ඇමරිකානු පුස්තකාල සංගමය 2022 වර්ෂයේ පොත් වාරනයේ සහ තහනම් කිරීමේ ප්‍රයත්නයන්ගේ ආසන්න දෙගුන වීමක් වාර්තා කරයි

[මෙය, American Library Association registers a near doubling of efforts to censor, ban books in 2022 යන මැයෙන් 2023 අප්‍රේල් 14 දා පලවූ ලිපියේ පරිවර්තනයකි.]

එක්සත් ජනපදයේ පුස්තකාල පොත් සහ ද්‍රව්‍ය වාරනය කිරිමේ සහ තහනම් කිරීමේ දක්ෂිනාංශික වියරුව අඛන්ඩ ව ඉදිරියට යයි. මෙහි සාහසික අරමුන වන්නේ විශේෂයෙන් පවතින තත්වයට ඉවෙන් මෙන් විරුද්ධ වන, තරුන ජනයා අතර පවත්නා ස්වාධීන හා විවේචනාත්මක චින්තනය මර්දනය කරලීම යි. රාජ්‍ය නිල බොරු සහ ගූඪකරනයන්ට පිටුබල නොදෙන කිසිවක් මේ සමාජ බලවේග අතට පත් වීම වැලැක්වීමේ බලගතු අවශ්‍යතාව ඇති කරනු ලබන්නේ වර්ධනය වෙමින් පවතින දේශපාලන සහ සමාජ අර්බුදය විසිනි.

එක් දෙමව්පියකුගේ පැමිනිල්ලකට පසුව, ෆ්ලොරිඩාවේ වෙරෝ බීච් උසස් පාඨශාලාවේ පුස්තකාලයෙන් හොලෝකෝස්ට් (නාසි සංහාරයේ) වින්දිතයකු වූ ඈන් ෆ්‍රෑන්ක්ගේ දිනපොත පදනම් කොට ගෙන ලියා ඇති ග්‍රාපික නවකතාවක් ඉවත් කල බව ඇසෝසියේටඩ් පුවත් මාධ්‍ය අප්‍රේල් 10 දින වාර්තා කලේ ය. පැමිනිල්ල කල පුද්ගලයා රට පුරා පොත් තහනම් කිරීමේ මූලිකත්වය ගත් සංවිධානයක් වන, ඉන්දියන් රිවර් කවුන්ටිහි නිදහස උදෙසා මව්වරු නම් අන්ත දක්ෂිනාංශික ව්‍යාපාරයේ ප්‍රධානියා වෙයි. පාසැලේ විදුහල්පති ඊට නීච ලෙස යටත් වූ අතර පසුගිය මාසයේ පොත ඉවත් කරන ලදි.

ඈන් ෆ්‍රෑන්ක්ගේ දිනපොත: ග්‍රාපික අනුවර්තනය

ඈන් ෆ්‍රෑන්ක්ගේ දිනපොත: ග්‍රාපික අනුවර්තනය කෘතිය ඩේවිඩ් පොලොන්ස්කිගේ චිත්‍ර සටහන් සහිත ව, ඊශ්‍රායල චිත්‍රපට නිෂ්පාදකයකු හා ලේඛකයකු වන ආරි ෆෝල්මන් (Waltz with Bashir, 2008, චිත්‍රපටයේ අධ්‍යක්ෂ) විසින් මුල් දිනපොත ප්‍රතිනිර්මානය හෝ සංස්කරනය කරමින් 2018 දී කරන ලද්දකි. තව ද ෆෝල්මන් 2021 දී Where is Anne Frank ( ඈන් ෆ්‍රෑන්ක් කොහේ ද) නම් චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන ලද අතර එය සජීවීකරන චිත්‍රපටයක් හා දිනපොතේ වඩාත් නිදහස් අනුවර්තනයක් විය.

