මහජන විරෝධතා මධ්‍යයේ හිටපු පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ඇප මත නිදහස් කෙරෙද්දී ඔහුව නැවත සිරගත කරන බවට ආන්ඩුවේ නායකයෝ සපථ කරති

[මෙය Ex-Pakistani PM Imran Khan released on bail amid mass protests; authorities vow to jail him again යන මැයෙන් 2023 මැයි 13 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්, ඔහුගේ ආධාරකරුවන් සහ ආරක්ෂක අංශ අතර දින හතරක දරුනු ගැටුම් වලින් පසුව, සිකුරාදා ඇප මත මුදා හරින ලදී.

පසුගිය අඟහරුවාදා උසාවියකට කඩා වැදුනු හමුදා රේන්ජර් භට කන්ඩායමක් ඔහුව ප්‍රචන්ඩ ලෙස අත්අඩංගුවට ගැනීම රටපුරා නොසන්සුන්තාවයක් ඇති කලේය. ඊට ප්‍රතිචාර වශයෙන්, ආන්ඩුව එරට අගනුවර වන ඉස්ලාමාබාද්හි වීදිවල සහ එහි පලාත් හතරෙන් තුනක ප්‍රධාන නාගරික මධ්‍යස්ථානවල හමුදා නිලධාරීන් යෙදවීය; රට පුරා ජංගම දත්ත සේවා අත්හිටුවා ඇත; රට පුරා, හතර දෙනෙකුට වඩා වැඩි පිරිසකගේ (144 වගන්තිය) සියලු රැස්වීම් සඳහා සම්පූර්න තහනමක් පනවා තිබේ.

අඟහරුවාදා සහ බදාදා දිනවල අවම වශයෙන් විරෝධතාකරුවන් 8 දෙනෙකු මිය ගිය අතර 2,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. ඛාන්ගේ පාකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) හෙවත් යුක්තිය සඳහා වූ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙක් ද පොලිසිය විසින් රඳවා ගනු ලැබූහ.

මාධ්‍ය වාර්තාවලට අනුව, දැවැන්ත, ප්‍රචන්ඩකාරී මිලිටරි-පොලිස් මර්දනය හේතුවෙන්, බ්‍රහස්පතින්දා සිට විරෝධතාවල තීව්‍රතාවය අඩු විය. ශ්‍රේෂ්ඨාධිකරනයේ මැදිහත්වීම ද වැදගත් කාර්යභාරයක් ඉටු කලේය. බ්‍රහස්පතින්දා සවස ශ්‍රේෂ්ඨාධිකරනයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක විභාගයක දී, පාකිස්ථානයේ ඉහල ම උසාවිය ඛාන් අත්අඩංගුවට ගැනීම “වලංගු නොවන සහ නීති විරෝධී” බව ප්‍රකාශ කලේ ය. එය ඔහුව වහා ම නිදහස් කිරීමට නියෝග කල නමුත්, ඔහුව නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගත් දූෂන චෝදනාව සම්බන්ධයෙන් සිකුරාදා ඉස්ලාමාබාද් අධිකරනයේ විභාගයක් පැවැත්වෙන තෙක්, ඔහුගේ ම ආරක්ෂාව සඳහා ඔහුට පොලිසියේ ආරක්ෂාව යටතේ රැඳී සිටින ලෙස නියෝග කලේ ය.

එම නඩු විභාගය, ආන්ඩුවේ බලාපොරොත්තු සුන් කරවමින්, ඛාන්ට ඇප ලබා දුන් අතර, සති දෙකකින් අධිකරනය ඉදිරියේ නැවත පෙනී සිටින ලෙස නියෝග කලේ ය.

2023 මැයි 12, සිකුරාදා, පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්, පොලිස් නිලධාරීන් මැද පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි උසාවියක පෙනී සිටීමට පැමිනෙමින්. ඉස්ලාමාබාද්හි මහාධිකරනයක්, හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට දූෂන අක්‍රමිකතා නඩුවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබීමෙන් සති දෙකක සහන කාලයක් ලබා දෙමින් ඔහුට ඇප ලබා දුන්නේය. [AP Photo/Anjum Naveed]

ඛාන් දක්ෂිනාංශික ඉස්ලාමීය ජනතාවාදියෙකි. ඔහුට බලයට නැගීමට ඉඩකඩ සලසා දෙන ලද්දේ හමුදාමය කූටෝපායන් මගිනි. බලයට පත් වූ පසු ඔහු 'ඉස්ලාම් සුබසාධන රාජ්‍යයක්' පිහිටුවීම පිලිබඳ ඔහුගේ වාචාල කතා ඉක්මනින්ම අත්හැර දමා ජාමූඅ විසින් නියම කරන ලද කුරිරු කප්පාදු පියවරයන් පැනවීය.

