[මෙය IYSSE holds well-attended anti-war meeting at Peradeniya University in Sri Lanka යන මැයෙන් 2023 අගෝස්තු 27 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
අගෝස්තු 22 දා, ශ්‍රී ලංකාවේ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) “යුක්රේනය තුල යුද්ධය නතර කරන්නේ කෙසේද?” යන මැයෙන් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේදී රැස්වීමක් පැවැත්වීය. සියයකට අධික සිසුන් පිරිසකගේ සහ දුසිමකට ආසන්න විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුනු රැස්වීමට, සසජාතශී ඉල්ලීමකට අනුව අනුග්‍රහය දැක්වූයේ පේරාදනිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමයයි.
සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දේශපාලන කමිටු සාමාජික පානි විජේසිරිවර්ධන දේශනය පැවැත්වූ අතර, එය දේශපාලන කමිටුවේම සාමාජිකයෙකු වන ශ්‍රී හරන් විසින් දෙමලට පරිවර්තනය කලේය.
සසප සහ සසජාතශි සාමාජිකයෝ රැස්වීමට සතියකට පමන පෙර සිටම, යුක්රේනය ආක්රමනය කිරීමට පුටින් තන්ත්රය ප්රකෝපකරනය කල යුක්රේනය තුල එක්සත් ජනපද සහ නැටෝ යුද්ධය පිලිබඳව ශිෂ්‍යයින්, ආචාර්යවරුන් සහ අනධ්‍යයන සේවකයින් අතර උද්ඝෝෂනයක යෙදුනාහ. එමෙන්ම ඔවුහු වැඩෙන ලෝක යුද අන්තරාය සහ ගෝලීය ගැටුමක් වැලැක්වීම සඳහා අත්‍යාවශ්‍ය ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගය පිලිබඳව සාකච්චා කලහ.
රැස්වීම ආරම්භ කරමින් දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී මහාචාර්ය උපුල් අබේරත්න මෙසේ කීවේය: “සමාජවාදී සමානතා පක්ෂය ලෝක දේශපාලන වර්ධනයන් සමීපව හදාරන ව්‍යාපාරයක්...මාක්ස් කොමියුනිස්ට් ප්රකාශනයෙදි කිව්වා ‘සකල ලෝකවාසී නිර්ධනයනි එක්වව්’ කියලා. මේකේ හැඟවුම්කාරක දෙකක් තියෙනවා. පලමුවැන්න ලෝකයේ සියළු ජීවීන්ට පොදු උරුමයක් තියෙන්නෙ. දෙවැන්න, එහි අර්ථය නම් පටු වර්ගවාදී හැඟීම් වලින් ඔබ්බට ගිහිල්ලා ලෝකයේ වැඩ කරන ජනතාව ලෙස ඒකරාශී විය යුතුයි කියන වැදගත් පනිවිඩය.”
බහු-ආගමික සහ බහු-වාර්ගික විශ්වවිද්‍යාලයක් තුල එකමුතු වීමට මාවතක් පෙන්වමින්, යුද විරෝධී රැස්වීමක් පැවැත්වීමට යෝජනා කිරීම ගැන ඔහු සසපට ස්තූති කලේය. මහාචාර්ය අබේරත්න කම්කරුවන් වර්ගවාදී පදනම් මත බෙදීමට වැඩ කරන වාම යැයි හඳුන්වාගන්නා සංවිධාන විවේචනය කල අතර ශිෂ්‍යයින්ට සසප පවසන කාරනා බැරෑරුම්ව සැලකිල්ලට ගන්නා ලෙස කැඳවුම් කලේය.
රැස්වීමේ මුලසුන දැරූ සසජාතශි කැඳවුම්කරු කපිල ප්‍රනාන්දු මහාචාර්ය අබේරත්නට, එම පීඨයේම ජ්‍යේෂ්ඨ කථීකාචාර්යවරයෙකු වන සුමුදු වලාකුලුගේ ට සහ දේශපාලන විද්‍යා සංගමයට රැස්වීමට අනුග්‍රහය දැක්වීම පිලිබඳව ස්තූති කලේය.
