එක් සතියක් තුල ශ්‍රී ලංකාවේ කම්කරුවන් දෙදෙනෙක් කාර්මික අනතුරුවලින් මිය යති

[මෙය 2 Sri Lankan workers die in industrial accidents in 1 week මැයෙන් 2025 නොවැම්බර් 10දා පල කල ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය සතියේ ඉරිදා හා බදාදා, ශ්‍රී ලංකාවේ වෙනත් කම්හල් දෙකක රැකියාවේ නිරතව සිටි කම්කරුවන් දෙදෙනෙකුට, වැඩෙහි යෙදෙමින් සිටිය දී තම ජීවිත අහිමි විය. 

කොලඹින් කිලෝමීටර 75ක් නැගෙනහිරින් පිහිටි, යටියන්තොට කිරිපෝරුව වත්ත රබර් සැකසුම් කම්හලේ දී, යන්ත්‍රයක් පුපුරා යාමෙන් පලමු මරනය සිදු විය. මධ්‍යම කඳුකර දිස්ත්‍රික්කයේ මස්කෙලියේ පිහිටි මාවුස්සාකැලේ තේ කම්හලේ දී, කම්කරුවෙකුගේ හිස තේ ඇඹරුම් යන්ත්‍රයකට හසුවීමෙන් දෙවන මරනය සිදු විය.

අනතුරන් මියගිය රජිනිකාන්ත

රබර් නිෂ්පාදන කම්හලේ සේවයේ යෙදුනු 25-හැවිරිදි අවිවාහක තරුනයෙකු වූ රජිනිකාන්ත සහ තේ කම්හලේ සේවයේ යෙදුනු 49-හැවිරිදි වැන්දඹු පුරුෂයෙකු වූ ක්‍රිශ්නන් විජයකුමාර් යන දෙදෙනාට එලෙස ජීවිත අහිමි විය.

කිරිපෝරුව වත්තේ මරනය

රජිනිකාන්තගේ මරනය සිදු වූ රබර් නිෂ්පාදන කම්හල, හේලීස් ව්‍යාපාර සමූහයට අයත් ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් සමාගම සතු වේ. හේලීස් සමූහයේ සභාපතිත්වයන් දරන්නේ, ලංකාවේ ප්‍රමුඛ පෙලේ බිලියනපති ව්‍යාපාරිකයන් වන ධම්මික පෙරේරා සහ මොහාන් පන්ඩිතගේ යන දෙදෙනා ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට සිද්ධිය ඇසින් දුටු කම්කරුවන් කියා සිටියේ, රජිනිකාන්ත ක්‍රියාත්මක කරමින් සිටි රබර් ඇඹරුම් යන්ත්‍රය පුපුරා ගොස් එහි කොටස් ඔහුගේ ශරීරයට වැදීම හේතුවෙන්, ඔහුගේ පපුවට හා මුහුනට බරපතල තුවාල සිදු වූ බවයි. ඔහුගේ එක් අතක් වෙන් වී ගියේ ය.

එම අනතුරින් ම තුවාල ලැබූ තවත් කම්කරුවන් දෙදෙනෙකු වන ශ්‍රී ස්කන්ධරාජා (47) සහ පුෂ්පනාගම් අසල පිහිටි කරවනැල්ල රෝහලට ඇතුලත් කෙරී ඇත.

අනතුරන් බරපතල තුවාල ලැබූ ශ්‍රී ස්කන්දරාජා

සමාගමට අනුව රබර් සැකසුම් නිෂ්පාදනය සිදු කරනු ලබන්නේ කේන්ද්‍රාපසරන (කේන්ද්‍රයෙන් ඉවතට යොමු වන-පරි.) යන්ත්‍ර භාවිතා කරමිනි. විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ, එවන් යන්ත්‍රයක් පුපුරා යාම සිදු විය හැක්කේ යෝග්‍ය ආරක්ෂක පියවරයන් හා නඩත්තු නොමැති වීම හේතුවෙන් බව යි.

විශේෂයෙන් ම, අධිවේගයෙන් ක්‍රියාත්මක වන විට යන්ත්‍රය ස්වයංක්‍රීයව නතර කෙරෙන පද්ධති, කම්පන හා උෂ්නත්ව සංවේදක, ස්වයංක්‍රීයව වැසී යාමේ අතුරුබැඳි සහ පිපිරීම්වලට ඔරොත්තු දෙන ආවරනයන් වැනි ආරක්ෂක උපාංග අත්‍යවශ්‍ය වේ. එහෙත් කම්කරුවන් කීවේ, යන්ත්‍රය දශක තුනකට වඩා පැරනි බව සහ එම ආරක්ෂක විධි විධානයන් කිසිවක් නොතිබුන බවයි.