මෙම පොත එහි මනෝවිද්‍යාත්මක සංවේදීතාව සහ කලාත්මකභාවය සම්බන්ධයෙන් පලල් ප්‍රශංසාවකට පාත්‍ර ව තිබේ. නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පතේ ග්‍රන්ථ විචාරය එය හැඳින්වූයේ “විස්මයජනක හා සිත තුල රඳන” කෘතියක් වශයෙනි. Christian Science Monitor පුවත් පතේ විචාරකයා ප්‍රකාශ කලේ දිනපොත “හැසිරවීමේ දී ෆෝල්මන් හා පොලොන්ස්කි” එයට “දී ඇත්තේ අනාවරනයකට අඩු දෙයක් නොවන බව යි . . . මීට පෙර කිසි දා මේ ආකාරයෙන් දිනපොතේ ඇති අමුතු, මුරන්ඩු සියුම් භාවය, අපේක්ෂා විරහිත චින්තාපර භාවය හරියට ම ග්‍රහනය කර ගෙන නැති බව යි . . . එය නිර්ව්‍යාජ කලා කෘතියක්” බව යි. එසේ වුවත්, දක්ෂිනාංශික එක කලා නාශකයකුගේ එක් දූරකථන ඇමතුමකින් පොත අතුරුදහන් වේ.

තිබෙන විරෝධතා මොනවා ද? ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කරන පරිදි, නිදහස උදෙසා මව්වරු සංවිධානයේ නායිකා ජෙනිෆර් පිපින් කියා සිටින්නේ “ඈන් ෆ්‍රෑන්ක් ග්‍රාපික නවකතාව හොලෝකෝස්ටය (නාසි සංහාරය) නිරවද්‍ය ලෙස ඉගැන්වීමෙහි ලා ඇති රාජ්‍ය ප්‍රමිතීන් උල්ලංඝනය කර ඇති බව යි.” එහි ඇති සාවද්‍ය දෑ මොනවා ද? පිපින් ඒ ගැන ඍජු ව විස්තර කොට නැතත් ඇගේ සඳහන් කිරීම් මඟින් මේ විරෝධතා පිලිබඳ යමක් අපට නිගමනය කර ගත හැකි ය. මුල් දිනපොත ගැන සඳහන් කරමින් පිපින් මෙසේ කී ය: “ ඇගේ (ඈන් ෆ්‍රෑන්ක්ගේ) ව්‍යාඛ්‍යානයේ පවා ලිංගිකත්වය පිලිබඳ ඇතුලත් කිරීම් සංස්කරනයෙන් ඉවත් කොට තිබින.” “පොතේ ප්‍රකාශකයා පවා එය හැඳින්වුයේ “චරිත කතාවක්” ලෙසයි. ඉන් අදහස් කෙරුනේ එය ලියා ඇත්තේ එයට ම හිමි විවරනාත්මක ගෙතීමක් ලෙසින් බව යි. එය සත්‍ය කෘතිය නො වේ. එය කෘතියෙන් උපුටා දක්වන මුත් එය පූර්න දිනපොත නො වේ. එය විෂය සම්බන්ධයෙන් වෙනස් දෘෂ්ටියක් ගෙන ඒමට අවශ්‍ය පරිදි තෝරා ගැනීම් කරයි.”

පෙනී යන පරිදි විරෝධතාවේ ස්වභාවය දැක්වීමට ඇසෝසියේටඩ් ප්‍රෙස් සඳහන් කරන්නේ පොත “ එක් අවස්ථාවක දී ප්‍රධාන චරිතය ස්ත්‍රී නග්න ප්‍රතිමාවලින් මෝහනයට පත් ව උද්‍යානයක ඇවිදිමින් සිටිනු පෙන්වන අතර පසුව ඇය මිතුරියකට ඔවුන් එකිනෙකා අතර පියයුරු පෙන්වා ගැනීමට යෝජනා කරන” බව යි.