එක්සත් ජනපද සසප වෙනුවෙන් ඇන්ඩෲ ඩේමන් ගේ වීඩියෝ සුබ පැතුම් පනිවිඩය රැස්වීමේදී ප්‍රදර්ශනය කෙරිනි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඉදිරි දිනවලදී ඔහුගේ සම්පූර්න වීඩියෝ පනිවිඩය සිංහල සහ දෙමල උපසිරැසි සහිතව පල කරනු ඇත.
විජේසිරිවර්ධන යුක්රේන යුද්ධයේ ආරම්භ කල තැනෙහි පටන් ජාත්‍යන්තරවම සසජාතශි පැවැත්වූ යුද විරෝධී රැස්වීම් වල ඡායාරූප පෙන්වමින් ඔහුගේ කතාව ආරම්භ කලේය. ඔහු පේරාදනිය විශ්වවිද්‍යාලයේ රැස්වීම කම්කරුවන්ගේ හා තරුනයන්ගේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර උද්ඝෝෂනයේ කොටසක් බව පැහැදිලි කලේය.
දේශකයා යුක්රේන හමුදා වල “වසන්ත ප්‍රහාරයේ” අසාර්ථකභාවය පිලිබඳව එක්සත් ජනපද රහස් තොැතුරු අංශවල ආසන්නතම වාර්තා ගැන සඳහන් කලේය.
“එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට තම මිලිටරි සහ භූ-දේශපාලනික අරමුනුවල කිසියම් හෝ අසමර්ථභාවයක් දරා සිටිය නොහැකියි. බයිඩන් පරිපාලනය යුක්රේනයට F – 16 ප්‍රහාරක ජෙට් යානා සහ පොකුරු බෝම්බ යැවීමට සූදානම්. එය ආයුධ වෙනුවෙන් සෘජුවම ඇමරිකානු ඩොලර් බිලියන 70 ක් ඇතුලුව යුද්ධය සඳහා ඩොලර් බිලියන 113 ක් අනුමත කරලා තියෙන්නෙ.” විජේසිරිවර්ධන කීවේය
යුද්ධයේ වඩාත් අනතුරුදායකම සාධකය වන ලෝකයේ න්‍යෂ්ටික ආයුධ වලින් සියයට 70ක් එක්සත් ජනපදය සහ රුසියාව සතු වන බව පෙන්වමින් දේශකයා අනතුරු ඇඟවුයේය.
යුද්ධය පැහැදිලි කල හැක්කේ “පලමු වෙඩිල්ල තැබුවේ කවුරුන්ද” යන්නෙන් නොව එහි මූලයන් පිලිබඳ අවබෝධකරගැනීමෙන් පමනක් කී විජේසිරිවර්ධන නැටෝවේ ඓතිහාසික ප්රසාරනය සහ එහි රුසියාව වැටලීම පිලිබඳව පෙන්වා දුන්නේය.
මෙහි අන්තර් සම්බන්ධිත සාධක දෙකක් පවතින බව කියමින් ඔහු දේශනය ඉදිරියට ගෙන ගියේය. “ඉන් පලමුවැන්න සෝවියට් සංගමය පාලනය කල ස්ටැලින්වාදී නිලධාරි තන්ත්රය විසින් සිදු කරන ලද ධනේශ්වර පුනස්ථාපනය සහ 1991 දී සෝවියට් සංගමය බිඳ විසුරුවා හැරීමයි. දෙවැන්න, ගෝලීය තරගකරුවන්ට සාපේක්ෂව බිඳ වැටෙමින් පවත්නා එක්සත් ජනපදයේ ආර්ථික බලය සහ එය සතු දැවැන්ත මිලිටරි බලය යොදා පරිහානිය පියවීමට දරන ප්රයත්නයයි.”
“2014 දී රුසියාවට හිතපක්ෂපාතී යුක්රේනයේ හිටපු ජනාධිපති වික්ටර් යනුකොවිච් බලයෙන් පහකොට තම සගයෙකු පත්කර ගැනීමට එක්සත් ජනපදය කුමන්ත්රනය කලා. පසුව බලයට පත් වූ ජනාධිපති සෙලෙන්ස්කි එම දේශපාලන කුමන්ත්රනයේ මාවත අනුගමනය කල අතර ඉන් පසු රුසියාව සමග පලල් ගැටුමක් සඳහා වොෂින්ටනය විසින් සෙලෙන්ස්කිව තල්ලු කලා.”
