ඉදිරිදර්ශන

ක්ලැරියෝස් වර්ජනය සහ කම්කරු පන්තියේ ගෝලීය ප්‍රතිප්‍රහාරය

[මෙය The Clarios strike and the global counteroffensive of the working class යන මැයෙන් 2023 ‌මැයි 15 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

ඩේනා කම්කරු ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෝ ක්ලැරියෝස් වර්ජකයින්ට සහාය දක්වති. [ඡායාරූපය: ලෝසවෙඅ]

බ්‍රහස්පතින්දා ඔහියෝ හි ටොලිඩෝ හි ප්‍රාන්ත විනිසුරුවරයෙකු, ක්ලැරියෝස් මෝටර් රථ බැටරි සමාගමෙහි වැඩ වර්ජන කරන කම්කරුවන්ට, පස් දෙනෙකුට වැඩි කන්ඩායම් වශයෙන් පිකට් කිරීම තහනම් කරමින් වාරන නියෝගයක් නිකුත් කලේය.

රිපබ්ලිකානුවෙකු වන විනිසුරු මයිකල් ගුල්ඩින් මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී තීන්දුව නිකුත් කලේ, වර්ජනය එක්සත් ජනපදය පුරා බිග් ත්‍රී මෝටර් රථ නිෂ්පාදකයින්ට සහ ඔවුන්ගේ එකලස් කිරීමේ කම්හල්වලට බැටරි නිෂ්පාදනය කිරීම නැවැත්වීමෙන් “බැරෑරුම් සහ බරපතල ස්වභාවයේ හදිසි තත්වයක්” නිර්මානය කර ඇති බවට සමාගම පැවසීමෙන් පසුවය. පිකටින් මගින් කම්කරුවන් 'අනතුරක්' නිර්මානය කරන බව පවසන වාරන නියෝගය, වැඩවර්ජන කිරීමට කම්කරුවන්ට ඇති අයිතියට සහ රැස්වීමේ නිදහසට එල්ල කල ප්‍රහාරයකි.

වාරන නියෝගය රාජ්‍යයේ පන්ති ස්වභාවය හෙලිදරව් කරයි. උසාවිය, පොලිසිය සහ ආන්ඩුවේ ආයතන පන්ති අරගලයට ඉහලින් හිඳගෙන සිටින මධ්‍යස්ථ බේරුම්කරුවන් නොව, ධනවතුන්ගේ ඉල්ලීම් ක්‍රියාත්මක කරන සංගතවල සේවකයන් ය. ධනවාදය යටතේ, සමාගම්වලට බදු ගෙවීමෙන් වැලකී සිටීමට, සෞඛ්‍ය සහ ආරක්ෂක රෙගුලාසි උල්ලංඝනය කිරීමට සහ එසේ තිබියදී ම ආන්ඩුවේ ඇප නය ලබා ගැනීමට හැකි වන අතර, ටොලිඩෝ හි නීතිගරුක කම්කරුවන්ට වරකට හය දෙනෙකු පිකටින් කිරීම සඳහා සිරගත වීමට හෝ දඩයකට මුහුන දීමට සිදුවිය හැකිය.

වසර 90 කට ආසන්න කාලයකට පෙර, 1934 දී සමාජවාදීන් විසින් මෙහෙයවන ලද ඉලෙක්ට්‍රික් ඔටෝ-ලයිට් කම්හලේ වාහන අමතර කොටස් කම්කරුවන්ගේ වැඩවර්ජනයකට එරෙහිව ටොලිඩෝ හි උසාවිය වාරන නියෝගයක් නිකුත් කලේය. කම්කරුවන් එම නියෝගය නොතැකූ බැවින් වැඩ වර්ජනය පැතිර යමින් තවත් දහස් ගනනක් කම්කරුවෝ හා රැකියා විරහිතයෝ ඊලඟ සතිවල පිකට් වලට සම්බන්ධ වූහ. එම මැයි මාසයේදී—ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් ආන්ඩුකාර ජෝර්ජ් වයිට් විසින් යොදවන ලද—ලුකාස් ප්‍රාන්ත මුලාදෑනීන් සහ ජාතික ආරක්ෂක භටයින් 900ක් වර්ජකයන්ට පහර දී දෙදෙනෙකු මරා දැමීය.

