සමලිංගික සේවනය සාපරාධීහරනය කිරීමේ පනත ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරනය තීන්දු කරයි

පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඇති, සමලිංගික සේවනය සාපරාධීහරනය කිරීමේ පනත, ශ්‍රී ලංකාවේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරනය විසින් තීන්දුකොට ඇතැයි, මැයි 09 දා, කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට දැන්වීය. 'සමස්ත පනත හෝ එහි එන කවර ප්‍රතිපාදනයක් හෝ ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරනයේ මතය වී ඇතැ' යි කතානායක නිවේදනය කලේය.

අධිකරනය මෙම තීන්දුව දී ඇත්තේ, ආන්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද එම පනත, ව්‍යවස්ථාවට පටහැනි බවට අභියෝග කරමින්, දේශපාලන ක්‍රියාධරයෙකු වන ජෙහාන් හමීඩ්, ෂෙනාලි වඩුගේ සහ විශ්‍රාමලත් යුද හමුදා නිලධාරියෙකු වන අතුල ද සිල්වා විසින් ශ්‍රේෂ්ඨාධිකරනයට ඉදිරිපත් කරන ලද පෙත්සමක් නිෂ්ප්‍රභා කරමිනි.

දොලවත්තගේ පනත් යෝජනාවෙන්, දන්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 ඒ ඡේදයන් සංශෝධනය කරන ලෙස ඉල්ලා සිටී. එම ඡේදයන්හි දැනට පවත්නා වගන්ති වලට අනුව, 'ස්වභාවධර්මයේ පටිපාටියට එරෙහි ලිංගික සේවනය' සහ 'පුද්ගලයන් අතර බරපතල අසභ්‍ය ක්‍රියා' සාපරාධී වෙයි. එසේ වරදකරුවෙකු වන අයෙකු දඩයකට හෝ සිර දඬුවමකට යටත් කල හැක. සමරිසි ප්‍රජාවට වෙනස්කම් කරනුවස් මෙම වගන්ති සාවද්‍ය ලෙස අර්ථ කථනය කලහැකි බවත්, නව සංශෝධනයෙන් එය වලකින බවත් දොලවත්ත කියා සිටී.

පෙත්සම්කරුවන් කියා සිටියේ, එම සංශෝධනයන් ලමුන්ට නිෂේධනීය ආකාරයෙන් බලපාන බවයි. සමරිසි ව්‍යාපාර ඔවුන්ගේ වැඩසටහන් පාසල් තුල ප්‍රවර්ධනය කල හැකි බැවින්, එය නිදහස් තීරන ගැනීම සම්බන්ධයෙන් පාසල් දරුවන්ට බලපෑම් කල හැකි බවත්, සංක්‍රාන්ති ලිංගික දරුවන් බිහිවීම වේගවත් වීමට ඉඩ ඇති බවත් ඔවුහු කියා සිටියහ. මීට අමතරව, සමලිංගික සේවනයට නීතිමය ආවරන ලබා දීමෙන් මානව ප්‍රතිශක්තිය හීන කෙරෙන වෛරස ව්‍යාප්තියට අවකාශ ලැබෙන බවට ද, බුදුදහමට බලපෑම් ඇති කෙරෙන බවට ද පෙත්සම්කරුවෝ තර්ක කලහ.

පෙත්සමෙන් ඉදිරිපත් කර ඇති කරුනු පදනම් විරහිත බව, ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ජ්‍යෙෂ්ඨ මනෝචිකිත්සක සහ ශ්‍රී ලංකා මනෝචිකිත්සක විද්‍යාලයේ සභාපති වෛද්‍ය කපිල රනසිංහ, ද මෝර්නින්ග් පුවත්පතට ප්‍රකාශ කර තිබුනි. 'එය සමලිංගික භීතිකාව සහ සංක්‍රාන්ති භීතිකාව හා සම්බන්ධිත මිථ්‍යාවන් සහ වැරදි තොරතුරු රාශියක් මත පදනම් වේ.'

මෙම පෙත්සම්කරුවන්ගේ සැබෑ අරමුන, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය අවුලුවා ෆැසිස්ට් පන්නයේ දක්ෂිනාංශික ව්‍යාපාරයක් පෙරට ගැනීම බව පැහැදිලිය. එවන් ව්‍යාපාරයක් කෙසේ හැසිරෙනු ඇත්ද යන්න සම්බන්ධයෙන් එක්සත් ජනපදය උදාහරනීය වේ. 2016 දී, ඕර්ලාන්ඩෝ හි ජනප්‍රිය සමරිසි ස්ථානයක් වූ පල්ස් රාත්‍රි සමාජ ශාලාවට කඩා වැදුනු සමරිසි-විරෝධී තුවක්කුකරුවෙක් පුද්ගලයින් 49 දෙනෙකු මරා දැමීය.

