වෝර්සෝ ගෙටෝ (යුදෙව් කඳවුරේ) නැඟිටීමෙන් වසර 80ක්

[මෙය, 80 years since the Warsaw Ghetto Uprising යන මැයෙන් 2023 අප්‍රේල් 26 දා ලෝසවෙඅ හි පල වූ ලිපියේ පරිවර්තනයකි.]

1943 වසරේ සිදු වූ වෝර්සෝ යුදෙව් කඳවුරේ කැරැල්ල පුපුරා යාමෙහි 80 වෙනි සංවත්සරය පසුගිය අප්‍රේල් 19 වෙනි බදාදාට යෙදී තිබුනි. මේ නැඟිටීම මහාද්වීපයේ නාසි පාලනයට දැක්වූ මහා පරිමාන නාගරික සන්නද්ධ ප්‍රතිරෝධයේ පලමු ක්‍රියාව විය.

බහුතරයක් යොවුන් වියේ හා විසි ගනන්වල මුල් වසරවල සිටියවුන්ගෙන් සමන්විත, අල්ප ලෙස සන්නද්ධ වූ යම්තම් සිය ගනනක සටන්කාමීහු සති ගනනක් නාසීන්ගේ මෘග හමුදාවන්ට ප්‍රතිරෝධය පෑමට සමත් වූහ. නැඟිටීමට නායකත්වය දෙන ලද්දේ සමාජවාදී සියොන්වාදී හෂොමේර් හත්ස'යිර් ( Hashomer Hatzair),ලෙෆ්ට් පොලී ටියොන් ( Left Poalei Tsiyon) සහ ජුවිෂ් ලේබර් බුන්ඩ් (Jewish Labor Bund ) පක්ෂ ඇතුලත් වූ කොමියුනිස්ට් තරුනයන්ගේ හා යුදෙව් සමාජවාදී පක්ෂවල සභාගයක් මඟිනි. මේ සියලු ව්‍යාපාරයෝ උද්‍යෝගී ලෙස සෝවියට් හිතවාදී වූ අතර යුදෙව් විරෝධයට හා ෆැසිස්ට්වාදයට එරෙහි ව සටන් කිරීම ධනවාදයට එරෙහි ව සටන් කිරීම සමඟ වෙන් කල නොහැකි ලෙස බැඳී පවතින බව ඒත්තු ගෙන සිටියහ. නාසීන්ට නැඟිටීම මැඬ ලා ගත හැකි වූයේ ගෙටෝවට ගිනි ලෑමෙන් සහ 13,000ක් පමන ජනයා මරා දැමීමෙන් පමනි. මින් අඩක් ම මිය ගියේ හුස්ම ගැනීමට බැරුව හෝ පන පිටින් ගින්නේ පිලිස්සෙමිනි.

SS සොල්දාදුවන් දැවෙන ගෙටෝවේ වීදි හරහා ගමන් කරයි. පින්තූරය SS කමාන්ඩර් යූර්ගන් ස්තෲ විසින් වාර්තාවක් සඳහා ගන්නා ලදී.


නාසි සංහාරයේ ගමන් මාවත නතර කිරීමට හෝ වෙනස් කිරීමට හෝ ඊට නොහැකි වුව ද නැඟිටීම නාසි ආක්‍රමනිකයන් ඔවුන්ගේ ඇට මිදුලු දක්වා ම සොලවා ලී ය. මෙම නැඟිටීම සිදු වූයේ ස්ටැලින්ග්‍රාඩ් හී දී රතු හමුදාව විසින් නාසි ජර්මනිය පරාජය කිරීමෙන් යම්තම් මාස දෙකකට පසු ය. එහි දී රතු හමුදාව විසින් මුලු ජර්මානු හමුදාවක් ම සමූලඝාතනය කර තිබිනි. මේ හේතුවෙන් සමකාලීනයන් අතරේ වෝර්සෝ ගෙටෝව හැඳින්වුනේ “පුංචි ස්ටැලින්ග්‍රාඩය” යන ගෞරව නාමයෙනි. රතු හමුදාවේ ඉදිරියට යාම දැන් ඇරඹීමත් සමඟ, මෙම වෝර්සෝ කැරැල්ල නාසි තන්ත්‍රයටත් එහි සහායකයන්ටත් එරෙහි ව යුරෝපය පුරා සමාජ හා විප්ලවීය අරගල පුපුරා යාමේ අවධියක් කැඳවා ගෙන ආවේ ය. එතැන් පටන් එම නැඟිටීම නාසි නායකත්වයෙන් සිදු කල මිලියන 6ක යුරෝපීය යුදෙව්වන් සංහාරයේ ඉතිහාසයෙහි සුප්‍රකට කථාංගයක් බවට ද ෆැසිස්ට්වාදයට ඇති අතිමහත් සන්නද්ධ බලය හමුවේ නිර්භය ව ඊට විරෝධය පෑමේ සංකේතයක් බවට ද පත් ව ඇත.

එහි දැවැන්ත ඓතිහාසික හා දේශපාලන වැදගත්කම තිබිය දී ම- නො එසේ නම් එවැනි වැදගත්කමක් ඊට ඇති නිසා ම- 80 වෙනි සංවත්සරයේ සැමරුම් අන්තයට ම නිහඬ ස්වභාවයක් ගත්තේ ය. ජර්මනියේ ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටෙයින්මෙයර් වොර්සෝවේ පැවති සමරු රැස්වීමක දී වාචාල කතා කීපයක් දොඩා “සමාව” ඉල්ලී ය. ඔහු මෙසේ කලේ ජර්මානු ආන්ඩුව නැවත රුසියාවට එරෙහි ව යුක්‍රේනයේ යුද්ධයක් කිරීමට අවශ්‍ය යුධ ටැංකි යවමින් සිටින සහ පෝලන්ත ආන්ඩුව ඉතිහාසය මුසාකරනය කිරීමේ ද යුදෙව් විරෝධය ඉහල නැංවීමේ ද රුසියාවට එරෙහි ව නේටෝ යුද්ධය පෙරට ගෙන ඒමේ ද කේන්ද්‍රීය භූමිකාවක් රඟ දක්වමින් සිටින කොන්දේසි යටතේ ය.

ජර්මනියේ ම පවා පැවැත්වුනේ සැමරුම් අතලොස්සක් පමනි. ඒවා සියල්ල ම පාහේ සංවිධානය කරන ලද්දේ යුදෙව් ප්‍රජාව විසිනි. කැපී පෙනෙන වෙනසක් ඇති සැමරුමක් වූයේ ලයිප්සිග්හි සයිමන් ඩබ්නොව් ආයතනය විසින් සංවිධානය කරන ලද තෙදින ශාස්ත්‍රීය සම්මන්ත්‍රනය යි. මෙහි විශේෂ ලක්ෂනය වූයේ පෝලන්ත යුදෙව් ඉතිහාසය පිලිබඳ ක්ෂේත්‍රයේ සුවිශිෂ්ට ඉතිහාසඥයන් බොහෝ දෙනකුගේ සහභාගීත්වයෙන් කැරැල්ලට හවුල් වූ විවිධ දේශපාලන ප්‍රවනතා ගැන ද කැරැල්ල පිලිබඳ මෑතකාලීන ඓතිහාසික සොයා ගැනීම් ගැන ද සමාලෝචනය කිරීම ය.

සම්මන්ත්‍රනය පැවති අවස්ථාවෙහි, ලයිප්සිග් විශ්වවිද්‍යාලයේ සිසුහු නාසිවාදය විසින් වධබන්ධනයට ලක් කරන ලද, මරා දමන ලද හෝ පිටුවහල් කරන ලද සංගීත සංරචකයින්ගේ කෘතිවලින් සමන්විත ප්‍රකම්පනකාරී ප්‍රසංගයක් ද සංවිධානය කලහ. ශිෂ්‍යයන් විසින් ම සංගීත ඛන්ඩ තෝරා ගෙන තිබුනේ නාසීන් විසින් විනාශභාග් කරන ලද සංගීත සංස්කෘතියේ දැවැන්ත විවිධත්වය හා ආඪ්‍යත්වය ගෙන හැර පෑමට පමනක් නො ව, මේ සංරචකයින් ඔවුන් වධ බන්ධනයට ලක් කිරීමට පූර්වයෙන් ගත කල ජීවිතවල ස්වභාවය පිලිබඳ හැඟීමක් ශ්‍රාවකයා හට ලබා දීමේත් අරමුනින් ය. විශේෂයෙන් සිත් කා වැදුනු අංගයක් වූයේ වෝර්සෝහි උපත ලද, 1920 ගනන්වල බර්ලින් සංගීත දේහයේ ප්‍රමුඛ භූමිකාවක යෙදුනු, පසුව එක්සත් ජනපදයට පිටුවාහල් වීමට බල කෙරුනු පෝලන්ත- යුදෙව් සංගීත සංරචකයකු වන ඉග්නාට්ස් වගල්ටර් (Ignatz Waghalter) ගේ මුල්කාලීන කෘතියක් වන ස්ට්රින්ග් ක්වෝ ටෙ ට් ඉන් ඩී මේ ජර් ( String Quartet in D Major) හි ප්‍රථම චලනයන් (කොටස්) තුන ය. එමෙන් ම, නාසින් විසින් ඝාතනය කරන ලද චෙක්-යුදෙව් සංගීත සංරචකයකු වන එර්වින් ෂුලොෆ්ගේ (Erwin Schulhoff) ගේ 'අයිරනීස්' “(Ironies)” වලින් ගත් අත්-හතරේ කෙටි එහෙත් නවීකාරක ගුනයෙන් හෙබි පියානෝ වාද්‍ය ඛන්ඩ තුනක් ද ඉදිරිපත් කෙරින.

ශිෂ්‍යයින් දැවැන්ත උද්‍යෝගයකින් සංගීත ඛන්ඩ වාදනය කල අතර එක් ශිෂ්‍යයෙක් එක් එක් සංරචකයා සහ එක් එක් වාද්‍ය ඛන්ඩ ගැන විචාරශීලී හැඳින්වීමක් ද ඉදිරිපත් කලේ ය. සංගීත උපකරන සඳහා වූ ලයිප්සිග් කෞතුකාගාරයේ පැවති මේ ප්‍රසංගය කෙතරම් උන්නදුවක් දල්වා ලූයේ ද යත් ශ්‍රාවකත්වයට පහසුකම් සලසනු වස් අමතර පුටු පිටතින් ගෙන්වීමට පවා සිදු විය.

