ඉදිරිදර්ශන

ඇමරිකානු නීති සංග්‍රහයේ 42 වැනි කොටසින් පසු ව: බයිඩෙන් දකුනු මායිමේ මාරාන්තික ප්‍රචන්ඩත්වය, මර්දනය වැඩි කරයි

[මෙම ලිපිය මැයි 12 වැනි දා After Title 42: Biden steps up deadly violence, repression at southern border මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනය යි.]

සිකුරාදා පෙරවරු 12:01 ට, බයිඩන් පරිපාලනය [ඇමරිකානු නීති සංග්‍රහයේ මහජන සෞඛ්‍ය සම්බන්ධ විධිවිධාන අන්තර්ගත වන] 42 වැනි කොටස බලපැවැත්වීම නතර කලේ ය. අනතුරු ව‍්, දකුනු දේශසීමාවේ සරනාගතභාවය සඳහා අයදුම් කිරීමට උත්සාහ කරන සරනාගතයින්ට නව තහනමක් පැනවීය. ඇමරිකන් අධිරාජ්‍යවාදය විසින් ශතවර්ෂයකට වඩා පීඩාවට සහ සූරාකෑම ලක් කරන ලද මධ්‍යම සහ ලතින් ඇමරිකානු රටවල දරිද්‍රතාවයෙන්, මර්දනයෙන් සහ රාජ්‍ය ප්‍රචන්ඩත්වයෙන් පලා යන සංක්‍රමනිකයන් වහා ම නෙරපා හැරීම සඳහා, 2020 මාර්තු මාසයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා වයිරසය කඩතුරාවක් කොට ගෙන, නොපැහැදිලි හදිසි මහජන සෞඛ්‍ය විධිවිධානයක් වන 42 වැනි කොටස බලාත්මක කලේය.

ජෝ බයිඩන් සරනාගතයින් මිලියන ගනනක් නෙරපා හරිමින්, සරනාගතයින් විශාල වශයෙන් රඳවා තබා ගැනීමේ ඔහුගේ පූර්වගාමියාගේ ප්‍රතිපත්තිය ඇමරිකානු නීති සංග්‍රහයේ 42 වැනි කොටස යොදා ගනිමින් දිගට ම කරගෙන ගියේ ය. කෝවිඩ් පරීක්ෂන සහ ප්‍රතිකාර සඳහා වූ සියලුම මූල්‍ය ආධාර අවසන් කිරීම, සමාජ වියදම් කපා හැරීම සහ ආයතනික ලාභ තවදුරටත් ඉහල නැංවීම සඳහා, කෝවිඩ් නිසා අනවශ්‍ය මරන සහ මරන වලදී අඛන්ඩව සිදුවන සංඛ්‍යාව සහ දිගු කෝවිඩ් හි විනාශයන් නොතකා, ඔහුට කෝවිඩ් -19 ජාතික හදිසි අවස්ථාව සාපරාධී ලෙස අවසන් කිරීමට බල කෙරුනි.

ඒ වෙනුවට ඔහු සහ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (සආදෙ) ප්‍රධානී ඇලයැන්ද්රෝ මයොර්කාස් (Alejandro Mayorkas) සරනාගතයින් තමන්ගේ මව් රටෙහි හෝ කොලොම්බියාව, ග්වාතමාලාව සහ අනෙකුත් ලතින් ඇමරිකානු රටවල පිහිටුවීමට නියමිත 'ප්‍රාදේශීය සැකසුම් මධ්‍යස්ථාන' තුල තම හිමිකම් ගොනු කරන ලෙස ඉල්ලා සිටිති. මෙය ඇත්ත වශයෙන් ම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, කල්ලි සහ රාජ්‍ය ඝාතකයින් ගෙන් බේරී යාමට උත්සාහ කරන අය එම අන්තරායන්ට ම තල්ලු කර දැමීමකි. එක්සත් ජනපද දේශසීමාවේ අයදුම් කිරීමට උත්සාහ කරන අය නැවත තම මව් රටවලට යවනු ලැබේ. එක්සත් ජනපදයට සෘජු ව ම පිටුවහල් කිරීමට නොහැකි හෝ එය එසේ කිරීමට අකමැති රටවල් වන වෙනිසියුලාව, කියුබාව, හයිටි සහ නිකරගුවා ආදි රටවල සිට පලා එන සංක්‍රමනිකයෝ මෙක්සිකානු රජය සමඟ ගිවිසුමක කොන්දේසි යටතේ නැවත මෙක්සිකෝවට යවනු ලැබෙති.

