කල අගය මත බදු පැනවීම, විදුලි ගාස්තු සහ ආදායම් බදු වැඩි කිරීම ආදී ප්‍රහාර දැනටමත් ක්‍රියාවට නංවා ඇති අතර තවත් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට නියමිත ය. මෙයට පුද්ගලීකරනය, සුභසාධන කප්පාදුව, රාජ්‍ය අංශය ප්‍රතිව්‍යුහගත කිරීම සහ අය-වැය පරතරය ඉවත්කිරීම සඳහා වෙනත් පියවර ගැනීම ඇතුලත් වේ.

මෙම තතු යටතේ, කම්කරුවන් ධනපති මාධ්‍යකරුවන්ගේ ප්‍රතිගාමී උද්ඝෝෂනය බැරෑරුම් ව ගත යුතුය. අරගලයට ඇදෙන කම්කරුවන්ට එරෙහිව රුදුරු මර්දනය කැඳවන ලෙසට ඔවුන් කරන ඉල්ලීම් ජනාධිපති ආඥාදායකත්වයක් සඳහා ආන්ඩුවේ ගමන සමග සමපාත වේ. වික්‍රමසිංහ අදදින, එනම් අප්‍රේල් 25 වනදා, පාර්ලිමේන්තුව හරහා ජාමුඅ නය ගිවිසුම රටේ නීතියක් බවට පත් කිරීමටත් ඕනෑම විරෝධතාවයක් රුදුරු ලෙස මැඩීමේ ප්‍රතිපදාන සහිත නව ත්‍රස්ත පනත සම්මත කිරීමටත් සැරසෙයි.

මෙය, “අඛන්ඩව වැඩෙන සංඛ්‍යාතයකින් හා තීව්‍රතාවකින් යුතු ව, ධනේශ්වර රාජ්‍යය, කම්කරු පන්තියට එරෙහි යුද්ධයෙහි ඍජු නායකත්වය පාලක පන්තිය වෙනුවෙන්, අත්පත් කරගනිමින් සිටී” යනුවෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය තම මැයි දින කැඳවුම තුල කල සඳහන සනාථ කරයි.

ආන්ඩුවේ හා ධනපති මාධ්‍ය බිස්සේ ප්‍රකෝපකරනයන්ට එරෙහිව, කම්කරු පන්තිය සිය පන්ති එකමුතුකම පිහිටුවාගනිමින් වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව දේශපාලන අරගලය පෙරට ගත යුතුය. මීට හතුරුව සිටින්නේ ඒ ඒ ක්ෂේත්‍රයන් හි වෘත්තිය සමිතිය. ආන්ඩුවට එරෙහිව කිසිදු අරගලයක් සංවිධානය නොකරන බවට, ඔවුහු 10 වෙනිදා පැවැත්වුූ වෘත්තිය සමිති ඒකාබද්ධ සමුලුවේදී සපථ කලහ.

කම්කරු පන්තියට තම සටන වෘත්තීය සමිති අත තවදුරටත් තැබිය නොහැක. සටන තම අතට ගනුවස්, වෘත්තීය සමිති වලින් හා ධනපති පක්ෂ වලින් ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම අත්‍යවශ්‍යය.

Loading