නාසි මහා සංහාරයේ (හොලෝකෝස්ටයේ) තව මත් තිබෙන බුද්ධිමය හා සංස්කෘතික බලපෑම ග්‍රහනය කර ගැනීමට තරුනයින් හා කම්කරුවන් අතරේ ඇති සුපැහැදිලි පෙලඹුමත් අනෙක් පැත්තෙන් ඓතිහාසික සත්‍යය යටපත් කරලීමට හෝ විකෘත කිරීමට නැත් නම් සිදු වූ දෙය අඩුබාල කිරීමට හෝ සිදු වූ දෙය සිහිපත් නො කිරීමට ආන්ඩු දරන උත්සාහයනුත් අතරේ කැපී පෙනෙන වෙනසක් පවතී. වෝර්සෝ ගෙටෝ නැඟිටීම අනුස්මරනය කිරීමට ධනපති ආන්ඩුවලට කිසිදු උනන්දුවක් නැත්තේ නිශ්චිත ව ම එම නැඟිටීමේ ඓතිහාසික පාඩම්වල අදට ඇති දේශපාලන අදාලත්වය නිසා ය.

එහෙත් අද දින ලෝකය නව අධිරාජ්‍යවාදී යලි බෙදා-හදා ගැනීමේ ක්‍රියාදාමයක, ෆැසිස්ට් බලවේග ගොඩ නැඟීමක, සමාජ ප්‍රතිවිප්ලවය සහ වැඩෙන වසංගත හා දේශගුනික ව්‍යසනයක මහා දිය සුලියට මුහුන පා සිටින කම්කරුවන්ට වොර්සෝ ගෙටෝ නැඟිටීමේ වීරෝදාර මෙන් ම නාසි මහා සංහාරයේ ඛේදනීය අත්දැකීමෙන් අතිමහත් ප්‍රමානයක් දෑ ඉගෙනීමට ඇත්තේ ය.

වෝර්සෝ ගෙටෝ කැරැල්ලේ මූලයෝ

වෝර්සෝ යුදෙව් කඳවුරෙහි සන්නද්ධ ප්‍රතිරෝධය පෑමේ සැලසුම්වල ආසන්න මූලයන් පැවතියේ 1942 වසරේ ජූලි 22-සැප්තැම්බර් 8 අතර කාලයේ ක්‍රියාවට දැමුනු “මහා ක්‍රියාව” නම් වූ කඳවුරු වැසියන් මුහුන දුන් ව්‍යසනකාරී අත්දැකීම- එනම්, යම්තම් සති හයක කාලය තුල 265,000ක් පමන යුදෙව්වන් සංඛ්‍යාවක් වෝර්සෝ ගෙටෝවෙහි සිට ට්‍රෙබ්ලින්කා ඝාතන කඳවුරට පිටමං කොට, එහි පැමිනි වහා ම ගෑස් කුටිවල දමා ඝාතනය කිරීමේ අත්දැකීම- තුල ය. නැගෙනහිර යුරෝපය පුරා යුදෙව් ගෙටෝ සහ යුදෙව් ඝාතන කඳවුරු මුර කරනු පිනිස නාසීන් විසින් පුහුනු කර තිබුනු “ට්‍රව්නිකී” නමින් හැඳින්වුනු යුක්‍රේනියානු කුලී හේවායෝ යුදෙව්වන් ක්‍රමානුකූල ව වට කොට අල්ලා ගෙන ට්‍රෙබ්ලින්කා වෙත පැටවීමේ දී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කලහ.

වෝර්සෝ හි ඊසාන දෙසින් පිහිටි ට්‍රෙබ්ලින්කා සමූලඝාතන කඳවුරේ ස්මාරකය. 1942 ගිම්හානය සහ 1943 ගිම්හානය අතර ට්‍රෙබ්ලින්කා හි යුදෙව්වන් මිලියනයක් පමණ ගෑස් ප්‍රහාරයට ලක් විය. එය අවුෂ්විට්ස්ට පසු යුරෝපයේ දෙවන මාරාන්තික සමූලඝාතන කඳවුර විය. © WSWS මාධ්‍ය [ඡායාරූපය: WSWS]

“මහා පිටුවාහල්කරනය” වූකලි “රේන්හාර්ඩ් ක්‍රියාන්විතයේ” කොටසකි. “රේන්හාර්ඩ් ක්‍රියාන්විතය” යනු පෝලන්තයේ නාසි පාලනය යටතේ පැවති පොදු ආන්ඩුව (General Government) නම් පෙදෙසෙහි පිහිටි ගෙටෝවල විසූ මුලුමහත් මිලියන 2ක යුදෙව් ජනගහනය ක්‍රමානුකූල ව කාර්මික ඝාතනයට ( මහා පරිමාන නිෂ්පාදනයක ස්වරූප ගත් සමූහ ඝාතනයට) ලක් කිරීමට දුන් කේත නාමය යි. මෙම ක්‍රියාන්විතය 1942 මාර්තුවල ආරම්භ කෙරුනි; ඒ ප්‍රමුඛ පෙලේ නාසින් හා ජර්මන් රාජ්‍ය නිලධාරීන් විසින් යුරෝපයේ සියලු යුදෙව්වන් කාර්මික සමූලඝාතනයට ලක් කිරීම සඳහා එකඟතාවකට එලඹි 1942 ජනවාරි මස පවත් වන ලද කුප්‍රකට වන්(z)සී (Wannsee) සමුලුවෙන් සති කීපයකට පසුව ය. හොලෝකෝස්ටයේ සමස්ත මිලියන 6ක ඝාතනයන්ගෙන් හරි අඩකටත් වඩා 1942 මාර්තු සිට 1943 මාර්තු දක්වා අතර වසරක කාලය තුල සිදු කෙරුනි. මිලියන 1.47ක යුදෙව්වන් ගෑස් කුටිවල මරා දැමූ 1942 අගෝස්තු හා නොවැම්බර් අතර මාස තුනේ දී කාර්මික ඝාතන එහි උච්චතම ලක්ෂ්‍යය කරා ලඟා විය. එම සංඛ්‍යාව මහා යුදෙව් සංහාරයේ සමස්ත ඝාතනයන්ගෙන් හතරෙන් පංගුවක් වන අතර එය ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහල ම ඒකපුද්ගල ඝාතන අනුපාතය වේ.

1942-1944 මාසය අනුව සමූලඝාතන අනුපාතය. [ඡායාරූපය: ලුවි ස්ටෝන් ඉන් සයන්ස් ඇඩ්වාන්ස්] [Photo: Lewi Stone in Science Advances]

ඝාතනයට ගොදුරු වූවන්ගෙන් බහුතරයක් වෝර්සෝහි විසූ යුදෙව් ප්‍රජාව විය. යුද්ධයට පෙර, වෝර්සෝව ලෝකයේ විශාලතම යුදෙව් ප්‍රජාවගේ නිවහන බවට පත් ව තිබුනි. එහි 400,000ක් යුදෙව්වන් සිටි අතර එය නගරයේ මුලු ජනගහනයෙන් තුනෙන් එකක් විය. 1940 නොවැම්බරයේ ස්ථාපිත කෙරුනු වෝර්සෝ ගෙටෝව යුරෝපයේ නාසි පාලනය යටතේ වූ විශාලතම ඒ වර්ගයේ ගෙටෝව වූ අතර සුවිසල් යුදෙව් කඳවුරක් ලෙස එය මනා ව ක්‍රියාත්මක කෙරින. ගෙටෝව තාප්පයක් මඟින් වෝර්සෝවේ ඊනියා “ආර්යයන්ගේ පැත්තෙන්” වෙන් කර තිබුනේ වුව ද ගෙටෝව පැවති කාලය පුරා ම මේ පැති දෙක අතර වෙලඳාමත් හොර බඩු ජාවාරමත් දිගට ම සිදු කෙරුනි. ගෙටෝවේ වසන්නන්ට දිනකට කැලරි 184ක පමන සාගිනි සලාකයකින් යැපෙන්නට බල කෙරී තිබින. සාගින්නෙන්, ටයිෆස් උනෙන් සහ අනෙකුත් රෝගාදියෙන් පීඩිත ව, ගෙටෝ වැසියන්ගෙන් හතරෙන් එකක් පමන “මහා පිටුවාහල්කරනයට” පෙර මිය ගියහ.

බියජනක ජීවන කොන්දේසි සහ නාසින්ගේ අනවරත භීෂනය තිබිය දී ම, ගෙටෝව පෝලන්ත යුදෙව්වන්ගේ පොහොසත් බුද්ධිමය හා සංස්කෘතික සම්ප්‍රදායන් පිලිබිඹු කරමින් සැලකිය යුතු සංස්කෘතික සහ දේශපාලනික වැඩ බිමක් බවට පත් විය.

මෙයින් ශ්‍රේෂ්ඨතම දේශපාලනික හා සංස්කෘතික අර්ථභාරී කර්තව්‍යය වූයේ සමාජවාදී සියෝන්වාදී ඉතිහාසඥයකු වන, ඉමෑනුවෙල් රින්ගෙල්බ්ලම් විසින් (Oyneg Shabbes) ඔයිනෙග් ෂාබ්ස් ) ලේඛනාගාරය ආරම්භ කොට ඊට නායකත්වය දීම යි. 1940 සිට ගෙටෝව දිය කර හැරීමේ අවධිය පුරා මේ ලේඛනාගාරය නාසිවාදය විසින් කෙරී ගෙන ගිය පෝලන්ත යුදෙව්වන් විනාශභාග් කිරීම පිලිබඳ ව ද එමෙන් ම, ගෙටෝවේ දෛනික ජීවිතය සහ එහි සංස්කෘතික හා දේශපාලනික ක්‍රියාකාරකම් පිලිබඳ ව ද තොරතුරු අතිවිශාල ප්‍රමානයක් ඒකරාසී කලේ ය.

පෝලන්ත යුදෙව් ප්‍රජාව හා ගෙටෝ ජීවිතය මත මාක්ස්වාදයේ හා සමාජවාදයේ අතිමහත් බලපෑම විශේෂයෙන් ලේඛනාගාරය විස්තර කරයි; මේ කරුනුවලින් තොර ව කැරැල්ලේ දේශපාලන මූලයන් අවබෝධ කර ගත නොහැකි ය. ගෙටෝවේ වඩාත් ක්‍රියාකාරී දේශපාලන ප්‍රවනතා අතරේ හෂොමෙර් හට්zසිර් (Hashomer Hatzair) නම් සමාජවාදී සියෝන්වාදී ව්‍යාපාරය හා (Left Poalei Tsyion) ලෙෆ්ට් පොලීටියොන් ද (මේ හා රින්ගෙල්බ්ලම්ට සබඳතා තිබුනි) එමෙන් ම කොමියුනිස්ට්වාදීන් ද විය. අන්තර්-යුද්ධ පෝලන්තයේ විශාල වශයෙන් කර්මාන්තශිල්පී යුදෙව් ජනගහනය අතරේ වැදගත් බලපෑමක් තිබුනා වූ ද දශක ගනනාවක් තිස්සේ සංහාරයන්ට එරෙහි ව යුදෙව් ප්‍රජාවන් තුල ආත්මාරක්ෂක ඒකක සෑදීමට මුල් වූ ද යුදෙව් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ලේබර් බුන්ඩ් පක්ෂය ද කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කලේ ය. මෙම සියලු ප්‍රවනතාවන් නැඟිටීමට සම නායකත්වය දෙනු ඇත.

