ඉදිරිදර්ශන

මැයි දිනය 2023: ජාතික ස්වෝත්තමවාදයට සහ යුද්ධයට එරෙහිව කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා !

මේ සමග පල වන්නේ, අප්‍රේල් 30 වන ඉරිදා පවත්වන ලද ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලිය ආරම්භ කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් ඉදිරිපත් කරන ලද කතාවයි. සමස්ත රැලියේ වීඩියෝවට මෙතැනින් පිවිසිය හැකිය.

ජාත්‍යන්තර කම්කරු පන්තික සහෝදරත්වයේ මෙම දිනයේ, මෙම ඔන්ලයින් රැලියට ලොවේ නන් දෙසින් සහභාගි වන සියලු දෙනාට, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සිය විප්ලවවාදී සුභ පැතුම් පිරිනමයි. ධනවාදයට එරෙහි ව අරගලයට පිවිස ඇති, සියලු මහාද්වීපවල හා සියලු රටවල කම්කරුවන් හා තරුන ජනයා සමග අපි අපේ සහෝදරත්වය ප්‍රකාශ කරමු.

ම්ලේච්ඡ සේවා කොන්දේසිවලට එරෙහි ව වැඩ වර්ජනය කිරීම නිසා, බොරු නඩුවකට හසු කොට, ජීවිතාන්තය දක්වා සිරගෙට යවනු ලැබ ඇති, ඉන්දියාවේ නව දිල්ලියේ මරුති සුසුකි මෝටර් රථ කම්කරුවන්ගේ නිදහස සඳහා වන සටනට සිය කැපවීම, ජාත්‍යන්තර කමිටුව පුනර්ජීවනය කරයි. අධිරාජ්‍යවාදී ආන්ඩුවල අපරාධවලටත්, සංගත මාධ්‍යවල ඔවුන්ගේ හෙන්චයියන්ගේ බොරුවලටත් එරෙහි ව, සත්‍යය සඳහා සටනෙහි සංකේතයක් බවට පත්ව තිබෙන, ජූලියන් අසාන්ජ්ගේ නිදහස සුරක්ෂිත කර ගැනීම සඳහා, ජාත්‍යන්තර කම්කරු පන්තියේ ශක්තිය බලමුලු ගැන්වීමේ අධිෂ්ටානය ජාත්‍යන්තර යලි තහවුරු කරයි.

අද දින රැලිය, ජාත්‍යන්තර කමිටුවේ දස වන ඔන්ලයින් මැයි දින සැමරුම යි. එය පැවැත්වෙන්නේ, යුක්‍රේනය තුල යුද්ධය, රුසියාව සමග නැටෝවේ ගැටුමෙන් ඔබ්බට චීනය සමග යුද්ධය බවටත් ගෝලීය න්‍යෂ්ටික වහ්නි ජාලාවක් බවටත් පැතිරී යාමට තර්ජනය කරමින්, අනවරත ව තීව්‍ර වෙමින් පවතිද්දී ය.

යුක්‍රේන යුද්ධය අවුලුවාලීමෙහි ලා තමන්ගේ ම භූමිකාව ආවරනය කිරීමට උත්සාහ දරන බයිඩන් පාලනාධිකාරය, පුටින්ගේ “අප්‍රකෝපිත යුද්ධය” පිලිබඳ අනෛතිහාසික හා අභූත ආඛ්‍යානයට ආසක්ත වී සිටී. වොෂින්ටනය විසින් මවා පෙන්වන ලද යක්ෂයන්ගේ දීර්ඝ ලැයිස්තුවේ නවතමයා වන ව්ලැදිමීර් පුටින් යක්ෂාරෝපනය කිරීම, යුද්ධයෙහි ඓතිහාසික, ආර්ථික, සමාජීය හා දේශපාලන සම්භවයන් පිලිබඳ කිසිවක් විස්තර කරන්නේ නැත.

යුක්‍රේනය තුල එක්සත් ජනපද-නැටෝ යුද්ධය හා පහත සඳහන් දේවල් අතර සම්බන්ධතාව පිලිබඳ කිසිදු විභාග කිරීමකින් එය අවධානය ඉවතට යොමු කරයි:

1) ගෙවී ගිය වසර 30 පුරා ඉරාකය, සර්බියාව, ඇෆ්ගනිස්තානය, සෝමාලියාව, ලිබියාව හා සිරියාව තුල එක්සත් ජනපදය විසින් ගෙනයන ලද තථ්‍ය වශයෙන් ම අබාධිත යුද්ධය;

]2) 1991 දී සෝවියට් සංගමය බිඳ විසුරුවන ලද තැන් පටන්, නැටෝව ඉව බව නැති ව නැගෙනහිරට ප්‍රසාරනය කිරීම;

3) තමන්ගේ ම ආධිපත්‍යධාරී ලෝක තත්ත්වයට අන්තරායකාරී තර්ජනයක් ලෙස ඇමරිකානු අධිරාජ්‍යවාදය දකින, චීනය සමග තීව්‍ර කෙරෙන භූ-දේශපාලනික ගැටුම;

4) ලෝකයේ සංචිත මුදල ලෙස ඩොලරයට පවත්නා ආධිපත්‍යයට එරෙහි ව වැඩෙන අභියෝගය තුල එහි තියුනු ම ප්‍රකාශනය සොයා ගන්නා එක්සත් ජනපදයේ ගෝලීය ආර්ථික තත්ත්වයේ දිග් ගැස්සුනු ඛාදනය;

5) එක්සත් ජනපද මූල්‍ය පද්ධතිය සම්පූර්න බිඳවැටීමකින් වලක්වා ගැනීමට මංමුලා සහගත ඇප දී ගලවා ගැනීම් අවශ්‍ය වී ඇති ආර්ථික කම්පන මාලාව;

6) 2020 නොවැම්බර් ජාතික මැතිවරනයේ ප්‍රතිඵලය පෙරලා දැමීමට, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2021 ජනවාරි 6දා ගත් උත්සාහය තුල ආදර්ශනය කෙරෙන ඇමරිකානු දේශපාලන පද්ධතියේ පැහැදිලි බිඳවැටීම;

7) ඇමරිකානු කම්කරු පන්තිය රැඩිකලීකරනය කරමින් තිබෙන නව උද්ධමනීය සර්පිලයක හා වසංගතයේ බලපෑම විසින් තීව්‍ර කරනු ලබන ඇඟ කිලිපොලා යන මට්ටම්වල අසමානතාව විසින් පලුදු කරනු ලැබ ඇති සමාජයක වර්ධනය වන දේශීය අස්ථාවරත්වය.

