දුම්රිය රියදුරු වර්ජනයට පහර දෙමින් ප්‍රවාහන ඇමති දුම්රිය පුද්ගලීකරනය කඩිනම් කරයි

දුම්රිය රියදුරන්ගේ හා නියාමකයන්ගේ බරපතල හිඟයක් පවතින තත්වය තුල නව ගමන්වාර 6 ක් ආරම්භ කිරීමේ ආන්ඩුවේ උත්සාහයට විරුද්ධව මරදාන විදුලි බලවේග ධාවනාගාරයේ දුම්රිය රියදුරෝ පසුගිය ඉරිදා අසනීප නිවාඩු වාර්තා කර වර්ජනයක් දියත් කලහ. වැඩ වර්ජනය හේතුවෙන් ජූලි 24දා උදෑසන කාර්යාල දුම්රිය 11ක් ද ඇතුලුව දුම්රිය ගමන් වාර 35ක් අවලංගු කිරීමට සිදු වූ බව ප්‍රවාහන අංශයේ දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොලගේ මාධ්‍යට පැවසීය.

2022 නොවැම්බර් 5 යාල් දේවි දුම්රිය පූනෑව දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලී පනී. [Photo: Lakshitha naveen & others via Fantastic Travelers Facebook Page ]

මෙම ගමන්වාර වෙනස සිදුකර ඇත්තේ උතුරු දුම්රිය මාර්ගයේ සුඛෝපභෝගී සංචාරක දුම්රිය සේවයක් ආරම්භ කිරීම ට අදාලව නව දුම්රිය ගමන් වාර 2ක් හඳුන්වාදීමට සම්බන්ධිතව ය. එහෙත් දුම්රිය රියදුරන් පවසන්නේ දැනට පවතින රියදුරු සහ නියාමක හිඟය තිබිය දී එබඳු වෙනසක් කිරීමෙන් විවේක කාලය අහිමිවීම ඇතුලු ගැටලු වලට ඔවුන්ට මුහුන දීමට සිදුවන බවයි.

වර්ජනය කැඳවුම් කලේ දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය (දුඑරිස) විසිනි. දුම්රිය සාමාන්‍යධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුනසිංහ සමග සඳුදා පැවති සාකච්ඡාවක දී නව ගමන්වාර හය අත්හිටුවීමට ඔහු එකඟ වූ නිසා වර්ජනය නතර කල බව දුඑරිස සඳහන් කලේ ය.

වර්ජනයට පහර දුන් ප්‍රවාහන හා මහාමාර්ග ඇමති බන්දුල ගුනවර්ධන දුම්රිය දෙපාර්තමේන්තුවේ අලාභයේ වගකීම සේවකයන් මත පටවමින් පුද්ගලීකරනය ගැන දැඩි තීරනයක් ගැනීමට කැබිනෙට්ටුවට කියන බව ජූලි 24 වෙනිදා මාධ්‍යට පැවසීය.

ඔහු එහිදී මෙසේ පැවසීය: “දුම්රිය දෙපාර්තමේන්තුව වාර්ෂික ව රුපියල් බිලියන 10ක පාඩුවක් ලබනව. අතිකාල විතරක් ගෙවල තියනව රුපියල් බිලියන 2.3ක්. වැටුප් ගෙවල තියනව රුපියල් බිලියන 7ක්. මේ ඔක්කොම කරන්නෙ මහජනතාව ගෙවන බදු මුදලින්. මහජනතාව මට කියල තියනව මේක මෙහෙම කරන්න බැරි නම් පුද්ගලීකරනය කරන්න කියල. මම කිවුව නැහැ අපිට මේක අධිකාරියක් බවට පත් කරල කරගෙන යන්න පුලුවන්, ටික කාලයක් දෙන්න කියල. මහජනතාවගෙ බදු මුදලින් යැපෙන ගමන් මහජනතාවට සලකන්නෙ මෙහෙම නම් මම කැබිනට් මන්ඩලයට කියනව මේක මෙහෙම කරන්න බැහැ, දැඩි තීරනයක් ගන්න කියල.”

ඒ සම්බන්ධ කැබිනට් පත්‍රිකාවට අඟහරුවාදා ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මන්ඩලයේ අනුමැතිය ලැබුන බවත් ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව පුර්න ව්‍යුහාත්මක වෙනසකට භාජනය කරන බවත් ඇමති ගුනවර්ධන කැබිනට් මන්ඩල තීරන දැනුම්දීම සඳහා අඟහරුවාදා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී සඳහන් කලේ ය. ඒ සම්බන්ධයෙන් 'විද්වත් කමිටුවක්' පත්කිරීමට ජනාධිපති ලේකම් ට කැබිනට් මන්ඩලය දැනුම් දුන් බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

ඇමතිවරයා කියන “මහජනතාව” වනාහි තමන්ගේ එදිනෙදා ගමන් බිමන් සඳහා දුම්රිය යොදා ගන්නා කම්කරු පන්තිය හා පීඩිත මහජනයා නො ව, ගොඩ ඒගත නො හැකි ආර්ථික අර්බුදයක එරී සිටින වික්‍රමසිංහ ආන්ඩුවට උපදෙස් දෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) හා ධනපති ආයෝජකයෝය.

