නන්දන නන්නෙත්ති සහ සංජය ජයසේකර නෙරපීම පිලිබඳව සසප සාමාජිකයන් වෙත ලිපියක්

ප්‍රිය සහෝදරවරුනි,

නොවැම්බර් 12 දා පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේ දී ඒකමතිකව සම්මත කරන ලද යෝජනාවක් මගින් ඔබට කලින් දැනුම් දී ඇති පරිදි, නන්දන නන්නෙත්ති සහ සංජය ජයසේකර, පක්ෂ විනය උල්ලංඝනය කරමින් සිදු කර ඇති පක්ෂ-විරෝධී වැඩකටයුතු හේතු කොටගෙන සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකත්වයෙන් නෙරපා දමා ඇත.

නන්දනගේ සහ සංජයගේ වැඩකටයුතු, සසප පදනම් වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදයේ මූලික මූලධර්ම විවෘතව උල්ලංඝනය කිරීමකි. පේස්බුක් වැනි ප්‍රසිද්ධ වේදිකාවල මොන යම් හෝ පක්ෂ සාමාජිකයකුට එරෙහිව විවේචන ඉදිරිපත් කිරීමට කිසිදු පක්ෂ සාමාජිකයකුට අවසර දිය නොහැකිය. මතභේද පවතී නම් ඒවා අදාල පක්ෂ සංස්ථා හරහා පක්ෂය තුල මතු කල යුතු ය.

මෙම මූලධර්මය කොමියුනිස්ට් (තුන් වන) ජාත්‍යන්තරය විසින් ස්ථාපිත කරන ලද්දකි. ලෙනින්ගේ සහ ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ පවත්වන ලද කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ තුන් වන සම්මේලනය තුල දී, 1921 ජුලි 12 දා සම්මත කරන ලද “කොමියුනිස්ට් පක්ෂවල සංවිධානමය ව්‍යුහය, විධික්‍රම සහ ඒවායේ වැඩකටයුතුවල අන්තර්ගතය” පිලිබද තිසීසවල, “පක්ෂ සංවිධානයේ පොදු ව්‍යුහය ගැන” නම් වූ 7 වන කොටසේ 50 වන උප කොටස මෙසේ සඳහන් කරයි:

“ඔවුන් ප්‍රසිද්ධියේ පෙනී සිටින අවස්ථාවන්හි දී, පක්ෂයේ සාමාජිකයෝ සැම විටම සටන්කාමී සංවිධානයක විනයගත සාමාජිකයන් ලෙස ක්‍රියා කිරීමට බැඳී සිටිති. ඒ හෝ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ගත යුත් නිවැරදි ක්‍රියා විධික්‍රමය ගැන මතභේද පවතී නම්, කිසිදු ප්‍රසිද්ධ ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට පෙර, ඒවා හැකි තාක් දුරට, පක්ෂ සංවිධානය තුල විසඳාගත යුතු අතර, සාමාජිකයෝ එවිට ගන්නා ලද තීන්දුවට අනුකූලව ක්‍රියා කල යුත්තාහ. . . . සමහර වෙනත් සාමාජිකයන් දකින පරිදි සංවිධානයේ හෝ පක්ෂ නායක මන්ඩලයේ තීන්දුව වැරදි නම්, මෙම සහෝදරවරු අමතක නොකල යුතු කාරනාව නම්, ඔවුන් ප්‍රසිද්ධියේ කතා කරන හෝ ක්‍රියා කරන විට, පොදු ආස්ථානයේ එකමුතුකම දුර්වල කිරීම හෝ බිඳදැමීම විනය උල්ලංඝනයේ නරකම උදාහරනය ද විප්ලවවාදී අරගලය තුල සිදු කල හැකි දරුනුම වැරැද්ද ද වන බවයි. ” (අවධාරනය මුල් කෘතියේ)

“කොමියුනිස්ට්වාදයේ සියලු සතුරන්ට විරුද්ධව කොමියුනිස්ට් පක්ෂය සහ අන් සියල්ලට මත් වඩා කොමියුනිස්ට් ජාත්‍යන්තරය ආරක්ෂා කිරීම පක්ෂයේ සෑම සාමාජිකයකුගේ ම උත්තරීතර වගකීම යි. මෙය අමතක කරන නැත හොත් ප්‍රසිද්ධියේ පක්ෂයට හෝ කොමියුනිස්ට් ජාත්‍යන්තරයට පහර ගැසීම දක්වා ගමන් කරන අයෙක් පක්ෂයේ සතුරකු ලෙස සැලකිය යුත්තාහ.”