සරනාගත අයිතිවාසිකම් සහතික කරන ජාත්‍යන්තර නීතිවලට පටහැනිව ධනේශ්වර පක්ෂ දෙකේ ම ම්ලේච්ඡ හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතිපත්ති, දකුනු දේශසීමාවේ බියකරු තත්වයක් නිර්මානය කර ඇත. දැවෙන රස්නය සහ ආහාර, ජලය, නවාතැන් හෝ වෛද්‍ය ප්‍රතිකාර නොමැතිකම මධ්‍යයේ, වොෂින්ටනය තම “අගුපිල” ලෙස හඳුන්වන ප්‍රදේශයෙන් මංමුලා සහගත ලෙස පලා එන සංක්‍රමනිකයන් 65,000ක් පමන දෙනා දේශ සීමාව දිගේ රැස්ව සිටිති. ප්‍රාන්තයේ ෆැසිස්ට්වාදී රිපබ්ලිකන් ආන්ඩුකාර ග්‍රෙග් ඇබොට් විසින් ඒකපාර්ශ්විකව යොදවා ඇති ටෙක්සාස් ජාතික ආරක්ෂක භටයින් 2,500 කින් ශක්තිමත් කරන ලද සන්නද්ධ රේගු සහ දේශසීමා (රේදේආ) ආරක්ෂකයින් 24,000 ක් සහ සක්‍රීය රාජකාරියේ යෙදෙන එක්සත් ජනපද භටයින් 1,500 කට ඔවුහු අභිමුඛ වෙති.

2023 මැයි 9 වන අඟහරුවාදා, මෙක්සිකෝවේ සියුඩාඩ් ජුවාරෙස් සිට පෙනෙන පරිදි, එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ කටු කම්බි බාධකයක් සහ මායිම් වැටක් අතර සංක්‍රමනිකයෝ පෙලගැසී සිටිති. [AP Photo/Christian Chavez]

මෙක්සිකානු පැත්තෙන්, සරනාගතයින්ට එරෙහි යුද්ධයේ වොෂින්ටනයේ අපරාධ සහකරුවා වන ජනාධිපති අන්ද්රෙස් මැනුවල් ලොපේස් ඔබ්රදෝර් (ඒඑම්එල්ඕ) (Andrés Manuel López Obrador), ලතින් ඇමරිකාවෙන් පැමිනි සංක්‍රමිනිකයන් පමනක් නොව, ආසියාවෙන්, අප්‍රිකාවෙන් සහ යුද්ධයෙන් විනාශ වූ මැද පෙරදිගින් සහ යුරෝපයෙන් පැමිනි කොටස් ද ත්‍රස්ත කිරීමට සහ මර්දනය කිරීමට මෙක්සිකානු හමුදා 25,000ක් යොදවා ඇත.

42 වැනි කොටස බලගැන්වීම අත්හිටුවීමෙන් උද්ගත අර්බුදයේ පලමු පැය කිහිපය තුල දැනටමත්, ඇමරිකානු ආන්ඩුව තම අත්අඩංගුවේ සිටි භාරකාරුවෙකු නොමැති සංක්‍රමනික දරුවෙකු මිය ගොස් ඇති බව පිලිගත්තේය. එක්සත් ජනපද සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව (සෞමාසේ), හොන්ඩුරාස් බලධාරීන්ගේ වාර්තාවක් තහවුරු කලේ දෙමාපියෙකු හෝ භාරකරුවෙකු නොමැතිව එක්සත් ජනපදයට පැමිනි 17 හැවිරිදි ඒන්ජල් එඩුවාර්ඩෝ මැරඩියාගා එස්පිනෝසා රාජ්‍ය අත්අඩංගුවේ සිටියදී ෆ්ලොරිඩා හි බටහිර ටැම්පා ප්‍රදේශයේ රැඳවුම් ස්ථානයක දී මිය ගිය බවයි.

