සසජාතශි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හීදී යුද විරෝධී රැස්වීමක් පවත්වයි

මෙය, IYSSE holds anti-war meeting in Sydney, Australia මැයෙන් 2023 අප්‍රේල් 06 දා ලෝසවෙඅ හි පලවූ ලිපියේ පරිවර්තනයකි.

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) අප්‍රේල් 04 දා සවස සිඩ්නි හි මැකෝරි විශ්විද්‍යාලයේදී, යුක්‍රේනය තුල එක්සත් ජනපද-නැටෝ යුද්ධයට එරෙහිව සාර්ථක රැස්වීමක් පැවැත්වීය. එහිදී, ගෝලීය න්‍යෂ්ටික ව්‍යසනයක් වැලැක්වීමට සමාජවාදී ඉදිරි දර්ශනයක් ඉදිරිපත් කෙරුනි.

අප්‍රේල් 4 වනදා සිඩ්නි හි මැකෝරි විශ්ව විද්‍යාලයේ පැවැත්වුනු සසජාතශි යුද විරෝධී රැස්වීම

මෙය සසජාතශි විසින් “යුක්‍රේනය තුල යුද්ධය සහ එය නවත්වන්නේ කෙසේද” මාතෘකාව යටතේ පවත්වන ජාත්‍යන්තර රැස්වීම් මාලාවේ එක් රැස්වීමකි. අඟහරුවාදා නවසීලන්තයේ වෙලිංටන් හි පැවැත්වුනු රැස්වීමේදී සිදුවූ වා මෙන්ම සිඩ්නි රැස්වීමද අන්ත දක්ෂිනාංශික සහ යුද ගැති යුක්‍රේන ජාතිකවාදීන්ගේ අන්තර්ජාල ප්‍රහාර වලට බඳුන් විය.

නමුත් එය විශ්ව විද්‍යාලය තුල දුසිම් කිහිපයක සහභාගීත්වයකින් යුතුව සහ සජීවී විකාශයක් සමග සාර්ථකව පැවැත්වුනි. සසජාතශි සංගම් තිබෙන මැකෝරි සහ බටහිර සිඩ්නි විශ්ව විද්‍යාල වලින් ශිෂ්‍ය කන්ඩායම් මෙයට සහභාගි වූහ. අන්තර්ජාලය හරහා නිව්සවුත් වේල්ස් හි අනෙක් ප්‍රදේශවල සහ ඕස්ට්‍රේලියාවේ කම්කරුවෝ, විශ්‍රාමිකයෝ සහ ශිෂ්‍යයෝ රැස්වීමට සවන් දුන්හ.

රැස්වීමේ මුලසුන දරමින් සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහකාර ජාතික ලේකම් මැක්ස් බොඩී යුක්‍රේනය තුල යුද්ධය පිලිබඳව ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ විශ්ලේෂනය පැහැදිලි කලේය. ජාතිකවාදී සහ ප්‍රතිගාමී රුසියානු ආන්ඩුවට සහ එහි ආක්‍රමනයට විරුද්ධව වන අතරම, ඇමරිකා එක්සත් ජනපද නැටෝ සංවිධානයන් විසින් මෙම ගැටුම උසිගැන්වූ බවත් එය සක්‍රීයව අවුලවන බවත් බොඩී පැහැදිලි කලේය. මෙය ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අධිකාරිය සුරක්ෂිත කර ගැනීම අරමුනු කරගත් රුසියාව සමග යුද්ධය සඳහා දිගු කාලීන සැලසුම් සමග බැඳී ඇත.

මැක්ස් බොඩී [ඡායාරූප: ලෝසවෙඅ]

සියල්ලටම ඉහලින්, ප්‍රංශය තුල පුපුරායන ස්ට්‍රයික් සටන් මගින් සංලක්ෂනය කෙරෙන ලෝකය පුරා පැතිරි යමින් පවතින ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල වල වැදගත්කම බොඩී අවධාරනය කලේය. මෙය ආන්ඩුවල කප්පාදුවට එරෙහිව පමනක් නොව, යුද්ධයට, එහි හේතූන් වන ධනපති ජාතික රාජ්‍ය පද්ධතියට එරෙහිව ජාත්‍යන්තරව ඒකාබද්ධ කෙරුනු අරගලයකට, මෙම මූලාරම්භක ව්‍යාපාරය පදනම සම්පාදනය කරන බව ඔහු පැවසීය.