නන්දන සහ සංජය පක්ෂයට එරෙහිව වීවෘතව ම ප්‍රහාර එල්ල කරන්නේ, අතිමහත් ආර්ථික අර්බුදයේ බර මහජනතාවගේ කර මත පැටවීමට එරෙහිව, එවක ජනාධිපති ගෝටාභය රාජපක්ෂගේ සහ ඔහුගේ පසුප්‍රාප්තික රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුවලට සහ සමස්තයක් ලෙස ධනේශ්වර පාලනයට එදිරිව, කැකෑරෙන මහජන විරුද්ධත්වයක කොන්දේසි යටතේ, කම්කරුවන්ගේ, තරුනයන්ගේ හා ගම්බද ජනයාගේ වැඩිදියුනු ස්ථර අතර පක්ෂය වැඩෙන ආනුභාවයක් දිනාගනිමින් සිටින අවස්ථාවක ය. නන්දනගේ සහ සංජයගේ විනාශකාරී ක්‍රියා එල්ල කෙරී ඇත්තේ පක්ෂයට ආකර්ෂනය වන අය ව්‍යාකුල කොට ඉවතට හරවා යැවීමට ය.

ඔවුන්ගේ පක්ෂ-විරෝධී ක්‍රියාකාරකම් ගලා එන්නේ, සමාජවාදී සමානතා පක්ෂයේ කම්කරු පන්තික ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයෙන් හා ඉදිරිදර්ශනයෙන් අපසරනය වන දේශපාලන පිලිවෙතකිනි. ඔවුන් ප්‍රවර්ධනය කරන්නේ, මධ්‍යම පන්තිය දෙසට යොමු වූ වෙනත් ස්වභාවයක පක්ෂයකි.

පසුගිය අප්‍රේල් මස සිට එවක පැවති රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව පැන නැගි කම්කරුවන්ගේ, තරුනයන්ගේ හා ගම්බද ජනයාගේ මහජන නැගිටීමේ ආරම්භයේ පටන් ම, සසප, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දේශපාලනික හා න්‍යායික මගපෙන්වීම යටතේ, ජාත්‍යන්තර සමාජවාදය සඳහා වූ අරගලයේ කොටසක් ලෙස, ගම්බද ජනයා රැලිකරගෙන, දේශපාලන බලය ගැනීම පිනිස කම්කරු පන්තිය ස්වාධීනව දේශපාලනිකව බලමුලු ගැන්වීම සඳහා සටන් වැද තිබේ.

අප මෙම ක්‍රියාමාර්ගය සඳහා සටන් වැදුනේ, සියලු ධනේශ්වර පක්ෂවලට, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ඔවුන්ගේ ව්‍යාජ වාම සහ වෘත්තීය සමිති ඒජන්තයන්ට සහ ගෝටාගෝගම තුල ආධිපත්‍යය දරා සිටි විවිධාකාර මධ්‍යම පන්තික කන්ඩායම්වලට එරෙහිව ය.

ඊට ප්‍රතිකූලව, නන්දනගේ සහ සංජයගේ භාවිතාව වී තිබුනේ,  ගාලු මුවදොර විරෝධතා මත ආධිපත්‍යය දැරූ ව්‍යාජ වාම කන්ඩායම් ඇතුලු විවිධාකාර මධ්‍යම පන්තික සංවිධාන සමග වඩවඩා පෙලගැසීම යි. ඔවුන්ගේ ප්‍රයත්නය වී ඇත්තේ, පක්ෂය කම්කරු පන්තික ස්වාධීන විප්ලවවාදී පිලිවෙත සඳහා වූ එහි සප්‍රතිපත්තික අරගලයෙන් පීලි පන්නා එය එම ධනපති-ගැති ප්‍රවනතාවලට දේශපාලනිකව ගැටගැසීම යි.

