ඩිත්වා කුනාටු ව්‍යසනය මධ්‍යයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ “මානුෂික මෙහෙයුම”

අනුරාධපුරයේ ගංවතුරෙන් විපතට පත් වූවන් සමඟ “ව්‍යසනය මධ්‍යයේ මනුෂ්‍යත්වය” යන බැනරය සමඟ පෙනී සිටින පෙසප සාමාජිකයින් [Photo: Facebook/Wasantha Mudalige]

ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ඩිත්වා සුලි කුනාටු ව්‍යසනය මධ්‍යයේ “අසිරි හදවත” නමින් මානුෂීය ව්‍යාපාරයක් දියත් කලේ ය. “බොහෝ දේ උදුරාගත් ව්‍යසනයට මනුෂ්‍යත්වය උදුරා ගැනීමට ඉඩ නොදෙමු, ව්‍යසනයට එරෙහි ස්වේච්ඡා ක්‍රියාකාරීත්වයට ඔබත් පෙරට එන්න,” යන පාඨය එහි තේමාව විය. පෙසප සිය කේඩර සුලි කුනාටුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ වලට යොමු කරමින් ආධාර දීමේ සහ විවිධ ස්ථාන පිරිසිදු කිරීමේ වැඩකටයුතු වලට යොදවා තිබුනි.  

සුලිකුනාටු ප්‍රහාරය සිදු වූ නොවැම්බර් 28 සිට දියත් වූ, මෙම සංවිධානයේ “මානුෂික මෙහෙයුම” විපතට පත් ජනයාට පමනක් සීමා නොවීය. එම මෙහෙයුම ජනතා විමුක්ති පෙරමුන නායකත්වය දෙන ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව වෙත ද දීර්ඝ කර තිබුනි. මෙම කන්ඩායම, මූල්‍ය අරමුදලේ ඉත්තෙකු ලෙස ක්‍රියාකරන, දක්ෂිනාංශික ජවිපෙ/ජාජබ ආන්ඩුවට “මහජනතාවගේ ආන්ඩුවක්” යන සන්නාමයක් දී ඇත. ඒ අනුව, ආන්ඩුව “හරිමගට” ගැනීමට යයි කියමින් මේ පක්ෂයේ නායකයෝ, රුපවාහිනි නාලිකා ඇතුලු විද්‍යුත් මාධ්‍ය මගින් කරමින් සිටි මිතුරු විවේචන ද හකුලා ගෙන ආන්ඩුව කෙරෙහි ද සිය අසිරි හදවතේ දයාව ප්‍රදර්ශනය කලහ. 

දිත්වා සුලි කුනාටුවෙන් රුදුරු ලෙස බැට කෑ මහජනයා තමන් මෙවන් විනාශයන්ට නිරතුරු ව ගොදුරුවන්නේ ඇයි ද යන ප්‍රශ්නය මතු කරමින් තම විරුද්ධත්වය ආන්ඩුවට එරෙහි ව එල්ල කරන්නට පටන් ගෙන ඇත. පෙසප ද දැන් තමන්  “කුනාටුවේ කනගාටුවෙන් ඉදිරියට” යන බව නිවේදනය කොට ආන්ඩුව කෙරෙහි බොරු විවේචන ඉදිරිපත් කරමින් ධනපති ක්‍රමය තුල ම ප්‍රශ්න විසඳා ගැනීමේ බෙහෙත් වට්ටෝරු නිවේදනය කරමින් සිටියි.  

සුලි කුනාටුව මගින් ඇති කල මානව ඛේදවාචකය ඉමහත් ය. මේ වන විට, ගංවතුරෙන් හා නාය යාම් වලින් ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම අලලාගෙන,  පන් ලක්ෂයකට ආසන්න පවුල් ප්‍රමානයක විසි ලක්ෂයක් පමන ජනයා අවතැන් කොට දහසකට ආසන්න සංඛ්‍යාවක් මරනයට පත් කර තිබේ; නිල වසයෙන් මරන 643ක් සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 183ක් වේ. පූර්න නිවාස හානි 6,228 ද අර්ධ නිවාස හානි ලක්ෂයක් ද වාර්තාවේ. ලෝක කම්කරු සංවිධානය ප්‍රකාශ කොට ඇත්තේ, 374,000 කම්කරුවන් රැකියා විනාශයකට මුහුන දී සිටින අතර, කෘෂි හා ධීවර කර්මාන්ත දරුනු බලපෑමකට ලක් ව ඇති බවයි. 

