විදුලි සේවකයින්ගේ නොසන්සුන්තාව උත්සන්නවත් ම, වෘත්තීය සමිති නායකයින් වැඩ වර්ජනයක් කැඳවන බවට තර්ජනය කරයි

රාජ්‍ය ව්‍යවසායන් (එස්ඕඊ) ඈවර කිරීමට සහ එහි ක්‍රියාකාරකම්, රාජ්‍යයට අයත් නව සමාගම් හයකට මාරු කිරීමට පෙර තම ඉල්ලීම් ඉටු නොකලහොත් වැඩ වර්ජනයක් කැඳවන බවට ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම) වෘත්තීය සමිති නායකයින් තර්ජනය කර ඇත.

2025 ජූලි 22 කොලඹ ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවේ යෙදෙන විදුලිබල කම්කරුවෝ

මෙම නායකයින්ම මාස හතරකට පෙර කම්කරුවන්ගේ සියලුම ක්‍රියාමාර්ග නතරකර දමා, ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවට, ලංවිම ඈවර කිරීම අවසන් කිරීමට මග විවර කර දුන්හ. නව සමාගම් යටතේ රැකියා සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවයකට මුහුන දෙන සේවකයින් අතර නොසන්සුන්තාව වර්ධනය වී ඇති බැවින් ඔවුන්ට දැන් වැඩ වර්ජනයක් කැඳවීමට බල කෙරී ඇත.

ජනවාරි අග වන විට මෙම ප්‍රධාන රාජ්‍ය ආයතනයේ ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්න කර පෙබරවාරි 1 වන දින නව සමාගම් හයක මෙහෙයුම් ආරම්භ කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ලංවිම සැලසුම් කර තිබුනි. මෙම ප්‍රතිව්‍යුහගත කිරීම රාජ්‍ය ව්‍යවසායන් 400 කට වැඩි ප්‍රමානයක් පෞද්ගලීකරනය කිරීම හෝ වානිජකරනය කිරීම ඉලක්ක කරගත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩපිලිවෙලේ කොටසකි.

ජනවාරි 20 වන දින ලංවිම වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ (ජේඒටීයූ) නායකයින් මාධ්‍ය හමුවක් පැවැත් වූ අතර, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඔවුන් හමුවීමට සහ ඔවුන්ගේ ඉල්ලීම සාකච්ඡා කිරීමට අපොහොසත් වුවහොත්, “විදුලිබල මන්ඩලයේ සමස්ත සේවකයින් ම වැඩ වර්ජනයක නිරත වනු ඇත…” යනුවෙන් අනතුරු ඇඟවී ය. ලංවිම නිදහස් සේවක සංගමය (සීඊබීඑෆ්ඊයූ), ශ්‍රී ලංකා විදුලි කාර්මිකයන්ගේ සංගමය, ලංවිම ඉංජිනේරු සංගමය, තාක්ෂනික ඉංජිනේරුවන් සහ අධිකාරී සංගමය (ටීඊඑස්‍යූ), ජාතික සේවක සංගමය, ඒකාබද්ධ විදුලි සේවක සංගමය, සමගි සේවක සංගමය ඇතුලු වෘත්තීය සමිති රැසකින් ජේඒටීයූව සමන්විත වේ.

මෙම ඉල්ලීම් මුලින් ම මතු කරන ලද්දේ පසුගිය සැප්තැම්බර් මාසයේ දී ය. ලංවිම අහෝසි කිරීමට පෙර සේවකයින්ගේ ප්‍රමාද වූ ගෙවීම් ලබා දීම සහ කම්කරු දෙපාර්තමේන්තුව හරහා නව සමාගම් යටතේ පවතින අයිතිවාසිකම් - වැටුප්, උසස්වීම්, නය, විශ්‍රාම වැටුප්, නිවාඩු සහ කාර්මික ආරවුල් විසඳීම - සහතික කිරීම ඒවාට ඇතුලත් විය.

මෙම කොන්දේසි විධිමත් කිරීම සඳහා වෘත්තීය සමිති නිලධරය ආන්ඩුව සමඟ සාමූහික ගිවිසුමක් ඉල්ලා සිටියේ ය.

සැප්තැම්බර් 17-18 දිනවල අසනීප නිවාඩු වර්ජනයකට සහ වෘත්තීය සමිති විසින් කැඳවන ලද අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයකට විදුලි සේවකයින් 20,000 ක් පමන සහභාගී වූහ. වත්මන් ආන්ඩුව යටතේ ලංවිම සේවකයින්ගේ පලමු ප්‍රධාන විරෝධතා ක්‍රියාමාර්ගය මෙය විය.