මෙම වැඩවර්ජනය ඇමරිකානු කම්කරු සම්මේලනයේ ගතානුගතික නායකත්වයට එරෙහිව රටපුරා සිදු වූ කැරැල්ලක කොටසක් විය. ඉන් වසර දෙකකට පසුව ජෙනරල් මෝටර්ස් විසින් එක්සත් මෝටර් රථ කම්කරු සංගමය පිලිගැනීමට තුඩු දුන් වාඩිලාගැනීමේ වැඩ වර්ජන රැල්ලක් ඇති විය.

වර්තමානයේදී, මෝටර් රථ කම්කරුවන්ගේ සතියක වැඩවර්ජනයට උසාවිවල වේගවත් මැදිහත්වීම පෙන්නුම් කරන්නේ, ඉහල යන උද්ධමනය සහ බයිඩන් පරිපාලනය විසින් යුක්‍රේනය තුල රුසියාවට එරෙහි යුද්ධයට අරමුදල් සැපයීමට ඩොලර් බිලියන දහස් ගනනක් යෙදවීම මධ්‍යයේ, එක්සත් ජනපදයේ පන්ති අරගලයේ වර්ධනය කෙරෙහි එක්සත් ජනපද ආන්ඩුවේ සහ මෝටර් රථ සංගතවල සාතිශය සංවේදීතාවයි.

මෙම වාරන නියෝගය, පාලක පන්තිය විසින් ක්ලැරියෝස් හි වැඩ වර්ජනය හුදු ගිවිසුම්ගත හෝ ප්‍රාදේශීය ප්‍රශ්නයක් ලෙස නොව, දුරදිග යන ජාතික හා ජාත්‍යන්තර ඇඟවුම් සහිත අරගලයක් ලෙස සලකන බවට සලකුනකි.

කම්කරුවන් 525 දෙනෙකුගේ වැඩ වර්ජනය, කර්මාන්තය පුරා පවතින විදුලිබල වාහන (ඊවී) වෙත සංක්‍රමනයවීම තුල ප්‍රධාන සටනක් වන අතර බිග් ත්‍රී කම්කරුවන් 150,000 ක් සඳහා වන කොන්ත්‍රාත්තු සැප්තැම්බර් මාසයේදී කල් ඉකුත් වන විට සිදුවන දේ පිලිබඳ සංඥාවකි. චීන නිෂ්පාදනය අභිබවා යාමටත්, රුසියාවේ සහ මැදපෙරදිග තෙල් මත යැපීම සීමා කිරීමටත්, යුද ආර්ථිකය සඳහා අවශ්‍ය ජාතික වශයෙන් පදනම් වූ සැපයුම් දාමයක් සංවර්ධනය කිරීමටත් අවශ්‍ය යැයි සලකන විදුලිබල වාහන වෙත මාරුවක් සිදු කිරීම සඳහා බයිඩන් පරිපාලනය දැවැන්ත දේශපාලන ප්‍රාග්ධනයක් කැප කර ඇත.

ලොව පුරා කම්හල් 56 ක පුද්ගලයන් 16,000 ක් සේවයේ යොදවන ක්ලැරියෝස්, විදුලිබල වාහන වෙත සංක්‍රමනය වීම සහ සමස්තයක් ලෙස ගෝලීය මෝටර් රථ කර්මාන්තය යන දෙකෙහිම තීරනාත්මක හුවමාරු ස්ථානයකි. කලින් ජොන්සන් කන්ට්‍රෝල්ස් වූ ක්ලැරියෝස් විසින් ග්‍රහලෝකයේ ඇති සියලුම මෝටර් රථවලින් තුනෙන් එකක භාවිතා කරන බැටරි නිෂ්පාදනය කරයි.

එයට ඕලන්දයේ ඔහියෝ කම්හලේ කම්කරුවන්ට පිරිනමන කොන්ත්‍රාත්තුවේ සියයට 3 ක වාර්ෂික වැටුප් වැඩිවීමක් (උද්ධමනය ගනනය කිරීමෙන් පසු සැලකිය යුතු වැටුප් කප්පාදුවක්) සහ සෑම වසරකම කම්කරුවන්ගේ වැටුප්වලින් සාමාන්‍යයෙන් ඩොලර් 15,000 කින් කපා හරින සැලකියයුතු අතිකාල තහනමක් ඇතුලත් වේ. සටන් කිරීමට වැඩෙන සූදානමක සලකුනක් ලෙස, කම්කරුවෝ කොන්ත්‍රාත්තුව සියයට 98 කින් ප්‍රතික්ෂේප කලහ.

