ශ්‍රී ලංකාවේ හේලීස් වැවිලි සමාගමට අයත් වතුවල වැඩ බර ඉහල නැංවීමට දලු නෙලීමේ තරඟය භාවිතා කරයි

[මෙය Hayleys Plantations in Sri Lanka uses competition to drive up workloads යන මැයෙන් 2023 මැයි 21 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

පෙබරවාරි 27 වන දින, හේලීස් වැවිලි සමාගම සිය 2023 'හොඳම තේ දලු නෙලන්නිය' තරඟය නුවරඑලිය දිස්ත්‍රික්කයේ තලවාකැලේ රදැල්ල පිට්ටනියේදී පවත්වන ලදී. එය සමාගමේ දෙවන දලු නෙලීමේ වාර්ෂික තරඟය විය. හේලීස් සමාගමට අයත් සහ පවත්වාගෙන යනු ලබන කැලනිවැලි, තලවාකැලේ ටී, හොරන යන වතු සමාගම් වල කාන්තා සේවිකාවන් හතලිස් හතර දෙනෙක් මීට සහභාගි වූහ.

තරඟයේ අරමුන මෙම අඩු වැටුප් ලබන කම්කරුවන්ගේ ඇදහිය නොහැකි කුසලතා සැමරීම නොවන අතර, එය ඵලදායිතාව ඉහල නැංවීමට සහ කුරිරු ලෙස සූරාකන “ආදායම් බෙදා ගැනීමේ ක්‍රමය” පැනවීමට හේලීස් සහ අනෙකුත් වතු සමාගම් විසින් ගෙන යන ප්‍රචාරක ව්‍යාපාරයක කොටසකි. ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) සහ ජාතික කම්කරු සංගමයේ (එන්‍යූඩබ්ලිව්) ප්‍රාදේශීය වෘත්තීය සමිති නායකයෝ හොඳම ටතේ දලු නෙලන්නිය තරඟය සංවිධානය කිරීමට සහය දුන්හ.

ශ්රී ලංකාවේ තලවාකැලේ හේලීස් ප්ලාන්ටේෂන් හි සමර්සෙට් වත්තෙන් "හොඳම තේ දලු නෙලන්නිය" ලෙස ත්යාගලාභී ආර්. සීතායම්මා. [ඡායාරූපය: ලෝසවෙඅ]

තේ දලු නෙලීම සඳහා තරගකරුවන්ට විනාඩි 20 ක කාලයක් ලබා දෙන ලදී. තලවාකැලේ වතු සමාගමේ සමර්සෙට් වතුයායේ ආර්. සීතායම්මා, නියමිත කාලය තුල කිලෝග්‍රෑම් 10.42 ක් නෙලමින් හොඳම අස්වනු නෙලන්නියට හිමි ත්‍යාගය දිනා ගත්තාය. ඇයට රුපියල් 400,000 ක් සහ රන් පදක්කමක් පිරිනමන ලදී.

සම්මාන ප්‍රදානෝත්සවය අමතමින් හේලීස් වැවිලි සමාගමේ කලමනාකාර අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක රොෂාන් රාජදුරෙයි ප්‍රකාශ කලේ සමාගමේ දැක්ම “සේවකයන්ගේ අවශ්‍යතා සහ අභිලාෂයන් සපුරන” තේ කර්මාන්තයක් ගොඩනැගීම බවයි. හොඳම තේ දලු නෙලන්නිය තෝරන තරඟය, 'අපගේ ජනතාවගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම හඳුනා ගැනීමට, සහාය වීමට සහ දිරිගැන්වීමට අප විසින් පවත්වනු ලබන ව්‍යුහගත වැඩසටහන් මාලාවක කොටසක්' බව ද ඔහු පැවසීය.

කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු පිහිටුවීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් ගෙන යන උද්ඝෝෂනයේ කොටසක් ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවෝ පසුගිය සතියේ සමර්සෙට් වත්තට ගියහ.