බදාදා වන විට, එක්සත් ජනපද රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව, සෞමාසේ රැඳවුම් මධ්‍යස්ථානවල භාරකරුවන් නොමැති ලමුන් 8,681 දෙනෙක් සිටියහ. දේශසීමා මුර සංචාරයේ නිලධාරීන් පවසන්නේ 2022 මූල්‍ය වර්ෂය තුල තමන්ට 152,000කට වැඩි භාරකරුවන් නොමැති බාලවයස්කරුවන් හමු වූ බවත්, 2022 ඔක්තෝබර් 1 වන දින සිට 70,000කට වඩා වැඩි ගනනක් හමු වූ බවත්‍ ය. අපේක්ෂා සුන් වූ දෙමාපියන්ට, දේශසීමාවේදී සරනාගතභාවය සඳහා අයදුම් කිරීම තහනම් කර ඇත, සමහර අවස්ථාවල දී, දරුවෙකුට දේශසීමා තරනය කිරීම උත්සාහයට ඉඩ සලසන්නේ නීතියට අනුව, ඔවුන් නැවත මෙක්සිකෝවට යැවිය නොහැකි නිසාය. බලාපොරොත්තුව වන්නේ දරුවාට එක්සත් ජනපදයේ අනුග්‍රාහකයෙකු ලැබෙනු ඇති අතර ඔහු පවුලේ සෙසු අය ගෙන්වා ගැනීමට උපකාර කරනු ඇත යන්නයි.

ඇමරිකානු පාලක පන්තියේ සහ එහි පක්ෂ දෙකේම මෙන්ම යුරෝපයේ පාලක පන්තීන්ගේ ම්ලේච්ඡ සංක්‍රමන විරෝධී ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස තවත් බොහෝ දෙනෙක් මිය ගොස් ඇති අතර, එම සංඛ්‍යාව මහ පරිමාන, එක්සත් හා කම්කරු පන්තියේ ජාත්‍යන්තර මැදිහත්වීමකින් තොරව වැඩි වනු ඇත. මාස දෙකකට අඩු කාලයකට පෙර, මාර්තු 27 වන දින, මෙක්සිකානු දේශසීමා නගරයක් වන සියුඩාඩ් ජුවාරෙස් (Ciudad Juarez) හි ජනාකීර්න රැඳවුම් මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් අවම වශයෙන් සරනාගතයින් 40 දෙනෙක් මිය ගියහ. වින්දිතයන් සිරමැදිරියක සිරකර තිබූ අතර ඒඑම්එල්ඕ ගේ ආරක්ෂකයින් ඔවුන්ට පිටතට යාමට ඉඩ දීම ප්‍රතික්ෂේප කලහ.

සංක්‍රමනිකයන් 10,000ක් තම දේශසීමා රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා ගැනීමේ හැකියාවක් ඇති බව පවසන එක්සත් ජනපද දේශසීමා පොලිසිය, තමන් දැනටමත් 28,000කට වඩා රඳවාගෙන සිටින බව පවසයි. බයිඩන් පරිපාලනය පවසන්නේ මෙම මාසය අවසන් වන විට මෙම සංඛ්‍යාව 45,000 දක්වා ඉහල යා හැකි බවයි. ඇති විය එැකි පීඩනය වලක්වා ගැනීමේ පියවරක් ලෙස, DHS මේ සතියේ ප්‍රකාශ කලේ රඳවාගෙන සිටින අයගෙන් කොටසක් නඩු විභාගයට දිනයක් ලැබීමට පෙර එක්සත් ජනපදය තුලට ගෙන යාමේ සැලැස්මකි. ට්‍රම්ප් විසින් පත් කරන ලද විනිසුරුවරයා වහා ම නියෝගය ක්‍රියාත්මක කිරීම අවහිර කලේ ය.

රිපබ්ලිකානුවන් සහ සංගත මාධ්‍ය ජන සංහාරක වාතාවරනයක් අවුලුවයි. බයිඩන් සහ ඩිමොක්‍රටිකයින් ද ප්‍රතිරාවය කරන්නේ එම අදහස්මයි. ඇලන් ටෙක්සාස් හි සාප්පු සංකීර්නයක දී නව-නාසි කාරයෙක් මිනිසුන් අට දෙනෙකුට වෙඩි තබා මරා දැමී ය; මායිම් නගරයක් වන බ්‍රවුන්ස්විල් හි සංක්‍රමනිකයන් කන්ඩායමක් වෙතට තම මෝටර් රථය පැදවූ තවත් අයෙක් අට දෙනෙකු මරා දැමීමෙන් දින කිහිපයකට පසු, සීඑන්එන් (CNN) බදාදා සවස එහි නගර ශාලාවේ උත්සවයක දී ට්‍රම්ප්ට තම සංක්‍රමන විරෝධී විස වැගිරීමට ජාතික වේදිකාවක් තනා දුන්නේ ය.

