[මෙය After 3 years of war in Ukraine, imperialist war propaganda collapses යන මැයෙන් 2025 පෙබරවාරි 25 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
යුක්‍රේන යුද්ධය ආරම්භ වී වසර තුනකට පසු, අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ඔවුන්ගේ ප්‍රකෝපකරනයන් සහ යුද්ධය උත්සන්න කිරීම් සාධාරනීකරනය සඳහා භාවිතා කරන ලද ප්‍රබන්ධය පච මල්ලක් බව හෙලිදරව් වෙමින් පවතී.
2022 පෙබරවාරි 24 වන දින රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමනය කල විට, නැටෝ බලවතුන් සහ ඔවුන්ගේ සුවච මාධ්‍ය ආයතන ප්‍රකාශ කලේ, රුසියානු ආක්‍රමනය උදක්ම “අප්‍රකෝපිත යුද්ධයක්” සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ මනෝවිඥානයෙන් පැන නැගුනු පෙර නොවූ විරූ ආක්‍රමනශීලී ක්‍රියාවක් ලෙසට ය.
ඊට ප්‍රතිකූලව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) ආරම්භයේ සිටම එහි සැබෑ ස්වභාවය විශ්ලේෂනය කලේය. ලෝසවෙඅ රුසියාවේ ආක්‍රමනයට විරුද්ධ වූයේ, එය සෝවියට් සංගමය විසුරුවා හැරීමේ විනාශකාරී ප්‍රතිවිපාකවලට කතිපයාධිකාරයේ මංමුලා සහගත සහ ප්‍රතිගාමී ප්‍රතිචාරයක් බව පෙන්වා දෙමිනි. එසේම, අධිරාජ්‍යවාදී බලවතුන් යුද්ධය අවුලුවාලූ බවත්, යුරේසියානු භූමි ප්‍රදේශයේ ඔවුන්ගේ ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා එය නිර්දය ලෙස උත්සන්න කල බවත් එය පැහැදිලි කලේය. 2023 පෙබරවාරි මාසයේදී, ලෝසවෙඅ කර්තෘ මන්ඩලය මෙසේ ලිවීය:
සෑම යුද්ධයක ම පාහේ ආරම්භක අදිරයන්හි දී, ආන්ඩු කියාපාන්නේ ස්වයං-ආරක්ෂාව තකා ක්‍රියාත්මක වන බව සහ “පලමු වෙඩිල්ල” තැබුවේ කවුද යන කරුන මත අවධානය යොමු කරන බව යි. හතුරා යක්ෂාරෝපනය කිරීම ඉලක්ක කරගන්නා අනවරත අපරාධ ප්‍රචාරනය මෙයට පසුව සාමාන්‍යයෙන් පැමිනේ. එහෙත්, අනිවාර්යයෙන් ම, මරන ගොඩගැසෙද්දී හා දෙපාර්ශවයේ ම ආරම්භක අපේක්ෂාවන් නිෂ්ඵල බවට පත්වෙද්දී, වඩා ගැඹුරු හේතු හා ගාමක සාධකයන් හෙලිදරව් වේ. යුක්‍රේනය අරබයා වන යුද්ධය සම්බන්ධ තත්ත්වය මෙය යි.
යුද්ධය ආරම්භ වී වසර තුනකට පසු, යුද්ධයේ 'ගැඹුරු හේතු සහ ගාමක බලවේග' හෙලිදරව් වෙමින් පවතී.
'ජාතික ස්වයං-නිර්නය' සහ 'ප්‍රජාතන්ත්‍රවාදය' ආරක්ෂා කිරීම පිලිබඳ වාචාල කතා දැන් අවසන් ය. ඒ වෙනුවට, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, යුද්ධයේ තුන්වන සංවත්සරය සැමරුවේ, යුක්‍රේනයේ ඉතිරි පහදු කාට ලැබෙන්නේද යන්න පිලිබඳව පෞද්ගලිකව සහ ප්‍රසිද්ධියේ සාකච්ඡා කරමිනි.
