[මෙය Hundreds likely dead in Maui wildfire due to criminal negligence of the capitalist ruling class යන මැයෙන් 2023 අගෝස්තු 13 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
පසුගිය අඟහරුවාදා (08) සහ බදාදා දිනවල හවායි දූපතේ මෞයි හි ඇති වූ බිහිසුනු ලැව් ගින්නෙන් මියගිය සංඛ්‍යාව ඉරිදා වන විට 93 දක්වා ඉහල ගියේය. එය, වසර 100 කට වැඩි කාලයක් තුල එක්සත් ජනපදයේ ඇති වූ මාරාන්තික ම ලැව් ගින්නයි.
බලධාරීන් සෙනසුරාදා (12) කියා සිටියේ, මියගිය අය සෙවීමේ සහ හඳුනාගැනීමේ කටයුතු තවමත් මුල් අදියරවල පවතින අතර විශේෂයෙන් ලහයිනා නගරය අවට වර්ග සැතපුම් පහක කලාපයේ තවත් විපතට පත්වූවන් සොයා ගැනීමට අපේක්ෂා කරන බවයි.
මල සිරුරු හඳුනාගන්නා පොලිස් සුනඛයින් තවමත් ආවරනය කර ඇත්තේ ප්‍රදේශයෙන් සියයට 3 ක් පමනක් බවත්, මරන සංඛ්‍යාව වැඩි වනු ඇති බවත්, “අප කිසිවෙකු තවමත් එහි ප්‍රමානය හරියටම දන්නේ නැති” බවත් මෞයි පොලිස් ප්‍රධානී ජෝන් පෙලටියර් පැවසුවේ ය. ඔහු කීවේ, 'අප මල සිරුරු කොටස් ඇහිඳ ගන්නා විට ඒවා කැඩී බිඳී යන' බැවින් මියගිය අය හඳුනා ගැනීම විශේෂයෙන් දුෂ්කර බව යි.
මේ වන විට ලැව්ගින්නෙන් මියගිය අයගෙන් හඳුනාගෙන ඇත්තේ දෙදෙනෙකු පමනි. පෙලෙටියර්, පවුල්වල සාමාජිකයින්ට පැවසුවේ, තම ආදරනීයයන් හඳුනා ගැනීමට ඩීඑන්ඒ (DNA) පරීක්ෂනයක් පැවැත්වීමට සිදු වන බවයි.
13දා උදෑසන සීබීඑස් හි “ෆේස් ද නේෂන්” වැඩ සටහනේ සම්මුඛ සාකච්ඡාවකදී වාර්තාකරු ජොනතන් විග්ලියෝටි, “සොයාබැලීමේ කන්ඩායමට සමීප මූලාශ්‍ර කිහිපයකින්” ඔහුට ලැබී ඇති -මරන සංඛ්‍යාව සිය ගනනක් දක්වා ලඟා විය හැකි බව ඇඟවුම්කල- වාර්තාවල නිරවද්‍යතාවය පිලිබඳව ෆේමා (FEMA) පරිපාලක ඩීන් ක්රිස්වෙල්ගෙන් විමසන ලදී. ක්රිස්වෙල් පිලිතුරු දුන්නේ, “ඔවුන් ඔබට කියන්නේ එය නම්, මට ඒ පිලිබඳ දෙවෙනි අනුමානයක් කිරීමට අවශ්‍ය නැත. ඔවුන් දකින්නේ කුමක්ද සහ කොපමන පුද්ගලයින් සංඛ්‍යාවක් නොසිටින්නේද—ගනනය කර නැතිද යන්න ගැන හොඳින්ම දන්නේ ඔවුන් ය.”
හවායි ආන්ඩුකාර ජොෂ් ග්‍රීන් සෙනසුරාදා ප්‍රකාශ කලේ, ගොඩනැගිලි 2,200 ක් හානි වී හෝ විනාශ වී ඇති බවත් ඉන් සියයට 86 ක් නිවැසි ගොඩනැගිලි බවත් ය. ඩෝරා සුලි කුනාටුවෙන් හමා ගිය සුලඟින් විදුලි රැහැන් කඩා වැටී වියලි තනකොල දල්වා ගින්න පැතිරී ගිය බව ඇතැම් වාර්තා පවසන නමුත් ගින්නට හේතුව තවමත් අනාවරනය වී නොමැත.