ටෙක්සාස්හි, ආන්ඩුකාර ඇබට් දේශසීමාවට “ඔපරේෂන් ලෝන් ස්ටාර්” මෙහෙයුම යටතේ තම ජාතික ආරක්ෂක භටයින් යෙදෙව්වා පමනක් නොව, සංකේතාත්මක පියවරක් ලෙස ක්‍රියාකාරී රාජකාරියේ යෙදී සිටින භටයන් 1,500 ක් දේශ සීමාවට යැවීමට බයිඩන් ගත් තීරනය අප්‍රමානවත් යැයි හෙලා දුටු ඒ වෙනුවට අතර භටයන් 15,000 ත් 150,000 ත් අතර පිරිසක් ඉල්ලා සිටියේ ය. 'මාරාන්තික නොවන බලයක් භාවිතා කිරීම ඇතුලු ව නීතිවිරෝධී ලෙස දේශසීමා තරනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට, රඳවා තබා ගැනීමට සහ වැලැක්වීමට' පුරවැසියන්ට බලය ලබා දෙන 'දේශසීමා ආරක්ෂන ඒකකයක්' නිර්මානය කරන රාජ්‍ය පනතකට ඔහු සහාය දක්වයි.

තවත් රිපබ්ලිකන් ෆැසිස්ට්වාදියෙකු වන ෆ්ලොරිඩා ආන්ඩුකාර රොන් ඩීසැන්ටිස් බදාදා සංක්‍රමන ප්‍රතිපත්තිය පිලිබඳ පුලුල් ප්‍රාන්ත නීතියකට අත්සන් තැබීය. එහි විධිවිධාන වන්නේ:

  • පුරවැසිභාවය ඔප්පු කල නොහැකි පුද්ගලයන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීම පලාත් පාලන ආයතනවලට තහනම් කිරීම.
  • මෙඩිකේඩ් පිලිගන්නා රෝහල්වලට ඇතුලත් වීමේ ආකෘති පත්‍රයට රෝගියාගේ පුරවැසිභාවය පිලිබඳ ප්‍රශ්නයක් ඇතුලත් කිරීමට අවශ්‍යවීම.
  • ලේඛනගත නොකල නීති විද්‍යාල උපාධිධාරීන් ෆ්ලොරිඩා නීතිඥ සංගමයට ඇතුලත් කර ගැනීම තහනම් කිරීම.
  • මිනිස් ජාවාරම් සම්බන්ධ වැරදි සඳහා දඬුවම් වැඩි කිරීම.

බ්‍රහස්පතින්දා, රිපබ්ලිකානුවන් බලය දරන කොන්ග්‍රසය විසින් 'දේශසීමා සුරක්ෂිත කිරීම' පනත සම්මත කරන ලද අතර, එය තවත් දේශසීමා මුර සංචාර භටයන් දහස් ගනනක් බඳවා ගැනීමට සහ ට්‍රම්ප්ගේ දකුනු දේශසීමා තාප්පය විශාල කිරීමට ඩොලර් මිලියන ගනනක් වෙන් කරනු ඇත.

බයිඩන් සහ ඩිමොක්‍රටිකයින්ගේ ප්‍රතිචාරය වන්නේ රිපබ්ලිකානුවන්ගේ ෆැසිස්ට් උද්ඝෝෂනයට අනුගත වීම සහ සංක්‍රමනිකයන්ගේ අයිතීන් මත තමන්ගේ ම ම්ලේච්ඡ ප්‍රහාරය ක්‍රියාවට නැංවීමයි. 2020 ඔක්තෝබර් මාසයේ දී, ට්‍රම්ප් සමඟ ඔහුගේ අවසාන පූර්ව මැතිවරන විවාදයේ දී අපේක්ෂක බයිඩන් සරනාගතභාවය සඳහා ඇති අයිතිය ඉරා දැමීම සම්බන්ධයෙන් ට්‍රම්ප් හෙලා දුටුවේ 'ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉතිහාසයේ සරනාගතභාවය පතා සිටින ඕනෑම අයෙකුට එය වෙනත් රටක කල යුතු යැයි නියම කල පලමු ජනාධිපති මෙයයි' යනුවෙන් පවසමිනි. එය ඔහු ද දැන් ක්‍රියාත්මක කරමින් සිටින ප්‍රතිපත්තිය සංක්ෂිප්තව සාරාංශ කිරීමකි.