ඔවුන්ගේ මෙම දිශාවනතිය පිලිබඳ පැහැදිලි නිදසුනක් වූයේ, එසේ නොකරන ලෙස සසප දේශපාලන කමිටුවේ නියමය ප්‍රතික්ෂේප කරමින්, ජූනි 15 දා, ගෝටාගෝගම ක්‍රියාත්මක වූ සංවිධානයක අනුග්‍රහය යටතේ, නන්දනගේ ද සහභාගිත්වයෙන්, ප්‍රසිද්ධ දේශනයක් පැවැත්වීමේ සංජයගේ ක්‍රියාවයි. දේශපාලන කමිටුව තීන්දු කලේ, මොන යම් හෝ වෙනත් සංවිධානයක් විසින් පවත්වනු ලබන රැස්වීමක පක්ෂ සාමාජිකයෙකු එවන් දේශනයක් පැවැත්වීමට යන්නේ නම්, පක්ෂය එයට සහභාගි වන්නේ ද නැද්ද යන්න තීන්දු කරන බවයි. මෙය ආකාරගත චර්යානුකූල නියෝගයක් නොව, පක්ෂය සෙසු සංවිධානවලින් දේශපාලනිකව වෙන්වීගත යුතු ය සහ ඒවා සමග සිය ධජය මිශ්‍ර කර නොගත යුතු ය යන මූලධර්මය මත පාදක වූවකි. සංජය පක්ෂ නියමය උල්ලංඝනය කරමින් ඉහත කී අවස්ථාවට සහභාගි විය.

ගෝටාගෝගම රැස්වීමට තමා සහභාගි වීම යුක්තියුක්ත කරමින්, අගෝස්තු 15 දා සසප ප්‍රධාන ලේකම් වෙත එවූ ලිපියක සංජය මෙලෙස පක්ෂයට චෝදනා කලේ ය: “දිවයිනේ මෑත කාලීන මහජන අරගල සම්බන්ධයෙන් පක්ෂය ගත් නිෂ්ක්‍රීය සහ කට්ටිවාදී ප්‍රවිෂ්ටය, ඒවා පක්ෂයට පිටස්තර ලෙසත් පක්ෂය එහි කොටසක් නොවන බවටත් සැලකීම කරා පක්ෂය යොමු කල අතර එනයින් මහජන අරගලවල නායකත්වය සඳහා සටන් කිරීමට පක්ෂය අසමත් විය. ” (අවධාරනය අපේ)

“ක්‍රියාකාරී” සහ “කට්ටිවාදී නොවන” ප්‍රවිෂ්ටයක් සඳහා වූ ඔහුගේ යෝජනාව, ව්‍යාජ වම ඇතුලු එම මධ්‍යම පන්තික කොටස් සමග ගැලතී ගැනීම මිස අනෙකක් නොවේ. සංජය හෙලා දැක ඇත්තේ, මෙම කන්ඩායම්වල දේශපාලනයට විරුද්ධව මහජන ව්‍යාපාරය තුල සසප සිදු කල සප්‍රතිපත්තික ක්‍රියාකාරී දේශපාලන මැදිහත්වීම යි. ඔහු පුනරුච්චාරනය කරන්නේ, සිය විප්ලවවාදී සමාජවාදී ක්‍රියාමාර්ගය හා ඉදිරිදර්ශනය ඉදිරිපත් කරමින් එය මත කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම සඳහා සටන් කිරීමට එරෙහිව ජාත්‍යන්තර කමිටුව සහ එහි පක්ෂ “කට්ටිවාදී” සහ “නිෂ්ක්‍රීය” ලෙස නම් කරමින් විවිධාකාර සංශෝධනවාදී සහ ව්‍යාජ වාම කන්ඩායම් ඒවා මත පටවන හංවඩුව යි.

මාර්තු 6 දා දේශපාලන කමිටුව හා මධ්‍යම කාරක සභාව වෙත යොමු කල ලිපියක සංජය මෙසේ පැවසීය: “අන් කවරදාටත් වඩා අද අවශ්ය කර ඇත්තේ, විවිධාකාර පන්ති පීඩනයන් හා අත්‍යවශ්‍යයෙන් ම පක්ෂයෙන් පිටත සිදු වන වෛෂයික වර්ධනයන් ද නියෝජනය කල හැකි විවිධ දේශපාලන, න්‍යායික, සංවිධානාත්මක අදහස් උදහස් නිදහසේ, විවෘත ව, සහෝදරාත්මක ව, ඉවසිලි සහගත ව, කවර හෝ හිරිහැර කිරීමකින් තොර ව, දේශපාලනික නම් අඬගැහීමකින් තොර ව, පක්ෂයේ සෑම මන්ඩපයක ම, සාකච්ඡා හා වාදවිවාද කිරීමට ඉඩකඩ ඇති පක්ෂයක් ගොඩනැගීමයි.”

