ශ්‍රී ලංකාව: එක්සත් ජනපද විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අත නොතබනු! ජනසංහාරයට විරෝධය දක්වන සියල්ලන්ගේ ආරක්ෂාවට කම්කරු පන්තිය බලමුලුගන්වනු!

(මෙය Sri Lanka: Hands off US university students! Mobilise the working class in defense of all those protesting against genocide! මැයෙන් 2024 අප්‍රේල් 30දා පල කල සසජාතශි ප්‍රකාශයේ පරිවර්තනය යි.)

ගාසා තීරය තුල ඊස්රායලය ගෙනයන ජනසංහාරයට විරෝධය දක්වන ශිෂ්‍යයන්, ජනාධිපති බයිඩන් ගේ පරිපාලනය විසින් පොලිස් මර්දනයට ලක්කිරීම, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) හෙලා දකී. කොලොම්බියා, දකුනු කැලිෆෝනියා, යේල්, නිව් යෝක් සිටි, මැසෂූසෙට්ස්, මිචිගන්, ඔහියෝ, උතුරු කැරොලිනා හා කැලිෆෝනියාවේ අනෙකුත් විශ්වවිද්‍යාලවලින්, විශ්ව විද්‍යාල කොලීජිවලින් හා අනෙකුත් බොහෝ ස්ථානවලින් ශිෂ්‍යයන් සිය ගනනක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විරෝධතාවේ යෙදෙන එක්සත් ජනපද ශිෂ්‍යයන් ආරක්ෂා කිරීමට හා ගාසා තීරය තුල නෙතන්යාහු ආන්ඩුව ගෙන යන ජනසංහාරක මිලිටරි මෙහෙයුමට විරෝධය දැක්වීමට අප හා එක් වන ලෙස ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල සියලු ශිෂ්‍යයන්ට සහ කම්කරු පන්තියට අපි කැඳවුම් කරමු.

2023 නොවැම්බර් 8දා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෝ සහ ආවාර්යවරු ගාසා තීරය තුල සටන් විරාමයක් ඉල්ලා සිටිති.

එක්සත් ජනපද ශිෂ්‍යයෝ, විරෝධතා නවත්වන ලෙස බයිඩන් පරිපාලනය සහ විශ්වවිද්‍යාල බලධාරීන් කරන නියෝග ද පොලීසියේ මර්දනය ද ධෛර්යය සම්පන්නව නොතකා සිටිති. ඇමරිකානු ශිෂ්‍යයන්ගේ අධිෂ්ඨානවත් ක්‍රියාවන් වනාහි, ඊස්රායලය පලස්තීනුවන්ට එල්ල කරන මිනීමරු ප්‍රහාරවලට එරෙහි තරුනයන්ගේ හා කම්කරුවන්ගේ ගෝලීය ව්‍යාපාරයක කොටසකි.

එක්සත් ජනපදය තුල පොලිස් කඩාපැනීම මිලිටරි මෙහෙයුම් මාලාවකට සමාන වේ. ශිෂ්‍යයන් අත්අඩංගුවට ගැනීමට පෙර, ඔවුන් ව ඡායාරූප හා වීඩියෝගත කරන ලද අතර, සමහර විශ්වවිද්‍යාලවල වහල මත ස්නයිපර් තුවක්කුවලින් සන්නද්ධ පොලිස් භටයන් රඳවා, ඔවුන්ගේ ආයුධ සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල කර තිබිනි.

ඩිමොක්‍රටික් පක්ෂයේ හා හිටපු ජනාධිපති ට්‍රම්ප් ගේ ෆැසිස්ට්වාදී රිපබ්ලිකන් පක්ෂයේ සහයෝගය සහිත ව බයිඩන් පරිපාලනය විසින් පොලිස් ම්ලේච්ඡත්වය කුලප්පු කරන ලදී. ඔවුහු, මාධ්‍යවල පිටුබලය සහිත ව, ශිෂ්‍ය විරෝධතා යුදෙව්-විරෝධී යයි ව්‍යාජ ලෙස කියා පාති. එහි අර්ථය වන්නේ ශිෂ්‍යයන් යුදෙව්වන්ට විරුද්ධ බව යි. මෙය අමූලික බොරුවකි. සත්‍ය වසයෙන් ම, යුදෙව් ශිෂ්‍යයෝ බොහෝ දෙනා ශිෂ්‍ය විරෝධතා උද්ඝෝෂනවලට සහභාගි වෙති.

සැබෑ යුදෙව්-විරෝධීන් වන්නේ අධිරාජ්‍යවාදී ආන්ඩු ය. 1930 ගනන්වල දී, එක්සත් ජනපදයේ ආන්ඩුව හිට්ලර් ගේ යුදෙව් සමූලඝාතනය නොදුටුවා සේ සිටියේ, යුදෙව් සරනාගතයන් දහස් ගනනක් ඇමරිකාවට ඇතුලුවීම වලක්වමිනි. අද දින ඊස්රායලයේ ආන්ඩුව, යුදෙව්වන්ට එරෙහි ව නාසීන් ගෙන ගිය වර්ගයේ ම වාර්ගිකහරන මෙහෙයුම් පලස්තීනුවන්ට එරෙහි ව ක්‍රියාවට දමමින් සිටී.

