ශ්‍රී ලංකා ආන්ඩුව කොලඹ තුල දැවැන්ත ආරක්ෂක මෙහෙයුමක් දියත් කරයි

[මෙය Sri Lankan government launches a massive security operation in Colombo යන මැයෙන් 2023 මැයි 17 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය සිකුරාදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව හදිසියේම, කොලඹ විශ්වවිද්‍යාලය අවට සහ කොලඹ කොටුව, ගාලුමුවදොර පිටිය සහ අගනුවරට දිවෙන මාර්ග ඇතුලු තවත් ප්‍රදේශ කිහිපයක විශාල ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක කලේය.

සන්නද්ධ සොල්දාදුවන්, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ජල ප්‍රහාරක රථ සහිත සන්නද්ධ කැරලි මර්දන පොලිස් භටයන් දහස් ගනනක් මෙම ප්‍රදේශවලට යොදවනු ලැබූ අතර මාර්ග බාධක ස්ථාපිත කෙරුනි. මෙහෙයුම සඳහා පිට පලාත්වලින් පොලිසිය සිය ගනනක් කොලඹට ගෙන්වාගෙන ඇත. කොලඹින් පිටත තදාසන්න ප්‍රදේශවල හමුදා බලමුලු ගැන්වූ අතර පොලිසිය නගරයෙන් පිටත රියදුරන් පරීක්ෂා කලේය.

2023 පෙබරවාරි 4 සෙනසුරාදා කොලඹ දී පැවති 75වැනි නිදහස් දින සැමරුමේ දී, ගුවන් හමුදාපි එයාර් මාර්ෂල් සුදර්ශන පතිරන (පිටුපස වමේ) හා පොලිස්පති චන්දන වික්‍රමරත්න (දකුනේ) සමග පෙනී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන) [AP Photo/Eranga Jayawardena]

මාධ්‍ය වාර්තාවලට අනුව මෙම දැවැන්ත බලමුලු ගැන්වීම “බුද්ධි” තොරතුරුවලට ප්‍රතිචාරයක් ලෙස සිදු වූ නමුත්, ඉකොනොමිනෙක්ස්ට් වෙබ් අඩවියට අනුව එයට හේතුව වූයේ කොලඹ විශ්වවිද්‍යාලයේ ආපන ශාලාවකට ලැබුනු “අසාමාන්‍ය ලෙස විශාල දිවා ආහාර ඇනවුමකි.”

ප්‍රවෘත්ති ආයතනය එක් මූලාශ්‍රයක් උපුටා දක්වමින් මෙසේ පැවසීය: 'සිකුරාදා ආපන ශාලාවට දිවා ආහාර පැකට් 1,500 ක් සඳහා ඇනවුමක් ලැබී ඇති බවට බුද්ධි අංශ තොරතුරු ලබාගෙන ඇත... මෙය, ආන්ඩුවේ ගොඩනැගිලි වෙත පෙලපාලි යාමට රැස් වන මහජන රැස්වීමක් ලෙස (වැරදි ලෙස) අර්ථකථනය කරන ලදී.'

විශ්වවිද්‍යාලයේ කලා අංශයේ උත්සවයකට පලමු වසරේ සිසුන් 500 කට පමන ආරාධනා කර තිබූ බවත්, ඔවුන්ට සහ එම අවස්ථාවට සහභාගි වන ඔවුන්ගේ දෙමාපියන්ට හෝ සහෝදර සහෝදරියන්ට දිවා ආහාරය ලබාදීමට නියමිත ව තිබූ බවත් එම ලිපියේ සඳහන් විය.

එම මූලාශ්‍රයට අනුව ජනාධිපතිවරයාගේ කොලඹ පිහිටි පෞද්ගලික නිවස ට ද අමතර ආරක්ෂාවක් සපයා තිබුනි. කෙසේ වෙතත්, පසුගිය වසරේ මැයි මාසයේදී එය ගිනි තැබූ දා සිට වික්‍රමසිංහ එහි වාසය කර නැත.

සිකුරාදා දැවැන්ත ආරක්ෂක මෙහෙයුම, 'කැලඹීම් ඇති කිරීමට සැලසුම් කරන ආන්ඩු-විරෝධී කන්ඩායමක්' පිලිබඳ 'බුද්ධි වාර්තා' අනුව සිදුකල බවත්, 'නැවත දැනුම් දෙන තුරු ආරක්ෂක පියවර පවතිනු ඇති' බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (එස්එස්පී) නිහාල් තල්දූව මාධ්‍ය ට පැවසුවේ ය.

