මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විමර්ශනයට ශ්‍රී ලංකාවේ විදේශ ඇමති විරුද්ධ වෙයි

[මෙය Sri Lankan foreign minister opposes United Nations HRC investigation into human rights abuses යන මැයෙන් 2025 ඔක්තෝබර් 02 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

සැප්තැම්බර් 8 වන දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (යූඑන්එච්ආර්සී) 60 වන නිත්‍ය සැසි වාරය අමතමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කලේ, “ශ්‍රී ලංකාව වගවීමේ ව්‍යාපෘතිය වැනි, රට මත පටවන ඕනෑ ම බාහිර යාන්ත්‍රනයකට කොලඹ ආන්ඩුව විරුද්ධ” වන බවයි.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් 2025 මාර්තු මාසයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින් [Photo: Facebook Vijitha Herath ]

හේරත් මේ බව කියා සිටියේ, කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව පිලිබඳව මෑතක දී නිකුත් කරන ලද පිටු 16 කින් යුත් වාර්තාවේ ප්‍රධාන නිර්දේශයකට ප්‍රතිචාර දක්වමිනි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය යන මාතෘකාව යටතේ, අගෝස්තු 12 වන දින නිකුත් කරන ලද මෙම වාර්තාව, ශ්‍රී ලංකාවේ යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විමර්ශනය කිරීම සඳහා “ජාත්‍යන්තර යාන්ත්‍රනයක්” ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටී.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව බලයට පත් වූ පලමු වසර තුල මානව හිමිකම් සහ ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් “ප්‍රගතියක්” ලබා ඇති බව පවසමින් හේරත් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කලේ ය. යථාර්ථයේ දී, ඊනියා ප්‍රතිසංස්කරන යනු ව්‍යාජ සැරසිල්ලකට වඩා වැඩි දෙයක් නොවේ.

කැනඩාව, මලාවි, මොන්ටිනීග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ එක්සත් රාජධානිය යන රටවලින් සමන්විත ශ්‍රී ලංකා හර කන්ඩායම (Sri Lanka Core Group), සැප්තැම්බර් 10 වන දින, යූඑන්එච්ආර්සී හි දී, ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන මාතෘකාව යටතේ නිල වශයෙන් යෝජනාවක් ඉදිරිපත් කලේ ය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය නිරීක්ෂනය කිරීම සහ වාර්තා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ (ඕඑච්සීඑච්ආර්) විධි නියෝගය දීර්ඝ කිරීමට එය උත්සාහ කරයි. අනාගත යූඑන්එච්ආර්සී සැසිවාරවල දී වාචික සහ ලිඛිත යාවත්කාලීන කිරීම් ඉල්ලා සිටින අතර, එය කවුන්සිලයේ 66 වන සැසිවාරයේ දී ඉදිරිපත් කෙරෙන විස්තීර්න වාර්තාවකින් කුලු ගැන්වෙනු ඇත.

අගෝස්තු 12 වන දින වාර්තාව, 2025 ජූලි දක්වා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සමාලෝචනය කරයි. පූර්ව යෝජනාව සම්මත වීමෙන් පසු ජවිපෙ/ජාජබ ආන්ඩුවේ සම්පූර්න පලමු වසර ම පාහේ එය ආවරනය කරයි.

මෙම වාර්තාව ඉදිරිපත් වූයේ, ජුනි 23 සිට 26 දක්වා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක්ගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසු ව ය. ඔහුගේ සංචාරයේ දී, ටර්ක්, ජනාධිපති දිසානායක සහ අනෙකුත් දේශපාලන නායකයින් හමු වූ අතර යුද්ධයෙන් විනාශ වූ යාපනයට ගොස් දෙමල පක්ෂ නායකයින් සහ යුද්ධයෙන් පීඩාවට පත් පුද්ගලයින්ගේ ඥාතීන් සමඟ කතා කලේ ය.