'අපි තීරනාත්මක ඛනිජ සහ දුර්ලභ පාෂාන වර්ග සම්බන්ධයෙන් යුක්‍රේනය සමඟ ගිවිසුමක් ඇති කර ගත යුතුයි,' ට්‍රම්ප් ප්‍රංශ ජනාධිපතිවරයා සමඟ පැවති හමුවේදී පැවසුවේ, යුක්‍රේනයේ ඛනිජ සම්පත් එක්සත් ජනපදයට පැවරීමට සෙලෙන්ස්කි ආන්ඩුවට බල කිරීමට ඔහු දැරූ උත්සාහයන් උපුටා දක්වමිනි. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, යුරෝපීය බලවතුන් යුක්‍රේනයට 'ප්‍රදාන, නය සහ නය ඇපකර' ආකාරයෙන් ආධාර ලබා දුන් බවත්, ඒවා කුමන ආකාරයකින් හෝ ආපසු ලබා ගත යුතු බවත් අවධාරනය කලේ ය.
අධිරාජ්‍යවාදී චෞරයන් අතර මෙම ගැටුමේදී, යුක්‍රේන යුද්ධය සාධාරනීකරනයට භාවිතා කරන ලද සියලු බොරු බිඳ වැටෙමින් පවතී. යුද්ධය ආරම්භ කලේ පුටින් නොව, යුක්‍රේනය බව ට්‍රම්ප් විවෘතව ප්‍රකාශ කල අතර විසඳුමක් සඳහා සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කලේය. යුද්ධය තුල ඇමරිකාවේ අවශ්‍යතා, අමුද්‍රව්‍ය සහ භූ දේශපාලන අවශ්‍යතා බව ඔහු පිලිගනී. යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි 'ඒකාධිපතියෙකු' බවත්, පාලනය කරන්නේ යුද නීතිය හරහා බවත් ඔහු විවෘතව ම ප්‍රකාශ කරයි; යුද්ධය 'ප්‍රජාතන්ත්‍රවාදය' ආරක්ෂා කිරීම සමග සම්බන්ධ බවට බයිඩන් පරිපාලනය කරන ප්‍රකාශය සමච්චලයට ලක් කරයි.
ඔවුන්ගේ ඒකාබද්ධ මාධ්‍ය හමුව අතරතුර, යුද්ධයේ ඕනෑම සාකච්ඡාමය විසඳුමකට විරුද්ධවීමේදී තම භූමිකාව පැහැදිලි කිරීම සම්බන්ධයෙන් මැක්‍රොන් පඹගාලක පැටලුනි. ඔහු මෙසේ ප්‍රකාශ කලේය: “විශේෂයෙන් ඔබ එකඟ නොවන විට, අනෙකුත් නායකයින් සමඟ සාකච්ඡා කිරීම හොඳ යැයි මම සැමවිටම සිතනවා. බුචා සහ යුද අපරාධවලින් පසු මම ජනාධිපති පුටින් සමඟ මගේ සාකච්ඡාව නැවැත්තුවා. ... දැන් විශාල වෙනසක් තිබෙනවා, මක්නිසාදයත් එක්සත් ජනපදයේ අලුත් පරිපාලනයක් පවතින නිසා.”
මැක්‍රොන් සඳහන් කලේ, 2022 මාර්තු මාසයේ බුචා හි කුරිරුකම් පිලිබඳ චෝදනා, යුද්ධය සාධාරනීකරනයට සහ සාකච්ඡාමය විසඳුමක් සඳහා වන ඕනෑම උත්සාහයක් කඩාකප්පල් කිරීමට අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ගොතන ලද ඒවා බවයි. අධිරාජ්‍යවාදී බලවතුන් කියා සිටියේ, 'ඝාතක' ව්ලැඩිමීර් පුටින් සමඟ මොනයම් හෝ සාකච්ඡාවක් සඳහා ඉඩකඩ වලකාලමින්, චූදිත කුරිරුකම් 'සියල්ල වෙනස් කල' බවයි.