දිවයිනේ තවත් ලැව්ගිනි තුනක් වාර්තා වී තිබේ. දෙකක් තවමත් ගිනි ගනිමින් පවතී; ඉන් එකක් දකුනු මෞයි හි කිහේයි ප්‍රදේශයේ සහ අනෙක උඩරට ලෙස හැඳින්වෙන කඳුකර, පිටිසර ප්‍රජාවන් ජීවත්වන ප්රදේශයකි; එහි නිවාස 500 කට වැඩි ප්‍රමානයක් ගිනි ගෙන ඇත. ලහයිනාවට උතුරින් පිහිටි වෙරලාසන්න ප්‍රජාවක් වන කානාපාලි හි සිකුරාදා සවස තවත් ගින්නක් ඇති වූ නමුත් බලධාරීන් පවසන්නේ එය නිවා දැමූ බවයි.
ලහයිනා හි ඉදිරිපස වීදියේ බිමට සමතලා වී ඇති ගොඩනැගිලිවල සහ ගිනිබත් වී ඇති වාහනවල සමාජ මාධ්‍යවල පල කර ඇති දර්ශන සිහි කැඳවන්නේ, යුද්ධයේ විනාශකාරී බලවේගයන් ය. 1945 පෙබරවාරියේ ජර්මානු නගරවලට මිත්‍ර පාක්ෂිකයින් ගිනි බෝම්බ ප්‍රහාරයක් එල්ල කල විනාශය හා සසඳමින්, හවායි හදිසි කලමනාකරන ඒජන්සියේ ප්‍රකාශක ඇඩම් වයින්ට්රබ් ප්රවෘත්ති මාධ්‍ය වෙත පැවසුවේ, “අපි එම ප්‍රදේශයෙන් දැක ඇති සමහර ගුවන් දර්ශන මට සිහපත් කරවන්නේ, දෙවන ලෝක යුද්ධයේ දී ඩ්රෙස්ඩන්වල පින්තූර ය.”
මෙම ගින්නට පසුව එක්සත් ජනපදයේ බිහිසුනුම ගින්න ලෙස වාර්තාවෙන, 2018 දී කැලිෆෝනියාවේ පැරඩයිස් හි නිවාස පිලිස්සී 85 දෙනෙකු මිය ගිය කෑම්ප් ෆයර් මෙන්, මෞයි ගින්න අවම වශයෙන් ෆැරන්හයිට් අංශක 1200 (1200˚F) දක්වා ලඟා වී ඇලුමිනියම් එන්ජින් කුට්ටි සහ මෝටර් රථ රෝද ජ්වලිත කොට ඒවා ද්‍රව පොකුනු බවට පරිවර්තනය කලේය.
ලැව්ගින්නෙහි සම්පූර්න පරිමානය සහ බලපෑම දින හෝ සති ගනනකින් දැනගත නොහැකි වුවද, මෞයිහි ව්‍යසනයෙන් සිදුවූ මරන සහ විනාශය ධනේශ්වර පාලක පන්තියට සහ එහි ආන්ඩුවටත් පාලක දේශපාලන පක්ෂවලටත් එල්ල වන චෝදනාවක් බව ප්‍රකාශ කල හැකිය.
දේශගුන විද්‍යාඥයන් සහ පරිසරවේදීන් දශක දෙකක් තිස්සේ මෙතරම් විනාශකාරී ප්‍රතිවිපාක සහිත ගින්නක් ගැන අනතුරු අඟවා තිබුන ද ඒවා ධනේශ්වර අවශ්‍යතාවලට හරස් වූ නිසා තීරනාත්මක ආරක්ෂක පියවර නොගත්තේය.