ජනාධිපති අනුර කුමාර දිසානායක හා අගමැති හරිනි අමරසූරිය ඇතුලු ආන්ඩුවේ නායකයෝ පැලැස්තර විසඳුම් ඉදිරිපත් කරමින්, විවිධ සහන පැකේජ ප්‍රකාශයට පත්කොට, “ශ්‍රී ලංකාව යලි ගොඩනැගීමේ” වැඩපිලිවෙලකින් ඉදිරියේ තිබුනාටත් වඩා ඉහලට රට ඔසවන බවට පුච්චානම් දෙඩවීමක යෙදෙති. කිසිවෙක් මිත්‍යාවක් ඇතිකර ගත යුතු නැත. ආන්ඩුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මුර්ග ප්‍රහාර තවදුරටත් වේගවත් කරන අතර ම “රට යලි ගොඩනැගීමේ” බර ද කම්කරුවන් හා දුගීන් ගේ කර මතට ම පටවනු ඇත.  

දැන් උග්‍ර වෙමින් පවතින අර්බුදය දරා ගත නොහැකි ව කම්කරුවන් හා දුගීන් බරපතල අරගලවලට ඇදී ඒමට නියමිත ය. 2022 මහජන අරගලය පරයා යන අරගල මතුවීමේ කොන්දේසි වැඩෙමින් ඇත. 

විපතට පත්වූවන් කෙරෙහි මහජනයා තුල සානුකම්පාවක් මතුවීම ස්වභාවික ය. සුනාමි ඇතුලු ව්‍යසනයන්හි දී කම්කරුවන් හා දුගීන්  විපතට පත්වූවන් ගැන කම්පාවෙමින් ක්‍රියාකල සැටි ද සිහි ගන්වමින් මෙවර ද මහජනයා සුලි සුල⁣ඟෙන් බැට කෑ ජනයා වෙනුවෙන් ඉදිරිපත් වූහ. 

එහෙත්, පෙසප 'මානුෂික මෙහෙයුම්” ව්‍යාපාරය හා “කනගාටුවෙන් පසු ඉදිරියට” නම්වූ  ව්‍යාපාරය වෙනම ම උගුලකි. 

ඔවුන් ඊනියා අසිරි හදවත නමින් ඉදිරිපත් කරන පිලිවෙත වන්නේ, ව්‍යසනය ගැන ශෝක වී වගකිව යුත්තෝ කවුද යැයි සොයා බැලීමකින් තොරව මානුෂීය මෙහෙයුමක යෙදීමයි. ඒ අනුව, කම්කරුවන් ඇතුලු මහජනතාව කල යුත්තේ, මේ ආකාරයේ ව්‍යසනයක් පැමිනිවිට සියලු පන්ති භේද ද පසෙකලා ආන්ඩුව හා එය නියෝජනය කරන ධනපති පන්තිය සමග එක්ව විපතට පත් වූවන් ගොඩගැනීමේ නමින් වැඩ කිරීමයි. ඒ අනුව, පෙසප මුහුනුපොතේ පල වූයේ, ස්වෙච්ඡා සේවයට කැඳවීමේ නිවේදන පමනකි. 

දෙසැම්බර් 8 වන දා ජන අරගල සන්ධානයේ මාධ්‍ය සාකච්ඡාවක දී පෙසප නායකයෙකු වන දුමින්ද නාගමුව සිය ව්‍යාපාරයේ ක්‍රියාකලාපය පිලිබඳව මෙසේ ප්‍රකාශ කලේය: “පසුගිය කාලයේ විශාල මෙහෙයුමකට සම්බන්ධ වීම නිසා දේශපාලන වශයෙන් අපි කල්පනා කලා මේ සම්බන්ධයෙන් පුලුල් අදහසක් ලබා ගෙන මේ ක්‍රියාවලියෙදි අපේ කොටස ජනතාව එක්ක ජනතාවගේ අවශ්‍යතාවය ඉටු කරමින් ඊලග අදියරකදි මේ සම්බන්ධව පුලුල් පැහැදිලි කිරීමක් කරන්න ඕනි කියලා.” 