ඊට ප්‍රතිකූලව, ලෝසවෙඅ බුචා හි කුරිරුකම් පිලිබඳ චෝදනා පැහැදිලි කලේ, ඒවා 'රුසියාවට එරෙහි නැටෝ යුද්ධය තීව්‍ර කිරීම සඳහා කඩතුරාවක්' බවයි. අපි තවදුරටත් මෙසේ ද පැවසුවෙමු, 'බුචා හි සංහාරයක් පිලිබඳ ප්‍රකාශ යුද ප්‍රචාරනය හැර අන් ආකාරයකට සැලකීමට හේතුවක් නැත.'
යුක්‍රේන යුද්ධයට නැටෝවේ මැදිහත්වීම සාධාරනීකරනය සඳහා භාවිතා කල වංචනික මවාපෑම් බිඳ වැටෙමින් පවතින අතර, යුද්ධය නැටෝ බලවතුන්ට ලේ වැකි පරාජයක් අත්කර දී ඇති බව පැහැදිලි වේ. 2023 ජනවාරි මාසයේදී, නැටෝ බලවතුන් ඔවුන්ගේ උපායික අරමුන ලෙස විදහා පෙන්නුවේ, ජෙනරාල් මාර්ක් මිලීගේ වචන වලින් කියන්නේ නම්, 'රුසියාව අත්පත්කරගත් යුක්‍රේනය නිදහස් කර ගැනීම' ලෙස ය; එයින් ඔවුන් අදහස් කලේ, 2014 දී රුසියාව විසින් ඈඳා ගන්නා ලද ක්‍රිමියානු අර්ධද්වීපයයි. වඩාත් පුලුල් ලෙස, ඔවුන් අදහස් කලේ, පුටින්ගේ ආන්ඩුව පෙරලා දැමීම සහ රුසියානු සමූහාන්ඩුව බිඳ දැමීම ඇතුලුව, රුසියාව මත 'මූලෝපායික පරාජයක්' අත්කර දීම ය.
නැටෝ බලවතුන්ගේ මෙම සියලු ඉලක්ක අසාර්ථක වී ඇත. යුක්‍රේනය සහ එහි නැටෝ බලවතුන් කිසි විටෙකත් ක්‍රිමියාව සහ ඩොන්බාස් හි බෙදුම්වාදී ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීමට ආසන්නයටවත් නොපැමිනියා පමනක් නොව, යුක්‍රේනයට එහි භූමි ප්‍රමානයෙන් තවත් සියයට 15 ක් අහිමි විය.
නැටෝ යුද ප්‍රයත්නය ව්‍යසනයක් වී ඇතත්, යුද්ධයේ ප්‍රතිවිපාක අතිශය යථා වේ. මිලියනයක ජනතාවක් මිය ගොස් හෝ තුවාල ලබා ඇති බවටත්, යුක්‍රේනයේ විශාල කොටස් විනාශ වී ඇති බවටත් වෝල් ස්ට්‍රීට් ජර්නලය සහ නැටෝව යන දෙකම ඇස්තමේන්තු කර ඇත.
යුක්‍රේන යුද්ධය, ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම බලපා ඇත. ජර්මනිය සහ ජපානය ඇතුලු සෑම අධිරාජ්‍යවාදී රටක්ම දැවැන්ත ලෙස නැවත සන්නද්ධ කිරීමට එය භාවිතා කර ඇති අතර, දෙවන ලෝක යුද්ධයෙන් පසු කිසි විටෙකත් ආක්‍රමනශීලී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවට ඔවුන් දුන් පොරොන්දු බිඳ දමා ඇත.