කෙසේ වෙතත් අවසානයේ දී, වැඩෙන මහජන විරෝධය හමුවේ නව සමාජ වියදම්, මිල සහනාධාර කප්පාදුව සහ කඩිනම් පුද්ගලීකරන වැඩපිලිවෙලක් පැනවීමට ඔහුගේ පීටීඅයි නායකත්වයෙන් යුත් ආන්ඩුවට ඇති හැකියාව පිලිබඳ මිලිටරියේ සහ පාලක පන්තියේ විශාල කොටස් වල විශ්වාසය බිඳ වැටුනි. එක්සත් ජනපදය සහ නැටෝව විසින් උසිගන්වන ලද යුක්‍රේන යුද්ධය පුපුරා යාමේ දී රුසියාව සමඟ සබඳතා වැඩි දියුනු කිරීමට උත්සාහ කිරීම ඇතුලු ව, ඔහු වොෂින්ටනය සමඟ පාකිස්ථානයේ සබඳතා අනවශ්‍ය ලෙස තවදුරටත් පලුදු කර ඇති බව ද ඔවුහු විශ්වාස කලහ.

වොෂින්ටනයේ නිහඬ සහාය ඇතිව මිලිටරි තන්ත‍්‍රයේ ඉහල කොටස් විසින් සංවිධානය කරන ලද 2022 අප්‍රේල් පාර්ලිමේන්තු විශ්වාසභංග ඡන්දයකින් ඛාන් අගමැති ධුරයෙන් නෙරපා හරින ලද තැන් පටන්, ඔහු පාකිස්ථානයේ දේශපාලන ජීවිතය තුල හමුදාවේ තිරය පිටුපස ප්‍රමුඛ භූමිකාවටත්, එක්සත් ජනපදයේ හිරිහැර කිරීමට සහ ජාමූඅ කප්පාදුවටත් විරුද්ධවාදියෙකු ලෙස නරුම ලෙස තමා ප්‍රතිරූපය ප්‍රතිනිර්මානය කර ගත්තේ ය.

ලෝකයේ පස්වන වැඩිම ජනගහනය සහිත රට වන න්‍යෂ්ටික ව සන්නද්ධ පාකිස්ථානය පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක ගිලී ඇති අතර එය පසුගිය වසරේ විනාශකාරී ගංවතුරෙන් තවත් සංකීර්න වී තිබේ.

උද්ධමනය සියයට 35 ඉක්මවීමත් සමඟ, පාකිස්ථාන රාජ්‍යය නය පැහැර හැරීමේ ආසන්න අනතුරක සිටියි. කලින් සාකච්ඡා කල ජාමූඅ ඇපදීමකට ප්‍රවේශ වීමේ අපේක්ෂාවෙන් නව ආන්ඩුව නව ම්ලේච්ඡ කප්පාදු පියවර පැනවීමත් සමඟ, ඛාන්ට සැලකිය යුතු මහජන සහයෝගයක්, විශේෂයෙන් ආර්ථික වශයෙන් බැට කෑ මධ්‍යම පන්තියේ කොටස් වලින් සහයෝගයක් රැස්කර ගැනීමට හැකි වී ඇත. මෑත කාලීන ජාතික සහ පලාත් සභා අතුරු මැතිවරන ප්‍රතිඵලවලින් ඇඟවෙන්නේ, ඔහුගේ පීටීඅයි මැතිවරනය පහසුවෙන් ජය ගනු ඇති බව සහ ඔහුගේ වහා නව මැතිවරන සඳහා වූ ඉල්ලීමට පිලිගැනීමක් ලැබී ඇති බවයි.

දිගු කලක් තිස්සේ මැතිවරන දේශපාලනය තුල ආධිපත්‍යය දැරූ පක්ෂ දෙක වන පාකිස්ථාන මුස්ලිම් ලීගය (නවාස්) සහ පාකිස්ථාන මහජන පක්ෂය (පීපීපී) නායකත්වය දෙන වත්මන් ආන්ඩුවට ඇති බිය එයයි.

