ලංකාවේ හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකුට එරෙහි ව එක්සත් රාජධානිය විසින් සම්බාධක පැනවීමත් සමග ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනබලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව මෙන්ම අනෙකුත් පක්ෂ හා වර්ගවාදී නඩ ද කැලඹිල්ලට පත්ව සිටිති.
එක්සත් රාජධානියේ, විදේශ, පොදුරාජ්‍ය මන්ඩල හා සංවර්ධනය පිලිබඳ රාජ්‍ය ලේකම් ඩේවිඩ් ලැමි සහ ඉන්දු-පැසිෆික් කලාපයේ කටයුතු භාර රාජ්‍ය ලේකම් කැතරීන් වෙස්ට් විසින් මාර්තු 24 දා නිවේදනය කෙරුනු සම්බාධක පැනවීමට ලක්ව සිටින්නේ, මිලිටරියේ හිටපු ප්‍රධානීන් වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, ජෙනරාල් ජගත් ජයසූරිය සහ එල්ටීටීඊයෙන් බිඳී මිලිටරිය සමග ක්‍රියාකල අතුරු සන්නද්ධ කල්ලියක් පිහිට වූ කරුනා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් ය.
දෙමල ජනයා ඉලක්ක කොට, “නීතියට පරිබාහිර ඝාතන, වධ බන්ධන පැනවීම් සහ/ හෝ ලිංගික අපරාධ සිදු කිරීම ඇතුලු බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා ප්‍රචන්ඩ ක්‍රියා” හේතුකොට ගෙන මෙම හමුදා නායකයින් සතු ව බ්‍රිතාන්‍ය තුල ඇති වත්කම් අත්හිටුවීමත් ඔවුන්ට එරටට ඇතුලු වීම තහනම් කිරීමත් සිදු කරන බව නිවේදනයේ දක්වා තිබුනි.
බෙදුම්වාදී එල්ටීටීඊ සංවිධානයට මිලිටරි පරාජයක් අත්කර දෙමින් මෙයින් වසර දහසයකට පෙර, එනම් 2009 මැයි මස අවසන් වූ 26 අවුරුද යුද්ධයේදී ලක්ෂයකට අධික අහිංසක දෙමල ජනයා මරා දැමුනු අතර, එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටු වාර්තාවකට අනුව යුද්ධයේ අවසන් දිනවලදී පමනක් මිලිටරිය විසින් ඝාතනය කල නිරායුද දෙමල සිවිල් වැසියන් සංඛ්‍යාව 40,000ක් පමන වේ. යටත්වීමට පැමිනි එල්ටීටීඊ නායකයින් කීප දෙනෙකු ම නීති විරෝධී ව ඝාතනය කෙරුනි. එ ලෙස භාර වූ තවත් දහස් ගනනක් “අතුරුදහන්” කෙරුනි. එමෙන්ම හමුදාවට භාර වූ 300,000ක් පමන දෙමල ජනයා මාස ගනනක් වව්නියාවේ මිලිටරි-පාලිත කඳවුරුවලට ගාල්කරනු ලැබ විවිධාකාර අඩත්තේට්ටම්වලට ලක් කෙරුනි.
කොලඹ ආන්ඩුවල පූර්න ආශිර්වාදය සහිත ව සිදු කෙරුනු සුලුතර දෙමල ජනයාට එරෙහි වර්ගවාදී යුද්ධයේ මෙම අපරාධවලට උක්ත මිලිටරි නායකත්වය ඇතුලු සමස්ත දේශපාලන සංස්ථාපිතය ම වගකිව යුතු ව ඇත.
