සසජාතශි යුක්‍රේනය තුල යුද්ධය සහ එය නතර කල හැකි ආකාරය ගැන කැනඩාවේ පලමු රැස්වීම පවත්වයි

[මෙය IYSSE holds first meeting in Canada on the war in Ukraine and how to stop it මැයෙන් 2023 මාර්තු 30 වනදා පල කල ලිපියේ පරිවර්තනය යි.]

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) “යුක්‍රේනය තුල යුද්ධය සහ එය නතර කල හැක්කේ කෙසේද” යන මාතෘකාව යටතේ, මාර්තු 28දා සවස ඔන්ටාරියෝ වෝටලූ හී වෝටලූ විශ්ව විද්‍යාලයේ කොන්‍රාඩ් ග්‍රෙබෙල් විශ්ව විද්‍යාල පාසලේ සාර්ථක ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වූයේ ය.

සෝවියට් සංගමය 1991 ස්ටැලින්වාදී නිලධරය විසින් බිඳ විසුරුවා හැරීම සහ පසුගිය දශක තුන පුරා එක්සත් ජනපදය විසින් දියත් කරන ලද අඛන්ඩ අධිරාජ්‍යවාදී යුද්ධ මාලාව කරා දිවෙන යුද්ධයේ සම්භවය පිලිබඳ අවධානය යොමුකරමින්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කලමනාකරන කර්තෘ නයිල්ස් නිමුත් දේශනයක් පැවැත්වූයේ ය.

වෝටලූ රැස්වීම අමතන නයිල්ස් නිමුත් (ඡායාරූපය: ලෝසවෙඅ) [Photo: WSWS]

මෙම රැස්වීම පැවැත්වීමට හැකියාව ලැබුනේ සසජාතශි හි ධෛර්‍යසම්පන්න මැදිහත්වීමක ප්‍රතිඵලය ලෙස ය. පසුගිය සතියේ දී, යුද ගැති යුක්‍රේන-කැනේඩියානු ජාතිකවාදීන්ගේ පීඩනයට බියසුලු ලෙස යටත් වෙමින්, විශ්ව විද්‍යාල පාලනාධිකාරය රැස්වීම වාරනය කිරීමට උත්සහ දැරූ නමුත්, එය සසජාතශිහි ප්‍රති-උද්ඝෝෂනය හමුවේ අඩිය ආපස්සට ගත්තේ ය. අන්ත-දක්ශිනාංශික යුක්‍රේන ජාතිකවාදීන් මාර්තු 28දා රැස්වීමට බාධා කිරීමට උත්සාහ දැරුවත් එය සාර්ථක නො වී ය.

නිමුත් ගේ දේශනය, යුද ගැටුමේ යෙදී සිටින දෙපාර්ශවයට ම -එක් අතකින් ඇමරිකානු අධිරාජ්‍යවාදීන් නායකත්වය දෙන නේටෝ සංවිධානය සහ අනෙක් පසින් ප්‍රතිගාමී ජාතිකවාදී පුටින් තන්ත්‍රය- සසජාතශි විරුද්ධ බව පැහැදිලි ව ම පෙන්වා දුනි.

රැස්වීමේ දී ඔහු, සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ආස්ථානයන් මත පාදක වෙමින් මෙසේ කීවේ ය: “අප මෙම ගැටුමේ සිටින කිසිම පාර්ශවයක් වෙනුවෙන් කතා කරන්නේ නෑ. අපි ඔවුන් ධවල මන්දිරයේ හිටියත් ක්‍රෙම්ලිනයේ හිටියත් මේ යුද්ධයට වග කිව යුතු සියල්ලන්ටම අශමනීය ලෙස විරුද්ධයි.... පුටින්ගේ යුක්‍රේන ආක්‍රමනය ප්‍රතිගාමී අපරාධයක් බවට කිසිදු ගැටලුවක් නෑ. නමුත් ගැටුමේ සම්භවය සහ එහි ස්වභාවය අවබෝධ කරගැනීමේ දී පලමු වෙඩිල්ල තැබුවේ කවුද යන්න වැදගත් වෙන්නෙ නෑ. වැඩි දුරටත් කිවහොත්, වෛද්‍ය විද්‍යාවේ දී වගේ ම, දේශපාලන රෝගයකදිත් -යුක්‍රේනය තුල ම්ලේච්ඡ යුද්ධය සම්බන්ධ කාරනාවේදිත්- එහි සම්භවය පිලිබඳ අවබෝධයකින් තොරව ප්‍රතිකාර කල නොහැකියි.”