රින්ගෙල්බ්ලම් ලේඛනාගාරය තව දුරටත් පෙන්වා දෙන්නේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වෝර්සෝ ගෙටෝව තුල “මහා පිටුවාහල්කරනය” දක්වා ම වාගේ දේශපාලනික ව ක්‍රියාකාරී ව සිටි බව යි. නැඟිටීමට ට්‍රොට්ස්කිවාදීන් මැදිහත් වූ බව සමහර මූලාශ්‍ර පෙන්වා දෙයි.1

1940 හා 1941 අතර කාලයේ ට්‍රොට්ස්කිවාදීහු වෝර්සෝ ගෙටෝව තුල පෝලන්ත බසින් සඟරා දෙකක් පල කලහ: සෙර්වෝනි ස්ටැන්ඩර් ( Czerwony Sztandar (Red Banner)) හා ( Pregłąd Marksistowski) ප්‍රිගොන්ඩ් මර්ක්සිස්ටොව්ස්කි (Marxist Review) න්‍යායික සඟරාව. මේවා ගෙටෝ තාප්පයෙන් දෙපසේ ම බෙදා හැරුනි. ඔවුන්ගේ ප්‍රකාශනවල ලියොන් ට්‍රොට්ස්කි විසින් ලියන ලද ලිපි අන්තර්ගත විය. ට්‍රොට්ස්කි ඝාතනයෙන් ප්‍රථම සංවත්සරයට කැප කරමින් 1941 අගෝස්තුවේ නිකුත් කල පත්‍රිකාවක් ද එමෙන් ම ඔක්තෝබර් විප්ලවයේ හා පැරිස් කොමියුනයේ පාඩම් සහ විප්ලවවාදී මාක්ස්වාදය හා ස්ටැලින්වාදය අතර වෙනස ඇතුලු සමකාලීන හා ඓතිහාසික සිද්ධීන් පිලිබඳ න්‍යායික හා දේශපාලන විශ්ලේෂන ඒවායේ අන්තර්ගත විය. “පෝලන්ත ට්‍රොට්ස්කිවාදයේ පියා” වූ ද නායකයා වූ (Solomon Ehrlich) සොලමොන් එර්ලිෆ් (1907-1942) පිටුවාහල් කරන ලද අතර 1942 සරත් සමයේ දී ට්‍රෙබ්ලින්කා ගෑස් ගෑස් කුටියක ලා ඝාතනය කරන ලදි.

1941 අගෝස්තු මාසයේදී ඔහුගේ ඝාතනයේ පළමු සංවත්සරය වෙනුවෙන් වෝර්සෝ ගෙටෝහිදී ට්‍රොට්ස්කිවාදීන් විසින් නිකුත් කරන ලද "ලියොන් ට්‍රොට්ස්කිගේ මතකයේ" පත්‍රිකාවේ කවරය.

පෝලන්ත ට්‍රොට්ස්කිවාදීන්ගේ සංරක්ෂිත ව ඇති අවසාන ප්‍රකාශනය 1942 මැයි 1 දා නිකුත් කල මැයි දින පත්‍රිකාවකි. පෝලන්තයේ සියලු ජාතීන්ට අයත් කම්කරුවන්ට ආයාචනයක් ලෙස ලියන ලද එය ආක්‍රමනිකයන්ට එරෙහි ව සංවිධිත සන්නද්ධ ප්‍රතිරෝධය පෑම, ධනවාදයට එරෙහි ව අරගලයේ දී යුරෝපයේ කම්කරුවන්ගේ ජාත්‍යන්තර එකමුතුව සහ යුරෝපය පුරා හතර වන ජාත්‍යන්තරය ගොඩ නැඟීම උදෙසා කෙරුනු බලගතු කැඳවුමක් විය. විශේෂයෙන් ට්‍රොට්ස්කිවාදීන් අවධාරනය කලේ පෝලන්ත, යුදෙව් හා ජර්මානු කම්කරුවන් එකමුතු වීමේ අවශ්‍යතාව යි.

ජර්මානු කම්කරු පන්තිය සිය හදවතේ ගැඹුරු තැනින් ම සමාජවාදයේ පරමාදර්ශවලට විශ්වාසී ලෙස බැඳී සිටින අතර හිට්ලර්වාදය සහ ධනවාදය තුරන් කිරීමට අප හා එක පෙලට සටන් කරයි. මැයි දිනයේ අපි අපගේ ජර්මානු පන්ති සගයන් වෙත සහෝදරාත්මක හස්තය දිගු කරන්නෙමු, අපි ලෝකය පුරා සිටින කම්කරුවන් වෙත අපේ හස්තය දිගු කරන්නෙමු, ඔවුන් සමඟ එක් ව අපි අපේ පොදු සතුරාට එරෙහි ව පරිපූර්න හා නිර්දය ලෙස පලිය ගන්නෙමු.3

1941 අගෝස්තු මාසයේදී ඔහුගේ ඝාතනයේ පළමු සංවත්සරය වෙනුවෙන් වෝර්සෝ ගෙටෝහිදී ට්‍රොට්ස්කිවාදීන් විසින් නිකුත් කරන ලද "ලියොන් ට්‍රොට්ස්කිගේ මතකයේ" පත්‍රිකාවේ කවරය.

යුදෙව් සංස්කෘතික ජාතිකවාදය වැදගත් කාර්යභාරයක් ඉටු කල සමාජවාදී ප්‍රවනතා අතරේ පවා, යුදෙව්වන්ගේ ඉරනම සියල්ලට මත් ඉහලින්, යුරෝපා ජනතාවගේ ආධාරය හා සමාජ විප්ලවයේ වර්ධනය මත රඳා පවතින්නේ ය යන්න ගැන අවබෝධයක් විය. විශේෂයෙන් 1942 වසන්තයේ දී යුරෝපයේ විප්ලවයක් දැන් දැන් වෙති යි ඉහල බලාපොරොත්තු තිබුනේ ය. රින්ගෙල්බ්ලම් මෙන් (Left Poalei Tsiyon) ලෙෆ්ට් පොලීටියොන් හි ද (Oyneg Shabbes ) ඔයිනෙග් ෂාබ්ස් ලේඛනාගාරයෙහි ද සාමාජිකයකු වූ ඒබ්‍රහම් ලෙවින් 1942 මැයි 16 දින ඔහුගේ දිනපොතේ මෙස් ලිවී ය:

මරනය, විනාශය, දන්ඩනය, මර වේදනාව යන වචන එහි නලලේ ලියා ඇති නාසි එලිදරව්වේ තිරශ්චීන මුහුනුවර වන නරකාදිය අප සෑම කෙනකුට ම එන්න එන්න ම ලං ලං වෙමින් පවතී. අපේ සියලු ඛේදජනක හා කටුක අත්දැකීම්වල වඩාත් බිහිසුනු පාර්ශ්වය වන්නේ අප තුල අනවරත ව පවත්නා අනාරක්ෂිත භාවයක් හා කිසිදා නිමා නොවන සන්ත්‍රාසයක් ඇති වී තිබීම ය. සත්‍යය නම් අද දින අපේ හදවත් රුසියානු භූමියේ සිදුවෙමින් පවතින සිද්ධි සමඟ එක ම රිද්මයකට ගැහීම යි. එහි මිනිසා හා මෘගයා අතර, පීඩාකාරී, ලේ වැකි මනුෂ්‍යත්වයක් වෙනුවට වඩා හොඳ හෙටක් පිලිබඳ බලාපොරොත්තුව හා ලෝකය මෙතෙක් දැක ඇති වඩාත් ම ලේ පිපාසිත නීරෝගේ ජයග්‍රහනය පිලිබඳ බිය අතර ජීවිතය හා මරනය පිලිබඳ සටනක් ගෙන යමින් පවතී.4

ලෙවින් හා අනෙකුත් අය ෆැසිස්ට් පාලනයෙන් යුත් ඉතාලියේ නොසන්සුන්තාව ගැන ප්‍රවෘත්ති ද විශේෂයෙන් ජර්මනියේ සිට අලුතින් පැමිනි පිටුවාහලුන් (Reich) රයික් (තෙවැනි ජර්මානු නාසි රාජ්‍යය) හි ආර්ථික අර්බුදයක හා දේශපාලන නොසන්සුන්තාවක සලකුනු පිලිබඳ ව කල වාර්තා ද උද්‍යෝගයෙන් සැලකිල්ලට ලක් කලහ. 1943 ජූනි 3 දා, එනම්, මහා පිටුවාහල් කිරීම ඇරඹීමට සති හයකට පෙර, ලෙවින් මෙසේ සඳහන් කලේ ය:

ජර්මනිය, ඔස්ට්‍රියාව හා චෙකෝස්ලෝවැකියාව යන රටවලින් ලැබුනු ලියුම් සමස්ත Reich (රයිකය) පුරා එක්තරා විප්ලවීය පැසවීමක් ඇති බවට දෙස් දෙයි. නිදසුන් වශයෙන්, වීදිවල පහත අඩංගු දෑ සහිත ප්‍රකාශ අලවා තිබූ බව බර්ලිනයෙන් අපට අසන්නට ලැබේ: “ අපට සාමය දෙනු. අපේ ස්වාමිපුරුෂයන් හා පුත්‍රයන් ආපසු අප වෙත භාර දෙනු.” චෙකෝස්ලෝවැකියාවෙන් එන ලියුම්වල ද මෙම බලගතු විප්ලවවාදී ස්වභාවය තිබුනි.... මේ සියලු ලියුම් ලෝක පරිමාන සංහාරයන්ගේ වේගවත් අවසානයක් පිලිබඳ විශ්වාසය සමඟ සම රිද්මයෙන් ස්පන්දනය වුනි. සමස්ත පීඩිත යුරෝපයට ම වැරදුනා වෙන්නට පුලුවන් ද? හදවත ඉතා ගැඹුරින් විමුක්තිය අත්පත් කර ගැනීමට ආශා කරයි. අප නින්දට යන්නේ මේ සිහිනය සමඟ ය; අප අවදි වන්නේ මේ සිහිනය සමඟ ය. ලෝකවාසීන්ගේ සියයට 95ක වඩාත් ලාලසී ආශාවන් ඉටු නො වී පරිහානියට පත් මෘග මිනීමරුවන් රැලකගේ දුෂ්ට බලය ජය ගැනීම විය හැකි දෙයක් ද? තර්කබුද්ධිය හා හදවත අපට කියා සිටින්නේ හිට්ලර් හා මුසෝලීනිගේ භූමියේ වසන කැලෑ සතුන් නො ව, සෝවියට් රුසියාවේ එංගලන්තයේ හා ඇමරිකාවේ ජනතාවන් තුල මූර්තිමත් වන්නා වූ මානවවර්ගයා ජයග්‍රාහී වනු ඇති බව යි.5

මහා පිටුවාහල්කරනයේ දී ලෙවින්ට ඔහුගේ බිරිඳ හා දියනිය අහිමි වේ. 1943 මුල ඔහු ද මරා දැමිනි. ගෙටෝවේ මහා පිටුවාහල්කරනයෙන් බේරී දිවි ගලවා ගත් සෑම කෙනකුට ම පාහේ ඔහුගේ හෝ ඇගේ පවුලේ වැඩි කොටසක් අහිමි ව තිබුනි. සාමාන්‍යයෙන් ගත් කල, දිවි ගැලවුනු අය තරුන වියේ වූ කම්කරුවන් වශයෙන් “ප්‍රයෝජනවත්” ලෙස සැලකුනු, එහෙයින් ම තාවකාලික ව පිටුවාහල්කරනයෙන් නිදහස් (මුක්ත) කල අය වූහ.