කම්කරු ජීවිත ආරක්ෂා කිරීම සඳහා, අභිවර්ධිත ආරක්ෂක පද්ධතිවලින් යුක්ත නවීන යන්ත්‍ර භාවිතා කල හැකි වුවත්, කම්කරු ජීවිතවලට ඉහලින් සිය ලාභ තබන අනෙක් ධනපතියන් මෙන්, මෙම සමාගමේ හිමිකරුවන් ද එවන් ආරක්ෂක යාන්ත්‍රනයන් සහිත නව උපකරන වෙනුවට, අනතුරුදායක, කල් ඉකුත් වූ යන්ත්‍ර අඛන්ඩ ව යොදාගත් බව පැහැදිලි ය.

කම්හල පිහිටා ඇති කිරිපෝරුව වත්තේ කිරි කැපීමෙන් දෛනික ව ලැබෙන රුපියල් 1,350ට තරමක් වැඩියෙන් උපයා ගත හැකි නිසා, පිරිමි කම්කරුවෝ එම කම්හලේ වැඩ කරති. එහෙත්, සෑම මාසයක දී ම, ඔවුන්ට කම්හලේ වැඩ ලැබෙන්නේ දින කිහිපයක් පමනි.

නිෂ්පාදන ඉලක්ක කරා ලඟා වීමට, කම්කරුවන් උදෑසන 7 සිට රාත්‍රී 10 දක්වා වැඩ කල යුතු ය.

එක් කම්කරුවෙක් කීවේ: “වට 10ක ඉලක්කය සම්පූර්න කරන්නේ නම්, සාමාන්‍ය දෛනික වැටුප මෙන් හතරගුනයක් විතර හම්බ කරගන්න පුලුවන්. ඒත් මැෂින් රත්වෙන නිසා, ආරක්ෂක ඇඳුම් පැලඳ වැඩ කිරීම අමාරුයි. ඒවා ඇඳගෙන වැඩකලොත් ඉලක්කය දෙන්න බෑ. ඒ නිසා ආරක්ෂක ඇඳුම් නැතුව වැඩකරන්න අපි පෙලඹෙනවා,” යනුවෙනි.

අනතුරන් මියගිය රජිනිකාන්ත ගේ පියා මව සහෝදරයා සහ අසල්වැසියන් ඔහුගේ නිවස ඉදිරිපිට

රජිනිකාන්තගේ සහෝදර-සහෝදරියන් විවාහ වී වෙන ම ජීවත් වන බවත්, එම නිසා ඔහුගේ ආදායම මත යැපී සිටි ඔහුගේ දෙමාපියන්, මරනය හේතුවෙන් අසරන අඩියට ඇද දමා ඇති බවත්, වික්ෂෝපය පල කල අසල්වැසියෝ පැවසූහ.

පවුලේ සාමාජිකයන් පැවසූ පරිදි, ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් සමාගමෙන් මෙතෙකුදු වන්දි කිසිවක් ලැබී නැත.

තුවාල ලත් එක් කම්කරුවෙක් මෙසේ කීවේ ය: “අපට නිසි රක්ෂනයක් තියෙනවද කියා දන්නේ නැහැ. කම්හල් පරිපාලනය කියන්නේ වන්දි ගෙවන බවයි.”

මස්කෙලියේ මරනය

විජයකුමාර්ගේ  මරනය සිදු වූ මාවුස්සාකැලේ තේ කර්මාන්තශාලාව හා වත්ත අයත් වන්නේ, ලංකාවේ තවත් ප්‍රධාන සංගත සමූහයක් වන රිචඩ් පීරිස් සමාගම (ආර්පිකෝ) විසින් පාලනය කෙරෙන මස්කෙලිය වතු සමාගමටයි. 

විජයකුමාර්ගේ අවමගුල සිදු කල සෙනසුරාදා, ඔහුගේ පවුලේ සාමාජිකයන් හා සහෝදර කම්කරුවෝ ලෝසවෙඅ වාර්තාකරුවන්ට කතා කලහ. තම සගයාගේ මරනයෙන් කම්පනයට හා කෝපයට පත් ව සිටි කම්කරුවෝ, මෙම සිද්ධියට ආර්පිකෝ සමාගම සම්පූර්නයෙන් වගකිව යුතු බව කීවෝ ය.

