භෞතික විද්‍යාව, කාව්‍යය සහ ක්වොන්ටම් ගුරුත්වය සඳහා පර්යේෂනය: කාලෝ රොවෙල්ලිගේ යථාර්ථය යනු පෙනෙන දෙය නො වේ

[මෙය Physics, poetry and the search for quantum gravity: Carlo Rovelli’s Reality Is Not What It Seems මැයෙන් 2018 ජුනි 29දා පල කල ලිපියේ පරිවර්තනය යි.]

කාලෝ රොවෙල්ලිගේ යථාර්ථය යනු පෙනෙන දෙය නො වේ: ක්වොන්ටම් ගුරුත්වය කරා චාරිකාව (Reality Is Not What It Seems: The Journey to Quantum Gravity)

සයිමන් කානෙල් හා එරිකා සෙග්රිගේ පරිවර්තනය, රිවර්හෙඩ් බුක්ස්, නිව් යෝක්: 2017

සාමාන්‍ය සාපේක්ෂතාවාදය සහ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව යනු නවීන භෞතික විද්‍යාවේ මානික්‍යයන් දෙකයි. පදාර්ථයෙහි බර යටතේ අවකාශය නැමෙන හා වක්‍ර වන බවත් (සාමාන්‍ය සාපේක්ෂතාවාදය), මෙම පදාර්ථය ම පරමානුක හා න්‍යෂ්ටික මට්ටමේ දී ක්වොන්ටීකරනය (quantized) කරනු ලබන බවත් (ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව) පෙන්වා දෙමින්, ස්වභාව ධර්මයේ අභ්‍යන්තර කටයුතු තුලට යෝධ අන්තර් ඥානයක් ඒවා විසින් සම්පාදනය කර ඇත. කිහිපයක් පමනක් සඳහන් කරන්නේ නම්, ගුරුත්වාකර්ෂන තරංග, කලු කුහර, න්‍යෂ්ටික භෞතික විද්‍යාව සහ ඝනීභවනිත පදාර්ථය යනා දී ලෝකයේ අනන්ත සංඛ්‍යාවක් මෙම න්‍යායයන් විසින් හෙලිදරවු කර තිබේ. අපගේ දෛනික අත්දැකීම් සමග සන්සන්දනය කිරීමේ දී ඒවා දුරවබෝධී වුවත්, මෙම න්‍යායයෝ මෙතෙක් වර්ධනය වුනු පදාර්ථයේ මූලික චලනයන් පිලිබඳ වඩාත් ම නිරවද්‍ය විස්තරයෝ වෙති.

එහෙත්, මෙම න්‍යායයන් දෙක ම භාවිතා කිරීමට අවශ්‍ය වන අවස්ථා කිහිපයක් පවතින අතර, ඒවායේ සත්‍යතාව සන්නිකර්ෂනීය වන බව වහා ම පැහැදිලි වෙද්දී, ඒවා ඒකාබද්ධ සමස්තයක් බවට සංකලනය කිරීමට තවත් යමක් අවශ්‍ය කරයි. සාමාන්‍ය සාපේක්ෂතාවාදයේ වක්‍ර වන අවකාශ-කාලය වනාහි, ස්කන්ධය හා ශක්තිය පරිනාමය වන මෘදු, අනන්ත වාරයක් බෙදිය හැකි ව්‍යුහයකි. සියලු පදාර්ථයන් තැනෙනු ලබන්නේ, එක් අවදියක සිට ඊලඟ අවදිය කරා පනින, අනවරත ව තදින් සැලෙන නිශ්චිත ක්වොන්ටා සංඛ්‍යාවකින් යනුවෙන් සඳහන් ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව මෙය මගින් නිසඟ ලෙස ඛන්ඩනය කරයි.

මෙම ගැටලුවට පවතින විසඳුම අප වර්තමානයේ දී නො දනිතත්, යථාර්ථය යනු පෙනෙන දෙය නො වේ: ක්වොන්ටම් ගුරුත්වය කරා චාරිකාව නමැති සිය නවතම කෘතිය තුල, න්‍යායික භෞතික විද්‍යාඥ කාලෝ රොවෙල්ලි ක්වොන්ටම් ගුරුත්වය පිලිබඳ පර්යේෂනයට තිබිය හැකි එක් විසඳුමක් -ව්‍යාවර්ථනීය ක්වොන්ටම් ගුරුත්වය- විස්තර කරයි.

ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවෙහි ගනිතය තුල පෙන්නුම් කරන ස්කන්ධයේ හා ශක්තියේ ක්වොන්ටමීකෘත (ප්‍රමානගත) ස්වභාවය සහ සාමාන්‍ය සාපේක්ෂතාවාදයේ වක්‍ර අවකාශ-කාලය, අංශුවලට සමාන ව අවකාශය මත් ක්වොන්ටමීකෘතය යන්න අවධාරනය කිරීම සඳහා ඒකාබද්ධ කිරීම, ව්‍යාවර්ථීය ක්වොන්ටම් ගුරුත්වයේ මූලික මූලධර්මය යි. සන්තතික දෙයක් නො වී, දිගේ, වර්ගඵලයේ හා පරිමාවේ විවික්ත ප්‍රමානයන්ගෙන් සමන්විත වන අවකාශය, විශ්වාස කල නො හැකි ලෙස කුඩා නමුත් එසේ වන්නේ පදනම් විරහිත ලෙස නො වේ. පරමානුක න්‍යෂ්ටියට වඩා, බිලියන බිලියන වාරයකින් කුඩා “අවකාශීය පරමානු” පවතින අතර, ඒවා අවකාශයේ යම් ප්‍රදේශයක් තුල පවතිනවා වෙනුවට, ඒවා මත් අවකාශය වේ. මානවයන් නිරීක්ෂනය කරන, ඔවුන් ද කොටසක් වන සියල්ල ඒවා ය.