සමාජවාදී සියොන්වාදී වාම ( පොලී ටියොන් ) හි සාමාජිකයෙකු වන Abraham Lewin (ඒබ්‍රහම් ලෙවින්), ඔහුගේ දියණිය Ora (ඕරා) සමඟ

නැඟිටීම

මහා පිටුවාහල්කරනය, නාසීන් යුදෙව්වන් සමූලඝාතනයට තැත් කරමින් සිටි බව ගැන කිසිදු සැකයක් ඇති කර ගැනීමට ඉඩක් ඉතිරි කොට නැත. ගෙටෝවේ ඉතිරි ව සිටි යුදෙව්වන් ටික දෙනා අතර තමන් පිටත ලෝකයෙන් බිහිසුනු හුදෙකලා බවක හා ඔවුන් විසින් අත හැර දමන ලද බවක හැඟීමක් ද ඉන් ප්‍රතිබල ගැන්වී ය. නැඟිටීම සඳහා සැලසුම් උපන්නේ දේශපාලනික වීරත්වයේත් මරනයේ නොවැලැක්විය හැකි බව නිසා උපන් අපේක්ෂා විරහිත භාවයේත් එකතුවක් තුලිනි. නැඟිටීමෙන් දිවි ගලවා ගත් කිහිප දෙනකුගේ විස්තරකථනයන් පදනම් කර ගෙන මරෙක් එඩ්ල්මන් (Marek Edelman), යිට්සැක් සක්‍රෙමන් (Yitzhak Zuckerman) සහ සිවියා ල්‍යුබිකින් (Tzivia Lubetkins) කියා සිටියේ ඔවුන් -ගෞරවාන්විත ව ජීවත් වීමට හා ගෞරවාන්විත ව මිය යාමට- මිය යන තුරු සටන් කිරීමේ ද යුදෙව් ජනයාට කරමින් සිටින්නේ කුමක් ද යන්න ගැන පිටත ලෝකයට සංඥාවක් යැවීමේ ද අධිෂ්ඨානයකින් අභිප්‍රේරිත ව සිටි බව යි. ජර්මානුන් පරාජය කිරීමට හැකි ය යන්න පසෙක තිබියේවා, නැඟිටීමෙන් දිවි ගලවා ගැනීමේ අපේක්ෂාවක් වත් කිසිවකුට තිබුනේ නැත. බලාපොරොත්තුව වූයේ ප්‍රතිරෝධය පෑමේ ඔවුන්ගේ සංකේතාත්මක ක්‍රියාව වඩාත් පලල් ව්‍යාපාරයක් දල්වා ගැනීමට උදව්කාරක වනු ඇති බව යි.

බුන්ඩ්වාදියකු හා නැඟිටීමෙන් දිවි බේරුනු නායකයින් කීප දෙනාගෙන් කෙනකු වන මරෙක් එඩ්ල්මන් පසුව මෙසේ සඳහන් කලේ ය: “ යමකු මිය යා යුත්තේ අනෙකුත් මිනිසුන් අරගලයට කැඳවීමෙන් පසුව පමනකි. ලෝකයාගේ ඇස්වලට හසු වන සේ, ප්‍රසිද්ධියේ මිය යාම අවශ්‍ය ය යන්න අපට ඒත්තු ගොස් තිබින.”6

මරෙක් එඩ්ල්මන් , වෝර්සෝ ගෙටෝ නැගිටීමේ කාලය ආසන්නයේ. එඩෙල්මන් බන්ට්හි සාමාජිකයෙක් විය.

1942 ජූලි 23 දින, මහා පිටුවාහල්කරනයේ දෙවන දිනයේ, සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයෝ සන්නද්ධ ප්‍රතිරෝධය පෑම ගැන සාකච්ඡා කිරීමට ප්‍රථම වතාවට ඒකරාශි වූහ. එම වසරේ මුල, ක්‍රෙම්ලින් නිලධර තන්ත්‍රයේ අනුමැතිය යටතේ අලුතින් පිහිටුවා ගත් පෝලන්ත කම්කරු පක්ෂයේ බලපෑම මත, සමාජවාදී ඉයොනිස්ට් හෂොමෙර් හසර් (Zionist Hashomer Hatzair) හා වාමාංශික සියෝන්වාදී තරුන ව්‍යාපාරය වූ ( Dor ) ඩොර් ද තවත් වෙනත් සංවිධාන කීපයක් ද ඒ වන විටත් වෝර්සෝ ගෙටෝව තුල ෆැසිස්ට් විරෝධී කන්ඩායමක් සංවිධානය කර සන්නද්ධ ප්‍රතිරෝධයක් පෑම සඳහා සුදානම් වීම් අරම්භ කර තිබින.

දින කීපයකට පසුව, ජූලි 28 දින ( Żydowska Organizacja Bojowa) සිඩොව්ස්කා ඔර්ගනිස්කා බොයොවා (ŻOB,) යුදෙව් සටන් සංවිධානය) පිහිටුවන ලදි. එතුල සිටි වාම දේශපාලන පක්ෂවල අතිමහත් බහුතරයක්, ඔවුන්ගේ දේශපාලන වෙනස්කම් කවරක් වුවත්, සමාජවාදී හා සෝවියට් හිතවාදී විය.

බෙනිටෝ මුසෝලිනිගේ බැතිමත් සහකරුවකු වූ අන්ත දක්ෂිනාංශික සියෝන්වාදී ව්ලැඩීමීර් ජබොටින්ස්කිගේ අනුගාමිකයෝ තවත් සටන් සංවිධානයක් පිහිටුවා ගත්හ. මෙය, එනම්, යුදෙව් මිලිටරි සංගමය සිඩොව්ස්කි ස්වයිසෙක් වොයිස්කොවෙ (Żydowski Związek Wojskowy, - ŻZW) කැරැල්ලටත් නාසි හමුදා ඛන්ඩ සමග දරුනු සටන්වලටත් සහභාගී වු අතරේ ම බරපතල දේශපාලන නොඑකඟතා හේතුවෙන් ŻOB සංවිධානයෙන් ස්වාධීන ව ක්‍රියා කලේ ය. එහි ප්‍රති-මාක්ස්වාදී දිශානතිය හේතු කොට ගෙන ŻZW සංවිධානයට පෝලන්ත ජාතිකවාදී ආර්මිජා ක්‍රජෝවාගේ වඩා වැඩි සහයෝගයක් ලැබුනි. ඔහු රතු හමුදාවට වාසි අත්පත් විය හැකි කැරැල්ල පිලිබඳ කිසිවක් වාර්තා කිරීමට අකමැත්තක් දැක්වූවෙකි.

ŻOB සංවිධානයට ආයුධ හා පුහුනුව ලබා ගැනීම අතිශයින් දුෂ්කර විය. සීමිත පරිමානයෙන් වුවත්, මුලින් ම ආධාරයට පැමිනියේ ආර්මියා ලුඩෝවා ( Armia Ludowa) නම් පෝලන්ත මහජන පක්ෂයට සම්බන්ධිත ගරිල්ලා ව්‍යාපාරය යි. පෝලන්ත මහජන පක්ෂය වූකලි 1938 දී ස්ටැලින් විසින් විනාශ කර දමන ලද්දා වූ පෝලන්ත කොමියුනිස්ට් පක්ෂයේ අනුප්‍රාප්තික පක්ෂය යි. ඔවුන් විසින් ŻOB සංවිධානයේ ඒකක 22ක (600ක් පමනක් වූ) සාමාජිකයෝ මාස ගනනක් පැවතුනු ස්වල්ප ආයුධ සංඛ්‍යාව යොදා ගනිමින් පුහුනු කරනු ලැබූහ.

1943 ජනවාරියේ දී, ගෙටෝවේ නිවැසියන් දහස් ගනනක් වට ලෑමේ දී කැරැල්ලේ පලමු නැඟිටීම ඇති විය.

හෂොමෙර් හසර් හි සාමාජිකයකු වූ ජනප්‍රවාදගත (Mordechai Anielewicz ) මොර්දෙහයි අනිලැවිච් ද ඇතුලත් වූ ŻOB ඒකකයක් ට්‍රෙබ්ලින්කා වෙත යන දුම්රිය පටන් ගන්නා කුප්‍රකට ( Umschlagplatz) උම්ෂ්ලැග්ප්ලැට්ස් කරා පිටුවාහලුන් ඇද ගෙන යාමට තැත් කල ජර්මානුවන් හා යුක්‍රේනියානුන්ට වෙඩි තැබීම ආරම්භ කලේ ය. ŻOB ඒකකයේ සියලු සාමාජිකයන් පාහේ මරා දමන ලදි. අනිලැවිච් අනූනවයෙන් බේරුනි.

ඒ වෙනුවෙන් බිහිසුනු මිලක් ගෙවූයේ වුව ද, මේ නැඟිටීම නාසින් හා ගෙටෝවේත් වෝර්සෝවේත් නිවැසියන් යන දෙපාර්ශ්වය තුල ම වඩාත් පලල්, විශාල හැඟීමක් ඇති කලේ ය. මේ පලමු නැඟිටීමෙන් පසුව, ආර්මිජා ක්‍රජෝවා විසින් නායකත්වය දුන් පෝලන්ත ජාතිකවාදී යටිබිම්ගත සංවිධානය ආයුධ හා පුපුරන ද්‍රව්‍ය සීමිත ප්‍රමානයෙන් සැපයීමට එකඟ විය. මෙය ගෙටෝ සටන්කරුවන්ගේ චිත්ත ධෛර්යය ඉහල නැංවී ය. ඔවුන් දැනට මත් එසේ නොකලා නම්, ŻOB සංවිධානයට අනුග්‍රහශීලි වූ හෝ ඒ හා සම්බන්ධ වූ අයට භූගත වන්නට, එලඹෙන නැඟිටීම උදෙසා බොහෝ බිම් මහල් බංකර ගොඩ නැඟීමට සිදු වනු ඇත.