මුග්ධත්වය සමාජ ප්‍රතිගාමීත්වය සමඟ අත්වැල් බැඳ ගනියි. නිදහස උදෙසා මව්වරු සංවිධානය, ඉහත සඳහන් කල පරිදි, අන්ත දක්ෂිනාංශික සංවිධානයකි. එයට රිපබ්ලිකන් පක්ෂය තුලත් ඒ වටාත් සිටින ෆැසිස්ට් මූලිකාංග සමඟ බැඳීම් ඇත. එම දේශපාලන වාතාවරනයන් ගැන සැලකීමේ දී, හොලෝකෝස්ටය පිලිබඳ නිරවද්‍ය පින්තූරයක් ගැන මෙම සංවිධානයට ඇති උත්සුකභාවය කෙරෙහි ඉමහත් සැකයකින් යුතු ව බැලීම අවශ්‍ය ය. මෙම සංවිධානයට විශේෂයෙන් ෆ්ලොරිඩා ආන්ඩුකාර රොන් ඩිසැන්ටිස්ගේ පරිපාලනය සමඟ සමීප සම්බන්ධතා ඇත. රජයේ පාසල් සහ පුස්තකාලවලට හිරිහැර කිරීම වසං කරනු පිනිස නිදහස උදෙසා මව්වරු ව්‍යාපාරය “දෙමාපිය අයිතිවාසිකම්” භාවිත කරන බව Media Matters for America සංවිධානය නිවැරදි ව පෙන්වා දී තිබේ. ඔවුහු ස්වෝත්තමවාදය, මිලිටරිවාදය, ප්‍රති-කොමියුනිස්ට්වාදය සහ ආගමික අගතීන් හැර ශිෂ්‍යයන් තුල අන් “දෘෂ්ටිවාදයන් රෝපනය කිරීමට” විරුද්ධ වෙති.

වයඹදිග ඔස්ටින්හි වූ ටෙක්සාස්හි Llano කවුන්ටියෙහි දක්ෂිනාංශික කොමසාරිස්වරු තමන් අනුමත නොකරන පොත් වාරනය කිරීම ගැන කෙතරම් අධිෂ්ඨානශීලී ද යත් ඒ හේතුව මත කවුන්ටියෙහි රජයේ පුස්තකාල වසා දැමීමට පවා කැමැත්තෙන් පසුවෙති.

CNN (Cable News Network) ට අනුව, කවුන්ටි කොමසාරිස්වරු “2021 වසරේ පුස්තකාල මන්ඩල සාමාජිකයින් පන්නා දමා ඒ වෙනුවට නව මන්ඩලයක් පත් කල අතර ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ එහි සියලු පොත්වල අන්තර්ගතයන් යලි සෝදිසි කර බලන ලෙස ය. එය තුඩු දුන්නේ පුස්තකාල නාමාවලියෙන් පොත් ගනනාවක් ඉවත් කිරීමට සහ ඇතැම් මතභේදාත්මක මාතෘකාවලින් යුත් කෘති ඇතුලත් ඉලෙක්ට්‍රොනික් පොත් (e-book) සේවයට ප්‍රවේශ වීමට තිබූ අවකාශය කපා දැමීමට ය.

2022 අප්‍රේල් මාසයේ දී, මෙම කවුන්ටියේ පදිංචිකරුවෝ හත් දෙනෙක් ඉහත ක්‍රියාව මඟින් ඔවුන්ගේ පලමු වෙනි සහ 14 වෙනි සංශෝධිත අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසමින් නිලධාරීන් හට නඩු පවරන ලදහ. නඩුවෙන් කල චෝදනා වූයේ කවුන්ටි නිලධාරීන් “තමන් ඇතැම් පොත් තුල ඇති අදහස් සමඟ එකඟ නොවන හේතුව මත” රජයේ පුස්තකාල පද්ධතියේ රාක්කවලින් ඒ පොත් ඉවත් කර ඇති බවත් සුවිශේෂ මාතෘකා දෙකක් තමන්ට තහනම් කිරීමට නොහැකි වූ හේතුවෙන් ඩිජිටල් පොත් දහස් ගනනකට ප්‍රවේශ වීමට ඇති ඉඩකඩ නවත්වා ඇති බවත් ය.

