යුක්‍රේනය තුල යුද්ධය සහ එය නතර කල හැක්කේ කෙසේද: බර්ලින් හම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ රැස්වීම යුද්ධයේ මූලයන් සහ සමාජවාදී ඉදිරි දර්ශනය පැහැදිලි කරයි

[මෙම ලිපිය 2023 මැයි 2 වනදා The war in Ukraine and how to stop it: Meeting at Berlin’s Humboldt University explains causes of war and socialist perspective ශීර්ෂය යටතේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ බර්ලින් හී හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේදී “යුක්‍රේනය තුල යුද්ධය සහ එය නතර කල හැක්කේ කෙසේද” යන මාතෘකාව යටතේ අප්‍රේල් 27 වනදා රැස්වීමක් පැවැත්වීය. එය, යුක්‍රේනය තුල නැටෝ කුලීකාර යුද්ධයේ හේතූන් වග විභාග කරමින්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) තරුන හා ශිෂ්‍ය සංවිධානය විසින් ගෙන යන ජාත්‍යන්තර උද්ඝෝෂන මාලාවේ ජර්මනියේ පැවැත්වුනු පලමු රැස්වීමයි.

විශ්වවිද්‍යාලයේ සසජාතශි ශාඛාව සහභාගී වන්නන්ගේ සහ කථිකයන්ගේ ආරක්ෂාව සහතික කරනු පිනිස N-95 මුව ආවරන නොමිලේ ලබා දුන් අතර, වායු පෙරන යන්ත්‍ර සහ තවත් ආරක්ෂක පියවරයන් ක්‍රියාවට දැමීය. යුක්‍රේනය තුල යුද්ධයට එරෙහි මෙම ප්‍රසිද්ධ රැස්වීම විශාල වැදගත්කමක් දරන බව සසජාතශි සාමාජික ග්‍රෙගර් කාල් ආරම්භයේදීම පෙන්වා දුන්නේය.

“න්‍යෂ්ටික යුද්ධයක අනතුර අද තරම් අන් කවරදාකවත් මතු වී නැත. ගැටුමෙන් දෙපාර්ශවයේ ම සිය දහස් ගනනක් ජනයා මරනයට පත්ව ඇත. නමුත් සෙලෙන්ස්කි තන්ත්‍රය හා පුටින් තන්ත්‍රය - සියල්ලටමත් වඩා අධිරාජ්‍යවාදී නැටෝ බලයන් - යුද්ධය තීව්‍ර කරමින් සිටී. ඔවුහු යුක්‍රේනය තමන්ගේ සන්ධානයට එකතු කර ගැනීමට සහ එමගින් රුසියාවට එරෙහිව යුද්ධයට සෘජුවම මැදිහත්වීමට එකඟ වී සිටිති.”

රැස්වීම අමතන ග්‍රෙගර් කාල් (ඡායාරූප:ලොසවෙඅ)

සසජාතශි මෙම ගැටුමට මැදි වී සිටන සියලු පාර්ශවකරුවන්ට අශමනීයව විරුද්ධ වන බවත්, යුක්‍රේනය තුල යුද්ධයට සහ එය ක්‍රමානුකූලව සූදානම් කල නැටෝ බලයන්ගේ යුද පිලිවෙත් වලට එරෙහිව කම්කරුවන්ගේ හා තරුනයන්ගේ ඒකාබද්ධ සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීමට සටන් වදින බවත් කාල් සඳහන් කලේ ය.

යුද්ධය පිලිබඳව පසුබිම සකස් වූ ආකාරය පිලිබඳ මාක්ස්වාදී විශ්ලේශනයක් සහ යුද්ධයට එරෙහි සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය පිලිබඳව පැහැදිලි කිරීමට ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ජර්මානියේ ප්‍රධාන සංස්කාරක ජොහැන්නස් ස්ටර්න්ට සසජාතශි ඉන්පසුව ආරාධනා කලේය.

සසජාතශි හා ඊට නායකත්වය දෙන සමාජවාදී සමානතා පක්ෂ සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව 2022 පෙබරවාරි 24 වනදා රුසියාව යුක්‍රේනය ආක්‍රමනය කල තැන් පටන්ම ඊට විරුද්ධ වෙමින් එය හෙලා දුටු බව ස්ටර්න් කතාව ආරම්භයේ දී අවධාරනය කලේ ය.