2023 මැයි 12 සිකුරාදා පාකිස්තානයේ ඉස්ලාමාබාද්හිදී ඇති වූ ගැටුම් අතරතුර පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් විසුරුවා හැරීමට පොලිස් නිලධාරීන් කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කරන අයුරු [AP Photo/W.K. Yousafzai]

කෙසේ වෙතත්, පාකිස්ථානු පාලක පන්තිය සහ මිලිටරිය තුල ඇති ලොකුම භීතිය නම්, ඛාන් ආන්ඩුවට එල්ල කරන අභියෝගය සහ මහජනතාවගේ හමුදා විරෝධී මනෝගතියට ඔහුගේ ආයාචනය, ප්‍රභූ පැලැන්තියේ ප්‍රතිවාදී කා කොටා ගන්නා සියුලු කන්ඩායම් වල දේශපාලන ග්‍රහනයෙන් ඉක්මනින් ගැල වී ගනු ඇති කම්කරු පන්තික විරුද්ධත්වයේ පිපිරීමක් සඳහා ඉඩකඩ සැපයිය හැකි බව ය.

පාකිස්ථාන මාධ්‍යවල කතුවැකි විවරන මගිනුත්, හිටපු පාකිස්ථාන නිලධාරීන් සහ විදේශීය පාකිස්ථාන විශේෂඥයින් සමග බටහිර මාධ්‍ය කල සම්මුඛ සාකච්ඡා මගිනුත් මේ සතියේ මිලිටරිය මුදා හැර ඇති විරෝධතාවන්ට පවතින මහජන සතුරුකම පිලිබඳ ගැඹුරු කනස්සල්ල හෙලි කරයි. බොහෝ විට තමන්ට සැලකිය යුතු අවදානමක් ඇති ව විරෝධතාකරුව හමුදා ස්ථාන ඉලක්ක කර ගත්හ. එක් අවස්ථාවක දී, ජ්‍යෙෂ්ඨ හමුදාපතිවරයෙකුගේ ලාහෝර්හි සුඛෝපභෝගී නිවස ගිනිබත් කලහ. මිලිටරිය විසින් ම මෙම විරෝධතා 'අඳුරු පරිච්ඡේදයක්' ලෙස විස්තර කර ඇති අතර, ඛාන්ගේ ආධාරකරුවන් හිතාමතාම රට 'සිවිල් යුද්ධයට' තල්ලු කරන බවට චෝදනා කරමින්, මිලිටරිය සහ රාජ්‍ය ස්ථාපනයන් මත අනාගත ප්‍රහාර ම්ලේච්ඡ ලෙස මර්දනය කරන බවට ප්‍රතිඥා දුන්නේ ය.

පාකිස්ථාන රාජ්‍යයේ ආරම්භයේ සිට ම ම්ලේච්ඡ සූරාකෑම, බිහිසුනු මට්ටමේ දරිද්‍රතාවය සහ සමාජ අසමානතාවය, පැතිර යන දූෂනය සහ අධිරාජ්‍යවාදයට යටත් වීම තුල සංලක්ෂිත පාකිස්ථාන ධනවාදයේ ආරක්ෂක පවුර වන්නේ මිලිටරියයි.

එය පාකිස්ථාන ධනේශ්වරය හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය අතර ප්‍රතිගාමී සන්ධානයේ කඩ ඇනය වන අතර, වොෂින්ටනයේ සහාය ඇති ව ආඥාදායකත්වය හරහා යලි යලිත් රට පාලනය කර ඇත. ඉහල හමුදා ප්‍රධානීන්ගෙන් සමන්විත ස්ථරය පාකිස්ථාන ආන්ඩුවේ රාජාසනය පිටුපස සිටින බලවේගය ලෙස ක්‍රියාත්මක වෙමින්, අතිවිශාල ආර්ථික බලයක් දරයි.