“අප්‍රකෝපිත යුද්ධය” පිලිබද ආඛ්‍යානය නිෂ්ප්‍රභ කල නො හැකි ලෙස ඛන්ඩනය කෙරෙන්නේ, අසමනීය අර්බුදවලින් ගොඩඒමට මාවතක් යුද්ධය හරහා සොයා ගැනීමේ මංමුලා සහගත උත්සාහයන් කරා එක්සත් ජනපද සංගත-මූල්‍ය ප්‍රභූව තල්ලු කර ඇති ආර්ථික, දේශපාලනික හා සමාජීය පරස්පර-විරෝධයන් විශ්ලේෂනය කරමින්, පසුගිය විසිපස් වසර තුල ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකරනු ලැබ ඇති, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශයන් විසිනි.

ජාත්‍යන්තර කමිටුවේ පලමු අන්තර්-ජාල මැයි දින රැලිය පවත්වන ලද්දේ, වොෂින්ටනය හා බර්ලිනය විසින් අතිශයින් ම රුසියාවට පක්ෂපාතී ලෙස දැක ගන්නා ලද යුක්‍රේන ජනාධිපති වික්ටර් යනුකොවිච් පෙරලා දමා නැටෝ-ගැති ආන්ඩුවක් බලයේ පිහිටවූ, එක්සත් ජනපදයේ හා ජර්මනියේ මෙහෙයවීම යටතේ 2014 පෙබරවාරියේ දී දියත් කල, මයිදාන් කුමන්ත්‍රනයෙන් මාස තුනක් ගතවීමටත් පෙරාතුව ය. එම කුමන්ත්‍රනයෙන් පසුව, රුසියාවට එරෙහි නැටෝ නාවික මෙහෙයුම් සඳහා කලු මුහුදේ කඳවුරක් බවට පත්කර ගැනීමට, වොෂින්ටනය සැලසුම් කර තිබුනු ක්‍රිමියාව, ක්‍රෙම්ලිනය විසින් අල්ලාගෙන ඈඳා ගත්තේ ය.

“රුසියාව සමග ගැටුමක් අවුලාගැනීමේ අභිප්‍රායය සහිත ව” මයිදාන් කුමන්ත්‍රනය වේදිකාගත කර තිබුනු බව, 2014 අප්‍රේල් 12දා පලකරන ලද පලමු අන්තර්-ජාල මැයි දින රැලියේ නිවේදනය තුල ලෝක සමාජවාදී වෙබ් අඩවිය ප්‍රකාශ කලේ ය. ප්‍රකාශය තව දුරටත් මෙසේ සඳහන් කලේ ය:

“යුක්‍රේනය අරබයා රුසියාව සමග ගැටුම, අධිරාජ්‍යවාදී බලයන්ගේ දිශානතිය තුල නව හා අන්තරායකාරී හැරීමක් සලකුනු කරයි. අධිරාජ්‍යවාදී යුද්ධයෙහි දෙවිවරු යලිත් පිපාසයෙන් පසුවෙති! පලමුවන ලෝක යුද්ධයට හා දෙවන ලෝක යුද්ධයට පෙරාතු අවුරුදුවල මෙන්, ලෝකය අලුතින් බෙදාගැනීමක් සූදානම් කරනු ලැබෙමින් පවතී.

“චීනය හා රුසියාව සමග යුද්ධය විය නො හැක්කක් යයි ද ප්‍රධාන අධිරාජ්‍යවාදී බලයන් න්‍යෂ්ටික බලවතුන් සමග යුද්ධයක අවධානම නො ගනු ඇතැයි ද විශ්වාස කරන අය, තමන් ව ම රවටා ගනිමින් සිටිති. විනාශකාරී ලෝක යුද්ධ දෙකකින්ද ගනන් නැති ලේවැකි ප්‍රාදේශීය ගැටුම්වලින් ද යුක්ත විසිවන ශතවර්ෂයේ ඉතිහාසය, පාලක පන්තීන් ගැනීමට සූදානම් වන අවධානම පිලිබඳ ප්‍රමානවත් සාක්ෂි සපයා ඇත. සත්‍ය වසයෙන් ම, සමස්ත මානවයාගේ හා ග්‍රහලෝකයේ ම ඉරනම අන්තරායේ හෙලීමට ඔවුන් සූදානම් ය.

“පලමුවන ලෝක යුද්ධය පුපුරා යාමෙන් වසර සියයකට හා දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමෙන් වසර හැත්තෑ පහකට පසුව, තුන්වන අධිරාජ්‍යවාදී භූතප්ලවයක අන්තරායට එරෙහි අරගලයකට ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දෙයි.”

ජාත්‍යන්තර කමිටුව සතුව අනාගතය දැකිය හැකි මැජික් බෝලයක් තිබුනේ නැත. එහෙත්, මාක්ස්වාදී න්‍යාය නමැති බලගතු ආයුධයත් පලමුවන ලෝක යුද්ධය සමයේ ලෙනින් විසින් වර්ධනය කරන ලද ලෝක අධිරාජ්‍යවාදයේ ගතිකයන් පිලිබඳ විශ්ලේෂනයත් මත පදනම්ව පාඩම් උකහා ගැනීමට එයට හැකි විය. ජන සංහාරය සාධාරනීකරනය කිරීම සඳහා අධිරාජ්‍යවාදී ආන්ඩු භාවිතා කල බොරු සහ ධනපති ආන්ඩුවල යුද පිලිවෙත්වලට එරෙහි ව කම්කරු පන්තියේ ජාත්‍යන්තර සමගිය වෙනුවෙන් පෙනී සිටීම වෙනුවෙන් තමන් කලින් දී තිබුනු ප්‍රතිඥාවන් ප්‍රතික්ෂේප කල අය විසින් යොදාගත් විතන්ඩවාදයන් හෙලිදරවු කිරීමට ලෙනින් ඒ සමයේ දී ක්‍රියා කලේ ය.