කෙසේ නමුත්, ඉහත පෙත්සමට එරෙහිව, සමලිංගික සේවනය සාපරාධීහරනය කෙරෙන පනත් යෝජනාව ආරක්ෂා කරමින් තවත් පෙත්සම් මාලාවක් ශ්‍රේෂ්ඨාධිකරනයට ඉදිරිපත් කෙරුනි. කොලඹ විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය සාවිත්‍රි ගුනසේකර, හිටපු මානව හිමිකම් කොමසාරිස් රමනි මුත්තෙට්ටුවේගම සහ මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති රාධිකා කුමාරසාමි යන අය එම පෙත්සම්කරුවන් අතර වෙති.

දන්ඩ නීති සංග්‍රහයේ ඉහත වගන්ති යොදා ගනිමින්, සමලිංගික සේවනයේ යෙදෙන්නන් රුදුරු හිංසනයන්ට ලක් කිරීමේ කුප්‍රකට වාර්තාවක් ශ්‍රී ලංකාවේ පොලීසිය සතුවේ. 2020 ඔක්තෝබර් 20 දා හියුමන් රයිට්ස් වොච් (එච්ආර්ඩබ්ලිව්) සංවිධානය තම වෙබ් අඩවියේ පලකල වාර්තාවක් මෙම පොලිස් හිංසනයන් පිලිබඳ වැදගත් අනාවරනයක් කරයි.

සමලිංගික සේවනය සම්බන්ධ චෝදනා අධිකරනය ඉදිරියේ තහවුරු කරනුවස්, අදාල අධිකාරයන් විසින්, එකී චූදිතයන් බලහත්කාරී කායික පරීක්ෂාවන්ට ලක් කරන බව, එච්ආර්ඩබ්ලිව් සහ ශ්‍රී ලංකාවේ සමරිසි අයිතීන් පිලිබඳ ආයතනයක් වන ඊක්වල් ග්‍රවුන්ඩ් පැවසූ බව වාර්තාව කියා සිටී.

'බලහත්කාරී ගුද පරීක්ෂා සහ බලහත්කාරී යෝනි පරීක්ෂා ඇතුලත් මෙම පරීක්ෂාවන්, ලිංගික ප්‍රචන්ඩත්වයේ රූපාකාරයන් මෙන්ම, වධහිංසා ලෙස නම් කලහැකි හැකි කෲර, අමානුෂික සහ අවමන් සහගත සැලකිලි වේ' යැයි වාර්තාව පවසයි. 'අවබෝධාත්මක ලිංගික නැඹුරුව හේතුවෙන්, යමෙකු වධහිංසාවට සහ ලිංගික ප්‍රචන්ඩත්වයට ලක්වීම කෙසේ වෙතත්, අත් අඩංගුවට හෝ නොගත යුතු' යැයි, එච්ආර්ඩබ්ලිව් හි සමරිසි අයිතීන් පිලිබඳ අධ්‍යක්ෂිකා නීලා ඝෝෂාල් පැවසූ බව ද වාර්තාවේ සඳහන් වෙයි.

ලෝක සෞඛය සංවිධානය, මෙවන් බලහත්කාරී ගුද සහ යෝනි පරික්ෂාවන්, 'ප්‍රචන්ඩත්වයේ සහ 'වධ හිංසනයේ' රූපාකාරයන් ලෙස හෙලා දැක තිබේ.

සමලිංගික සේවනය පිලිබඳ චෝදනා ලැබූවන්ගේ නිදහස වෙනුවෙන් අධිකරනයේ පෙනී සිටින ශ්‍රී ලංකාවේ නීතීඥයෙකු එච්ආර්ඩබ්ලිව් වෙබ් අඩවියට පවසා ඇත්තේ, පසුගිය මාස දොලහ තුල එවන් පිරිමි චූදිතයන් හය දෙනෙකු වෙනුවෙන් තමා පෙනී සිටි බවයි. එම සියලු චූදිතයන් ගුද පරීක්ෂාවට ලක්කොට එහි වාර්තා අධිකරනයට ඉදිරිපත්කොට ඇත. ඔවුන්, කේබල් වලින් පහරකෑම ඇතුලු අනෙකුත් වධ හිංසනයන්ට ද ලක් කෙරී පවතී. චූදිතයන්ගේ අනුමැතියකින් තොරව ඔවුන් ඒඩ්ස් රෝගය පිලිබඳ එච්අයිවී පරීක්ෂාවට භාජනය කොට ඇති අතර, එම වාර්තා අධිකරනයට ඉදිරිපත්කොට ඇත්තේ ප්‍රසිද්ධියේ ය.