ඔක්තෝබර් 13 වන දින පැවති සාකච්ඡාවල දී අමාත්‍ය ජයකොඩි ඔවුන්ගේ ඉල්ලීම් 24 ට එකඟ වූ බව පවසමින් වෘත්තීය සමිති නායකත්වය හදිසියේ ම උද්ඝෝෂනය අත්හිටුවීය. පොරොන්දු ඉටු කරන බවට වූ බොරු පොරොන්දුව මත සේවකයින්ට වර්ජනය නතර කරන ලෙස දන්වා ඇත.

හිඟ මුදල් ගෙවීම ඇතුලු ලංවිම ක්‍රියාකාරකම්වලට අදාල සමහර ගැටලු ආන්ඩුව විසින් විසඳා ඇතත්, නව සමාගම්වලට අදාල කම්කරු ඉල්ලීම් නොසලකා හැර ඇති අතර ලංවිම වත්කම් නව රාජ්‍ය ව්‍යවසායන් වෙත පැවරීමට අඛන්ඩව සූදානම් වෙමින් පවතී.

ලංවිම යටතේ පැවති රැකියා කොන්දේසි අතහැර දමමින්, නව සමාගම්වලට තමන්ගේම අවශ්‍යතා අනුව එම කොන්දේසි තීරනය කිරීමට ආන්ඩුව ඉඩ දෙන බවට එය ඇඟවීමක් විය.

ලංවිම විසින් ප්‍රකාශයට පත් කරන ලද ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රම (වීආර්එස්) යටතේ සේවකයින් 2,000 කට වැඩි පිරිසක් විශ්‍රාම ගැනීම සඳහා ඉල්ලුම් කලහ. කෙසේ වෙතත්, තවමත් බලශක්ති අමාත්‍යාංශය මෙම සේවකයින්ට පොරොන්දු වූ වීආර්එස් ගෙවීම් නොසලකා හැර තිබේ.

තම රැකියා සහ කොන්දේසි වලට එල්ල වී ඇති තර්ජනයන් ගැන සංවේදී කම්කරුවන් අතර නොසන්සුන්තාව නැවත මතු වී තිබේ. කම්කරු විරෝධය මැඩපැවැත්වීම සඳහා, ඈවර කිරීම කල් දමා, සාකච්ඡා පවත්වා සාමූහික ගිවිසුමක් අත්සන් නොකලහොත් වැඩ වර්ජනයක් කැඳවන බවට වෘත්තීය සමිති සන්ධාන නායකයින් තර්ජනය කර ඇත.

ජේඒටීයූ වේ හිස් වාචාල කතාවලට නොරැවටෙනු යැයි සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ට අනතුරු අඟවයි. සමිති නිලධරය නව උගුලක් සූදානම් කරමින් සිටී. සාමූහික ගිවිසුමක් අත්සන් කල ද, අතීත අත්දැකීම් පෙන්නුම් කරන පරිදි, ඔවුන් එය පහසුවෙන් ඉරා දැමිය හැකිය.

ජනවාරි 20 වන දින පැවති මාධ්‍ය හමුවේ දී, ජේඒටීයූ නායකයින් ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා තම සහයෝගය නැවත තහවුරු කල අතර, ඔවුන්ගේ විරුද්ධත්වය මෙම ඉල්ලීම් නොතකා හැරීම සම්බන්ධයෙනි. මෙම වෘත්තීය සමිති ජාමූඅ හි කප්පාදු වැඩපිලිවෙලට විවෘතව සහාය දක්වන බව කම්කරුවන් සැලකිල්ලට ගත යුතු ය.

සීඊබීඑෆ්ඊයූ නායක ප්‍රියන්ත ප්‍රභාත් මීට පෙර මෙසේ පැවසීය: “අපි තවමත් දුප්පත් රටක්, [නමුත්] අපි ජාමූඅ හි සහාය ඇතිව ඉදිරියට යමින් සිටින්නවා. විශාල විදුලි ව්‍යාපෘති සඳහා විදේශ ආයෝජන අවශ්‍යයි.” මෙම මතය සමස්ත වෘත්තීය සමිති නිලධරයේ ස්ථාවරය නිරූපනය කරයි.

මෙම වෘත්තීය සමිති බොහොමයක් පාලක ජවිපෙ/ජාජබ සහ විරුද්ධ පක්ෂ වන සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ අනුබද්ධිත වන අතර, මේ සියලු පක්ෂ ජාමූඅ වැඩසටහනට සහාය දෙන අතර අතීතයේ දී එහි කප්පාදු ක්‍රියාත්මක කර ඇත.

ජාමූඅ හි කප්පාදුවට සහාය දීම මූලික වශයෙන් කම්කරුවන්ගේ සහ දුගීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සමඟ නොපෑහේ. රාජ්‍යය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම මෙම කප්පාදු වැඩසටහනේ කොටසකි.