විදුලිබල වාහන වෙත සංක්‍රමනයවීම සඳහා අවශ්‍ය වන පරිදි, මෙම දරිද්‍රතා කොන්ත්‍රාත්තුවේ අනුකම්පා විරහිත කොන්දේසි බිග් ත්‍රී සහ විශාල බැංකු විසින් නියම කරනු ලැබේ. ක්ලැරියෝස් විසින්, විදුලිබල වාහන සඳහා බැටරි නිෂ්පාදනය කිරීමට නිෂ්පාදනය මාරු කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටින අතර මෑත වසරවලදී මේ සඳහා බලශක්ති දෙපාර්තමේන්තුවෙන් ඩොලර් මිලියන සිය ගනනක් ලැබී ඇත.

පසුගිය සතියේ ආයෝජකයින් සමඟ කල ඇමතුමකදී, ක්ලැරියෝස් හි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් වොලස් පැවසුවේ, විදුලිබල වාහන වෙත මාරුවීම “50% සිට 80% දක්වා ඉහල ආදායමක් ලබා දෙන අතර සම්මත අඩු වෝල්ටීයතා බැටරියක ලාභදායීතාව ඩොලර් දෙගුනයක්” වනු ඇති නමුත්, මාරුව සිදු කිරීමට 'බොහෝ දුරට අපගේ එක්සත් ජනපද යුද ක්‍රියාමාර්ග වැඩිදියුනු කිරීම සඳහා මෙහෙයවනු ලැබෙන අතිරේක ඩොලර් මිලියන 50 ක පිරිවැය ඉතිරිකිරීම්' අවශ්‍ය වනු ඇති බවයි. ආයෝජකයින්ගේ ඇමතුම සම්බන්ධයෙන් වොලස් සඳහන් කලේ, පොලී අනුපාත ඉහල දැමීම් ඔවුන්ගේ නය වගකීම් ඉහල නංවා ඇති බව යි. සමාගම එහි ශ්‍රම බලකායෙන් ඊටත් වඩා සහන ලබා ගැනීමෙන් එය පියවා ගැනීමට උත්සාහ කරයි.

ක්ලැරියෝස් වර්ජනය, වියදම් කපා හැරීමට සහ ලාභ සීමා වැඩි කර ගැනීමට මෑත දශකවල සංගත විසින් අනුගමනය කරන ලද “අවශ්‍යවුවහොත් පමනක් බෙදා හැරීමේ” ක්‍රමයේ දුර්වලතා ද හෙලිදරව් කරයි. ක්ලැරියෝස් හි කම්කරුවන් 525 දෙනා ෆෝඩ් සඳහා සතියකට බැටරි 150,000ක් නිෂ්පාදනය කරති. ජීඑම් හි බියුක් සහ ජීඑම්සී අංශයේ ගෝලීය උපසභාපති ඩන්කන් ඕල්ඩ්‍රඩ් පසුගිය සැප්තැම්බරයේ පැවසුවේ සමාගමේ බඩු තොග 'ඓතිහාසික වශයෙන් අඩු' බවයි. අප්‍රේල් 16 වැනි දින ලිපියක ඔටෝමෝටිව් නිවුස් අනතුරු ඇඟවූයේ “2019 ට වඩා, ජීඑම් වැඩ වර්ජනයෙන් අද දැඩි ලෙස පහර කන සැපයුම් දාමය නරක අතට හැරී ඇති” බවත් “2023 දී වැඩ වර්ජනයක් වඩාත් නරක අතට හැරෙනු ඇති” බවත්‍ය.

ක්ලැරියෝස් හි වැඩවර්ජනය පැමිනෙන්නේ සංගත සිය දහස් ගනනක් රැකියා කප්පාදු කිරීමට සැලසුම් කරද්දීය. නිව් යෝර්ක් ටයිම්ස් මැයි 3 දා පිලිගත් පරිදි, විදුලිබල වාහන වෙත මාරුවන්නේ “මෝටර් රථ සේවකයින්ට හානි පමුනුවමිනි. මන්ද පෙට්‍රල් බලයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථයක් තැනීමට වඩා, සම්පූර්න විදුලිබල වාහනයක් එකලස් කිරීමට කම්කරුවන් අවශ්‍ය වන්නේ අඩකටත් වඩා අඩු ප්‍රමානයක් බැවිනි.”