එක්සත් ජනපදයේ ශිෂ්‍යයන් මත බයිඩන් පරිපාලනය එල්ල කරන ප්‍රහාරය, නිදහස් ප්‍රකාශනය ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ව එල්ල කරමින් සිටින ප්‍රහාරයේ ප්‍රධාන පියවරකි. නෙතන්යාහු ආන්ඩුවේ සමූලඝාතන මෙහෙයුමට මූලික පිටුබලය සපයන්නා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය වන අතර, ජනසංහාරක ප්‍රහාර අඛන්ඩ ව කරගෙන යාම සඳහා, බයිඩන් පසුගිය බ්‍රහස්පතින්දා තවත් ඩොලර් බිලියන 26ක ආයුධ ඊස්රායලයට යැවීමට අනුමැතිය දුන්නේ ය.

පසුගිය වසරේ ඔක්තෝබරයේ ආරම්භ කල ගාසාවේ ම්ලේච්ඡ ආක්‍රමනය, පලස්තීන ජනයා සාපරාධී මිලිටරි ප්‍රහාරයකට බඳුන් කර තිබේ. ගාසාවේ ජීවත් වන මිලියන 2.2ක ජනයාගෙන් මිලියන 1.9ක් අවතැන් කර, 34,000ට අධික පිරිසක් මරා දමා, 80,000කට තුවාල සිදුකර ඇත. ගාසාවේ සමස්ත ජනගහනයට ආහාර, ජලය සහ වෛද්‍ය හා සනීපාරක්ෂක පහසුකම් අහිමි කිරීමට ඊස්රායලය පියවර ගෙන තිබේ. ප්‍රධාන රෝහල් පොලවට සමතලා කර ඇත්තේ රෝගීන් සහ වෛද්‍ය කාර්ය මන්ඩල එකසේ මරා දමමිනි.

අධිරාජ්‍යවාදී පිටුබලය සහිත මෙම යුද අපරාධ, ජාත්‍යන්තර ව කම්කරුවන් හා තරුනයන් අතර විරුද්ධත්වය අවුලුවා ඇත. එක්සත් රාජධානිය, ඉතාලිය, ජර්මනිය හා ප්‍රන්සය ඇතුලු යුරෝපය පුරා ද ඕස්ට්‍රේලියාව ඇතුලු සමස්ත ලෝකය පුරා ද කම්කරුවන්ගේ හා තරුනයන්ගේ විරෝධතා අඛන්ඩ ව ඉදිරියට යමින් පවතී.

පලස්තීනුවන්ගේ ඉරනම නො සලකා හරිමින් හා ඔක්තෝබර් 7දා ඊස්රායලයට එල්ල කල හමාස් ප්‍රහාරය “සිවිල් වැසියන් මහා පරිමානයෙන් මරා දැමීමක්” ලෙස හෙලා දකිමින්, ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුලසිට ම ගාසාවේ ඊස්රායල ආක්‍රමනය සමග පෙලගැසුනේ ය. සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුනේ ජාතික ජන බලවේගය ඇතුල ලංකාවේ විරුද්ධ පක්ෂ මුනිවත රකින්නේ, පලස්තීනුවන්ට එරෙහි ව ඊස්රායලය දෛනික ව ගෙන යන මහා පරිමාන ඝාතනවලට වක්‍ර ලෙස පිටුබලය දෙමිනි.

අන්තර්ජාලයේ පලවන ලාංකික පුවත්පතක් වන ද මෝනිං, බයිඩන් ආන්ඩුවේ පච සරල ව පුනරුච්ඡාරනය කරමින්, “එක්සත් ජනපදයේ නෛතික බලධාරියෝ විශ්ව විද්‍යාලවල යුදෙව්-විරෝධී ප්‍රහාරවලට එරෙහි ව ශක්තිමත් ව සිටගනිති” යන මාතෘකාව සහිත ලිපියක් පසුගිය සිකුරාදා, පල කලේ ය. මෙම වැරදි තොරතුරු මගින් මහජනයාගේ විඥානයට විෂකැවීම සඳහා එය හා ලංකාවේ අනෙකුත් මාධ්‍ය උත්සාහ කරමින් සිටිති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග පරිදි වික්‍රමසිංහ ආන්ඩුව ගෙන යන කප්පාදු පියවරයන්ට එරෙහි ව ලංකාවේ කම්කරුවෝ සහ ශිෂ්‍යයෝ විරෝධතාවල නිරත වී සිටිති. රජයට අයත් ව්‍යවසායයන් පුද්ගලීකරනය හෝ වානිජකරනය කිරීම, රැකියා දසදහස් ගනනක් විනාශ කිරීම, අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වෙන් කරන වියදම් ගැඹුරින් කපා හැරීම සහ ඉහල දමන ලද ජල හා විදුලිබල ගාස්තු ඇතුලු ආහාර හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මත බදු ඉහල දැමීම මෙම ම්ලේච්ඡ වැඩපිලිවෙලට ඇතුලත් වෙයි. සමස්ත ජනගහනයෙන් සියයට 25ට අධික පිරිසක් ආන්තික දරිද්‍රතාවේ ගිලී ජීවත් වන පසුබිමක, ලංකාවේ කම්කරුවෝ හා දුගීහු ඔවුන්ගේ සමාජ කොන්දේසි ආරක්ෂා කරගැනීමට සටන් කරමින් සිටිති.