“සසජාතශි පුටින් ට සහ රුසියානු කතිපයාධිකාරයට එරෙහි වන්නේ දක්ශිනාංශික, අධිරාජ්‍ය ගැති ආස්ථානයක සිට නොව වාමංශික සමාජවාදී ආස්ථානයකිනි. අපගේ රුසියාවේ සහ යුක්‍රේනයේ සහොදරයන් රුසියාවේ පුටින් තන්ත්‍රයේ සහ යුක්‍රේනයේ සෙලෙන්ස්කි තන්ත්‍රයේ යන දෙපාර්ශවයේම විරුද්ධවාදීන් ය.”

“පුටින් නියෝජනය කරන්නේ සෝවියට් සංගමය ස්ටැලින්වාදී නිලධරය විසින් බිඳවිසුරුවා හැර ධනවාදය පුනස්ථාපනය කිරීමෙන් අනතුරුව බිහිවූ රුසියානු කතිපයාධිකාරයේ කොටසකි. කෙසේ වෙතත්, ආක්‍රමනය “අප්‍රකෝපකාරී” බවට වන ප්‍රකාශය බොරුවක් සහ යුද්ධය එහි පලල් ඓතිහාසික සන්දර්භයෙන් වියෝ කිරීමට වන ගොරහැඩි උත්සාහයකි.

කෙසේ වෙතත්, එවන් අවබෝධයක් , යුද්ධය අවසන් කිරීම සඳහා ඉදිරිදර්ශනය වර්ධනය කිරීමේදී අත්‍යවශ්‍ය බව ඔහු කීවේය. ඉන්පසු එකතු කිරීම්වලදී, ස්ටර්න් යුද්ධය පිලිබඳව ඓතිහාසික, ආර්ථික, සමාජීය සහ දේශපාලනික මූලයන් අවබෝධ කර ගැනීමේදී වැදගත් වන කාරනා හයක් මතු කලේය.

1. මෙම යුද්ධය අවබෝධ කර ගත හැක්කේ සෝවියට් සංගමය බිඳ විසුරුවා හැරීමේ සන්දර්භය තුල පමනි.

2. මෙම යුද්ධය අධිරාජ්‍යවාදී බලයන්ගේ දශක තුනක් දක්වා දීර්ඝ සහ ඇදෙමින් පවතින යුද්ධයන්ගේ දිගුවකි.

3. රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමනය කිරීම දශක ගනනාවක් දීර්ග අධිරාජ්‍යවාදී වටලෑමට රුසියාවේ කතිපයාධිකාරයෙ ප්‍රතිචාරයයි.

4. “නිදහස” සහ “ප්‍රජාතන්ත්‍රවාදය” සඳහා සටනක් යයි වන ප්‍රචාරය යුක්‍රේනය තුල අන්ත දක්ශිනාංශික සහ ෆැසිස්ට් බලයන් පැන නැගීම මගින් නිෂ්ප්‍රභ කෙරී ඇත.

5. දැනටමත් යුක්‍රේනය ඈඳා ගැනීමට හා ලෝක යුද්ධ දෙකකදී රුසියාව යටත් කර ගැනීමටත් උත්සාහ කර ඇති ජර්මන් පාලක පන්තිය දිගු කලක් තිස්සේ සූදානම් කරන ලද මිලිටරිකරන සැලසුම් ක්‍රියාවට නැංවීම සඳහා මෙම ගැටුම යොදා ගනිමින් සිටී.

6. ධනපති මහා බලයන් තුල වර්ධනය වන ආර්ථික, සමාජීය හා දේශපාලනික අර්බුදයෙන් තොරව මෙම යුද්ධය වටහා ගත නොහැක.

ලොසවෙඅ ජර්මානු භාෂා සංස්කාරක ජොහැන්නස් ස්ටර්න් බර්ලින් හි හම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ සසජාතශි රැස්වීම අමතමින් [ඡායාරූප:ලොසවෙඅ]

මෙම විශ්ලේශනයේ කොටසක් ලෙස, ස්ටර්න් 1990 මුල් වසර වලදී සෝවියට් සංගමය බිඳ විසුරුවා හැරීම සහ ධනවාදය යලි පුනස්ථාපනය කිරීම දක්වා කුලු ගැන්වුනු ස්ටැලින්වාදී නිලධරය විසින් ඔක්තෝබර් විප්ලවය පාවාදීම පිලිබඳව සාකච්ඡා කලේය. ඔහු පසුගිය දශක තුන පුරා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් නේටෝ බලවතුන්ගේ ආක්‍රමනකාරී යුද්ධ විමර්ශනය කල අතර සංගත මාධ්‍ය මෙම යුද්ධ යුක්තිසහගත කල ප්‍රචාරයන් විශ්ලේෂනය කිරීමටත් ඉදිරියට ගියේය.