හේරත් ප්‍රගතිය පිලිබඳව කල ප්‍රකාශයන්ට විපරීත ව, යූඑන්එච්ආර්සී වාර්තාව දිසානායක පරිපාලනය යටතේ පුලුල් ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වාර්තා කරයි, ඒවාට ඇතුලත් වන්නේ:

• විශේෂයෙන් රැඳවුම් භාරයේ තබාගන්නා ස්ථානවල නිතිපතා සිදුවන වධහිංසා පැමිනවීම් සහ අයුතු ලෙස සැලකීම්.

• අත්අඩංගුවේ සිටිය දී වධහිංසා පැමිනවීම හෝ අයුතු ලෙස සැලකීම හේතුවෙන් සිදු වූ බවට චෝදනා එල්ල වන බහුවිධ මරන. ආන්ඩුවේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2024 සිට අත්අඩංගුවේ සිටිය දී මරන 13 ක් සිදු වී ඇත.

• අත්අඩංගුවේ පසුවෙමින් සිටිය දී සිදුවන මරන, බන්ධනාගාර මරන සහ මත්ද්‍රව්‍ය වැටලීම් වල දී අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ඵලදායී පරීක්ෂන නොමැතිකම.

• ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) අඛන්ඩ ව භාවිතා කිරීම, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ චෝදනා හෝ නඩු විභාගයකින් තොර ව දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට හේතු විය. 2025 මැයි 23 වන විට, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පුද්ගලයින් 49 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුනි. (2024 ජනාධිපතිවරන සහ ජාතික මැතිවරන අතරතුර, ජවිපෙ/ජාජබ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන බවට ව්‍යාජ පොරොන්දු දුන්හ.)

• ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ සහ අන්තර්ජාල ආරක්ෂන පනතේ ඒකාබද්ධ බලපෑමෙන් නිර්මානය වූ බාධාකාරී නීතිමය රාමුව, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කරයි.

• අනුස්මරන උත්සව හෝ විරෝධතාවලට සහභාගී වීම නිසා ප්‍රධාන වශයෙන් දෙමල සහ මුස්ලිම් ප්‍රජාවන්ගේ පුද්ගලයින් ඉලක්ක කරගත් අත්අඩංගුවට ගැනීම්.

විශේෂයෙන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල සෝදිසි කිරීම්, බිය ගැන්වීම් සහ හිරිහැර කිරීම් සහ අතුරුදහන් වූවන්ගේ පවුල්, ප්‍රජා නායකයින් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් ඉලක්ක කර ගැනීම් ද වාර්තාව ඉස්මතු කරයි. හමුදාව සහ රාජ්‍ය ආයතන සමඟ පවතින දිගුකාලීන ඉඩම් ආරවුල් ද තවමත් විසඳී නොමැත.

එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා, ඊනියා සංක්‍රමනික යුක්තිය (transitional justice) ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරනයේ රෝම ප්‍රඥප්තියට ඇතුලු වීම අන්තර්ගත, ශ්‍රී ලංකා ආන්ඩුව සහ “ජාත්‍යන්තර ප්‍රජාව”—එනම් අධිරාජ්‍යවාදී බලවතුන්—විසින් සිදු කල යුතු පුලුල් පරාසයක ප්‍රතිසංස්කරන ඉල්ලා සිටියේ ය.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තාවකාලික ව අත්හිටුවීම සහ අන්තර්ජාල ආරක්ෂන පනත වැනි අනෙකුත් මර්දනකාරී නීති අවලංගු කිරීම; සිවිල් කටයුතුවලට හමුදා මැදිහත් වීම අඩු කිරීම සහ ඉඩම් ආරවුල් සාධාරන ලෙස විසඳීම අනෙකුත් ක්‍රියාමාර්ග අතර වේ. මානව හිමිකම් පිලිබඳ මානව හිමිකම් කොමිසමේ අධීක්ෂනය, නීති ප්‍රතිසංස්කරන, ඉලක්කගත සම්බාධක සහ විශ්වීය අධිකරන බලය යටතේ නඩු පැවරීම් අඛන්ඩ ව සිදු කරන ලෙස ද මහ කොමසාරිස්වරයා ඉල්ලා සිටියේ ය.

