බංග්ලාදේශ ආන්ඩුව ප්‍රධාන මූලෝපායික ප්‍රතිපත්ති ලේඛනයක් නිකුත් කරයි

[පහත පලවන්නේ මැයි 23 දින Bangladesh releases a major strategic policy document යන මාතෘකාවෙන් පලවූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]

අගමැතිනි ෂීක් හසීනා ජපානය, ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය වෙත දින 15 ක සංචාරයක් ආරම්භ කිරීමට දිනකට පෙර අප්‍රේල් 24 දින බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රධාන විදේශ ප්‍රතිපත්ති ලේඛනයක් නිකුත් කලේය. ඉන්දු-පැසිෆික් ඉදිරි දැක්ම ලෙස නම් කරනු ලැබ ඇති මෙම ලේඛනය එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන චීන විරෝධී ඉන්දු-පැසිෆික් ප්‍රතිපත්තිය දෙසට නැඹුරුවන අතරම වොෂින්ටනය සහ බීජිං අතර සියුම් සමතුලිතතාවයක් පවත්වා ගැනීමට උත්සාහ කරයි.

අගමැතිනි ෂීක් හසීනාට ඉල්ලා අස්වී නව මැතිවරනයක් පවත්වන ලෙස බල කිරීම සඳහා හිටපු අගමැතිනි ඛලීඩා සියාගේ ප්‍රධානත්වයෙන් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේආධාරකරුවන් 2022 දෙසැම්බර් 10 වැනි දින බංග්ලාදේශයේ ඩකා නුවර පැවැත්වූ රැලිය. [AP ඡායාරූපය/ මහමුද් හොසෙඉන් ඔපු] [AP Photo/Mahmud Hossain Opu]

හසීනා දින හතරක් ජපානයේ ගත කල සහ අප්‍රේල් 29 සිට මැයි 4 දක්වා එක්සත් ජනපදයේ කල සංචාරවලදී ඉන්දු-පැසිෆික් ගැන මෙන්ම ආර්ථික සහ ආරක්ෂක ප්‍රතිපත්ති සම්බන්ධ ගැටලු සාකච්ඡා කලාය. ඇය සිය සංචාරයේ ඉතිරි කාලය ගත කලේ එක්සත් රාජධානියේ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගී වීම සඳහාය.

පෙබරවාරි මාසයේදී කෙටුම්පත් කරන ලද ඉන්දු-පැසිෆික් ඉදිරි දැක්ම කිසිදු නිශ්චිත රටක් නම් නොකර ප්‍රධාන අරමුනු 15ක් ඉදිරිපත් කරයි. එය, එක්සත් ජනපදය විසින් ආරම්භ කරන ලද, 2021 දෙසැම්බරයේ දී විස්තාරනය කරන ලද ඉන්දු-පැසිෆික්-මූලෝපාය (අයිපීඑස්) සමඟ සම්පුර්නයෙන්ම පෙල ගැසී නැති නමුත් එය එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් විසින් භාවිතා කරන ලද සියලුම පාඨ පුනරුච්චාරනය කරයි - එනම්, “නීති මත පදනම් වූ නියෝගය”, “ජාත්‍යන්තර නීතිය“, 'සමුද්‍ර තරනයේ නිදහස' සහ 'පියාසර කිරීමේ“ නිදහස' ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවයයි.

සරල භාෂාවට පරිවර්තනය කරන ලද හොත් මෙම ප්‍රචාරක වාක්‍ය ඛන්ඩ වනාහි තම ප්‍රතිවාදියෙක් වන රුසියාවට සහ චීනයට එරෙහිව වොෂින්ටනයේ මිලිටරි-මූලෝපායික ප්‍රහාරයේ කොටසක්ද, එක්සත් ජනපද ගෝලීය ආධිපත්‍යය නැවත තහවුරු කිරීමක්ද වන්නේය.

මැයි 13 වන දින බංග්ලාදේශයේ ඉංජිනේරු ආයතනයේ 60 වැනි සමුලුව අමතා ඇය කල සමාරම්භක දේශනය මෙයට උදාහරනයකි.