ලාභ නොලබන සංවිධානයක් වන හවායි ලැව්ගිනි කලමනාකරන සංවිධානයේ සම-විධායක අධ්යක්ෂ සහ 2014 දී සංවර්ධනය කරන ලද මෞයි ලැව්ගිනි සැලැස්මේ සම කර්තෘ එලිසබත් පිකට්, වෝල් ස්ට්‍රීට් ජර්නලය වෙත පැවසුවේ, “හදිසි ප්‍රතිචාර ධාරිතාව ඉහල නැංවීම වැනි ක්‍රියාමාර්ග අරමුදල් හිඟකම, රලු භූමි ප්‍රදේශවල සැපයුම් බාධක සහ එකිනෙක ගැටෙන ප්‍රමුඛතාවන් නිසා අඩාල වී ඇති” බවයි.
මෙම අනෙකුත් ප්‍රමුඛතා මොනවාද? සංගත මාධ්‍යවල පිටුබලය ලබන එක්සත් ජනපද ආන්ඩුව, යටිතල පහසුකම් ගොඩනැගීමට සහ එවැනි ව්‍යසනයන් සිදු වීම වැලැක්වීමට පියවර ගැනීමට මුදල් නැතැයි දිගින් දිගටම ප්‍රකාශ කරන මුත්, යුද්ධයටත්, බැංකු සහ සංගතවලට මූල්‍ය ඇපදීම සඳහාත් අනවරත අරමුදල් සැපයුම් තිබේ.
එක්සත් ජනපද ආන්ඩුව, පසුගිය දශක තුන පුරා ඩිමොක්රටික් සහ රිපබ්ලිකන් පාලන තන්ත්ර මගින්, මිලියන ගනනක් මිනිසුන් ඝාතනය කොට, අවතැන් කල අධිරාජ්‍යවාදී යුද්ධ සඳහා ඩොලර් ට්‍රිලියන ගනන් වියදම් කර ඇත. ඒ අතරම, වෝල් වීදියේ ප්රකෝටිපතියන් සඳහා මුදල් ඉපැයීම බාධාවකින් තොරව අඛන්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා මූල්‍ය පද්ධතියට ඒ හා සමානව මුදල් පොම්ප කරන ලදී.
මෞයි හි ලැව්ගින්නත් සමඟ පැහැදිලි වන්නේ, ධනේශ්වර පන්තිය විසින් දේශගුනික විපර්යාසවලට—දශක ගනනාවක් තිස්සේ නොසැලකිලිමත් ලෙස, ලාභය මත පදනම් ව කාබන් වායුගෝලයට පොම්ප කිරීමේ ප්‍රතිඵලය— පිලියම් සෙවීමට ප්‍රතික්ෂේප කිරීම, සමාජය ව්‍යසනයක් වෙතට තල්ලුකරමින් තිබේය යන්න ගැන තවදුරටත් සැකයට ඉඩක් තබා නැති බවයි.
එතෙකුදු වුව, දේශපාලන සංස්ථාපිතයේ ප්‍රතිචාරය වී ඇත්තේ ඇස්නිලංකාර කරවන තරම් නොතකා හැරීම සහ ව්‍යසනය සඳහා කිසිදු වගකීමක් නොතර අතපය අකුලාගෙන සිටීම යි. බ්‍රහස්පතින්දා නිකුත්කල ඡේද තුනකින් යුත් ධවල මන්දිර ප්‍රකාශය හැරුනු විට, ජනාධිපති බයිඩන් හවායි හි අති විශාල ජීවිත හානිය ගැන කිසිවක් පවසා නැත.
ඉරිදා උදෑසන සීඑන්එන් හි “ස්ටේට් ඔෆ් ද යූනියන්” වැඩසටහනේදී ජේක් ටැපර් සමඟ කතා කරමින්, ඩිමොක්රටික් පාක්ෂික හවායි හි එක්සත් ජනපද සෙනෙට් සභික මසී හිරෝනෝ පැවසුවේ, ඇය “ඛේදවාචකයට නිදහසට කරුනු ඉදිරිපත් කිරීමට” නොයන බවයි. නමුත් නිලධාරීන් ගින්නට මෙතරම් සූදානම් නොවන්නේ මන්දැයි ටැපර්ගෙන් විමසූ විට ඇය විශ්මය දනවමින් ප්‍රකාශය කලේ, “මම හිතන්නේ අපි ලබා දිය යුතු ආකාරයේ සහයෝගයක් ලබා දීම සඳහා අපි බොහෝ දේ කරනවා, නමුත් සෑම විටම තව තවත් ලබා දෙන ලෙස ඉල්ලීම් පවතිනු ඇති.'
