ඉල්ලීම් පහක් මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ජිඑම්ඕඒ) ජනවාරි 24 දින කැඳවූ පැය 48 ක සංකේත වර්ජනය ඉරිදා අවසන් වීමෙන් පසු, අද සිට සිය විරෝධතා ක්‍රියාමාර්ග දීර්ඝ කිරීමක් නිවේදනය කර ඇත. ඒ අනුව, වෛද්‍යවරුන් සේවයට වාර්තා කරන නමුත්, ඔවුන්, රෝගීන්ට බාහිරින් ඖෂධ මිලදී ගැනීම හා රසායනාගාර සේවා ලබාගැනීම නිර්දේශ නොකිරීම, දේශපාලකයන් සංවිධානය කරන බාහිර සායනවලට සහභාගී නොවීම, සහායක නිලධාරින් නොසපයන ඒකක වල සේවය නොකිරීම ආදී ක්‍රියාමාර්ගවල යෙදෙන බව ජීඑම්ඕඒව නිවේදනය කර ඇත.
ලමා, මාතෘ, පිලිකා සහ හමුදා රෝහල්, අනෙකුත් රෝහල්වල හදිසි ප්‍රතිකාර අංශ සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය හැර සෙසු සියලු රෝහල්වල පැවති සංකේත වර්ජනයට 20,000 පමන වන ජිඑම්ඕඒ සාමාජිකයෝ සම්බන්ධ ව සිටිති.
ජීඑම්ඕඒ මෙම විරෝධතා ක්‍රියාමාර්ග කැඳවා ඇත්තේ තම ඉල්ලීම් ඉටුකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස තමන් සමග පැවති සාකච්ඡා වල දී ඇති කරගත් එකඟතාවයන් ක්‍රියාත්මක නොකිරීමට විරුද්ධ ව ය. සංගමයේ ඉල්ලීම් මෙසේ ය: සියලු කාන්ඩවල වෛද්‍යවරු ඇතුලත් කර ගනිමින් “ශ්‍රී ලංකා වෛද්‍ය සේවය” නමින් සුවිශේෂ සේවා කාන්ඩයක් ස්ථාපිත කිරීම; කරදරවීම, පැමින සිටීම හා ප්‍රවාහනය වෙනුවෙන් ලබාදෙන (DAT) දීමනාව යාවත්කාලින කිරීම; රාජ්‍ය නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීමේ චක්‍ර ලේඛයට අනුව වෛද්‍ය නිලධාරි දීමනා ලබා දීම සහ අමතර රාජකාරි දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත්කිරීම සහ පර්යේෂන දීමනාවේ ගැටලු විසඳීම.
සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව (සෞසේක්‍රික) වෛද්‍යවරුන්ගේ විරෝධතා ක්‍රියාමාර්ගවලට සහයෝගය දෙයි. එහෙත්, ජීඑම්ඕඒ නායකයන් ඉදිරිපත්කර ඇති වෙන ම සේවා කාන්ඩයක් ලෙස සලකා වෛද්‍ය සේවය ආවෘත සේවයක් බවට පරිවර්තනය කිරීමේ ඉල්ලීමට සහයෝගය නොදෙයි. එය වෛද්‍යවරුන් අනෙකුත් සේවකයන්ගෙන් වෙන් කෙරෙන කට්ටිවාදී ඉල්ලීමකි.
වෛද්‍යවරුන්ගේ විරෝධතා පෙන්නුම් කරන්නේ, නිදහස් සෞඛ්‍ය සේවය කප්පාදුවෙන් ඇති කර තිබෙන බරපතල අර්බුදය නිසා සියලු සෞඛ්‍ය සේවකයන් අතර උත්සන්න වන විරුද්ධත්වයයි. සෞඛ්‍ය සේවයේ අනෙකුත් සමිතිවල නායකයන් මෙන් ම, ජීඑම්ඕඒ නිලධරය ද සීමිත ඉල්ලීම් මත ආන්ඩුවට බලපෑම් දැමීමේ ක්‍රියාමාර්ග තුල මෙම විරෝධතා කොටුකර තිබේ.
අප ක්‍රියාකාරී කමිටුව, ජීඑම්ඕඒ ඇතුලු සෞඛ්‍ය සමිති සියල්ලේ නායකයන් ආන්ඩුවට බලපෑම් දැමීමේ ක්‍රියාවන්හි සාමාජිකයන් සිරකර තබමින් ගෙන යන ක්‍රියාකලාපයට ඉඳුරා ම විරුද්ධ ව සිටි. අප අවධාරනය කරන්නේ, සෞඛ්‍ය සේවක අයිතීන් සඳහා සටන, නිදහස් සෞඛ්‍ය සේවය රැකගැනීමේ අරගලය සමග සම්බන්ධ කරමින් සියලු සෞඛ්‍ය සේවකයන් බලමුලු ගැන්වීම අවශ්‍ය බවයි.
