විශ්වවිද්‍යාල අනධ්‍යන සමිති අධ්‍යාපන ඇමතිට යැවූ ලිපිය වෘත්තීය සමිතිවල ද්‍රෝහී භූමිකාව ගැඹුරින්ම හෙලි කරයි

මාසික හිලව් දීමනාව (එම්සීඒ) ඉහල දමන ලෙස ඉල්ලා, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන්, අප්‍රේල් මස 29 වැනිදා සිට යලි අඛන්ඩ වැඩ වර්ජනයකට අවතීර්න වන බව දැනුම් දෙමින්, එම ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත ට යැවූ ලිපියක් පසුගිය දා මාධ්‍යයන්හි පලවිය.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය පරිපාලන සහ මුල්‍ය නිලධාරීන්ගේ සංගමය, අන්තර් විශ්වවිද්‍යාලයීය අධ්‍යන සහායක නිලධාරීන්ගේ සංගමය, අන්තර් විශ්ව විද්‍යාලයීය සේවා වෘත්තීය සමිතිය, සමගි සේවක සංගමය, සහ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම් විශ්වවිද්‍යාලීය බල මන්ඩලය යන වෘත්තීය සමිති එම ලිපියට අත්සන් තබා තිබුනි.

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා 2024 මාර්තු 13 වැනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවැති විරෝධතාව

කෙසේ නමුත් එම සමිතිවල සාමාන්‍ය සාමාජිකයන්ට එවන් වර්ජනයක් පිලිබඳව කවර හෝ දැනුම් දීමක් නොකෙරුනු අතර, 29 දා එකී වර්ජනය ආරම්භවූයේ ද නැත. සමිති නායකයන් මීට පෙර කිහිප වතාවක්ම අඛන්ඩ වැඩවර්ජන වලට යන බව නිවේදනය කල නමුත්, මෙවර වර්ජනය මෙන්ම එම වර්ජන ද ක්‍රියාත්මක නොවුනි.

සමිති නායකයන් ඇමතිට යැවූ ලිපියෙන්, වෘත්තීය සමිති සම්බන්ධයෙන් සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ ලෝසවෙඅ යලියලිත් පෙන්වා දුන් ප්‍රධාන කරුනු කීපයක්ම සනාථ වෙයි.

01. වෘත්තීය සමිති අදදින කවර හෝ කාර්මික ක්‍රියාවක් කැඳවනු ලබන්නේ, තම සාමාජිකත්වයෙන් එල්ලවන පීඩනය නිසා මිස, ඔවුනගේ දැවෙන අවශ්‍යතා වෙනුවෙන් සැබෑ අරගලයක් දියත් කිරීමේ උවමනාවෙන් නොවේය යන්න ඉන් එක් කරුනකි.

ලිපිය මෙසේ පවසයි: 'එල්ලවන සාමාජික බලපෑම සහ පීඩනය හමුවේ, වෘත්තීය සංවිධාන ලෙස අප සංගම් වලට මේ මොහොතේ නිහඬව සිටීමට හැකියාවක් නොමැත.' වෙනත් අයුරකින් කිවහොත් එය මෙසේය: 'අපි සාමාජිකයන් නිහඬව තබා ගැනීමට උත්සාහ කලෙමු. නමුත් තවදුරටත් එසේ කල නොහැකි තත්වයකට අපි මුහන දී සිටින්නෙමු.'

02. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන් මත ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව එල්ල කරන කප්පාදු ප්‍රහාර, ආන්ඩුවට පීඩනය යෙදීමෙන් ලබා ගන්නා සාකච්ඡා හරහා ආපසු හැරවිය හැකි බවට සමිති නිලධරය කම්කරුවන් අතර වපුරන අදහස පරිපූර්න මිත්‍යාවක් වෙතැයි යන්න සසප/ලෝසවෙඅ පෙන්වා දෙන තවත් කරුනකි.

'උක්ත කරුන සම්බන්ධව අවස්ථා ගනනකදී ඔබතුමාගේ මූලිකත්වයෙන් සියලු පාර්ශ්වයන් සම්බන්ධ කර ගනිමින් සාකච්ඡා පැවත් වූ' බව ලිපිය ආරම්භයේදීම සඳහන් කරන සමිති නායකයෝ, 'අප්‍රේල් 26' තෙක් බලා සිට විසඳුමක් නොලැබුනු බැවින් වර්ජනය දියත් කිරීමට තීන්දු කල බව පවසති.

