ඉදිරිදර්ශන

පන්ති අරගලයේ වැඩෙන රල නැග්මට පාලක පන්තිය මුහුන දෙද්දී, එක්සත් ජනපද රැකියා සංහාරය වේගවත් වේ

[මෙය, US jobs massacre accelerates, as ruling class confronts growing upsurge of class struggle මැයෙන්, 2023 අප්‍රේල් 28 දා ලෝසවෙඅ හි පලවූ ලිපියේ පරිවර්තනයකි.]

නිව් යෝර්ක් හි ක්වීන්ස් බොරෝ හි කොරෝනා අසල්වැසි ප්‍රදේශයේ COVID-19 වසංගතය අතරතුර ආරක්ෂිත වෙස් මුහුනු පැලඳ සිටින පදිකයින් ආහාර පරිත්‍යාග සඳහා පෝලිමේ රැඳී සිටිති. [AP ඡායාරූපය/ජෝන් මින්චිලෝ] [AP Photo/John Minchillo]

ඉහල වැටුප් සඳහා කම්කරු පන්තිය තුල වැඩෙන ව්‍යාපාරයක් මැඩපැවැත්වීමට සංගත සහ මූල්‍ය කතිපයාධිකාරය දරන උත්සාහයන් තීව්‍ර කරන තතු තුල, එක්සත් ජනපදය තුල සිදුවෙමින් පවතින රැකියා සංහාරය පසුගිය සතිය පුරා වේගවත් විය. බ්‍රහස්පතින්දා පමනක් තවත් දහස් ගනන් සුවිසල් දොට්ට දැමීම් නිවේදනය කෙරුනි:

* ගැප් (Gap), ඇඟලුම් සිල්ලර වෙලෙන්දා, තම සමාගමේ මූලස්ථාන කාර්ය මන්ඩලය සහ කලාපීය නායකත්ව කාර්යන් ඉටු කරන සේවකයින් ඉලක්ක කර ගනිමින් සේවකයින් 1,800 ක් දොට්ට දමන බව වාර්තා කලේය. තාවකාලික ප්‍රධාන විධායක නිලධාරී බොබ් මාටින් ප්‍රකාශ කලේ සමාගමට වසරකට ඩොලර් මිලියන 300ක් ඉතිරි කර ගැනීම මෙම සමූහ නෙරපා හැරීමේ අරමුන බවයි. සමාගම සතු, ගැප්, ඔල්ඩ් නේවි, බනානා රිපබ්ලික්, සහ ඇත්ලීටා (Gap, Old Navy, Banana Republic සහ Athleta) ඇතුලු වෙලඳනාමයන්ගේ “භාවිතා නොකල ශක්‍යතාව” මුදා හරින බව ද ඔහු ප්‍රකාශ කලේය.

* ලිෆ්ට් (Lyft) ප්‍රවාහන සමාගම (ඌබර් සහ පික්-මී වැනි ආයතනයක්-පරිවර්තක), එහි ශ්‍රම බලකායෙන් හතරෙන් පංගුවකට වඩා, එනම් රැකියා 1,072ක් කපා හරිමින් සිටින බවත් රැකියා අවස්ථා 250ක් ඉවත් කරන බවත් ප්‍රකාශ කලේය. මීට අමතරව, සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිෂර් ඉතිරි සේවකයින්ට පැවසුවේ සමාගමේ නම්‍යශීලී දුරස්ථ වැඩ ප්‍රතිපත්තිය (නිවසේ සිට වැඩ කිරිම-පරිවර්තක) අවසන් කරමින් සතියකට අවම වශයෙන් දින තුනක්වත් කාර්යාල වෙත පැමිනිය යුතු බවයි.

* ලිපිගොනු සත්කාරක සේවාවක් වන ඩ්‍රොප් බොක්ස් (Dropbox) පැවසුවේ එය සේවකයින් 500 ක් හෝ එහි කාර්ය මන්ඩලයෙන් සියයට 16 ක් දොට්ට දමන බවයි.