ව්‍යාවර්ථනීය ක්වොන්ටම් ගුරුත්වයේ අරටුවෙහි පවතින සංකල්පීය පදනම් හා උසස් ගනිතය වර්ධනය කරමින්, දශක තුනක් පුරා දිවෙන ඔහුගේ සමස්ත වෘත්තීය ජීවිතය රොවෙල්ලි විසින් ගත කර ඇත. මෙම උපන්‍යාසයන්ට පක්ෂ ව හෝ විරුද්ධ ව, සමහර පර්යේෂන සාක්ෂි සම්පාදනය කරන්නේදැයි විමසිලිමත් වෙමින්, අභ්‍යාවකාශ විද්‍යාවේ සහ අංශුමය භෞතික විද්‍යාවේ අභිවර්ධනයන්ට ද ඔහු සමීප අවධානයක් යොමු කර තිබේ. මේ දක්වා ම, එකතු කරන ලද දත්තවලින් කිසිවක්, ව්‍යාවර්ථනීය ක්වොන්ටම් ගුරුත්ව න්‍යායයට සහයෝගය පල නො කල ද ඒ කිසිවක් එම උපන්‍යාසය එකහෙලා ප්‍රතික්ෂේප කරන්නේ ද නැත. අනෙකුත් න්‍යායයන් ද වර්ධනය කරනු ලැබෙමින් පවතී. “තත්ත්වය තවමත් අස්ථීර” යයි රොවෙල්ලි ලියයි.

යථාර්ථය යනු පෙනෙන දෙය නො වේ කෘතියට අමතර ව, ඔහුගේ හොඳින් ම විකිනෙන භෞතික විද්‍යාවේ කෙටි පාඩම් හතක් (සෙවන් බ්‍රීෆ් ලෙසන්ස් ඉන් ෆිසික්ස්) සහ මෑත දී ඉංග්‍රීසි භාෂාවෙන් පල කරන ලද කාලයේ වින්‍යාසය (දි ඕඩර් ඔෆ් ටයිම්) ඇතුලු, භෞතික විද්‍යාව පිලිබඳ රොවෙල්ලිගේ ජනප්‍රිය ලේඛන තුල එක්තරා සුවිශේෂත්වයක් තිබේ. ඔහු වනාහි (ක්වොන්ටම් ගුරුත්වය පිලිබඳ ව පලකර ඇතුලු විද්‍යාත්මක පඨිතයන් ඇතුලු) යෝධ න්‍යායික ඥානයක් සහිත ප්‍රවීන භෞතික විද්‍යාඥයෙක් වන අතර, වටහාගත හැකි හා ප්‍රහර්ෂීය භාෂාවක් බවට මෙම සංකල්පයන් පරිවර්තනය කිරීමේ හැකියාව සහිත දුර්ලභ කුසලතාවක් ඔහුට තිබේ. විද්‍යාවට ඔහුගේ ප්‍රවිෂ්ටය භෞතිකවාදී මෙන් ම දර්ශන වාදය, සාහිත්‍යය සහ කාව්‍යකරනය මගින් ද ගැඹුරින් ම ඔප්නැංවී ඇත.

ඉතාලිය තුල හා ලොව වටා යෝධ සමාජ නැගි සිටීමේ යුගයක් තුල කාලෝ රොවෙල්ලි උපත ලද්දේ ය. 1968 වසන්තයේ දී, ඉතාලිය, ප්‍රන්සය සහ අනෙකුත් රටවල් තුල ශිෂ්‍ය විරෝධතා පුපුරා යන විට 12 හැවිරිද වූ ඔහු ඇති දැඩි වූයේ, මානව වර්ගයා පිටස්තර අවකාශය තුලට අර්ථභාරී පියවරයන් ගනිද්දී මෙන් ම වියට්නාමය, ලාඕසය, කාම්බෝජියාව සහ තවත් තැන්වල යුද්ධය දියත් කරනු ලබද්දී ය. 1977 දී ඉතාලියේ මිලිටරිය විසින් වසා දමනු ලැබූ (ඊට වසර දෙකකට පසුව එය යලි විවෘත කරන ලදී) වාමාංශික ගුවන් විදුලි ආයතනයක් වූ රේඩියෝ ඇලිස් ආරම්භ කිරීමට රොවෙල්ලි මත් උදවු කලේ ය. එවකට අත්‍යවශ්‍ය වූ මිලිටරි සේවයට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීම නිසා, 1987 දී ඔහු ද අත්අඩංගුවට ගනු ලැබී ය.

ඊට සමගාමී ව, රොවෙල්ලි ස්වභාව ධර්මයේ නීති කෙරෙහි ගැඹුරු ඇගයීමක් වර්ධනය කරගනිමින් සිටියේ ය. ව්‍යාවර්ථනීය ක්වොන්ටම් ගුරුත්වය පිලිබඳ ඔහුගේ සංගෘහිත කෘතිය වන කෙටි භෞතික විද්‍යා පාඩම් හතක් යන කෘතිය තුල, සාමාන්‍ය සාපේක්ෂතාවාදය අවබෝධ කරගැනීම ඔහු ආරම්භ කල පලමු කාලය පිලිබඳ ව ඔහු තම පාඨකයන්ට මෙසේ සම්බන්ධ කර පෙන්වයි:

“එය ගිම්හානය විය. ග්‍රීක මධ්‍යධරනී කලාපයේ හිරු එලියේ ගිලී කැලබ්‍රියාවේ කොන්ඩෝෆූරිහි වෙරලක මා සිටි අතර, එය මගේ විශ්ව විද්‍යාල අධ්‍යයනයන්වල අවසන් අවුරුද්ද විය. අධ්‍යාපනය මගින් ආකූල නො වන අයෙක්, හොඳින් ම අධ්‍යයනයන් කරන්නේ නිවාඩු කාලයේ දී ය. බොලොඥාවේ විශ්ව විද්‍යාල පන්තිවලින් වෙහෙසට පත්වීම නිසා, රැකවරන ස්ථානයක් ලෙස ගතකිරීමට මා පුරුදු ව සිටි, උම්බ්‍රියානු කඳුකරයක් මත පිහිටි ගරා වැටුනු හිපියානු නිවසේ දුර්වල ජීවීන්ගේ හිල් වැසීමට රාත්‍රීයේ දී මා විසින් භාවිතා කිරීම නිසා, මීයන් විසින් කොන් කා දමා තිබුනු ග්‍රන්ථයක උදවුවෙමින් මම අධ්‍යයනය කරමින් සිටියෙමි. සෑමවිට ම පාහේ, පොතෙන් ඇස් ඉවත් කරන මම දිලිසෙන මුහුද දෙස බලන්නෙමි: අයින්ස්ටයින් විසින් පරිකල්පනය කරන ලද අවකාශයේ හා කාලයේ වක්‍රතාව මම සත්‍ය වසයෙන් ම දැකගනිමින් සිටි බව මට පෙනී ගියේ ය. එ ද අරුමයකින් මෙනි: වඩා සරල, ගැඹුරු අනුක්‍රමයක් අනාවරනය කරනුවස්, යථාර්ථයේ වේල්පට ක්ෂනික ව ඔසවමින්, මගේ මිත්‍රයෙක් මාගේ කනට අත්‍යසාමාන්‍ය ලෙස සැඟවී තිබුනු සත්‍යයක් කොඳුරමින් සිටියාක් මෙනි.”