කෙසේ නමුත් සමිති නායකයන් මෙම ලිපිය ලිවීමට පෙර තම සාමාජිකයන්ට යලියලිත් පවසා සිටියේ සාකච්ඡා ඉතා සාර්ථකව සිදු කෙරෙන බැවින් ඉවසා සිටින ලෙසයි. මෙම මිත්‍යාව සාමාජිකයන්ට ගිල්ලීම සඳහා, අධ්‍යාපන ඇමතිවරයා අදාල වැටුප් ප්‍රශ්නය විසඳීමට කැපවන්නෙකු ලෙස පින්තාරු කිරීමට ද සමිති නිලධරය දිගින් දිගටම උත්සාහ දරා ඇත. එය ඔවුන්ගේ ලිපිය තුලින් ප්‍රකාශයට පත්වන්නේ මෙසේය:

'විශ්වවිද්‍යාල ප්‍රජාවගේ කප්පාදු කල වැටුප සහ එම්සීඒ දීමනාව ලබාදීම සඳහා ගරු අමාත්‍යතුමා වශයෙන් ඔබතුමන් ගන්නා උත්සාහය සහ කැපවීම අප ඉතා අගයකොට සලකන අතර, අපගේ ගෞරවය සහ කෘතඥතාවය පුදකර සිටිමු.'

නිලධරය මෙසේ උත්කර්ෂයට නංවන්නේ, ජාමූඅ හි කප්පාදු විධාන අකුරටම පිලිපදින වික්‍රමසිංහ-පොදුජන පෙරමුනු ආන්ඩුවේ කැබිනට් ඇමතියෙකි.

03. ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු පංතියේ ඒකාබද්ධ සටනක් මෙහෙයවීමට මුලුමනින්ම එරෙහි සමිති නිලධරය කම්කරු පංතිය බෙදීම සඳහා ශ්‍රේනිවාදය සහ ක්ෂේත්‍රවාදය උපරිම ආකාරයෙන් යොදා ගන්නා බව, සසප/ලෝසවෙඅ අවධාරනය කරන තවත් වැදගත් කරුනකි.

එකම ආයතනය තුල, නමුත් ක්ෂේත්‍ර දෙකක රැකියාවේ යෙදෙන, විශ්වවිද්‍යාල අනධ්‍යන සහ අධ්‍යන සේවකයන් එකිනෙකාට එරෙහිව පිහිටුවනුවස් අධ්‍යයන ක්ෂේත්‍රයේ සේවකයන්ගේ, නැතහොත් කතිකාචාර්යවරුන්ගේ දීමනා වැඩි කිරීම, අනධ්‍යන සමිති නිලධරය විසින් සෑමවිටම උලුප්පා දක්වනු ලැබේ.

'විශ්වවිද්‍යාල පද්ධතියේ එක් පාර්ශ්වයකට ඉතාමත් ඉහල දීමනා වැඩිවීමක් (සියයට 29 සිට සියයට 42 දක්වා) රජය ලබාදීම හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය අර්බුදයෙන් අර්බුදයට පත්ව ඇතැ' යි උක්ත ලිපිය පවසයි.

මෙම ප්‍රකාශය තුල, කම්කරුවන් භේද කිරීමට අමතරව වෙනත් ප්‍රතිගාමී ගම්‍යයන් පවතී. අහස උසට නැගඇති ජීවන වියදම සමග සසඳන කල අධ්‍යන සේවකයන්ට වැඩිකර ඇති දීමනාව සොච්චමක් වන නමුත්, එය 'ඉතාමත් ඉහල දීමනා වැඩිවීමක්' ලෙස අර්ථ කථනය කරමින් මෙම සමිති නිලධරය වක්‍රව කියා සිටින්නේ, එම පරිමානයේ දීමනා වැඩි කිරීමක් කවර හෝ කම්කරු ක්ෂේත්‍රයක් තුල නොකලයුතු බවයි.

අනෙක් අතට, විශ්වවිද්‍යාල 'අර්බුදයෙන් අර්බුදයට' පත්ව ඇත්තේ අධ්‍යන සේවකයන්ට දීමනා වැඩි කිරීම හේතුවෙන් යැයි ගෙනඑන තර්කය අභූතයකි. ඊට විපරීතව, විශ්වවිද්‍යාල 'අර්බුදයෙන් අර්බුදයට' පත්ව ඇත්තේ අනුප්‍රාප්තික ආන්ඩු අඛන්ඩව සිදු කරන ලද කප්පාදු හේතුවෙනි. ජාමූඅ හි නව කප්පාදු විධානයන් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් එම අර්බුදය වඩාත් ගැඹුරුවනු ඇත.

