ඉදිරිදර්ශන

යුක්රේනය තුල "අප්‍රකෝපිත යුද්ධය" පිලිබඳ ආඛ්‍යානය බිඳ වැටේ

[මෙය 2023 මැයි 10 වැනි දා The narrative of the “unprovoked war” in Ukraine falls apart මැයෙන් පල වූ ඉදිරිදර්ශනයේ පරිවර්තනයයි.]

2022 මාර්තු 1 වැනි දා නැටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් එස්තෝනියානු අගනුවර වන ටාලින් හි ගුවන් හමුදා කඳවුරක දී නැටෝ භට කන්ඩායම් හමු වෙයි. [AP Photo/Leon Neal]

2022 යුක්‍රේන යුද්ධය ආරම්භයේ සිට, ධවල මන්දිරය සහ සමස්ත එක්සත් ජනපද මාධ්‍ය ම ප්‍රකාශ කර ඇත්තේ ගැටුම, 2022 පෙබරවාරි 24 වන දින ව්ලැඩිමීර් පුටින් නම් තනි මිනිසෙකු විසින් දියත් කරන ලද “අප්‍රකෝපිත යුද්ධයක්” බවයි.

එක්සත් ජනපද මාධ්‍යයන්හි යුද්ධය පිලිබඳ විස්තරයන් තුල 'අප්‍රකෝපිත' යන වාක්‍ය ඛන්ඩය හැම තැන ම දැක ගත හැක්කකි. වොෂින්ටන් පෝස්ට්, නිව් යෝර්ක් ටයිම්ස් සහ විද්‍යුත් විකාශයන් මෙම වැකිය සිය වතාවක් භාවිතා කර ඇත.

බදාදා ප්‍රකාශයට පත් කල කතුවැකියට පසෙකින් පල කල ලිපියක, ටයිම්ස් පුවත්පත වෙනුවෙන් සීඅයිඒ ඔත්තු සේවා ප්‍රවෘත්ති නිවේදන පිටපත් කරන්නා වන තෝමස් ෆ්‍රීඩ්මන් මෙසේ ලිවීය: “මෙම යුද්ධයේ ආරම්භයේ සිට එහි කාලය සහ දිශාව තේරුම් ගැනීමට තිබුනේ එකම ස්ථානයකි - එනම් ව්ලැඩිමීර් පුටින්ගේ ඔලු ගෙඩියයි. … මෙම යුද්ධය සම්පූර්නයෙන්ම පැන නැගුනේ එතැනින්.‍”

යුක්‍රේන් යුද්ධය සදහා ඇමෙරිකාව ජප කරන මන්ත්‍රය 'අප්‍රකෝපිත යුද්ධය' වන අතර, එය ඉරාක යුද්ධයේ දී 'සමුලඝාතක අවි' ද, ස්පාඤ්ඤ ඇමෙරිකා යුද්ධයේදී 'මැරීන් යුද නෞකාව ගිල්වීම' ද වීය.

නිමක් නැති පුනරුච්චාරනය පිටුපස ඇති අදහස වන්නේ “බොරුව විශාල වන තරමට එය පහසුවෙන් විශ්වාස කරනු ඇත” යන න්‍යායයි. කිසිදු ඓතිහාසික පූර්වාදර්ශයක් හෝ ආර්ථික අභිප්‍රායක් නොමැති ඉතිහාසයේ ප්‍රථම යුද්ධය මෙය වන බවත්, සම්පූර්නයෙන්ම එක් මිනිසෙකුගේ මනෝවේදය මත පදනම් වූ පලමු යුද්ධය මෙය බව මහජනතාව විසින් පිලිගැනීමට එමගින් අපේක්ෂා කෙරේ.

එහෙත් අඟහරුවාදා, වොෂින්ටන් පෝස්ට් පුවත්පත නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් සමඟ කල සම්මුඛ සාකච්ඡාවක් ප්‍රකාශයට පත් කලේ ය. ඔහු ප්‍රකාශ කලේ යුක්‍රේනයේ යුද්ධය “2022 දී ආරම්භ වූවක් නොව 2014 දී ආරම්භ වූවක්” බවයි.