ලංවිම සේවකයින් අතීත අරගලවලින් පාඩම් උකහා ගත යුතුය. ආයතනය පෞද්ගලීකරනය කිරීමට ගත් පෙර උත්සාහයන් නතර කරන ලද නමුත්, පෞද්ගලීකරනය ප්‍රමාදකොට ප්‍රතිරෝධය විසුරුවා හැරීමට, වෘත්තීය සමිති නිලධරය මත පාලක පන්තිය විශ්වාසය තැබූ බැවින් තර්ජනය දිගට ම පැවතුනි.

ගෝලීය අර්බුදය මගින් අවුලුවන ලද 2022 ආර්ථික බිඳවැටීම, මෙම මූලෝපාය හෙලිදරව් කලේ ය. කොලඹ පාලන තන්ත්‍රය විදේශ නය පැහැර හැර, වැඩ කරන ජනතාව මත බර පැටවූ අතර එය මහජන නැගිටීමක් ඇති කලේ ය.

පාලක ප්‍රභූවේ ඉල්ලීම පරිදි ජාමූඅ මැදිහත් වූයේ, එහි ම නිලධාරීන් “කුරිරු අත්හදා බැලීමක්” ලෙස විස්තර කල වැඩපිලිවෙලකටය.

මෙම වැඩපිලිවෙල යටතේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෙර ආන්ඩුව ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම සහ පුද්ගලීකරනය කිරීම සඳහා නීති සම්මත කලේ ය.

කම්කරුවන්ගේ විරෝධය මධ්‍යයේ, ජවිපෙට අනුබද්ධ වෘත්තීය සමිතියක් විසින් එවකට නායකත්වය දුන් ලංවිම වෘත්තීය සමිති සන්ධානය 2024 ජනවාරි සිට සීමිත විරෝධතා කැඳවී ය. ජවිපෙ සමිතියේ නායකත්වය දැරුවේ ජවිපෙ නායකයෙකු වන රන්ජන් ජයලාල් විසිනි. ආන්ඩුව ප්‍රතිචාර දැක්වූයේ කුරිරු අත්‍යවශ්‍ය සේවා නීති ක්‍රියාත්මක කිරීමෙන් සහ සේවකයින් 62 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමෙනි.

2024 ජුනි මාසයේ දී, ජවිපෙ වෘත්තීය සමිති අංශය, ජවිපෙ/ජාජබ නායක අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරන ව්‍යාපාරයට හානි සිදුවන බැවින් කාර්මික ක්‍රියාවන් නතර කරන ලෙස එහි සියලුම වෘත්තීය සමිතිවලට නියෝග කලේය. ජාමූඅ වැඩපිලිවෙල සම්බන්ධයෙන් “නැවත සාකච්ඡා කරන” බවට දිසානායක ව්‍යාජ ලෙස පොරොන්දු විය. ජවිපෙ නායකත්වයෙන් යුත් ලංවිම සංගමය එම නියෝගයට කීකරු වූ අතර අනෙක් අය ද එය අනුගමනය කලහ.

දිසානායක, බලයට පත්වීමෙන් පසු, ජාමූඅ කප්පාදුව නැවත සාකච්ඡා කරන බවට දුන් පොරොන්දුව ඉවත දැමූ අතර ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුලුව එහි නියෝග ක්‍රියාත්මක කිරීමට ඉක්මනින් පියවර ගත්තේ ය. වික්‍රමසිංහ ආන්ඩුවේ පනතට මතුපිට වෙනස්කම් කීපයක් සහිත ව නව විදුලි සංශෝධන පනතක් සම්මත කරන ලදී.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී නව පියවරට එරෙහි ව කම්කරුවන් නැවත අරගල ආරම්භ කල විට, ජවිපෙ නායකත්වයෙන් යුත් සමිතිය ඕනෑ ම කාර්මික ක්‍රියාවකට විවෘත ව විරුද්ධ විය.

දිසානායක කම්කරුවන්ගේ විරෝධය “ප්‍රතිගාමී” ලෙස හංවඩු ගැසූ අතර ජාමූඅ කප්පාදුව “ප්‍රගතිශීලී පරිවර්තනයක්” ලෙස ප්‍රශංසා කලේ ය. කාර්මික ක්‍රියාවන් තහනම් කරමින් ඔහු ලංවිම මත අත්‍යවශ්‍ය සේවා විධිවිධාන නැවත ක්‍රියාත්මක කලේ ය.