වෘත්තීය සමිති, මහා ව්‍යාපාරිකයන්ගේ සහ ධනේශ්වර රාජ්‍යයේ මෙවලම් බවට පරිවර්තනය වී ඇති බව සසප කම්කරුවන්ට පැහැදිලි කලේය. වැටුප් හා සමාජ කොන්දේසි මත ආන්ඩුව හා හාම්පුතුන්ගේ ප්‍රහාරයන් පරාජය කිරීම සඳහා කම්කරුවන් ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවීම මගින් දේවල් වල පාලනය තමන්ගේ අතට ගත යුතුය. ඕල්ටන් සහ ග්ලෙනුයිජ් වතුවල සේවකයින් දැනටමත් මෙම මුලපිරීම ගෙන ඔවුන්ගේම වතු කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගෙන ඇත.

සමර්සෙට් කම්කරුවන් ලෝසවෙඅ වාර්තාකරුවන්ට ඔවුන්ගේ සේවා සහ ජීවන තත්වයන් පිලිබඳවත්, තේ දලු නෙලන තරඟය ගැනත් කතා කලහ. මෙම තරඟය “ප්‍රදර්ශන භාන්ඩයක්” බවත්, එය වතු කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් මුහුන දෙන සැබෑ තත්වය වසන් කිරීමට යොදා ගත් බවත් ඔවුහු පැවසූහ.

තම ලයින් කාමර නිවසින් පිටත සිටින සමර්සෙට් වතු කම්කරුවෙක්. [ඡායාරූපය: ලෝසවෙඅ]

තරඟය සඳහා භාවිතා කරන ලද හෙක්ටයාර් දෙකක ඉඩම ඉතා සාරවත් බවත් තරඟය සඳහා විශේෂයෙන් සූදානම් කර තිබූ බවත් කම්කරුවන් පැහැදිලි කලහ. වතුකරයේ බොහෝ දිස්ත්‍රික්කවල හොඳ අස්වැන්නක් සහිත, කන්නයේ විශේෂයෙන් හිතකර කාලයකදී එය පවත්වන ලදී.

“වත්තේ අනෙක් කොටස් එතරම් සරු නැහැ. වියලි කාලවලදී හෝ අධික වර්ෂාපතනයක් ඇති සමයකදී, ඔබට දෛනිකව [අවශ්‍ය කරන] කිලෝග්‍රෑම් 20 ඉලක්කයට ලඟා වෙන්න බැහැ,” එක් සේවකයෙක් පැවසීය.

දලු නෙලීමේ තරඟය අමතමින් හේලීස් වැවිලි සමාගමේ කලමනාකාර අධ්‍යක්ෂ රාජදුරෙයි මෙසේ ප්‍රකාශ කලේය: 'ප්‍රජාව සහ එහි තාරුන්‍යය සවිබල ගන්වමින්, ගුනාත්මක සෞඛ්‍ය සහ පෝෂනය සඳහා ප්‍රවේශය සහතික කරන අතරම සෞඛ්‍ය සම්පන්න ජීවන පරිසරයක් ද අපි සපයන්නෙමු.'

මෙය අමූලික බොරුවකි. තේ සහ රබර් වතු 44 කින් සමන්විත ශ්‍රී ලංකාවේ විශාලතම කෘෂි ව්‍යාපාරවලින් එකක් වන හේලීස් වැවිලි සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වතුවල සේවා සහ සමාජ තත්වයන් කටුක ය; ඒවා ශ්‍රී ලංකාවේ අනෙකුත් වතුවලට වඩා වෙනස් නොවේ.

හේලීස් වතු කම්කරුවන්ගෙන් බහුතරයක් ජීවත් වන්නේ, වසර සියයක් පමන පැරනි, දිග පලල අඩි 10 ත් 12 ත් අතර ලයින් කාමරවල වන අතර ඒවායින් බොහෝමයක් අබලන් තත්වයේ පවතී. ඇතැම් කම්කරුවන් තම නිවෙස් ප්‍රතිසංස්කරනය කර හෝ විශාල කර ඇතත්, මෙය කල හැකි වූයේ ඔවුන්ගේ විශ්‍රාම වැටුප් අරමුදලෙන් හෝ කොලඹ හෝ වෙනත් නගර ඇතුලු, වතුවලින් පිටත සේවය කරන වතු තරුනයන් විසින් සපයන ලද මුදල් භාවිතා කිරීමෙන් පමනි.