පූර්ව ඉතිහාසය පිලිබඳ කිසිදු සාකච්ඡාවක් වලක්වමින්, “පුටින්ගේ අප්‍රකෝපිත යුද්ධය” පිලිබඳ මාධ්‍යවල නිරන්තර සැඳහුම් වලට අවධානය යොමු කරමින්, නිමුත් අවධාරනය කලේ “කම්කරු පන්තියේ මහජන යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීමට නම් දේශපාලන සංස්ථාපිතයේ සහ කැනඩාව ඇතුලු බටහිර බලයන්ගේ මාධ්‍ය වල අඛන්ඩ ප්‍රචාරයන්ට එරෙහි වීම අත්‍යවශ්‍ය” බව යි. ඇමරිකා අධිරාජ්‍යවාදය විසින් පසුගිය දශක කිහිපය තිස්සේ ක්‍රියාවට දැමූ පලමුව ගල්ෆ් යුද්ධයෙන් ඇරඹී, පැරනි යුගොස්ලෝවියාවට බෝම්බ දැමීම, ඇෆ්ගනිස්ථානය සහ ඉරාකය ආක්‍රමනය කිරීම සහ අත්පත් කර ගැනීම සහ ලිබියාව තුල තන්ත්‍ර මාරුව සඳහා යුද්ධය ඇතුලත් නොනවතින අනීතික යුද්ධ සහ මිලිටරි ක්‍රියා අමතක කරමින්, ගැටුම ගැන වාර්තා කිරීම ඒක පාර්ශවික ආකාරයක් අත්පත් කරගෙන ඇත.

ජ්‍යේෂ්ඨ බුෂ් ගේ පටන් ක්ලින්ටන් හරහා ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ද ඔහුගෙන් පටන්ගෙන ඔබාමා, ට්‍රම්ප් සහ දැන් බයිඩන් දක්වා, ඇමරිකාවේ සියලු ජනාධිපතිවරුන් දියත් කරන ලද යුද්ධයන් මාලාව පිලිබඳ අවධානය යොමු කරමින්, නිමුත් මෙසේ අවධාරනය කලේ ය: යුද්ධය වනාහි “එකිනෙකට අන්තර්සම්බන්ධිත සන්තතීන් දෙකක ප්‍රතිඵලයක්: එනම්, ස්ටැලින්වාදී නිලධරයේ විනාශකාරී ධනවාදය පුනස්ථාපනය සහ සෝවියට් සංගමය 1991 දී බිඳ විසුරුවා හැරීම සහ එයට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රතිචාරය වන ඔවුන්ගේ මිලිටරි බලය භාවිතා කරමින් සිය ගෝලීය තරඟකරුවන්ට සාපේක්ෂව බැස යන ආර්ථික ශක්තිය පියවා ගැනීම හරහා ගෝලීය අධිකාරය කරා ධාවනය.”