2011 සිට ශ්‍රී ලංකාවේ යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ අනුග්‍රහය ලත් යූඑන්එච්ආර්සී යෝජනා, පීඩිත දෙමල, මුස්ලිම් හෝ කම්කරු පන්තියේ අයිතිවාසිකම් සඳහා සැබෑ උත්සුකයකින් මෙහෙයවනු ලැබ නැත. දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ, එක්සත් ජනපදය සහ එහි සහචරයින්, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධයේ දී අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආන්ඩුවලට සහාය දක්වා තිබේ.

2009 මැයි මාසයේ අවසන් වූ යුද්ධයේ අවසාන මාසවල දී—ප්‍රධාන වශයෙන්, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂට චීනයෙන් ඈත් වීමට බලපෑම් කිරීමේ භූ දේශපාලනික උපාමාරුවක් ලෙස—එක්සත් ජනපදය සහ එහි සහචරයින් යුද අපරාධ පිලිබඳ කනස්සල්ල මතු කිරීමට පටන් ගත්හ.

එය අසාර්ථක වූ විට, 2015 ජනාධිපතිවරනයේ දී රාජපක්ෂ වෙනුවට මෛත්‍රීපාල සිරිසේන පත් කිරීම සඳහා තන්ත්‍ර මාරු මෙහෙයුමකට—ඉන්දියාවේ සහාය ඇති ව—එක්සත් ජනපදය සහාය දුන්නේය. සිරිසේන ආන්ඩුව, අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ එක් ව, වොෂින්ටනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නැවත සකස් කලේ ය. වත්මන් ජවිපෙ/ජාජබ ආන්ඩුව මෙම ඇමරිකානු ගැති දිශානතිය දිගට ම ගෙන යන අතර, චීනයට එරෙහි එක්සත් ජනපද-ඉන්දියානු යුද ධාවනයට ශ්‍රී ලංකාව ඒකාබද්ධ කිරීම ගැඹුරු කරමින් සිටී.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ ඇමරිකා එක්සත් ජනපදය යූඑන්එච්ආර්සී වෙතින් ඉවත් වී ඇතත්, අනෙකුත් ප්‍රධාන බලවතුන් හරහා ශ්‍රී ලංකාව මත පීඩනය යෙදීම දිගට ම පවතී. මෙම මවාපෑමට යුද අපරාධ හෙලිදරව් කිරීම හෝ මානව හිමිකම් ආරක්ෂා කිරීම සමඟ කිසිදු සම්බන්ධයක් නොමැත.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර වගවීමට එරෙහි ජවිපෙ/ජාජබ ආන්ඩුවේ විරෝධය පදනම් වී ඇත්තේ අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලට එරෙහි විරෝධය මත නොවේ.

ජනාධිපති දිසානායක, එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇනියේ අනදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහෙලර් සහ දකුනු සහ මධ්‍යම ආසියාව සඳහා ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ඇතුලු ජ්‍යෙෂ්ඨ ඇමරිකානු සහ ඉන්දීය නිලධාරීන් කොලඹට සාදරයෙන් පිලි ගත්තේ ය. අප්‍රේල් මාසයේ දී, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ කොලඹ සංචාරය අතරතුර, ජවිපෙ/ජාජබ ආන්ඩුව ඉන්දියාව සමඟ පලමු වරට නිල ආරක්ෂක ගිවිසුමක් අත්සන් කලේ ය.

ජාත්‍යන්තර යාන්ත්‍රනයක් ප්‍රතික්ෂේප කිරීම පිටුපස ඇති සැබෑ හේතුව ජවිපෙ හි සිංහල ස්වෝත්තමවාදී දේශපාලනයයි.

සිංහල ආධිපත්‍යවාදයේ අනුකම්පා විරහිත යෝජකයෙකු වූ ජවිපෙ, ආරම්භයේ සිට ම එල්ටීටීඊයට එරෙහි කොලඹ පාලනයේ වාර්ගික යුද්ධයට සහාය දුන් අතර, වසර 30 කට ආසන්න යුද්ධය අතරතුර හමුදාවට දේශපාලනික ව සහාය දක්වන්නන් බවට පත්විය.