ව්ලැඩිමීර් ලෙනින්

ලෙනින්ගේ විශ්ලේෂනය, අධිරාජ්‍යවාදයේ ආර්ථික පදනම් සහ ධනපති රාජ්‍යයන් අතර මතුවෙමින් තිබුනු අපලායනීය ගැටුම් තුල යුද්ධය තැබුවේ ය. “ජාතිය ආරක්ෂා කිරීමේ” නාමයෙන් යුද්ධයට සහයෝගය දිය හැකි බවට ද නැතහොත් මිලිටරි ගැටුම හුදෙක් ම පිලිවෙත් විකල්පවල වැරදි තෝරාගැනීමක ප්‍රතිඵලය බවට ද වන කියාපෑම් ලෙනින් ප්‍රතික්ෂේප කලේ ය. මින් පලමු තර්කය සරල ව ම ජාතික ස්වෝත්තමවාදයට යටත් වීම කුහක ලෙස සාධාරනීකරනය කිරීමක් විය; දෙවැනි තර්කය සේවය කලේ අධිරාජ්‍යවාදී යුද්ධයේ වෛෂයික හේතු සහ කම්කරු-පන්තික යුද-විරෝධී මූලෝපායක් වර්ධනය කිරීම සඳහා එහි පැවති විප්ලවවාදි ගම්‍යයන් අකාමකා දැමීමට ය.

අධිරාජ්‍යවාදී ආර්ථිකයන්, නො වැලැක්විය හැකි ලෙස, අධිරාජ්‍යවාදී යුද්ධයටත් එහි සියලු භීෂනයන්ටත් හේතු විය. “අධිරාජ්‍යවාදය වනාහි, සාමාන්‍යයෙන්, ප්‍රචන්ඩත්වය හා ප්‍රතිගාමීත්වය... දෙසට වන ප්‍රයත්නයක්”යයි 1916 දී බොල්ශෙවික් පක්ෂයේ නායකයා ලිවී ය. ප්‍රචන්ඩත්වය අනුකම්පා විරහිත ලෙස යොදා ගැනීම හරහා, අධිරාජ්‍යවාදියෝ ලෝකයේ ධනය හා සම්පත් ප්‍රධාන බලයන් අතර බෙදී තිබෙන ආකාරය වෙනස් කිරීම ඉලක්ක කලහ. ලෙනින් මෙසේ විස්තර කලේ ය:

1) ලෝකය දැනට මත් බෙදා වෙන්කරගෙන තිබෙන නිසා, යලි බෙදාගැනීමක් ගැන කල්පනා කරන අයට, සෑම වර්ගයක ම භූමි ප්‍රද්ශ කරා තම හස්තය දිගු කිරීමට සිදුවේ; (2) මූලිකත්වය සඳහා මහා බලවත් රාජ්‍යයන් කිහිපයක් අතර ප්‍රතිපාක්ෂික භාවය අධිරාජ්‍යවාදයේ සාරභුත අංගලක්ෂනයකි. එම ප්‍රතිපාක්ෂික භාවය, එක එල්ලේම තමන් සඳහා නොවූවත්,ප්‍රතිමල්ලවයා දුර්වලකිරීම සහ මූලිකත්වය බිද දැමීමට ප්‍රදේශ අල්ලා ගැනීම සඳහා වුවකි.

ලෙනින් තව දුරටත් මෙසේ පැවසීය:

ප්‍රශ්නය වන්නේ මෙයයි: එක් අතෙකින්, නිෂ්පාදන බලවේගවල වර්ධනය සහ ප්‍රාග්ධනය සමුච්ඡනය කරගැනීම අතර තිබෙන විෂමතාවත්, අනෙක් අතට මූල්‍ය ප්‍රාග්ධනය සඳහා යටත් විජිත හා ආනුභාවී ප්‍රදේශ බෙදාගැනීමත් ජයගැනීමට යුද්ධය හැර ධනවාදය යටතේ තිබිය හැකි වෙනත් විධික්‍රමය කුමක් ද?

යුක්‍රේනය තුල වර්තමාන යුද්ධයත්, චීනය සමග තීව්‍ර වන ගැටුමත්, වඩා අභිවර්ධිත හා සංකීර්න මට්ටමකින්, ශතවර්ෂයකටත් වැඩි කාලයකට පෙර ලෙනින් විසින් විශ්ලේෂනය කරන ලද ගෝලීය පරස්පර-විරෝධයන්ගේ ප්‍රකාශවීම යි.

1991 පටන්, සැතපුම් 800ක් නැගෙනහිරදිගට නැටෝවේ ප්‍රසාරනය වීම රුසියාවට එරෙහි ප්‍රකෝපකරනයක් ලෙස නොසලකා හැරියත්, යුක්‍රේනය තුල යුද්ධය යනු, පුටින්ගේ “අප්‍රකෝපිත” ආක්‍රමනයේ ක්ෂනික හා අනපේක්ෂිත ප්‍රතිඵලය වනු වෙනුවට, එක්සත් ජනපදය විසින් ගෙනයන ලද 30 අවුරුදු අඛන්ඩ යුද්ධය ඉදිරියට ගෙනයාම හා තීව්‍ර වීම යි. නිමා නො වන ගැටුම් මාලාවක සාරභූත ඉලක්කය වී ඇත්තේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දිග්ගැස්සුනු ආර්ථික ඛාදනය ප්‍රතිතුලනය කරගැනීම හා මිලිටරි අල්ලාගැනීම් හරහා එහි ගෝලීය ආධිපත්‍යය සුරක්ෂිත කරගැනීම යි.