“ඇමරිකා අධිරාජ්‍යවාදයේ මේ ප්රකෝපකරනයන්ට පුටින් ප්‍රතිචාර දැක්වූයේ, අධිරාජ්‍යවාදීන් බලාපොරොත්තු වූ පරිදිම යුක්රේනය තුලට ආක්රමනයක් දියත් කරමින්.” යැයි කීවේය.
“යුක්රේනය සහ රුසියාව ප්රතිමල්ලව රාජ්‍යයන් දෙකක් ලෙස එකිනෙකට අභිමුඛව කොට මේ ලේවැකි ව්‍යසනය නිර්මානය කෙරී ඇත්තේ සෝවියට් සංගමය විසුරුවා හැරීමේ ඝෘජු ප්‍රතිඵලයක් ලෙසින්. රුසියානු විප්ලවයේ උරුමය හෙලා දකින පුටින් තන්ත්රය නියෝජනය කරන්නේ සෝවියට් සංගමය බිඳ විසුරුවා හැරීමෙන් පසුව බිහිවූ සහ එහි සම්පත් සූරාකෑම මත පදනම් වූ රුසියානු කතිපයාධිකාරයයි.”
විජේසිරිවර්ධන රුසියාවේ ස්වභාවික සම්පත් ගැන විමර්ශනය කරමින් ලෙනින්ගේ අධිරාජ්‍යවාදය, ධනවාදයේ ඉහලම අවධිය කෘතියෙන් උපුටා දැක්වූයේය. 'ධනවාදය වැඩි වැඩියෙන් වර්ධනය වන තරමට, අමුද්‍රව්‍ය සඳහා අවශ්‍යතාවය වැඩිවෙයි, කටුක තරඟකාරිත්වය වැඩිවෙයි, අමුද්‍රව්‍ය සඳහා දඩයම ලොව පුරා උග්‍ර වෙයි, යටත් විජිත අත්පත් කර ගැනීමේ අරගලය වඩාත් මංමුලා සහගත වෙයි.'
ඇමරිකානු සහ යුරෝපියානු අධිරාජ්‍යවාදී බලයන්ගේ මූලික එල්ලය රුසියාවේ පවතින දැවැන්ත ස්වභාවික සම්පත් සූරා කෑම බව විජේසිරිවර්ධන පෙන්වා දුන්නේය. එමෙන්ම එක්සත් ජනපදයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිමල්ලවයා මෙන්ම එක්සත් ජනපදය යුක්රේනය තුල යුද්ධය උත්සන්න කිරීමේ ප්‍රධාන භූ මූලෝපායික එල්ලය චීනය බව ඔහු පෙන්වා දුන්නේ ය.
චීනයට එරෙහි එක්සත් ජනපද අධිකාරීත්වය යටතේ සිදු කරන යුද ධාවනයේ ප්‍රධාන මූලෝපායික සහකරුවා ඉන්දියාව බව කථිකයා සඳහන් කලේය. “ඉන්දියානු සාගර කලාපයේ ඉතා වැදගත් මූලෝපායික ස්ථානයක පිහිටා තිබෙන ශ්‍රී ලංකාව, චීනය වටලෑමේ මූලෝපාය සමග මුලුමනින්ම පෙලගස්වා ගැනීම වොෂින්ටනයට සහ නවදිල්ලියට අත්‍යවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් කොලඹට යෙදෙන පීඩනය වඩාත් ඉහල නංවමින් පවතිනවා.”
“13 වන ව්‍යවස්ථා සංශෝධනය (දෙමල ජනතාව බහුතරය වෙසෙන පලාත් වලට සීමිත බලය බෙදා හැරීමක් සිදු කෙරෙන පරිදි රටේ ව්‍යවස්ථාවට එක් කල) මුලුමනින්ම ක්‍රියාත්මක කල යුතු බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රකාශ එහි කොටසක්” ඔහු කීවේය. විජේසිරිවර්ධන චීනයට එරෙහි යුද්ධය සඳහා ජපානය, දකුනු කොරියාව සහ ඕස්ට්‍රෙලියාව සමග වොෂින්ටනයේ මිලිටරි සූදානම විමර්ශනය කලේය.