ශ්රී ලංකාවේ සමර්සෙට් තේ වත්තේ ලයින් කාමර නිවාස. [ඡායාරූපය: ලෝසවෙඅ]

වතු ලයින් කාමරවල පිරිසිදු පානීය ජලය හෝ සනීපාරක්ෂාව වැනි නිසි පහසුකම් නොමැත. වතුකරයේ ලමුන් සඳහා වන අධ්‍යාපන සේවා ගුනාත්මක බවින් අඩුය. දරිද්‍රතාවයෙන් පහල වැටුප් සහ විකල්ප රැකියා නොමැතිකම හේතුවෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරවලට සහ නිදහස් වෙලඳ කලාපවලට හෝ විදේශ රැකියා සඳහා සංක්‍රමනය වීමට වතු තරුන තරුනියන්ට බල කෙරේ.

ලෝසවෙඅ සමග කතා කල බොහෝ සමර්සෙට් වතු කම්කරුවන්, සමාගම තම කොන්දේසි වැඩි දියුනු කිරීමට පියවර ගෙන ඇති බවට රාජදුරෙයිගේ ප්‍රකාශයන් එකහෙලාම ප්‍රතික්ෂේප කලහ.

“වතු කලමනාකාරිත්වය අපට ඔවුන්ගේ නිෂ්පාදන ඉලක්ක කරා ලඟා වීමට නොහැකි වුවහොත් අපගේ වැටුප කපා හරිනවා, අපගේ අස්වැන්න කිරා බැලීමේදී ඔවුන් අපව රවටනවා. නෙලන තේ දලු දිනකට තුන් වරක් කිරනවා. උදාහරනයක් ලෙස, එයින් අදහස් වන්නේ, තෙතමනය නැතිවීම නිසා බර කිලෝ දෙකකින් අඩු වන බවයි. දැන් ඔවුන් තරාදි වෙනුවට ඩිජිටල් කිරුම් යන්ත්‍ර භාවිතා කරනවා, නමුත් අපට නව ඩිජිටල් යන්ත්‍ර කියවිය නොහැකියි. ඔවුන් දිනපතා කිලෝ කීයක් අපෙන් සොරකම් කරනවාදැයි අපි දන්නේ නැහැ,” එක් සේවකයෙක් පැවසීය.

මෙම වසරේ “හොඳම දලු නෙලන්නිය” පදක්කම දිනූ ආර්. සීතායම්මා පැවසුවේ තම සගයන් මෙන් තම දෛනික වැඩ කටයුතුවලදී තමාට නෙලාගත හැක්කේ කිලෝග්‍රෑම් 20 ත් 22 ත් අතර ප්‍රමානයක් පමනක් බවයි. වැඩි අස්වැන්නක් ලබා ගත හැක්කේ හොඳ කාලවලදී පමනක් බව පැවසූ ඇය වැඩිදුරටත් කියා සිටියේ, රැකියා සොයා කොලඹට සංක්‍රමනය වූ පිරිමි කම්කරුවන් සහ තරුන තරුනියන්ගේ හිඟය නිසා වතු ඉඩම් එලි කිරීම දැන් ගැටලුවක් වී ඇති බවයි.

විශ්‍රාමික වතු කම්කරුවෙකු මෙසේ පැවසීය: “අපි කලින් කන්නවල වැඩ කරන විට දෛනික ඉලක්කයට කිලෝග්‍රෑම් 20 වෙත ලඟාවීම ඉතා අපහසු වූනා. දවසට කිලෝග්‍රෑම් තුනක්වත් නෙලන්න බැරි කාලවල් තිබුනත් ඒ දවස්වල සම්පූර්න පඩියම දුන්නා. නමුත් ඒ කාලෙත් දෛනික වියදම් පියවීමට අපේ ආදායම ප්‍රමානවත් වුනේ නැහැ. සමාගම් වලින් වතු පවරා ගැනීමෙන් පසු තත්වය තවත් නරක අතට හැරුනා.”