ජර්මානු අධිරාජ්‍යවාදය “යුරෝපය සංවිධානය කිරීමට” උත්සාහ කල අතර, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අභිලාෂය වූයේ “ලෝකය සංවිධානය කිරීම” බව 1934 දී ලියොන් ට්‍රොට්ස්කි ලීවේ ය. ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය තහවුරු කිරීමේ අභිප්‍රායයෙන් ලීවා යයි පෙනෙන භාෂාවක් භාවිතා කරමින්, එවකට ජනාධිපති අපේක්ෂකයෙකු වූ ජෝ බයිඩන් 2020 අප්‍රේල් මාසයේ දී මෙසේ ලිවී ය: “බයිඩන් විදෙස් පිලිවෙත යලි වතාවක් එක්සත් ජනපදය මේසයේ ප්‍රධාන ආසනයේ පිහිටුවනු ඇත...ලෝකය එය විසින් ම සංවිධානය නො වේ.”

හතරවැනි ජාත්‍යන්තරයේ ආරම්භාකයාවූ ලියොන් ට්‍රොට්ස්කි

එහෙත්, එක්සත් ජනපදය මුහුන දෙන්නේ, ආවශ්‍යයෙන් ම එක්සත් ජනපදය විසින් සංවිධානය කරනු ලැබීම අවශ්‍ය නො වන ලෝකයකට යි. ඇමරිකානු භූ-දේශපාලනික ආධිපත්‍යයේ මූල්‍යමය පදනම වන, ලෝකයේ සංචිත මුදල ලෙස ඩොලරයේ භූමිකාව වඩ වඩා අභියෝගයට ලක්වෙමින් පවතී. ආර්ථික හා මිලිටරි තරඟකරුවෙකු ලෙස චීනයෙහි වැඩෙන භූමිකාව, වොෂින්ටනය විසින් දැකගනු ලබන්නේ ඇමරිකානු ආධිපත්‍යයේ පැවැත්මට එරෙහි තර්ජනයක් ලෙස යි.

1914 දී යුද්ධයට යාමට අධිරාජ්‍යවාදී බලයන් ගත් තීන්දුව තුල ප්‍රධාන සාධකයක් වූයේ, කාලය පවතින්නේ ඔවුන්ගේ පැත්තේ නො වූ බවට- එනම්, යුද්ධය පමා කිරීම හුදෙක් ම ඉඩ දෙනු ඇත්තේ ඔවුන්ගේ තරඟකරුවන් ශක්තිමත් වීමට පමනක් යයි- පැවති භීතිය යි. යුද්ධය නොවැලැක්විය හැකි යයි දැකගන්නා ලද තාක් දුරට, යුද්ධය පුපුරා යාම සම්බන්ධයෙන් “පමාවීමට වඩා ඉක්මනවීම හොඳ” යි යන ආකල්පය කරා ඔවුන් ව තල්ලු කලේ ය. ගැටුම වැලැක්විය නො හැකි යයි, මෙලෙස ධනපති දේශපාලන නායකයන් හා මිලිටරි නායක කාර්යය මන්ඩල අතර පැවති ආත්මීය ඒත්තු ගැනීම, තීරනාත්මක ලක්ෂ්‍යයක දී, 1914 අගෝස්තුවේ දී යුද්ධය කරා යාමේ තීන්දුවේ වැදගත් සාධකයක් බවට පත් විය.

මීලඟ වසර 15, 10 හෝ 5 පවා ඇතුලත චීනය සමග යුද්ධයක් පිලිබඳ අනාවැකි කියමින්, ධනපති මාධ්‍යයන් හා මූලෝපායික සඟරාවන් තුල පලවන ගනන් නැති ලිපි, වර්තමාන වොෂින්ටනය තුල ඒ හා සමාන මනෝගතියක පැවැත්මට සාක්ෂි දරයි. වොෂින්ටනයට තමන් දීර්ඝ-කාලයක් තිස්සේ සැලසුම් කරන මිලිටරි ක්‍රියාව යුක්තියුක්ත කිරීමට අවශ්‍ය කරන ප්‍රචාරන ආඛ්‍යානය සම්පාදනය කරමින්, චීනය මිලිටරි ක්‍රියාවකට, එනම් “පලමු වෙඩිල්ල තැබීමට”, පෙලඹවීමේ පැහැදිලි අභිප්‍රායෙන් යුක්ත, බයිඩන් පරිපාලනය තායිවානය තුල ගන්නා ක්‍රියා මාර්ගවල ඉව බව නැති ප්‍රකෝපකාරී ස්වභාවයට වෙනත් බැරෑරුම් දේශපාලන විග්‍රහයක් නැත.

එක්සත් ජනපදය වඩාත් ම ආක්‍රමනකාරී අධිරාජ්‍යවාදී බලය වන නමුත්, වොෂින්ටනය යුද්ධය දෙසට තල්ලු කරන එම ගතිකය ම යුරෝපය තුලත් ක්‍රියාත්මක වේ. නැටෝ සන්ධානය තුල සිටින එක්සත් ජනපදයේ යුරෝපීය අධිරාජ්‍යවාදී සගයන්ට, වොෂින්ටනය සැලසුම් කරන පරිදර්ශනය අනුගමනය කිරීමට වත්මන් ගෝලීය බල තුලනය විසින් බල කල ද රුසියාව සමග ගැටුමේ දී ඔවුන් කිසිසේත් අහිංසක ව පසෙකට වී බලා සිටින්නන් නො වේ.

සිය පැරනි විජිතවල සිදු කල ම්ලේච්ඡ අපරාධ සහ තමන්ගේ ම රටවල් තුල ෆැසිස්ට්වාදය හා ජනසංහාර පිලිබද අත්දැකිම් සහිතව, පසුගිය ශතවර්ෂයේ ලෝක යුද්ධ දෙකකට සහභාගි වී පදම්ව සිටින, සියලු පැරනි යුරෝපීය අධිරාජ්‍යවාදී බලයන් ද එක්සත් ජනපදයට පීඩා කරන එම දේශපාලන හා ආර්ථික ව්‍යාධීන්ගෙන් අරක්ගනු ලැබ පවතී. එම ගැටලු සමග පොර බැදීමට ඔවුන් සතුව ඇත්තේ එක්සත් ජනපදයටත් වඩා අඩු මූල්‍යමය සම්පත් ප්‍රමානයකි.