2016 එච්ආර්ඩබ්ලිව් වාර්තාවකට අනුව, සමලිංගික සේවනයේ යෙදීම හේතුවෙන් අත් අඩංගුවට ගැනුනු, පිරිමි, ගැහැනු සහ සංක්‍රාන්ති ලිංගිකයන් 61 දෙනෙකු අතරින් 16 දෙනෙකු, දූෂනය ඇතුලු කායික සහ ලිංගික ප්‍රහාරයන්ට පොලීසිය විසින් ලක් කෙරී ඇත.

මුලින් සඳහන් කෙරුනු 2020 එච්ආර්ඩබ්ලිව් වාර්තාව අවසන් කෙරෙනුයේ ඊක්වල් ග්‍රවුන්ඩ් විධායක අධ්‍යක්ෂිකා රොසානා ෆ්ලැමර් කල්දේරා ගේ ප්‍රකාශයකිනි. 'අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් අවසන් කිරීම සහ බලධාරීන් විසින් වධහිංසා පැමිනවීම් සහ වෙනත් අයහපත් ලෙස සැලකීම් තහනම් කිරීම ඇතුලුව සමරිසි පුද්ගලයින්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන්' ශ්‍රී ලංකාව කැපවියයුතු බව' ඇය පවසයි:

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ද පූර්න ආශීර්වාදයෙන් ගෙනඑන සමලිංගික සේවනය සාපරාධීහරනය කිරීමේ පනත මගින් ආන්ඩුව තම අපකීර්තිමත් පාලනයට යම් ප්‍රජාතන්ත්‍රවාදී මුහුනුවරක් ලබා දීමට යත්න දැරුවද, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සම්බන්ධයෙන් එයට කවර හෝ උත්සුකයක් නොමැත.

ඊට විපරීතව, වික්‍රමසිංහ සැබැවින්ම උත්සුක වනුයේ ප්‍රති-ත්‍රස්ත පනත වැනි ප්‍රජාතන්ත්‍ර-විරෝධී රුදුරු මර්දන පනත් සම්මත කර ගැනීම සම්බන්ධයෙනි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව අඛන්ඩව වැඩෙන පංති අරගල තලා දැමීම සඳහා ආඥාදායක පාලනයක් වෙතට වේගයෙන් මාරු වෙමින් සිටින ඔහුට ප්‍රති-ත්‍රස්ත පනත හැකි ඉක්මනින් නීතිගත කර ගැනීම අත්‍යවශ්‍ය ය. ආන්ඩුවේ පිලිවෙත් වලට විරුද්ධවන ඕනෑම අයෙකු ත්‍රස්තවාදියෙකු ලෙස නම්කොට දඬු ගැසිය හැකි ප්‍රතිපාදන එමගින් සම්පාදනය කෙරේ.

සමලිංගික සේවනය සාපරාධීහරනය කෙරෙන නව පනතට පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂවල සහාය ලබාදෙන බවට දැනටමත් කර ඇති ප්‍රකාශයන් අනුව පනත සම්මත වීමට බොහෝ ඉඩකඩ පවතී. නමුත්, ධනපති පාලක පංතිය විසින් වේගයෙන් වර්ධනය කරන ආඥාදායක පාලන ක්‍රමයක් තුල කවර හෝ ප්‍රජාතන්ත්‍රීය අයිතියක් භුක්ති විඳිය හැකි වෙතැයි සිතීම මුලාවකි. වික්‍රමසිංහ තන්ත්‍රය, අනෙකුත් ධනපති පක්ෂ සහ සමස්තයක් ලෙස ධනපති පන්තිය, වාර්ගික, ආගමික සහ වෙනත් ආකාරයේ විෂමතා ඇතුලු සියලූ වෙනස්කම් කිරීම් දිගටම කරගෙන යනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂය භාෂනයේ නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි එවැනි සියලු ප්‍රහාරවලට වඩා පුලුල් ලෙස විරුද්ධ වන අතර, ජාතිය, වාර්ගිකත්වය, ආගම හෝ ලිංගික දිශානතිය මත පදනම් වූ සියලු ආකාරයේ වෙනස්කම් කිරීම්වලට විරුද්ධ වෙයි. එය එසේ කරන්නේ සමස්ත දේශපාලන සංස්ථාපිතයට හා ධනේශ්වර ක්‍රමයට එරෙහිව කම්කරු පන්තිය එක්සත් කිරීමේ පදනම මත ය. වැඩකරන ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සම්පූර්නයෙන්ම භුක්ති විඳිය හැක්කේ සමාජවාදය යටතේ පමනි.

Loading