යුගොස්ලෝවියාව බෙදාලීමේ දි හා ඇෆ්ගනිස්ථානය ආක්‍රමනය කිරීමේ දී ප්‍රමුඛ ක්‍රියාකලාපයක් ඉටු කර ඇති ජර්මානු අධිරාජ්‍යවාදයේ ක්‍රියාකලාපය ගැන විශේෂ අවධාරනයක් ස්ටර්න් යොමු කලේය. වත්මන් ෆෙඩරල් ආන්ඩුව, යුරෝපය ජර්මනියේ ආධිපත්‍යය යටතට ගෙන ඒම පිලිබඳ ප්‍රකාශිත එල්ලය හඹා යමින් සිටී. ස්ටර්න් ජර්මානු මිලිටරිවාදයේ නැගීම පිලිබඳව අවධානය යොමු කරමින් පෙන්වා දුන්නේ රුසියාවට එරෙහි යුද්ධයේ ජර්මානු ප්‍රභූව යුක්‍රේන නාසි සහයෝගීකරුවන්ගේ සම්ප්‍රදායන් පෙරට ගෙන යන ෆැසිස්ට් සංවිධාන මත පදනම් වන බවයි.

යුද්ධය ආරම්භ වූ වහාම ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් විසින් ආරම්භ කරන ලද “නව යුගය” හිට්ලර් තන්ත්‍රයේ වැටීමෙන් පසු ජර්මනිය නැවත සන්නද්ධ කිරීමේ විශාලතවම වැඩසටහන සනිටුහන් කල අතර එය විශේෂයෙන් හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ ද සහාය ඇතුව දෘෂ්ටිවාදීව සූදානම් කරන ලද්දකි. ඔවුන්ගේ ගෝලීය යුද අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සඳහා, පාලක පන්තිය අතීත පන්ති අරගලවල සියලු සමාජ ජයග්‍රහන මුලිනුපුටා දැමීමට පියවර ගත යුතුය.

පැන නංවිය හැකි ලෝක යුද්ධය නතර කිරීමට ධනේශ්වර පදනමේ කිසිදු මාවතක් නැති බව ස්ටර්න් ප්‍රකාශ කලේ ය. සෑම රටක් තුලම ප්‍රකාශ වී ඇති යුද්ධයේ මූලයන් පවතින්නේ ලෝක ආර්ථිකය සහ ජාතික රාජ්‍යය අතර මෙන්ම සමාජ නිෂ්පාදනය සහ පුද්ගලික දේපල අයිතිය අතර වන ධනේශ්වර ප්‍රතිවිරෝධතා තුලයි.

යුද්ධයේ මාවත කරා අධිරාජ්‍යවාදී පාලක පන්තීන් ධාවනය කරන ආර්ථික, භූ දේශපාලනික, සමාජීය පරස්පරවිරෝධයන්ම කම්කරු පන්තිය රැඩිකලීකරනය කරමින් විප්ලවවාදී අරගල පුපුරා යාමට වෛෂයික තල්ලුව සම්පාදනය කරන බවට ශ්‍රේෂ්ඨ මාක්ස්වාදීන් - සියල්ලටමත් වඩා ලෙනින් හා ට්‍රොට්ස්කි අතර - සිද්ධාන්තයක් පැවතුනි. මෙය යලිත් වතාවක් සිදුවෙමින් පවතී.

ස්ටර්න් වැඩි දුරටත් කීවේ ලෝකය පුරා වර්ධනය වෙමින් පවතින කම්කරු පන්තියේ අරගල යුද්ධයට එරෙහි සටනේ පදනම සම්පාදනය කරන බවයි. නමුත් සාර්ථක අරගලයක් සඳහා අත්‍යාවශ්‍ය පූර්ව කොන්දේසිය වන්නේ කම්කරු පන්තිය තුල සවිඥානික සමාජවාදී සහ විප්ලවවාදී නායකත්වය ගොඩනැගීමයි. සසජාතශි සහ හතරවන ජාත්‍යන්තරය ලෝකය පුරා ගොඩ නැගීම එහි අර්ථයයි.