නාගමුව ප්‍රකාශ කරන පරිදි, පෙසප නායක දේශපාලන තොත්ත බබාලාට, මහජනයා මුහුන දෙන දැවැන්ත ව්‍යසනයක් තුල, යුද්ධයක් හෝ වෙනත් කම්පනයක දී ක්‍රියා කිරීමේ “පුලුල් අදහසක්” ඇත්තේ නැත. ඔවුන් එම “පුලුල් අදහස ලබා ගෙන... ඊලඟ අදියරක දී ... පුලුල් පැහැදිලි කිරීමක්” කරන තුරු මහජනතාව බලා සිටිය යුතු වේ!  

මෙය අමු බේගලකි. මෙය ධනපති පන්තිය සමග වැඩ කරන, ධනපති ක්‍රමය තුල විසඳුම් සොයන අවස්ථාවාදීන්ගේ ආස්ථානයයි. 

මෙම ව්‍යාජ වාම සංවිධානය “අසිරි හදවත” වැඩපිලිවෙල මුලින්ම ප්‍රකාශයට පත්කලේ කෝවිඩ් වසංගතය වේගයෙන් පැතිරෙන තතු තුල 2021 දී ය. මෙම වැඩපිලිවෙලට අනුව, පෙසප නායක කුමාර් ගුනරත්නම්, එවක අගමැති මහින්ද  රාජපක්ෂ වෙත ලිපියක් යවා ආන්ඩුවේ වැඩපිලිවෙලේ “අඩුපාඩු” තිබුනත්, ඊට සහාය දීමට කැමැත්ත ප්‍රකාශ කර ලිපියක් ද ලීවේ ය. 

මෙම සහයෝගය ප්‍රකාශ කිරීමෙන් සිදු කලේ රාජපක්ෂ ආන්ඩුව කොරෝනා වසංගතය  සමග එකට ජීවත්වීම නමින් කම්කරුවන් සෞඛ්‍ය අනාරක්ෂිත තත්වයක වැඩට යාමට බලකිරීමේ සමාජ-ඝාතක පිලිවෙත ද එහි මූලය වන ධනපති ක්‍රමයේ සාපරාධී ස්වභාවය ද වසන් කිරීමයි. නාගමුව, කම්කරු අරගල මධ්‍යස්ථානය වෙනුවෙන්, එවක කම්කරු ඇමති දිනේශ් ගුනවර්ධන සමග සාකච්ඡා පවත්වා ආන්ඩුවේ වැඩපිලිවෙලට සහය දුන්නේ ය. 

2004 සුනාමි ව්‍යසනය සිදු වූ කාලයේ දී පෙසප නායකයන් සිටියේ ජනතා විමක්ති පෙරමුනේ ක්‍රියාකාරීන් ලෙස ය. දිසානායක ඇතුලු ජවිපෙ නායකයෝ ඒ දිනවල ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග යටතේ ආන්ඩුවේ ඇමති පදවි ලබාගෙන ධනපති ක්‍රමය රැකීමට පිලින දී සිටියහ. ජවිපෙ යෝජනා කලේ සුනාමි ව්‍යසනයෙන් රට ගොඩ ගැනීමට “ජාතික ක්‍රියාකාරී මධ්‍යස්ථානයක්” පිහිටුවා “ස්වෙච්ඡා වැඩ” කිරීමට මහජනයා බලහත්කාරයෙන් පෙලඹවීමයි. 

ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පත් වූ වහා ම පෙසප ආන්ඩුව එය මහජන අභිලාෂයන් ප්‍රකාශයට පත් කරන බව කියමින් සිටින තතු තුල මෙම ධනපති දේශපාලනය වඩා හොඳින් ප්‍රකාශයට පත්වේ. ආන්ඩුව බලයට පත් වීමෙන් පසුව ඔවුන් දිගට ම සඳහන් කලේ තමන් ජවිපෙ/ජාජබ ආන්ඩුව ප්‍රතිගාමීන්ගෙන් ආරක්ෂා කරන බවයි.  ඩිත්වා සුලි කුනාටුව සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිචාරය ද එහි දිගුවකි. 