මෙම නිවේදන එක්සත් ජනපදයේ දිග හැරෙන රැකියා ලේ වැගිරීමක නවතම ඒවා විය. දස දහස් ගනනක් සේවකයන් දොට්ට දැමීම් මෑත සතිවල හෙලිදරව් වී හෝ ක්‍රියාත්මක වී ඇත. ඇමසෝන් (9,000), ෆේස්බුක් හි මුල් ආයතනය වන මෙටා (10,000, මීට පෙර ප්‍රකාශයට පත් කරන ලද 11,000 ට අමතරව), ඩිස්නි (7,000), 3M (6,000), වෝල්මාර්ට් හි මාර්ගගත සපුරාලීමේ මධ්‍යස්ථාන (2,000), විදුලි වාහන නිපැයුම් ක්ෂේත්‍රයට අලුතෙන් පිවිසුනු ලුසිඩ් (1,300) සහ රිවියන් (840). ලොව සිව්වන විශාලතම වාහන නිෂ්පාදකයා වන ස්ටෙලන්ටිස්, වෙනත් සමාගම් මිලදී ගැනීම් වලදී සහ කලින් විශ්‍රාම ගැනීම දිරිගැන්වීම් හරහා, වැඩ කරන පැය ගනන අනුව වැටුප් ලබන රැකියා 3,500ක් කප්පාදු කිරීමට ඉලක්ක කර ඇති බව ද මේ සතියේ අනාවරනය විය.

රැකියා වලින් දොට්ට වැටෙන කම්කරුවන්ට නව රැකියා සොයාදීමේ ආයතනයක් වන, චැලෙන්ජර්, ග්‍රේ ඇන්ඩ් ක්‍රිස්මස් සමාගම විසින් අප්‍රේල් මස මුලදී නිකුත් කරන ලද වාර්තාවකට අනුව, වසරේ මුල් මාස තුන සඳහා රැකියා කප්පාදුව 270,416 ක් වූ අතර එය 2022 එම කාලයට වඩා හතර ගුනයකින් වැඩි ය. එතැන් සිට මෙම අගය සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බවට සැකයක් නැත.

මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට මෙහි ප්‍රතිවිපාක විනාශකාරී වනු ඇත. එයින් අදහස් කරන්නේ වඩා වැඩි හාමත සහ නිවාස නොමැතිකම, මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සහ දරිද්‍රතාවයේ ආන්තික ආතතිය නිසා ඇති වන ඉක්මන් මරන වලට ඔවුන් මුහුනදෙනු ඇති බවයි.

කෙසේ වෙතත්, පාලක පන්තිය පැත්තෙන් ගත්කල, රැකියා මත මෙම ම්ලේච්ඡ ප්‍රහාරයන් කම්කරු පන්තියට එරෙහි වඩා විශාල ප්‍රහාරයක ආරම්භක ඔල්වර හඬ වෙයි.

සිකුරාදා, ප්‍රධාන මාධ්‍ය ආයතන, කම්කරු දෙපාර්තමේන්තුවේ නවතම වැටුප් දත්ත පිලිබඳ ප්‍රමුඛ වාර්තා පලකල අතර, “ඉහල නංවන ලද” සහ “වේගවත්” වැටුප් වර්ධනය, දීර්ඝ කාලයක් පුරා ඉහල පොලී අනුපාත පවත්වා ගැනීම සඳහා එක්සත් ජනපද ෆෙඩරල් රිසර්ව් (මධ්‍යම බැංකුව) මත පීඩනය වැඩි කරන බව ප්‍රකාශ කලෝය.

“ආර්ථිකයේ දුෂ්කර ගමන්මග පිලිබිඹු කරමින්, වැටුප් සහ මිල ගනන් අසමාකාරව මන්දගාමී වෙයි” යන හිසින් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පලවූ දර්ශීය ලිපියක්, කම්කරු දෙපාර්තමේන්තුවේ දත්ත උපුටා දක්වමින්, පෙර වසරට සාපේක්ෂව මාර්තු මාසයේදී පුද්ගලික අංශයේ කම්කරුවන් සඳහා වන්දි ගෙවීමේ සියයට 5.1 ක වැඩිවීමක් සිදුව ඇතිබව පෙන්නුම් කරයි. ටයිම්ස් මෙසේ ප්‍රකාශ කලේය: “වේගවත් වැටුප් ප්‍රතිලාභ, කම්කරුවන්ට, විශේෂයෙන්ම ඉපැයීම් ඉනිමඟේ පතුලේ සිටින අයට, වේගයෙන් ඉහල යන මිල ගනන් සමඟ ඉදිරියට යාමට උපකාර කර ඇත.”

කෙසේ වෙතත්, ටයිම්ස් සහ අනෙකුත් මාධ්‍ය වාර්තා නොකල දෙය නම්, සාපේක්ෂ වශයෙන් ඉහල වූ මෙම වැටුප් වැඩිවීම් උද්ධමනය විසින් කා දමා ඇති බවයි. එය ටයිම්ස් පැත්තෙන් හිතාමතාම මගහැරීමකි. ඇත්ත වශයෙන්ම, සිකුරාදා එම කම්කරු දෙපාර්තමේන්තු වාර්තාව පෙන්නුම් කලේ පුද්ගලික අංශයේ වන්දිය වසරින් වසර ස්ථාවර (එනම් උද්ධමනය-ගැලපුම්) ඩොලර් වලින් සියයට 0.2 කින් පහත වැටී ඇති බවයි. අප්‍රේල් මස මුලදී කම්කරු දෙපාර්තමේන්තුව වාර්තා කලේ මාර්තු මාසයේ සැබෑ සාමාන්‍ය පැයක ඉපැයීම් පෙර වසරට වඩා සියයට 1.6කින් පහත වැටී ඇති බවයි.

