පෙරටුගාමී සමාජවාදී පක්ෂය මර්දනකාරී නීතිවලට ආවඩමින් අධ්‍යාපනය ඩිජිටලීකරනයට එරෙහි ප්‍රතිගාමී උද්ඝෝෂනයක

පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) අධ්‍යාපන ඩිජිටලීකරනයට එරෙහි ව දියත් කර ඇති උද්ඝෝෂනය ජවිපෙ/ජාජබ ආන්ඩුවේ කප්පාදුවට ආවරනය සපයන සහ මර්දනකාරී නීතිවලට ආවඩන ප්‍රතිගාමී ව්‍යායාමයකි.

ජනවාරි 12 වැනි දා, ස්වර්නවාහිනී රූපවාහිනී නාලිකාවේ “නාඩිය” වැඩසටහනේ දී අදහස් දක්වන පෙසප අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

ජනවාරි 12 වැනි දා, ස්වර්නවාහිනී රූපවාහිනී නාලිකාවේ “නාඩිය” වැඩසටහනට එක් වෙමින් පෙසප අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, ආන්ඩුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන තුල කිව්ආර් කේතයන් හරහා සිසුන් අධ්‍යන මූලාශ්‍රවලට යොමු කිරීම සහ ලමුන්ගේ “මානසික සෞඛ්‍යයට බලපාන” ඩිජිටල් තිරවලට ඔවුන් හුරු කරවීම විවේචනය කලේය. මේ හේතුවෙන් යුරෝපීය රටවල් ඩිජිටලීහරන - ඩිජිටල් තාක්ෂනයෙන් ඉවත්වීමේ - ව්‍යාපාරයක් දියත් කර ඇති බව පැවසූ ජයගොඩ, ඩිජිටලීකරනය යල් පිනූ ප්‍රවනතාවක් බවට තර්ක කලේ ය. 

යුරෝපීය රටවල් අනුගමනය කරන්නේ යැයි ඔහු සඳහන් කරන මෙම නව ප්‍රවනතාව අන් කිසිවක් නොව, ස්වාධීන ව තොරතුරු බෙදා හදා ගැනීමට සහ සංවිධානය වීමට හැකි වේදිකාවන් ලෙස සමාජ මාධ්‍යවල ඇති විභවය ගැන උත්සුක වන සහ වැඩෙන තරුන රැඩීකලීකරනය හේතුවෙන් බියපත්ව සිටින පාලක පන්තීන්, පුලුල් පරිමාන වැඩපිලිවෙලක ආරම්භයක් වශයෙන්, නව යොවුන් වියේ පසුවන දරුවන් දේශපාලනයෙන් වියෝ කරවීම ඉලක්ක කර ගනිමින් දියත්කොට ඇති මර්දනකාරී නිතී රැල්ල ය. “දරුවන්ගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කිරීම” මේ සඳහා ඔවුන් යොදා ගෙන ඇති කඩතුරාවයි. 

“ඕස්ට්‍රේලියාව අවුරුදු 16ට වඩා අඩු දරුවන්ට ජංගම දුරකථනවල තියෙන සමාජ මාධ්‍ය ගිනුම් තහනම් කරන්න පියවර ගත්තා. එක්සත් ජනපදයේ මේකට නීති තියෙනවා. … ලෝකයේ ඇත්ත ප්‍රවනතාව ඒක. ආන්ඩුව මේ ඇත්ත ප්‍රවනතාවය දන්නේ නැද්ද කියන එකත් ප්‍රශ්නයක්!” යැයි ජයගොඩ කියා සිටියේ ය.

ඕස්ට්‍රේලියාවේ ලේබර් ආන්ඩුව වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කලේ පෙසප කියා සිටින ආකාරයට “දරුවන් ආරක්ෂා කිරීමට” නොවේ. ඇත්ත වශයෙන් ම එය අන්තර්ජාල පරිශීලකයන් නිරීක්ෂනයට, වාරනයට සහ ඔවුන්ගේ දේශපාලන නිදහස උදුරා ගැනීමට ගත් පලමු පියවරකි. “කීබෝඩ් වීරයන්ගේ කටවල් වැසීමට” අන්තර්ජාල වාරනය තම පරිපාලනයේ ප්‍රමුඛ ඉලක්කයක් බව ඕස්ට්‍රේලියානු අගමැති ඇල්බනීසි ප්‍රසිද්ධියේ ම පවසා ඇත. 

