නන්දන නන්නෙත්තිගේ සහ සංජය ජයසේකරගේ පක්ෂ විරෝධී වැඩකටයුතු පිලිබඳ සසප මධ්‍යම කාරක සභා යෝජනාව

12/11/2022

පහත පලවන්නේ නන්දන නන්තෙත්තිගේ සහ සංජය ජයසේකරගේ පක්ෂ විරෝධී වැඩකටයුතු පිලිබඳව 2022 නොවැම්බර් 12 දින සමාජවාදී සමානතා පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ඒකමතිකව සම්මත කරන ලද යෝජනාවයි.

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මධ්‍යම කාරක සභාව (මකස), සසප සාමාජිකයන් දෙදෙනෙකු වන නන්දන නන්නෙත්ති සහ සංජය ජයසේකර විසින් ගෙනයනු ලබන පක්ෂ-විරෝධී ව්‍යාපාරය පිලිබඳව සිය බැරෑරුම් අවධානය යොමු කරයි. විශේෂයෙන් ම, සසප, එහි නායක කමිටු සහ නායකයන් විවෘතව විවේචනය කරමින් ඔවුන් පේස්බුක්හි පල කර ඇති ප්‍රකාශ පිලිබඳව මකාස සිය බැරෑරුම් උත්සුකතාව පල කරයි.

නන්දන සහ සංජය, සසප පදනම් වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදයේ මූලික බෝල්ෂේවික් මූලධර්මයක් විවෘතව ම උල්ලංඝනය කර තිබේ. එනම්, පක්ෂ සාමාජිකයන් අතර පවතින මොන යම් හෝ දේශපාලනික, න්‍යායික හෝ සංවිධානමය මතභේද සාකච්ඡා කල යුත්තේ පක්ෂය තුල පමනි, ඒ අදාල පක්ෂ කමිටු තුල පමනි, ඒවා ප්‍රසිද්ධියේ සාකච්ඡා නොකල යුතු ය. නන්දන සහ සංජය කල ඇති පරිදි, පක්ෂය තුල සාකච්ඡා කල යුතු. කාරනා පේස්බුක් හරහා ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීම පක්ෂයට විනාශකාරී ය.

සැප්තැම්බර් මුල දී නන්දන පලකල පේස්බුක් සටහන්, මෙම මූලික මූලධර්මයේ ප්‍රධාන උල්ලංඝනයක් විය. එම සටහන් තුල, නන්දන දේශපාලන කමිටු සාමාජිකයන් – සමන්, ලසිත, රොහාන්ත සහ මාලන් – විශේෂයෙන් ම නම් කරමින්, පක්ෂ නායකත්වය ප්‍රසිද්ධියේ හෙලා දැක තිබේ. “සන්ජය හා මා [නන්දන] සීඅයිඒයේ නියෝජිතයන් යයි හොර රහසේ ප්‍රචාරය” කරන බවට රොහාන්තට ද ඊට සමාන ප්‍රකාශ කරන බවට මාලන්ට ද චෝදනා කරන නන්දන, තමන්ට විරුද්ධව බොරු ප්‍රචාරය කරන බවට සමන්, ලසිත සහ සමස්තයක් ලෙස දේශපාලන කමිටුව ම හෙලා දැක ඇත. රොහාන්ත තමන්ව මරා දැමීමට ඉඩ ඇති බවට පවා නන්දන යෝජනා කරයි. නන්දනගේ මෙම චෝදනා මුලුමනින් ම පදනම් විරහිත, අරටුවට ම සාවද්‍ය සහ අතිශයින් ම ප්‍රකෝපකාරී ය. ඔහුගේ චෝදනාවලට ප්‍රතිකූලව, සසප, එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) සහ අපගේ ලෝක පක්ෂය වන හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සිය දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව කිසිදාක ප්‍රචන්ඩත්වය යොදාගෙන හෝ දිරිගන්වා නැත.

සැප්තැම්බර් 9 දා පැවති විශේෂ සැසියක දී, සසප දේශපාලන කමිටුව, පක්ෂයට එරෙහිව නන්දන සිදු කර ඇති මෙම ප්‍රකෝපකාරී ප්‍රසිද්ධ චෝදනා සවිස්තරාත්මකව සාකච්ඡා කොට, ඒකමතිකව යෝජනාවක් සම්මත කලේය. එම යෝජනාව, ඔහුගේ මෙම නිශ්චිත පේස්බුක් සටහන් මගින් කර ඇති සියලු චෝදනා ඉවත් කර ගන්නා ලෙස නන්දනගෙන් ඉල්ලා සිටීමටත් එසේ කිරීමට ඔහු අසමත් වුන හොත් ඔහුව පක්ෂයෙන් නෙරපීමටත් එමෙන් ම එය ක්‍රියාවට දැමීමට පෙර මෙම යෝජනාව පිලිබඳව ජාත්‍යන්තර කමිටුවේ අදහස් විමසීමටත් නිර්දේශ කලේය.