යථාර්ථය යනු පෙනෙන දෙය නො වේ කෘතිය එහි පාඨකයන් ව ඒ හා සමාන අතිවික්‍රමයක් මතට රැගෙන යයි. 19වන ශතවර්ෂය අවසානයේ දී, ගැලීලියෝ, කෙප්ලර් හා නිව්ටන් විසින් වර්ධනය කරන ලද යාන්ත්‍ර විද්‍යාව සහ ෆැරඩේ, ඇම්පියර් හා මැක්ස්වෙල් විසින් අලුතින් සොයාගන්නා ලද විද්‍යුත් චුම්බකත්වය අතර පැවති පරස්පර-විරෝධයන් -සාපේක්ෂතාවාදය හා ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව යන අභිවර්ධනයන් නිෂ්පන්න කිරීමට නියමිත පරස්පර-විරෝධයන් - තරම් මැ වැදගත් නවීන භෞතික විද්‍යාවේ පරස්පර-විරෝධයන් හරහා බැලීමට රොවෙල්ලි ඔහුගේ පාඨකයන්ට මග පෙන්වයි. ඊට සමගාමී ව, විශ්මයේ, ප්‍රමෝදයේ සහ වඩාත් ම වැදගත් ලෙස ඉදිරිපත් කරන විද්‍යාව හා එය වර්ධනය වන ක්‍රියා දාමය යන දෙක ම පිලිබඳ අවබෝධයකින් ඔහු පාඨකයින් ව පුබුදුවයි.

රොවෙල්ලි, භෞතික විද්‍යාවට ද සමස්තයක් ලෙස විද්‍යාවට ද භෞතිකවාදී හා අපෝහක ප්‍රවිෂ්ටයක් ගනී. “ලෝකයේ වඩා හොඳ පරිකල්පන රූප ක්‍රමික ව ඉදිරිපත් කරමින් හා වඩා ඵලදායී ක්‍රම තුලින් සිතීමට අපට උගන්වමින්, විද්‍යාත්මක චින්තනය ලෝකය ගවේෂනය කරමින් වෙනස් ලෙස අඳියි. විද්‍යාව යනු චින්තන ක්‍රම අඛන්ඩ ව ගවේෂනය කිරීමකි. කලින් කල්පනය කරගත් අදහස් බිඳ හෙලමින්, යථාර්ථයේ නව කලාප හෙලිදරවු කිරීමටත්, ලෝකයේ නව හා වඩා සඵලදායී පරිකල්පන රූප ගොඩනැගීමටත් පවතින විදර්ශන හැකියාව එහි ශක්තිය යි. මෙම අතිවික්‍රමය අතීත ඥානයේ සමස්තය රඳා පවතින නමුත්, එහි හදවතේ පවතින්නේ වෙනස් වීම යි” යි ඔහු අවධාරනය කරයි (8 පිටුව). සමස්ත කෘතිය පුරා එවන් ප්‍රවිෂ්ටයක් දක්නට ලැබෙන අතර, එය, විද්‍යාත්මක ක්ෂේත්‍රය යාන්ත්‍රික හා නිරපේක්ෂ චින්තන මාදිලියක් ලෙස සලකන අනෙකුත් විද්‍යා දාර්ශනිකයන්ගෙන් ආහ්ලාදජනක ලෙස වෙන් වීමකි.

ස්වභාව ධර්මය අවබෝධ කරගැනීමේ නිරවද්‍ය මාවත ලෙස විද්‍යාත්මක විධික්‍රමය උද්‍යෝගීමත් ආරක්ෂා කිරීමක් තුල මෙම ලෝක දෘෂ්ටිය ඉස්මතු කර දක්වනු ලැබේ.

විද්‍යාවෙහි සමාජ විද්‍යාව, විද්‍යාත්මක අවබෝධී ක්‍රියා දාමයේ සංකීර්නත්වය පිලිබඳ ආලෝකයක් ලබා දී ඇත; අනෙකුත් ඕනෑ ම මානව ප්‍රයත්නයක් මෙන් ම, අතාර්කිකත්වය විසින් පහර දෙනු ලබන මෙම ක්‍රියා දාමය, බල ක්‍රීඩාව සමග අන්තර්ඡේදනය වෙමින්, සෑම වර්ගයක ම සමාජීය රුචීන්ගේ හා සංස්කෘතික ආනුභාවයේ බලපෑමට බඳුන් වේ. මේ සියල්ල තිබුන ද, ඒවා නො තකා, පශ්චාත්-නූතනවාදීන්, සංස්කෘතික සාපේක්ෂවාදීන් හා එවැන්නන් ගනනාවකගේ අතිශයෝක්තීන්ට විරුද්ධ ව, ඒ කිසිවක් විද්‍යාත්මක චින්තනයේ ප්‍රායෝගික හා න්‍යායික සඵලත්වය හීන කරන්නේ නැත. ඒ මන් ද යත්, බොහෝ අවස්ථාවල දී, පැහැදිලි ව ම කවුරුන් ද නිවැරදි හා කවුරුන් ද වැරදි යන්න ස්ථාපිත කිරීමේ හැකියාව පවතින නිසා ය. ශ්‍රේෂ්ඨ අයින්ස්ටයින්ට පවා ‘අහෝ මම අත්වැරැද්දක් කලා!’ යි පැවසීමට හැකි විය (ඔහු එසේ කලේ ය). අප විශ්වාසවන්ත භාවය තක්සේරු කරන්නේ නම්, හොඳ ම මූලෝපාය වන්නේ විද්‍යාව යි (211 පිටුව).