වැදගත් කරුන නම්, අන්ත දක්ෂිනාංශික ටෙක්සාස් ප්‍රාන්ත දේශපාලනඥයකු විසින් බෙදා හල ලැයිස්තුවක තිබූ පොත් දෙකක් ඉවත් කිරීමට නිලධාරීන්ට නොහැකි වූ නිසා ඉලෙක්ට්‍රොනික පොත්වලට ප්‍රවේශ වීම කවුන්ටිය විසින් අත්හිටවූ බවටත් පවතින පුස්තකාල මන්ඩලය විසුරුවා හැර එය පොත් ඉවත් කිරීමේ කර්තව්‍යයට දිරි දුන් පුද්ගලයන්ගෙන් විස්ථාපනය කරන ලද බවටත් උපදේශක මන්ඩල රැස්වීම් මහජනතාවට විවෘත නොකල බවටත් නඩුවෙන් චෝදනා කෙරී ඇති බව යි.

2023 මාර්තු 30 වන දා, ෆෙඩරල් විනිසුරුවරයෙක් “ඒවායේ ඇති LGBTQ සහ වාර්ගික අන්තර්ගතය නිසා ඉවත් කරන ලද ලමා පොත් 12ක් යලි එම රාක්කවලට” දැමීමට ඛක්බද කවුන්ටි පුස්තකාල පද්ධතියට නියෝග කලේ ය. (CNN)

එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු රොබර්ට් පිට්මන් ඔහුගේ නියෝගයෙහි සඳහන් කලේ “පුස්තකාලවලට පොත් තේරීමේ සහ පොත් ගැනීමේ තීරන සම්බන්ධයෙන් විශාල අභිමතයක් ලබා දී තිබුනේ වුව ද පලමු සංශෝධනය මඟින් දෘෂ්ටිකෝනය හෝ අන්තර්ගතය හෝ පිලිබඳ වෙනස්කම් කිරීම මත පාදක ව පුස්තකාලවලින් පොත් ඉවත් කිරීම තහනම් කෙරී ඇති බව ය.”

මේවා සරල ව ම හොඳ මූල්‍ය ශක්තියකින් හෙබි අන්ත දක්ෂිනාංශික සංවිධාන ජාලයක් මඟින් සංවිධිත වාරන උද්ඝෝෂනය පිලිබඳ උදාහරන දෙකක් වේ. එබඳු සිද්ධි බහුලිත වීම දෛනික මතවාදී කොලමකට පදනම සම්පාදනය කල හැකි ය.

ඇමරිකානු පුස්තකාල සංගමය (ALA) පසුගිය මාර්තුවේ නිකුත් කල දත්තවලින් අනාවරනය කලේ 2022 වර්ෂයේ දී පුස්තකාල පොත් හා සම්පත් වාරනය කිරීමේ උත්සාහයන් 1,269 ක් වූ අතර එය දශක දෙකකට වැඩි කාලයකට පෙර (ALA) විසින් වාර්තා තබා ගැනීම ඇරඹූ තැන් පටන් වූ එවැනි උත්සාහයන්ගේ උච්චතම සංඛ්‍යාව බව යි. 2022 හි පොත් අභියෝග සංඛ්‍යාව, 2021 වසරේ වාරන රෙජිස්තරයේ වූ පොත් 729 මෙන් දෙගුනයකට ආසන්න ප්‍රමානයක් වී තිබේ.

2022 වසරේ දී අනන්‍ය මාතෘකා නාම 2,571ක් “වාරනය සඳහා ඉලක්ක කර” ඇති බවත් එය කලින් වසරේ ප්‍රහාරයට ලක් වූ අනන්‍ය මාතෘකා නාම 1,858 සංඛ්‍යාවට වඩා සියයට 38 ක වැඩි වීමක් බවත් (ALA) ලියා තිබේ. මතභේදයට ලක් ව ඇති පොත්වලින් අතිමහත් බහුතරයක් “LGBTQIA ප්‍රජාවේ සාමාජිකයන් සහ කලු ජාතිකයින් විසින් ලියා හෝ ඔවුන් ගැන ලියා ඇත්තා වූ ඒවා ය.”