බොහෝ විට නොසලකා හරින ලද නමුත්, අත්‍යාවශ්‍ය ලේඛනයක් වන, 1992 ඇමරිකානු ආරක්ෂක සැලසුම් මාර්ගෝපදේශයෙන් ඔහු උපුටා දැක්වී ය: “අපගේ පලමු අරමුන වන්නේ, නව ප්‍රතිවාදියෙකු ගේ වර්ධනය වැලැක්වීම යි. මෙය, නව කලාපීය ආරක්ෂක උපාය මාර්ගයට යටින් පවතින ප්‍රමුඛ සලකා බැලීමක් වන අතර, සතුරු බලයක් ගෝලීය බලය උත්පාදනය කිරීමට සම්පත් ඒකාබද්ධ පාලනයක් යටතේ ප්‍රමානවත් වන කලාපයක ආධිපත්‍යය දැරීමෙන් වැලැක්වීමට අප උත්සාහ කල යුතු යි. මෙම කලාපවලට බටහිර යුරෝපය, නැගෙනහිර ආසියාව, පැරනි සෝවියට් සංගමයේ භූමිය සහ නිරිතදිග ආසියාව ඇතුලත් වේ.

“... අවසාන වශයෙන්, විභව තරඟකරුවන් විශාල කලාපීය හෝ ගෝලීය භූමිකාවක් කරා උනන්දු වීම පවා වලක්වා ගැනීමේ යාන්ත්‍රනයන් අප විසින් පවත්වා ගත යුතු ය.”

මගින් සීතල යුද්ධය අවසානයේ දී, නේටෝව රුසියාවේ දොරකඩට නොයන බවට, සෝවියට් ආන්ඩුවට ආරක්ෂක සහතික කිරීම් ලබා දී තිබියදීත්, සියලුම හිටපු වෝර්සෝ ගිවිසුම් සාමාජිකයින් සහ හිටපු සෝවියට් සමූහාන්ඩු තුනක් නේටෝවට ඇතුළත් කර ගැනීමට, මෙම ලේඛනය තුල වර්ධනය කරන ලද ඉදිරි දර්ශනය එක්සත් ජනපදයට මග පෙන්වා ඇත.

දේශනය එක්සත් ජනපද අධිරාජ්‍යවාදී යුද්ධයන් සාධාරනීකරනය කිරීම සඳහා යොදාගන්නා මහා බොරු වෙතට අවධානය යොමු කලේය. “2003 ඉරාකය ආක්‍රමනය සාධාරනීකරනය කිරීමට යොදාගත් මහා ජනඝාතක අවි පිලිබඳ බොරුව ප්‍රවර්ධනය කිරීමේ පුරෝගාමියා වූ මාධ්‍ය විසින් ප්‍රචාරය කල බොරුව, රාජ්‍ය සබඳතා වලදී ස්ථීර තත්වයක් බවට පත් වී තිබෙනවා: වසංගතය අවසන්, එක්සත් ජනපදය රුසියාව සමඟ යුද්ධයක යෙදීගෙන නැහැ ආදී වශයෙන් අසත්‍යයෙන් සත්‍යය වෙන් කරගත නොහැකි තරමට එක බොරුවක් මත තවත් බොරුවක් ගොඩගැසී තිබෙනවා” යි නිමුත් කීවේ ය. බුෂ්, චෙනී, ඔබාමා සහ ට්‍රම්ප් නිදහසේ සිටින අතර, අධිරාජ්‍යවාදී අපරාධ හෙලිදරව් කල ජූලියන් අසාන්ජ් වැනි අය සිරගත කොට ඇති බව ඔහු සටහන් කලේ ය.

එහෙත්, මෙම පච ගොන්න “සත්‍යය පංති අරගලය ය යන මහා සත්‍යය ඉදිරියේ කඩා වැටෙමින් පවතිනවා. ලංකාවේ සිට ප්‍රංශය හරහා ඇමරිකාව සහ මෙහි ඔන්ටාරියෝ දක්වා ධනපති පර්යායට අභියෝග කරන සහ යුද්ධය නිමාවකට ගෙන ඒමට පදනම සම්පාදනය කරන පංති අරගල මාලාවක් පුපුරා ගොස් තිබෙනවා.”