යුද අපරාධ ගැන අධිරාජ්‍යවාදීන්ගේ ව්‍යාජ උත්සුකය
කෙසේ වුවද, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයන් මෙම සම්බාධක පැනවීම් සිදුකර ඇත්තේ යුද අපරාධ වලට එරෙහි ව මානව හිමිකම් රැකීමේ දයාවකින් හෝ විපතට පත් ජනයාට යුක්තිය ඉටුකිරීම සඳහා නොවේ. මෙම ක්‍රියාවෙන් යලිත් පෙන්නුම් කර ඇත්තේ, අධිරාජ්‍යවාදී පාලකයන් තම භූ-දේශපාලන උවමනාකම් සඳහා නින්දිත ලෙස මානව හිමිකම් ගසාකෑමයි.
පෙබරවාරි අගදී ඇරඹුනු මෙවර එජා මානව හිමිකම් කවුන්සිල සැසියේ දී ලංකාවේ යුද අපරාධ මුල්කරගත් යෝජනාව ඉදිරිපත්කලේ බ්‍රිතාන්‍යය යි. ඊට හේතු වූයේ, එම යෝජනාව ට දිගුකලක් තිස්සේ මූලිකත්වය ගත් ඇමරිකාවේ ෆැසිස්ට් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මානව හිමිකම් කවුන්සිලයෙන් තම රට ඉවත්කර ගැනීමයි.
එක්සත් ජනපදය සමග එක්ව 2011 වසරේ සිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (යූඑන්එච්ආර්සී) හරහා ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳව වාර්ෂිකව ඉදිරිපත් කරන යෝජනාවල ප්‍රමුඛ එල්ලය වූයේ චීනයට එරෙහිව තම මිලිටරි සැලසුම්වල කොටසක් බවට ලංකාව ද පත්කර ගැනීමයි.
බ්‍රිතාන්‍යයට මෙන්ම, එක්සත් ජනපදයට හෝ කැනඩාවට මානව හිමිකම් ගැන කිසිදු කැක්කුමක් නැත. එක්සත් ජනපදය ඇතුලු මේ අධිරාජ්‍යවාදි රටවලට ඇත්තේ මුර්ග ලෙස යුද අපරාධවල යෙදීමේ කුප්‍රකට ඉතිහාසයකි. මේ රටවල් මේ අපරාධ දිගටම කරගෙන යති. මේ කලාපය සම්බන්ධයෙන් ගත්කල, ඇමරිකාව ප්‍රමුඛ මෙම රටවලට ඇත්තේ චීනයට එරෙහි මිලිටරි භූ-දේශපාලන උවනාකම් පමනි.
“යුද්ධයේ අවසන් අදියරේ දී තම ආඥාපති වගකීම යටතේ, මානව හිමිකම් තරයේ උල්ලංඝනය කිරීම, එනම් අනීතික මිනීමැරුම් වලට සම්බන්ධවීම පිලිබඳව විශ්වාසදායක තොරතුරු මත පදනම්ව” හිටපු පමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එක්සත් ජනපදයට ඇතුලුවීම තහනම් කරමින් 2020 පෙබරවාරි මාසයේ දී එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝගයක් පැනවීය. ඔහුගේ පවුලේ ලඟම ඥාතීන්ට ද එම තහනම පැනවුනි. 2023දී කැනඩාවේ ආන්ඩුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ ගෝඨාභය රාජපක්ෂ ඇතුලු සිවු දෙනෙකු ඉලක්ක කල සම්බාධක පැනවීය.
ලංකාවේ ආන්ඩුව හා විපක්ෂ යුද අපරාධ වසන් කිරීමට රොක්වෙති
අධිරාජ්‍යවාදීන්ට බැලමෙහෙවරකම් කරන ලංකාවේ පාලක පන්තියේ අලුත් ආන්ඩුව--ජවිපෙ/ජාජබ ආන්ඩුව--හමුදා ප්‍රධානීන්ට සහ මිලිටරියේ ඉත්තෙකු ලෙස ක්‍රියාකල මුරලිදරන්ට එරෙහි ව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් කැලඹිල්ලට පත්ව ඇති සැටි එහි විදේශ අමාත්‍යංශ නිවේදනයෙන් පෙන්නුම් කෙරේ.