ලිපිය අවසන් කරන්නේ, අනධ්‍යන කම්කරුවන්ගේ වර්ජනයක් ආරම්භ වී එය ඉදිරියට ඇදී ගියහොත්, ශිෂ්‍ය සටන් ද ඒ සමග ඒකාබද්ධ වියහැකි බව පාලකයන්ට පෙන්වා දෙමිනි. “එබැවින් එවැනි තත්ත්වයක් නිර්මානය වී විශ්වවිද්‍යාල පද්ධතියේ දැඩි ව්‍යාකූලතාවයකට පත්වීමට ඉඩ නොදී මෙම ගැටලු සඳහා විසඳුම් ලබා දෙනු ඇතැයි අප දැඩිව අපේක්ෂා කරමු. එමෙන්ම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ඔබතුමාට එරෙහිව හෝ ඔබතුමා අපහසුතාවයට පත් කිරීමට නොවන බව අවධාරනය කර සිටින අතර හුදෙක් අපගේ මෙම වෘත්තිය ගැටලු නිරාකරනය කර ගැනීම සඳහා පමනක්ම බව දන්වා සිටිමු.'

අනධ්‍යන සමිති නිලධරයේ සමස්ත ලිපිය, වෘත්තීය සමිති යනු කම්කරු පංතියට එරෙහිව ක්‍රියාත්මක වනධනපති පංතියේ උපකරනයන් බව පැහැදිලිව සනාථ කරයි.

අනෙකුත් ක්ෂේත්‍රයන්හි සමිති නිලධරයන් මෙන්ම අනධ්‍යන සමිති නිලධරය ද තීන්දු තීරන ගනු ලබන්නේ සාමාජිකත්වය සමග කවර හෝ ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවකින් තොරවයි.

සාමාජිකත්වයේ පීඩනය හමුවේ නිලධරය යම් සීමිත කාර්මික ක්‍රියාවන් කැඳවන නමුත්, එය කුමන ආකාරයේ කාර්මික ක්‍රියාවක් ද? එය කැඳවනු ලබන්නේ කවදා ද? මතු කරන ඉල්ලීම් කවරේද? යනාදී මේ සියල්ල තීන්දු කරන්නේ ඔවුන් විසින්මය. නිලධරය කරන කැඳවුම් වලදී එකී කාර්මික ක්‍රියාවන්ට සහභාගිවීම සහ එය අවසන් කල බව නිවේදනය කලවිට නැවත සේවයට වාර්තා කිරීම හැර සාමාජිකයන්ට ඒ පිලිබඳව තීන්දු තීරන ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවකට සමිති තුල කවර හෝ අවකාශයක් නොමැත.

සමිති නිලධරය මෙලෙස පසුගිය අවුරුදු අට පුරා, 'වැටුප් විෂමතාවය' ඉවත් කරන ලෙස ඉල්ලා ආන්ඩුවලට පීඩනය යෙදීමේ නිෂ්ඵල කාර්මික ක්‍රියා මාලාවකට තම සාමාජිකත්වය කැඳවා තිබේ. කෙසේ නමුත්, ඇමති සමඟ කල මෑත සාකච්ඡාවලින් පසු දැන් එම ඉල්ලීම ද අතහැර එම්සීඒ දීමනා වැඩි කිරිමේ ඉල්ලීම පමනක් ඉදිරිපත් කර ඇත. එය, ඇමතිගේ 'කැපවීමේ' එක් ප්‍රතිඵලයක් පමනි.

සමිති නිලධරයේ මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී යාන්ත්‍රනයට එරෙහිව නැගී සිටින සාමාජිකයන්ගේ හඬ යටපත් කිරීම නිලධරයේ පිලිවෙත බවට පත්ව ඇත. සමාජවාදී සමානතා පක්ෂයේ සහ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල කාර්මික නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෙකු වන මොරටුව විශ්වවිද්‍යාලයේ එම්.දේහින් වසන්ත, අනධ්‍යන සේවකයන්ගේ වැටුප් ඉල්ලීම් ඇතුලු දැවෙන ප්‍රශ්න විසඳා ගැනීමේ ක්‍රියාමාර්ගයක් නිර්නය කර ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවක් ඉල්ලා තම සංගමය තුල කරන ලද සෑම මැදිහත්වීමකදීම සමිති නිලධරය එය බලහත්කාරයෙන් වලකා ඇත.