ස්ටෝල්ටන්බර්ග් තවදුරටත් මෙසේ පැවසී ය: “සීතල යුද්ධයේ අවසානයෙන් සිට නේටෝව, අපගේ සාමූහික ආරක්ෂාවේ විශාලත ම ශක්තිමත් කිරීම ක්‍රියාත්මක කර ඇත. … 2014 වන තෙක් නේටෝ සාමාජිකය සිය ආරක්ෂක අයවැය අඩු කරමින් සිටියහ. 2014 සිට, යුරෝපය පුරා සිටින සියලුම මිත්‍ර රටවල් සහ කැනඩාව ඔවුන්ගේ ආරක්ෂක වියදම් සැලකිය යුතු ලෙස වැඩි කර ඇත. ... මෙය 2014 දී ආරම්භ වූ නේටෝවේ දැවැන්ත පරිවර්තනයකි.”

ස්ටෝල්ටන්බර්ග්ට අනුව, යුද්ධය ආරම්භ වූයේ 2022 පෙබරවාරි මාසයේ දී යුක්‍රේනයට වූ රුසියානු ආක්‍රමනය සමඟ නොව, ඊට වසර අටකට පෙර, එනම් 2014 දී ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය යුද්ධය පුපුරා යාමෙන් පසු නැවත නැවතත් ඉදිරිපත් කර ඇති කරුනු දෙකක් මෙම පිලිගැනීමෙන් තහවුරු වෙයි. පලමුවැන්න, ගැටුමට ඓතිහාසික පසුබිමක් ඇති බවයි. දෙවැන්න, 2022දී සිදුවූ ආක්‍රමනය, යුක්‍රේනය එහි කක්ෂය තුලට ගෙන ඒම සඳහා නේටෝව තීව්‍ර කල උත්සාහයට, රුසියාවේ මංමුලා සහගත ප්‍රතිචාරයක් බවයි.

2014 දී යුද්ධය ආරම්භ වූ බව ස්ටෝල්ටන්බර්ග් ප්‍රකාශ කරන නමුත් ඇත්ත වශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්න ඔහු පැහැදිලි නොකරයි. 2014 වසර ආරම්භ වූය යුක්‍රේනය නේටෝවට ඒකාග්‍ර කර ගැනීමට, යුරෝපා සංගමය සමග දේශපාලන ගනුදෙනුවලට සහ වෙලඳ ගිවිසුමකට ඒකාබද්ධ කර ගැනීමට ආදී ක්‍රියාමාර්ගවලට විරුද්ධ වූ එවක යුක්‍රේන ජනාධිපති වික්ටර් යනුකොවිච්ගේ ආන්ඩුව එක්සත් ජනපදයේ පිටුබලය ලත් පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමකින් පෙරලා දමමිනි.

එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් පුරසාරම් දොඩන “ඩොලර් බිලියන 5කට වැඩි” එක්සත් ජනපද අරමුදල් මගින් කුමන්ත්‍රනයට මුදල් යොදවනු ලැබුනි.

යනුකොවිච් ආන්ඩුව පෙරලා දැමීම, රයිට් සෙක්ටර් (Right Sector) සහ ස්වබෝදා පක්ෂය ඇතුලු ෆැසිස්ට් හා රුසියානු විරෝධී රුදුරු සංවිධාන විසින් මෙහෙයවන ලදී. ඊලඟ වසරවල දී, කුමන්ත්‍රනයෙන් පසු ව ස්ථාපනය කරන ලද පෙට්‍රෝ පොරොෂෙන්කෝගේ ආන්ඩුව, නැගෙනහිර යුක්‍රේනයේ රුසියානු භාෂාව කතා කරන ජනගහනයට එරෙහිව ප්‍රචන්ඩත්වය සහ මර්දනය දියත් කල අතර, 2014 සහ 2022 අතර පුද්ගලයින් 14,000 කට වැඩි පිරිසක් මරා දැමී ය.

2014 දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය සඳහන් කල පරිදි, එක්සත් ජනපදයේ සහ නේටෝවේ පිටුබලය ලත් පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුම 'රුසියාව සමග ගැටුමක් අවුලුවාලීමේ අභිප්‍රාය' ඇතිව සිදු කරන ලද්දකි.

තන්ත්‍ර මාරු කුමන්ත්‍රනය හරහා කලු මුහුදේ රුසියානු නාවික බලඇනියේ නිවහන වන ක්‍රිමියානු අර්ධද්වීපයේ පාලනය නේටෝවට හිමි වන බව ක්‍රෙම්ලිනය වටහා ගති. එක්සත් ජනපදය කලු මුහුද මත මිලිටරි ආධිපත්‍යය පිහිටුවමින්, සෙවාස්ටොපෝල් වරායේ තමන්ගේම නාවික බලඇනියක් ස්ථානගත කිරීමට මෙය යොදා ගත හැකි ව තිබුනි. ඒ අනුව ක්‍රෙම්ලිනය කුමන්ත්‍රනයට ප්‍රතිචාර දැක්වී ය.