“රෝගීන් ප්‍රාන ඇපයට නොගන්නා ලෙසට” සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස සෙනසුරාදා පාර්ලිමේන්තුවේ දී වර්ජකයන්ට අනතුරු අඟවා ඇත. ඔහු ඇතුලු සෞඛ්‍ය බලධාරීන් කියා ඇත්තේ, වෛද්‍යවරුන්ට “පහසුකම් සැපයීමට” ආන්ඩුව සුදානම් නමුත් “ජාතික අර්බුදයක්” පැන නැගී ඇති නිසා එය විසඳීමට ආන්ඩුවට සම්පත් වෙන් කිරීමට සිදු වී ඇති බවයි. එහි තේරුම නම්, දිත්වා සුලිකුනාටුවෙන් තවත් උත්සන්න වී ඇති, අඛන්ඩ ව ගැඹුරු වන ධනපති ආර්ථික අර්බුදයට මහජනයා වන්දි ගෙවිය යුතු බවයි.
පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව මෙන් ම වත්මන් ජනාධිපති දිසානායක පාලනය ද, ධනපති අර්බුදයේ බර කම්කරුවන් මත පැටවීමේ යෙදී සිටි. 2022 ආර්ථික කඩාවැටීමේ දී අත්හිට වූ විදේශ නය ආපසු ගෙවීමට හා ආයෝජකයන්ගේ ලාභ තර කිරීමේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) වැඩපිලිවෙල ක්‍රියාවට දැමීම ආන්ඩුවේ ප්‍රමුඛතාවයි. ඒ සඳහා භාන්ඩාගාරයට පොම්ප කිරීමට බදුබර වැඩිකර, අත්‍යවශ්‍ය දේවල මිල ඉහල දමමින් සහ රජයේ ව්‍යවසායන් පුද්ගලීකරනයට, ලක් කරන අතර නිදහස් සෞඛ්‍ය සේවය හා අධ්‍යාපනය අතුගා දැමීමේ වැඩපිලිවෙල ක්‍රියාවට දැමෙයි.
අර්බුදයේ පවතින ධනපති ක්‍රමය තුල හා එහි විධායකය වන ධනපති ආන්ඩුව යටතේ මොන ම කම්කරු කොටසකට, වෘත්තීය කන්ඩායමකට හෝ දුගී මහජනතාවට තම අයිතීන් සහ ජීවන කොන්දේසි අරක්ෂා කර ගැනීමට නොහැක.
ජනවාරි 22 දින ජීඑම්ඕඒ නිකුත් කල නිවේදනය, ආන්ඩුවේ “වත්මන් හැසිරීම තුල , නිදහස් සෞඛ්‍ය සේවයේ හෙට දවස සම්බන්ධයෙන් බරපතල අවිනිශ්චිතතාවයක්” මතු වී ඇති බව සඳහන් කරයි. “රෝහල් පද්ධතියේ මානව සම්පත් අර්බුදය හා ඖෂධ අර්බුදය ඇතුලු ගැටලු විසඳීම් සඳහා කාල රාමුවක් සහිත උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ ජාතික අවශ්‍යතාවන් නොසලකා නිදහස් සෞඛ්‍ය සේවාව විනාශ කිරීමේ මාර්ගයේ ආන්ඩුව කටයුතු කරන්නේ නම්, සියලු පාර්ශ්ව එක්කර ගනිමින් එය සුරක්ෂිත කර ගැනීමට අවශ්‍ය ඕනෑම ක්‍රියා මාර්ගයක් ගැනීමට” නොපසුබට ව ක්‍රියාකරන බව ද එහි සඳහන් වේ.
ජීඑම්ඕඒ නිලධරයේ මෙම ප්‍රකාශය පූච්චානමකි. ආන්ඩුවේ වැඩපිලිවෙල නිසා නිදහස් සෞඛ්‍ය සේවයට ප්රශ්නය මතු ව ඇත්තේ “හෙට දවසේ” නොව මේ දැන් ය! “නිදහස් සෞඛ්‍ය සේවය විනාශ කිරීමට” ආන්ඩුව කප්පාදුව වේගවත් කරමින් සිටි.