ශ්‍රී ලංකාවේ ඉහල යන උද්ධමන අනුපාත සහ ඉහල ජීවන වියදම ගැන සඳහන් කරමින් විශ්‍රාමික සේවකයා පැහැදිලි කලේ නිල දෛනික වැටුප රුපියල් 1,000 දිනකට ආහාර වේල් තුනකට යන්තම් හෝ ප්‍රමානවත් නොවන බවයි. “අපට මස්, මාලු හෝ බිත්තර අනුභව කිරීම ගැන සිතිය නොහැකි නමුත් වැඩ කිරීමට ප්‍රමානවත් ශක්තියක් ලබා ගන්නේ කොහොමද? අපේ කොටසේ කම්කරුවන් 30 ක් පමන තාවකාලික නිවාස වලයි ජීවත් වෙන්නේ.”

2021 අප්‍රේල් මාසයේදී, වතු කම්කරුවන්ගේ වැඩ වර්ජන හා විරෝධතාවලට මුහුන දුන් හිටපු ආන්ඩුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, රුපියල් 1,000 ක දෛනික වැටුපක් ගෙවන ලෙස වතු සමාගම්වලට නියෝග කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කලේය. එය වතු කම්කරුවන් අතර මහජන නොසන්සුන්තාව සමනය කරනු ඇතැයි රාජපක්ෂ බලාපොරොත්තු විය. කෙසේ වෙතත් වතු හාම්පුතුන් මෙම සොච්චම් වැඩි කිරීමට විරුද්ධ විය.

ඵලදායිතාව සහ සූරාකෑම ඉහල නැංවීමට අධිෂ්ඨාන කර ඇති වතු සමාගම්වලට දැන් අවශ්‍යව ඇත්තේ සමස්ත අංශය පුරා “ආදායම් බෙදා ගැනීමේ ක්‍රමය” පැනවීමට ය.

මෙයට වික්‍රමසිංහ ආන්ඩුව සහ වතුකරයේ සියලුම වෘත්තීය සමිති—සීඩබ්ලිව්සී, එන්‍යූඩබ්ලිව්, ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පෙරමුන, කඳුරට ජනතා පෙරමුන, ලංකා ජාතික වතු කම්කරු සංගමය සහ ඒකාබද්ධ වතු වෘත්තීය සමිති කමිටුව සහාය දක්වයි.

මෙම ක්‍රමය යටතේ තේ පඳුරු 1000 ක් හෝ ඊට වැඩි ප්‍රමානයක් සහිත ඉඩමක් සේවකයෙකුට පවරනු ලබන අතර, ඔහු තම පවුලේ සහයෝගය ඇතිව එම බිම් කොටස නඩත්තු කල යුතුය. මෙයින් අදහස් කරන්නේ ඉඩම එලිපෙහෙලි කිරීම, තේ පඳුරු සිටුවීම, වල්නාශක සහ පොහොර යෙදීම සහ අස්වැන්න නෙලීමයි. ඔවුන්ට මේ ඉඩමේ නීත්‍යානුකූල අයිතියක් නැත.

පොහොර, කෘෂි රසායන ද්‍රව්‍ය සහ උපකරන පමනක් සපයන සමාගම, නෙලා ගන්නා තේ දලු කිලෝග්‍රෑමයක් රුපියල් 40 ත් 50 ත් අතර මිලකට මිලදී ගනී. සමාගම එහි සැපයුම්වල පිරිවැය අඩු කිරීමෙන් පසු ඉතිරිය සේවකයින්ට ගෙවනු ලැබේ. පිටස්තර ගැනුම්කරුවන්ට තේ සඳහා කිලෝවකට වැඩි මිලක් ගෙවිය හැකි වුවද, කම්කරුවන්ට තම අස්වැන්න ඔවුන්ට විකිනීමට අයිතියක් නැත. වෙනත් වචන වලින් කිවහොත්, වතු කම්කරුවන් නූතන අඳ ගොවියන් බවට පරිවර්තනය වේ.