ඉහල පෙලේ ආරක්‍ෂක මූලාශ්‍ර” උපුටා දක්වමින්, “අවිශිබම [අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩල] සිසුන් ප්‍රධාන රාජ්‍ය ආයතන අත්පත් කර ගැනීමට සහ ආන්ඩුවට එරෙහිව නව 'අරගලයක්' දියත් කිරීමට සති අන්තයේ සිය ගනනින් නගරයට පා ගමනින් යාමට සැලසුම් කරමින් සිටින බව” ඩේලිමිරර් අන්තර්ජාල පුවත් පත (Daily Mirror.lk) ප්‍රකාශ කලේය.

ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (මාධ්‍ය) කර්නල් නලින් හේරත් සන්ඩේ මෝනිං වෙත පැවසුවේ: “ස්වාභාවික විපත් හෝ ත්‍රස්ත ප්‍රහාර වැනි විවිධ හදිසි අවස්ථා සඳහා සැලසුම් සහගත පෙරහුරුවක් ඇතුලු බහුවිධ හේතූන් මත ඉදිරි දින කිහිපය සඳහා කොලඹ ආරක්ෂාව වැඩි කරන” බවයි.

සඳුදා, ආන්ඩුව සිය විශේෂ මිලිටරි සහ පොලිස් යෙදවීම අවසන් කල නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව ප්‍රකාශ කලේ එහි 'සාමාන්‍ය ආරක්ෂක වැඩපිලිවෙල එසේම පවතිනු ඇති' බවයි.

පසුගිය සති අන්තයේ කොලඹ ආරක්ෂක මෙහෙයුමට, “ස්වාභාවික විපත් හෝ ත්‍රස්ත ප්‍රහාර” වලට ප්‍රතිචාර දැක්වීම සමග කිසිදු සම්බන්ධයක් නොතිබූ අතර, එය කොලඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ශිෂ්‍ය සංවිධානය වන අවිශිබමහි දිවා ආහාර වේලාවේ රැස්වීමකට ද සම්බන්ධයක් නොවීය.

ඒ වෙනුවට, එය, ආන්ඩුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවරයන්ට එරෙහිව කම්කරුවන් හා තරුනයින් විසින් කරන වැඩ වර්ජන සහ විරෝධතා ඇතුලු අනාගත අරගල තලා දැමීම සඳහා වික‍්‍රමසිංහ විසින් වැඩි වැඩියෙන් පොලීසිය හා මිලිටරිය යොදාගැනීමේ කොටසකි.

ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව නැගෙන සමාජ විරෝධය කෙරෙහි තියුනු ලෙස සංවේදී වන්නේ, මෙය පසුගිය වසරේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කල ආකාරයේ මහජන නැගිටීමක් දක්වා වර්ධනය වනු ඇතැයි යන බිය නිසා ය.

පසුගිය අඟහරුවාදා, කැබිනට් ප්‍රකාශක බන්දුල ගුනවර්ධන නිල මාධ්‍ය හමුවකදී කියා සිටියේ, ශ්‍රී ලංකාව පුරා ප්‍රචන්ඩ පෙලපාලිවල මැයි 9 දිනට යෙදෙන සංවත්සරයේදී සිදුවිය හැකි මහජන අරගල පුපුරා යාමට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය ගැන කැබිනට් මන්ඩලය සාකච්ඡා කල බවයි.

කෙසේ වෙතත්, වික්‍රමසිංහගේ නිල නිවසට සහ ආන්ඩුවේ අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට ගිනි තැබීම ඇතුලු එම විරෝධතා, ගාලු මුවදොර පිටියේ ආන්ඩු විරෝධී විරෝධතාකරුවන්ට රාජපක්ෂ හිතවාදී මැරයන් විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාර මාලාවකට එරෙහි ප්‍රතිචාරයකි.

ඉදිරි මහජන අරගලවලට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න සොයා බැලීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පිහිටුවීම පිලිබඳව කැබිනට් අමාත්‍යවරුන් සාකච්ඡා කල බව ද ගුනවර්ධන මාධ්‍ය හමුවේ දී පැවසීය. ඒ පිලිබඳව නිශ්චිත තීරනයක් ගෙන නොමැති අතර වැඩිදුර තොරතුරු ලබා නොදෙන බව ඔහු සඳහන් කලේ ය.

එහි තීව‍්‍රවන සමාජ ප‍්‍රහාර සම්බන්ධයෙන් කම්කරුවන් හා ගම්බද දුගීන් අතර නැගෙන ආන්ඩු විරෝධී මනෝගතිය ගැන ආන්ඩුව චකිතයෙන් සිටින අතරම, එය දේශපාලන බලය රඳවා තබා ගෙන සිටින්නේ කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීමක් වැලැක්වීමට වෘත්තීය සමිති තම සියලු ශක්තිය යොදන නිසා ය.