රටේ ජාතික ප්‍රවෘත්ති ඒජන්සිය වන බංග්ලාදේෂ් සංග්බාඩ් සංග්ස්තාට (Bangladesh Sangbad Sanstha) අනුව, බංග්ලාදේශයට එක්සත් ජනපදය විසින් සම්බාධක පැනවීම හෙලාදකිමින් හසීනා මෙසේ ප්‍රකාශ කලාය: “දැන් සම්බාධක පැනවීමේ ප්‍රවනතාවක් පවතී, මෙම සම්බාධක එල්ල වී ඇත්තේ අපි ත්‍රස්තවාදය මෙල්ල කරන අයට එරෙහිවයි. අපි තීරනයක් ගෙන තිබෙනවා. මම කිව්වා සම්බාධක පනවන අයගෙන් මම කිසිම දෙයක් මිලදී ගන්නේ නැහැ කියලා.”

හසීනාගේ කතාව යොමු කෙරුනේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් බංග්ලාදේශයේ වේගවත් ක්‍රියා බලඇනියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට එරෙහිව 2021 දෙසැම්බර් මාසයේදී වොෂින්ටනය විසින් සම්බාධක පැනවීම පිලිබඳය. කුප්‍රකට පැරා මිලිටරි බලකායක් වන මෙම බලඇනිය ත්‍රස්තවාදය නැවැත්වීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කල බව පවසමින් ඇය මීට පෙර සම්බාධක හෙලා දුටුවාය.

වොෂින්ටනය මෙම සම්බාධක පැනවූයේ, මානව හිමිකම් පිලිබඳ කිසිදු කැක්කුමක් නිසා නොව, චීනය සමග ඇති බැඳීම් බිඳ දැමීමට හසීනා ආන්ඩුවට බලපෑම් කිරීමේ මාධ්‍යයක් ලෙස බීජිනයට එරෙහි එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත් යුද ධාවනය මුලුමනින්ම වැලඳ ගැනීම සඳහා ය.

බංග්ලාදේශය එක්සත් ජනපදයට ඇඟලුම් අපනයනයෙන් ලැබෙන ආදායම මත දැඩි ලෙස රඳා පවතී. පෙබරවාරි 10 වැනි දින, බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත වාර්තා කලේ, පෙර වසරට සාපේක්ෂව 2022 වසරේ බංග්ලාදේශයේ ඇගලුම් අපනයනය සියයට 36.4 කින් ඩොලර් බිලියන 9.75 දක්වා වර්ධනය වී ඇති බවත්, එක්සත් ජනපද ඇඟලුම් වෙලඳපොලේ බංගලාදේශයේ වත්මන් පංගුව සියයට 10 කට ආසන්න බවත් ය.

ඒ අතරම, හසීනාගේ පරිපාලනය 2022 මූල්‍ය වර්ෂයේ ඩොලර් මිලියන 940 ඉක්මවූ විදේශ සෘජු ආයෝජන සඳහා අත්‍යවශ්‍ය මූලාශ්‍රයක් වන චීනය සන්සුන් කිරීමට උත්සාහ කරයි.

චීන තානාපති කාර්යාලයේ නිලධාරියෙක් පසුගිය දෙසැම්බරයේ ෆිනෑන්ෂල් එක්ස්ප්‍රස් පුවත්පතට පැවසුවේ පසුගිය වසර 12 තුල බංග්ලාදේශයේ “විශාලතම වෙලඳ හවුල්කරුවා වූයේ චීනය” බවයි. මෙම මහා ව්‍යාපාරිකයින්ගේ පුවත්පත වාර්තා කලේ 2021 දී දෙරට අතර වෙලඳ ගනුදෙනුවල පරිමාව සියයට 58 කින් වැඩි වූ බවයි.

චීනය බංගලාදේශයේ විශාලතම මිලිටරි දෘඩාංග සැපයුම්කරු වන අතර බංගලිදේශය බීජිංහි එක් තීරුවක් එක් මාවතක් ව්‍යාපෘතියේ ක්‍රියාකාරී හවුල්කරුවෙකි. බීජිං වෙතින් මිලදී ගත් සබ්මැරීන දෙකක් නැංගුරම් ලා ඇති බංග්ලාදේශ සබ්මැරීන කඳවුරක් සඳහා මුදල් සම්පාදනය කරමින් ඉදිකිරීම් කිරීමත් ඇතුලු යටිතල පහසුකම් ව්‍යාපෘති කිහිපයකට චීනය මැදිහත් වේ.