ක්වොන්ටම් ගුරුත්වයේ ඉතිහාසය ඉදිරිපත් කරනු ලබන්නේ, විද්‍යාවේ, සංස්කෘතියේ හා දේශපාලනයේ පලල් වර්ධනයක කොටසක් ලෙස යි. ලෝකයේ භෞතික ව්‍යුහය පිලිබඳ අදහසෙහි වර්ධනය, රොවෙල්ලි විමර්ශනය කරන්නේ, තේල්ස්, ඇනැක්සිමැන්ඩර් හා ඩිමොක්‍රිටස් යන පූර්ව-සොක්‍රටීක දාර්ශනිකයන්ගේ සිට භෞතිකවාදී ලතින් කලාකරුවා වූ ලුක්‍රටියස්, නිව්ටන්, අයින්ස්ටයින් සහ ක්වොන්ටම් න්‍යායයේ ආරම්භකයන් දක්වා ය. ලුක්‍රටියස්ගේ වැඩකටයුතු පිලිබඳ එක් ඡේදයක්, රොවෙල්ලිගේ ප්‍රවිෂ්ටය හා ලෝකය පිලිබඳ ඔහුගේ ම චින්තනය ගැන අදහසක් ලබා දෙයි:

යුරෝපීය සමාජයේ ධූරාවලික සංවිධානය පිලිබිඹු කල, විශ්වය පිලිබඳ ධූරාවලික සංවිධානයක පදනම මත, ඩාන්ටේ එතරම් ම පුදුම සහගත ලෙස ගායනා කරන ලද මධ්‍ය-කාලීන විශ්වයන් අර්ථකථනය කරන ලදී.

ලුක්‍රටියස් ගායනා කල ඩිමොක්‍රිටස්ගේ ලෝකය තුල මේ කිසිවක් නැත. දෙවිවරුන් කෙරෙහි බියක් නැත; ලෝකය තුල අවසානයන් හෝ අභිප්‍රායයන් නැත; විශ්වීය ධූරාවලියක් නැත; පෘථිවිය හා දිව්‍ය ලෝකයන් අතර වෙනසක් නැත. ස්වභාව ධර්මය කෙරෙහි ගැඹුරු ආලයක්, එය ඇතුලත නිරාකූල නිමග්න වීමක් ඇත; අප වනාහි එහි ප්‍රගාඪ කොටසක්ය යන හඳුනා ගැනීම පවතී; මිනිසුන්, ගැහැනුන්, සත්ත්වයන්, පැලෑටි හා වලාකුලු යනු ධූරාවලී රහිත පුදුම සහගත සමස්තයක ඓන්ද්‍රීය හුයපටකි; ඩිමොක්‍රිටස්ගේ මෙම සිත්කලු වචනවල ගැඹුරු විශ්වීයවාදය පිලිබඳ හැඟීමක් පවතී: ‘සද්ගුනවත් ආත්මයක සැබෑ රට වන්නේ සමස්ත විශ්වය ම නිසා, ඥානවන්ත මිනිසාට සමස්ත මහපොලව ම විවෘත ය’ (39 පිටුව).

ද්‍රව්‍යමය ලෝකයෙහි සියලු අංශවල අන්තර්ක්‍රියාව, ඒකාග්‍ර වීම හා චලනය ගැන වඩා විශාල අවබෝධයක් මෙම වර්ධනය විසින් අත්පත් කරගත් ආකාරය කෙරෙහි සිත් සසල කරවන ආලෝචනාවන් -නිව්ටන්ගේ සිට මැක්ස්වෙල්ගේ විද්‍යුත් චුම්බකත්ව න්‍යායයන් දක්වා සහ අයින්ස්ටයින් හා ක්වොන්ටම් න්‍යායය දක්වා- නවීන ‍භෞතික විද්‍යාව පිලිබඳ රොවෙල්ලිගේ වෘතාන්තය තුල සම්පාදනය කරයි. අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදී න්‍යායය සම්බන්ධයෙන් ඔහු මෙසේ ලියයි: “අවකාශය තව දුරටත් පදාර්ථයෙන් වෙනස් නො වේ. එය විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රෙය් ‘ද්‍රව්‍යමය’ සංරචකයන්ගෙන් එකකි. එය වනාහි ඉහල පහල යන, උච්ඡාවචනය වන, නැමෙන හා දඟර ගැසෙන යථාර්ථයකි” (82 පිටුව).

ක්වොන්ටම් න්‍යායය එය සමගින් යථාර්ථය පිලිබඳ අපෝහකාත්මක අවබෝධයේ වැඩි දුර වර්ධනයක් රැගෙන ආවේ ය. “ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව විසින් විස්තර කරනු ලබන ලෝකය තුල, භෞතික පද්ධති අතර සම්බන්ධතා මිස වෙනත් යථාර්ථයක් නැත. සබඳතා තුලට දේවල් ඇතුල් වනවා නො ව, දෙය පිලිබඳ මතිය මතට බසින්නේ සබඳතාවන් ය. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ ලෝකය යනු වස්තූන්ගේ ලෝකයක් නො වේ: එය සිද්ධීන්ගේ ලෝකයකි” යි රොවෙල්ලි ලියයි (135 පිටුව). මෙහි දී යමෙකුට මතක් වනු ඇත්තේ (ලුද්විග් ෆොයබාක් හා සම්භාව්‍ය ජර්මානු දර්ශනවාදයේ අවසානය කෘතිය තුල) එන එංගල්ස්ගේ ප්‍රකාශය යි: එනම්, ලෝකය පවතින්නේ “පෙරනිමි දේවල සංකීර්නයක් ලෙස නො ව, ක්‍රියා දාමයන්ගේ සංකීර්නයක් ලෙස යි.”