මාර්තු 26දා, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ඇමති විජිත හේරත් යටතේ පවතින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත් කල නිවේදනය, බ්‍රිතාන්‍ය විසින් හමුදා ප්‍රධානීන්ට සම්බාධක පැනවීම කර ඇත්තේ “ඒකාපාර්ශවික” පියවරක් ලෙස බව කියමින් එය එල්ටීටීඊයට පක්ෂපාතී ව සිදුකල එකක් බව වක්‍රාකාර ව ඇඟවුම් කලේ ය. එමෙන්ම මෙම පියවර, ලංකාවේ “වගවීම සහ සංහිඳියාව පිලිබඳ.... දේශීය සංහිඳියා ක්‍රියාදාමයට කිසිදු සහයක් නොදක්වන” එමෙන්ම තත්වය “තවදුරටත් ව්‍යාකූල කිරීමට” ඉවහල් වන බවට එම නිවේදනය මැසිවිලි කීවේය. එහෙත්, මෙම ප්‍රකාශවලින් අදහස් කෙරෙන්නේ යුද අපරාධ සිදුකල බව ප්‍රතික්ෂේප කර මිලිටරිය සමග සිට ගැනීමයි.
මෑත වසරවල, ජවිපෙ/ජාජබ, දෙමල ජනයා ඉදිරියේ වෙස් මුහුනක් දමාගෙන යුද්ධයේ දී ඔවුන්ට සිදුවූ විපත් ගැන කම්පාවන බවක් මවාපායි. දෙමල ධනපති පක්ෂවල තුච්ඡ ක්‍රියා කලාපය නිසා ඒවා කෙරහි බරපතල විරෝධයකින් පසුවන ජනයාගේ ඡන්ද ගසාකෑමට මේ වෙස්මුහුන යොදාගෙන තිබේ. මෙම ක්‍රියාවල එල්ලය කොලඹ ආන්ඩුවේ බලාධිකාරය තහවුරු කරගෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට තම අත් ශක්තිමත් කර ගැනීමයි.
යුද අපරාධ වලට දඬුවම් පැමිනවීමේ යුක්තිසහගත ඉල්ලීම උඩ පසුගිය දශක එකහමාරේ විවිධ උද්ඝෝෂන දියත් කෙරෙන තතු තුල, මිලිටරි නායකයන්ට සම්බාධක පැනවීම ගැන ආන්ඩුව කැලඹිල්ලට පත්ව සිටින්නේ, මිලිටරිය ආරක්ෂා කිරීමේ තම පියවරයන් නිසා තම වෙස්මුහුන ගැලවෙන හෙයිනි. ජවිපෙ/ජාජබ මිලිටරිය සමග සමීප සබඳතා තහවුරු කර ගැනීමේ කොටසක් ලෙස හා අවශ්‍ය වුවහොත් පැරා මිලිටරියක් ලෙස මුදා හැරීම සඳහා “ත්‍රිවිධ හමුදා ඒකකයක්” ද පිහිටුවා ගෙන සිටී. එහි නායකයෝ වර්ගවාදී යුද්ධයේ පෙරමුනේ ම සිටියෝ වෙති.
යුද අපරාධවලට සම්බන්ධ මිලිටරි හා දේශපාලන ලොක්කන් කොක්කෙන් ගලවා යැවීමේ අපේක්ෂාවෙන්, පෙර ආන්ඩු මෙන් ම වත්මන් දිසානායක ආන්ඩුව ද එජා මානව හිමිකම් කවුන්සිලයේ දී කියා සිටියේ “දේශීය වගවීම් යාන්ත්‍රනයක්” පිහිටු වීමට ක්‍රියාකරන බවයි. ඇමති විජිත හේරත් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටින්නේ සම්බාධක පැනවීම් මගින් මෙම තත්වය “ව්‍යාකුල” නොකර ඊට සහාය වන ලෙසයි.