ඇල්බනීසි ආන්ඩුවේ වාරනයට එරෙහි ව ඇතැම් මානසික සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය වාරනය දරුවන්ගේ සන්නිවේදනයට අධ්‍යාපන අවස්ථාවන්ට සහ මානසික සෞඛ්‍යයට ඍනාත්මක ව බල පෑ හැකි බවයි.

ජයගොඩ ඔජ වඩන ඕස්ට්‍රේලියාවේ නව නීති යටතේ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රැම්, ටික් ටොක්, එක්ස්, යූටියුබ් ආදී සමාජ මාධ්‍ය සේවා සපයන ආයතන මෙම සේවාවන්ට වයස අවුරුදු 16ට අය ඇතුලු වීම වලක්වාලීමට වගබලා ගත යුතු අතර මෙම නීති කඩ කලහොත් මෙම ආයතනවලට ඉහල දන්ඩනීය දඩයන් (ඩොලර් මිලියන 49ක්) පැනවිය හැකි ය. 

ආරම්භයක් වශයෙන් අවුරුදු 16ට අඩු ලමුන් ඉලක්ක කර ගත්ත ද මේ නීති සමස්ත කම්කරු පන්තියේ ම භාෂනයේ නිදහස සම්බන්ධයෙන් දුර දිග යන ඇඟවුම් ඇත. වයස අවුරුදු 16ට අඩු අයට සමාජ මාධ්‍ය තහනම් කරන්නේ නම් ඒවා භාවිත කිරීමට සියලු ම අන්තර්ජාල පරිශීලකයන්ට තමන් වයස අවුරුදු 16 වැඩි බව තහවුරු කිරීම පූර්ව අවශ්‍යතාවක් බවට නිතැතින් පත් වෙයි. මේ අනුව සියලු ම පරිශීලකයන්ට රජයෙන් සපයන හැඳුනුම්පත් විස්තර, ජෛවමිතික දත්ත (ඇඟිලි සලකුනු, අත්ල සලකුනු, මුහුනු හඳුනා ගැනීම, ඇසේ පාට ආදී තොරතුරු) සැපයීම ආදිය සඳහා පෙර උදාහරනයක් සහ නෛතික පසුබිමක් මෙම නීතිය හරහා සම්පාදනය වී ඇත. 

විවිධ සමාජ මාධ්‍ය මේ සම්බන්ධයෙන් විවිධ පියවරවලට යොමු ව සිටියි. උදාහරනයක් වශයෙන් ස්නැප්චැට් සමාජ මාධ්‍ය සේවාව භාවිතා කිරීමට ඕස්ට්‍රේලියාව තුල ජීවත් වන අයට වයස තහවුරු කිරීමට රජයෙන් සපයන හැඳුනුම්පතක් හෝ සෙල්ෆි ඡායාරූපයක් හෝ කනෙක්ට් අයිඩී නම් සේවාවට සම්බන්ධ බැංකු විස්තර ඉදිරිපත් කිරීමට සිදු වෙයි. මින් නිර්නාමික ව අන්තර්ජාලය භාවිතා කිරීමට වැට බැඳෙයි.

තම ජීවිතයට එල්ල විය හැකි තර්ජනයන් හේතුවෙන් නිර්නාමික ව අන්තර්ජාලය හරහා තම දේශපාලන අදහස් ප්‍රකාශ කිරීමට, රාජ්‍යයට එරෙහි ව සංවිධානය වීමට, මහජනතාවට වින කරන රාජ්‍ය රහස් පල කිරීමට අන්තර්ජාලය යොදා ගැනීමේ වාර්තාවක් ඇත. මේ නව නීති නිර්නාමික ව සිටීමේ අයිතිය අහෝසි කර දේශපාලන විසම්මතිකයන් රාජ්‍යයට නිරාවනරය කිරීමට කොන්දේසි සකසා ඇත.