“යුද්ධය වනාහී ලාභ පද්ධතිය පද්ධතිය මුල් බැසගෙන ඇති ගෝලීය ආර්ථිකය සහ ජාතික රාජ්‍ය පද්ධතිය අතර විසඳිය නොහැකි ගැටුමේ ප්රතිඵලයයි. මෙම යුද්ධය අවසන් කල හැක්කේ, එහි මූලය වන ලෝක ධනවාදය පෙරලා දැමීමෙන් පමනි. එය කල හැකි එකම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පංතිය යි. යුද්ධය නැවැත්වීම සඳහා සටන වනාහී සමාජවාදය සඳහා සටනයි.”
විජේසිරිවර්ධන පේරාදෙනිය විශ්ව විද්‍යාලය තුල සසප සහ සසජාතශි ගොඩනගන ලෙස සිසුන්ට කැඳවුම් කල අතර 1937 දී ඩූවි කොමිසම ඉදිරියේ ට්‍රොට්ස්කි කල කතාවකින් උපුටමින් දේශනය නිමාවකට ගෙන ආවේය.
“සත්‍ය වසයෙන් ම යුද්ධය විප්ලවය ඉක්මන් කර තිබේ. එහෙත්, හරියට ම මෙම කරුන නිසාම, එය නිරන්තරයෙන් ගබ්සා වීමේ විපාකයට ද මුහුනදෙයි. යුද්ධය සමාජීය පරස්පර-විරෝධයන් හා මහජන අතෘප්තිය තියුනු කරයි. එහෙත් නිර්ධන පන්තියේ විජයග්‍රහනයට එය ප්‍රමානවත් නො වේ. මහජනතාව තුල මුල් බැසගත් විප්ලවවාදී පක්ෂයකින් තොර වූ විට, විප්ලවවාදී තත්ත්වය අතිශය රුදුරු පරාජයන්ට ගොදුරු වේ.”
දේශනය අවසානයේදී සජීවී ප්‍රශ්න සහ පිලිතුරු සැසියක් පැවැත්විනි. “යුක්රේනය සහ රුසියාව සෝවියට් සමූහාන්ඩු සංගමයේ සමාජිකයන්. නැවතත් මෙම රටවල් දෙක එකමුතු කලහොත් යුද්ධය අවසන් කල හැකිද?” එක් ශිෂ්‍යයෙක් විමසුවේය
“1917 ඔක්තෝබර් විප්ලවය ලෝක සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා සහ ධනපති ජාතික රාජ්‍ය පද්ධතිය මුලිනුපුටා දැමීමේ පලමු පියවරයි. ඔක්තෝබර් විප්ලවයෙන් පසු 1922 දෙසැම්බර් මාසයේදී, සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය ගොඩනැගුවේ රුසියාව, යුක්රේනය සහ අනෙකුත් රටවල් ස්වේච්ඡාමය පදනමක් මත එකමුතු කිරීමෙන්.”
“සෝවියට් සංගමය බිඳ විසුරුවාලීම ස්ටැලින්වාදී නිලධරය දුටුවේ ස්ටැලින්වාදී පිටුබලය යත් රුසියානු කතිපයාධිකාරය සිය ධනපති රාජ්‍යය පිහිටුවීම ලෙස වන අතර ඉන් යුක්රේනය තවත් ධනපති රාජ්‍යයක් බවට පත් විය. යුක්රේනයේ වර්තමාන ජනාධිපති සෙලෙන්ස්කි යටතේ එය රුසියාව කැබලි කිරීමට එක්සත් ජනපද- නැටෝ බලයන්ට සහය දෙන අධිරාජ්‍යවාදයේ කුලී හේවායෙක් බවට පත්ව ඇත.”
“මෙම රටවල් ධනපති ක්රමයේ පදනම මත එකමුතු කල නොහැකියි. එනිසයි අපි රටවල් දෙකේම කම්කරුවන්ට රටවල් දෙකේම ධනපති තන්ත්ර පෙරලා දමා, රුසියානු සහ යුක්රේනියානු සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා සටන් කිරීමට එකමුතු වන ලෙස කැඳවුම් කරන්නේ.”
දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙක් වන එම්.එම්.ඉජාස් දේශනය අගය කරමින් මෙසේ ඇසුවේය: “දැවැන්ත පෞද්ගලික ආයෝජනයන්ගේ භූමියක් බවට පත් කොට ඇති චීනය ගැන සසප ආස්ථානය කුමක්ද?”
