සසජාතශි සෝෂලිසම් ඒඅයි හඳුන්වා දීමේ සාකච්ඡාවක් පවත්වයි

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය විසින් ලංකාවේ කම්කරුවන් තරුනයන් වෙත සෝෂලිසම් ඒඅයි (Socialism AI) හඳුන්වා දීම සඳහා, ජනවාරී මස 25 දා, ඔන්ලයින් සාකච්ඡාවක් පවත්වන ලදී. ඊට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, කම්කරුවන් හා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) හිතවතුන් ඇතුලු 50 දෙනෙකුට වැඩි පිරිසක් සම්බන්ධ වූහ. 

සසප මුහුනු පොත හරහා ද සජිවී ව විකාශය කෙරුනු එම සාකච්ඡාව මේ වන විට 1000 ට ආසන්න සංඛ්‍යාවක් නරඹා 100 ක් පමන දෙනා බෙදාගෙන තිබේ.  

රැස්වීමේ මූලාසනය ගනු ලැබූවේ සසජාතශි ලංකාවේ කැඳවුම්කරු කපිල ප්‍රනාන්දු විසිනි. කම්කරු පන්තියේ ලෝක පක්ෂය වන හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) හරහා පසුගිය දෙසැම්බර් මස 12 වැනි දා සෝෂලිසම් ඒඅයි හඳුන්වා දුන්නේ, සමස්ත ලෝකය ම තීරනාත්මක හැරුම් ලක්ෂයකට ගමන් කරමින් තිබෙන තත්වයක් තුල බව ප්‍රනාන්දු කියා සිටියේ ය. 

“නවීන විද්‍යාත්මක සොයා ගැනීම්, ලොව පුරා දුප්පත්කම තුරන් කිරීමට, අසමානතාවය, විරැකියාව නැති කිරීමට හා සැමට ගුනාත්මක අධ්‍යාපනයක්, සෞඛ්‍යයක් සඳහා කොන්දේසි නිර්මානය කර තිබුනත් ධනේෂ්වර ක්‍රමය යටතේ එම වර්ධනයන් යොදා ගනිමින් තිබෙන්නේ තුන්වන න්‍යෂ්ටික ලෝක යුද්ධය වර්ධනය කිරීමට, කම්කරුවන් රැකියාවලින් දොට්ට දැමීම් වේගවත් කර සූරාකෑම් තීව්‍ර කිරීමට හා ප්‍රජාතන්ත්‍ර අයිතීන්වලට එරෙහි ප්‍රහාර එල්ල කිරීමටයි.”

ධනේෂ්වර ක්‍රමයේ ප්‍රහාරවලට එරෙහිව සටනට අවතීර්න වෙමින් සිටින කම්කරුවන්, තරුනයන් හා බුද්ධිමතුන් ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයෙන්, ක්‍රියාමාර්ගයෙන් හා ඉතිහාසයේ පාඩම්වලින් උගන්වා ගැනීමේ දී සෝෂලිසම් ඒඅයි බලගතු අවියක් වන බව ප්‍රනාන්දු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය. 

රැස්වීමේ ප්‍රධාන වර්තාව ඉදිරිපත් කරන ලද්දේ සකුන්ත හිරිමුතුගොඩ විසිනි. හිරිමුතුගොඩ සසජාතශි හි ප්‍රමුඛ සමාජිකයෙකු මෙන්ම සසප දේශපාලන මන්ඩල සභිකයෙකි. 

සෝෂලිසම් ඒඅයි හි අදාලත්වය තේරුම් ගත හැක්කේ අප ජීවත් වන “ගිනියම් වූ ලෝක දේශපාලන තත්වය පිලිබඳ පලල් අව‍බෝධයක් තුලින්” යයි හිරිමුතුගොඩ සිය වාර්තාව ආරම්භ කරමින් කියා සිටියේ ය. “ලෝක ධනේෂ්වර ක්‍රමය දැන් ගමන් කරමින් තියෙන්නේ 1930 ගනන් වලින් මෙපිටට මුහුන දුන් දැවැන්තම අර්බුදයක් මැදින්. මුලු ලෝකය පුරාම පුවත් මවමින් තියෙන්නේ, අධිරාජ්‍යවාදී බලයන් අතර වාග් ප්‍රහාර, ධනපති රටවල් ආක්‍රමනය කරන බවට කරන තර්ජන, සංක්‍රමනිකයින්ට විරුද්ධ ව එල්ල කරන ප්‍රහාර ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පාගා දැමීම, ආඥාදායක පාලන දෙසට ගමන සහ ඒවාට එරෙහි ව කම්කරු පන්තියේ විරෝධතාවන් විසින්.”