ඔවුන්ගේ අධිරාජ්‍යවාදී අභිලාෂයන් ස්වාධීන ව හඹා යාමට අසමත් නමුත්, බ්‍රිතාන්‍යය, ප්‍රන්සය, ඉතාලිය හෝ ජර්මනිය වේවා, ස්වීඩනය, පින්ලන්තය, නෝර්වේ, ඩෙන්මාර්කය, ස්පාඤ්ඤය, බෙල්ජියම හා ස්විට්සර්ලන්තය යන “අඩු බලයන්” වේවා, මේ කිසිදු රටක්, රුසියාව මිලිටරිමය ලෙස පරාජය කර, රාජ්‍ය කැබලිති ගනනාවකට එරට බිඳ දැමීමෙන් පසුව සිදු වනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වන භූමිභාග සහ ස්වාභාවික සම්පත් යලි බෙදාගැනීමෙන් ද එයින් ලැබෙන මූල්‍යමය වාසි කරා ප්‍රවේශයෙන් ද තමන් ම පිටමං කිරීමක් පිලිගැනීමට සූදානම් නැත.

“පලමු වෙඩිල්ල තැබුවේ කවුරුන් ද?” යන ප්‍රශ්නය මත කේන්ද්‍රගත කරමින්, යුද්ධය සඳහා “දෝෂාරෝපනය” තක්සේරු කරන සියලු ප්‍රයත්නවලට අවශ්‍ය කරන්නේ, වඩා දීර්ඝ සිද්ධි අනුක්‍රමයකින් තනි සිද්ධියක් හුදකලා කරන අතිශයින් ම සීමිත කාල රාමුවකි.

2022 පෙබරවාරි 24දා, රුසියාව යුක්‍රේනය ආක්‍රමනය කිරීමට පෙරාතුව සිදු වූ සිද්ධීන් අවශ්‍ය ඓතිහාසික හා දේශපාලනික සන්දර්භය තුල තැබූ කල, යුද්ධය අවුලුවන ලද්දේ එක්සත් ජනපදය හා එහි නැටෝ සගයන් විසින් බවට කිසිදු ප්‍රශ්නයක් නැත.

කෙසේවෙතත්, යුද්ධය අවුලුවාලන ලද්දේ එක්සත් ජනපදය හා නැටෝව විසින් ය යන්න, යුක්‍රේනය තුල රුසියානු ආක්‍රමනයෙහි ප්‍රතිගාමී ස්වභාවය වෙනස් කරනවා තබා, එම ආක්‍රමනය සාධාරනීකරනය කිරීමක් වත් කරන්නේ නැත. යුක්‍රේන ආක්‍රමනය වනාහි, රුසියාවේ දේශසීමාවන්ට නැටෝව එල්ල කල තර්ජනයට දැක්වූ යුක්තියුක්ත ප්‍රතිචාරයක් ය යන පදනම මත, එය ආරක්ෂා කරන්නන් සරල ව ම නො තකා හරින්නේ, පුටින් යනු සෝවියට් සංගමය තුල පැවති ජනසතු දේපොල විසුරුවා හැරීම හා මංකොල්ලකෑම මත තම ධනය පදනම් කරන කතිපයාධිකාරී පන්තියක ආර්ථික අවශ්‍යතා විසින් නීර්නය කරනු ලබන “ජාතික ආරක්ෂාවක්” සහිත ධනපති රාජ්‍යයක නායකයාය යන්න යි.

යුද්ධය දියත් කිරීම හා කරගෙන යාම යන දෙකේ දී ම පුටින් කරන සියලු වැරදි ගනන් බැලීම් හා මොට්ටකම් පිලිබිඹු කරන්නේ, ඔහු සේවය කරන පන්ති අවශ්‍යතාවන් ය. යුද්ධයෙහි අරමුන වන්නේ, බටහිර අධිරාජ්‍යවාදී බලයන්ගෙන් එල්ල වන මිලිටරි පීඩනයට එරෙහිව ක්‍රියා කිරීම සහ රුසියානු දේශසීමා ඇතුලත ද හැකි තරම් පුලුල්තම පරිමානයට කලු මුහුදු කලාපය ද මධ්‍යයම ආසියාවේ හා අන්තර්-කොකේසියානු කලාපයේ අසල්වැසි රටවල් ද තුල ස්වාභාවික සම්පත් හා ශ්‍රමය සූරාකෑමට ජාතික ධනපති පන්තියට අවශ්‍ය කරන ආධිපත්‍යධාරී තත්ත්වය දිගටම තබා ගැනීම යි.

මෙම අරමුනු තුල, අධිරාජ්‍ය-විරෝධී තබා, ප්‍රගතිශීලී කිසිවක් හෝ නැත.

ඔවුන්ගේ වර්තමාන ගැටුම නො තකා, රුසියාවේ හා යුක්‍රේනයේ නව පශ්චාත්-සෝවියට් පාලක පන්තීහු, සෝවියට් සංගමය බිඳ විසිරවීම හා ධනවාදය පුනස්ථාපනය කිරීම තුල පවතින එක ම සාපරාධී සම්භවය බෙදා හදා ගනිති.

දැන් යුද්ධය එහි දෙවන වසරට පිවිසී ක්‍රියාත්මක වෙයි. දෙපාර්ශවයෙන් ම, තවත් ජීවිත දස දහස් ගනනක් අහිමි වීමට තුඩු දෙනු ඇති, යුක්‍රේන ප්‍රති-ප්‍රහාරයක් දියත් කිරීම පූර්වාපේක්ෂා කරන ධනපති මාධ්‍ය, රුධිරස්නානය ගැන සතුටින් සිනහ වෙමින් සිටී.