යුද්ධයේ දී ඇමරිකානු අධිරාජ්‍යවාදයේ වඩාත් ප්‍රකෝපකාරී ක්‍රියාකලාපය ගැන කී නිමුත් කැනඩා සහ යුරෝපා අධිරාජ්‍යවාදීන්ගේ යුද එල්ලයන් පැහැදිලි කිරීමට කාලය කැප කලේ ය. ඔහු කැනඩාව විසින් යුක්‍රේනයට දැවැන්ත ප්‍රතිපදානයන් කර ඇති බව පැහැදිලි කලේය. ලෙපර්ඩ් යුද ටැංකි අටක්, ආයුධ සන්නද්ධ වාහන දුසිම් ගනන්ක්, ප්‍රති ගුවන් යානා පද්ධති සහ කාල තුවක්කු සහ උන්ඩ විශාල ප්‍රමානයන් ඇතුලත්ව ආයුධ සඳහා ඩොලර් බිලියනයකට වඩා වියදම් කොට ඇත. ලිබරල් ආන්ඩුව විශේෂ භට කන්ඩායම් යුක්‍රේනයේ ස්ථාපිත කර ඇති අතර ඒකාබද්ධ මෙහෙයුම් දක්වාද එය වර්ධනය කොට ඇත. යුක්‍රේන භට කන්ඩායම් පුහුනු කිරීම සඳහා නැටෝ මෙහෙයුම වන ඔපරේෂන් යුනිෆයර් වෙතට එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඒකාග්‍ර වී සිටී. විදේශ ඇමති මෙලනි ජොලි මෙ මාසයේ මුලදී සඳහන් කලේ කැනඩාව මොස්කොව් හී “තන්ත්‍ර මාරුවක්” අපේක්ෂාවෙන් සිටින බවයි.

පසුගිය සතියේ බයිඩන් කැනඩාවට කල පලමු සංචාරයට අවධානය යොමු කරමින්, එය, රුසියාවට, චීනයට සහ ඒවා ඉක්මවා යන ගෝලීය යුද්ධයන් සඳහා ද්‍රව්‍ය සහ සම්පත් අත්පත් කරගැනීම සඳහා කල බව නිමුත් සටහන් කලේ ය. ඔවුන්ගේ සාකච්ඡා අවසානයේ දී, බයිඩන් සහ අගමැති ජස්ටින් තෘඩෙ නිකුත් කල ඒකාබද්ධ ප්‍රකාශය රුසියාව සමඟ එක්සත් ජනපද-නේටෝ යුද්ධයට ඩොලර් බිලියන ගනනක ආයුධ ගලා යාමට වොෂින්ටනය සහ ඔටාවා පැහැදිලිවම කැපවී බවටත්, යුක්රේනයට කෙතරම් කාලයක් ගත වුවත් සහාය දෙන බවටත් පොරොන්දු වුනා.”

යුක්‍රේනය නෙටෝවට සහ යුරෝපා සංගමයට ඈඳා ගනුවස්, දශක ගනනක් තිස්සේ ගෙනගිය උද්ඝෝෂනයේ දී සහ දැන් රුසියාවට මත දියත් කරමින් පවතින යුද්ධයේ දී, කැනඩාව සහ නැටෝ බලයන් විවෘත ව ම ෆැසිස්ට්වාදී බලවේග සමග සහයෝගී වෙමින් ඔවුන් යුක්‍රේනයේ ආරක්ෂක හමුදා සමග අන්තර්ග්‍රහනය වීම ප්‍රවර්ධනය කරමින් සිටින්නේ කෙසේදැයි නිමුත් සටහන් කලේ ය. කැනඩාවේ නියෝජ්‍ය අගමැති සහ මුදල් ඇමති ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ්, මාර්තු මාසයේ දී යුක්‍රේන ජාතිකවාදී සංවිධානයේ නාසි සහයෝගිතාකරුවන්ගේ සටන් පාඨයක් වන “යුක්‍රේනය දිනේවා” බැනරය සමග සිටි අතර එය හුදු පෞද්ගලික කාරනාවක් නො වේ. එය “දෙවන ලෝක යුද්ධයේ අවසානය දක්වා දිවෙන අන්ත-දක්ෂිනාංශික යුක්‍රේන ජාතිකවාදීන් සමග කැනේඩියානු අධිරාජ්‍යවාදයේ සහයෝගීතාවය සහ ක්‍රමානුකූල ප්‍රවර්ධනයක්.”