අනෙකුත් ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ දකුනෙන් ‘මහා පැරණි පක්ෂයට’ (රිපබ්ලිකන් පක්ෂයට) පහර දීමට උත්සාහ කරති. බ්‍රහස්පතින්දා, කැලිෆෝනියා ආන්ඩුකාර ගැවින් නිව්සම් විසින් කථානායක කෙවින් මැකාතිගේ අයවැය කප්පාදු කිරීමේ පනත හෙලා දුටුවේ එය රේගු සහ දේශසීමා ආරක්ෂනයෙන් ඩොලර් බිලියන 4ක් කපා හැර “නිලධාරීන් 2,400කට වැඩි සංඛ්‍යාවක් අහිමි කරනු ඇති” යන පදනමිනි.

එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂයට සහ මෙක්සිකෝවේ ඒඑම්එල්ඕ ගේ පක්ෂයට “ප්‍රගතිශීලී” මුහුනුවරක් දීමට උත්සාහ කරන ඇමරිකාවේ ඩිමොක්‍රටික් සමාජවාදීන්ගේ සහ ඉහල මධ්‍යම පන්තියේ අනෙකුත් ව්‍යාජ වාම සංවිධානවල ප්‍රතිගාමී භූමිකාව මෙයට එකතු කල යුතුය.

සරනාගතයින්, අධික ලෙස දරිද්‍රතාවයට පත් සහ පීඩිත කම්කරුවන්ට ම්ලේච්ඡ ලෙස සැලකීම, යුක්‍රේනයේ රුසියාවට එරෙහි යුද්ධය එක්සත් ජනපදය තීව්‍ර කිරීම හා චීනයට එරෙහි යුද සූදානම තීව්‍ර කිරීම සමග සමපාත වේ. මෙය අහම්බයක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට යැයි කියමින් රුසියාවට එරෙහි න්‍යෂ්ටික යුද්ධයකට තර්ජනය කිරීමේ වොෂින්ටනයේ මවාපෑම එක්සත් ජනපද දේශසීමාවේ සිදුවෙමින් පවතින මහා පීඩාවිඳීමේ බිහිසුනු දර්ශන විසින් මුලුමනින්ම පුපුරවා හැරේ. එහෙත් සංක්‍රමනිකයන්ගේ අයිතීන්ට එරෙහි මෙවන් අනවශ්‍ය ප්‍රහාර සහ ස්වෝත්තමවාදී හා වර්ගවාදී හැඟීම් ප්‍රවර්ධනය කිරීම සෑම විට ම අධිරාජ්‍යවාදය විසින් යුද්ධයට හැරීමත් සමග සිදු වී ඇත. ඒවා සෑම විට ම වෙලඳපොලවල්, ස්වභාවික සම්පත් සහ ලාභ ශ්‍රම මූලාශ්‍ර පිලිබඳ අරගලයට සම්බන්ධ සෑම ධනේශ්වර රටකම කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන්ට එරෙහි පුලුල් ප්‍රහාරයක කොටසක් වී ඇත.

පලමුවන ලෝක සංග්‍රාමයට ඇමරිකානු ප්‍රවේශයත් සමග ඔත්තු බැලීමේ පනත, යුධ විරෝධී දේශන නීති විරෝධී කොට සමාජවාදී නායක ඉයුජින් වී. ඩෙබ්ස් සිරගත කලේ ය. ඉන් අනතුරු ව 1919-1920 පාමර් වැටලීම් වලදී සමාජවාදී සංක්‍රමනිකයෝ පිටුවහල් කරන ලදහ. එක්සත් ජනපදය දෙවන ලෝක යුද්ධයට ඇතුල් වීමට පෙරාතු ව, 1944 දී ට්‍රොට්ස්කිවාදීන් 18 දෙනෙකු සිරගත කිරීමට ජනාධිපති රූස්වෙල්ට් කටයුතු කලේ ස්මිත් පනත සම්මත කිරීමෙනි. ජපානයට එරෙහි ව එක්සත් ජනපදය යුද්ධ ප්‍රකාශ කිරීමෙන් පසු ව ජපන්-ඇමරිකානුවෝ මහා පරිමානයෙන් සිරගත කරනු ලැබූහ.

9/11 න් පසු ඊනියා 'ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය' දියත් කිරීම ගුවන්තනාමෝ හි ගුලාග් පන්නයේ සිර කඳවුර විවෘත කිරීමත් ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙන්ම උතුරු බලඇනිය පිහිටුවීමත් සමඟ සිදු විය.