වර්තමානයේ දී, වඩාත් ම ලේවැකි සටන කේන්ද්‍රගත ව ඇත්තේ බැක්මුත් නගරය තුල යි. යුක්‍රේනය හා රුසියාව යන දෙපාර්ශවය ම විසින්, ප්‍රචාරන අවශ්‍යතාව සඳහා තොරතුරු හැසිරවීම සැලකිල්ලට ගත් විට පවා, මෙම නගරය සඳහා වන ගැටුම මානව ජීවිත රුදුරු ලෙස බිලිගෙන ඇති බවට ප්‍රශ්නයක් නැත.

එහෙත් නගරය තුල හා එය වටා සිදු කෙරෙන මිලිටරි මෙහෙයුම් සම්බන්ධයෙන් සියලු අවධානය යොමු කර තිබුනත්, නගරයේ ඉතිහාසය පිලිබඳ ව මාධ්‍ය තුල කිසිවක් සදහන කෙරී නැති තරම් ය. මෙහි ඉතිහාසය විමර්ශනය කිරීමක්, මෙම භාතෘඝාතක යුද්ධයේ බේදනීය ස්වභාවයට සහ රුසියාව හා යුක්‍රේනය යන දෙරටේ ම ජනයා සඳහා එය නියෝජනය භයංකර සමාජීය ප්‍රතිගමනයට සාක්ෂි දරයි.

බැක්මුත් නගරය 1917 ඔක්තෝබර් විප්ලවයෙන් ඉක්බිත්තේ පැනනැගුනු සිවිල් යුද්ධයේ ප්‍රධාන සටන් පෙරමුනක් විය. සෙමියොන් පෙත්ල්යූරාගේ බොල්ශෙවික්-විරෝධී යුක්‍රේනියානු ජාතිකවාදී හමුදාවේ පාලනය යටතට එය පත් වූ අතර, පෙත්ලුයූරාගේ පාලන තන්ත්‍රය 50,000ත් 200,000ත් අතර යුදෙව්වන් ප්‍රමානයක් මරා දැමූ සංහාරයක් මුදාහැරී ය.

1919 දෙසැම්බර් 27දා රතු හමුදාව බැක්මුත් නගරය නිදහස් කරගත් අතර, මෙම ජයග්‍රහනය යෝධ සමාජීය පරිවර්තනයකට දොර හැරී ය. “ශ්‍රමයේ ජයග්‍රහනයේ” කම්හලක් ඉදිකරන ලද අතර, ජර්මානු විප්ලවවාදී කාල් ලිබ්නෙක්ට්ගේ හා සෝවියට් නායක යාකොව් ස්වෙර්ද්ලොව්ගේ නමින් නගරය අසබඩ පතල් නම් කරන ලදී. 1924 දී, මෙම නගරය ආර්ට්මිව්ස්ක් නමින් යලි නම් කරන ලද්දේ, ආර්ට්යොම් සහෝදරයා යනුවෙන් ප්‍රසිද්ධ නායක බොල්ශෙවික්වරයෙකු වූ ෆ්යොදොර් ඇන්ඩ්‍රෙයෙවිච් සර්ජියෙව්ගේ මතකයට ගෞරව දැක්වීම සඳහා ය.

බහුජාතික රුසියානු අධිරාජ්‍යයේ සමාජවාදී-හිතැති කම්කරු පන්තියේ, බුද්ධිමතුන්ගේ හා තරුනයන්ගේ පලල් කොටස්වලට අනුප්‍රානය සැපයූ විප්ලවීය ජාත්‍යන්තරවාදය ඔහුගේ ජීවිතය තුල පිලිබිඹු විය.

ෆ්යොදොර් සර්ජියෙව් හෙවත් ආර්ට්යොම් සහෝදරයා

1901 දී රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයට බැඳී තිබුනු සර්ජියෙව්-ආර්ට්යොම්, 1903 භේදයෙන් පසුව ලෙනින්ගේ බොල්ශෙවික් කන්ඩායමට සහයෝගය දැක්වී ය. 1905 විප්ලවය සමයේ, කාර්කොව් නගරයේ කම්කරුවන්ගේ සන්නද්ධ කැරැල්ලකට ඔහු නායකත්වය දුන්නේ ය. විප්ලවයේ පරාජයෙන් පසුව, ඔහු ව සයිබීරියාවේ සිරගත කරන ලදී. එහෙත්, වසර තුනකට පසුව පලායාමට සමත් වූ ආර්ට්යොම් සහෝදරයා, ජපානය හා කොරියාව හරහා ඕස්ට්‍රේලියාවට පැමිනියේ ය.

ක්ෂනික ව ඔහු ඕස්ට්‍රේලියානු කම්කරු පන්තියේ අරගල තුල ක්‍රියාකාරී විය. “ලොකු ටොම්”යනුවෙන් පුලුල් ලෙස හැඳින්වුනු ආර්ට්යොම්, 1912 දී Echo of Australia (ඕස්ට්‍රේලියානු ප්‍රතිරාවය) පත්‍රයේ කර්තෘ ධූරයට පත් විය. ඔහු, ඕස්ට්‍රේලියානු සමාජවාදී පක්ෂයේ සාමාජිකයෙකු ලෙස, පලමුවන ලෝක යුද්ධයට ඕස්ට්‍රේලියාවේ සහභාගි වීමට වෘත්තීය සමිති තුල පැනනැගි විරුද්ධත්වයට නායකත්වය දුන්නේ ය.

පෙබරවාරි විප්ලවයෙන් පසුව පෙරලා රුසියාවට පැමිනි ආර්ට්යොම්, කාර්කොව් නගරය හා ඩොනෙට්ස් ද්‍රෝනි කලාපය තුල බොල්ශෙවික් පාලනය තහවුරු කල විප්ලවවාදී නැගිටීම තුල ප්‍රධාන කාර්යභාරයක් ඉටු කලේ ය. අවසානයේ සෝවියට් බලය තහවුරු කල සිවිල් යුද්ධය තුල ද ඔහු ප්‍රධාන භූමිකාවක් ඉෂ්ට කලේ ය. 1921 දී ආර්ට්යොම් දුම්රිය අනතුරක් හේතුවෙන් මරුමුවට පත් විය. ඉන් වසර තුනකට පසුව, බැක්මුත් නගරය ආර්ට්මිව්ස්ක් නමින් යලි නම් කරනු ලැබී ය.