කෙසේ වෙතත්, ටයිම්ස් මෙන්ම, වෝල් ස්ට්‍රීට් ජර්නල් සහ වොෂින්ටන් පෝස්ට් හි ඒ හා සමාන ලිපි තුලින්, ෆෙඩරල් මහ බැංකුව ඉදිරියට ගෙනයන මුල්‍ය දෘඪකරනය යුක්ති සහගත කිරීම සහ උද්ධමනයේ මූලාශ්‍රය වැටුප් ඉහල නැංවීම වෙතැයි යන ව්‍යාජ ප්‍රබන්ධය දිගට ම තොරොම්බල් කිරීම එමගින් නතර කෙරුනේ නැත. 'වැටුප් දත්ත පිලිබඳව ෆෙඩරල් නිලධාරීන්ගේ විශේෂ අවධානයක් යොමුවී ඇත. ශ්‍රම වෙලඳපොල තුල පවත්නා රැකියා අවස්ථාවන්, ඒවා පිරවීමට සිටින කම්කරුවන් සංඛ්‍යාවට වඩා බොහෝ වැඩියැයි ද, පවත්වාගෙන යා නොහැකි රේට්ටුවකින් වැටුප් ඉහල නැංවීමට එමගින් තල්ලුව සපයා උද්ධමනය තවතවත් ඉහල නංවන බව ද ඔවුහු විශ්වාස කරති' යනුවෙන් ටයිම්ස් ලිවීය.

එහෙත් උද්ධමනයේ මූලික ධාවකය වනුයේ වැටුප් වැඩිකිරීම් නොව ලාභ ඉපයීම බව ටයිම්ස් හොඳින් දනී. සිකුරාදා තවත් ලිපියක, “ඉහල ආහාර මිල විශාල ලාභයක් ගෙන එයි, නමුත් පාරිභෝගිකයින් ප්‍රතිරෝධය දැක්වීමට පටන් ගනී” යනුවෙන් ටයිම්ස් වාර්තා කලේ යෝධ ආහාර සමූහ ව්‍යාපාරිකයන් මිල තියුනු ලෙස ඉහල නංවා ඉහල ලාභයක් ලබා ගත් ආකාරයයි. පෙප්සිකෝ සමාගම මිල සියයට 16 කින් ඉහල දැමූ අතර පසුගිය කාර්තුවේ ලාභයේ සියයට 18 ක වැඩිවීමක් දක්නට ලැබිනි. නෙස්ලේ සමාගම සිය ආදායම සියයට 5.6කින් ඩොලර් බිලියන 26.48 දක්වා වර්ධනය කරමින් මිල සියයට 9.8කින් ඉහල නැංවීය. කොකාකෝලා ද සිය ලාභය ඩොලර් බිලියන 3.1 දක්වා ඉහල නංවමින් මිල ඉහල නැංවූ අතර එය සියයට 12 කින් ඉහල ගියේය.

ආහාර කර්මාන්තයෙන් ඔබ්බට, එක්සන්මොබිල් සහ චේරෝන්, ඇමසෝන් සහ කැටපිලර් ඇතුලු ප්‍රධාන සමාගම්, විශ්ලේෂකයන්ගේ ඇස්තමේන්තු අභිබවා යමින් මේ සතියේ ඉපැයීම් වාර්තා නිකුත් කලේය

එක්සත් ජනපදයේ කම්කරුවන්ගේ රැකියා සහ ජීවන තත්වයන්ට එල්ල කෙරෙන ප්‍රහාර ජාත්‍යන්තර ක්‍රියාවලියක කොටසකි. සිකුරාදා ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ටර් ඕල්ජමේන් සෙයිටුන්ග් (Frankfurter Allgemeine Zeitung) සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ස්ටෙලැන්ටිස් ප්‍රධාන විධායක නිලධාරී කාලොස් ටැවරස් (Carlos Tavares) ප්‍රකාශ කලේ වැඩි “කාර්යක්ෂමතාව” සහ පිරිවැය කප්පාදුව සඳහා වන ඉල්ලීම් පිලිගන්නේ නැතිනම් යුරෝපය පුරා මෝටර් රථ කම්කරුවන්ගේ රැකියා තර්ජනයට ලක්ව ඇති බවයි.