යුද්ධය පවත්වාගෙන ගිය ආන්ඩුවලට සහභාගී වූ ජවිපෙ, දේශපාලන ඝාතන භාවිතා කිරීම ඇතුලු ව මිලිටරිවාදයේ සහ දෙමල විරෝධී ස්වෝත්තමවාදයේ තම විරුද්ධවාදීන්ට එරෙහි ව නීති විරෝධී ප්‍රචන්ඩත්වය සම්බන්ධයෙන් කුප්‍රකට ය.

පූර්ව පාලන තන්ත්‍රයන් මෙන්, බලය පවත්වා ගැනීම සඳහා ජවිපෙ හමුදාව මත දැඩි ලෙස විශ්වාසය තබන අතර යුද අපරාධ ප්‍රතික්ෂේප කිරීම දිගට ම කර ගෙන යයි. පසුගිය වසරේ මැතිවරනවල දී එය ඊනියා ත්‍රිවිධ හමුදා සාමූහිකයක් පිහිටුවා ගත්තේ ය; එහි සාමාජිකයින් අතරට මේජර්වරුන් සහ වාර්ගික යුද්ධයට නායකත්වය දුන් අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලත් වේ.

යුද්ධයේ අවසන් සති කිහිපය තුල දෙමල සිවිල් වැසියන් 40,000 ක් පමන මිය ගිය බවට එක්සත් ජාතීන්ගේ පූර්ව විමර්ශනයකින් ඇස්තමේන්තු කර ඇති අතර, ඉන් බොහෝ දෙනෙක් මිය ගොස් ඇත්තේ, ඉවක් බවක් නොමැති ව සිදු කල හමුදා වෙඩි තැබීම් හේතුවෙනි. යටත් වූ සමහරුන් අතුරුදහන් විය; සුදු කොඩි ඔසවා ගෙන පැමිනි එල්ටීටීඊ නායකයින් ඇතුලු තවත් අය ඝාතනය කරන ලදී.

ඇඟ බේරා ගැනීමට උත්සාහ කරමින්, විදේශ අමාත්‍ය හේරත්, දිසානායක පරිපාලනය විසින් ගන්නා ලද ආටෝපමය පියවර මාලාවක් “ප්‍රගතිය” පිලිබඳ සාක්ෂි ලෙස උපුටා දැක්වී ය. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අවලංගු කිරීම හෝ ප්‍රතිස්ථාපනය කිරීම යෝජනා කිරීම සඳහා කමිටුවක් පිහිටුවීම; මාර්ගගත ආරක්ෂන පනත සංශෝධනය කිරීම සඳහා වන යෝජනා; දෙමල වතු කම්කරුවන් සුවිශේෂී ප්‍රජාවක් ලෙස පිලිගැනීම සහ අතුරුදහන් වූවන් පිලිබඳ කාර්යාලය (ඕඑම්පී) ඇතුලු දේශීය සංහිඳියා යාන්ත්‍රනයන් “ශක්තිමත් කිරීම” ඒවාට ඇතුලත් ය.

මේවා පූර්ව පාලන තන්ත්‍රයන් විසින් භාවිතා කරන ලද පොරොන්දු වල යලි සකස් කර ගැනීම් වේ. උදාහරනයක් ලෙස, අතුරුදහන් වීම් විමර්ශනය කිරීම සඳහා 2018 දී ඕඑම්පී පිහිටුවන ලදී. එය යම් දත්ත ප්‍රමානයක් රැස් කරගත් නමුත් කිසිදු අර්ථවත් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. පසුගිය ආන්ඩු, අතුරුදහන් වූවන්ගේ පවුල්වලට වන්දි ගෙවීමට යෝජනා කර ඇති මුත්, ඒවා ලබා දී නොමැත. මෙම යෝජනාව යුක්තිය අපේක්ෂා කරන දෙමල ප්‍රජාවන් විසින් ප්‍රතික්ෂේප කර ඇත.