(Władysław Szlengel) වඩිෂ්ව ස්ලෙන්ගල් කවියා ජනවාරි නැඟිටීමේ පසුවිපාක හා මහා නැඟිටීම සඳහා වූ සූදානම් වීම් මෙසේ විස්තර කලේ ය:

සිමෙන්ති හා ගඩොල් ගෙන එමින් තිබින, රාත්‍රි කාලයන් මිටිවලත් ගල්කටුවලත් තැලුම් හඬින් නින්නාද විය. ජලය පොම්ප කෙරින, බිම් මහලේ ලිං හෑරුනේ ය. රක්ෂාස්ථාන. වෝර්සෝ ගෙටෝවේ උමතුවක්, කඩිමුඩියක්, හෘද නියුරෝසියාවක්. ආලෝකකරනය, භූගත කේබල්, බරාඳයන් විදීම, යලිත් ගඩොල්, කඹ, වැලි.... වැලි මහ ගොඩවල්. වැලි. නිඳන මැසි, තොටිලි. මාස ගනනකට ප්‍රමානවත් සැපයුම්. විදුලිය, ජලය.... සියවස් 20ක් SS වරුන්ගේ කසය මඟින් කපා හැරුනි. තෙල් දැමූ ලාම්පු, ගම්වල ඇති ලිං සහිත ගල් ගුහා යුගය යලි එලඹිලා ය. දිගු රාත්‍රී කාලයන් පටන් ගෙන ඇත. මිනිස්සු සතුන්ගෙන් බේරීමට ආපසු පොලොව යටට යමින් සිටියහ.7

අප්‍රේල් 18 දින, ŻOB සංවිධානයේ අන දෙන මන්ඩලය රැස් විය. එයට නැඟිටීමේ ප්‍රධාන නායකයා ලෙස පසුව හැඳින්වෙනු ඇති එවක 21 වියේ පසු වූ මොර්දෙහයි අනිලැවිච් සහ එවක 22 වියැති මරෙක් එඩල්මාන් (Marek Edelman) ඇතුලත් ව සිටියහ.

මොර්ඩෙහයි ඇනිලෙවිච්, නැගිටීමේ ප්‍රධාන නායකයන්ගෙන් කෙනෙක් සහ සමාජවාදී සියොන්වාදී හෂොමෙර් හට්සයිර් හි සාමාජිකයෙක්

ඊලඟ දිනයේ නැඟිටීම ආරම්භ විය. SSවරු හා පොලිස් ඒකක තවත් ජනයා පිටුවාහලට පැටවීම පිනිස ගෙටෝවට ඇතුලු වූ විට, ŻOB යුදෙව් සටන් සංවිධානය කසල නල, කවුලු හා පටුමංවල සිට ප්‍රහාරයෙන් අන්දමන්ද වූ වරුන් වෙත මොලටෝව් කොක්ටේල් (පුපුරනසුලු ද්‍රව බෝතල්) සහ අත් බෝම්බවලින් දමා ගැසුවේ ය. SS ඒකක මේ අනපේක්ෂිත ප්‍රහාරයට මුහුන දීමට අසමත් විය. බරපතල අලාභ හානි විඳි ඔවුනට පසුබසින්නට සිදු වින. අප්‍රේල් 22 දින, නැඟිටීම මැඬලිමේ ප්‍රධානියා ලෙස පත් ව සිටි SS නිලධරයකු වූ (Jürgen Stroop) යූර්ගන් ස්තෲ සටන්කරුවන්ට යටත් වන ලෙස අවසන් නිවේදනයක් නිකුත් කලේ ය. එය ප්‍රතික්ෂේප කෙරුනු විට, ඔහු සිය හමුදා ඛන්ඩයන්ට නියෝග කලේ කෑල්ලෙන් කෑල්ල, සියලු නිවාස ගිනිබත් කරන ලෙසටත් බිම්මහල් හා කසල නල පුපුරුවා හරින ලෙසටත් ය. මේ ගිනි ජාලාවෙන් ගෙටෝවේ නිවැසියන් දහස් ගනනක් පනපිටින් පිලිස්සී හෝ හුස්ම හිර වී හෝ මිය ගියහ.

එඩෙල්මන් පසුව සම්මුඛ සාකච්ඡාවක දී මෙසේ පැවසී ය: “ නිවාස හා ගෙමිදුල් හරහා අග්නි ජාලා ගලා ගියේ ය...කලු හුස්ම හිර කරවන දුමාරය සහ රක්ත වර්න ගිනියම් බිත්තිවලින් ද දීප්තියෙන් දැවෙන ගල් පඩි පෙලින් ද නික්මෙන දැඩි දැවෙන තාපය විනා වාතය නො තිබුනි.”

මැයි 8 වන දින, SSවරු ŻOB යුදෙව් සටන් සංවිධානයේ බංකරයක් සොයා ගත්තේ ය. අනිලැවිච් ( ŻOB කමාන්ඩර්) සහ එම සංවිධානයේ දිවි ගලවා ගත් බහුතරයක් -(ඇතැම් විට 80 දෙනෙකු පමන) සිය දිවි තොර කර ගත්හ. එඩෙල්මන් හා කීප දෙනෙක් කසල නල මාර්ගය හරහා ගොස් ගිනි ගෙන දැවෙන ගෙටෝවෙන් බේරී යාමට සමත් වූහ. නැඟිටීම මර්දනය කිරීමේ අවසාන නිල දිනය වූ මැයි 16 දින, SSකමාන්ඩර් යූර්ගන් ස්තෲ ) විසින් පෞද්ගලික ව ම ඓතිහාසික මහා සිනගෝගය (යුදෙව් ආගමික ස්ථානය) පුපුරුවා හරින ලදි.

අනිලැවිච්, ඔහුගේ පෙම්වතිය මිරා ෆූචර් Mira Furcher සහ අනෙකුත් නැගිටීමේ නායකයින් නාසීන් විසින් මරා දැමීම වැළැක්වීම සඳහා සියදිවි නසාගත් වෝර්සෝ හි මිලා ස්ත්‍රී 18 හි බංකරය පිහිටි ස්ථානයේ සිහිවටනයක්. [ඡායාරූපය Adrian Grycuk / CC BY-SA 3.0] [Photo by Adrian Grycuk / CC BY-SA 3.0]

නැඟිටීම මධ්‍යයෙහි -ප්‍රධාන වශයෙන් කොමියුනිස්ට්වාදියකු වූ ආමියා ලුඩෝවා සහ ජාතිකවාදියකු වූ ආර්මිජා ක්‍රජෝවා විසින් මෙහෙය වූ- සමහර සටන් ගෙටෝවේ තාප්පයෙන් පිටත සිදු වුවත් අවසානයේ ගෙටෝ නැඟිටීම හුදෙකලා විය. යුරෝපා යුදෙව්වන්ගේ ඉරනම සම්බන්ධයෙන් අධිරාජ්‍යවාදී බලවතුන් දක්වන උදාසීනත්වය ලාක්ෂනික ව ප්‍රදර්ශනය කරමින්, නැඟිටීම ආරම්භ කෙරුනු 1942 අප්‍රේල් 19 වන දිනයේ ම එක්සත් රාජධානියේ හා එක්සත් ජනපදයේ නියෝජිතයෝ යුරෝපා සරනාගත අර්බුදයට ඔවුන්ගේ ප්‍රතිචාරය සාකච්ඡා කරනු වස් බර්මියුඩාවේ සුඛෝපභෝගී හෝටලයක දී රැස් වූහ. රටවල් දෙක ම සරනාගතයින් උදෙසා වූ කෝටාව ඉහල දැමීම ප්‍රතික්ෂේප කලහ. ඒ වන විට, පෝලන්ත යුදෙව්වන්ගේ දිගහැරෙන විනාශය පිලිබඳ වාර්තා ගනනාවක් ධවල මන්දිරය වෙත ලැබී තිබින. පිටුවහලේ තිබෙන පෝලන්ත ධනේශ්වර ආන්ඩුව සම්බන්ධයෙන් සඳහන් කරමින් ඉමෑනුවෙල් රින්ගෙල්බ්ලම් මධ්‍යස්ථ ව මෙසේ සටහන් කර ඇත: “යුදෙව් ජනතාව සමූලඝාතනය කිරීමේ තර්ජනය ඇති කාලයක අඩු වශයෙන් පෝලන්ත යුදෙව්වන්ගෙන් ඉතිරිපහදු කොටසක් වත් බේරා ගැනීමට ආන්ඩුව කිසිවක් කර නැත.”8

වෝර්සෝ හි සොලිබොර්ස් දිස්ත්‍රික්කයට දැවෙන ගෙටෝව පෙනුන අයුරු

ගෙටෝවේ විනාශය දුටු පෝලන්ත ජනගහනයේ ආකල්ප, යුදෙව් විරෝධීන් අතර පැවති උදාසීන, නිහඬ හෝ විවෘත අනුමැතියේ සිට ඊට ගොදුරු වූවන් සමඟ භීතිය හා සහකම්පනය බෙදා ගැනීම දක්වා වූ පරාසයක විහිදුනි. නාසි විරෝධී ප්‍රතිරෝධ පෑමේ ව්‍යාපාරයේ නියුක්ත ව සිටි පෝලන්ත කිවි (Czesław Miłosz) චෙස්ව මිලොෂ් වෝර්සෝහි ආර්යන්ගේ පැත්තේ සිට ගින්නෙන් දැවෙන ගෙටෝව දුටුවේ ය. ඔහුගේ සුප්‍රකට “(Campo Dei Fiori)” කම්පො ඩි ෆියොරි නම් කාව්‍යයේ දී ගෙටෝව හා එහි සටන්කරුවන් ගිනිලෑම හා 1600 දී රෝමයේ කම්පො ඩි ෆියොරි හි දී කතෝලික ධර්මාධිකරනය විසින් ශ්‍රේෂ්ඨ දාර්ශනික හා විද්‍යාඥ ගියෝර්ඩානෝ බෲනෝ පුලුස්සා දැමීම ඔහු සංසන්දනය කලේ මෙසේ ය:

මම සිත යොමු කලෙමි කම්පො ඩි ෆියොරි

වෝර්සෝවේ උස් මෙරිගෝ රවුම පසෙක

පැහැදිලි වසන්තයේ සැඳෑවක

සැනකෙලි තනුවක මධුර ස්වරයන්ට.

දීප්ත මිහිරියාවක ගිලුනු

ගෙටෝ පවුරෙන් නැඟෙන ඔල්වරසන්

සරන ජෝඩු සමඟින්

වලාවෙන් තොර ඉහල අහස් කුස.

විටින් විට ගින්නෙන් හමා එන සුලඟින්

ගසා එනු ඇත කලු සරුංගල්

මෙරිගෝ රවුමේ කැරකෙන්නන්

වා ගැබෙන් මල් පියලි අල්ලත්.