කම්කරුවන්ගේ විරෝධය යටපත් කිරීම වෘත්තීය සමිතිවලට වඩ වඩාත් දුෂ්කර වී ඇති තතු යටතේ, කම්කරුවන්ගේ අරගල තලා දැමීම සඳහා පොලිස් හා මිලිටරි මර්දනය යොදා ගැනීමට ආන්ඩුව වඩ වඩාත් සූදානම් වෙමින් සිටියි.

මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතය දරාගත නොහැකි තත්වයකට පත්වෙමින් තිබේ. දරිද්‍රතාවයෙන් පෙලෙන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රතිශතය 2021 දී සියයට 13 සිට 2022 දී සියයට 25 දක්වා දෙගුනයක් විය.

දැඩි ආහාර අනාරක්ෂිත භාවයට මුහුන දෙන මහජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය තියුනු ලෙස ඛාදනය කරමින් භාන්ඩ මිල සහ උද්ධමනය අඛන්ඩව ඉහල යයි. ඇඟලුම් හා ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ, කුඩා කර්මාන්ත අංශය ඇතුලු පෞද්ගලික අංශයේ රැකියා ලක්ෂ ගනනක් අහිමි වී ඇත.

වැඩ කරන ජනතාව මත සෘජු බදු පැනවීම, විදුලිය හා ජල ගාස්තු වැඩි කිරීම සහ අනෙකුත් ප්‍රහාර ඇතුලු ජාමූඅ විසින් නියම කරන ලද කප්පාදු, කම්කරුවන් හා ගම්බද දුගීන් මුහුන දෙන සමාජ ව්‍යසනය තව දුරටත් තීව්‍ර කරනු ඇත.

ඊට අමතරව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම සහ පෞද්ගලීකරනය කිරීම හරහා ලක්ෂ සංඛ්‍යාත රැකියා කප්පාදු කිරීම දක්වා ආන්ඩුව ගමන් කරමින් සිටී. සංස්ථා 39 ක්, සමාගම් 218 ක් සහ ව්‍යවස්ථාපිත මන්ඩල 173 ක් ඇතුලුව රජය සතු ව්‍යවසායන් 430 ක් මුදල් අමාත්‍යාංශය විසින් පිහිටුවන ලද ජාතික ආයතනයක් යටතේ ප්‍රතිව්‍යුහගත කිරීම හෝ පුද්ගලීකරනය කෙරෙයි.

පසුගිය සති අන්තයේ කොලඹ ආරක්ෂක මෙහෙයුම, ආන්ඩුවට එරෙහිව නොවැලැක්විය හැකි ලෙස පුපුරා යාම ට නියමිත කම්කරු පන්ති අරගල මැඩලීම සඳහා පොලීසිය, මිලිටරිය සහ මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රනයේ අනෙකුත් කොටස් සූදානම් කිරීමේ අත්‍යවශ්‍ය කොටසකි.

මෙම සූදානමට සමගාමීව, වික‍්‍රමසිංහ ආන්ඩුව රාජ්‍ය අංශයේ ප්‍රධාන ක්ෂේත්‍ර වලට අත්‍යාවශ්‍ය සේවා රෙගුලාසි පනවා ඇත්තේ, මෙම කර්මාන්තවල කම්කරුවන් විසින් ගනු ලබන වැඩ වර්ජන සහ දේශපාලන ක්‍රියාමාර්ග සාපරාධීකරනය කිරීම සඳහා ය. මෙම රෙගුලාසි රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය හරහා සෑම මසකම අලුත් කෙරෙමින් පවතින අතර මහජන ආරක්ෂක පනත යටතේ ආරක්ෂක අංශ රට පුරා සීරුවෙන් තබා ඇත.

පසුගිය සති අන්තයේ මිලිටරි හා පොලිස් කන්ඩායම් විශාල වශයෙන් යෙදවීම, ආන්ඩුවේ සමාජ ප‍්‍රහාරවලට එරෙහිව සටන් කිරීම සඳහා වෘත්තීය සමිතිවලින් හා සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව සංවිධානය විය යුතු බවට කම්කරු පන්තියට කරන අනතුරු ඇඟවීමකි. ඒ සඳහා තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවීමත්, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලකට කැපවී සිටින කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා දේශපාලන හා කාර්මික අරගලයක් වර්ධනය කිරීමත් අවශ්‍ය වේ.

Loading