ක්වොන්ටම් ගුරුත්වයේ සුවිශේෂී ඉතිහාසය සතුව බොහෝ විජයග්‍රහන තිබෙන අතර ම, එම න්‍යායය වර්ධනය කිරීමට ගත් පලමු බැරෑරුම් උත්සාහය සමයේ හටගත්, විවාදයට තුඩු දෙන පරිදි එහි විශාලතම ඛේදය හරහා ද රොවෙල්ලි ඔහුගේ පාඨකයන් ව ගෙන යයි. එයට නායකත්වය දුන්නේ, තරුන සෝවියට් භෞතික විද්‍යාඥ මත්වෙයි බ්‍රොන්ස්ටයින් (මොහු ට්‍රොට්ස්කිගේ ඥාතියෙක් නො වන බව රොවෙල්ලි සටහන් කරයි) විසිනි. සෝවියට් භෞතික විද්‍යාඥ ලෙව් ලැන්ඩෝගේ මිත්‍රයෙක් හා සගයෙක් වූ බ්‍රොන්ස්ටයින් ඇති දැඩි වූයේ, 1917 ඔක්තෝබර් විප්ලවය රුසියානු හා ලෝක සමාජයට සම්පාදනය කල ප්‍රගතිශීලී ආවේගය, සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී පරිහානිය විසින් ඉරා දැමීම ආරම්භ කරමින් තිබෙද්දී ය.

අයින්ස්ටයින් ඔහුගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදී න්‍යායය අවසන් කිරීමෙන් පසුව හා ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවෙහි පදනම සකස් වෙමින් පැවති සමයේ ඇති දැඩි වුනු, භෞතික විද්‍යාඥයන් පරම්පරාවකට බ්‍රොන්ස්ටයින් අයත් විය. ක්වොන්ටම් උච්ඡාවචනයන්, එනම් සියලු උප-පරමානුක අංශුවලට ආවේනික කම්පනය යන්නෙහි අර්ථය වූ, යමෙක්ට විද්‍යුත් ක්ෂේත්‍රයක අභිමතානුකූල කුඩා කොටසක් මැනිය නො හැකි බවට ලැන්ඩෝ ඉදිරිපත් කල තර්කයට, බ්‍රොන්ස්ටයින් සමීප අවධානයක් දුන්නේ ය. ලැන්ඩෝගේ තර්කය වැරදි බව පෙන්නුම් කරන ලද නමුත්, බ්‍රොන්ස්ටයින්ගේ වැඩිදුර න්‍යායික වැඩකටයුතු සඳහා එමගින් පදනම දැමී ය.

ලැන්ඩෝගේ තර්කය විද්‍යුත් ක්ෂේත්‍රයකට භාවිතා කරනු වෙනුවට, බ්‍රොන්ස්ටයින් එය ඊට දශකයකට පෙර අයින්ස්ටයින් විසින් විස්තාරනය කර තිබුනු ගුරුත්වාකර්ෂන ක්ෂේත්‍රයන්ට ව්‍යවහාර කලේ ය. මෙහි දී ලැන්ඩෝ නිවැරදි විය- ගුරුත්වාකර්ෂන ක්ෂේත්‍රයක ආන්තික ව කුඩා කොටසක් විස්තර කිරීම, ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවට කල නො හැකි විය. යමෙක් වඩ වඩා කුඩා වන අවකාශ කලාපයක අංශුවක් ස්ථානගත කල හොත්, එම අංශුව අඩංගු වන අවකාශ කලාපය කුඩා වන විට වැඩි වන ප්‍රවේගයකින් යුතුව එක්තරා ලක්ෂ්‍යයකින් වියෝ වන බව ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව පෙන්වා දෙයි. එහෙත්, ඉහල ප්‍රවේගයක අර්ථය වන්නේ ඉහල ශක්තිය වන අතර, ඉහල ශක්තිය අවකාශය වක්‍ර කරන බව අයින්ස්ටයින් පෙන්වා දුනි. අවසානයේ, ඔබ ඇති තරම් අවකාශය වක්‍ර කරන්නේ නම්, එය කලු කුහරයක් බවට බිඳ වැටෙන අතර, යමෙක්ට තව දුරටත් එම අවකාශ කලාපය මිනිය නො හැකි ය. මෙම තර්කය යොදාගනිමින් බ්‍රොන්ස්ටයින් පෙන්වා දුන්නේ, මූලික මට්ටමක දී, ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව සහ සාමාන්‍ය සාපේක්ෂතාවාදය පරස්පර-විරෝධී වන එක් මාවතකි.

එහෙත්, මෙම කටයුතු කෙටි විය. ස්ටැලින්වාදී ප්‍රතිවිප්ලවයේ වැඩි දුර විමර්ශනයට යෝග්‍ය විපාකවලින් එක් හේතුවක් දක්වමින් රොවෙල්ලි මෙසේ සටහන් කරයි:

මත්වෙයි හා ලෙව් අවංක කොමියුනිස්ට්වාදීන් ය. අසාධාරනයෙන් හා අප තවමත් ලොව පුරා ක්‍රමානුකූල ව වැඩීම දැකගන්නා යෝධ අසමානතාවන්ගෙන් තොර, අව්‍යාජ ලෙස යහපත් සමාජයක් ගොඩනැගීම හා මානව වර්ගයාගේ විමුක්තිය ලෙස ඔවුහු විප්ලවය කෙරෙහි විශ්වාස කරති. ඔවුහු ලෙනින්ගේ උද්‍යෝගී අනුගාමිකයෝ ය. ස්ටැලින් බලය ලබාගනිද්දී, ඔවුන් දෙදෙනා ම වික්ෂිප්තියට පත් ව, ඉන්පසු විවේචනාත්මක වී, ඉන්පසු හතුරු විය. ඔවුහු මඳ වසයෙන් එහෙත් විවෘත ව විවේචනාත්මක ලිපි ලියති. මෙය ඔවුන්ට අවශ්‍ය කල කොමියුනිස්ට්වාදය නො වී ය.

එහෙත් මේවා දුෂ්කර කාලයන් ය. පහසුවෙන් නො වෙතත් එම කාලයන් හරහා ගමන් කල ලැන්ඩෝ තව දුරටත් නො නැසී සිටියේ ය. රැඩිකල් ආකාරයකින් අවකාශය හා කාලය පිලිබඳ අපේ අදහස් වෙනස් විය යුතු බව අවබෝධ කරගත් පලමුවැනියා වීමෙන් වසරකට පසුව, ස්ටැලින්ගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා මත්වෙයිට මරන දඬුවම නියම කලේ ය. ඔහු ව ඝාතනය කිරීම සිදුවන්නේ ඔහුගේ නඩුව පැවති 1938 පෙබරවාරි 18දා ය. ඔහු තිස්හැවිරිදි වියේ පසු වෙයි (154 පිටුව).