ඒ උනුහුම් සුලං රැල්ල ම

නිරාවරන කරයි යුවතියන්ගේ සලු පොට

සෙනඟ සිනහ වගුරත්

රමනීය වෝර්සෝ රිවි දින.

....

එහෙත් එදින මා මෙපමනි සිතුවේ

මැරෙන්නකුගේ හුදෙකලාව ගැන

කොහොම ද ගියෙර්ඩානෝ

ඔහු පිලිස්සු තැනට නැංඟේ

ඔහුට සොය ගත නොහැකි විය

කිසිදු මානව හඬක්

මිනිසා වෙනුවෙන් වූ වදන්වැලක්,

ජීවත් වන මිනිස් වර්ගයා වෙනුවෙන්.

......

හුදෙකලාවේ මෙහි මියෙන්නන්

ලෝකය විසින් අමතක කර දැමූ

ඔවුන් වෙනුවෙන් පත් ව ඇත අපේ හඬ

පැරනි ග්‍රහලොවක බසකට.

තෙක් ම, සියල්ල පුරාගත වන තුරු

බොහෝ වසරවල් ගෙවී යන තුරු

අලුත් කම්පො ඩි ෆියොරි එකක් මතුයෙහි

කිවි වදනරුත් තුල කෝපය දැල්වෙන.9

මහා යුදෙව් සංහාරය වලක්වා නොගත්තේත් මිලියන ගනන් යුදෙව් ජනයා සහ ෆැසිස්ට්වාදයේ අනෙකුත් වින්දිතයන් ගලවා ගැනීම සඳහා කලට වේලාවට නාසිවාදය පෙරලා දැමීමට සමත් මහජන ව්‍යාපාරයක් නොතිබුනේත් ඇයි ද යන ප්‍රශ්නය 20 වෙනි සියවසේ කේන්ද්‍රීය ප්‍රශ්නයන්ගෙන් එකක් ලෙස අදටත් පවතී.

ඔක්තෝබර් විප්ලවයේ ඉරනම, වාම විපක්ෂය සහ සමූලඝාතනය

යුදෙව් මහා සංහාරයේ දේශපාලනික මූලයන් ඔක්තෝබර් විප්ලවයේ ඉරනම විභාග කිරීමකින් පිටත තේරුම් ගත නොහැකි ය. බටහිර යුරෝපීය යුදෙව්වන්ගේ විමුක්තිය, 19 වන සියවස තුල ඔවුන්ගේ මහා පරිමාන උකහා ගැනීමට පදනම සම්පාදනය කල ප්‍රන්ස විප්ලවය සමඟ බැඳී තිබුනු අතර රුසියානු අධිරාජ්‍යයේ ඊට වඩා විශාලතර යුදෙව් ජනගහනය තමන්ගේ භාෂාව (යිඩිශ්) සුරක්ෂා කර ගත් පීඩිත හා හිංසනයට පාත්‍ර සුලුතරයක් වශයෙන් පසු විය. යුරෝපීය යුදෙව්වන්ගේ අතිමහත් බහුතරයකට විමුක්තිය ගෙනාවේ 1917 විප්ලවයන් පමනි.

1917 ඔක්තෝ්බර් මාසයේදී සෝවියට් කම්කරුවන් සහ සොල්දාදුවන්ගේ උද්ඝෝශනය. [ඡායාරූපය: Hulton Archive/Getty Images] [Photo: Hulton Archive/Getty Images]

ඓතිහාසික හේතු මත, යුදෙව්වන්ගේ ඉරනම හා සමාජ විප්ලවයේ ඉදිරි ගමන මෙයාකාරයෙන් සහජයෙන් ම එකට වෙලී තිබුනි. දේශපාලන ප්‍රතිගාමීත්වයේ බලවේග සඳහා, විප්ලවවාදී ව්‍යාපාරයට ඇති විරුද්ධතාව පෙරලා යුදෙව් විරෝධය සමග එකට වෙලුනි. රුසියානු අධිරාජ්‍යය තුල මධ්‍යකාලීන යුදෙව් විරෝධය, වැඩෙන කම්කරු ව්‍යාපාරය කෙරෙහි ඇති වෛරය සමඟ මිශ්‍ර විය. 1881 සිට ඉදිරියට සාර්වාදී රාජ්‍යය විප්ලවවාදී ව්‍යාපාරය මැඬලීමේ සිය ප්‍රයත්නයේ කොටසක් ලෙස නිරන්තරයෙන් යුදෙව් ජනගහනයට එරෙහි ජන සංහාර දිරිමත් කලේ ය. එමඟින් ප්‍රදේශයේ කම්කරු පන්තිය බහුවාර්ගික හා බහුආගමික රේඛා ඔස්සේ බෙදනු ලැබුවේ ය.

ජර්මන් හා රුසියානු සමාජවාදී ව්‍යාපාරයට විශේෂයෙන් යුදෙව් විරෝධයට එරෙහි අරගලය වූකලි ජාත්‍යන්තරවාදය සඳහා අරගලයේ සප්‍රතිපත්තික කාරනාවක් සහ කේන්ද්‍රීය උරගලක් විය.10 1918-1921 දී රතු හමුදාවට හා ලදරු සෝවියට් රාජ්‍යයට එරෙහි ව සටන් වැදුනු රුසියානු, යුක්‍රේනියානු හා පෝලන්ත ජාතිකවාදී ප්‍රතිවිප්ලවවාදී බලවේග සමාජවාදී විප්ලවයට විරුද්ධ ව ගෙන යන තමන්ගේ අරගලයේ කොටසක් ලෙස ක්‍රමානුකූල ව ජන සංහාරවල පිහිට සෙවී ය. මෙහි දී යුදෙව්වන් 200,000ක් පමන මෘග ලෙස ඝාතනය කෙරුනු බව ගනන් බලා තිබේ. ඉන් වැඩි කොටසක් දැන් තිබෙන යුක්‍රේනයේ සිටිය යුදෙව්වන් ය.

1919 සිට ට්‍රොට්ස්කි යුදෙව් රකුසෙක් ලෙස නිරූපනය කරන යුදෙව් විරෝධී ප්‍රචාරක පෝස්ටරයක්, සුදු ජාතිකයින් සහ යුක්‍රේන ජාතිකවාදීන් විසින් යුදෙව් විරෝධී සංහාරවල උච්චතම ස්ථානයයි.

රතු හමුදාව සහ බෝල්ශෙවික්වරු -යුදෙව් මහා සංහාරයට පෙර යුරෝපය තුල විශාලතම යුදෙව් විරෝධී සමූලඝාතනයන් බඳු - ජන සංහාර අවසන් කරනු පිනිසත් වඩාත් පලල් ලෙස යුදෙව් විරෝධයට එරෙහි වත් විධිමත් ලෙස සහ සාර්ථක ලෙස සටන් වැදුනාහ. 1920 ගනන්වල, යිඩිශ් භාෂාවෙන් (මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය යුදෙව් භාෂාවෙන්) ප්‍රකාශන පල කිරීමටත් පාසල් තුල එම භාෂාවෙන් උපදෙස් දීමටත් රාජ්‍ය අරමුදල් සම්පාදනය කල ලෝකයේ එක ම රාජ්‍යය සෝවියට් රාජ්‍යය විය. මෙම ඓතිහාසික අත්දැකීම් යුදෙව් කම්කරු පන්තියේ හා නැගෙනහිර යුරෝපයේ, විශේෂයෙන් පෝලන්තයේ සමාජවාදී බුද්ධිමතුන්ගේ විඥානය හා දේශපාලනය තුල ගැඹුරු සලකුනු ශේෂ කලේ ය. 1903 පටන් ඔක්තෝබර් විප්ලවයෙන් බෙදී, බෝල්ශෙවික්වාදයට විරුද්ධ ව සිටි සියෝන්වාදී ව්‍යාපාරය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී (Labour Bund) ලේබර් බූන්ඩ් පක්ෂය යන ප්‍රවනතා දෙකේ ම විශාල කොටසක් දැන් එක්කෝ අලුතින් සෑදූ සෝවියට් සංගමයේ බෝල්ශෙවික් පක්ෂයට කෙලින් ම ඇතුලු වූ අතර නැත් නම් පෝලන්තයේ අන්තර් යුද්ධය තුල මහත් උද්‍යෝගයෙන් සෝවියට් හිතවාදී ස්ථාවරයක් ගත්තේ ය.

එහෙයින්, තමන්ගේ ගැලවුම රඳා පවත්නේ ෆැසිස්ට් පාලනයට එරෙහි ව විප්ලවවාදී ව්‍යාපාරයක් වර්ධනය වීම තුල බවට වෝර්සෝ ගෙටෝවේ සිටි සමාජවාදීන්ගේ ඒත්තු ගැනීම “මනෝරාජික” හෝ සදොස් හෝ නො වී ය. එය මුල් බැස පැවතියේ පලමු ලෝක යුද්ධය අවසානයකට ගෙන ආවා වූ ද ඉක්බිති ඇති වූ සිවිල් යුද්ධයේ දී යුදෙව් විරෝධයට එරෙහි ව සාර්ථක අරගලයක් ගෙන ගියා වූ ද ඔක්තෝබර් විප්ලවයේ ඓතිහාසික අත්දැකීම් තුල ය. මේ දෙක ම සිදු ව තිබුනේ යම්තම් වසර 20කට මඳක් වැඩි කාලයකට පෙර ය.

ඇත්තෙන් ම මෙම ගතිකය දෙවන ලෝක යුද්ධයේ දී ද වර්ධනය විය. 1943 දී පලමු ව ඉතාලියේ හා යුගෝස්ලෝවියාවේ විප්ලවවාදී ව්‍යාපාරයක් වර්ධනය වීමට පටන් ගති. 1944 වන විට, රතු හමුදාවේ ඉදිරියට යෑම්වල ව්‍යාප්තියෙන් ඇවිලුනු පෝලන්තය ඇතුලු මහාද්වීපයේ වැඩි කොටසක් සිවිල් යුධ ආකාරයේ කොන්දේසිවල ගිලෙන්නට විය. කෙසේ වෙතත්, ශෝකජනක ලෙස, මිලියන 6ක යුරෝපා යුදෙව්වන් සහ ෆැසිස්ට්වාදයේ ගොදුරු බවට පත් වූ තවත් බොහෝ ගනනක් බේරා ගැනීමට මේ ව්‍යාපාරය පැමිනියේ හොඳට ම පමා වෙලා ය. 1917 රුසියාවේ විප්ලවවාදී කම්කරු ව්‍යාපාරයට සහ සිවිල් යුද්ධයේ දී රතු හමුදාවට වෙනස් ව එයට අවශ්‍ය මාක්ස්වාදී හා ජාත්‍යන්තරවාදී නායකත්වයක අඩුව පැවති අතර අවසානයේ දී ස්ටැලින්වාදය විසින් එහි ගෙල හිර කර දමන ලද්දේ ය.