2010 අරාබි වසන්තයේ සිට මේ සියවසේ පැන නැගී අති දැවැන්ත මහජන අරගලවල දී ධනේශ්වර සංස්ථාපිතයේ මාධ්‍යවල ප්‍රචාරනයන්ගේ නොරැවටීමටත් සත්‍ය තොරතුරු බෙදා හදා ගැනීමටත් රාජ්‍යයේ ඔත්තු බැලීම්වලින් තොරව සංවිධානය වීමටත් සමාජ මාධ්‍ය තීරනාත්මක භූමිකාවක් ඉටු කර ඇත. ධනේශ්වරය විවිධ ව්‍යාජ සන්දර්භයන් යටතේ ගෝලීය ව අන්තර්ජාලය තුල ඔත්තු බැලීමේ පියවර වැඩි කරන්නේ, භාෂනයේ නිදහසට වැට බඳින්නේ මේ අත්දැකීම්වලින් පාඩම් උකහා ගනිමිනි. මෙම ව්‍යාජ සන්දර්භයන් මහජනයාට පිලිගැන්වීම පෙසප වැනි ධනපති ක්‍රමයේ අන්තේවාසික ව්‍යාජ වම්මු භාර ගෙන ඇත.

2022 ශ්‍රී ලංකාවේ මහජන නැගිටීම තුල තොරතුරු බෙදා ගැනීමට, සංවිධානය වීමට සහ ධනපති ප්‍රභූවේ විසකුරු ප්‍රචාරයන්ගෙන් නොමග නොයාමට සමාජ මාධ්‍ය වැදගත් භූමිකාවක් ඉටු කලේ ය. පෙසප සහ වෘත්තීය සමිති නිලධරය 2022 මහජන අරගලය ධනේශ්වර අන්තර්වාර පාලනයට පිලී පැන්නවීමෙන් පසු ජනාධිපති ධූරයට ඔසවා තැබුනු එජාප නායක රනිල් වික්‍රමසිංහ, හෙලත්තාඩු ධනේශ්වර පන්ති පාලනය ස්ථාවර කිරීමට බලමුලු ගැන් වූ මර්දනකාරී නීති අතරින් එකක් වූ ඔන්ලයින් ආරක්ෂන පනතේ අරමුන වූයේ මේ හිඩැස් පියවීමයි.

අනෙක් අතට මෙම මහජන අරගලවල නව යෞවනයන් සහ තරුනයන් මූලිකාංගයක් විය. මෙම සමාජ මාධ්‍ය තහනම පනවා ඇත්තේ වයස අවුරුදු 16ට අඩු දරුවන් ගැන කැක්කුමකින් නොව, සමාජ අසමානතාවට, සමාජ කප්පාදූන්ට, විරැකියාවට සහ රැකියා විනාශයට, දේශගුනික විපර්යාසයන්ට, යුද්ධවලට එරෙහි වන තරුන රැඩිකලීකරනය පූර්ව භංග කිරීමේ සහ පාලනය කිරීමේ පියවරක් වශයෙනි. ඕස්ට්‍රේලියාව සම්බන්ධයෙන් ම ගත් කල එරට පසුගිය වසර පුරා ම ඕස්ට්‍රේලියානු ආන්ඩුව ද පංගුකරුවෙකු වන ගාසා ජනසංහාරයට එරෙහි තරුනයන් ගේ සහ නව යෞවනයන් ගේ දැවැන්ත පරිමාන විරෝධතාවලින් ඇලලී ගොස් තිබුනි.

දැන් මේ නීතිය පූර්වාදර්ශයක් සම්පාදනය කර ඇති අතර නව සීලන්තය, එක්සත් රාජධානිය, යුරෝපා සංගමයේ රටවල්, එක්සත් ජනපදය ආදී ලෝකය පුරා ධනේශ්වර ආන්ඩු මේ සම්බන්ධ සාකච්ඡාවන් ඉස්මත්තට ගෙන ඇත්තේ ගැඹුරු වන ලෝක ධනේශ්වර අර්බුදය හමුවේ අනාගතය අහිමි කරනු ලැබ රැඩිකලීකරනය වන තරුනයන් ධනේශ්වර පන්ති පාලනයට සැබෑ තර්ජනයක් වී ඇති තතු යටතේ යි. 