දක්ෂිනාංශික කන්ඩායම් විසින් සම්පාදිත ලැයිස්තු භාවිත කරමින් ප්‍රාදේශීය කන්ඩායම් ගෙන යන උද්ඝෝෂනයේ පද්ධතිමය ස්වභාවය “අභියෝගයට ලක් වූ පොත් සංඛ්‍යාව සහ එක් එක් මාතෘකා නාම අභියෝගයට ලක් කෙරුනු වාර ගනන අහස උසට නැංවීමෙහි ලා සැලකිය යුතු ලෙස දායක විය.” අභියෝගයට ලක් වූ සමස්ත පොත් සංඛ්‍යාවෙන් “සියයට 90ක් බහුවිධ මාතෘකා නාම වාරනය කිරීමේ ප්‍රයත්නයේ කොටසක් වූ බවත් අභියෝගයට පාත්‍ර වූ පොත්වලින් සියයට 40ක් පොත් 100ක් හෝ ඊට වැඩි ගනනක් සම්බන්ධයෙන් වූ සිද්ධීන් බවත් 2021 ට පූර්වයෙන් පුස්තකාල සම්පත් අභියෝගයට ලක් කිරීම්වලින් අතිමහත් බහුතරය තැත් කලේ තනි පොතක් ඉවත් කිරීමට හෝ ඊට ප්‍රවේශ වීම සීමා කිරීමට පමනක් බවත්” පුස්තකාල සංගමය වාර්තා කරයි.

ALA හි බුද්ධිමය නිදහස උදෙසා වූ කාර්යාලයේ අධ්‍යක්ෂ ඩෙබෝරා කැල්ඩ්වෙල්-ස්ටෝන් මෙසේ කී ය: “අතිමහත් ලෙස, මෙම අභියෝගයන් පැමිනෙන්නේ ඔවුන් විසින් සමාජ මාධ්‍යගත කරන දිගු පොත් ලැයිස්තු ඉවත් කරන ලෙස ප්‍රාදේශිය පුස්තකාල මන්ඩලවලට බල කරන සංවිධිත වාරන කන්ඩායම්වලින් බව අපි දකින්නෙමු.”

ජූඩි බ්ලූම් 2009 [ඡායාරූපය Carl Lender / CC BY 2.0] [Photo by Carl Lender / CC BY 2.0]

ලමා, යොවුන් සහ වැඩිහිටි ප්‍රබන්ධකරනයේ යෙදෙන කීර්තිමත් කතුවරියක වන ජූඩි බ්ලූම් (Are You There God? It’s Me, Margaret; Tales of a Fourth Grade Nothing, Deenie and Blubber) අප්‍රේල් 4 දින නිව්‍යෝර්ක් පුවත් පතට ලියමින් ෆ්ලොරිඩාහි ඩිසැන්ටිස් පාලනය එහි දුෂ්ට වාරන ප්‍රයත්නයන් සම්බන්ධයෙන් හෙලා දැක්කා ය.

බ්ලූම් ඩිසැන්ටිස් ගැන මෙසේ විස්තර කල බව Variety සඟරාව වාර්තා කරයි: “දරුවන්ට සිතිය හැකි දේ, ඔවුනට දැන ගත හැකි දේ, ඔවුනට ප්‍රශ්න කල හැකි දේ, ඔවුනට ඉගෙන ගත හැකි දේ සහ දැන් ඔවුනට කතා කල හැකි දේ පවා වශයෙන් හැම දෙයක් ම තමන් විසින් පාලනය කරනු ලැබීමට උවමනා කරන ආන්ඩුකාරවරයෙක්. ප්‍රාථමික පාසලේ ගැහැනු දරුවන් ආර්තවය ගැන කතා කිරීම වලක්වාලන පනතක් ගෙන ඒමට තැත් කරන ව්‍යවස්ථා සම්පාදකයෙකු අපට සිටී. එතන දී සුබ පැතුම්.”