සුලි කුනාටු ව්‍යසනයේ දේශපාලන මූලයෝ

පෙසපට ප්‍රතිවිරුද්ධ ව සමාජවාදී සමානතා පක්ෂය (සසප) මුල පටන්ම මෙම සුලි කුනාටුව සම්බන්ධයෙන් ආන්ඩුවේ නොතකා හැරීම හෙලිදරවු කරමින් දේශපාලන අරගලය පෙරට ගත්තේ ය. සුලි කුනාටුවේ විනාශය මගින් පෙන්නුම් කෙරෙන ධනපති ක්‍රමයේ ම්ලේච්ඡත්වය කම්කරුවන්ට සහ සෙසු මහජනතාවට පැහැදිලි කරමින් කම්කරු පන්තියේ දේශපාලන මූලෝපාය වර්ධනය කලේ ය.

එහි තීරනාත්මක පියවරක් ලෙස සසප දෙසැම්බර් 8 වනදා ලෝසවෙඅ තුල “ශ්‍රී ලංකාවේ සහ ආසියාවේ දැවැන්ත ගංවතුර හේතුවෙන් ඇති වූ මානව ව්‍යසනය: එය සිදු වූයේ කෙසේ ද?” යන මාතෘකාව යටතේ මෙම ව්‍යසනයේ දේශපාලන මූලයන් පැහැදිලි කලේ ය.

එය මෙසේ සඳහන් කලේය:

“(මීට) පිලිතුර ඇත්තේ ඉරනම හෝ සොබාදහම තුල නොව, ප්‍රධාන වශයෙන් ගෝලීය උනුසුම මගින් මෙහෙයවනු ලබන දේශගුනික විපර්යාසවල ඒකාබද්ධ බලපෑම සහ අනුප්‍රාප්තික ආන්ඩු විසින් විද්‍යාත්මක හා ආපදා වැලැක්වීමේ යටිතල පහසුකම් ක්‍රමානුකූලව විසුරුවා හැරීම තුල ය.

සුලි කුනාටුවෙන් ඇති කල ආපදාවට සහ එවන් ආපදා ඉදිරියට ඇතිවීම වලක්වා ගැනීම සඳහා විද්‍යාත්මක ප්‍රතිචාරයක් වර්ධනය කල යුතු ව පවතින්නේ මෙම මූලයන්ට ආමන්ත්‍රනය කරමිනි. ආපදාවට ලක් වූවන්ට සහන සැලසීම, ඔවුන් ගේ ජීවිත යලි නගා සිටුවීම විධිමත් ව කල හැක්කේ ජාතික ව සහ ජාත්‍යන්තර ව ඒකාග්‍ර කල යාන්ත්‍රනයක් හරහා ය.”

මාක්ස්වාදී පක්ෂයේ කර්තව්‍යය

මෙවන් අවස්ථාවක මාක්ස්වාදී ව්‍යාපාරයේ වගකීම වන්නේ ව්‍යසනයට ගොදුරු වූවන්ට අවශ්‍ය දෑ ඇති තරම් සම්පාදනය කිරීම රජයේ හා ආන්ඩුවේ වගකීම ය යන වැටහීම කම්කරු පන්තිය තුල ප්‍රචලිත කිරීමයි. ධනපති පන්තිය හා එහි ආන්ඩුව ඊට අසමත් ය, මහජනතාව ඇද දමා ඇති සමාජ ව්‍යසනය විසඳීමට තමන්ගේ වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට කම්කරු පන්තිය, ගොවි ජනතාව හා අවශේෂ පීඩිතයන් රැලිකර ගනිමින් මුලිකත්වය ගත යුතු ය.  එය සාක්ෂාත් කල හැක්කේ, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් හා ජාත්‍යන්තර සමාජවාදයේ කොටසක් ලෙස සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමෙනි. 

ඒ පිලිබඳව සුනාමි ව්‍යසනයෙන් පසු, 2005 සසප පැවැත්වූ දේශනයක දී එහි හිටපු ප්‍රධාන ලේකම් විජේ ඩයස් 1891-92 රුසියාවේ පැතිරගිය මහා සාගතය  සමයේ මාක්ස්වාදීන්ගේ අත්දැකීම පැහැදිලි කරමින් ලියොන් ට්‍රොට්ස්කි ලියූ යං ලෙනින් (තරුන ලෙනින්) කෘතියෙන් උපුටා දැක්වූ මාකස්වාදීන්ගේ පිලිවෙත එදා මෙන්ම අදට ද වලංගු ය.