“අද මේ ලෝකයේ ආරක්ෂිත දෙයක් ඔබට කියන්න පුලුවන්ද? මගේ දෘෂ්ටි කෝනයෙන්, සමස්ත යුරෝපීය මෝටර් රථ කර්මාන්තය මේ වන විට අවදානමට ලක්ව ඇත,” ටැවරස් පැවසීය. 'අපට ඊටත් වඩා අවධානයක් අවශ්‍ය වන අතර අප අප ගැනම දැඩි විය යුතුය, අපෙන් ඊටත් වඩා වැඩි යමක් ඉල්ලා සිටිය යුතුය.'

කම්කරුවන්ට එරෙහිව වැඩ කිරීමට බලය සහ “දැඩි බව” ඉල්ලා රටින් රටකට පියාසර කරන ටැවරස්ට 2022 දී ඩොලර් මිලියන 25 කට ආසන්න වැටුප් පැකේජයක් තිබුනි, එය පෙර වසරට වඩා සියයට 22 ක වැඩිවීමකි.

ධනේශ්වර පාලක පන්තියේ යටි අරමුනු සහ ප්‍රතිපත්ති වඩ වඩාත් විවෘතව ප්‍රකාශ කෙරෙමින් පවතී. ලොව පුරා ධනේශ්වරය, අරගලයේ නැගී එන රැල්ලකින් වටලනු ලැබ භීතියට පත්ව සිටිති. ප්‍රන්සය, එක්සත් රාජධානිය සහ අනෙකුත් යුරෝපීය රටවල් ද ඇතුලුව උද්ධමනයේ බලපෑමට හා වැටුප් ඛාදනයට එරෙහිව මිලියන ගනනක් කම්කරුවන්ගේ වැඩ වර්ජන සිදුවී ඇත. ශ්‍රී ලංකාව තුල ආන්ඩු විරෝධී මහජන විරෝධතා අඛන්ඩව සිදුවෙමින් පවතින අතර, කැනඩාවේ සිවිල් සේවා කම්කරුවන් 100,000කට අධික පිරිසක් වැඩවර්ජනයක නිරතව සිටිති. එක්සත් ජනපදයේ සහ කැනඩාවේ, ෆෝඩ්, ජීඑම් සහ ස්ටෙලැන්ටිස් හි 160,000කට වැඩි මෝටර් රථ කම්කරුවන් අතර විරුද්ධත්වය ගොඩනැගෙමින් පවතින අතර, ඔවුන්ගේ කොන්ත්‍රාත් සැප්තැම්බර් මැද භාගයේදී අවසන් වේ.

ෆෙඩරල් රිසර්ව් සහ අනෙකුත් මහ බැංකු විසින් 1980 ගනන්වල සිට වේගවත්ම රේට්ටුවකින් පොලී අනුපාත ඉහල දැමුවේ, ඔවුන් කියන පරිදි 'උද්ධමනය' ට එරෙහිව සටන් කිරීමට නොවේ. එහි අරමුන, විරැකියාව ඉහල දැමීම මෙන්ම, වැඩි වැටුප් උදෙසා සහ සංගත සූරා කෑමට එරෙහිව සටන් කිරීමට කම්කරුවන් සතු හැකියාවට විරුද්ධව සටන් කිරීමයි.

කෙසේ වෙතත්, ධනේශ්වර ආර්ථිකයේ විශාල කොටස් විශ්වාසය තබා ඇති නිදහස් මුදල් සැපයුම ආපසු හැරවීමේදී, බැංකු අංශයේ පවතින අස්ථාවරත්වය තුලින් පෙන්නුම් කරන පරිදි, ෆෙඩරල් රිසර්ව් බැංකුව සහ අනෙකුත් මහ බැංකු, වඩාත් විශාල ආර්ථික දියවී යාමක අවදානමකට මුහුන දී සිටී. සිකුරාදා, එක්සත් ජනපද ෆෙඩරල් තැන්පතු රක්ෂන සංස්ථාව (FDIC) විසින් පුද්ගලික අරමුදල් යොදා ෆස්ට් රිපබ්ලික් බැංකුව ගලවා ගැනීමට දරන ලද උත්සාහයන් අසාර්ථක වීමෙන් පසුව, එම බැංකුව ග්‍රාහකත්වය යටතට පත් කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා විය. ෆස්ට් රිපබ්ලික් පවරා ගැනීමට සිදුවේනම්, එය පසුගිය මාස දෙක තුල තුන්වන එක්සත් ජනපද බැංකු කඩා වැටීම වනු ඇත.