දේශපාලන කමිටුවේ තීන්දුවට අනුව, සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර, සැප්තැම්බර් 19 දා ඊ-මේල් මගින් නන්දන වෙත ලිපියක් යවා, පක්ෂයට එරෙහි ඔහු ප්‍රසිද්ධියේ කර ඇති ප්‍රකෝපකාරි ප්‍රකාශවල අතිමහත් අන්තරායකාරී ස්වභාවය පැහැදිලි කරමින්, එම භාවිතය නතර කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටි නමුදු, නන්දන එම ලිපියට කොහෙත්ම ප්‍රතිචාර දක්වා නැත. ඒ වෙනුවට, ඔහු කර ඇත්තේ, පක්ෂ නායකයන්ට එරෙහි සාවද්‍ය විවේචන පේස්බුක් තුල විවෘතව මතු කරමින්, පක්ෂ-අභ්‍යන්තර කාරනා ප්‍රසිද්ධියේ සාකච්ඡා නොකල යුුතුය යන මූලික පක්ෂ මූලධර්මය උල්ලංඝනය කිරීමේ සිය භාවිතාව අඛන්ඩව ගෙනයාමයි.

ඔක්තෝබර් 14 දා පල කර ඇති පේස්බුක් සටහනකින්, නන්දන, “ආන්ඩු-විරෝධී විරෝධතාකරුවන් මර්දනය නතර කරනු! සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!” යන මැයෙන් සැප්තැම්බර් 25 දා සසප සහ සමාජ සමානතාව උදෙසා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය විසින් පවත්වන ලද අන්තර්ජාල ප්‍රසිද්ධ රැස්වීමේ දී සසප දේශපාලන කමිටු සාමාජික පානි විජේසිරිවර්ධන සහෝදරයා කල කතාව ගැන විවේචනය කර තිබේ.

නන්දන, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කෙරුනු, සසප සහෝදරවරු විසින් ලියන ලද ලිපි සහ නිපදවන ලද වීඩියෝ පට පිලිබඳව අයුක්තිසහගත විවේචන විවෘතව සිදු කර තිබේ.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කර තිබූ, එක්සත් ජනපදයේ එක්සත් මෝටර් රථ කම්කරු සමිතියේ (යූඒඩබ්ලිව්) සභාපති තනතුර සඳහා තරග වදිමින් විල් ලේහ්මන් සහෝදරයා ගෙන යන ව්‍යායාමයට සහයෝගය දෙමින් කම්කරුවන් තිදෙනෙකු ලබා දුන් විඩියෝ සම්මුඛ සාකච්ඡාවන්ට ප්‍රතිචාර දක්වමින්, ඔක්තෝබර් 29 දා සසප පේස්බුක් පිටුවේ සටහනක් තැබූ නන්දන, ලේහ්මන්ට සහාය පිනිස පක්ෂයේ කම්කරු සහෝදරවරුන් කල ප්‍රකාශ එලෙස පල කිරීම පිලිබඳව පක්ෂය හෙලාදැක්කේය.

නොවැම්බර් 7 දා, “දැවැන්ත පොලිස් බලමුලුවක් ආන්ඩු විරෝධි රැලිය අවහිර කරයි” යන මැයෙන් යුක්ත ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලිපිය සිය පේස්බුක් පිටුවේ පල කල නන්දන එම රැලියට සහභාගි වූ සංඛ්‍යාව අධිතක්සේරු කල බවට ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛකයන්ට එරෙහි සාවද්‍ය විවේචනයක් ද මතු කලේය.

නන්දන සහ සංජය යන දෙදෙනා ම, ඔවුන්ගේ මූලිකත්වයෙන් පිහිටුවන ලද මහජන අරගල උදෙසා කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) විසින් එවන ලද වාර්තාවක් පල කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ශ්‍රී ලංකාවේ සංස්කාරක, සසප දේශපාලන කමිටු සාමාජික, කේ. රත්නායකව හෙලා දකින ප්‍රකාශ සිය පේස්බුක් පිටුවල පල කර තිබේ. සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර, සැප්තැම්බර් 29 දා සංජයට ඊ-මේල් ලිපියක් යවමින්, ඔහු, පේස්බුක් වැනි කිසිදු ප්‍රසිද්ධ වේදිකාවක රත්නායකට එරෙහි එවන් විවේචන “පල නොකල යුතු” බව පෙන්වා දෙමින්, “පක්ෂ තීන්දු විවෘතව විවේචනය කිරීම වැනි පක්ෂ ප්‍රතිමාන උල්ලංඝනය කිරීමේ මෙවන් ක්‍රියා නතර කල” යුතු බව ඉල්ලා සිටියේ ය. කෙසේවෙතත්, සංජය කොක්‍රික වාර්තාව පල නොකිරීමේ රත්නායකගේ තීන්දුව විවේචනය කරන කොක්‍රික ප්‍රකාශයක්, යලිත් වරක්, ඔක්තෝබර් 29 දා සිය පේස්බුක් පිටුවේ පල කලේ ය.