ක්‍රිශ්නන් විජයකුමාර්ගේ අවමගුලේ දී ලෝසවෙඅ වාර්තාකරුවන් සමග මාවුස්සාකැලේ වත්තේ කම්කරුවන් කතා කරමින්

කම්කරුවෙක් මෙසේ විස්තර කලේ ය: “විජයකුමාර් වැඩකල මැෂිම අසල මැෂිමේ මම වැඩ කරනවා. කකුල් තුනක් තිබෙන මෙම මැෂින් වලට ආරක්ෂක ආවරන (safety guards) තුනක් තිබිය යුතු යි. එම ආරක්ෂක ආවරන නිසි පරිදි තිබුනේ නම්, අත් හෝ ශරීරයේ වෙනත් කොටස් යන්ත්‍රයට හසුවීම වැලකෙනවා.

“ඒත් විජයකුමාර් වැඩ කරමින් සිටි මැෂිමේ ආරක්ෂක ආවරන තුනෙන් එකක්වත් තිබුනේ නැහැ. ඒ හින්ද තමයි එයාගෙ ජැකට් එක මැෂිමට අහු වුනේ. ඔහු ඇතුලට ඇදී ගියා, ඔහුගේ ඔලුවේ පිටිපස පැත්ත යන්ත්‍රයේ වැදුනා. ආරක්ෂක ආවරන තිබුනා නම්, ඔහුගේ ජීවිතය බේරා ගන්න තිබුනා.“

මෙම කම්හලේ යන්ත්‍ර ක්‍රියාකරුවෙකුව සිට, දැන් වෙනත් ආයතනයක වැඩ කරන සේවකයෙක් කීවේ, කම්කරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වෙන ම නිලධාරියෙකු සිටිය යුතු බව යි.

“කම්කරුවෙක් වැඩ ආරම්භ කිරීමට පෙර යන්ත්‍රය පරීක්ෂා කල යුතු යි. ඇත්තෙන් ම මේ යන්ත්‍රයට අවුරුදු ගානක් තිස්සේ ආරක්ෂක ආවරන තිබී නැහැ. ඒ විතරක් නෙවෙයි, කම්කරුවන්ගේ ආරක්ෂක ඇඳුම් නිසි පරිදි පරීක්ෂා කල යුතු යි. ඔහුගේ ජැකට්ටුව යන්ත්‍රයට හසු වුනේ එසේ නොකල නිසයි.”

“ඇත්තටම, එවන් අනාරක්ෂිත තත්ත්වයන් ගැන කම්කරුවන් දැනුවත් කිරීමක් කරන්නේ නැහැ. කොහොම වුනත්, මේ මරනයේ මූලික හේතුව වුනේ ආරක්ෂක ආවරන නො තිබුන එක. මේ මරනයට සමාගම සම්පූර්නයෙන් වගකියන්න ඕන.“

අසල පිහිටි ලක්ෂපාන තේ කම්හලේ මෑත දී හටගත් ගින්න ගැන සඳහන් කරමින්, එහි අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක් නො තිබුන බව ඔහු පෙන්වා දුන්නේ ය. “මාඋස්සාකැලේ කර්මාන්තශාලාවේ ජලය හා වැලි බාල්දි තිබුනත්, ගින්නක් හරියට මැඩපවත්වන්නේ කෙසේ ද යන්න ගැන කම්කරුවන්ට පුහුනුවක් දීලා තිබුනේ නැහැ.“

යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට හා නතර කිරීමට භාවිතා කරන විදුලි යතුර අවදානම් සහිත හා විදුලි සැර වදින එකක් බව තවත් කම්කරුවෙක් කීවේ ය. “ටී මේකර්ට (කම්හලේ ආසන්න වගකිව යුතු නිලධාරියා) කිහිප වතාවක් මං ඒ ගැන කිවුවත් කිසිදු පියවරක් ගත්තේ නැහැ. දැන් මට විදුලි යතුර ක්‍රියාත්මක කරන්න වෙලා තියෙන්නෙ ලී පට්ටයකින්.“

කම්හලේ තේ ඇඹරීම රාත්‍රී 10ට ආරම්භ කරන බවත්, අධික වැඩ සහිත දවස්වල දී පසු දින හවස 1.30 වන තෙක් අඛන්ඩ ව වැඩ කිරීමට සිදු වන බවත්, ඔහු කීවේ ය. අතිරේක පැය ගනන් සඳහා, කම්කරුවන්ට අතිකාල වැටුප් ලැබිය යුතු වුවත්, එය පැයකට හෝ දෙකකට සීමා කර, අතිරේක අතිකාල ගෙවීම් කපා දමනු ලැබේ. 