පාලක පන්තිය තම ආර්ථික අර්බුදයේ පිරිවැය කම්කරු පන්තිය මත පැටවීමට, යුක්‍රේනයේ යුද්ධයට වැය කෙරෙන අතිවිශාල මුදල් සම්භාරය ඔවුන් ලවා ගෙවීමට සහ චීනයට එරෙහි යුද්ධය සූදානම් කිරීමට අධිෂ්ඨාන කර ඇත.

එහෙත් ජාත්‍යන්තර කම්කරු පන්තිය ගෝලීය ධනේශ්වර අර්බුදයට සවිඥානික දේශපාලන හා සංවිධානාත්මක ප‍්‍රතිචාරයක් සූත්‍රගත කිරීමට පටන් ගැනීමත් සමග ප‍්‍රතිවිරෝධී බලවේගයක් මතුවෙමින් තිබේ.

සඳුදා, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රිකජාස) ප්‍රකාශයක් නිකුත් කරමින්, රැකියාවලට එරෙහි ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීම සඳහා සියලුම මෝටර් රථ කම්කරුවන් බලමුලු ගැන්වීමට සහ සෑම කම්හලකම සහ වැඩබිමකම ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට කැඳවුම් කර සිටියේය. විදුලි වාහන වෙත මාරුවීමේ පිරිවැය කම්කරුවන් මත පටවමින් සංගත ගැති එක්සත් මෝටර් රථ කම්කරු සමිති නිලධරයේ සහාය ඇතිව මෝටර් රථ කර්මාන්තයේ කුරිරු නව ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කිරීමට සංගත උත්සාහ කරන බව ප්‍රකාශය පැහැදිලි කලේය.

ප්‍රතිචාර වශයෙන්, විදුලි වාහන වෙත කෙරෙන ඕනෑම සංක්‍රමනයක් කම්කරුවන්ගේ අවශ්‍යතා සඳහා සිදු කරනු ලබන බව සහතික කිරීමේ වැඩපිලිවෙලක් කක්‍රිකජාස විසින් ගෙනහැර දැක්වීය:

විදුලි වාහන නිපදවීමට අවශ්‍ය වන්නේ සියයට 40ක් අඩු වූ ශ්‍රම පැය ගනනක් නම්, සාමාන්‍යයෙන් පැය 40, 50 සහ 60 ආදී වශයෙන් වන වෙහෙසකර වැඩසතිය පැය 30 දක්වා, වැටුප් අඩු කිරීමකින් තොරව පහත හෙලිය යුතුය. පාරිභෝගික භාන්ඩවල මිල ඉහල යාමත් සමඟ වැටුප් ස්වයංක්‍රීයව ඉහල යායුතු වන අතර, ආදායම අඩු නොවන පරිදි ලැබෙන වැඩ සියලුම කම්කරුවන් අතර බෙදී යා යුතුය. මහා විරැකියාව වෙනුවට කම්කරුවන්ගේ රැකියා සහතික කල යුතුය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 2023 මැයි දිනය සැමරීමට ශ්‍රී ලංකා වේලාවෙන් මැයි 1 වැනි දා සඳුදා අලුයම 12.30ට ගෝලීය අන්තර් ජාල රැලියක් පවත්වයි. රැලිය කම්කරුවන්ට සහ තරුනයින්ට අන් කිසි තැනක සොයා ගත නොහැකි තීරනාත්මක තොරතුරු සපයනු ඇත. මහා විරැකියාව, දරිද්‍රතාවය, ලෝක යුද්ධය සහ පාරිසරික ව්‍යසනය හැර අන් කිසිවක් දිය නොහැකිව තමාට අභිමුඛව සිටින ධනේශ්වර ක්‍රමයේ අර්බුදයට යටින් පවත්නා තර්කනය එය අනාවරනය කරනු ඇත. දැනටමත් ලොව පුරා පුපුරා යන කම්කරු පන්තියේ අරගලවලට මග පෙන්වීම සඳහා ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයේ ප්‍රමුඛ සාමාජිකයෝ, ජාත්‍යන්තර හා සමාජවාදී ඉදිරිදර්ශනයක් සපයනු ඇත්තාහ.

රැස්වීමට ලියාපදිංචි වන ලෙස, එයට සහභාගී වීම සඳහා සැලසුම් කරන ලෙස සහ එයට හැකි පුලුල්ම ප්‍රේක්ෂකයක් වෙත ලඟා වීම සහතික කරන ලෙස අපි සියලු පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු

Loading