මෙම ගෙනහැර දැක්වීම සජීවී සාකච්ඡාවකට මග පෑදුවේය. බ්‍රසීලයේ ලූලා ආන්ඩුව වැනි “ගෝලීය දකුනේ” ආන්ඩු, යුද්ධයට එරෙහි සටනේ පාර්ශවකරුවන් විය හැකිද යනුවෙන් එක් ශ්‍රාවකයෙක් ප්‍රශ්නයක් මතු කලේ ය. ඔහු එහිදී ගෝලීය මුදල් ඒකකයක් ලෙස එක්සත් ජනපද ඩොලරය මග හැරීමට සහ ඔවුන්ගේ ජාතික මුදල්වලින් ජාත්‍යන්තර වෙලඳාම හැසිරවීමට ආන්ඩු කිහිපයක් ගත් පියවර ගැන සඳහන් කලේය.

ජාත්‍යන්තර පන්තියක් ලෙස යුද්ධයට විරුද්ධව සටන් වැඳීමේ හැකියාව සහිත එකම සමාජ බලවේගය වන්නේ කම්කරු පන්තිය පමනක් බව කියමින් ස්ටර්න් ඊට පිලිතුරු දුන්නේය. ධනපති ආන්ඩු මෙම අරගලයේ මිතුරන් නොව සතුරන් ය යන්න පසුගිය සියවසේ මූලික දේශපාලන පාඩමයි. විවිධ ධනපති ආන්ඩූ විසින් “බහුධ්‍රැව ලෝක පර්යාය” මූලධර්මය යටතේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අධිකාරයට විරුද්ධත්වය දැක්වීමට ගන්නා උත්සාහයන් ප්‍රතිගාමී මෙන්ම එය තුන්වන ලෝක යුද්ධයක් දිශාවට ගමන් කරන වර්ධනයන්ගේ කොටසකි.

දේශනය සහ විශ්ලේෂනය පිලිබඳව උද්‍යෝගිමත් වූ තවත් අයෙක්, යුද්ධයට එරෙහිව මහජන ව්‍යාපාරයක් නොමැති වීම පැහැදිලි කරන්නේ කෙසේදැයි විමසී ය. මීට පෙර පැවති මෑතකාලීන යුද විරෝධී විරෝධතාවල පෙරමුනේ සිටි හරිතයන් සහ වාම පක්ෂය වැනි පක්ෂ දැන් වඩාත් උග්‍ර යුද කාමීන් බවට පත්ව සිටින බව සමාජවාදී සමානතා පක්ෂයේ (එස්ජීපී) ආරම්භක සාමාජික සහ දිගුකාලීන සභාපති ලෙස කටයුතු කරන උල්‍රිච් රිපර්ට් පිලිතුරු දෙමින් පෙන්වා දුන්නේ ය.

විශ්ව විද්‍යාල තුල යුද්ධයට විරුද්ධත්වය දක්වන සහ තරුන ජනයා සමාජවාදී ක්‍රියාමාර්ගයට දිනා ගැනීම සඳහා රැස්වීම්, ප්‍රසිද්ධ සාකච්ඡා පවත්වන එකම සංවිධානය ට්‍රොට්ස්කිවාදී තරුන ව්‍යාපාරය පමනක් බව එක්සත් ජනපදයේ සසජාතශි සාමාජිකාවක් වන ක්ලාරා වීස් සඳහන් කලා ය. මෙය අහම්බ කාරනයක් නොවේ. යුද්ධයට එරෙහිව සටන ජයග්‍රහනය කිරීමට නම් සිය ඉතිහාසය පුරාවට සමාජවාදය සහ විප්ලවවාදී ජාත්‍යන්තරවාදය ආරක්ෂා කල හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීම අත්‍යාවශ්‍ය වේ.

රැස්වීමෙන් පසුවත් සාකච්ඡාව පැවැත්වුනි. එලඹෙන සති වලදී හම්බෝල්ට් විශ්ව විද්‍යාලය තුල සසජාතශි අකන්ඩව රැස්වීම් සංවිධානය කිරීමට කටයුතු කරන අතර ඒ සම්බන්ධයෙන් උනන්දු කොටස් වලට සාදරයෙන් ආරාධනා කර සිටී.

සසජාතශි සිය රටපුරා රැස්වීම් මාලාව ඉදිරියට ගෙන යයි. මීලග රැස්වීම මැයි 4, 5, 11, 12, 16, 17 යන දිනවට පිලිවෙලින් ප්‍රදේශ කිහිපයක ම රැස්වීම් සංවිධානය කර ඇත.

Loading