එජා මානව හිමිකම් කවුන්සිලයෙන් එක්සත් ජනපදය ඉවත්වීම නිසා භූ-මූලෝපායික අවශ්‍යතා සඳහා ලංකාවට කෙරෙන අධිරාජ්‍යවාදී බලපෑම නවතින්නේ නැත, යන අනතුරු ඇඟවීම, මානව හිමිකම් කවුන්සිලය තුල එක්සත් රාජධානියේ යෝජනාව ඉදිරිපත් කිරීමට මූලිකත්වය ගැනීමෙන් හා ඒ අනුව හිටපු මිලිටරි ප්‍රධානීන්ට සම්බාධක පැනවීම මගින් පෙන්නුම් කර ඇත. එපමනක් නොව, ට්‍රම්ප් පාලනය ලංකාව චීනයට එරෙහි යුද කරත්තයට බැඳ තබා ගැනීම නතරවන්නේ ද නැත.
කොලඹ අනෙකුත් සියලුම ධනපති පක්ෂ ද --ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රී ලංපොප), එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය (සජබ) බ්‍රිතාන්‍යය සම්බාධක පැනවීමත් සමග මිලිටරියට, සිංහල වර්ගවාදයට සහ යුද්ධයට පක්ෂපාතිත්වය ප්‍රදර්ශනය කිරීමට ලහිලහියේ පෙරට පැනගෙන සිටිති. සම්බාධක ඍජුව ම “හෙලා නොදැකීම” ගැන ඔවුහු ආන්ඩුවට චෝදනා කරති.
බ්‍රිතාන්‍ය සම්බාධක නිවේදනය තමන් විසින් “තරයේ ප්‍රතික්ෂේප කරන” බව කියා සිටිමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වර්ගවාදී හඬතැලීම්වල පෙරමුන ගත්තේ ය. දෙමල ජනයාට එරෙහි යුද්ධය “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක්” ලෙස හුවා දැක්වූ රාජපක්ෂ, යුද අපරාධ සාධරනීකරනය කලේ ය. 2006 යුද්ධය පටන්ගැනීමට අන දුන් රාජපක්ෂ, මිලිටරියේ ප්‍රකෝපකිරීම් මධ්‍යයේ එල්ටීටීඊය සිදුකල ක්‍රියා ගනනාවක් හුවා දක්වා ඇත. ඔහු යුද්ධය පටන් ගත්තේ එල්ටීටීඊය සමග කොලඹ ආන්ඩුව 2002 ඇතිකරගත් “සාම ගිවිසුම” කඩකර යුද්ධය යලි අරඹන ලෙසට ජවිපෙ කල බලපෑමේ ද මුක්කුව ඇතිවයි. යුද්ධය ගෙන යද්දී මිලිටරියට බ්‍රිතාන්‍යයෙන් ලැබුනු සහයෝගය ද ඔහු හුවා දක්වා ඇත.
රාජපක්ෂ තම නිවේදනය අවසන් කලේ, “ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටුකල” ඉහල හමුදා නිලධාරීන් ඉලක්ක කොට සිදුකෙරන, “තාඩන පීඩනවලට එරෙහි ව, සෘජු ව පෙනී සිටින” ලෙස දිසානායක ආන්ඩුවට ආයාචනා කරමිනි. දේශපාලනිකව කුජීත ව සිටින රාජපක්ෂගේ මෙම ප්‍රකාශයේ සෘජු අරමුන වන්නේ වර්ගවාදී උද්ඝෝෂනයකින් තමන්ට හා තම පක්ෂයට වාරුවක් ලබා ගැනීමය.