මෙය, තත්ත්වය මෞයි වැසියන් දකින ආකාරයට නොවේ. සුලඟින් උසිගන්වන ලද ගිනිදැල් හාත්පස අවුලුවමින් ලහයිනා වෙත ලඟා වෙමින් තිබියදී ඒ පිලිබඳ නිවැසියන්ට අනතුරු ඇඟවීමක් නොකිරීම ගැන ඔවුන් කම්පනයට හා කෝපයට පත්ව සිටිති. දිවි ගලවා ගත් නොයෙක් අය රූපවාහිනී වාර්තාකරුවන්ට පවසා ඇත්තේ, මිනිසුන්ට ගින්නෙන් ගැලවීමට උදව් කිරීමට, අතුරුදහන් වූ ආදරනීයයන් සමඟ සන්නිවේදනය කිරීමට හෝ රෝහල් හෝ හදිසි ඒජන්සි සම්බන්ධ කර ගැනීමට කිසිදු නිලධාරියෙක් එම ස්ථානයේ නොසිටි බවයි.
දරුනුතම ලැව්ගිනි අවසන් වී දින කිහිපයකට පසුවත්, දහස් ගනන් ජනයා නිවාස අහිමිව සහ ආහාර නොමැතිව සිටි අතර තම ජීවිත බේරා ගැනීමට සිදුවූයේ තමතමන්ටම ය. ෆෙඩරල් හදිසි කලමනාකරන ඒජන්සිය (FEMA) සහ පැසිෆික් ආපදා මධ්‍යස්ථානයට අනුව ඉරිදා වන විට නවාතැන් අවශ්‍ය පුද්ගලයින් 4,500 ක් පමන සිටියහ.
කම්කරු පන්තියේ පදිංචිකරුවන් සඳහා අවශ්‍ය හදිසි ආහාර සහ මුදල් සැපයීම ස්වේච්ඡා සේවකයන් විසින් සංවිධානය කර සම්පූර්නයෙන්ම ප්‍රජා මට්ටමින් පවත්වාගෙන යන බවට ලෝක සමාජවාදී වෙබ් අඩවියට වාර්තා ලැබී ඇත. ආන්ඩුව පිලිබඳ කලකිරීමේ, කෝපයේ සහ අවිශ්වාසයේ මට්ටම මහජනයා තුල පැහැදිලිව දැකිය හැක.
මෞයි දූපත යනු, ඇමරිකාව පුරා පවතින සමාජ අසමානතාවයේ ක්ෂුද්‍ර ලෝකයකි. මෑත දශක කිහිපය තුල හවායි හි ආදායම් විෂමතාව ඉහල ගොස් ඇත. 2022 දී එක් අධ්‍යයනයකට අනුව, මෞයි ප්‍රාන්තයේ වත්කම් සීමිත, ආදායම් හිඟ, රැකියා සහිත (ALICE) කුටුම්භවල ප්‍රතිශතය, එනම් යන්තම් ඩොලර් 35,000 කට වැඩි ආදායමක් ඇති පුද්ගලයින් හෝ ඩොලර් 72,000ක ආදායමක් ඇති සිව් දෙනෙකුගෙන් යුත් පවුල් සියයට 52 ක් හෙවත් ජනගහනයෙන් අඩකට වඩා වැඩිය. මෙය හවායි ප්‍රාන්තයේ ඉහලම අනුපාතයයි.