“ඒ තරමට අප සූරා කෑවත්, සමාගම් කියන්නේ අපේ පඩි වැඩිකරන්න බැහැ කියලා. අපි අසනීපව සිටියත්, අපිට තුවාල සිදු වුනත්, යන්ත්‍රයකට හසු වී විජයකුමාර් මෙන් මිය ගියත්, ඔවුන්ට ඒකෙ ගානක් නැහැ. ඔවුන්ට අවශ්‍ය වන්නේ, අපි මරවා මුදල් හම්බ කර ගැනීමයි. මෙය නැවැත්විය යුතුයි.“

ක්‍රිශ්නන් විජයකුමාර්ගේ ජීවිතය සිහිපත් කරන බැනරය

කම්කරුවන් අතර වැඩෙන කෝපය අස්වැසීමේ උත්සාහයක යෙදෙන කම්හලේ කලමනාකරු, විජයකුමාර්ගේ මරනයට වන්දි ගෙවන බවට ඔහුගේ දරුවන්ට පොරොන්දු වී ඇත. එවන් වාචික පොරොන්දු විශ්වාස කල නො හැකි බව කම්කරුවෝ කියති. 

කිරිපෝරුව වත්තේ කම්හලේ රබර් සැකසුම් යන්ත්‍රය පුපුරා යාමෙන් සිදු වූ මරනය සාමාන්‍ය සිද්ධියක් ලෙසත්, මාවුස්සාකැලේ කම්හලේ මරනය යන්ත්‍රයක් තුලට කම්කරුවෙකුගේ ජැකට්ටුවක් හසුවීමෙන් සිදු වූ දෙයක් ලෙසත්, සියලු ධනපති මාධ්‍ය වාර්තා කර ඇත්තේ, කම්කරුවන්ගේ ජීවිත කෙරෙහි ඔවුන්ගේ නො තැකීම ප්‍රදර්ශනය කරමිනි. 

කාර්මික මිනීමැරීම්

කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක යාන්ත්‍රනයන් පැවතුනේ නම්, මෙම මරන සිදු නොවනු ඇත. ඒවා කාර්මික මිනීමැරීම්වලට සමාන වේ. ජීවිත නො තකමින්, ලාභ උකහා ගැනීම පමනක් මෙම මහා සමාගම්වලට අවශ්‍ය වේ.

සමාගම් සමග එක්ව වැඩකරන වෘත්තීය සමිති නිලධරයන් සහ අනුප්‍රාප්තික ආන්ඩු, හාම්පුතුන් විසින් සිදු කරන මෙම අපරාධයන්ට වගකිව යුතු ය. එක් කම්කරුවෙක් මෙසේ සඳහන් කලේ ය: “වෘත්තීය සමිති නායකයන්ගේ හා ආන්ඩුවේ සහයෝගය නැති ව, සමාගම්වලට මේ ආකාරයට හැසිරෙන්න බැහැ. වෘත්තීය සමිති නායකයන් හා ආන්ඩුව මේ ගැන කිසි දෙයක් කරන්නේ නැහැ.“

ලංකාවේ කම්කරු පන්තියේ අතිශයින් ම පරිපීඩිත කොටසක් වන වතු කම්කරුවන්ට, මාසික වැටුපක් හා වැටුප් සහිත නිවාඩු යන දෙක ම අහිමි ය.

2023 දී ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිදු කල ගනන් බැලීම්වලට අනුව, මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමට හතරදෙනෙකුගෙන් යුත් පවුලකට රුපියල් 90,000ත් 100,000ත් අතර අවම මාසික ආදායමක් අවශ්‍ය වේ. එහෙත් දැන් අහස උසට නැග ඇති ජීවන වියදම මධ්‍යයේ, වතු කම්කරුවෙකුගේ සාමාන්‍ය ආදායම මාසයකට රුපියල් 25,000කි. අඩි 12X10 සහිත බැරැක්ක වැනි ලයින් කාමරවල ඔවුන් ජීවත් වන අතර, ඒවායෙන් බහුතරයක් වසර 100කට පෙර ඉදිකෙරී කිහිප වතාවක් අලුත්වැඩියා කෙරී ඇත.