මේ සඳහා ඓතිහාසික පැහැදිලි කිරීමක් සොයා ගත හැක්කේ සෝවියට් සංගමය තුල ස්ටැලින්වාදයේ පැන නැඟීමත් වැඩෙන හුදෙකලාවෙන් සහ අනතුරු ව එක්දහස් නවසිය විසි තිස් ගනන්වල ට්‍රොට්ස්කිවාදී විපාර්ශ්වයේ ක්‍රමානුකූල විනාශ කිරීමත් යන කාරනා තුලින් පමනකි. 1917-20 තුල, නැගෙනහිර හා මධ්‍යම යුරෝපයේ වැඩි කොටසක් විප්ලවවාදී අරගලවලින් ගසා ගෙන ගිය අතර බෝල්ශෙවිකයන්ට ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහන කලින් පැවති රුසියානු අධිරාජ්‍යයේ විශාල පෙදෙසක් තුලට විස්තීර්න කිරීමට හැකි විය. කෙසේ වෙතත්, රුසියාවෙන් පිටත, කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලයන් ඔවුන්ගේ ම අධිකාරීවත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයන් විසින් කල පාවාදීම්වලින් හා පරාජයන්ගෙන් අවසන් විය. 1923 වන විට, ජාත්‍යන්තර විප්ලවයේ පමාව ලෝක තත්වයෙහි නාටකාකාර වෙනසක් ඇති කලේ ය.

ට්‍රොට්ස්කි සහ දැන් මාරාන්තික ලෙස රෝගාතුර ව සිටි ලෙනින් විසින් නියෝජනය කරන ලද ජාත්‍යන්තරවාදී ප්‍රවනතාව බෝල්ශෙවික් පක්ෂයේ නායකත්වය තුල සුලුතරයක් බවට පත් ව තිබුනි. පක්ෂය තුල ජාතිකවාදී අවස්ථාවාදී නඩය ශක්තිමත් කිරීම සඳහා සමාජ පදනම රඳා පැවතුනේ රාජ්‍යයේ හා පක්ෂයේ වැඩෙන නිලධරවාදය තුල ය. එය ම, සියල්ලටත් වඩා තව මත් බෙහෙවින් දරිද්‍ර හා ආර්ථික වශයෙන් පසුගාමී කම්කරු රාජ්‍යයේ ජාත්‍යන්තර හුදෙකලාව විසින් පෝෂනය කරන ලද ක්‍රියාවලියක් විය. 1923 සරත් සමයේ ගබ්සා කෙරුනු ජර්මානු විප්ලවයේ පරාජය මධ්‍යයෙහි, පක්ෂ නායකත්වය තුල වැඩෙන ජාතික අවස්ථාවාදී ප්‍රවනතා සමඟ සටන් වදිනු පිනිස ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ වාම විපාර්ශ්වය ගොඩ නඟන ලදි.

1927 දී වාම විපක්ෂයේ සාමාජිකයින් වාඩි වී සිටීම (වමේ සිට දකුණට): සෙරෙබ්‍රියාකොව්, රඩෙක්, ට්‍රොට්ස්කි, බොගුස්ලාව්ස්කි සහ ප්‍රෙබ්‍රචෙන්ස්කි. නැගී සිටීම (වමේ සිට දකුණට): රකොව්ස්කි, ඩ්‍රොබ්නිස්, බෙලෝබොරොඩොව් සහ සොස්නොව්ස්කි

1924 වසරේ සරත් සමය වන විට, මේ නිලධර ස්තරයේ උවමනාවන් වෙනුවන් කතා කල ස්ටැලින් පාර්ශ්වය ඔක්තෝබර විප්ලයට එරෙහි ව ජාතිකවාදී ප්‍රතික්‍රියාවක් සඳහා දේශපාලන පදනමක් “තනි රටක් තුල සමාජවාදය” ගොඩ නැඟීමේ වැඩපිලිවෙල තුලින් ප්‍රකාශයට පත් කලේ ය. ඉනික්බිති එලඹි වසරවල දී වාම විපාර්ශ්වය සෝවියට් නිලධර තන්ත්‍රය විසින් 1926 බ්‍රිතාන්‍ය මහා වැඩ වර්ජනය හා 1926-27 චීන විප්ලවය ඇතුලු ලෝක සමාජවාදී විප්ලවය පාවා දීමට එරෙහි ව ක්‍රමානුකූල අරගලයක් දියත් කලේ ය. කෙසේ වෙතත්, ජාත්‍යන්තර විප්ලවයේ පරාජයන් සෝවියට් නිලධරයේ හා ස්ටැලින් පාර්ශ්වයේ පැවැත්ම ශක්තිමත් කලේ ය. 1927 දෙසැම්බරයේ වාම විපාර්ශ්වය පක්ෂයෙන් නෙරපා හරින ලද අතර එහි නායකයන් හා සාමාජිකයන්ගෙන් වැඩි දෙනෙකු එක්කෝ අත්අඩංගුවට ගැනින; නැත් නම් පිටුවාහල් කෙරින. 1929 දී ට්‍රොට්ස්කි එක්සත් සමාජවාදී සෝවියට් සමූහාන්ඩුවෙන් පිටමං කරන ලද්දේ ය.

කොමියුනිස්ට් ජාත්‍යන්තරය තුල ස්ටැලින්වාදයේ සහ ජාතික අවස්ථාවාදයේ ආධිපත්‍යයේ නැඟීම මඟින්, දශක ගනනාවක් මුලුල්ලේ රෝසා ලක්සම්බර්ග්ගේ ජාත්‍යන්තරවාදී හා විප්ලවවාදී සම්ප්‍රදාය විසින් කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කල පෝලන්ත කම්කරු ව්‍යාපාරයට සුවිශේෂ ව්‍යසනකාරී ප්‍රතිඵල අත් කර දී තිබුනි. පෝලන්ත කොමියුනිස්ට් පක්ෂ නායකත්වය පක්ෂ අභ්‍යන්තර අරගලයේ ආරම්භයේ දී ට්‍රොට්ස්කිට පක්ෂපාතී විය. ඉන්පසු පක්ෂය ස්ටැලින් පාර්ශ්වය විසින් විශේෂයෙන් ආක්‍රමනශීලී මැදිහත් වීම්වලට භාජනය කරන ලදි. එය පක්ෂයේ දේශපාලන පිලිවෙතේ අවමංගත පැද්දීම් මාලාවකට තුඩු දුන් අතර එය කූටප්‍රාප්තියට පත් වූයේ අන්ත දක්ෂිනාංශික ජෙනරාල් ජේසෙෆ් පිල්සුඩ්ස්කි විසින් ක්‍රියාවට දැමුනු 1926 කුමන්ත්‍රනයේ දී පෝලන්ත කොමියුනිස්ට් පක්ෂයේ සහාය ඊට දීම මඟින් ය. පිල්සුඩ්ස්කිගේ ඒකාධිපතිත්වය සමුහ වශයෙන් පෝලන්ත කොමියුනිස්ට්වාදීන් සිර ගත කිරීමටත් වධ බන්ධනයට ලක් කිරීමටත් පියවර ගත්තේ ය.11

1930 ගනන්වල මුල් භාගය වන විට, පෝලන්ත කොමියුනිස්ට් පක්ෂය දේශපාලනික ව පක්ෂාඝාත වූයේ එක් අර්බුදයකින් තවත් අර්බුදයකට ඇද වැටුනේ ය. ජර්මනියේ දී, ස්ටැලිනීකෘත කොමියුනිස්ට් ජාත්‍යන්තරය විසින් ඉහලට එසවූ විනාශකාරී ලෙස නොමඟ යවනු ලැබූ “සමාජ ෆැසිස්ට්වාදයේ” න්‍යාය මඟින් හිට්ලර්ගේ නාසි ව්‍යාපාරයේ නැඟීමට එරෙහි ව රටේ මිලියන 6ක් වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සහ කොමියුනිස්ට් කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් වලක්වාලී ය. 1933 ජනවාරියෙහි එක් වෙඩිල්ලකුදු නොතබා නාසිහු බලයට පැමිනියහ. ජර්මානු කම්කරු පන්තියේ මේ ඓතිහාසික පරාජය, හතරවෙනි ජාත්‍යන්තරයක් ගොඩ නැඟීමට ට්‍රොට්ස්කි කල කැඳවුම සඳහා පදනම සකස් කලේ ය. එය ම පෝලන්තයේ සංවිධිත ට්‍රොට්ස්කිවාදී වාම විපාර්ශ්වයක් පැන නැඟීම උදෙසා ආරම්භක අත්දැකීම ද ප්‍රධාන වේග වර්ධකය ද විය.

1937-38 දී ස්ටැලින්වාදයේ ප්‍රතිවිප්ලවවාදී දේශපාලනය මහා භීෂනය තුල කූටප්‍රාප්තියට පත් විය. එහි දී සෝවියට් ට්‍රොට්ස්කිවාදීන් දහස් ගනනක් හා ඔක්තෝබර් විප්ලවයේ නායකත්වයේ වැඩි හරියක් ඇතුලු විප්ලවවාදී පරම්පරාවන් ඝාතනය කර දැමින. මහා භීෂනය කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ කේඩරයේ බොහෝ පිරිසක් අතු ගා දැමී ය.

1938 දී ක්‍රෙම්ලිනය විසින් පෝලන්ත කොමියුනිස්ට් පක්ෂය විසුරුවා හරින ලදි. 1924 දී මෙම පක්ෂය ට්‍රොට්ස්කිට සිය පක්ෂපාතිත්වය පල කල අතර එතැන් පටන් විශේෂයෙන් මෙම පක්ෂය කෙරෙහි ස්ටැලින් හට විශේෂ වෛරයක් තිබුනි. එහි ප්‍රමුඛ කේඩරය මුලුමනින් ම පාහේ ද සෝවියට් සංගමයේ වාසය කල පෝලන්ත කොමියුනිස්ට්වාදීන් දහස් ගනනක් ද මරා දමන ලද්දේ ය. මේ වර්ධනයන් විසින් ඇති කල දේශපාලන ව්‍යාකුලත්වය හා අපේක්ෂා භංගත්වය කියා නිම කල නොහැකි තරම් ය; විශේෂයෙන් කොමියුනිස්ට් ව්‍යාපාරය වෙත ඇදුනු එහෙත් කිසිදු දේශපාලනික හෝ භෞතික නායකත්වයක් පවා නැති ව ඉන් බැහැර වුනු රැඩිකලීකෘත හා සටන්කාමී සමාජවාදී තරුනයන්ගේ නව පරම්පරාවක් මත ඒවායෙන් ඇති වූ බලපෑම කියා නිම කල නොහැකි ය.