දේශපාලන අර්බුදය තීව්‍ර කිරීම සඳහා වේදිකාව සකසමින් බ්‍රහස්පතින්දා ඛාන් අත්අඩංගුවට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරනය නිෂ්ප්‍රභ කිරීම සහ සිකුරාදා ඔහු ඇප මත නිදහස් කිරීම සම්බන්ධයෙන් ආන්ඩුව මහත් කෝපයෙන් හා තර්ජන වලින් ප්‍රතිචාර දක්වා ඇත.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රනා සනාවුල්ලා ඇතුලු ආන්ඩුවේ විවිධ නායකය ඛාන් යලි අත්අඩංගුවට ගන්නා බවට සපථ කිරීමත් සමඟ ම, තවත් ඉස්ලාමාබාද් අධිකරනයක් සිකුරාදා සන්ධ්‍යාවේ දී තීන්දුවක් ප්‍රකාශයට පත් කලේ පීටීඅයි නායකයා තවමත් හෙලි නොකල චෝදනා ඇතුලු ව ඔහුට එරෙහි ව ඇති චෝදනා ගනනාව යටතේ නැවත අත්අඩංගුවට ගත නොහැකි බවයි. නමුත් නැවත අත්අඩංගුවට ගැනීමේ මෙම මුක්තිය ඇත්තේ මැයි 15 සඳුදා දක්වා පමනි. මැයි 17 වැනි දා දක්වා, ත්‍රස්තවාදී චෝදනා ඇතුලුව මැයි 9 දායින් පසු ඔහුට එරෙහිව ගොනු කරන හෝ කර ඇති කිසිදු නව චෝදනාවක් සම්බන්ධයෙන් ඛාන් අත්අඩංගුවට ගත නොහැකි බවට අධිකරනය තවදුරටත් නියම කලේය .

ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවක දී කියා සිටියේ, ආන්ඩුවට “හදිසි” බලතල ක්‍රියාත්මක කල හැකි බවයි. එමගින් මූලික සිවිල් නිදහස මර්දනය කිරීමට පුලුල් බලතල ලබා දෙමින්, චෝදනා නොමැති ව පුද්ගලයන් රඳවා තබා ගැනීමට ආරක්ෂක හමුදාවන්ට බලය ලබා දිය හැකි ය. “රට තුල හදිසි නීතිය බලාත්මක කිරීම පිලිබඳව ෆෙඩරල් කැබිනට් මන්ඩලයට තීරනය කල හැකි ය,” අසීෆ් පැවසී ය.

අග්‍රාමාත්‍ය සහ පීඑම්එල් (එන්) නායක ෂෙබාස් ෂරීෆ් ඇතුලු ආන්ඩුවේ නායකයෝ, ශ්‍රේෂ්ඨාධිකරනයේ අගවිනිසුරු උමාර් අටා බන්ඩියල්ට, ඛාන් සමඟ කුමන්ත්‍රනය කල බවටත්, දූෂනයෙන් රටට වංචා කිරීමට ඔහුට සහාය වූ බවටත් චෝදනා කලහ. මෙම වසර මුල දී ඔහුගේ පීටීඅයි ආන්ඩුවෙන් ඉල්ලා අස් වූ පන්ජාබ් සහ කයිබර්-පක්තුන්ක්වා යන පලාත් දෙකෙහි නව මැතිවරනයක් වහා ම කැඳවීමට නෛතික කරුනු උඩ බල කිරීමට ඛාන් දැරූ උත්සාහය සම්බන්ධයෙන් ආන්ඩුව මීට පෙර බන්ඩියල් සමඟ ගැටී තිබුනි.

පාර්ලිමේන්තු සහ පලාත් සභා හතරම සඳහා නව මැතිවරන පැවැත්විය යුත්තේ කවදාද යන්න විසඳීම ඇතුලු ව රටේ දේශපාලන අර්බුදය සමනය කිරීම සම්බන්ධයෙන් ඛාන් සමඟ සාකච්ඡා කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරන නියෝගයක් කඩ කෙරෙන බව ආන්ඩුව පවසා තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරනය “සන්නද්ධ කන්ඩායම්වලට නායකත්වය දෙන අපරාධකරුවෙකුට, ත්‍රස්තවාදියෙකුට, මැර කල්ලියකට සහනයක් ලබා දෙනවා,” යයි ප්‍රවෘත්ති අමාත්‍ය මැරියම් ඔරෙංසෙබ් ප්‍රකාශ කලේ ය.