1949 විප්ලවයට නායකත්වය දුන් මාඕ සේතුං සහ චීන කොමියුනිස්ට් පක්ෂය (සීසීපී) “තනි රටේ සමාජවාදය” මත පාදක වූවන් බව විජේසිරිවර්ධන පෙන්වා දුන්නේය. එය රුසියානු විප්ලවය පාදක වූ ලෙනින් සහ ට්‍රොට්ස්කි වර්ධනය කල ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියා මාර්ගයට පරම සතුරු ප්‍රති මාක්ස්වාදී න්‍යායකි.
“1949 විප්ලවයෙන් පසු, සීසීපීයට දේපොල මත පුද්ගලික අයිතිය අහෝසි කිරීමට බල කෙරුනා. නමුත්, 1989 දී චීන නිලධරයයේ ප්රජාතන්ත්ර විරෝධී පාලනයට, ගැඹුරු වන ආර්ථික අර්බුදයට එරෙහිව පැන නැගුනු කම්කරුවන්ගේ සහ තරුනයින්ගේ නැගිටීම රුදුරු ලෙස තලා දමමින් විදේශ ආයෝජන සඳහා සිය දොරටු විවෘත කල” බව ඔහු වැඩි දුරටත් කීවේය.
“එක්සත් ජනපදය රුසියාව කැබලි කිරීමේ උත්සාහය තියුනු කරන අතරම චීනයට එරෙහිව යුද සූදානම වැඩි දියුනු කරමින් සිටී. සී ජිං පිං නායකත්වය දරන චීන නිලධරයට අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව කිසිදු ප්රගතිශීලී විසඳුමක් නොමැති අතර එය මිලිටරි සන්ධානයක් සඳහා පුටින් ඇතුලුව සහකරුවන් ලුහු බඳිමින් සිටී. වැඩෙන යුද අන්තරායට එරෙහිව පිලිවෙතක් වර්ධනය කල හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියට පමනයි.”
රැස්වීම අවසානයේදී ශිෂ්‍යයෝ සසජාතශි සාමාජිකයින් සමග වැඩි දුර සාකච්ඡා කිරීමට ඇති උනන්දුව ප්‍රකාශයට පත් කලහ.
දේශපාලන විද්‍යා අංශයේ දෙවන වසර ශිෂ්‍යයෙක් මෙසේ කීවේය: “දේශනය යුද්ධයේ විනාශය සහ ඒකෙ ඇඟවීම් ගැන කතාකලා. මට මේ දේශනයෙන් සමාජවාදී සමානතා පක්ෂයේ දේශපාලන වැඩපිලිවෙල ගැන යම් පැහැදීමක් ඇතිවුනා. නමුත් මේ වැඩපිලිවෙල ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සහ මහජනයා අතරට ගෙනියන්නෙ කොහොමද කියන එක ගැන යම් ගැටළු තියෙනවා. මම කැමතියි ඒ ගැන මේ සංවිධානය එක්ක සාකච්ඡා කරන්න.”
“රැස්වීමේදී විශ්ව විද්‍යාල වල දැනට ආධිපත්‍යය දරන දේශපාලන සංවිධාන ගැන කල සඳහන් නිවැරදියි. මේවායෙ ඉන්න ශිෂ්‍ය සංගම්වල නායකයො මෙවන් වැඩපිලිවෙලක් ක්‍රියාවට දාන එකට හතුරුයි. ඒකට හේතුව ඔවුන්ගේ දේශපාලනයට මේ ප්‍රශ්න විසඳන්න හැකියාවක් නෑ.”
“යුද්ධය සහ විප්ලවය සම්බන්ධ තීරනාත්මක ප්‍රශ්න ඔවුන්ට පෑහෙන්නෙ නෑ. පහුගිය මහජන නැගිටීම පැරදුනේ කම්කරු පන්තික නායකත්වයක් නොතිබීම නිසා කියන දේ දේශකයා පැහැදිලි කලා. යුද්ධයටත් අනෙකුත් ප්‍රශ්න වලටත් උත්තරේ ඒ වගේ නායකත්වයක් සම්පාදනය කිරීමයි.”