සිඩ්නි ප්‍රදේශය සඳහා සසජාතශි සංවිධායක එල්ලේ චැප්මන් පලමු වාර්තාව ඉදිරිපත් කලාය. ඇය වැඩෙන කුසගින්න, වර්ධනය වන නිවාස අර්බුදයේ බලපෑම සහ අනාරක්ෂිත වැඩ කොන්දේසි ඉහල යාම ඇතුළුව තරුන ජනයා මුහුන දෙන ගැඹුරු වෙමින් පවතින සමාජ අර්බුදය පිලිබඳව විස්තර කලාය. මෙම තත්වය යුද්ධය සඳහා සූදානම් වීම සමග අන්තර්සම්බන්ධිත ආන්ඩු වල කප්පාදු පියවරයන් වල ප්‍රතිඵලය බව ඇය සටහන් කලාය.

එක්සත් ජනපදය විසින් චීනයට එරෙහිව දියත් කරන යුද්ධයට වසර තුනක් ඇතුලත ඕස්ට්‍රේලියාව සහභාගී කරන ලෙසත්, උතුරු ඕස්ට්‍රේලියාවේ න්‍යෂ්ටික ආයුධ ස්ථාපනය කරන ලෙසත්, හමුදාවට මහජනතාව බඳවා ගැනීමේ නීති පනවන ලෙසත් කැඳවුම් කරමින්, සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පතේ පල කෙරුනු, “රතු නිවේදන” මාලාව පිලිබඳව ඇය පැහැදිලි කලාය. මෙය, තරුන ජනයා වෙනුවෙන් ධනවාදයට තම ගබඩාව තුල ඇත්තේ කුමක්ද යන්න පිලිබඳ අනතුරු ඇඟවීමක් බව චැප්මන් කීවාය.

නමුත් පැතිරුනු සහ වැඩෙන විරුද්ධත්වයක් පවතී. චැප්මන් සංගනනයක් උපුටමින් ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ සහ අනෙක් සෑම තැනකම තරුනයන්ගෙන් බහුතරය ධනවාදයට වඩා සමාජවාදයට පක්ෂ බව පෙන්වා දුන්නාය. නමුත් තීරනාත්මක කාරනාව වන්නේ මෙම හැඟීම කම්කරු පන්තිය දෙසට හැරුනු, සමාජවාදය සඳහා සටන් කරන සහ ඉතිහාසයේ පාඩම් මත පාදක වන මහජන දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛකයෙකු වන ඔස්කාර් ග්‍රෙන්ෆෙල් සිය වාර්තාවේ දී යුක්‍රේනය තුල යුද්ධය එහි පලල් ඓතිහාසික සන්දර්භයේ තැබීය. මෙම ගැටුමේ පැන නැගීම ලෝකය යලි බෙදා ගැනීමේ එල්ලය සහිත අධිරාජ්‍යවාදී යුද්ධයේ නව අවධියක ආරම්භය සලකුනු කරයි.

රුසියාවට සහ චීනයට එරෙහිව ගැටුම සඳහා පෙන්ටගනය සූදානම් කල දශක ගනනාවක දීර්ඝ සැලසුම් සමග එක පෙලට සිටිමින් එක්සත් ජනපදය සහ නැටෝව රුසියානු ආක්‍රමනය ප්‍රකෝපකාරී ලෙස ඇවිලූ බවත් එය යොදා ගනිමින් සිටින බවත් ග්‍රෙන්ෆෙල් කීවේය. ඇමරිකා එක්සත් ජනපදය සහ එහි සහචරයන් විසින් මධ්‍යම ආසියාව සහ මැද පෙරදිග කලාපය තුල දශක ගනනාවක් තිස්සේ ඇති කල බිහිසුනු ප්‍රතිවිපාක මගින් පෙන්නුම් කෙරුනු පරිදි, මෙයට මානව හිමිකම් සමග කවර හෝ සම්බන්ධයක් නැත. ඒ වෙනුවට එහි අරමුන, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යය තහවුරු කිරීමයි.