තුන් වතාවක් අගමැති වූ සහ දිගුකාලීන පීඑම්එල් (එන්) නායක නවාස් ෂරීෆ් ඇතුලු දූෂන චෝදනාවලට පැටලී සිටින අනෙකුත් දේශපාලන නායකයින්ට ප්‍රතිවිරුද්ධ ලෙස, උසාවිය විසින් ඛාන්ට දෙන ලද වෙනස් සහ අර්ධ සැලකීම ආන්ඩුවේ ආධාරකරුවන් විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඛාන් මෙන්ම, නවාස් ෂරීෆ් (ඔහු එක්සත් ජනපදයේ අනුග්‍රහය ලත් ඉස්ලාමීය ආඥාදායක ජෙනරාල් සියා උල්-හක්ගේ අනුගාමිකයෙකු විය) ද මිලිටරියේ සහාය ඇතිව දේශපාලන නායකත්වයට පත් වුව ද ඔහුට ද ඉහල හමුදා ප්‍රධානීන් සමග මතභේදවල පැටලීමට සිදු විය.

මෙම සතිය මුල දී, පාකිස්ථානයේ වඩාත්ම වැදගත් ඉංග්‍රීසි භාෂා දිනපතා පුවත්පත වන ඩෝන් (Dawn), ඛාන් අත්අඩංගුවට ගැනීමට නියෝග කිරීම සහ “ජනතාව” සහ හමුදාව අතර බිඳීමක් ඇති කිරීම සම්බන්ධයෙන් ආන්ඩුව දැඩි ලෙස විවේචනය කලේ ය. දේශපාලන අර්බුදය ධනේශ්වර පාලනය අනතුරුදායක ලෙස අස්ථාවර කරන බවට පාලක පන්තිය තුල පවතින භීතිය නැවත වරක් ප්‍රකාශ කරමින් ඩෝන් පුවත්පත දැන් හිටපු අගමැති ඛාන් පිලිබඳ කතුවැකියක් ප්‍රකාශයට පත් කරමින් ඔහුගෙන් ඉල්ලා ඇත්තේ “තම තීරනවලින් ඇති විය හැකි ප්‍රතිවිපාක ගැන කල්පනාකාරී ව සහ වගකීමෙන් යුතු ව ඉදිරි මාවත සැලසුම් කරන ලෙසයි.”

“ඔහුගේ ආධාරකරුවන් සහ හිතවාදීන් තවදුරටත් රාජ්‍යය සමග ගැටුමකට නොපැමිනීම සහතික කිරීම සඳහා ඛාන් මහතාට විශාල වගකීමක් පවතී. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇති වූ ප්‍රචන්ඩත්වය පැහැදිලි වචනවලින් හෙලා දැකිය යුතු අතර එය තවදුරටත් සිදු නොවන බවට සහතික විය යුතු ය” යැයි පුවත්පත ප්‍රකාශ කලේ ය.

මේ අතර ජාමූඅ, කම්කරු පන්තිය සහ ජනගහනයේ වඩාත්ම දුගී කොටස් ඉලක්ක කර ගනිමින් අසීමිත කප්පාදුවක් සමග ඉදිරියට යන බවට ආන්ඩුවෙන් නව පොරොන්දුවක් ලබා ගෙන ඇත. දුප්පතුන්ට මිල සහනාධාර ඉවත් කිරීමේ බලපෑම අර්ධ වශයෙන් හිලවු කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ පෙට්‍රල් සහ අනෙකුත් බලශක්ති නිෂ්පාදන සඳහා දැරිය හැකි පාරිභෝගිකයින්ට ඉහල මිලක් අය කිරීමේ ක්‍රමය අත්හරින බව ආන්ඩුව බ්‍රහස්පතින්දා නිවේදනය කලේ ය.

දැනට ක්‍රියාත්මක ජාමූඅ නය වැඩසටහන යටතේ ආන්ඩුවට තදබල ලෙස අවශ්‍ය ව පවතින ඩොලර් බිලියන 1.1 ක වාරිකයක් මුදා හැරීමට ජාමූඅට ඒත්තු ගැන්වීමට මෙය ප්‍රමානවත් වේද, නැතිද යන්න ඉදිරියේදී දැකගැනීමට ලැබෙනු ඇත. තිරය පිටුපසින්, ජාමූඅ පාලනය කරන වොෂින්ටනය යුක්‍රේනයට ආයුධ සැපයීම සඳහා එකඟතාවක් හෝ දිගුකාලීන පාකිස්ථාන-චීන ආර්ථික හා මිලිටරි-ආරක්ෂක හවුල්කාරිත්වය දුර්වල කිරීමක් වැනි භූ දේශපාලනික වාසි සඳහා බලපෑම් කිරීමට මෙම ජාමූඅ සාකච්ඡා භාවිතා කරයි.

Loading