යුද්ධය පවත්වාගෙන යන දේශපාලන රාමුවට එල්ලය යොමු කරමින්, නිමුත් කැනඩාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වන එන්ඩීපීය දෙන තීරනාත්මක දේශපාලන සහයයෝගය පිලිබඳ ව අවධානය යොමු කලේ ය. පසුගිය මාර්තුවේ දී, එන්ඩීපී නායක ජග්මීට් සිංග්, තෘඩෙ ගේ ලිබරලුන් සමග පාලක පන්තියේ “දේශපාලන ස්ථාවරත්වය” සහතික කිරීමට 2025 ජූනි දක්වා ආන්ඩුවට පාර්ලිමේන්තුවේදී සහය වන බවට විශ්වාස සහ සැපයුම් ගිවිසුමකට අත්සන් තැබුවේ ය. නිමුත් පැහැදිලි කලේ “වෘත්තිය සමිති වනාහි තෲඩෙ ආන්ඩුවේ විදේශ යුද්ධවලට සහ දේශීය ව කම්කරු පන්තියට එල්ල කරන ප්‍රහාර වලට සහය දෙන සමීප මිතුරන්” බව යි. ඔහු ඇමරිකාවේ ව්‍යාජ වාම ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් යුද්ධයට දක්වන සහය පෙන්වමින් සඳහන් කලේ මෙය ජාත්‍යන්තර සන්තතියක කොටසක් බව යි.

න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක් කරා ධාවනය වීම නිමාවකට ගෙන ආ හැකි එක ම සමාජ බලවේගය ලෝක කම්කරුවන් ය. රැස්වීමට සහභාගී වූ ශිෂ්‍යයන්ට ආයාචනා කරමින් නිමුත් කීවේ “කැනඩාවේ, එක්සත් ජනපදයේ, යුක්‍රේනයේ, රුසියාවේ සහ අනෙක් රටවල් වල කම්කරු පන්තිය සහ තරුනයින් යුද්ධය නැවැත්වීමට එකමුතු විය යුතු ය. සෑම රටකම ශිෂ්‍යයෝ, තරුනයෝ සහ කම්කරුවෝ තම රටේ පාලක පන්තියේ පන්ති යුධ පිලිවෙත්වලට විරුද්ධ විය යුතු ය. යුද්ධ සහ මෙම ගැටුම් ජනනය කරන ආර්ථික සහ දේශපාලනික පද්ධතිය වන ධනවාදය අවසන් කල හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියට පමනි.”

දේශනයෙන් අනතුරුව සජීවී ප්‍රශ්නෝත්තර සැසියක් පැවැත්විනි. සමාජවාදයේ ස්වභාවය පිළිබඳව ප්‍රේක්ෂකයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න මතු විය. රුසියාව තවමත් සමාජවාදීද යන්න සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවය ගැන එක් කාන්තාවක් සෘජු ව ම විමසුවා ය.

සසජාතශි කම්කරු පන්තියට විවෘත ව පක්ෂපාතී බවත්, ස්ටැලින්වාදී නිලධරය 1991 දී රුසියාවේ ධනවාදය පුනස්ථාපනය කල බවත් කියමින් නිමුත් පිලිතුරු දුන්නේ ය. ඔහු ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ ගෝලීය කඩා වැටීම: 2021 ජනවාරි 6 වනදා එක්සත් ජනපදයේ ට්‍රම්ප්ගේ කුමන්ත්‍රන උත්සාහය; කැනඩාව තුල වැඩ වර්ජන වඩ වඩා සාපරාධීකරනය කිරීම සහ ප්‍රංශයේ මැක්‍රෝන් ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී බලතල භාවිතා කරමින් පාර්ලිමේන්තු ඡන්දයකින් තොරව ඔහුගේ විශ්‍රාම වැටුප් කප්පාදුව ක්‍රියාත්මක කිරීම දෙසට අවධානය යොමු කලේ ය.