දහස් සංඛ්‍යාත මහජනතාව එදිනෙදා ගමන්බිමන් සඳහා යොදා ගන්නා දුම්රිය ගමන් වාර මෑත කාලයේ දී බුරුතු පිටින් අවලංගු කල බලධාරීහු, එකී මගීන්ට කිසිසේත් දැරිය නො හැකි මිල ගනන් යටතේ සුඛෝපභෝගී “ඔඩිසි” දුම්රිය කිහිපයක් උඩරට හා කැලනිවැලි දුම්රිය මාර්ගවල ධාවනයට එක් කලහ. උඩරට දුම්රිය මාර්ගයේ ඔඩිසි දුම්රියක පලමු පන්තියේ ප්‍රවේශපත් ගාස්තුව රුපියල් 5,000කි. දෙවන පන්තියේ හා තෙවන පන්තියේ එම ගාස්තු පිලිවෙලින් රුපියල් 4,000 ක් හා රුපියල් 3,000 කි.

එබඳු මිල අධික “ඔඩිසි” දුම්රිය උතුරු දුම්රිය මාර්ගයට හඳුන්වා දීමට ගුනවර්ධන යෝජනා කලේ මේ මාසය මැද දී ය. ඒ අනුව, කොලඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 10.00 ට පිටත් වී අලුයම 3.00 ට යාපනයට ලඟා වන දුම්රිය සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා ධාවනයට එක් කිරීම ඔහුගේ අපේක්ෂාව යි. මීට සමාන්තර ව එම දවස් තුනේ දී යාපනයේ සිට රාත්‍රී 10.00 ට පිටත් වී කොලඹ කොටුව බලා ද දුම්රියක් ධාවනය කිරීම ඇමතිවරයාගේ සැලසුම යි. එහි ගාස්තුව රුපියල් 4,000 කි.

වික්‍රමසිංහ ආන්ඩුව ජාමූඅ ලබාගත් ඩොලර් බිලියන 2.9ක ඇප නයේ කොන්දේසි ලෙස දුම්රිය ද ඇතුලු ව රාජ්‍ය ව්‍යවසායන් 430ක් පුද්ගලීකරනයට හා වානිජකරනයට නියමිත ය. දැනට දෙපාර්තමේන්තුවක් ලෙස ක්‍රියාත්මක වන දුම්රිය සේවය, අධිකාරියක් බවට පත් කොට දුම්රිය නඩත්තුව හා ධාවනය පුද්ගලික අංශයට පැවරීම මේ යටතේ සිදු කිරීමට යෝජිත ය. ඒ සඳහා වූ දුම්රිය අධිකාරි පනත දැනටමත් විධායක නිලධාරීන් අතර සාකච්ඡාව සඳහා යොමු කර ඇත.

දුඑරිස ඇතුලු දුම්රිය සමිති කිසිවක් දුම්රිය සේවය ප්‍රතිව්‍යුහකරනයට විරුද්ධ නැත. මෑත කාලයේ දුඑරිස ඇතුලු වෘත්තීය සමිති තමන් සමග “සහයෝගයෙන්” කටයුතු කල බව ගුනවර්ධන 24 වෙනිදා මාධ්‍ය සාකච්ඡාවේ දී සඳහන් කලේ ය. අධිකාරියක් බවට පත් කිරීම හරහා කෙරෙන ප්‍රතිව්‍යුහකරනය පුද්ගලීකරනයේ පලමු පියවරයි. එය සේවකයන් ගේ රැකියා, වැටුප් හා සේවා කොන්දේසිවලට බරපතල පහරක් මෙන් ම, දුම්රිය සේවය තවදුරටත් මහජන ප්‍රවාහන සේවයක් ලෙස නොපවතිනු ඇත.

ලාභය ඉලක්ක කරගත් වානිජ ව්‍යාපාරයක් කිරීමේ පදනම මත සාමාන්‍ය දුම්රිය ගාස්තු ඉහල දැමීමට ප්‍රවාහන ඇමති දැනටමත් යෝජනාකර තිබේ. දුම්රිය පුද්ගලීකරනයට එරෙහිව කිසිදු අරගලයක් සංවිධානය කිරීම දුම්රිය වෘත්තීය සමිති ප්‍රතික්ෂේප කර ඇත. ශ්‍රේනිවාදී පදනමක දුම්රිය කම්කරුවන් බෙදා තැබීමේ අතිශය දුෂ්ට පිලිවෙතක් අනුගමනය කරන දුම්රිය සමිති මෑත කාලයේ දුම්රිය කම්කරුවන්ගේ සියලු අරගල ආන්ඩුවේ සහ දුම්රිය බලධාරීන්ගේ ව්‍යාජ පොරොන්දු වලට යටත්කර පාවාදුන්හ.

දුම්රිය ප්‍රතිව්‍යූහකරනය කෙරෙහි කම්කරුවන් අතර විරෝධය වර්ධනය වෙමින් පවතී. ලෝක සමාජවාදී වෙබ් අඩවියට අදහස් දැක්වූ, දෙමටගොඩ දුම්රිය මහල් නිවාසයක ජීවත් වන විශ්‍රාමිකයෙකු වන සංජීව මෙසේ ප්‍රකාශ කලේ ය: “පුද්ගලීකරනය ක්‍රියාත්මක වෙනවා. ජීවත් වීම එන්න එන්න ම දුෂ්කර වෙනවා. ගෑස් මිල ඉහලට ම ගියා. පහුගිය අවුරුද්දෙ ඇති වුන අරගලය හරහා මිනිස්සු මේ පාලනය වෙනස් කරන්න උත්සාහ කලා. නමුත් දැන් ඇවිත් තියෙන්නෙ රජකාලෙ වගේ ඒකාධිපති පාලනයක්.....අයිඑම්එෆ් නියෝග උඩ දැන් සමෘද්ධියත් කපාගෙන යනවා. මෑත දී දුම්රියෙන් විශ්‍රාම ගිය අයගෙ විශ්‍රාම වැටුපත් කපලයි කියල ආරංචියක් තියෙනවා.”

Loading