ස්ටැලින්වාදී විරේක කිරීම්වල කොටසක් ලෙස, ඔහුගේ ජීවිතය ඛේදනීය ලෙස කෙටි නො කරන ලද්දේ නම්, ඔහුගේ මුල් කාලීන ආලෝචනාවන් වඩා පරිපූර්න ලෙස සකස් කිරීමට බ්‍රොන්ස්ටයින් සමත් වූයේ නම් කුමක් සිදු වනු ඇද්දැයි, අපට කිසිදා දැනගත නො හැක.

එතැන් පටන්, 20වන ශතවර්ෂයේ සෑම න්‍යායික භෞතික විද්‍යාඥයෙක් ම පාහේ, එක් හෝ තවත් ආකාරයකින්, ක්වොන්ටම් ගුරුත්වය සඳහා පර්යේෂනයට ප්‍රතිපදානය කල හ. වඩාත් සිත්ගන්නාසුලු අසමත්වීම්වලින් එකක් වූයේ, රිචඩ් ෆින්මාන් ෆෝටෝන හා ඉලෙක්ට්‍රෝන විග්‍රහ කිරීමට යොදාගත් ශිල්ප ක්‍රමයන් ගුරුත්වාකර්ෂන ක්ෂේත්‍රයන්ට යොදා ගැනීමට උත්හාහ කල අවස්ථාව යි. එහෙත්, ෆෝටෝන හා ඉලෙක්ට්‍රෝන යනු අවකාශ-කාලය තුල පවතින පදාර්ථයේ මූලික ඒකකයන් -ක්වොන්ටාවන්- ය. ෆින්මාන්ගේ ප්‍රයත්න, ධෛර්යය සම්පන්න වූ අතර ම, ඉතා හොඳින් පැහැදිලි කලේ, ක්වොන්ටම් ගුරුත්ව න්‍යායයක් වෙනස් හා වඩා අසීරු ගැටලුවක් වන, අවකාශ-කාලයේ ක්වොන්ටාව විස්තර කල යුතු බව යි.

න්‍යායය මේ දක්වා දුරවබෝධී බව සනාථ කිරීමට පවතින බොහෝ හේතුවලින් එකක් වන්නේ, ක්වොන්ටම් ගුරුත්වය අත්හදා බලන පරීක්ෂනවලට, පෘථිවිය මත හමුවන ඒවාට වඩා ආන්තික තත්ත්වයන් අවශ්‍ය වීම යි. ක්වොන්ටම් පරිමානයේ දී කලු කුහරයක් නිර්මානය කිරීමට තරම් කුඩා ලක්ෂ්‍යයකට ඇති තරම් ශක්තිය නාභිගත කිරීමට, කවරෙක් හෝ කිසිදාක සමත් වී නැත -ලෝකයේ වඩාත් ම බලගතු අංශු ත්වරකය වන ලාජ් හැඩ්රන් කොලීඩර් (විශාල හැඩ්රන් ඝට්ටකය -එල්එච්සී) මත වත් එවැනි සිද්ධීන් හසු කරගනු ලැබ නැති අතර, එල්එච්සීයේ දී ජනනය කරනු ලබන ශක්තීන්ටත් වඩා විශාල ශක්තීන්හි පවතින, ඉහල වායුගෝලයේ නිරන්තරයෙන් හටගන්නා අන්තරීක්ෂ රේඛා ගැටුම් තුල ද ඒවා හසු කරගනු ලැබ නැත. එවන් ඍජු අත්හදා බැලීමේ පරීක්ෂන තවමත් පවතින්නේ, මානව වර්ගයාගේ තාක්ෂනික ධාරිතාවන්ගෙන් ඔබ්බේ ය.

එහෙත්, අනෙක් පරීක්ෂන, තන්තු න්‍යායය හා ව්‍යාවර්ථීය ක්වොන්ටම් ගුරුත්වය ඇතුලු ක්වොන්ටම් ගුරුත්වය පිලිබඳ විවිධ න්‍යායයන්ගේ වලංගු භාවයට සමහර සීමා පනවයි. රොවෙල්ලි විස්තර කරන ආකාරයට, මෑත කාලය තුල, න්‍යායික භෞතික විද්‍යාවේ ප්‍රධාන ප්‍රතිඵල තුනක් පැවතී ඇත: එල්එච්සීය විසින් හිග්ස් බොසෝන සොයා ගැනීම, ප්ලාන්ක් චන්ද්‍රිකාව විසින් අන්තරීක්ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරනය විශ්ලේෂනය කිරීම සහ ලිගෝ නිරීක්ෂනාගාරය විසින් ගුරුත්වාකර්ෂන තරංග ඍජු ව හසු කරගැනීම ඒවා ය. මේ පරීක්ෂන තුනෙහි ම වඩාත් ම සිත්ගන්නාසුලු ප්‍රතිඵලය වන්නේ, ඒවායේ ඕනෑ ම ප්‍රතිඵලයන් පිලිබඳ ව සුවිශේෂී ලෙස පුදුම වීමට කිසිවක් නො තිබුනු බව යි.

මෙහි අර්ථය, ඒවා මානව ශිල්ප ක්‍රමයේ යෝධ ජයග්‍රහන නො වේය යන්න නො වේ. නිරපේක්ෂ ව ම ඒවා එවන් ජයග්‍රහනයන් ය- ඒ සෑම පරීක්ෂනකට ම ඩොලර් බිලියන ගනනක් අවශ්‍ය වූ අතර, ග්‍රහලෝකය පුරා වඩාත් ම බුද්ධිමත් මිනිසුන් දහස් ගනනක් දශක ගනනාවක් තිස්සේ ඒ සඳහා වැඩ කල හ. න්‍යායික භෞතික විද්‍යාවේ ආස්ථානයෙන් ගත් කල, සෑම ප්‍රතිඵලයක් ම පවතින න්‍යායයන් විසින් පුරෝකථනය කරනු ලැබී ය. සුපිරි-සමමිතිය හෝ සාමාන්‍ය සාපේක්ෂතාවාදයට විකල්පයන් වැනි වඩා අප්‍රකට න්‍යායයන් සමහරකට සාක්ෂි නැත. රොවෙල්ලිට අනුව: “සාමාන්‍ය සාපේක්ෂතාවාදය, ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව සහ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව ඇතුලත (අංශුක භෞතික විද්‍යාවේ) සම්මත මොඩලය” යනු ස්වභාව ධර්මය විස්තර කරන නිවැරදි න්‍යායයන් ය (215 පිටුව).