ඇය 1980 ගනන්වල වාරන උද්ඝෝෂන ව්‍යාපාරයන් ගැන ද සිය පොත්වල ලිංගිකත්වය සම්බන්ධ කාරනා ගැන කතා කිරීම නිසා ඇගේ කෘතිවලට එල්ල කල ප්‍රහාර ගැනත් සඳහන් කලා ය: “විශේෂයෙන් මල්වර වීම යන්න ඇතැම් පුද්ගලයන්ට ඉතා කැත වචනයක් වී ය. එය වූකලි වාරකයන්ට සිය දරුවන් සමඟ කතා කිරීමට අවශ්‍ය නො වූ දෙයක් විය. ඔබ මෙය දනී- දරුවන් ඒ පිලිබඳ ව කියවන්නේ නැත් නම් ඔවුන් ඒ ගැන දැන ගන්නේ නැත. තව ද ඔවුන් ඒ ගැන දන්නේ නැත් නම් එය කවදා වත් ඔවුනට සිදු නොවනු ඇත. . .මොකද්ද කියා අනුමාන කරන්න.”

වර්තමාන තත්වය “ 80 දශකයේ වැනි ය. ඒ 80 දශකයේ ස්ටෙරොයිඩ භාවිතය හැරුනු කොට ය . . . මෙවර එය සදාචාරමය බහුතරය හෝ ආගමික අයිතිවාසිකමක් පමනක් හෝ නො වේ. මෙවර එය එන්නේ අපේ ආන්ඩුවෙනි” යි බ්ලූම් සඳහන් කලා ය. ඇය තව දුරටත් මෙසේ කීවා ය: “හැම දෙයක් ම පාලනය කිරීමේ ඕනෑකමක් ඇති ව සිටින, බලයෙන් මත් වූ නීති සම්පාදකයෝ. තව මත් සහතිකෙන් ම එය ලිංගිකත්වය යි. එහෙත් එය ස්ත්‍රීපුරුෂ භාවය යි, එය LGBTQ ය, එය වර්ගවාදය යි, ප්‍රහාරයට ලක් ව ඇත්තේ ඉතිහාසය ම යි.”

“ගුරුවරුන් ප්‍රහාරයට ලක් ව ඇත, පුස්තකාලයාධිපතිවරුන්ට තර්ජන එල්ල වී ඇත” යැයි බ්ලූම් වැඩි දුරටත් කීවා ය. “ඔවුහු ගුරුවරුන් සහ පුස්තකාලයාධිපතිවරුන් අපරාධකරුවන් බවට පත් කරමින් සිටිති. ඔවුන් ඒ අයගේ රැකියාවලට හුදෙක් තර්ජන එල්ල කරනවා පමනක් නො වේ, ඔවුහු ඒ අයට ම තර්ජනය කරති. තමන් උගන්වන ශිෂ්‍යන්ගේ අයිතීන් වෙනුවෙන් ඔවුන් පෙනී සිටින නිසා ම, බියෙන් යටත් වී ගැන්ම ප්‍රතික්ෂේප කරන නිසා ම ඔවුන්ට සිරයට යාමට සිදු විය හැකි ය. හරි වේලාවේ හරි ශිෂ්‍යයාට හරි පොත දීම මඟින් ජීවිත බේරා ගත් පුස්තකාලයාධිපතිවරුන් ගැන මම දන්නෙමි. එමෙන් ම ඒ එක දරුවකුට පොතක් තුලින් තමන් ව ම සොයා ගන්නට ලැබීම ජීවිතාරක්ෂකයක් විය හැකි ය.”

Loading