හේලීස් ප්ලාන්ටේෂන්ස් වෙබ් අඩවිය පවසන්නේ, එය පවත්වාගෙන යන වතුවල, මෙම නිර්දය සූරාකෑමේ ක්‍රමය භාවිතා කරමින් කොන්ත්‍රාත්තුවක් යටතේ හෙක්ටයාර 207.7 ක් කම්කරුවන් 605 දෙනෙකු අතර බෙදා ඇති බවයි. 2022 දී හේලීස් වැවිලි සමාගම සිය වතුවල වාර්ෂික බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 2.62 දක්වා සියයට 69 කින් වැඩි කර ගත්තේය. මෙය සාක්ෂාත් කර ගෙන ඇත්තේ, ලඟා විය නොහැකි දෛනික නිෂ්පාදන ඉලක්ක පටවමින් වැඩ බර වැඩි කිරීම සහ වැටුප් කප්පාදු කිරීම මගිනි.

සමර්සෙට් කම්කරුවන් ලෝසවෙඅ වෙත පැවසුවේ, වෘත්තීය සමිති 'අභාවයට ගොස් ඇති' බවත් කම්කරුවන්ගේ අයිතීන් සඳහා සටන් නොකල නමුත් කලමනාකාරීත්වයට සහාය දුන් බවත් ය. “සෑම ප්‍රාදේශීය වෘත්තීය සමිති නායකයකුටම දුරකථන පහසුකම් තිබෙන නිසා සෘජුවම කලමනාකරු සමඟ සම්බන්ධ විය හැකියි. ඔවුන් කලමනාකරුගේ උපදෙස් අනුව වැඩ කිරීමට සේවකයින් පොලඹවනවා,” යයි එක් සේවකයෙක් පැවසීය.

වතු කලමනාකාරීත්වය මස්කෙලියට නුදුරින් පිහිටි ඕල්ටන් වත්තේ කම්කරුවන්ට එරෙහිව ම්ලේච්ඡ මර්දනයක් මුදා හැර තිබේ. 2021 අප්‍රේල් මාසයේදී, හේලීස් සමාගමට අයත් හොරන වැවිලි සමාගමේ කම්කරුවෝ, රුපියල් 1,000 ක දෛනික වැටුපක් ඉල්ලා වර්ජනය කිරීමෙන් පසුව, විරෝධතාවයේ යෙදෙන කම්කරුවන්ට කලමනාකාරීත්වය හිරිහැර කිරීමට එරෙහි වූ එහි සේවකයන් 38 දෙනෙකු සේවයෙන් පහ කලේය. මෙම කම්කරුවන්ගෙන් 22 දෙනෙකු සහ වතු තරුනයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, කම්කරුවන් තමන්ට ශාරීරිකව පහර දුන් බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කල වතු කලමනාකරුවෙකුගේ සහයෝගයෙනි.

මෙම කම්කරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත් වීම නිසා නඩුව උසාවියේ වසර දෙකකට අධික කාලයක් ඇදී ගියේය. රැකියා වලින් දොට්ට දැමීමෙන් ඒවා අහිමි වූ වතු කම්කරුවන් උග්‍ර දරිද්‍රතාවයකට මුහුන දෙති. අනෙකුත් සියලුම වතු වෘත්තීය සමිති වින්දිත කම්කරුවන් ආරක්ෂා කිරීමට ඇඟිල්ලක් හෝ එසවීම ප්‍රතික්ෂේප කල අතර, සීඩබ්ලිව්සීය මෙම දඩයම සඳහා කෙලින්ම පොලිසිය සමග සහයෝගයෙන් කටයුතු කලේය.

ව්‍යාජ චෝදනා වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, සේවයෙන් පහ කරන ලද සේවකයින් කොන්දේසි විරහිතව නැවත සේවයේ පිහිටුවන ලෙසත් ඉල්ලා සිටින්නේ 2021 අප්‍රේල් මාසයේදී පිහිටුවන ලද ඕල්ටන් වතු කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවත්, සසපත් පමනි.

Loading