1941 ඔක්තෝබර් 31දා, එනම් සෝවියට් සංගමය ආක්‍රමනය කිරීමෙන් මාස හතකරට පසුව, නාසි හමුදා ආර්ට්මිව්ස්ක්හි වාඩිලා ගත් හ. 1942 මුල දී, දක්ෂිනාංශික යුක්‍රේනියානු ජාතිකවාදීන්ගේ සහයෝගය ලත් නාසීහු, යුදෙව්වන් 3,000ක් ඝාතනය කල හ. එම යුදෙව්වන් ව වට කොට අල්ලාගෙන, පතල් වලකට තල්ලු කර මිය යන තෙක් හුස්ම හිර කරන ලදී.

1943 සැප්තැම්බර් 5දා, රතු හමුදාව ආර්ට්මිව්ස්ක් නගරය විමුක්ත කරගත්තේ ය.

2014 මයිදාන් කුමන්ත්‍රනයෙන් පසුව, යුක්‍රේන ෆැසිස්ට්වාදයේ වීරයන් පුනරුත්ථාපනය කිරීමටත්, සෝවියට් යුගයේ සියලු දේශපාලනික, සමාජීය හා සංස්කෘතික සලකුනු ඉවත් කිරීමටත් නො ඉවසිලිමත් වූ පොරොෂෙන්කෝගේ දක්ෂිනාංශික පාලන තන්ත්‍රය, යුක්‍රේන සිතියමෙන් ආර්ට්මිව්ස්ක් ඉවත් කොට නගරයේ පැරනි නම වූ බැක්මුත් පුනස්ථාපනය කලේ ය.

ඔක්තෝබර් විප්ලවයේ ශේෂයන් මකාදැමීම සමගින්, ස්ටෙපාන් බන්ඩේරා, ද්මිත්‍රි ඩොන්ස්ටොව් සහ ෆැසිස්ට්වාදී හා නව-නාසිවාදී ධනේශ්වර යුක්‍රේනියානු ජාතිකවාදයේ අනෙකුත් විරුවන් යලි උත්කර්ෂයට නැංවීම අත්වැල් බැඳගත්තේ ය.

එහෙත් යුක්‍රේනියානු ෆැසිස්ට්වාදයට එරෙහි ව සටන් කරන බවට පුටින් කරන කියාපෑම්වලට මොන යම් හෝ දේශපාලනික විශ්වාසවන්ත භාවයක් වත් නැත. ඔහු යුද්ධය ගෙන යන්නේ, රුසියානු ජාතිකවාදයේ ප්‍රතිගාමී ධජය යටතේ ය. පුටින් සාර්වාදයේ උරුමය මතකයට නංවමින්, ලෙනින්, ට්‍රොට්ස්කි, බොල්ෂෙවික්වාදය හා ඔක්තෝබර් විප්ලවය හෙලාදකින විට, ඔහු තහවුරු කරමින් සිටින්නේ, ඔහුගේ පාලන තන්ත්‍රයේ ඓතිහාසික ව ප්‍රතිගාමී හා දේශපාලනික ව බංකොලොත් ස්වභාවය යි.

යුද්ධය අවසාන කිරීමක් ඉල්ලා සිටීමේ දී, අපි සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මූලධර්මයට ආයාචනා කරමු. කම්කරු පන්තියට රටක් නැත. යුක්‍රේනියානු හෝ රුසියාන කම්කරු පන්තියට මෙම යුද්ධයෙන් දිනාගැනීමට කිසිවක් නැත. වසර අසූවකට පෙර, යුක්‍රේනයේ හා රුසියාවේ කම්කරුවෝ සෝවියට් සංගමයෙන් නාසි ආක්‍රමනිකයන් පලවා හැරීමේ අරගලයක් තුල උරෙනුර ගැටෙමින් එක්ව සටන් කලෝ ය. දැන්, ධනවාදය පුනස්ථාපනය කිරීමේ විපාකයක් ලෙස, ෆැසිස්ට්වාදයට එරෙහි ව ද ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහන ආරක්ෂා කිරීමට ද එසේ උරෙනුර ගැටෙමින් එක්ව සටන් වැදුනු භූමියේ ම ඔවුහු එකිනෙකා මරා ගනිති.

විප්ලවවාදී වීම පසෙක තැබුවත්, අධිරාජ්‍යවාදී යුද්ධයට පවතින දේශපාලනික ව ශක්‍ය එකම පිලිතුර වන්නේ, සමාජවාදී පිලිවෙත්වල පදනම මත ජාත්‍යන්තර කම්කරු පන්තිය විප්ලවවාදී ලෙස බලමුලු ගැන්වීම යි. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ “ඒකධ්‍රැවීය” ආධිපත්‍යය පරයා යනු ඇතැයි උපකල්පනය කරනු ලබන “බහු-ධ්‍රැවීය” ලෝකයක ආගමනය පිලිබඳ ව, වර්තමානයේ බොහෝ කතා පවතී. “බහු-ධ්‍රැවීයත්වයේ” ශාස්ත්‍රාලික හා ව්‍යාජ-වාම න්‍යායචාර්යවරුන්ට අනුව, වොෂින්ටනයේ පාලනය, ගෝලීය සම්පත් වඩා සාමකාමී බෙදීමක් මත සාමූහික ව හා සුසංවාදී ලෙස පාලනය මෙහෙයවන ධනපති රාජ්‍යයන්ගේ සන්ධානයක් විසින් විස්ථාපනය කරනු ලැබේ.

සාමකාමී “අති-අධිරාජ්‍යවාදයක” මෙම නව අනුවාදය, එය දැනට ශතවර්ෂයකට පෙර, ජර්මානු ප්‍රතිසංස්කරනවාදී කාල් කෞට්ස්කි පලමු වරට යෝජනා කොට, ලෙනින් විසින් විස්තීර්න ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබූ අවස්ථාවට වඩා න්‍යායික ව සමාග්‍රාහී හෝ දේශපාලනික ව ශක්‍ය නො වේ. ධනපති හා අධිරාජ්‍යවාදී රාජ්‍යයන් අතර ගෝලීය සම්පත් සාමකාමීව බෙදාගැනීම හා වෙන් කරගැනීම කල නො හැක්කකි. ගෝලීය ආර්ථිකය හා ධනපති ජාතික-රාජ්‍ය පද්ධතිය අතර පරස්පර-විරෝධය යුද්ධයට තුඩු දෙයි.