වසන්ත එසේ වලකා ඇත්තේ වෘත්තීය සමිති තුල දේශපාලනයට ඉඩක් නැත යන ප්‍රතිගාමී තර්කය ඉදිරියට දමමිනි. ආන්ඩුවේ ප්‍රහාර ගලා එන්නේ ධනවාදයේ පද්ධතිගත අර්බුදයෙන් බැවින්, එම ප්‍රහාර පරාජය කල හැක්කේ ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහි කම්කරු පංතියේ ඒකාබද්ධ දේශපාලන ප්‍රතිප්‍රහාරයකින් බවත්, එය ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත පාදක ව්‍යයුතු බවත් පෙන්වා දෙමින් වසන්ත සසප ඉදිරිදර්ශනය මත කම්කරුවන් අතර සටන් වදී.

සමිති නිලධරය තොරොම්බල් කරන ආන්ඩුවට පීඩනය යෙදීමේ බංකොලොත් වැඩපිලිවෙලට එරෙහිව තම ඉල්ලීම් දිනා ගැනීමේ ශක්‍ය වැඩපිලිවෙලක් සම්මත කර ගැනීම සඳහා සියලු ශ්‍රේනිවල අනධ්‍යන කම්කරුවන්ගේ ඒකාබද්ධ සමුලුවක් කැඳවන ලෙසත්, සමුලුව තුල ඒ සඳහා පූර්න ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවකට ඉඩ සලසන ලෙසත් ඉල්ලා සෑම අනධ්‍යන සමිතියකම සාමාන්‍ය සාමාජිකත්වය සටන් කල යුතුය.

එවන් සමුලුවකදී, පහත යෝජනා සහ ඉල්ලීම් සාකච්ඡාකොට සම්මත කල හැක:

*ශීලාචාරව සහ සෞඛ්‍ය සම්පන්නව ජීවත්විය හැකි මාසික වැටුපක් සහතික කරනු!

*වැඩිවන ජීවන වියදමට සමානුපාතිකව මාසික වැටුප වැඩි කරනු!

*වැඩබර අඩු කරනු!

*කොන්ත්‍රාත් පදනමේ සියලු සේවකයන් ස්ථිර කරනු!

*විශ්වවිද්‍යාල, පාසල් ඇතුලු අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි පවත්නා දැඩි කාර්ය මන්ඩල හිඟය සහ පහසුකම්වල ඌනතාවය අහෝසි කිරීම සඳහා බිලියන ගනනින් මුදල් වෙන් කරනු!

ඉහත ඉල්ලීම් සාක්ෂාත් කල හැක්කේ, මහා පරිමාන කම්හල්, බැංකු සහ වතු, කම්කරු පංති පාලනය යටතේ ජනසතුකොට, ධනපතියන්ගේ ලාභය සඳහා නොව, මහජනතාවගේ අවශ්‍යතාව පදනම් කරගත් සමාජවාදී නිෂ්පාදන-ආර්ථික ක්‍රමයක් ස්ථාපිත කිරීමෙන් පමනි. එය කල හැක්කේ ලෝක සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකාව තුල කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙනි.

ධනපති ක්‍රමයට හිසේ සිට දෙපතුල දක්වා බැඳී සිටින වෘත්තීය සමිති සහ එහි නිලධරය මෙවන් වැඩපිලිවෙලකට මුලුමනින්ම හතුරු බැවින්, එම සමිති සහ ධනපති පක්ෂ වලින් ස්වාධීන තමාගේම බල සංස්ථාවන් කම්කරුවන්ට අත්‍යවශ්‍ය ය. එකී බල සංස්ථාවන් ලෙස කම්කරු ක්‍රියාකාරී කමිටු, සෑම කම්හලක්, වැඩපොලක්, රෝහලක්, පාසැලක්, විශ්වවිද්‍යාලයක් සහ ගොවිබිමක් ආශ්‍රිතව ගොඩනගමින් ඒවා ජාත්‍යන්තරව ගොඩනගන එවන් කමිටු සමග සන්ධාන ගතකල යුතුවෙයි.

මෙම වැඩපිලිවෙල යටතේ සෑම විශ්වවිද්‍යාලයක් තුලම කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට ආරම්භකත්වය ගන්නා ලෙස සසප, සියලු අනධ්‍යන සේවකයන්ගෙන් ඉල්ලා සිටී.

Loading