දිවයින පුවත්පත 26දා කතුවැකියෙන් රාජපක්ෂගේ උද්ඝෝෂනයට තම දායකත්වය දක්වමින් බ්‍රිතාන්‍ය ප්‍රකාශය හෙලා දුටු අතර සම්බාධක පැන වූ හමුදා නිලධාරීන් තිදෙනා, “මේ රට වෙනුවෙන් කැපවූ විශිෂ්ඨ ගනයේ රනවිරුවන් තිදෙනෙක්” යැයි ඔජ වැඩුවේ ය. කතුවැකිය, මිලිටරියේ යුද අපරාධ සාධාරනීකරනය කිරීමේ ඒකායන අරමුනින්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය මෙරට සිදුකල අපරාධ හුවා දැක්වූයේ ය. කතුවැකියෙන් ප්‍රශ්න කරන්නේ, බ්‍රිතාන්‍යයට එසේ කල හැකිනම් අප එසේ කිරීමේ වරද කිම යන්නයි!
සජබ සංවිධායක ලේකම් එස් එම් මරික්කාර්, බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කැඳවා ප්‍රශ්න නොකලේ ඇයිදැයි ආන්ඩුවෙන් ඇසුවේ ය. “මේ අනදෙන නිලධාරින් සටන්කලේ රාජ්‍යය රැක ගැනීමටයි. ඔවුන්ට සම්බාධක දමා ඇත්තේ රාජ්‍ය වෙනුවෙන් සටන් කල නිසයි” යනුවෙන් මරික්කාර් මිලිටරිය සමග සිට ගත්තේ ය.
වර්ගවාදී ප්‍රකොපකාරියෙක් ලෙස කුප්‍රකට, ජාතික නිදහස් පෙරමුනේ නායක විමල් වීරවංශ මාර්තු, 27දා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා යුද අපරාධ සාධාරනීකරනය කල අතර ම, “රට බේරාගත් රනවිරුවන්ට” එරෙහි මෙම සම්බාධක පැනවීම “කොටි ත්‍රස්ත්‍රවාදයට නැවත ජීව හුස්ම පිඹීමේ වෑයමක්” ආදී වසයෙන් හඬ තැලුවේ ය. ආන්ඩුව මේ සම්බන්ධයෙන් නිකුත් කල ප්‍රකාශය “කොන්ද පන නැති....සංක්‍රාන්ති ලිංගික නිවේදනයක්” ලෙස පුනපුනා හෙලා දැක්කේ ය.
දෙමල ජාතිකවාදී පක්ෂ
දෙමල ධනපති පක්ෂ මීට නොදෙවෙනි ලෙස සම්බාධක බදා ගත්හ. වවුනියාවේ පලාත්පාලන ඡන්ද රැස්වීමක් ඇමතු ඉලන්කෙයි අරසු කච්චි පක්ෂයේ මන්ත්‍රී පී. සත්‍යලිංගම් ආන්ඩුව යුද අපරාධ ගැන පරීක්ෂන පැවැත්වීම “දිගටම ප්‍රතික්ෂේප කරන්නේ යැයි කියා සිටියේ ය. දේශපාලන ඉල්ලීම් පසෙක තබා, ආර්ථිකය ස්ථාවර කිරීමට ආන්ඩුවට සහයෝගය දුන් බව කී ඔහු එය දිගට ම කරන්නට බැරි බවට අනතුරු ඇඟ වූයේ ය.
දෙමල ජාතික මහජන පක්ෂයේ (ටීඑන්පීඑෆ්) නායක ගජේන්ද්‍ර කුමාර් X පනිවුඩයක් නිකුත් කරමින්, මෙම සම්බාධක “වගවීම සම්බන්ධයෙන් ඉතා වැදගත් පියවරක් වන බව කියා සිටියේ ය.
දෙමල විරෝධී වර්ගවාදය කම්කරු පන්තිය බෙදීමේ ද සුලු ජාතිය යටත් කර තබා ගැනීමේ ද තම විසකුරු ආයුධය ලෙස යුද්ධය ගෙනගිය අනුප්‍රාප්තික ආන්ඩු මෙන් ම, ඊට මුලසිට ම සහයෝගය දැක්වූ ජනතා විමුක්ති පෙරමුන නායකත්වය දෙන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුව ද ලංකාවේ මිලිටරි නායකයන් යුද අපරාධ සිදුකල බවක් පිලිගන්නේ නැත. එම අපරාධ වසන් කරති. මෙම සියලු පක්ෂ මිලිටරිය මත යැපෙති.