ජූනි 15 දා ගෝටාගෝගම දී (පසුගිය අප්‍රේල් සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවට එරෙහි සිවුමස් මහජන නැගිටීම අතරතුර කොලඹ ගාලු මුවදොර පිටියේ පැවති ප්‍රධාන විරෝධතා මධ්‍යස්ථානය) ප්‍රසිද්ධ දේශනයක් පැවැත්විම මගින් සංජය, එවන් අවස්ථාවන් සම්බන්ධයෙන් අනුගමනය කල යුතු පක්ෂ ක්‍රියාපිලිවෙත පිලිබඳව ජුනි 4 දා සසප දේශපාලන කමිටුව ගත් තීන්දුව විවෘතව උල්ලංඝනය කලේ ය. සංජය සම්බන්ධ වි සිටි කොලොන්නාව පක්ෂ ශාඛාවේ ලේකම් මාලන් සහෝදරයා, ජූනි 14 දා සංජයට ඊ-මේල් ලිපියක් යවමින්, එවන් දේශනයක් පැවැත්වීම ජූනි 4 දා දේශපාලන කමිටු තීන්දුව උල්ලංඝනය කරනු ඇති බව පෙන්වා දෙමින්, එබැවින් දේශනය පැවැත්වීමේ සංජයගේ තීන්දුව ක්‍රියාවට දැමීම ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට හේතු වනු ඇති බවට අනතුරු ඇඟවීය.

එම අනතුරු ඇඟවීම මුලුමනින්ම නොතකමින්, දේශපාලන කමිටු තීන්දුව උල්ලංඝනය කිරීමට සංජය කටයුතු කල නිසා, ජූනි 18 දා පැවති දේශපාලන කමිටු රැස්වීම, සංජයගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ඒකමතිකව තීන්දු කලේ ය. සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර ඔහුට එම තීන්දුව දැනුම් දී මෙම විනය ක්‍රියාමාර්ගය සඳහා වූ ඉහත සඳහන් හේතු පැහැදිලි කල නමුදු, සංජය මේ වන තෙක් තමන් පක්ෂ විනය විවෘතව උල්ලංඝනය කල බව පිලිගෙන නැති අතර සිය ක්‍රියාව යුක්තියුක්ත කිරීමේ අඛන්ඩව යෙදී සිටි. ඒ වෙනුවට, ඉහත පැහැදිලි කල පරිදි, පක්ෂ විනය විවෘතව උල්ලංඝනය කිරීමේ ඔහු තව දුරටත් යෙදී තිබේ.

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් පැහැදිලි කර ඇති පරිදි, අප ඇතුලු වී ඇත්තේ, කම්කරු පන්තියේ ජාත්‍යන්තර නැගිටීමක් සහිතව, ගෝලීය විප්ලවවාදී අර්බුදයක දිග්ගැසුනු කාල පරිච්ඡේදයකට ය. ශ්‍රී ලංකාවේ අතිමහත් ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදය මෙම ගෝලීය වර්ධනයන්ගේ වැඩිදියුනු ප්‍රකාශනයකි. මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහ දුගීන් සහභාගි වූ පසුගිය අප්‍රේල් මස සිට මාස හතරක් තිස්සේ පැවති මහජන නැගිටීම මෙම ජාත්‍යන්තර වර්ධනයන්ගේ වැදගත් අවස්ථාවක් විය. පාලක පන්තියේ ප්‍රතිගාමී බලවේග සමග පෙලගැසෙමින්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම කන්ඩායම්වල සහයෝගය ද සහිතව, වෘත්තීය සමිති මෙම නැගිටීම පාවා දුනි.

සසප, ජාත්‍යන්තර කමිටුවේ මගපෙන්වීම යටතේ, මෙම බලවේගවලට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය මත පැහැදිලි ඉදිරිදර්ශනයක් සහ ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරමින්, තියුනු දේශපාලන හා න්‍යායික අරගලයක් ගෙන ගියේ ය. අපගේ පක්ෂය, දේශපාලන බලය සඳහා කම්කරු පන්තියේ අරගලය වර්ධනය කරනු පිනිස කම්කරු පන්තියට අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ගොඩනැගීම උදෙසා මෙම බලවේගවලට එරෙහි අරගලය ගැඹුරු කර තිබේ.