මෙම රැස්වීම තුල මතු වූ වැදගත්ම දේශපාලන ප්‍රශ්නය පැන නැගුනේ, යුක්‍රේන හමුදා තුල ඇසොව් යුද කන්ඩායම වැනි ෆැසිස්ට්වාදී බලවේග සහ සෙලෙන්ස්කි ආන්ඩුව විසින් යුක්‍රේන ජාතිකවාදී සංවිධානයේ (ඕයූඑන්) ස්ටෙපාන් බන්ඩේරා වැනි නායකයන් විවෘත ව වැලඳගැනීමත් ඕයූඑන්හි “යුක්‍රේනය දිනේවා” සටන් පාඨවල ඓතිහාසික කාර්යභාරයත් පිලිබඳ සාකච්ඡාවේ දී ය.

ලෝසවෙඅ ලේඛක ජේම්ස් ක්ලේටන් මෙම ප්‍රශ්නයට ශ්‍රාවකයේ සිට පිලිතුරක් සම්පාදනය කලේය. යුක්‍රේන ජාතිකවාදීන්ගේ සංවිධානය, සෝවියට් සංගමයට එරෙහි ඔවුන්ගේ සමූලඝාතක යුද්ධයේ දී, නාසීන් සමග හවුල් වුනු සහ එය යුක්‍රේනයේ යුදෙව්වන් මහා පරිමානයෙන් ඝාතනය කිරීමට විශාල වශයෙන් හවුල් වුනු බව ඔහු පෙන්වා දුන්නේ ය. වැෆෙන් එස්එස් ගැලීෂියා අංශයේ සේවය කළ අය ඇතුළු මෙම නාසි සහචරයින් බොහෝ දෙනෙකුට, කැනේඩියානු රජය රැකවරනය ලබා දුන් අතර, දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව යුක්‍රේනියානු-කැනේඩියානු ප්‍රජාව තුළ සමාජවාදී බලපෑමට එරෙහිව සටන් කිරීම සඳහා ඔවුන් යොදා ගැනිනි.

රැස්වීමට සහභාගි වූ යුක්‍රේන ජාතිකවාදියෝ, අන්ත දක්ෂිනාංශික යුක්රේන ජාතිකවාදීන්ගේ අපරාධ පිලිබඳ ක්ලේටන්ගේ හෙලිදරව් කිරීම, දැඩි ලෙස හෙලා දුටුවෝ ය. මුළු ප්‍රශ්නෝත්තර සැසිය පුරාවට ම, බන්ඩේරාගෙන් හෝ යුදෙව්වන් සමූලඝාතනය කිරීමෙන් ඈත් වීමේ අවශ්‍යතාව ඔවුන්ට කිසි විටක නො දැනුන බව දේශපාලනික වශයෙන් අතිශයින් හෙලිදරව්කාරී විය. 'යුක්‍රේනය දිනේවා' සටන් පාඨය යුක්රේනය එහි 'සතුරන්ට' එරෙහි ව ආරක්ෂා කිරීම සඳහා වූ නීත්‍යානුකූල සටන් පාඨයක් බව පැවසීමට තරම් එක් තරුනයෙක් දුර ගියේ ය.