එක්සත් ජනපදය පුරා කම්හල්වල දොට්ට දැමීම්, කම්හල් වැසීමේ තර්ජන සහ කාලසටහන් අත්තනෝමතික ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් සාමාන්‍ය කම්කරුවන් අතර විරුද්ධත්වය වර්ධනය වෙමින් පවතී. කොන්ත්‍රාත්තුව කල් ඉකුත්වීමට පෙර සමාගම් නිෂ්පාදනය වේගවත් කිරීම නිසා තුවාලවීම් සහ අනාරක්ෂිත තත්වයන් නිතර නිතර සිදුවෙමින් පවතී. එක්සත් අරගලයක් සඳහා ඇති අභිලාශයේ සලකුනක් ලෙස, ටොලිඩෝ හි, ඔහියෝ, ප්‍රදේශයේ බොහෝ මෝටර් රථ කම්කරුවන් ක්ලැරියෝස් හි පිකට් ව්‍යාපාරයට සම්බන්ධවීමට එහි ගිය අතර, සමාජ මාධ්‍යවල බොහෝ කම්කරුවන් වැඩ වර්ජනය පුලුල් කිරීමට ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

වෝල් වීදිය, මෝටර් රථ සංගත සහ ආන්ඩුව රුචි කරන කොන්දේසි හරහා සාමාන්‍ය කම්කරුවන් රඳවා තබා ගැනීමට සංගත ගැති යූඒඩබ්ලිව් නිලධරය මත සංගත සහ ආන්ඩුව විශ්වාසය තබයි. ඓතිහාසික වශයෙන් අඩු ඡන්ද ප්‍රතිශතයකින් සනිටුහන් වූ ප්‍රෝඩාකාරී මැතිවරනයකින් තේරී පත් වූ යූඒඩබ්ලිව් සභාපති ෂෝන් ෆේන්, ක්ලැරියෝස් වර්ජනය ගැන කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, වැඩවර්ජනය සිදු වන්නේ ඩෙට්‍රොයිට් හි යූඒඩබ්ලිව් මූලස්ථානයේ සිට පැයක පමන ගමන් දුරකින් වුවද, පිකට් වැට තුල පෙනී සිටියේ නැත.

වසර ගනනාවක දූෂනයෙන් හා සමාගම් සමග සහයෝගීතාවයෙන් කටයුතු කල ෆේන් වනාහි, යූඒඩබ්ලිව් සමිතිය “ප්‍රජාතන්ත්‍රවාදී” බවට පත් කරන “ප්‍රතිසංස්කරනවාදියෙකු” ලෙසට සංගත මාධ්‍ය ප්‍රවර්ධනය කරන ලද බොරුව, ක්ලැරියෝස් වර්ජනය තුල යූඒඩබ්ලිව් නිලධරයේ ක්‍රියාවන් මගින් අනාවරනය කෙරේ. ෆේන් පරිපාලනය 'කිසිවක් සැඟවීමට යන්නේ නැත, සියල්ල සාකච්ඡා කරනු ඇත. මම ඉස්මතු කිරීම්වලට විරුද්ධයි,' යනුවෙන් ඩිට්‍රොයිට් ෆ්‍රී ප්‍රෙස් වෙත ජීඑම් කල ප්‍රකාශය බොරුවක් ලෙස පුපුරුවා හරිමින්, යූඒඩබ්ලිව් උප සභාපති 'ඉස්මතු කරන' පිටුවක් කැප කිරීමෙන් පසුව, ක්ලැරියෝස් කම්කරුවන්ට කොන්ත්‍රාත්තුවට ඡන්දය දීමට බල කෙරුනි. ක්ලැරියෝස් බැටරි එකලස් කිරීමේ කම්හල්වල නිෂ්පාදනය දිගටම කරගෙන යාමට ෆේන් පරිපාලනය අවසර දී ඇත.

ක්ලැරියෝස්හි සහ ඉන් ඔබ්බට සිදු කරන පාවාදීම් සඳහා නිලධාරි තන්ත‍්‍රය කම්කරුවන්ගේ පිටුපසින් කුමන්ත‍්‍රනය කරමින් සිටින බවට කිසිදු සැකයක් නැත. මාර්තු මාසයේ සිට අභ්‍යන්තර සංදේශයක් තුල, ෆේන් කාර්යාලය අනතුරු ඇඟවූයේ දැවැන්ත වැටුප් වැඩිවීම් දිනා ගැනීම, වැටුප් ස්ථරායනය අහෝසි කිරීම, අනාරක්ෂිත සේවා කොන්දේසි ඉවත්කිරීම සහ ජීවන වියදම් ගැලපීම් දිනා ගැනීම පිලිබඳව කම්කරුවන්ට 'යථාර්ථවාදී නොවන අපේක්ෂාවන්' ඇති බවයි. 'අපේක්‍ෂාවන් යථාර්ථයට සහ අප සිටින තැනට ගැලපිය යුතුයි' යනුවෙන් ෆේන්ගේ සංදේශය පවසයි. 'අපට අසාධාරන ලෙස ඉහල කේවල් කිරීමේ අපේක්ෂාවන් තැබිය නොහැක... මෙය මාස 6 කින් ඉටු නොවනු ඇත.'