කොලඹ ධනේශ්වර ආන්ඩුවට ඒ සඳහා ආ වැඩීමට පෙසප ඉදිරියට පැමින ඇත්තේ, තීව්‍ර කෙරෙමින් පවත්නා ජාමූඅ ප්‍රහාර හමුවේ දැනටමත් අරගල වලට පිවිසෙමින් සිටින කම්කරුවන්ට සහ තරුනයන්ට එරෙහිව ජවිපෙ/ජාජබ ආන්ඩුව, “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත” ඇතුලු රුදුරු මර්දන නීති සම්මත කර ගැනීමට කැස කවමින් සිටිය දී ය. 

අධ්‍යාපනයේ ගුනාත්මකභාවය නසා වෙලඳපොල අවශ්‍යතා සඳහා අධ්‍යාපනය යොමු කරන “ප්‍රතිසංස්කරන” යටතේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටලීකරනය කෙරෙනුයේ, බහුතරයක් පාසල් වලට සහ සිසුන්ට ඩිජිටල් තිර සහ අන්තර්ජාල පහසුකම් නොමැති තතු යටතේ වන බැවින් අධ්‍යාපනයේ පවත්නා දැවැන්ත සමාජ අසමානතාව වඩාත් ගැඹුරු කෙරෙනු ඇත. 

මේ සම්බන්ධයෙන් මහජන අවධානය වැඩෙද්දී, ජනවාරි 15 වැනි දා හිරු රූපවාහිනි නාලිකාවේ “බලය” වැඩසටහනට සහභාගි වූ ජයගොඩ, සිසුන්ගේ පරිගනක සහ අන්තර්ජාල භාවිතාව සම්බන්ධයෙන් සංඛ්‍යාලේඛන ගෙන හැර පාමින් මෙසේ තර්ක කලේ ය: “කෝවිඩ් වෙලාවේ ඔන්ලයින් අධ්‍යාපනයට සියයට 38කට ප්‍රවේශ වෙන්න බැරි වුනා නම්, අපි කොහොමද මේ නව ප්‍රවේශයට යන්නේ? එහෙම නම් ඒකට සල්ලි වෙන් කරන්න ඕන.”

අධ්‍යාපනයට, සෞඛ්‍යයට සහ අනෙකුත් මහජන අවශ්‍යතාවන්ට බිලියන ගනනින් මුදල් උපයාගත හැක්කේ, ධනපති ලාභ අවශ්‍යතා වෙනුවෙන් ලබාගත් විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කිරීමෙන් සහ කම්කරු පංතියේ ශ්‍රමය සූරාකෑමෙන් සමුච්ඡය කරගත් බිලියනපතියන්ගේ දැවැන්ත ධනය අස්වාමික කිරීමෙනි. මෙය කල හැක්කේ, බැංකු, මහා පරිමාන කම්හල් සහ දැවැන්ත වතුයායයන් කම්කරු පංති පාලනය යටතේ ජනසතු කිරීම ඇතුලු සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කමිකරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් වැදීමෙන් පමනි.

මෙම වැඩපිලිවෙලට සපුරා එරෙහි පෙසප අපූරු විසඳුමක් සොයා ගනී; ඒ වනාහි ඩිජිටලීහරනය යි.        

ඒ සඳහා ඔහු යුරෝපය උදාහරනයට ගනී. ජයගොඩ පවසන ආකාරයට සිසුන්ගේ අධ්‍යාපනය ගැන කැක්කුමක් යුරෝපයේ ධනපති ආන්ඩුවලට පහල වී නැත. ඇත්ත වශයෙන් ම යුරෝපය සහ ලෝකය පුරා සිදු වෙමින් පවතින්නේ මිලිටරීකරනයේ දැවැන්ත ඉහල නැංවීමක් සඳහා නිදහස් අධ්‍යාපන සේවා ඇතුලු සියලු සමාජ සුභ සාධන පියවරයන් විනාශ කර දැමීමකි. තරුනයන් අධිරාජ්‍යවාදී යුද්ධවල වෙඩි උන්ඩ බවට පත් කිරීමට යුරෝපීය ආන්ඩු අනිවාර්ය හමුදා සේවය හඳුන්වා දෙමින් සිටියි. ඇමරිකාව සමග යුද ආතති සහ ආර්ථික ගැටුම් වර්ධනය වන තතු තුල යුරෝපයේ මෙම පියවරයන් නව මට්ටම්වලට උත්සන්න කෙරී ඇත. 