ඒ ක්‍රිමියානු ජනගහනයෙන් අතිමහත් බහුතරය යුක්‍රේනයෙන් වෙන් ව යාමට යාමට කැමැත්ත පල කල ජනමත විචාරනයකින් එම ප්‍රදේශය තමන්ට ඈඳා ගනිමිනි.

“මින්ස්ක් ගිවිසුම්” රාමුව යටතේ සටන් විරාමයකට සහාය දෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන අතරේ, නේටෝ බලවතුන් ඒ වෙනුවට යුක්‍රේනයට ඩොලර් බිලියන ගනනක අවි ආයුධ සැපයීමට ක්‍රමානුකූලව ක්‍රියා කල අතර, එහි අරමුන වූයේ නැගෙනහිර යුක්‍රේනය සහ ක්‍රිමියානු අර්ධද්වීපය නැවත අත්පත් කර ගැනීමයි.

2021 දී, යුක්‍රේන ආන්ඩුව ක්‍රිමියානු අර්ධද්වීපය නැවත අත්පත් කර ගැනීමේ මිලිටරි මූලෝපායික මාර්ගයක් අනුමත කරන ලද අතර, එය 2021 නොවැම්බර් මාසයේ එක්සත් ජනපද-යුක්‍රේන මූලෝපායික හවුල්කාරිත්වය සමඟ යථාර්ථවත් විය.

යුද්ධය දියත් කිරීමට පෙර, යුක්‍රේනය නේටෝවට බැඳෙන්නේ නැති බවට සහතිකයක් ඉල්ලා සිටි පුටින්, යුක්‍රේනය නේටෝ සාමාජිකයෙකු වුවහොත් ක්‍රිමියාව නැවත අත්පත් කර ගැනීමේ යුද්ධයක දී යුක්‍රේනයට සහය දැක්වීමට සමස්ත නේටෝ සන්ධානයම ප්‍රතිඥා දෙන බැවින්, එය නේටෝව සහ රුසියාව අතර න්‍යෂ්ටික යුද්ධයකට මග පාදන බව පැවසී ය.

රුසියානු කතිපයාධිකාරය නියෝජනය කරන පුටින් ආන්ඩුව එම කතිපයාධිකාරියේ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට ගත් මංමුලා සහගත උත්සාහයක් වශයෙන්, 2022 පෙබරවාරියේ යුක්‍රේනය ආක්‍රමනය කලේ අධිරාජ්‍යවාදී බලවතුන් සමග යම් ආකාරයක කේවලයකට යාමේ අරමුනෙනි.

කෙසේ වෙතත්, එක්සත් ජනපදය හා නේටෝව, 2014 කුමන්ත‍්‍රනයට පෙලඹවූ අරමුනු යුද්ධය තුලින් සාක්ෂාත් කර ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටියහ. යුක්‍රේනය නේටෝවට බැඳීම පිලිබඳ රුසියානු ආන්ඩුවේ උත්සුකයන් හුදෙක් ගෙතූ ඒවා යැයි එක්සත් ජනපද මාධ්‍ය සහ දේශපාලන සංස්ථාපිතය විසින් නිතර ම කරන ලද ප්‍රකාශයන්ට පටහැනි ලෙස, පෝස්ට් සමඟ සම්මුඛ සාකච්ඡාව අවසානයේ දී‍ ස්ටෝල්ටන්බර්ග් ප්‍රකාශ කලේ 'සියලු නේටෝ සාමාජිකයින් යුක්‍රේනයට සන්ධානයේ සාමාජිකත්වය ලබාදීමට එකඟ වූ බවයි.'

ස්ටෝල්ටන්බර්ග්ගේ ප්‍රකාශය, ඇත්ත වශයෙන්ම, නේටෝව රුසියාවට එරෙහි ව සෘජු ගැටුමකට ඇද දැමීමේ ප්‍රතිඥාවකි.

“අප්‍රකෝපිත යුද්ධයේ” බොරුව දේශපාලන සංස්ථාපිතය සහ එක්සත් ජනපදයේ රාජ්‍ය පාලිත මාධ්‍ය විසින් පමනක් නොව, ලජ්ජා සහගත ලෙස, ශාස්ත්‍රාලිකයන් අතිමහත් බහුතරය විසින් පිලිගෙන ප්‍රවර්ධනය කර ඇත. සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ විසින් පවත්වන ලද රැස්වීම්වලින් පරිබාහිර ව, යුද්ධයේ යටින් පවතින පසුබිම සහ හේතු පැහැදිලි කිරීමට විශ්වවිද්‍යාලවල කිසිදු බැරෑරුම් උත්සාහයක් ගෙන නොමැත.