සාමාජිකත්වයට අවශ්‍ය දේ වෙනුවෙන් සටන් කිරීමට නිලධාරි තන්ත්‍රය බාධාවකි. පසුගිය වසරේ යූඒඩබ්ලිව් සභාපති මැතිවරනයේදී, සාමාන්‍ය සමාජවාදී මැක් ට්‍රක්රථ කම්කරුවෙකු වන විල් ලේමන්, යූඒඩබ්ලිව් අහෝසි කිරීමේ, බලය සහ ප්‍රජාතන්ත්‍රවාදී තීරන ගැනීම් සාමාන්‍ය සාමාජිකත්වය අත තැබීමේ සහ සැපයුම් දාමයේ ඉහල පහල කම්කරුවන් ඒකාබද්ධ කිරීමේ වේදිකාවක් වෙනුවෙන් තරඟ කලේය.

විවේචනාත්මකව, ලේමන් ජාත්‍යන්තර සංගතවලට එරෙහිව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර මූලෝපායක් කැඳවුම් අතර, කම්කරු ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රික-ජාස) හරහා ගෝලීයව සම්බන්ධ කරන ලද කම්කරු-පාලිත ක්‍රියාකාරී කමිටු වලට බැඳෙන ලෙස හා ඒවා ගොඩනගන ලෙස කම්කරුවන්ට ආයාචනා කලේය. යූඒඩබ්ලිව් නිලධරය ඡන්දය යටපත් කලේ, කම්කරුවන් විශාල පිරිසකට සාමාන්‍ය කම්කරු අපේක්ෂකයෙකුට ඡන්දය දීමට අවස්ථාව නොලැබෙන ආකාරයට ය.

මැතිවරනය අවසන් නමුත්, ලේමන් ගේ ක්‍රියාකාරී කමිටු සහ ජාත්‍යන්තරවාදී මූලෝපාය ඉදිරි මාවත පෙන්වා දෙයි.

දශක ගනනාවකට පසු පලමු වතාවට, මෙම වසරේ, එක්සත් ජනපදයේ සහ කැනේඩියානු බිග් ත්‍රී කම්කරුවන් සඳහා වූ කොන්ත්‍රාත්තු එකවර කල් ඉකුත් වේ. දැනට, ටීඑච්කේ රිදම් ඔටෝමෝටිව් හි වාහන අමතර කොටස් කම්කරුවන් 300 කට ආසන්න පිරිසක් 251-11 ඡන්දයකින් පාවාදීමේ කොන්ත්‍රාත්තුවක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔන්ටාරියෝ හි ශාන්ත කැතරින් හි සති තුනකට ආසන්න කාලයක් වැඩ වර්ජනයක නිරතව සිටිති. මැටමොරොස් වැනි නගරවල එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ වාහන අමතර කොටස් කම්කරුවන් දස දහස් ගනනක් සඳහා වූ කොන්ත්‍රාත්තු මැයි 1 දා අවසන් විය.

ප්‍රන්සය, ජර්මනිය, ශ්‍රී ලංකාව සහ ලොව පුරා වැඩ වර්ජන හා විරෝධතා වර්ධනය වීමෙන් පෙන්නුම් කරන පරිදි, සෑම රටකම කම්කරුවන් අරගලයට තල්ලු කරන්නේ එම කොන්දේසිමය. ටොලිඩෝ පුරා සිටින කම්කරුවන් දැනටමත් ඔවුන්ගේ අරගල මෙම ගෝලීය ව්‍යාපාරය සමඟ සම්බන්ධ කිරීමට සහ අඩ සියවසක ඉවසා දරා සිටීම ආපසු හැරවීමට ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ඇත. කම්කරු පන්තියේ අවශ්‍යතා සඳහා සටන් වදින මෙම ලෝක ව්‍යාප්ත ජාලය ගොඩනැගීමට, අදම කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයට සම්බන්ධ වන්න.

Loading