සංජය ඉල්ලා සිටින්නේ, ධනේශ්වර පන්ති පීඩනයන් නියෝජනය කරන ප්‍රතිගාමී දේශපාලන පිලිවෙත් “නිදහසේ” සහ “සහෝදරාත්මකව” වැලදගැනීමට අවසර දෙන සුලු ධනේශ්වර සාකච්ඡා කන්ඩායමක් මිස ට්‍රොට්ස්කිවාදී විප්ලවවාදී පක්ෂයක් නොවේ.

අපි අදාල පක්ෂ සංස්ථා හරහා පක්ෂය තුල විවිධ මත සාකච්ඡා කිරීම මැඩීමට කටයුතු නොකරමු. ධනේශ්වර පන්ති පීඩනය ප්‍රකාශයට පත් කරන විවිධාකාර අදහස් පක්ෂය තුල පැන නැගිය හැකි ය. කෙසේ වෙතත්, අපි ඒවා “සහෝදරාත්මකව” පිලි ගන්නේ නැත. පක්ෂය තුල එවන් අදහස් පැන නැගි වහාම, අපි ඒවා දේශපාලනිකව විරේක කර දමා කම්කරු පන්තික විප්ලවවාදී පිලිවෙත තහවුරු කිරීම පිනිස ඒවාට එරෙහිව ක්ෂමාවිරහිතව සටන් කරන්නෙමු.

සසප, ශ්‍රී ලංකාව තුල නව තියුනු දේශපාලන වර්ධනයන් මධ්‍යයේ ප්‍රධාන මූලෝපායික මූලිකත්වයක් ගනිමින්, කම්කරුවන් සහ ගම්බද දුගීන් අතර ගොඩනගනු ලබන ක්‍රියාකාරී කමිටු මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමේ උද්ඝෝෂනයක් දියත් කර තිබේ.

මෙම නව මූලිකත්වය නිවේදනය කරමින් නිකුත් කෙරුනු ජුලි 20 දා පක්ෂ ප්‍රකාශය තුල පැහැදිලි කර ඇති පරිදි, මෙම සම්මේලනයේ එල්ලය වන්නේ, කම්කරු පන්තිය අතට දේශපාලන මූලිකත්වය ගනිමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නිර්දේශිත රුදුරු කප්පාදු පිලිවෙත්වලට සහ ආඥාදායක පාලනයට එරෙහි ප්‍රතිප්‍රහාරය සඳහා කම්කරු පන්තිය සූදානම් කිරීමයි.

සසප ප්‍රකාශය කියා සිටින පරිදි, “එහි බලවේග ශක්තිමත් කරගැනීමටත්, ගම්බද ජනයාගේ ක්‍රියාශීලී සහයෝගය දිනාගැනීමටත්, සමාජවාදී පිලිවෙත් ඔස්සේ සමාජය ප්‍රතිව්‍යුහගත කිරීමට කැප වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් හරහා තමන්ගේ ම පාලනයට පදනම දැමීමටත්, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප කරන කැඳවුම මගින්, කම්කරු පන්තියට දේශපාලන මූලෝපාය සම්පාදනය කරයි.”

මෙම අරගලය දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා වූ පුලුල් දේශපාලන සටනේ කොටසකි. අප පක්ෂය ජාත්‍යන්තර පරිමාන අපගේ සහෝදර පක්ෂ සමග එක්ව මෙම අරගලය අධිෂ්ඨානසහගතව ගැඹුරු කරන්නෙමු.

අතීතයේ දී පෙන්නුම් කර ඇති පරිදි, සෑම පක්ෂ සාමාජිකයෙක් ම, මෙම ක්‍රියාමාර්ගය සඳහා සටන් වැදීමට, පක්ෂයට නව කේඩර බඳවා ගැනීමට සහ කම්කරු පන්තිය විසින් දේශපාලන බලය අල්ලා ගනු ලැබීම සඳහා සටන් කිරීම දක්වා ඉදිරියට යන විප්ලවවාදී කර්තව්‍යයන්ට උර දීම පිනිස මහජන පක්ෂයක් ලෙස එය ප්‍රසාරනය කිරීමට සිය ප්‍රයත්නයන් දෙගුනතෙගුන කරනු ඇති බවට අපි මුලුමනින්ම විශ්වාස කරමු.