හසීනා ආන්ඩුවේ ඉන්දු-පැසිෆික් ඉදිරි දැක්ම ලේඛනය වොෂින්ටනය පිලිගත්තේය. පසුගිය සතියේ බංග්ලාඩේෂ් සංග්බාඩ් සංග්ස්තා සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී, දකුනු සහ මධ්‍යම ආසියාව සඳහා එක්සත් ජනපද නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්‍රීන් අක්තර් මෙසේ පැවසීය: “පුලුල් වශයෙන්, අපගේ ලේඛන දෙක, අපගේ උපායමාර්ගය සහ ඔබේ [බංග්ලාදේශයේ] දැක්ම අතර සහසම්බන්ධතා රාශියක් අපි දකිමු. යටිතල පහසුකම් හරහාත් අපගේ සැලකිය යුතු සංවර්ධන ව්‍යාපෘති හරහාත් අප දෙදෙනාම කලාපයේ ආර්ථික සමෘද්ධිය ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කර ඇත.“

මැයි 12දා, දැන් චීනයට එරෙහි එක්සත් ජනපද යුද ව්‍යාපාරයේ පෙරමුනු රාජ්‍යයක් වන ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති එස්. ජයශංකර් මෙසේ පැවසීය: “තමන්ගේම ඉන්දු-පැසිෆික් මූලෝපායික ලේඛනයක් නිකුත් කරමින් එසේ කල [රටවල්] සමූහයට බංගලාදේශය සම්බන්ධ වීම ගැන මම සැබවින්ම සතුටු වෙමි.“

බංග්ලාදේශ ලේඛනයේ අනෙකුත් අංශ, හසීනා සහ ජපාන අගමැති ෆුමියෝ කිෂිද විසින් අප්‍රේල් 26 දින ප්‍රකාශයට පත් කරන ලද මූලෝපායික හවුල්කාරිත්වය පිලිබඳ ජපාන-බංග්ලාදේශ ඒකාබද්ධ ප්‍රකාශයෙන් පිලිබිඹු විය. එම ප්‍රකාශය “සමස්ත නාවික ගමනාගමනයේ නිදහසත්, මහ මුහුදේ ගුවන් ගමන් සහ සිවිල් ගුවන් සේවා ආරක්ෂාවත්” පිලිගත් අතර “කලාපීය සහ ජාත්‍යන්තර සාමය, ස්ථාවරත්වය සහ සෞභාග්‍යය” පවත්වා ගැනීම සඳහා ඉල්ලා සිටියේය.

රුසියාව ගැන විශේෂයෙන් සඳහන් නොකලද ඒකාබද්ධ ප්‍රකාශය, රුසියාව 'ආක්‍රමනයක්' සහ 'විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්' කරන බව හංවඩු ගසමින්, යුක්රේනයේ යුද්ධය සම්බන්ධයෙන් වක්‍රව එයට දොස් පැවරීය. එය 'නීතියේ ආධිපත්‍යය මත පදනම් වූ ජාත්‍යන්තර පර්යායට බරපතල තර්ජනයක් වූ අතර ඉන්දු-පැසිෆික් කලාපය ද ඇතුලුව යුරෝපයෙන් ඔබ්බට ද ප්‍රතිවිපාක ඇති කරන' බව එම ප්‍රකාශය පවසයි.

හසීනා සිය සංචාරයේදී යටිතල පහසුකම් සහ ආරක්‍ෂාව පිලිබඳව ඇතුලු ජපානය සමඟ අවබෝධතා ගිවිසුම් හතක් සහ එක් එකඟතා ගිවිසුමක් ද අත්සන් කලාය. ජපානය බංග්ලාදේශයේ ප්‍රධාන විදේශ ආයෝජකයන්ගෙන් එකකි. ඒය 2020-2021 මූල්‍ය වර්ෂයේදී ආයෝජනය කර ඇති ඩොලර් බිලියන 2.63ක් සමග එය එම මූල්‍ය වර්ෂය සඳහා ඉහලම ආධාර දෙන්නා විය.

හසීනාගේ එක්සත් ජනපදයේ වැඩකටයුතු ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නිලධාරීන් සමඟ රැස්වීම්වලට සීමා විය. “ඇය සහ එක්සත් ජනපද ආන්ඩුව අතර කිසිදු නිල හමුවක් සිදු නොවීය,” යනුවෙන් ඩිප්ලෝමැට් පුවත්පත මැයි 9 දා වාර්තා කලේය.