සෞඛ්‍ය සේවයේ අර්බුදය විසඳීමට “කාල රාමුවක් සහිත උපාය මාර්ගයක් ක්‍රියාත්මක කරන” ලෙස ආන්ඩුවට හෝ වෙන ධනපති කන්ඩායමකට කන්නලවු කිරීම නිෂ්ඵල ය. සත්‍යය නම්, සියලු සෞඛ්‍ය සේවකයන්ගේ ගැටලු වලට හේතුව, නිදහස් සෞඛ්‍ය සේවය ක්රමානුකූල ව කපා හරිමින් ධනපති අර්බුදය මහජනයා මත පැටවීමට අනුප්‍රාප්තික ආන්ඩු ගෙන ගිය වැඩපිලිවෙල වත්මන් ජනතා විමුක්ති පෙරමුන/ ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) පාලනය යටතේ තියුනු කිරීමයි.
තෝරාගත් ආන්ඩුවේ රෝහල්වල ඉහල තාක්ෂනික සේවා (එම්ආර්අයි, ස්කෑන් ආදී) සහ රුධිර සාන්ද්‍රන. පහසුකම් ප්රසාරනය සඳහා රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්ව සේවා ලබා ගැනීමට සෞඛ්‍ය ඇමති ඉදිරිපත්කල යෝජනාවක් ජනවාරි 6 දා කැබිනට් මන්ඩලය අනුමත කලේ ය. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් සම්පාදනය කෙරෙන බවක් අඟවා තිබුන ද එය ඇස් බැන්දුමකි. දැනටමත් වෛද්‍යවරු ආන්ඩුවේ නියෝග පරිදි, බෙහෙත් හා පරීක්ෂන අවශ්‍ය රෝගීන්ට පිටින් එම සේවා ලබාගැනීමට තුන්ඩු නිකුත් කරති.
ආන්ඩුවල අයවැයෙන්, 2024, 2025, 2026 වසරවල සෞඛ්‍ය සේවය සඳහා වෙන්කර ඇති මුදල අනුපිලිවෙලින් දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 1.35, 1.62 සහ 1.6ක සොච්චමකි. මෙය, දදේනියෙන් අඩුම තරමින් සියයට 5ක් හෝ අයවැයෙන් වෙන් කලයුතු බවට සාමාන්‍යයෙන් පවතින රෙකමදාරුව අහලකවත් නැත.
මේ නිසා, කම්කරුවන්, දුගීන් හා පහල ආදායම් ලබන මහජනයාගේ සියලු කන්ඩායම් අනේකවිධ දුෂ්කරතා වලට මුහුන දී සිටිති. විශාල ගෙවීම් අය කරන පුද්ගලික රෝහල්, රසායනාගාර, සෞඛ්‍ය සත්කාරක සේවා, හා ඖෂධ සමාගම් වලට ඔවුන්ට ලංවිය නොහේ. තම සාක්කුවෙන් ඔවුන් ඒවාට මුදල් වියදම් කරතොත් ඒ, වෙනත් අවශ්‍යතා කැප කරමින් හෝ නය වෙමිනි. නිසි ප්‍රතිකාර නැතිව රෝගීන් මියැදෙන දුක්ඛිත අවස්ථා නිතර වාර්තාවෙයි. සෞඛ්‍ය සේවය තලා දමන ආන්ඩු, ජනමාධ්‍ය වල ද සහයෙන්, මේ දුගී මහජනයා වර්ජනයේ යෙදෙන සෞඛ්‍ය සේවකයන්ට එරෙහි ව කුපිත කිරීමේ නරුම ක්රියාවේ ද යෙදෙයි.
රැකියා හා ජිවන තත්වයන් ට ප්‍රහාර එල්ල කරමින් සහ නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යය විනාශ කරමින් ධනවාදයේ ගැඹුරු වන අර්බුදයේ බර කම්කරු පන්තිය සහ පීඩිත මහජනතාව මත පැටවීමට ධනපති පාලක පන්තීන් විසින් ගෝලීය ප්‍රහාරයක් මුදාහැර ඇත. ජවිපෙ/ ජාජබ ආන්ඩුව කම්කරු පන්තියේ සමාජ අයිතීන්ට සහ නිදහස් අධ්‍යාපනය ට සෞඛ්‍ය සේවයට එල්ල කරන ප්‍රහාරය එහි කොටසකි.
මෙම ගෝලීය ධනපති ප්රහාරයන්ට එරෙහි ව කම්කරු පංතියේ ජාත්‍යන්තර අරගල රැල්ලක් වැඩෙමින් පවතී. මෑතක දී එක්සත් ජනපදයේ නිව් යෝර්ක්හි දසදහස් සංඛ්‍යාත හෙදියන්ගේ සහ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති වර්ජන සහ විරෝධතාවන් මෙහි කැපී පෙනෙන අංශයකි. ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ වර්ජනය මෙම අරගල රැල්ලේ කොටසකි.
