සසජාතශි ප්‍රසිද්ධ රැස්වීම: “ලියොන් ට්‍රොට්ස්කි සහ ඉතිහාසය තුල ඔහුට හිමි ස්ථානය”

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය, “ලියොන් ට්‍රොට්ස්කි සහ ඉතිහාසය තුල ඔහුට හිමි ස්ථානය“ යන මාතෘකාව යටතේ එලඹෙන මැයි මස 15 වන බදාදා, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දී ප්‍රසිද්ධ දේශනයක් පවත්වයි.

එම දේශනය, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන් පවත්වන මාක්ස්වාදී දේශන මාලාවේ තෙවැන්නයි. පලමු දේශනය ඓතිහාසික භෞතිකවාදය සම්බන්ධවත් දෙවැන්න කොමියුනිස්ට් ප්‍රකාශනය පිලිබඳ අධ්‍යයනයක් යන මැයෙන් ද පැවැත්වුනි.

1917 ඔක්තෝබර් විප්ලවයේ දී වී.අයි.ලෙනින් සමග සම නායකත්වය ගත් ලියොන් ට්‍රොට්ස්කි (1879-1940) විසිවන සියවස තුල සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා අරගලයේ නිමග්න වූ සුධීමත්ම මාක්ස්වාදියා වෙයි.

අධිරාජ්‍යවාදී යුගය තුල පසුගාමි රටවල ජාතික ධනපති පන්තිය, ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කර්තව්‍යයන්සම්පූර්න කිරීමට මුලුමනින් ම අසමර්ථ බව ට්‍රොට්ස්කි 1905 වර්ධනය කල නො නවතින විප්ලව න්‍යායෙන් පෙන්වා දුනි. එය කල හැක්කේ කම්කරු පන්තිය, පීඩිත ගොවියන්ගේ සහාය මත සමාජවාදය සඳහා සටන් වැදීමෙන් පමනි. නොනවතින විප්ලව න්‍යාය, ලෝක සමාජවාදී විප්ලවයේ පලමු පියවර වූ 1917 ඔක්තෝබරයේ දී රුසියානු කම්කරු පන්තියට දේශපාලන බලය ගැනීමට මග පෙන්වී ය.

1920 ගනන් මුල ජර්මනියේ සහ යුරෝපයේ රටවල් තුල විප්ලව පරාජය වීමෙන් පසු පලමු කම්කරු රාජ්‍ය තුල ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය විසින් ප්‍රවර්ධනය කල ප්‍රති-මාක්ස්වාදී සහ ජාතිකවාදී න්‍යායක් වූ “තනි රටක සමාජවාදයට” එරෙහිව ට්‍රොට්ස්කි තීරනාත්මක දේශපාලන අරගලයක් දියත් කලේ ය.

රුසියාවේ සහ ජාත්‍යන්තර පරිමානව කම්කරුවන් ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයෙන් සන්නද්ධ කිරීමට හා සෝවියට් ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රයට එරෙහි දේශපාලන අරගලය ගැඹුරු කිරීමට 1923 දී ට්‍රොට්ස්කි වාම විපාර්ශවය පිහිටුවේ ය.

දේශපාලන විප්ලවයකින් සෝවියට් කම්කරු පන්තිය ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය පෙරලා නො දැමුවහොත් සෝවියට් සංගමය තුල ධනවාදය පුනස්ථාපනය කරන බවට 1930 ගනන්වල දී ට්‍රොට්ස්කි අනතුරු ඇඟවී ය. එම අනතුරු ඇඟවීම 1991 සෝවියට් සංගමය බිඳ විසිරවීම තුලින් නිෂේධනාත්මකව සනාත වී ඇත.

1938 දී හතර වන ජාත්‍යන්තරයේ පදනම් ලියවිල්ල තුල ධනවාදයේ මරලතෝනිය ලෙස ඔහු කල ගුනාංගීකරනය, අධිරාජ්‍යවාදීන්ගේ සහාය ලත් ඊස්‍රායලය විසින් ගාසා තීරයේ පලස්තීනුවන් සමූල ඝාතනය කිරීම, රුසියාවට එරෙහි ඇමරිකාව ප්‍රමුඛ නේටෝ බලයන් යුක්‍රේනය තුල ගෙන යන බිහිසුනු යුද්ධය සහ තුන්වන න්‍යෂ්ටික ලෝක යුද්ධයක අන්තරාය මතු කර ඇති චීනයට එරෙහි යුද සූදානම මගින් පිලිඹිඹු කෙරේ.

ට්‍රොට්ස්කි ලියූ එම ප්‍රකාශය අදටත් එලෙසම අදාල වේ: “මීලග ඓතිහාසික යුගයේදී සමාජවාදී විප්ලවයක් සිදු නොවුනහොත් මානව වර්ගයාගේ මුලු මහත් සංස්කෘතියට ම මහා විනාශයක් එල්ල වන්නේය. දැන් වාරය නිර්ධන පංතියටයි. එනම්, ප්‍රධාන වශයෙන්ම එහි විප්ලවවාදී පෙර ඇනියටයි. මානව වර්ගයාගේ ඓතිහාසික අර්බුදය විප්ලවවාදී නායකත්වයේ අර්බුදය බවට සිඳී ඇත්තේය.”

අද කම්කරු පන්තිය මුහුන දී සිටින්නේ, විසිවන සියවසේ පලමු දශක හතර පුරා ට්‍රොට්ස්කි විශ්ලේෂනය කල - ලෝක යුද්ධය, ෆැසිස්ට්වාදය, ධනවාදයේ ගෝලීය අර්බූදය හා සමාජ විප්ලවය - වැනි සංසිද්ධීන්වලටමය. අධිරාජ්‍යවාදී යුද්ධයට, සමාජ අසමානතාවයට සහ ධනවාදයට එරෙහිව කම්කරු පන්තියේ වර්ධනය වන අරගල ජයග්‍රහනය කරා මෙහෙයවීමට හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් වර්ධනය කර ඉදිරියට ගෙන යන ට්‍රොට්ස්කිගේ දැවැන්ත මාක්ස්වාදී විශ්ලේෂන අධ්‍යයනය කර ස්වීකරනය කර ගත යුතු ය.

ට්‍රොට්ස්කිගේ අරගලය සහ ඉතිහාසය තුල ඔහුට අයත් ස්ථානය සම්බන්ධ මෙම වැදගත් දේශනයට සම්බන්ධවන්නැයි අපි ශිෂ්‍යයන්ට, ආචාර්යවරුන්ට, කම්කරුවන්ට හා තරුනයන්ට කැඳවුම් කර සිටිමු.

වේලාව: මැයි 15 බදාදා, සවස 5 ට.
ස්ථානය: කාමර අංක 86, දේශපාලන විද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙනිය විශ්වවිද්‍යාලය.
Loading