මෙම තර්ජන යටතේ, වෘත්තීය සමිති නායකයින් යටත් වී, අමාත්‍ය ජයකොඩි සමඟ සාකච්ඡාවලට එලඹී ඔක්තෝබර් මාසයේ දී සියලු ක්‍රියාවන් නවතා දැමී ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වාචාල ලෙස ආන්ඩුව විවේචනය කල නමුත් එහි වෘත්තීය සමිති අංශය වන “කම්කරු අරගල මධ්‍යස්ථානය” 2024 මුල් භාගයේ සිට ලංවිම වෘත්තීය සමිති නායකත්වයේ පාවා දීම් සමඟ සමීප ව සහයෝගයෙන් කටයුතු කලේ ය.

පසුගිය වසරේ ජූලි වන විට, පෙසප ඒකාබද්ධ විදුලි සේවක සංගමය (ජේඊඩබ්ලිව්යූ) පිහිටුවා ගත්තේය. නිලධරයට අභියෝග කරනවා වෙනුවට, ජේඊඩබ්ලිව්‍යූ එයට සුදු හුනු ගෑමට කටයුතු කර ඇත. ජේඒටීයූ තුල ක්‍රියාත්මක වන එය, එම වාචාලකම ප්‍රවර්ධනය කරමින්, වෘත්තීය සමිති උපකරනය පිටුපස කම්කරුවන් බැඳ තැබීමේ තවත් යාන්ත්‍රනයක් ලෙස සේවය කරයි.

ජේඊඩබ්ලිව්‍යූ සභාපති චරිත ශ්‍රී චින්තක ජනවාරි 6 වන දින කියා සිටියේ ජේඒටීයූ විසින් යෝජනා කරන ලද සාමූහික ගිවිසුම අනුව කෙරෙන ප්‍රතිව්‍යුහගත කිරීමක් යටතේ “ක්‍රමානුකූල හා ක්‍රමවත් ආකාරයකින්” කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනු ඇති බවයි.

වෘත්තීය සමිති නිලධරයේ අනෙක් කොටස් මෙන් ම, පෙසප සමිති ද ජාමූඅ හි වැඩපිලිවෙලට සහ එය ක්‍රියාත්මක කරන ජවිබෙ/ජාජබ ආන්ඩුවට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීමට විරුද්ධ ය. එය ආන්ඩුව “ජනතාවගේ අපේක්ෂාවන්” ප්‍රකාශයට පත් කරන බව කියාපාන අතර එය විවේචනවලින් ආරක්ෂා කරයි.

මෙය යථාර්ථය, එනම් ජවිපෙ නායකත්වයෙන් යුත් ආන්ඩුව පාලක පන්තියේ සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන බව වසන් කරයි. මෙම ව්‍යාජ-වාම කන්ඩායම ධනවාදය ප්‍රතිසංස්කරනය කල හැකි බවට වන මිත්‍යාව ප්‍රවර්ධනය කරයි.

වෘත්තීය සමිති නායකයින් සමඟ ගිවිසුම් හරහා කම්කරුවන්ගේ අයිතිවාසිකම් “ක්‍රමානුකූලව” ආරක්ෂා කරන තෙක්, පෙසප දැන් ලංවිම සඳහා ජාමූඅ හි ප්‍රතිව්‍යුහගත කිරීම විවෘත ව ප්‍රවර්ධනය කරයි.

ඊට පටහැනි ව, සසප සහ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය (කක්‍රිකසා) ජාමූඅ හි කප්පාදුවට සහ ජවිපෙ නායකත්වයෙන් යුත් ආන්ඩුවට එරෙහි ව කම්කරුවන් ස්වාධීන ව බලමුලු ගැන්වීම සඳහා සටන් කරයි.

ආරම්භයේ සිට ම, වෘත්තීය සමිති නිලධරයන්ට සහ ධනේශ්වර පක්ෂවලට ඉඩ නොදී, තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස ඔවුහු ලංවිම සේවකයින්ගෙන් ඉල්ලා සිටියහ. එවැනි කමිටු මඟින්, කම්කරුවන්ට තම ක්‍රියාමාර්ග ප්‍රජාතන්ත්‍රවාදී ව තීරනය කිරීමට සහ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කම්කරුවන් සමඟ එකමුතු වීමට ඉඩ සැලසේ.

ධනවාදය තුල විසඳුමක් නොමැත. රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනයට එරෙහි ව, සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සහ ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ කම්කරු-ගොවී ආන්ඩුවක් සඳහා සසප සටන් කරයි.

සමාජවාදී වැඩපිලිවෙල යටතේ, සියලුම රාජ්‍ය ව්‍යවසායයන් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ තැබිය යුතු ය, සියලුම විශාල සමාගම්, කර්මාන්ත සහ බැංකු ජනසතු කල යුතු අතර සියලුම විදේශ නය ප්‍රතික්ෂේප කල යුතු ය.

සසප, ලංවිම සේවකයන් ඇතුලු සියලුම කම්කරුවන්ගෙන් අප හා සම්බන්ධ වී මෙම වැඩසටහන සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටී.

Loading