මෙම ප්‍රතිඵල තන්තු න්‍යායඥයින් හා අනෙකුත් අය දෙගිඩියාවට පත්කර ඇති අතර ම, ඒවා ව්‍යාවර්ථීය ක්වොන්ටම් ගුරුත්වය වෙත හෝඩුවාවක් සම්පාදනය කරයි. මේ සඳහා හේතුව ලෙස රොවෙල්ලි සඳහන් කරන්නේ, පසුව සඳහන් කල න්‍යායය අභිමත උපන්‍යාසයකින් ආරම්භ කිරීමට උත්සාහ කරනු වෙනුවට දැනට ම දන්නා භෞතික විද්‍යාව යොදා ගන්නා නිසා, නවීන පර්යේෂන මගින් බොහෝ විට නිෂ්ප්‍රභ කල නො හැකි වීම යි.

අපගේ කැමැත්ත පරිදි තිබෙන අන්වේෂයන් තුලින් අපි අනුප්‍රානය සොයා යන්නේ නැති නම්, ලෝකය තැනෙන්නේ කෙසේදැයි ‘උපකල්පනය’ කිරීමට නො හැකි තරමට අපගේ මනකල්පිතය සීමා වේ. අපට තිබෙන අන්වේෂයන්, අපේ හෝඩුවාවන් වනාහි සාර්ථක බවට පත් වී ඇති න්‍යායයන් හෝ නව පරීක්ෂනාත්මක දත්ත මිස වෙන කිසිවක් නො වේ. තවමත් උපකල්පනය කිරීමට අප අසමත් ව ඇති දේ සොයා ගැනීමට අප උත්සාහ කල යුත්තේ, මෙම දත්ත හා මෙම න්‍යායයන් තුල යි. ...රැඩිකල් සංකල්පීය ප්‍රතිඵල, අවකාශයේ ක්වොන්ටාව ... කැපී පෙනෙන උපන්‍යාසයන් නො වේ: ඒවා වනාහි, අපේ හොඳ ම න්‍යායයන්ගේ මූලික ආලෝචනාවන් බැරෑරුම් ලෙස ගැනීමෙන් නිගමනය වන තාර්කික ප්‍රතිඵලයන් ය (216-217 පිටු).

සත්‍ය වසයෙන් ම, න්‍යායික භෞතික විද්‍යාව වන මෙහි, “තාර්කික ප්‍රතිඵලවලට” පවා මනස දෙගිඩියාවට පත්කල හැකි ය. සමගාමීත්වය වැනි සංකල්පයන් නිරපේක්ෂ නො වන බව පෙන්නුම් කල, අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතා න්‍යායයෙන් ඒ වන විටත් සුවිශේෂී ප්‍රහාරයක් එල්ල වූ, කාලය යනු දේවල්වල ලෝකයේ සමරූපී පසුතලයක් වන නියතයක් ලෙස අතුරුදන් වීම, ව්‍යාවර්ථීය ක්වොන්ටම් ගුරුත්වයෙහි යෝජනාවන්ගෙන් වඩාත් ම ආගන්තුක එක යි.

හේතුව සහ ඵලයට එරෙහි ව රොවෙල්ලි තර්ක නො කරයි. ඒ වෙනුවට ඔහු තර්ක කරන්නේ, කාලය එහි ස්වභාවයෙන් ම, ලුක්‍රටියස් සඳහන් කල පරිදි, “දේවල්වල චලනය” සඳහා වන ස්ථානීය ධාරකයක් බව යි. ගැලීලියෝ පිලිබඳ පුරාවෘත්තයක් මෙම කරුන ප්‍රදර්ශනය කරයි. අවලම්බය පැද්දෙන විට, පර්යේෂකයා නිරීක්ෂනය කලේ, විස්තාරයෙන් ස්වාධීන ව සියලු දෝලනයන්ට එක ම කාලාවර්ථය තිබෙන බව යි. මෙය තහවුරු කරනුවස්, මෙම දෝලනයන් යලි යලිත් මැනීමට ගැලීලියෝට අවශ්‍ය විය. ඔහුගේ සමයේ ඔරලෝසු නො තිබුනු නිසා, ඔහු ඔහුගේ කම්පන ඒ සඳහා යොදාගෙන, දෝලන කාලාවර්ථය සමාන බව ස්ථීර වසයෙන් ම සොයාගත්තේ ය.

එහෙත්, රොවෙල්ලි විමසන පරිදි “ඔහුගේ ම පුද්ගලික කම්පන ස්පන්දන සියල්ලට එක ම කාල ප්‍රමානයක් පැවතුන බව ගැලීලියෝට දැනගත හැකි වූයේ කෙ‍සේද?” එක්කෝ කම්පන ස්පන්දන අවලම්බ පැද්දීම්වල මිනුමක් ද, නැතහොත් අවලම්බ පැද්දීම් කම්පන ස්පන්දනවල මිනුමක් ද? තව ද, නිව්ටන් කලාක් මෙන්, චලනය සඳහා වන ස්ථානීය ධාරකයක් ලෙස කාලයේ සංකල්පය භාවිතා කිරීම ප්‍රයෝජනවත් වන අතර ම, සැබෑ සිද්ධීන් සිදුවන්නේ එකිනෙකාට සම්බන්ධ ව මිස කාලයට සම්බන්ධ ව නො වේ. “වෙනත් වචනවලින් කියන්නේ නම්, විචල්‍ය කාලයේ පැවැත්ම ප්‍රයෝජනවත් උපකල්පනයක් මිස නිරීක්ෂනයක ප්‍රතිඵලය නො වේ” (180 පිටුව).