“එකල පොදුවේ මාක්ස්වාදීන්ට එරෙහි ව එල්ල කරන ලද චෝදනාව නම්, ඔවුන් ජාතික ව්‍යසනය තමන්ගේ න්‍යාය ධර්මයේ කන්නාඩි තුලින් දැකගත් බව ය. එම චෝදනාව මෙම විවාදයන්ගේ පැවැති පහත් න්‍යායික මට්ටම පෙන්නුම් කරයි. ඇත්ත නම්, සියලු බලවේග හා කන්ඩායම් දේශපාලන ආස්ථානයන් ගත් බව ය: ආන්ඩුව, තම කීර්තියේ අවශ්‍යතාව පෙරදැරි කොට ගෙන, සාගතයක් නොවී යැයි කීය. නැතහොත් එය අඩු තක්සේරු කලේ ය.

“ලිබරල්ලු සාගතයක් පවත්නා බව එලිදරව් කරන අතර ම තමන්ට බලයේ බත්තුලක් දෙන්නට සාර් සූදානම් නම්, තමන් ඔහුගේ හොඳම සහකරුවන් වීමට සූදානම් බව ‘සාධනීය වැඩ’ මගින් ඔහුට පෙන්නුම් කිරීමට උත්සුක වූහ. ජනතාවාදියෝ ආහාර බෙදන ස්ථානවලට ද, උනසන්නිපාත රෝහල්වලට ද, දිව යමින් ජනතාවගේ සහාය දිනා ගැනීමට සාමකාමී හා නීත්‍යානුකූල මාවතක් සොයා ගැනීමට කැස කැවූහ. මාක්ස්වාදීන් විරුද්ධ වූයේ සාගතයෙන් පෙලෙන්නන්ට ආධාර සැපයීමට නොවේ; අගහිඟයේ සාගරය මානව හිතවාදයේ කන් හැන්දකින් ඉසින්නට හැකි ය යන මිථ්‍යාවට ය. නීත්‍යානුකූල කමිටුවක හෝ කැන්ටිමක හෝ සෙම්ස්ට්වෝ (ගම්සභා) නියෝජිතයෙකු ගේ හෝ නිලධාරියෙකු ගේ තැන විප්ලවවාදියෙක් භාර ගත හොත් ව්‍යාපාරය තුල විප්ලවවාදියාගේ තැන ගන්නේ කවු ද? පසු කලෙක ප්‍රසිද්ධ කරන ලද අමාත්‍යංශ සටහන් හා නියෝගවලින් නිසැකව ම පැහැදිලි වන්නේ ආන්ඩුව සාගතයෙන් පෙලෙන්නවුන්ට ආධාර පංගු ඉහල දැමුවේ විප්ලවවාදී උද්ඝෝෂනයට තිබුනු භීතිය නිසා බව ය. මේ අර්ථයෙන් ගත් කල්හි සැබැවින්ම ආධාර දිනා ගැනීම පැත්තෙන් ගත්ත ද විප්ලවවාදී පිලිවෙත නිර්පාක්ෂික මානව හිතවාදයට වඩා බෙහෙවින් ම සාර්ථක විය.” (ලියොන් ට්‍රොට්ස්කි, ද යං ලෙනින්, රෙන් පබ්ලිකේෂන් 173 පි.)

මෙම උපුටනයේ ‘සාගතය’ යන තැනට ඩිත්වා සුලි කුනාටුව ද, ‘ලිබරල්වාදීන්’ හා ‘ජනතාවාදීන්’ යැයි සඳහන් වන තැනට පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන්න ද, ‘සාර්යන තැනට 'ජවිපෙ/ජාජබ ආන්ඩුව' ද ආදේශ කිරීම මගින් පෙසප හා එහි 'අසිරි හදවත' යන පිලිවෙතෙහි ප්‍රතිගාමී ස්වභාවය වටහා ගැනීමට කෙනෙකුට පහසුවෙන්ම හැකි වෙනු ඇත.

Loading