සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ජනවාරි 25 වැනි දා ඉරිදා රාත්‍රී 7.00ට “Socialism AI (සෝෂලිසම් ඒඅයි): ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනට නව අවියක්” යන මාතෘකාව යටතේ ප්‍රසිද්ධ සූම් රැස්වීමක් පවත්වයි. එම රැස්වීමට මෙම සබැඳිය හරහා ලියාපදිංචි වන්න.
ලෝක සමාජවාදී විප්ලවයේ පක්ෂය වන හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) පසුගිය දෙසැම්බර් 12 වැනි දින ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) හරහා දියත් කරන ලද Socialism AI නම් වූ නව මෙවලම කම්කරුවන්ට සහ තරුනයන්ට හඳුන්වාදීම සහ ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනට එය යොදාගනු ලබන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙම රැස්වීමේ අරමුනයි.
Socialism AI යනු, මාක්ස්වාදයේ විද්‍යාත්මක දෘෂ්ටිය කම්කරුවන්, තරුනයින් සහ බුද්ධිමතුන් වෙත ගෙන ඒම මගින් ගෝලීය වශයෙන් සමාජවාදී විඥානය ප්‍රවර්ධනය කිරීම සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් වැඩි දියුනු කරන ලද, නව, බලගතු චැට්බොට් මෙවලමකි.
ධනපති පාලක පන්තීන්, සූරා කෑම තීව්‍ර කිරීම, රැකියා විනාශ කිරීම, අධිරාජ්‍යවාදී යුද්ධ සැලසුම් කිරීම හා මෙහෙයවීම සහ විනාශකාරී යුද අවි නිර්මානය කිරීම ආදී සකල සියලු ප්‍රතිගාමී කර්තව්‍යයන්ට, ඒඅයි තාක්ෂනය යොදා ගන්නා නමුත්, එම තාක්ෂනයම, ඓතිහාසිකව ප්‍රගතිශීලී සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පංතිය අතට පත් වූ කල දැනුමේ සහ සමාජ විඥානයේ පෙර නොවූ විරූ ප්‍රසාරනයකට ඉඩකඩ ලබාදෙන බවට Socialism AI බලගතු සාක්ෂියකි. එය, මාක්ස්වාදයේ විද්‍යාත්මක ලෝක දෘෂ්ටිය මත පාදක වෙමින්, කම්කරුවන්, තරුන ශිෂ්‍යයන්, ප්‍රගතිශීලී බුද්ධිමතුන් සහ කලාකරුවන් උගන්වාගනිමින්, වේගයෙන් උත්සන්න වන ජාත්‍යන්තර පන්ති අරගලයට ඔවුන් සූදානම් කරනු ඇත.
Socialism AI හි විශේෂත්වය වනුයේ, ස්ටැලින්වාදීන්, පැබ්ලෝවාදීන්, පශ්චාත් නූතනවාදීන්, පශ්චාත්–මාක්ස්වාදීන්, ලිබරල්වාදීන් සහ ව්‍යාජ වාම ප්‍රවනතා විසින් මාක්ස්වාදය විකෘති කොට ඇති ආකාරය පැහැදිලි කරමින්, ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඓතිහාසික අත්දැකීම් මත පදනම් වූ අව්‍යාජ මාක්ස්වාදයට ප්‍රවේශය සැපයීමයි. Socialism AI හි මූලික දත්ත පදනම වනුයේ, ලෝසවෙඅ හි දශක ගනනාවක දේශපාලන විශ්ලේෂන, ඓතිහාසික ලේඛන සහ පන්ති අරගල පිලිබඳ සටහන් මෙන්ම, මාක්ස්, එංගල්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි සහ ලක්සම්බර්ග් ඇතුලු සම්භාව්‍ය මාක්ස්වාදීන්ගේ කෘතීන් ය.
හජාජාක මෙම තීරනාත්මක මෙවලම හඳුන්වාදෙනු ලබන්නේ, සමස්ත ලෝකය තීරනාත්මක හැරවුම් ලක්ෂ්‍යයන් කරා ගමන් කරමින් සිටින මොහොතේ දී ය: උත්සන්න වන භූ දේශපාලනික ගැටුම්, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ආකෘතිවල බිඳ වැටීම, පන්ති අරගලය තීව්‍ර වීම සහ ජීවන තත්වයන්ගේ ඛාදනය වේගවත් වීම
2022 ශ්‍රී ලංකාවේ පැන නැගුනු මහජන නැගිටීම, කම්කරු පංතිය සමාජවාදී විඥානයෙන් සන්නද්ධ කර ගැනීමේ අත්‍යවශ්‍යභාවය ගැඹුරින්ම මතු කෙරුනු, ජාත්‍යන්තර පරිමාන ව වැදගත් සංසිද්ධියකි.