ඔස්කාර් ග්‍රෙන්ෆෙල් [ඡායාරූප:ලෝසවෙඅ]

යුද්ධයට එරෙහිව පැතිරුනු විරුද්ධත්වයක් පවතින බව කථිකයා පෙන්වා දුන්නේය. නමුත් තීරනාත්මක ප්‍රශ්නය වන්නේ දේශපාලන ඉදිරි දර්ශනයයි. යුද්ධයට විරුද්ධ විය හැක්කේ ජාතික ආන්ඩුවලට පීඩනය යෙදීමෙන් හෝ සංස්ථාපිතයේ දේශපාලඥයන්ගේ සදාචාරාත්මක හෘද සාක්ෂියට ආයාචනා කිරීමෙන් බව කියන ප්‍රවනතා වලට විරුද්ධව ග්‍රෙන්ෆෙල් තර්ක කලේය. මෙම ඉදිරි දර්ශනය 2003 ඉරාක ආක්‍රමනයට එරෙහි මහජන විරෝධතා පීලී පැන්නුවේය.

මීට වෙනස් ව නව යුද විරෝධී ව්‍යාපාරය සසජාතශි සහ ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය මතු කොට ඇති විප්ලවවාදී මූලධර්ම මත පදනම් විය යුතුය. ඒවාට ජාත්‍යන්තරවාදය සහ සියළු ධනපති පක්ෂ වලින් කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීන කර ගැනීමට සටන් වැදීම අඩංගුය.

මෙම වාර්තා සජීවී සාකච්ඡාවක් ඇවිලුවේය. රුසියානු ජනාධිපති ව්ලැම්ඩීර් පුටින් හෝ යුක්‍රේනියානු නායක වොලඩිමිර් සෙලෙන්ස්කි මුන ගැසුනහොත් කථිකයන් කුමක් කියන්නේද යන්න මුලින්ම ඉදිරිපත්වූ ප්‍රශ්නයකි.

ග්‍රෙන්ෆෙල් අවධාරනය කලේ සසජාතශිට ඉන් එක් පුද්ගලයෙක් හෝ හමුවීමට කිසිදු උනන්දුවක් නොමැති බවයි. පුටින් නියෝජනය කරන්නේ ස්ටැලින්වාදීන් විසින් සෝවියට් සංගමය බිඳ විසුරුවා හැරීමෙන් අනතුරුව ඇතිවූ රුසියානු කතිපයාධිකාරයයි. සෙලෙන්ස්කි ක්‍රියාකරන්නේ ලෝක යුද්ධයක අනතුර මතු කරන සහ රුසියානුවන් සහ යුක්‍රේනියානුවන් 200,000 ක් දැනටමත් මරනයට ඇද දමා ඇති එක්සත් ජනපද නැටෝ උද්ඝෝෂනයේ පෙරමුනු රාල ලෙසය.

සසජාතශි සියළු ආන්ඩු වලට එරෙහිව කම්කරු පන්තියේ ව්‍යාපාරයක් ගොඩනැගීම දෙසට දිශානත වී ඇති බව ග්‍රෙන්ෆෙල් කීවේය. යුක්‍රේනය තුල ගැටුම සාම සාකච්ඡා හෝ ඔවුන්ට කෙරෙන ආයාචනා වලින් නිම නොවන අතර ඊට රුසියානු සහ යුක්‍රේන කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් අවශ්‍ය බව ඔහු කීවේය.

තවත් අයෙක් යුද්ධයේ “ආකර්ශනීය” ගුනයට එරෙහිව සටන් කරන්නේ කෙසේද යනුවෙන් විමසුවේය. ඊට පිලිතුරේදී කම්කරුවන්, තරුනයින් සහ ශිෂ්‍යයින් යුද්ධයට අතිමහත් ලෙස විරුද්ධ බව බොඩී සඳහන් කලේය. යුද්ධය සඳහා සැබෑ සහායකයා වන්නේ සිය අවශ්‍යතා අධිරාජ්‍යවාදී මංකොල්ල කෑම් සහ කොටස් වෙලඳපොල මත සෘජුවම පදනම් කොට ඇති ඉහල මධ්‍යම පන්තියයි. විවිධ ව්‍යාජ වාම සංවිධාන වල සිටින ඔවුන්ගේ දේශපාලනික නියෝජිතයෝ එලිපිටම එක්සත් ජනපද නැටෝ යුද වෑයමට සහය පල කරති.