මාවුස්සාකැලේ තේ කම්හලේ වැඩකරමින් සිටිය දී 2025 නොවැම්බර් 5දා ජීවිතක්ෂයට පත් ක්‍රිශ්නන් විජයකුමාර්ගේ ලයින් කාමරය

කාර්මික අනතුරු හේතුවෙන් තුවාල ලබන හෝ මියයන ශ්‍රී ලංකාවේ කම්කරුවන් සංඛ්‍යාව වේගයෙන් ඉහල යමින් පවතී. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව, ලංකාවේ වාර්ෂික ව මාරාන්තික නො වන වැඩපොල අනතුරු 2,000ක් ද මාරාන්තික අනතුරු 60-80ක් පමන ද ආසන්න වසයෙන් සිදු වේ.

මෑත දී වාර්තා වූ සමහර මරන:

• කොලඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ දී සිදු වූ අනතුරකින්, 2025 අගෝස්තු 8දා 51-හැවිරිදි ප්‍රයිම් මූවර් යන්ත්‍ර ක්‍රියාකරවන්නෙක් ජීවිතක්ෂයට පත් විය.

• කොලඹට තදාසන්න සපුගස්කන්දේ මාකොල ප්‍රදේශයේ දී සිදු වූ කාර්මික අනතුරකින්, රත්නපුර ප්‍රදේශවාසී 35-හැවිරිදි පුද්ගලයෙක් යන්ත්‍රයකට හසුවීමෙන් අගෝස්තු අගභාගයේ මරුමුවට පත් විය.

ඊනියා කාර්මික රටවල සිට පසුගාමී රටවල් දක්වා ගෝලීය වසයෙන් වැඩපොල අනතුරු හේතුවෙන් සිදු වන මරන ඉහල යමින් පවතී. උදාහරනයක් ලෙස, ඔක්තෝබර් 10දා එක්සත් ජනපදයේ ටෙනිසිහි බක්ස්නෝර්ට් ප්‍රදේශයේ පුපුරන-ද්‍රව්‍ය කම්හලක් වන ඇකියුරේට් එනර්ජෙටික් සිස්ටම්ස්හි සිදු වූ පිපිරීමක්, කම්කරුවන් 16 දෙනෙකුගේ මරනයට හේතු විය. බංග්ලාදේශයේ ඩකා අගනුවර මීර්පූර් ප්‍රදේශයේ ඔක්තෝබර් 14දා ඇඟලුම් කම්හලක හටගත් ගින්නකින් කම්කරුවන් 16 දෙනෙක් පිලිස්සී මිය ගියහ.

ලාභය හඹා යමින් ආරක්ෂක පියවරයන් කපා දැමීම හේතුවෙන් හටගත් මෙම මරන, සරල “කාර්මික අනතුරු” නොව ධනවාදය විසින් නිර්මිත මිනීමැරීම් ය.

සමාජවාදී සමානතා පක්ෂය සෑම කම්හලක, වත්තක හා වැඩපොලක ම කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගන්නා ලෙස කම්කරුවන් උනන්දු කරන අතර, කම්කරුවන්ට සිය ජීවිත ආරක්ෂා කර ගැනීමට මෙන් ම ඔවුන්ගේ රැකියා හා වැටුප් සඳහා සටන ආරක්ෂා කරගැනීමට ද එම කමිටුවලට ක්‍රියාමාර්ග ගත හැකි ය.

අනාරක්ෂිත කොන්දේසි යටතේ සිදු කරන නිෂ්පාදන නැවැත්විය යුතු එම කමිටු, සියලු ආරක්ෂක දත්ත හෙලි කරන ලෙසත්, මරනවලට හා තුවාල වීම්වලට වගකිව යුතු සියල්ලන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටිය යුතු ය.

මේ අරගලයේ දී කම්කරු පන්තියේ ජාත්‍යන්තර සහෝදරත්වය ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය වේ. ධනවාදයට එරෙහි ව ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය තුල, කම්කරුවන්ට ජාත්‍යන්තර ව බලමුලු ගැන්වීමට, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සටන් කරයි.  

Loading