ආරම්භක භෞතික විද්‍යාව හදාරා, සිද්ධීන් දිගහැරෙන ධාරාව ලෙස කාලය භාවිතා කරන සියලු සමීකරන දැකගෙන ඇති ඕනෑ ම අයෙකුට එකඟ නො වන පෙනී යා හැකි නමුත්, ව්‍යාවර්ථීය ක්වොන්ටම් ගුරුත්වය පිලිබඳ පර්යේෂනයන්ගේ මුල් ප්‍රතිඵලවලින් එකක් වන්නේ, කාලය සත්‍ය වසයෙන් ම සමීකරනවලින් අතුරුදන් වන බව යි. මෙහි අර්ථය වන්නේ පදාර්ථය නිශ්චල බවට පැමිනෙන බව නො වේ. ඊට විපරීත ව, එය වනාහි ලෝකය නමැති එකිනෙකට වෙනස් භෞතික ක්‍රියා දාමයන්ගේ නියත අන්තර්ක්‍රියාව වන අතර, ලෝකය සකස් කරනු ලබන්නේ එම අන්තර්ක්‍රියාවන් විසිනි. තත්පරයකට අවලම්බය කීවරක් පැද්දේදැයි විමසනු වෙනුවට, අයෙක් විමසන්නේ හෘද ස්පන්දන වාරයකට අවලම්බය කීවරක් පැද්දේ ද යන්න යි.

න්‍යායික ව පරීක්ෂා කල නො හැකි ව්‍යාවර්ථීය ක්වොන්ටම් ගුරුත්වයෙහි තවත් ප්‍රතිඵලයක් වන්නේ, අවසානයේ දී කලු කුහර අස්ථාවර වී, වසර බිලියන කිහිපයකට පසු පුපුරා යන බව යි. එයට හේතුව, කලු කුහරවලට, අනන්තය දක්වා අපූර්වතාවක් තුලට පදාර්ථය උකහාගත නො හැකි වීම යි. අවම පරිමාවක් පවතින බව ව්‍යාවර්ථීය ක්වොන්ටම් ගුරුත්ව න්‍යායය පවසන අතර, එම නිසා, එම පරිමාවට වඩා අඩු ඒකකයක් තුලට පදාර්ථය උකහාගනු ලැබිය නො හැක. මෙහි ප්‍රතිඵලයක් ලෙස, උකහාගත හැකි තරමට පදාර්ථය ඇද ගනු ලබද්දී, යෝධ පීඩනයක් ගොඩනැගේ. කලු කුහරයක සුවිශාල ගුරුත්වය පවා ඉක්මවා යාමට, කාලය ගතවීමේ දී මෙම පීඩනය ප්‍රමානවත් බව උපකල්පනය කරනු ලැබේ.

“කලු කුහරවල මෙම පිපිරීම් දැකගැනීම න්‍යායයේ ආනන්ද ජනක තහවුරු කිරීමක් වනු ඇත” යි රොවෙල්ලි ලියයි. අප සිටින්නේ විශ්වීය පරිනාමයේ කවර අවදියකදැයි කියතොත් එවන් ප්‍රපංචයක් පවා දැකගැනීමේ හැකියාව අපට තිබේ. දුරස්ථ සහ වයස්ගත තරු පිලිබඳ නිරීක්ෂන වඩා නිශ්චිත බවට පත් කරනු ලබන තතු තුල, වයස්ගත කලු කුහර කෙසේ වනු ඇද්දැයි අපට වඩා හොඳ අවබෝධයක් තිබේ. ඒ අතර ම, පිපිරෙන මූලාවස්ථික කලු කුහරවල සංඥාව විය හැකි ‘වේගවත් ගුවන් විදුලි පිපිරීම්’ නමින් හඳුන්වනු ලබන දෙය, තාරකා විද්‍යාඥයින් විසින් දැනට මත් හසු කරගෙන ඇත. වඩා සංයුක්ත දෙයක් කිය හැකි වීමට තවත් දත්ත අවශ්‍ය ය. “අපි බලාපොරොත්තු සහගත ව සිටිමු” (228-229 පිටු)

යථාර්ථය යනු පෙනෙන දෙය නො වේ කෘතිය පිලිබඳ ව තවත් බොහෝ දේ කීමට හැක. 20වන ශතවර්ෂය තුල ක්වොන්ටම් ගුරුත්වයේ චාරිකාව ප්‍රබෝධමත් හා බලාපොරොත්තු සහගත එකකි. එහෙත්, භෞතික විද්‍යාව යනු නිමි භාන්ඩයක් නො වන බව රොවෙල්ලි යලි යලිත් අවධාරනය කරයි. එය නවතම සොයාගැනීම් රුවා ගනිමින්, ඒවා හරහා පදාර්ථයේ චලනය පාලනය කරන වඩාත් මූලික නීති සොයාගත යුතු ය. සොයා ගනු ලැබ තිබෙන්නේ “නිරන්තරයෙන් කියන පරිදි වැරදි භෞතික විද්‍යාව නො වේ. එය යථාර්ථය කරා ආසන්න වීමකි.” (42 පිටුව).

හුදෙක් භෞතික විද්‍යාවේ පරිනාමය පිලිබඳ ආහ්ලාද ජනක වෘතාන්තයක් පමනක් නො වන රොවෙල්ලිගේ කෘතිය, විද්‍යාවේ යෝධ හැකියාවන් සහ මානව වර්ගයා මුහුන දෙන ආන්තික අන්තරායන් පිලිබඳ කතුවරයාගේ අවබෝධය විසින් පැහැදිල ව ඔප්නංවා අභිප්‍රේරනය කරනු ලබයි. ඔහු මෙසේ ලියයි:

අද වන විට ...ක්ෂනික ව ග්‍රහලෝකය මත වාසය කරනු ඇති මානවයන් දස බිලියනයක නිවාසවලට ආලෝකය ගෙන ඒමට සමත් උපකරන අප සතුව ඇත. අවකාශයේ අනෙකුත් තාරකාවන් කරා අපට සංචාරය කල හැක. එසේ නැතහොත් එකිනෙකා විනාශ කරගෙන ග්‍රහලෝකය ව්‍යසනයට පත් කල හැක. එය රඳා පවතින්නේ, අප වෙනුවෙන් තීන්දු ගැනීමට අප විසින් කැඳවුම් කරන්නේ කවර නායකයන් ද යන්න මත යි (75 පිටුව).

නවීන විද්‍යාවේ අත්‍යසාමාන්‍ය අලංකාරත්වය හා අපේක්ෂාව, එම බලාපොරොත්තුව යථාවත් කල හැකි සමාජයක් සඳහා සටන් කිරීමට යමෙක්ට පවතින අභිප්‍රේරනය ඉහල දමයි.

Loading