සෝවියට් සංගමය බිඳ විසුරුවා හැරීම, සසජාතශි හි සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනයේ පදනම්, හමුදා වලට බලහත්කාරයෙන් බඳවා ගැනීමේ පිලිවෙත් හඳුන්වා දීමේ ඕනෑම පියවරක ඇති ප්‍රතිවිපාක සහ තරුනයින් අතර පලල් ස්තරයක් සමාජවාදී ව්‍යාපාරයට එකතු කරගන්නේ කෙසේද ආදී තවත් ප්‍රශ්න මතු විය.

රැස්වීමෙන් පසු, ශිෂ්‍යයෙකු වන විල් සමග සසජාතශි කතා කල අතර ඔහු මෙසේ කීවේය: “මට වඩාත් දැනුනු කාරනාව වූයේ බලගතු ක්‍රියාවන් පැමිනෙන්නේ දේශපාලන පැහැදිලිකමෙන් යන සංකල්පයයි. ඇත්ත වශයෙන්ම දේශපාලන නායකයින් සැබෑවටම සඳහන් කරන්නේ කුමක්ද යන කාරනාව ඔබ අවබෝධ කරගත යුතුයි. උදාහරනයක් ලෙස ඩොලර් බිලියන 368 ක සබ්මැරීන ගිවිසුම බලගතු කාරනාවක් වෙනුවෙන් කරන බව පැහැදිලියි. නමුත් ඔබට පැහැදිලිකම පවතින විට, ඔවුන් යුද්ධය තවත් ඉදිරියට ගෙන යන බව ඔබ තේරුම් ගන්නවා.”

“ඕස්ට්‍රේලියානු ආන්ඩුවට චීනය සමග සම්බන්ධතාවලදී යම් අතෘප්තිකර බවක් තිබුනු බව රැස්වීමට පෙර මම දැන සිටියා. නමුත් චීනය එදිරිකර ගැනීමක නිරතව සිටින බව, යුද්ධය සඳහා සක්‍රීය තල්ලුවක් තිබුනු බව මම දැන සිටියේ නෑ.”

රැස්වීම තුලදී මෙම යුද්ධය සඳහා සක්‍රීය තල්ලුව පිලිබඳ විස්තර කලේ කෙසේද යනුවෙන් විල්ගෙන් විමසන ලදී. “ලෝකය තුල තම වපසරිය හීනවීම හේතුවෙන්, අනෙකුත් ජාතීන්ට ප්‍රහාර එල්ල කිරීමේ අධිරාජ්‍යවාදී පෙලඹීමක් ඇමරිකාවට තිබෙනවා. එය ඔවුන් ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ කල දේට, එනම් එම රටවල ජාතික සම්පත් අත්පත් කර ගැනීමට උත්සාහ දරමින් සහ එක්සත් ජනපදයේ ප්‍රවේශය පුළුල් කරමින් ගෙනගිය වැඩකටයුතු වලට සමානයි. කෙසේ වෙතත්, එම රටවල් චීනය සහ රුසියාවට වඩා බෙහෙවින් කුඩාය.'

“අපි කම්කරුවන් සහ ශිෂ්‍යයන් අධිරාජ්‍යවාදී පාලන තන්ත‍්‍රයේ පාද වැනිය, එබැවින් කම්කරුවන්ට සහ සිසුන්ට, යුද්ධය අවශ්‍ය නොවන්නේ නම්, හමුදාවට බඳවා ගැනීමට මිනිසුන්ට බල කිරීම හැර වෙන කිසිවක් ඔවුන්ට කල නොහැක. සිඩ්නි මෝනිං හෙරල්ඩ් හී රතු නිවේදන මාලාවෙන් දක්වා ඇත්තේ එයයි.”

අන්තර්ජාලය හරහා රැස්වීමට සහභාගී වූ විද්‍යා අංශයේ ශිෂ්‍යයෙකු වූ ශැරොන් මෙසේ කීවේය. “මෙම රැස්වීම් වලට ආරාධනා කිරීමෙන් පසුව මම මේ දේවල් ගැන බලමින් ස්වයං අධ්‍යයනයක නියැලීමට උත්සාහ කලා. මේ සියලු ලිපි වලින් සමන්විත ලෝක සමාජවාදී වෙබ් අඩවිය වැනි වෙබ් අඩවියක් පවතින බව මම දැනන් හිටියෙ නෑ. මෙම ලිපි සියල්ලම මට කියවිය හැකි අතර මෙම අනෙකුත් ලිපි සහ ඉදිරිදර්ශන සොයා ගැනීමට ප්‍රවේශ විය හැකි බවත් මම දැනන් හිටියෙ නෑ.”