විශේෂ වැදගත්කම නම්, ඉහල මධ්‍යම පන්තියේ වරප්‍රසාද ලත් කොටස් නියෝජනය කරන නාමික ව 'සමාජවාදී' සංවිධාන විසින් ගෙන ඇති යුද ගැති සහ අධිරාජ්‍ය ගැති රුදුරු ආස්ථානයයි. ඔවුහු යුද්ධය ගැන නිල පච ප්‍රචාරය සම්පූර්නයෙන් ම පිලිගෙන සිටිති.

උදාහරනයක් ලෙස, සීඅයිඒ ගැති පැබ්ලෝවාදී ප්‍රකාශනයක් වන ඉන්ටර්නැෂනල් වීව්පොයින්ට් (International Viewpoint), මැයි 1 වැනි දා 'රුසියානු සමාජවාදී ව්‍යාපාරයේ' ප්‍රකාශයක් ප්‍රකාශයට පත් කලේ ය. එය '[යුක්‍රේනය සමග] අර්ධ සහයෝගීතාවය සහ ව්‍යාජ සාමවාදය' හෙලා දකිමින්, 'තමන්ගේ ම ආන්ඩුවේ මිලිටරි සූදානම සමග ඕනෑ ම ආකාරයක පෙලගැසීමක් සදාචාරාත්මක ව ගැටලු ඇති කරයි' යනුවෙන් ප්‍රකාශ කලේ ය.

වෙනත් වචන වලින් කිවහොත්, “වමේ” කර්තව්‍යය වන්නේ එක්සත් ජනපදයේ සහ නේටෝ බලවතුන්ගේ මිලිටරි ක්‍රියාමාර්ගවලට සහාය දීම වේ. මන්ද එසේ නොවුවහොත් තමන් “රුසියානු ආක්‍රමනිකයාගේ මෙවලමක්” බවට පත් වන බැවිනි. එම ප්‍රකාශය අවසන් වන්නේ 'යුක්‍රේනයට ආයුධ පොම්ප කිරීම් වැඩි කිරීම මගින් රුසියාවට ඈඳාගත් ප්‍රදේශ නැවත ලබා ගැනීමට හැකි වනු ඇත' යන කැඳවීමෙනි. සෑම කරුනක් සම්බන්ධයෙන් ම, ඉන්ටර්නැෂනල් වීව්පොයින්ට් ස්ටෝල්ටන්බර්ග්ගේ ප්‍රකාශයන් ප්‍රතිරාවය කරයි.

වොෂින්ටනයේ ‘අප්‍රකෝපිත යුද්ධයේ’ පච ප්‍රචාරය ආරක්ෂා කර ඇති සියලු ම සමාජ බලවේග යුද්ධය විසින් හෙලිදරව් කරනු ලැබ ඇත. එක්සත් ජනපදය අධිෂ්ඨාන කරගෙන සිටින්නේ රුසියානු ප්‍රහාරවලින් යුක්‍රේනියානු ජීවිත බේරා ගැනීම සඳහා “ආරක්ෂක” ක්‍රියාමාර්ග තහවුරු කිරීමට නොව, ක්‍රිමියානු අර්ධද්වීපය නැවත අත්පත් කර ගැනීම සහ රුසියාවට එරෙහි ව උපායමාර්ගික පරාජයක් පැටවීමේ තම අරමුනු සාක්ෂාත් කර ගැනීම සඳහා අවසාන යුක්‍රේනියානුවා දක්වා බිලි දීමට ය.

යුද්ධය අඛන්ඩව ඉදිරියට යෑම හා ව්‍යාප්ත වන තරමට ම එහි අධිරාජ්‍යවාදී ස්වභාවය වඩාත් නග්න ව විශද වේ. සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් සෑහීමකට පත් නොවන ඇමරිකානු අධිරාජ්‍යවාදය, චීනය මිලිටරිමය වශයෙන් යටත් කර ගැනීමේ ප්‍රයත්නයක පෙර අවශ්‍යතාව ලෙස රුසියාවේ මිලිටරි පරාජය, බිඳ දැමීම සහ යටත් කර ගැනීම අපේක්ෂා කරන බව වඩාත් පැහැදිලි වෙමින් තිබේ.

Loading