නන්දනගේ සහ සංජයගේ පක්ෂ-විරෝධී ක්‍රියාකාරකම් වනාහි, කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ගොඩනැගීමේ අරගලයෙන් පක්ෂය ඉවතට හැරවීම සහ පක්ෂය දුර්වල කිරීම පිනිස, මධ්‍යම පන්තික කොටස් හරහා පෙරී විත් පක්ෂය මත ක්‍රියාත්මක වන සතුරු පන්ති පීඩනයේ ප්‍රකාශනයන් ය. එබැවින් ඒවාට විරුද්ධව රුදුරු ලෙස සටන් වැදිය යුතුය.

නන්දනගේ සහ සංජයගේ ඉහත සඳහන් කල ක්‍රියා – පේස්බුක් වැනි ප්‍රසිද්ධ වේදිකාවල පක්ෂ නායකත්වයට එරෙහිව විවේචන මතු කිරීම – සසප දේශපාලන සතුරන්ට, එනම් ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ පක්ෂවලට සහ ඒවායේ ව්‍යාජ-වාම හා වෘත්තීය සමිති ඒජන්තයන්ට, අපගේ පක්ෂයට පහර දීම පිනිස අවි සැපයීම මිස අනෙකක් නොවේ. ඔවුන්ගේ ක්‍රියාවන් සසප අවශ්‍යතාවන්ට අනර්ථකාරී ය.

පක්ෂ ව්‍යවස්ථාවේ 10 වන කොටසේ ආ ඡේදයට අනුව: “ඔහු/ඇය තමන් සාමාජිකත්වය දරන සංස්ථාවක හෝ ඉහල මන්ඬලයක තීරන උල්ලංඝනය කර ඇත්නම් ද සසප හා කම්කරු පන්තියේ අවශ්‍යතාවන්ට අනර්ථකාරී යයි සැලකිය හැකි ආකාරයකට කටයුතු කර ඇත්නම් ද අධිකාරය දරන මන්ඩලය විසින් ගන්නා විනය පරිපාටියකට ඕනෑම සාමාජිකයෙකු යටත් වන්නේය. එම විනයානුකූල ක්‍රියාවට හෙලාදැකීම ද තෙමසක් නොඉක්මවන කාලයක් සඳහා සාමාජිකත්වය අත්හිටුවීම හෝ නෙරපාහැරීම ද ඇතුලත් වන්නේය. සියලු විනය කටයුතු අධිකාරය දරන මන්ඬලයේ සාමාජිකයින්ගේ තුනෙන් දෙකක ඡන්දයෙන් අනුමත විය යුතුය. සියලු විනය ක්‍රියා දේශපාලන කමිටුව විසින් අනුමත කල යුතුය.”

නොවැම්බර් 8 දා පැවති සසප දේශපාලන කමිටු රැස්වීම, නන්දන සහ සංජය පක්ෂ විනය විවෘතව උල්ලංඝනය කිරීම ද ඉහත සඳහන් කර ඇති පරිදි එම උල්ලංඝනයන් ගැන පක්ෂය විසින් යවන ලද ලිපිවලට ඔවුන් ප්‍රතිචාර නොදැක්වීම ද පිලිබඳව සාකච්ඡා කිරීමෙන් පසුව, ඔවුන් දෙදෙනා පක්ෂයෙන් නෙරපීමට යෝජනා කිරීමටත් එම තීන්දුව සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ඉල්ලා සිටීමටත් ඒකමතිකව තීන්දු කලේ ය. දේශපාලන කමිටුවේ මෙම තීන්දුව, පක්ෂ ව්‍යවස්ථාවේ ඉහත උපුටා දක්වා ඇති ඡේදය මත පදනම් වූ අතර එම 10 වන කොටසේ සෙසු ඡේදවලට ද යටත් වේ.

පක්ෂයේ දේශපාලන වැඩකටයුතුවලට හානි සිදු කරමින්, පක්ෂ විනය විවෘතව උල්ලංඝනය කිරීමේ නන්දනගේ සහ සංජයගේ එම වැඩකටයුතු පිලිබඳව සාකච්ඡා කිරීමෙන් පසුව, මධ්‍යම කාරක සභාව ඉහත සඳහන් දේශාපලන කමිටු තීන්දුව අනුමත කිරීමටත් වහාම ක්‍රියාත්මක වන පරිදි නන්දන නන්නෙත්ති සහ සංජය ජයසේකර සසප සාමාජිකත්වයෙන් නෙරපා දැමීමටත් තීන්දු කරයි.

Loading