“රැස්වීම තුලදී කථිකයන් යුද්ධයේ සැබෑ මූලයන් අවබෝධ කර නොගත් බොහෝ යුද විරෝධී ව්‍යාපාර ගැන කතා කරා. යුද්ධය ධනපති ක්‍රමයේ නිශ්පාදිතයක් බව ඔවුන් පෙන්වා දුන්නා. එය දේශපාලන පැහැදිලිකම, අප සිටින ආර්ථික ක්‍රමය සහ එහි නිශේධනීය බලපෑම පිලිබඳ සියල්ල අවබෝධ කර ගැනීමට හේතු වුනා. ජනතාව දැනුවත් කරන එක හොඳයි.”

“මා සම්බන්ධයෙන් ගත්කල, මම තවමත් මේ දේවල් ගැන වඩාත් දැනුවත් වීමට උත්සාහ කරනවා. ඔවුන් නිර්දේශ කල පොත්, 'යුද්ධයේ සියවස් කාර්තුවක්', 'ගෝලීය ආධිපත්‍යය සඳහා එක්සත් ජනපද ධාවනය 1990 - 2016' මිලදී ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. මෙය ජාත්‍යන්තර කන්ඩායමක් වීම රැස්වීමේ මම තවත් කැමති පැත්තක්. එය මේ සඳහා සටන් කරන, හුදෙක් තනි සංගමයක් හෝ සමාජ කවයක් විය නොහැකි බව ඔවුන් ඇත්තටම අවධාරනය කලා. වෙනසක් ඇති කිරීමට එය ලොව පුරා තිබිය යුතුය. මෙය අත්‍යවශ්‍ය බව මට හැඟේ. ”

ඉදිකිරීම් කර්මාන්තයේ සේවය කරන බ්‍රෙට් මෙසේ කීවේය: “මම මේ රැස්වීමට, විශේෂයෙන්ම මේ යුද්ධය එහි ඓතිහාසික සන්දර්භය පිලිබඳ සම්පූර්න විශ්ලේෂනයකින් පමනක් වටහා ගත හැකි බවට මුලසුනේ කථිකයා මතු කල කාරනාවට කැමතියි. එසේ නොමැතිව කල යුතු දේ පිලිබඳ අවබෝධයක් ලැබෙන්නෙ නෑ. එබැවින් අගය කිරීමක් ද ලැබෙන්නෙ නෑ.”

'යුක්රේනයේ යුද්ධය හෝ චීනය සමඟ මිලිටරි ගැටුම සඳහා වන වේගවත් සූදානම පිලිබඳ මාධ්‍යයේ කිසිදු සාකච්ඡාවක් නෑ. අප මෙම තත්වය කරා පැමින ඇති ආකාරය සහ මනුෂ්‍ය වර්ගයාට අත්දැකීමට සිදුවන විනාශකාරී ප්රතිවිපාක පිලිබඳ කිසිදු බරපතල පැහැදිලි කිරීමක් සපයන්නේ නෑ.”

“ෆින්ලන්තය නේටෝ සාමාජිකත්වය ලබා ගැනීම ඉක්මන් කර තිබෙනවා. මෙයින් අදහස් කරන්නේ කුමක්ද යන්න පිලිබඳව මාධ්‍යවල විවාදයක් නෑ. අපට මෙය ඉදිරිපත් කෙරී ඇත්තේ සහ අනෙකුත් මිලිටරි වර්ධනයන් සිදුවන්නේ, හුදෙක් එය සිදුවිය යුතු දෙයක් විදියටයි. ඕස්ට්‍රේලියානු හමුදා බඳවාගැනීම් ප්‍රචාරන දැන්වීම, විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල නිරන්තරයෙන් ගලා යනවා. විශේෂයෙන්ම, මෑතකදී ට්විටර් හි මම එය දැක්කා. එය ඉලක්ක කර ගන්නෙ තරුනයන්.”

“අඟහරුවාදා රැස්වීමේදී මතු වූ ප්‍රශ්න ගැන තරුනයින් සහ අනෙක් සියලු දෙනා සාකච්ඡා කිරීම ඉතා වැදගත්. මේවගේ රැස්වීම් ගොඩක්, ගොඩක් තියෙන්න ඕන.'

Loading