යුක්‍රේන ජාතිකවාදීන් රැස්වීමෙන් පිටත සිට සසජාතශි යුද-විරෝධී රැස්වීමට පුද්ගලයින් සහභාගි වීම වැලැක්වීමේ උත්සාහයක යෙදෙමින් (ඡායාරූපය: ලෝසවෙඅ) [Photo: WSWS]

සාකච්ඡාවේ අවසානයේ දී රැස්වීමට සහභාගි වූ අයෙක්, සසජාතශි ඉදිරිපත් කල ට්‍රොට්ස්කිවාදී වැඩපිලිවෙල සහ ලෝක යුද්ධයෙන් හා සිවිල් යුද්ධයෙන් විනාශ වූ පසුගාමී රටක 1917 ඔක්තෝබර් විප්ලවය හුදකලා කල කොන්දේසි යටතේ, 1920 ගනන් වල දී සෝවියට් කම්කරු පන්තියෙන් බලය උදුරාගත් වරප‍්‍රසාදිත නිලධරයේ ප‍්‍රකාශකයා වන ස්ටැලින් තොරොම්බල් ක ල ප‍්‍රතිගාමී ජාතිකවාදය සහ ''එක රටක සමාජවාදය'' යන න්‍යාය අතර තීරනාත්මක වෙනස මතු කලේ ය.

නිමුත් සඳහන් කලේ, බොල්ශෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවලේ සහයෝගය තුල ප්‍රකාශයට පත්වන පරිදි, සසජාතශි වර්ධනය කරන විප්ලවවාදී ඉදිරිදර්ශනය, රුසියාවේ සහ යුක්‍රේනයේ වඩාත් ම පංති සවිඥානික කොටස්, දැනටමත් සසජාතශි සමග සහයෝගී වීම කරා ගෙනැවිත් තිබෙන බවයි. යුක්‍රේනයේ යුද්ධය සහ යුද්ධයේ මූලය වන ධනවාදය සහ එහි යල්පැන ගිය ජාතික රාජ්‍ය පද්ධතිය අවසානයකට ගෙන ආ හැක්කේ කම්කරු පන්තිය සහ තරුනයින් ජාත්‍යන්තර පරිමාන ව ඒකාබද්ධ කිරීම හරහා පමනකි.

අව්‍යාජ කම්කරු පන්තික යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට නම්, එය යුද්ධයේ ඓතිහාසික මූලයන් පිලිබඳ අවබෝධයෙන් එය සන්නද්ධ කල යුතු බවට වන අරමුන මාර්තු 28දා රැස්වීමට අනුප්‍රානය සැපයී ය. සදාකාලික ව ගැඹුරු වන සමාජ අසමානතාවට හා ආර්ථික අනාරක්ෂිත භාවයටත්, යුද්ධය, යලි සන්නද්ධ කිරීම සහ මූල්‍ය කතිපයාධිකාරයේ ඇපදීම් සඳහා සිය සමාජ අයිතීන් සහ ජීවන තත්වයන් මත වැඩිදුර විනාශකාරී ප්‍රහාර මගින් ගෙවිය යුතු බවට කරන ඇනවීම්වලටත් එරෙහි ව ලොව පුරා කැරලි ගසමින් සිටින කම්කරු පන්තිය වෙතට, ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට සූදානමින් සිටින ශිෂ්‍යයන් හා තරුනයන් හැරිය යුතු ය.

මාර්තු 28 රැස්වීම, විශ්ව විද්‍යාල පාලනාධිකාරයෙන් සහ කැනේඩියානු ආන්ඩුව සමග සහයෝගී, ආන්ඩුව විසින් අනුග්‍රහය දෙන යුක්‍රේන කැනේඩියානු කොංග්‍රසයේ සහය ලබන යුද ගැති, අන්ත-දක්ශිනාංශික ජාතිකවාදී බලයන් ගේ විරුද්ධත්වයට මුහුන දෙමින් ඉහත ඉදිරි දර්ශනය මත කල සාර්ථක මැදිහත් වීමක් විය.

අප වෝටර්ලූ විශ්වවිද්‍යාලයේ සහ කැනඩාව පුරා කියවන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ, iysseincanada@gmail.com හරහා අප සම්බන්ධ කරගෙන විශ්වවිද්‍යාලයේ සහ රට පුරා අනෙකුත් විශ්ව විද්‍යාලවල සසජාතශි ශාඛා ගොඩ නැගීමේ අරගලයට එක්වන ලෙස යි.

Loading