තම අධිරාජ්‍ය ගැති න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා යූඑන්එච්ආර්සී වාර්තාව ඩැහැ ගෙන ඇති දෙමල ධනේශ්වර පක්ෂ, යුක්තිය සඳහා කොලඹට බලපෑම් කරන ලෙස ඇමරිකා එක්සත් ජනපදයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලා සිටී.

වාර්තාව නිකුත් කිරීමට දින හතරකට පෙර, අගෝස්තු 4 වන දින, දෙමල දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ කන්ඩායම් 100 කට අධික සංඛ්‍යාවක සන්ධානයක් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරනයට යොමු කරන ලෙස යූඑන්එච්ආර්සී වෙතින් ඉල්ලා සිටියේය. අත්සන් කල අය අතරට දෙමල ජාතික ජනතා පෙරමුන (ටීඑන්පීඑෆ්), දෙමල ඊලාම් විමුක්ති සංවිධානය (ටෙලෝ), ප්‍රජාතන්ත්‍රවාදී දෙමල ජාතික සන්ධානය (ඩීටීඑන්ඒ), දෙමල ජාතික හරිත සංවිධානය සහ වෙනත් අය ඇතුලත් විය.

සැප්තැම්බර් 9 වන දින, ඉලංකෙයි තමිල් ඇරසු කච්චි (අයිටීඒකේ) පක්ෂය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අඛන්ඩ ව භාවිතා කිරීම හෙලා දුටුවේ ය. කොලඹ ඩේලි මිරර් පුවත්පත වාර්තා කලේ, වින්දිතයින්ට “ජාත්‍යන්තර සහාය පැතීම හැර අන් විකල්පයක් නොතිබූ” බවට අයිටීඒකේ නායකයින් ප්‍රකාශ කල බවයි. ඒ සමඟම, බලය බෙදා හැරීම, සමානාත්මතාවය සහ පලාත් සභා මැතිවරන ඉක්මනින් පැවැත්වීම සඳහා වන ඉන්දියාවේ සහයෝගය අයිටීඒකේ පක්ෂය පිලිගත්තේ ය.

මෙම පක්ෂ සටන් කරන්නේ අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා නොව, සීමිත බලය බෙදා හැරීමක් සඳහා අධිරාජ්‍යවාදී බලවතුන්ගේ බාහිර සහයෝගය සඳහා ය. ඔවුහු වැඩ කරන ජනතාවගේ විනාශයට හේතු වී ඇති ජාමූඅ පිටුබලය ලබන ආන්ඩුවේ කප්පාදු න්‍යාය පත්‍රය සමඟ සම්පූර්නයෙන් ම පෙල ගැසී සිටිති.

දෙමල කම්කරුවන්ට සහ පීඩිත ජනතාවට, දෙමල ධනේශ්වර පක්ෂ හරහා හෝ මානව හිමිකම් උල්ලංඝනය කරන්නන් වන ශ්‍රී ලංකා ආන්ඩුවට හෝ අධිරාජ්‍යවාදී බලවතුන්ට ආයාචනා කිරීමෙන් හෝ තම අයිතිවාසිකම් සුරක්ෂිත කර ගත නොහැක. ඉන්දියාවේ මෝදි තන්ත්‍රයමත් සිටින්නේ, සිවිල් නිදහසට එරෙහි පුලුල් ප්‍රහාරයක කොටසක් ලෙස වාර්ගික හා ආගමික සුලුතරයන්ගේ අයිතිවාසිකම් පාගා දමමිනි.

සමාජවාදී සමානතා පක්ෂය වාර්ගික රේඛා කපාගෙන සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් එක්සත් කරමින්, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සටන් වදින්නේ එබැවිනි.

මෙම ව්‍යාපාරය, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා වන පුලුල් අරගලයේ කොටසක් ලෙස, ධනේශ්වර පාලනය පෙරලා දමා ශ්‍රී ලංකා සහ දෙමල ඊලම් එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් පිහිටුවීමේ සටන මත පදනම් විය යුතු ය. දෙමල ජනතාවට, අනෙකුත් පීඩිත ප්‍රජාවන්ට සහ සමස්ත කම්කරු පන්තියට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කල හැක්කේ මෙම මාවත හරහා පමනි.

Loading