පලමු පෝලන්ත සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ පසුව පෝලන්ත කොමියුනිස්ට් පක්ෂයේ සම-නිර්මාතෘවරයෙකු සහ රෝසා ලක්සම්බර්ග් සහ ලියෝ ජොගිචේස්ගේ දිගුකාලීන සහයෝගිතාකරුවෙකු වූ ඇඩොල්ෆ් වර්ස්කි 1937 දී මොස්කව්හිදී අත්අඩංගුවට ගෙන මරා දමන ලදී.

1939 අගෝස්තුවේ ස්ටැලින් හිට්ලර් සමඟ ගිවිසුමකට පැමිනියේ ය. සෝවියට් නිලධාරී තන්ත්‍රයේ පැවැත්මට තර්ජනයක් වනු ඇති යුරෝපයේ සමාජ විප්ලවයක වර්ධනයට බියෙන්, ජර්මානු අධිරාජ්‍යවාදය විසින් සෝවියට් සංගමය ආක්‍රමනය කිරීමක් කලින් ම වැලැක්වීමේ හෝ අඩු වශයෙන් පමා කිරීමේ හෝ මංමුලා සහගත ප්‍රයත්නයක් ලෙස ස්ටැලින් මෙම බංකොලොත් උපාමාරුවේ පිහිට පැතී ය. ගිවිසුම පෝලන්තයේ හිට්ලර්ගේ ප්‍රහාරයට පහුසුකම් සැලසී ය. පෝලන්තය නාසි ජර්මනිය හා සෝවියට් සංගමය අතරේ දෙකට බෙදී තිබුනි; වෝර්සෝ ඇතුලත් පොදු ආන්ඩුව ලෙස හැඳින්වූ කොටස නාසි ජර්මනියට ද පෝලන්තයේ නැගෙනහිර කොටස් දැන් සෝවියට් සංගමයේ පාලනයට ද වශයෙනි. දේශපාලනික ව ගත් කල්හි, ගිවිසුම මගින් 1941 ජුනිවල නාසි ආක්‍රමනයෙන් පසු විනාශකාරී හානි වීම්වලට තුඩු දෙමින් සෝවියට් සංගමයේ රතු හමුදාව ද 1939-1941 නාසි ආක්‍රමනය යටතේ යුරෝපීය කොමියුනිස්ට් ව්‍යාපාරය ද යන දෙක ම පක්ෂාඝාත කොට හිරි වට්ටා දමන ලද්දේ ය.

1939-41 හි නැගෙනහිර පෝලන්තයේ ස්ටැලින්වාදී භීෂනයත් නාසි භීෂනයත් (විශේෂයෙන් යුදෙව් සංහාරය) යන දෙක ම විසින් පෝලන්තයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විනාශ කර දමන ලදි. වෝර්සෝ ගෙටෝ නැඟිටීමේ වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට නියමිත පෝලන්ත කම්කරු පක්ෂය 1942 මුල පිහිටුවන ලද්දේ ක්‍රෙම්ලින් නිලධර තන්ත්‍රයේ පාලනය යටතේ ය. එය මුලුමනින් වර්ධනය වූයේ ස්ටැලින්වාදය විසින් පෝලන්ත කොමියුනිස්ට් කේඩරය හා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විනාශ කිරීමේ සෙවනැල්ල තුල ය.

අවසාන වශයෙන්, හොලෝකෝස්ටය (මහා යුදෙව් සංහාරය) පැහැදිලි කල හැක්කේ ස්ටැලින්වාදයේ ක්‍රමානුකූල පාවාදීම්වල සහ ඒ හේතුවෙන් යුරෝපියානු සමාජවාදී ව්‍යාපාරයේ ඇති වූ පක්ෂාඝාතයේ (හිරිවැටීමේ) බේදජනක ප්‍රතිඵලයක් හැටියට පමනකි; ස්ටැලින්වාදය ෆැසිස්ට්වාදයට හා ධනවාදයට එරෙහි කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයේ ගමන පමා කිරීමත් එහි හිස ගසා දැමීමත් යන දෙක ම කලේ ය.

ඔක්තෝබර් විප්ලවය හා ගබ්සා කෙරුනු ජර්මානු විප්ලවය පිලිබඳ ඔහුගේ ලේඛනවල දී, දේශපාලනයේ දී, සියල්ලට මත් වඩා විප්ලවවාදී නැඟිටීමේ කාලපරිච්ඡේදවල දී කාලයේ ඇති යෝධ වැදගත්කම ලියොන් ට්‍රොට්ස්කි අවධාරනය කලේ ය. විප්ලවයක අතරමැද්දෑවේ දී විප්ලවවාදී පක්ෂයක් ගොඩ නැඟිය නොහැකි බව 20 වෙනි සියවස පෙන්වා දී ඇත. ඊට පෙරාතුව අවශ්‍ය සූදානම් වීම් හා කේඩරයේ දේශපාලන පුහුනුව කර ගැනීම අවශ්‍ය ය. තව දුරටත් 20 වෙනි සියවසේ ඛේදජනක අත්දැකීම් මඟින් පෙන්වා දෙන්නේ ප්‍රතිවිප්ලවය- ස්ටැලින්වාදී මහා භීෂනය සහ යුරෝපා යුදෙව් සංහාරය යන දෙක ම මෙහි කොටස් ය- පරම්පරා ගනනක වැඩකටයුතු බිඳ දමමින් හා විප්ලවවාදී නායකත්වයක් සඳහා සටන් වැදීම සුවිශේෂී දුෂ්කර භාවයකට ඇද දමමින් විස්මිත වේගයකින් දිග හැරෙන්නට පුලුවන් බව ය.

වර්ධනය වෙමින් පවතින නව ලෝක අග්නිජාලාවක හා සෑම මහාද්වීපයක ම පාලක පන්ති විසින් ෆැසිස්ට් බලවේග ගොඩ නඟන කොන්දේසි යටතේ කම්කරුවන් හා සමාජවාදී තරුනයන් වෝර්සෝ ගෙටෝ නැඟිටීමේ දුර දිග යන පාඩම් උකහා ගත යුත්තේ ය. ලෝක ධනවාදයේ වර්තමාන අර්බුදය නොවැලැක්විය හැකි ලෙස ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයක් පැන නැඟීමට තුඩු දෙනු ඇති බව ඉතිහාසය පෙන්වා දෙයි. තව දුරටත් එය පෙන්වා දෙන්නේ මෙම අරගලයන් ජයග්‍රහනය කරා මෙහෙයවිය හැකි විප්ලවවාදී ට්‍රොට්ස්කිවාදී නායකත්වයක් ගොඩ නැඟීමට සටන් වැදීම කල් නොඉක්මවා වහ වහා කල යුතු බව ය.

සටහන්:

1. Ludwik Haas, Trotskyism in Poland up to 1945 (ලුඩ්වික් හාස්, 1945 දක්වා පෝලන්තයේ ට්‍රොට්ස්කිවාදය) URL: https://www.marxists.org/archive/hass/1992/xx/tinpoland.html

2. වෝර්සෝ ගෙටෝවේ ට්‍රොට්ස්කිවාදීන්ගේ ප්‍රකාශන Archiwum Ringelbluma, Tom 21, Prasa Getta Warszawskiego: Radykalna lewica niesyjonistyczna, opracowali: Piotr Laskowski, Sebastian Matuszewski, Warszawa 2016 හි අන්තර්ගත ය. වෙලුම මේ සබැඳියාවෙන් ලබා ගත හැකිය https://cbj.jhi.pl/documents/940239/19/

3. Ulotka “1 Maja 1942”, පිටුව 279. මෙම ලේඛිකාවගේ පරිවර්තනයකි.

4. ඒබ්‍රහම් ලෙවින්, A Cup of Tears: A Diary of the Warsaw Ghetto(කඳුලු කෝප්පයක්: වෝර්සෝ ගෙටෝවේ දින පොතක්' ඇන්ටනි පොලොන්ස්කි (සංස්කාරක හා පරිවර්තක), බ්ලැක්වෙල් ප්‍රකාශකයෝ, 1988, පිටු. 73,74

5. එම, පි. 115

6.Hanna Krall, Shielding the Flame. An Intimate Conversation With Dr. Marek Edelman, the Last Surviving Leader of the Warsaw Ghetto Uprising, Henry Holt & Company, 1986, පිටුව 10

7.Quoted in: Samuel Kassow, Who Will Write Our History? Emanuel Ringelblum, the Warsaw Ghetto, and the Oyneg Shabes Archive, Indiana University Press 2018, පිටුව 323. වෝර්සෝ ගෙටෝව හා ඔයිනෙග් ෂේබ්ස් ලේඛනාගාරය හි උපුටා ඇත),

8.(සැමුවෙල් කැසෝ, අපේ ඉතිහාසය ලියන්නේ කවුද? ඉමැනුවෙල් රින්ගෙල්බ්ලම්, වෝර්සෝ ගෙටෝව හා ඔයිනෙග් ෂේබ්ස් ලේඛනාගාරය හි උපුටා ඇත), (ඉමෑනුවෙල් රින්ගෙල්බ්ලම්, දෙවන ලෝක යුද්ධ කාලපරිච්ඡේදයේ පෝලන්ත හා යුදෙව් සබඳතා), Indiana University Press 2018, p. 323.

9. Cziesław Miłosz, Il Campo dei Fiori, Warsaw, 1943. ඩේවිඩ් බෲක්ස් සහ ලුවී ඉරිබාන් විසින් පරිවර්තනය කොට ඇත. URL: https://www.poetryfoundation.org/poems/49751/campo-dei-fiori

10. මේ ගැන, විශේෂයෙන් ඩේවිඩ් නෝර්ත් ලියූ රුසියානු විප්ලවය හා නොනිමි විසි වෙනි සියවස කෘතියේ “සාමාන්‍ය ජර්මානුවන්” පිලිබඳ මිත්‍යාව: ඩැනියෙල් ගෝල්ඩ්හාගන්ගේ “හිට්ලර්ගේ ආසක්ත අලුගෝසුවෝ” කෘතිය පිලිබඳ විමසුමක් බලන්න. කම්කරු මාවත ප්‍රකාශන, කෝට්ටේ, පි. 359-389. URL: https://www.wsws.org/en/special/library/russian-revolution-unfinished-twentieth-century/15.html.

11. පිලිසුඩ්ස්කි සහ ඔහුගේ කුමන්ත්‍රනය ගැන තක්සේරුව පිලිබඳ දේශපාලන අරගලය වාම විපාර්ශ්වයේ අරගලයෙහි වැදගත් පරිච්ඡේදයකි. විශේෂයෙන් ට්‍රොට්ස්කිගේ පිල්සුඩ්ස්කිවාදය, ෆැසිස්ට්වාදය හා අපගේ යුගයේ ස්වභාවය , 1926 ජූලි කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ විධායක කමිටුවේ සැසිවාරයක කුමන්ත්‍රනය සිදු වූ වහා ම කල කතාව බලන්න: URL: https://wikirouge.net/texts/en/Piłsudskism,_Fascism,_and_the_Character_of_Our_Epoch

Loading