කෙසේ වෙතත්, බංග්ලාදේශ විදේශ ලේකම් මසූඩ් බින් මොමන් නවවන එක්සත් ජනපද-බංග්ලාදේශ හවුල්කාරිත්ව සංවාදයේදී දේශපාලන කටයුතු පිලිබඳ එක්සත් ජනපද සහකාර ලේකම් වික්ටෝරියා නුලන්ඩ් හමුවිය. චීනයට එරෙහි එක්සත් ජනපද මූලෝපායික ප්‍රහාරයට ඩකා නැඹුරු වී ඇති ආකාරය ඉස්මතු කිරීම සඳහා මොමන් බංග්ලාදේශයේ නව මූලෝපායික ලේඛනය අවධාරනය කල බව වාර්තා වේ.

පසුගිය වසරේ මාර්තු 20දා නුලන්ඩ් බංගලාදේශයට ගියේ රුසියාවට එරෙහි එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ යුද මෙහෙයුම් සමග පෙලගැසෙන ලෙස හසීනා ආන්ඩුවට බලපෑම් කිරීමටය. විදේශ අමාත්‍ය ඒ.කේ. අබ්දුල් මොමන් පෙන්වා දුන්නේ ඩකාව එක්සත් ජනපදය සහ රුසියාව අතර සමතුලිතතාවයක් පවත්වා ගැනීමට කැමති බවයි. කෙසේ වෙතත්, නුලන්ඩ්ගේ සංචාරයෙන් පසුව, බංග්ලාදේශය, අනෙකුත් රටවල් 139 සමග, යුක්රේනයේ 'දරුනු මානුෂීය අර්බුදයක්' නිර්මානය කරන බවට රුසියාවට චෝදනා කරමින් මාර්තු 24 දා එක්සත් ජාතීන්ගේ මහා මන්ඩල යෝජනාවක් සඳහා ඡන්දය දුන්නේය.

කොවිඩ්-19 වසංගතය සහ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද්ධයෙන් බංග්ලාදේශ ආර්ථිකය විනාශ විය. රටේ මුදල සියයට 25 කින් අවප්‍රමානය වීමටත්, විදේශ සංචිත සියයට 28 කින් පහත වැටීමටත්, තුඩු දුන් යුද්ධය උද්ධමනයේ සාමාන්‍ය සියයට 8.14 දක්වා ඉහල යාමටත් - ඉන්ධන, විදුලිය සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහල යාමත් සමග - ජීවන වියදම් අර්බුදයකට හා රට පුරා විරෝධතා පිපිරීමටත් තුඩු දුන්නේය.

හසීනා ආන්ඩුවේ නව ඉන්දු-පැසිෆික් ඉදිරි දැක්ම ලේඛනයට එරෙහිව බීජිං හි ගනන් බලා දෙන ලද ප්‍රතිචාරය, සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත්පතෙහි ආචාර්ය ලියු සොන්ග්යිගේ ප්‍රකාශය මගින් පිලිබිඹු වේ.

ජාත්‍යන්තර අධ්‍යයනය සඳහා වූ ෂැංහයි ආයතනයේ දකුනු ආසියාවේ සහ චීන මධ්‍යස්ථානයේ මහලේකම් ලියු මෙසේ ලියයි: “මෙම ලේඛනය නිකුත් කිරීම රටේ රාජ්‍ය තාන්ත්‍රික ස්වාධීනත්වය පවත්වා ගෙන යාමට සහ තමන්ගේම ජාතික අවශ්‍යතා ඉටු කර ගැනීමට මුලපිරීමක් ලෙස පමනක් නොව පැත්තක් තෝරා ගැනීම සඳහා නිරන්තර එල්ල කෙරුනු පීඩනය යටතේ සිදුවූ ප්‍රතික්‍රියාවක්ද ලෙස මම සලකමි.“

බංග්ලාදේශය තවමත් වොෂින්ටනය සහ බීජිං අතර තුලනය කිරීමේ ව්‍යායාමයක යෙදීමට උත්සාහ කරන අතර, එහි ඉන්දු-පැසිෆික් ඉදිරි දැක්ම ලේඛනයෙන් සහ ඉන් පසු ප්‍රකාශයන්ගෙන් එක්සත් ජනපදය දෙසට මාරුවීමක් පෙන්නුම් කරයි. මක්නිසාදයත් බංග්ලාදේශය ජපානයෙන් සහ එක්සත් ජනපදයෙන් ආයෝජනද, ජාමූඅ සහ ලෝක බැංකුවෙන් ආර්ථික ආධාරද අපේක්ෂා කරන බැවිනි.

Loading