මෙම පියරවයන්ට එරෙහි මජහන විරෝධයට වික්‍රමසිංහ ආන්ඩුව ප්‍රතිචාර දක්වා ඇත්තේ, කම්කරුවන්ට හා ශිෂ්‍යයන්ට එරෙහි ව සන්නද්ධ පොලීසිය මුදා හරිමින් සහ වැඩවර්ජනවලට එරෙහි ව අත්‍යවශ්‍ය මහජන සේවා පනත වැනි මර්දනීය නීති පනවමිනි.

පලස්තීන ජනයාට එරෙහි ඊස්රායල යුද්ධයට විරුද්ධ වන ලෙසත්, එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තර ව විරෝධතාවේ යෙදෙන ශිෂ්‍යයන්ට සහයෝගය පල කරන ප්‍රකාශ නිකුත් කරන ලෙසත්, තමන්ගේ ම විරෝධතා සංවිධානය කරන ලෙසත් ලංකාවේ, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර කම්කරුවන්ගෙන්, බුද්ධිමතුන්ගෙන්, ශිෂ්‍යයන්ගෙන් හා තරුනයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

බයිඩන් පරිපාලනයේ ද වික්‍රමසිංහ පාලනය ඇතුලු එහි ජාත්‍යන්තර සගයන්ගේ ද ප්‍රතිගාමී ප්‍රහාරවලට විරුද්ධ ව සටන් කල හැකි එක ම සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙතට හැරෙන ලෙස, සසජාතශි හා ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය, ගෝලීය පරිමාන තම සහෝදර සංවිධාන සමග එක්ව තරුන ජනයාගෙන් ඉල්ලා සිටිති.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ප්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරු අඟවා ඇති ලෙස, එක්සත් ජනපදය සහ එහි අධිරාජ්‍යවාදී මිතුරෝ ගාසාවට ඊස්රායලය එල්ල කරන ප්‍රහාරයට මුලුමනින් අනුමැතිය දෙති. ගාසා තීරය තුල ජනසංහාරය යනු, ඉරානයට විරුද්ධ ව වොෂින්ටනය තීව්‍ර කරමින් සිටින ප්‍රකෝපකරනයන්ගේ ද මානව වර්ගයා විනාශකාරී තුන්වන ලෝක යුද්ධයකට ඇද දැමීමට තර්ජනය කරන යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයේ ද කොටසකි.

ඉදිරියේ එන අපේ ජාත්‍යන්තර මැයි දින රැලියට සහභාගි වන ලෙස කම්කරුවන්ට, ශිෂ්‍යයන්ට හා තරුනයන්ට කැඳවුම් කරමින්, එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ හා ලෝසවෙඅ හි ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝරත් ප්‍රකාශ කරන පරිදි:

“ලෝක යුද්ධයක් සඳහා සූදානම් වීමේ නොවරදින ලකුනක් වන්නේ, විශ්ව විද්‍යාල “යුදෙව්විරෝධය” යන පචය යොදාගනිමින් ජන සංහාරයට එරෙහි ශිෂ්‍ය විරෝධතාවලට ෆෙඩරල්, ප්‍රාන්ත සහ ප්‍රාදේශීය ආන්ඩුවල ප්‍රචන්ඩ ප්‍රතිචාරයයි. මෙය, යුද්ධයට එරෙහි, සියලු දේශීය විරෝධයන්ට එරෙහිව එල්ල කෙරෙන දැවැන්ත ආන්ඩු මර්දනයේ පලමු අදියර පමනි. එතෙර යුද්ධය යනු සිය රට තුල යුද්ධයයි.”

“න්‍යෂ්ටික අවි භාවිතය, නොවැලැක්විය හැකි පරිදි ලෝක යුද්ධයක් දක්වා ව්‍යසනකාරී ලෙස උත්සන්න වීමේ දැවැන්ත අන්තරායට එරෙහිව, බරපතල හා දූරදර්ශී දේශපාලන මූලෝපායක් අවශ්‍ය වේ. ”

මැයි 4දා පවත්වනු ලබන අපේ ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලියේ දී, මෙම සමාජවාදී හා ජාත්‍යන්තරවාදී මූලෝපාය විස්තර කරමින් සාකච්ඡා කරනු ඇත. මෙම ඓතිහාසික සිද්ධියට ලියාපදිංචි වන මෙන් ශිෂ්‍යයන්ගෙන්, තරුනයන්ගෙන් හා කම්කරුවන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Loading