ආන්ඩුව නිදහස් සෞඛ්‍ය සේවය විනාශ කිරීමේ මාවතේ යන්නේ නම් සියලු “පාර්ශව එකතු කරගත් අරගලයක්” කරන බවට ජීඑම්ඕඒ නායකයන් කරන කතාවලට විපරීත ව, අනෙකුත් සමිති නායකයන් මෙන්ම ඔවුන් ද කලේ එක් සේවක කොටසක් තවත් කොටසකට එරෙහි ව මෙහෙයවමින් ඔවුන් දුර්වල කිරීම හා ආන්ඩුවල අත් ශක්තිමත් කිරීම බව අපි දනිමු.
සෞඛ්‍ය සේවකයින්ට තම රැකියා, වැටුප් සහ අතීත දුෂ්කර අරගලවලින් දිනාගත් අයිතිවාසිකම් ආරක්ෂා කර ගත හැක්කේ සමාන ප්‍රහාරවලට මුහුන දී සිටින සමස්ත කම්කරු පන්තියේ කාර්මික සහ දේශපාලන ශක්තිය පොදු ක්රියාමාර්ගයකින් බලමුලු ගන්වමින් නිදහස් සෞඛ්‍ය සේවය කප්පාදුව නතර කිරීමේ අරගලයකිනි. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට, එය ක්‍රියාවට දමන ආන්ඩුවට හා ධනපති ක්‍රමයට එරෙහි අරගලයකි.
ලංකාවේ සියලු වෘත්තීය සමිති නිලධරයන් සේ ම, සෞඛ්‍ය සමිති නායකයන්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිලිවෙලට සහාය දෙති. ජීඑම්ඕඒ නායකයන් විටින් විට ජාමූඅ නිලධාරින් ලංකාව පැමිනි විට ඔවුන් හමුවන බව ද එම නිලධාරින් “යකුන් නොවන” බව ද කියා ඇත.
සමිති නිලධරය සාමාජිකයන්ගේ අයිතීන් මෙලෙස ධනපති උවමනාවන්ට කැප කරන තතු තුල, තම අයිතීන් සඳහා අව්‍යාජ අරගලයක් කිරීමට නම් වෘත්තීය සමිති නිලධරයෙන් සහ සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීන ව, රෝහල් සහ සෞඛ්‍ය ආයතන ඇතුලු සියලු ම සේවා ස්ථානවල, කම්කරුවන් විසින් ප්රජාතන්ත්රවාදී ව තෝරා පත් කර ගන්නා ලද ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය වේ. අප ක්‍රියාකාරී කමිටුව, සෞඛ්‍ය සේවකයන් අතර එවන් කමිටු ගොඩනැගීමේ ආරම්භකත්වයක් ගෙන ඇත.
අපි මෙම ඉල්ලීම් ඉදිරිපත් කරමු:
- නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කරනු!
- විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කරනු! එම දැවැන්ත මුල්‍ය සම්පත් සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ වැඩසටහන් සංවර්ධනය කිරීම සඳහා වෙන්කරනු!
- පිරිහෙමින් පවතින සෞඛ්‍ය සේවාව ප්‍රතිසංවිධානය කර නවීකරනය කිරීමට රුපියල් බිලියන ගනනක මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරනු! සියලු පුරප්පාඩු පුරවනු!
- ඉහල යන උද්ධමනය හා ජීවන වියදමට ගැලපෙන යහපත් වැටුපක්!
ධනපති ක්‍රමය තුල මේ කිසිදු ඉල්ලීමක් සාක්ෂාත් කල නොහැකි ය. අප ක්‍රියාකාරී කමිටුව, සමාජවාදී සමානතා පක්ෂය (සසප) ජවිපෙ/ජාජබ ආන්ඩුවට සහ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට ද ධනපති ක්‍රමයට ද එරෙහි ව සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටනට කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට කරන අරගලයට සහයෝගය දෙයි.
මෙම අරගලය සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහයෝගිතාවය අවශ්‍ය වේ. ඒ සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී කමිටු, ජාත්‍යන්තර කම්කරු ක්‍රියාකාරී කමිටුවල සන්ධානය සමග ඒකාබද්ධ වෙමින් ධනවාදයට එරෙහි ව සහ තම සමාජ සහ ප්රජාතන්ත්රීය අයිතීන් සඳහා සටනට උර දෙන කම්කරු පන්තියේ ගෝලීය මධ්‍යස්ථානයක් වර්ධනය කිරීමට උරදිය යුතු ය.
අප ක්‍රියාකාරී කමිටුව සමග සාකච්ඡාවට එලඹෙමින්, රෝහල්වල හා අන් සියලු සෞඛ්‍ය ආයතනවල කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට එක්වන්න.