කොයි හැටි වෙතත්, “බහු-ධ්‍රැවීය” ලෝකයක් යථාවත් කරගැනීම -එහි සදොස් න්‍යායික පදනම් පසකෙ තැබුවත් - අද දින ආධිපත්‍යධාරී අධිරාජ්‍යවාදී බලය වන එක්සත් ජනපදය විසින් සාමකාමී ව පිලිගැනීම අවශ්‍ය කරයි. මෙය යථාර්ථවාදී බලාපොරොත‍්තුවක් නොවේ. “ඒක-ධ්‍රැවීය” ආධිපත්‍යයක් සඳහා එක්සත් ජනපදය යෙදී සිටින ධාවනයට බාධා කිරීමට ගන්නා උත්සාහයන්ට, එක්සත් ජනපදය එය සතු සියලු උපක්‍රම යොදා ගනිමින් විරුද්ධ වනු ඇත. ඒ අනුව, “බහු-ධ්‍රැවීය” ලෝකයකින් “ඒක-ධ්‍රැවීය” ලෝකය විස්ථාපනය කිරීමට ගන්නා මනෝරාජික ප්‍රෝත්සාහය, එහි ම ඇඹුරුනු තර්කය විසින්, තුන්වන ලෝක යුද්ධයටත් ග්‍රහලෝකය විනාශ කිරීමටත් තුඩු දෙයි.

අවසාන විග්‍රහයේ දී, මෙම ප්‍රති-මාක්ස්වාදී න්‍යායයන් ට හා පිලිවෙත්වලට යටින් පවතින්නේ, ධනවාදයට එරෙහි අරගලයට විරුද්ධත්වයක් සහ ගැටෙන ධනපති හා අධිරාජ්‍යවාදී රාජ්‍යයන් අතර තුලනය වීමේ උත්සාහයකි.

ජාත්‍යන්තර කමිටුව, ධනපති පාලන තන්ත්‍රයන්ට එලෙස කරන සියලු බියගුලු යටත්වීම් හා විප්ලවවාදී කර්තව්‍යයන්ගෙන් පලායාම් ප්‍රතික්ෂේප කරයි. දෙවන ලෝක යුද්ධය පුපුරා යාම අබියස ට්‍රොට්ස්කි සඳහන් කල පරිදි: “අපි ආන්ඩු පක්ෂයක් නො වේ; අපි වනාහි අශමනීය විප්ලවවාදී විරුද්ධත්වයේ පක්ෂය වෙමු...”

අපි අපේ පිලිවෙත් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන්නේ, “ධනපති ආන්ඩුවල මාධ්‍යය හරහා නො වේ ...ඒ වෙනුවට මුලුමනින් ම උද්ඝෝෂනය හරහා මහජනයා අධ්‍යාපනගත කිරීමත්, ඔවුන් ආරක්ෂා කල යුත්තේ කුමක්ද හා පෙරලා දැමිය යුත්තේ කවරක්දැයි කම්කරුවන්ට විස්තර කිරීමත් හරහා ය.”

ඓතිහාසික ගැටලු විසඳීමට ගන්නා එවන් ප්‍රවිෂ්ටයකට “ක්ෂනික ආශ්චර්යමත් ප්‍රතිඵල ලබා දිය නො හැක. එහෙත් අපි ආශ්චර්යයන් නිර්මානය කරන්නන් බවට ව්‍යාජ ලෙස නො අඟවමු. වත්මන් කොන්දේසිවලට අනුව, අපි විප්ලවවාදී සුලුතරයක් වෙමු. අපට ආනුභාවය පවතින කම්කරුවන්ට සිද්ධීන් නිවැරදි ව තක්සේරු කිරීමටත්, ඔවුන් පූර්ව දැනුවත් භාවයකින් තොරව සිද්ධීන්ට මුහුන පෑම වලකාගැනීමටත්, අප මුහුන දෙන කර්තව්‍යයන් විප්ලවවාදී ලෙස විසඳීම සඳහා ඔවුන්ගේ ම පන්තියේ පොදු මනෝගතිය සූදානම් කිරීමටත්, හැකි වන පරිදි අපේ කර්තව්‍යයන් යොමු කල යුතු” යයි ට්‍රොට්ස්කි හඳුනාගත්තේ ය.

මානව වර්ගයා මුහුන දෙන අන්තරායන් ලඝු නොකල යුතු ය. අව්‍යාජ විප්ලවවාදීයකුගේ පලමු වගකීම වන්නේ පවතින දෙය ප්‍රකාශ කිරීම යි. එහෙත්, මේ සඳහා, වෛෂයික යථාර්ථය ඉදිරිපත් කරන්නේ, හුදෙක් තුන්වන ලෝක යුද්ධයක හා මානව වර්ගයා සමූලෝත්පාඨනය කිරීමේ අන්තරාය පමනක් නො ව, ලෝක සමාජවාදී විප්ලවය හා මානව ශිෂ්ටාචාරයේ දැවැන්ත අභිවර්ධනයක් සඳහා වන විභවය ද බව හඳුනා ගැනීම අවශ්‍ය ය.

ජාත්‍යන්තර කමිටුව විසින් නායකත්වය දෙනු ලබන සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ක්‍රියා මාර්ගය වන්නේ, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම හා ලොව පුරා සමාජවාදය ගොඩනගනුවස් කම්කරු පන්තිය වෙත බලය මාරු කිරීම සඳහා සටන්වැදීම මගින් මෙම විභවය සාක්ෂාත් කරගැනීම යි. අද දින මැයි දින සැමරුමේ දී, සියලු දුෂ්කරතා හා අන්තරායන් නො තකා, එයට අනුප්‍රානය සපයන ඉදිරි දර්ශනය මෙය යි.

Loading