ධනපති පන්තිය නවීන-තාක්ෂනය දැක ගන්නේ ලාභ වැඩි කර ගැනීමට ශ්‍රමය නෙරපා හැරීමේ සහ වියදම් කපා දැමීමේ මාධ්‍යක් වශයෙනි. මේ අනුව ඉහත රටවල ඩිජිටලීකරනය යෙදවුනේ එහි අධ්‍යාපනික විභවයන්ගේ අධ්‍යාපනය පෝෂනය කිරීමට නොව අධ්‍යාපන කප්පාදුව පෙරට ගෙන යාමේ ක්‍රමවේදයක් වශයෙනි. ඒ අනුව තථ්‍ය ගුරුවරුන් වෙනුවට “අතථ්‍ය” ගුරුවරුන් ආදේශ කිරීම් සහ ක්‍රමානුකූල ව පෙල පොත් අහෝසි කර දැමීම් ආදිය ක්‍රියාවට දැමුනි. මෙය අධ්‍යාපනයේ පරිහානියට හේතු විය. 

එම තත්ත්වය තුල පැන නැගි මහජන විරෝධය, ව්‍යාජ වාම පක්ෂවල සහ වෘත්තීය සමිතිවල ආධාරයෙන් ධනපති කප්පාදුවට නොව නවීන තාක්ෂනයට හරවා යවමින් ව්‍යාකූල මනෝගතියක් නිර්මානය කල ආන්ඩු සමාජ මාධ්‍ය මර්දනය කිරීමේ තම ප්‍රතිගාමී අරමුනට මෙම විරෝධයන් වහා ම ගසා කෑවේ ය.

දරුවන්ගේ මානසික පීඩනයට සහ අධ්‍යාපන අර්බුදයට හේතු වී ඇත්තේ අනාගතයක් නැති සමාජ ආර්ථික පද්ධතිය විනා, ඩිජිටලීකරනය අධ්‍යාපනයට යොදා ගැනීම නොවේ. පුබුදු ජයගොඩ “ඩිජිටල් තිර” දරුවන්ගේ සමාජානුයෝජනය, පරිකල්පනය සහ නිර්මානශීලිත්වය විනාශ කරන බව කියමින් යල් පිනූ ධනේශ්වර සමාජයේ අර්බුදයේ වගකීම තාක්ෂනයට මාරු කරයි. 

ගෝලීය යථාර්ථයන් වසන් කිරීම පෙසප ව්‍යාජ වාම දේශපාලනයේ අත්‍යවශ්‍ය අංගයකි. පෙසප සමාජගත කරන්නේ, අධ්‍යාපනයේ ගෝලීය අර්බුදයක් නැත, අර්බුදය ඇත්තේ ලංකාවේ ය, එය වැරදි තීන්දු තීරනවලින් ජනිත වූවකි, නිවැරදි පියවරයන් ගැනීමෙන් ලංකාවේ අධ්‍යාපන අර්බුදය විසඳිය හැකි ය යනාදී මිථ්‍යාවන් ය. එමගින් යල් පිනූ ගෝලීය ධනේශ්වර සමාජය සම්බන්ධයෙන් යථාවබෝධය භංගකොට විප්ලවවාදී විඥානයේ වර්ධනය නසා දැමීම ඔවුනගේ අරමුනයි. 

තාක්ෂනය එහි ස්වභාවයෙන් දුෂ්ඨ හෝ යහපත් නොවන අතර එය අවසාන විග්‍රහයේ දී කවර සමාජ පන්තිය අත භාවිත වන්නේ ද යන්න මත රඳා පවතියි. කම්කරු පන්තිය කල යුතු වන්නේ ධනපති ක්‍රමයේ අන්තේවාසික ව්‍යාජ වම්මුන්ගේ ප්‍රචාරනයන්ගෙන් මුලා නොවී නවීන තාක්ෂනය අධ්‍යාපනය ඇතුලු මානව සංහතියේ අවශ්‍යතාවන් සඳහා සේවයේ යෙදවීමට එය තම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට නතු කර ගැනීමයි. ලෝක සමාජවාදී විප්ලවය අවශ්‍ය වන්නේ ඒ නිසා ය.

Loading