එල්ටීටීඊය “ත්‍රස්තවාදී” සංවිධානයක් නිසා එය මැඩීමට සිදුකල සියලු ක්‍රියා යුක්තිසහගත බව සෑම ආන්ඩුවක් ම, යුද්ධයට සහයෝගය දුන් සෑම පක්ෂයක් ම හා වර්ගවාදී නඩ ද කියන්නේ සියලු අපරාධ සිදුකලේ බෙදුම්වාදී එල්ටීටීඊය බවයි. සමාජවාදී සමානතා පක්ෂය (සසප) එල්ටීටීඊයේ ප්‍රතිගාමී බෙදුම්වාදී දේශපාලනයට කිසිදු සහයක් නොදෙයි. එහෙත්, බෙදුම්වාදය පැන නැගීමට තතු සකස් කෙරුනේ, ධනපති ආන්ඩු දෙමල ජනයාට එරෙහි ව ගෙන ගිය විසකුරු වර්ගවාදී වෙනස්කම් කිරීමයි.
ආන්ඩුව, විපක්ෂ හා වර්ගවාදී නඩ, මිලිටරියේ මුදුන් සහ දේශපලන නායකයන්ගේ යුද අපරාධ වසං කිරීමට ගෙනයන දුෂ්ට උද්ඝෝෂනය සියලු කම්කරුවන් ප්‍රතික්ෂේප කල යුතුවේ. ධනපති පන්තියේ මෙම ව්‍යාපාරවල අවසන් ඉලක්කය කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීම හා කම්කරු -දුගී ජනයාට එරෙහි ව මිලිටරි යාන්ත්‍රනය බලගැන්වීමයි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ට කත්ඇද තමන්ට වරප්‍රසාද ලබාගැනීමට තැත්කරන දෙමල ජාතිකවාදී පක්ෂ අනුගමනය කරන්නේ බ්‍රිතාන්‍යය හෝ අනෙක් අධිරාජ්‍යවාදී රටවල සම්බාධක පස්සේ එල්ලීමේ පිලිවෙතකි.
බ්‍රිතාන්‍ය සම්බාධක ඇඟවුම් කරන්නේ, ගැඹුරුවන අර්බුදය මධ්‍යයේ එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදී බලයන් ගේ යුද ධාවනය වේගවත් වෙමින් පවතින ආකාරයයි. මේ කලාපයේ ඔවුන්ගේ ඉලක්කය චීනයයි.
සෑම ආකාරයක ම වර්ගවාදයන්ට එරෙහි වන සසප හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සටන් කරන්නේ වාර්ගික භේද කපා හැර කම්කරු පන්තිය ජාත්‍යන්තරවාදී පදනමකින් එකමුතු කිරීම සඳහා ය. එලෙස, සියලු ධනපති පක්ෂවලින් වෙන්ව ස්වාධීන ව සංවිධානය වන කම්කරු පන්තියට ගම්බද දුගීන් රැලිකර ගනිමින් යුද අපරාධ වලින් විපතට පත් ජනයාට යුක්තිය ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා ද සමාජ අයිතීන් රැකීම සඳහා ද සමාජවාදී ක්‍රියාමාර්ගයට සටන් කල හැකිවේ. අධිරාජ්‍යවාදී යුද ධාවනයට එරෙහි ව, කම්කරු පන්තියේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම සමග මෙම අරගලය සමග බැඳී තිබේ.
සසපට හා සසජාතශි සංවිධානයට බැඳී මෙම අරගලයට එක්වන ලෙස කම්කරුවන්ගෙන් හා දුගීන්ගෙන් අපි ඉල්ලමු.