අධිරාජ්‍යවාදී නායකයින් අද 'යුද ආර්ථිකයක්' ලෙස හඳුන්වන දේ බලාත්මක කිරීමට, යුරේසියානු භූමි ප්‍රදේශය පාලනය කිරීම සහ 'සම්පූර්න යුද්ධය' සඳහා, කම්කරු පන්තියේ වැඩෙන විරෝධය මෙන්ම යුද්ධයට ගැති, සංගත ගැති වෘත්තීය සමිති යාන්ත්‍රනයට එරෙහි ව, සාමන්‍ය කම්කරුවන්ගේ වැඩෙන කැරැල්ලක තතු යටතේ එක්සත් ජනපදයේ මෙන්ම ලතින් ඇමරිකාවේ ද පන්ති අරගලය මර්දනය කිරීම අවශ්‍ය වේ.

දෙවන ලෝක යුද්ධය ඇරඹී මාස 10 ක් පමන ගත වූ විට, 1940 මැයි මාසයේ දී ලියොන් ට්‍රොට්ස්කි ලියූ දෙය, සුලු යාවත්කාලීන කිරීම් සහිතව, වර්තමාන තත්වයන් විස්තර කිරීමට භාවිතා කල හැකිය:

ක්ෂය වෙමින් පවතින ධනවාදයේ ලෝකය ජනගහනයෙන් පිරී ඉතිරී ගිය එකකි. එක්සත් ජනපදය වැනි ලෝක බලවතෙකුට අමතර සරනාගතයින් සිය ගනනක් ඇතුලත් කර ගැනීමේ ප්‍රශ්නය ප්‍රධාන ගැටලුවක් බවට පත් ව ඇත. ... මිනිසා උදෙසා අහස මෙන්ම මහපොලොව ද ජයගත් විශාල භූමි ප්‍රමානය සහ තාක්ෂනයේ විස්මයන් මධ්‍යයේ, අපේ ග්‍රහලෝකය දූෂිත සිරකුටියක් බවට පත් කිරීමට ධනේශ්වරය සමත් වී ඇත.

සංක්‍රමනිකයන් ම්ලේච්ඡත්වයට පත් කිරීම ධනවාදය බැඳී ඇති ජාතික රාජ්‍ය පද්ධතියේ බංකොලොත්භාවයේ භයානක ප්‍රකාශනයකි. ආර්ථික ජීවිතයේ ගෝලීයකරනය සහ ලෝක ජනගහනයේ තාක්‍ෂනික ඒකාග්‍රතාවය ට්‍රොට්ස්කිගේ කාලයේ පැවති ප්‍රමානයට වඩා බොහෝ දුර ප්‍රගතියක් ලබා ඇත.

එහෙත් ධනවාදය යටතේ, ලොව පුරා ආන්ඩු, කම්කරු පන්තිය බෙදීමට සංක්‍රමනිකයන් කෙරෙහි වෛරය අවුලුවා කම්කරුවන්ගේ පීඩාවල සැබෑ මූලාශ්‍රය වන ධනේශ්වර පද්ධතියෙන් අවධානය වෙනතකට යොමු කිරීමට ක්‍රියාකරති.

සමාජවාදී සමානතා පක්ෂය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සංක්‍රමන පිලිබඳ නිල සාකච්ඡාවේ සමස්ත රාමුව ප්‍රතික්ෂේප කරයි. අපි සංක්‍රමනික කම්කරුවන් මුහුන දෙන අර්බුදයට සහ ඇමරිකාවේ එක්සත් සමාජවාදී රාජ්‍යයක් පිහිටුවීම සඳහා සමාජවාදී හා ජාත්‍යන්තරවාදී විසඳුමක් ඉදිරියට ගෙන යමු. එය කම්කරු පන්තියේ හා ලෝක සමාජවාදී විප්ලවයේ ජාත්‍යන්තර එකමුතුවේ මූලෝපායික ඉදිරිදර්ශනය මත පදනම් වේ.

පිටුවහල් කිරීමට හෝ මර්දනයට බියෙන් තොර ව වැඩ කිරීමට සහ ගමන් කිරීමට ඇති අයිතිය ඇතුලු පූර්න පුරවැසි අයිතිවාසිකම් සමඟ, ඔවුන් තෝරා ගන්නා රටේ ජීවත් වීමට ලෝකයේ සෑම ප්‍රදේශයකින් ම කම්කරුවන්ට ඇති අයිතිය වෙනුවෙන් අපි පෙනී සිටිමු.

Loading