යුක්‍රේන යුද්ධය විසින් ජාත්‍යන්තර භූ දේශපාලනය තුල න්‍යෂ්ටික අවි භාවිතය පෙරමුනට ගෙන ඇත. න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ සම්භාවිතාව සියයට 50 ක් තරම් ඉහල අගයක් ගෙන ඇතිබව එක්සත් ජනපද බුද්ධි අංශ විසින් ගනනය කර තිබියදී, 2022 ඔක්තෝබර් මාසයේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ, යුක්‍රේන යුද්ධය උත්සන්න වීම, න්‍යෂ්ටික 'ආමගෙදොනයකට (බයිබලයට අනුව, අවසන් විනිශ්චයේ දිනයට පෙර යහපත හා නපුර අතර අවසන් සටන)' තර්ජනය කරන බවයි. මෙම අනතුරු ඇඟවීම් නොතකා, එක්සත් ජනපදය සහ යුරෝපීය අධිරාජ්‍යවාදය යුද්ධය පුලුල් කරමින්, නැටෝ යුද ටැංකි, ගුවන් යානා සහ දිගු දුර මිසයිල රුසියාවේ දේශසීමා හරහා යවමින් ඉදිරියට ගියේය.
එක්සත් ජනපදය, රුසියාව සහ යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් අතර දැන් සිදුවන සාකච්ඡාවල ප්‍රතිඵලය කුමක් වුවත්, ගෝලීය යුද්ධයේ භූතයා නැවත බෝතලයට දැමිය නොහැක. ඒ වෙනුවට, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගල්ෆ් යුද්ධයට විරුද්ධ වෙමින් 1991 දී නිකුත් කල ප්‍රකාශයේ පැහැදිලි කල පරිදි:
1914 සහ 1939 ට පෙර වසරවල මෙන්, කුඩා හා අනාරක්ෂිත රටවල් කොල්ලකෑම සහ වහල්භාවයට පත් කිරීම අධිරාජ්‍යවාදී බලවතුන් අතර ආරවුල් සහ අරගල තීව්‍ර වීම සමඟ අවියෝජනීය ලෙස බැඳී පවතී.
ට්‍රම්ප් සහ ඔහු විසින් අමතන දේශපාලන සංස්ථාපිතයේ කන්ඩායම, යුක්‍රේන යුද්ධය දකින්නේ, මිල අධික ව්‍යසනයක් ලෙස සහ පරිපාලනයේ කේන්ද්‍රීය ප්‍රමුඛතාවයෙන්, එනම්, චීනය සමඟ ගැටුම සඳහා සැපයුම් පදනමක් නිර්මානය කරනුවස් ඇමරිකානු රටවල් (උතුරු, දකුනු, මධ්‍යම ඇමරිකානු රටවල් සහ කැරිබියන් දූපත්) මත එක්සත් ජනපද ආධිපත්‍යය තහවුරු කිරීමෙන්, අවධානය වෙනතකට යොමු කිරීමක් ලෙස ය.
කෙසේ වෙතත්, යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ මූලෝපායික මාරුව, එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතයේ සැලකිය යුතු බෙදීම් මතුපිට ට ගෙනැවිත් තිබේ. ට්‍රම්ප් විසින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් විනාශ කිරීමට, සමාජ වියදම් කපා හැරීමට සහ සංක්‍රමනිකයින්ට සහ රජයේ සේවකයින්ට එල්ල කරන ප්‍රහාරවලට විරුද්ධ වීමට කිසිවක් නොකරන ඩිමොක්‍රටික් පක්ෂය සහ ඒ සමග පෙලගැසී ඇති මාධ්‍ය ආයතන, ට්‍රම්ප්ගේ යුක්‍රේන ප්‍රතිපත්ති මාරුවට කෑ ගසමින් විරුද්ධ වෙති. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ කතුවැකියකින් ප්‍රකාශ කරන්නේ, ට්‍රම්ප්ගේ “ක්‍රෙම්ලිනයේ ඒකාධිපතියා වර්නනා කිරීම, ඇමරිකානුවන් ඉවසිය යුතු ඕනෑම හැසිරීමකට වඩා බොහෝ දුර ගොස් ඇති” බවයි.