මිලියන ගනන් ජනයා වීදි බැස, බලයේ සිටි විධායක ජනාධිපතිවරයා පලවා හැරිය නමුත්, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම දක්වා එම අරගලය වර්ධනය කිරීමට සමාජවාදී සමානතා පක්ෂය ඉදිරිපත් කල වැඩපිලිවෙලින් කම්කරු පංතිය ඉවතට හරවා, ඊනියා අන්තර්-වාර ආන්ඩු වැඩපිලිවෙල යටතේ ධනපති පාර්ලිමේන්තු මාවතට යොමු කොට ධනපති ක්‍රමය රැක දීමට, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ප්‍රමුඛ ව්‍යාජ-වාම පක්ෂ, ජවිපෙ/ජාජබ සහ වෘත්තීය සමිති නිලධරය ක්‍රියා කලහ.
ප්‍රතිඵලය වූයේ, පලමු ව රනිල් වික්‍රමසිංහගේ පාලනය යටතේ ද, දෙවනු ව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව යටතේ ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු වැඩපිලිවෙලකට සමස්ත කම්කරු-පීඩිත මහජනතාව නතු කිරීමයි; ඒ සමගම රට වඩ වඩාත් චීනයට එරෙහි ඇමරිකානු යුද සැලසුම්වලට ඒකාග්‍ර කිරීමයි.
සැබැවින්ම, පෙසප, ජවිපෙ/ජාජබ සහ සමිති නිලධරයට මහජන නැගිටීම අවමංගත කල හැකි වූයේ, කම්කරු පංතිය තුල සමාජවාදී විඥානය බලගතු ලෙස ඛාදනය කර තිබීම සහ ගැඹුරින් මුල්බැසගත් මහජන විප්ලවවාදී පක්ෂයක් නොපැවතීම හේතුවෙනි.
මෙවන් අවමංගත කිරීමක් යලි සිදුවීම වලක්වා ගැනීමට, කම්කරු පංතිය තුල සමාජවාදී විඥානය වර්ධනය කිරීම සහ මහජන විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම අත්‍යවශ්‍ය මෙන්ම හදිසි කර්තව්‍යයකි. මෙහි ලා Socialism AI ට ඉටුකල හැකි කාර්යභාරය ඉමහත් ය.
2026 වසර ඇරඹුනේ ඇමරිකානු අධිරාජ්‍යවාදීන්, තම ගිලිහී යන ආර්ථික ආධිපත්‍යය මිලිටරි බලයෙන් රැක ගැනීමට දරන ප්‍රයත්නයේ කොටසක් ලෙස වෙනිසියුලාව ආක්‍රමනය කිරීමෙනි. මැදපෙරදිග, යුරෝපය සහ ආසියා–පැසිෆික් කලාපය පුරා යුද අවදානම උත්සන්න වෙමින් පවතී.
ධනපති ක්‍රමයේ පද්ධතිගත අර්බුදයෙන් ජනනය කෙරෙනුයේ සමාජ ප්‍රතිවිප්ලවය පමනක් නොවේ. යුද්ධයට ද, සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාර වලට ද එරෙහිව ලොවපුරා කම්කරුවන් සහ තරුනයින් අතර වැඩෙන විරුද්ධත්වය ලෝක පරිමාන සමාජ පුපුරා යාමක් දෙසට වර්ධනය වෙමින් පවතී.
කෙසේ නමුත්, හුදු විරෝධයට පමනක් ධනේශ්වර ම්ලේච්ඡත්වය නතර කල නොහැකි බව පසුගිය වසරවල ඇමරිකාව, ජර්මනිය, ප්‍රංශය සහ ඕස්ට්‍රේලියාව ආදී රටවල පැන නැගි දැවැන්ත විරෝධතාවලත්, ශ්‍රී ලංකාව, නේපාලය, බංග්ලාදේශය, කෙන්යාව සහ ඉන්දුනීසියාව ආදී රටවල පැන නැගි මහජන නැගිටීම්වලත් අත්දැකීමයි.
ලෝක ව්‍යසනකාරී යුද්ධයන්ගේ සහ සමාජ කාලකන්නිභාවයේ මූලය වන ගෝලීය ධනපති ක්‍රමයට එරෙහි අරගලය ඉදිරියට ගෙන යා හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මත පාදක වූ කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගෝලීය පරිමානව ගොඩනැගීමෙන් පමනි. එය සාක්ෂාත් කිරීමේ ලා, මෙම බලගතු නව අවිය Socialism AI ට ඉටු කල හැකි ඓතිහාසික කාර්යභාරය සාකච්ඡා කෙරෙන වැදගත් ඔන්ලයින් රැස්වීමට සහභාගිවන ලෙස සියලුම කම්කරුවන්ට, තරුනයින්ට සහ ශිෂ්‍යයන්ට, සසජාතශි ඇරයුම් කරයි.