මෞයි යනු ලොව ධනවත්ම පුද්ගලයන් කිහිප දෙනෙකුට අයත් දේපල සහ වාසස්ථාන පිහිටි ස්ථානය ද වේ. ඇමසන් හි හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ ජෙෆ් බෙසොස්ට මෞයි හි වැලි අයිල් හි ලා පෙරෝස් බොක්කෙහි අක්කර දහස් ගනනක අක්‍රිය ලාවා ක්ෂේත්‍ර වලින් වටවී ඇති ඩොලර් මිලියන 78 ක, අක්කර 14 ක වතුයායක් හිමි ය. ඩොලර් බිලියන 2.5 ක පුද්ගලික ධනයක් ඇති ඔප්රා වින්ෆ්රේට දිවයිනේ අක්කර 2000 ක් හිමිය.
මෞයි හි දේපල ඇති අනෙකුත් ප්රකෝටිපතියන් අතරට පේපෑල් සම-නිර්මාතෘ පීටර් තියල්, එන්විඩියා ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාං සහ මෘදුකාංග ව්‍යාපාරික ඩේවිඩ් ඩෆීල්ඩ් ඇතුලත් වේ. ෆේස්බුක් (Meta) ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් (ඩොලර් බිලියන 107) සහ ඔරකල් ප්‍රධාන විධායක නිලධාරී ලැරී එලිසන් (ඩොලර් බිලියන 141) එක් අයෙකුට මවුයි අසල හවායි දූපත් වන ලනායි සහ කවායි හි අක්කර දහස් ගනනක් බැගින් හිමි ය.
මෙම ප්රකෝටිපතියන් සහ වෙනත් අය දශක ගනනාවක් තිස්සේ සාමාන්‍යයෙන් නිවාඩු නිකේතන ලෙස පමනක් නොව, ඔවුන්ගේ වත්කම් රඳවා තබන ස්ථාන ලෙස ද හවායි හි ඉඩම් සහ නිවාස මිල දී ගෙන ඇත. මෙම පුද්ගලයින්ගෙන් සමහරක් මෞයි ව්‍යසනය ගැන නිහඬව සිටින අතර තවත් සමහරු මහජන සම්බන්ධතා පිලිබඳ අරමුනු පෙරදැරිව පුන්‍ය කටයුතු වලට ඉදිරිපත් වී සිටිති.
මෞයි ලැව්ගින්න, ධනේශ්වර පන්තියේ සහ එහි ආයතනවල සාපරාධී නොසැලකිල්ල හෙලිදරව් කර ඇති—සුලි කුනාටු, භූමිකම්පා, සුනාමි, ටොනාඩෝ සහ අනෙකුත් පාරිසරික ව්‍යසනයන් වැනි—නරක අතට හැරෙන ස්වභාවික විපත් මාලාවකින් එකකි. නිදසුනක් වශයෙන්, කිසිදු ඵලදායි ප්‍රතිචාර දැක්වීමේ පියවරක් ගැනීමට ආන්ඩුවට ඇති නොහැකියාව සහ ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, 2005 දී කැත්රිනා සුලි කුනාටුවෙන් නිව් ඕර්ලියන්ස් නගරය විනාශයට පත් වූ අතර, ඇති වූ ගංවතුර හේතුවෙන් 1,392 දෙනෙකුට ජීවිත අහිමි විය.
පෘථිවියේ අනෙකුත් සෑම තැනකම මෙන් හවායි හිද වර්ධනය වී ඇති කොන්දේසි, දේශගුනික විපර්යාසයේ විනාශකාරී බලපෑම නැවැත්වීමට අවශ්‍ය වන්නේ සමස්ත ලාභ පද්ධතියට එරෙහිව ජාත්‍යන්තරව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම යන කාරනය සහතික කරයි. පුද්ගලික ධනය සමුච්චය කිරීම මිනිස් ජීවිතයට ඉහලින් තබන මූල්‍ය ප්රභූව අතින් සමාජයේ සම්පත් උදුරාගෙන ඒවා සැලසුම් සහගත සමාජවාදී පදනමක් මත ප්‍රතිසංවිධානය කිරීමෙන් පමනක් කම්කරු පන්තියට ධනවාදය විසින් නිර්මිත ව්‍යසනයන් වලක්වා ගත හැකිය.