එය කෙතරම් සාපරාධී හෝ ව්‍යවස්ථා විරෝධී වුවත්, ට්‍රම්ප් ඔහුගේ දෙවන පරිපාලනය තුල කල වෙනත් කිසිවක් විස්තර කිරීමට ටයිම්ස් කිසි විටෙකත් එවැනි භාෂාවක් භාවිතා කර නැත. යුක්‍රේනයේ පරාජය පිලිගැනීම එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගෝලීය ස්ථාවරයේ සහ ආර්ථික ආධිපත්‍යයේ විනාශකාරී බිඳවැටීමකට තුඩු දෙනු ඇතැයි එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතයේ මෙම කොටස් බිය වෙති. ඊලඟ වතාවේ, ඩොලරයේ ගෝලීය ස්ථාවරයට ආන්ඩුවේ දැවැන්ත නව ඇපකරයක් අවශ්‍ය කරන මූල්‍ය අර්බුදයක් ඇති වූ විට කුමක් සිදුවේදැයි ඔවුන් කල්පනා කරති.
ට්‍රම්ප්ගේ යුක්‍රේන ප්‍රතිපත්ති මාරුවේ ප්‍රතිඵලය කුමක් වුවත්, එය ගෝලීය අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වය තවදුරටත් පුපුරා යාමේ පූර්විකාවක් පමනි. නැටෝව සහ රුසියාව අතර යුක්‍රේනය තුල පුපුරා ගිය යුද්ධය ගෝලීය ගැටුමක් බවට පරිවර්තනය වෙමින් පවතින අතර, එහිදී එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඉලක්ක අතර, පැවති යටත් විජිත සහ අතීතයේ සෝවියට් සංගමයට අයත් වූ රටවල් පමනක් නොව, ගෝලීය ආධිපත්‍යය සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රතිවාදීන් ද වේ.
යුක්‍රේන යුද්ධයේ වසර තුනකින් පසු, ලොව පුරා වැඩ කරන ජනතාව නිශ්චිත තීරනාත්මක පාඩම් උගත යුතුය. ලෝකය නැවත බෙදා ගැනීමේ සහ පැරනි යටත් විජිත යටත් කර ගැනීමේ මාධ්‍යයක් ලෙස එක්සත් ජනපදයේ සහ යුරෝපීය දේශපාලන සංස්ථාපිතයේ සියලුම කොටස් යුද්ධයට කැපවී සිටිති. ගෝලීය තුන්වන ලෝක යුද්ධයක පිපිරීම, මානව වර්ගයා ධනවාදය සමග මුහුනට මුහුන ලා පිහිටුවයි.
යුක්‍රේන යුද්ධයේ ලේ වැකි පරාජය, අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ප්‍රකෝප කිරීම්වලටත්, ප්‍රතිගාමී පුටින් ආන්ඩුවටත් එරෙහිව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රතිපත්තිමය විරෝධය සනාථ කරයි. රුසියාව සහ යුක්‍රේනය යන දෙරටේ ම, ජාත්‍යන්තර කමිටුව සමඟ සහයෝගීතාවය ප්‍රකාශ කර ඇති කන්ඩායමක් වන බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල, යුද්ධයට විරුද්ධ වීමට සහ පැරනි සෝවියට් සංගමයේ කම්කරුවන් සහ තරුනයින් ලොව පුරා සිටින ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් සමඟ එක්සත් කිරීමට සටන් කර ඇත.
මේ සඳහා, බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල සංවිධානයේ නායක බොග්ඩාන් සයිරොටියුක්, සෙලෙන්ස්කි පාලනය විසින් සිරගත කර තිබේ. කුරිරු යුද්ධයේ වසර තුනකින් පසු, ලොව පුරා කම්කරුවන්ගේ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලයේ තීරනාත්මක අංගයක් ලෙස බොග්ඩන් සහෝදරයාගේ නිදහස සඳහා වන ඔවුන්ගේ කැඳවුම දෙගුන තෙගුන කල යුතුය!