මේ දේශපාලන වර්ධනයන්ගේ සන්දර්භය තුල හජාජාක සෝෂලිසම් ඒඅයි හඳුන්වා දීම හුදෙක් තාක්ෂනික කාරනයක් නොවන බවත්, කම්කරු පන්තිය, තරුන‍යන්, ශිෂ්‍යයන් සහ සෙසු පීඩිත කොටස් මාක්ස්වාදී ලෝක දෘෂ්ටියෙන් අධ්‍යාපනගත කිරීමේ හා ඔවුන්ගේ අරගලය සංවිධානය කිරීමේ දී පහසුකම් සලසන වැදගත් මෙවලමක් බව හිරිමුතුගොඩ පෙන්වා දුන්නේ ය.  

2026 අවුරුද්දෙ පලමු සති කිහිපයේ ම ලෝක දේශපාලනයේ තීරනාත්මක සිදුවීම් රාශියක් සටහන් කල බව පෙන්වා දුන් කතිකයා ට්‍රම්ප් පාලනාධිකාරිය විසින් වෙනිසියුලාව ආක්‍රමනය කිරීම හා ඉන්පසු වර්ධනය වූ තත්වයන්ගේ ගෝලීය ප්‍රතිවිපාක සංයුක්තව වගවිභාග කලේ ය. 

“ජාත්‍යන්තර නීතියමත් උල්ලංඝනය කරගෙන නීති විරෝධී ආකාරයෙන් වෙනිසියුලාවට මැදිහත් වූ ට්‍රම්ප් ග්‍රීන්ලන්තය, කැනඩාව, ඉරානයට බෝම්බ දමන බවට තර්ජනය කර තිබෙනවා. ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමට විරුද්ධ වන යුරෝපයේ නේටෝ සමාජික රටවල්වලට තීරු බදු පනවන බවට තර්ජන එල්ල කලා. පසුගිය සතියේ ඩාවෝස්හි පැවැති ලෝක ආර්ථික සමුලුව මෙම ආතතීන් දරුනු ලෙස ප්‍රකාශයට පත්වුනා. දෙවැනි ලෝක යුද්ධය කාලෙදී හිට්ලර්ගේ වැඩකටයුතු සහ ට්‍රම්ප්ගේ මෙම වැඩ කටයුතු අතර ඓතිහාසික සමාන්තරයක් පවතිනවා. ...” යැයි හිරිමුතුගොඩ පැවසී ය.  

වෙනිසියුලාවේ ඛනිජ තෙල් ඇතුලු බලශක්ති වෙලඳාම ඇමරිකාව විසින් පාලනය කිරීම දක්වා ඉදිරියට යෑමේ ගෝලීය අන්තරායන් පැහැදිලි කිරීමේ දී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂක ලේකම් ස්ටීවන් මිලර් “අප ජීවත් වන්නේ, ශක්තිය, බලහත්කාරය හා බලය විසින් පාලනය කෙරෙන ලෝකයක. කාලය ආරම්භයේ පටන් පැවතී ඇති ලෝකයේ අයෝමය නීති මේවා” යැයි කල ප්‍රකාශය ඔහු උපුටා දැක්වී ය.  

එක්සත් ජනපද  ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයන් යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව ගෙන යන යුද්ධය, පලස්තීනයේ සමූල ඝාතක යුද්ධය හා ඉරානයට, චීනයට එරෙහි යුද සූදානම මගින් තුන්වන ලෝක යුද්ධයක් දිසාවට එනම් න්‍යෂ්ටික යුද්ධයක් දිශාවට මානව වර්ගයා ගෙන යමින් තිබේ. 

යුද්ධය සඳහා දැවැන්ත ලෙස මහජන මුදල් කාබාසිනියා කරන තත්වයක් තුල රටක් රටක් පාසා සහචර පාලක පන්තීන් කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් මත ප්‍රහාර තීව්‍ර කර තිබේ. ඇමරිකාව තුල සංක්‍රමනික හා රේගු කටයුතු බලාත්මක කරන්නන් (අයිසීඊ) විසින් රෙනේ ගුඩ් කෲර ලෙස ඝාතනය කිරීම ඇතුලු ආඥාදායක පාලනයට විරුද්ධ ව රට තුල බලගතු පන්ති සටන් අවුලුවා ඇත. ජනවාරි 23 වැනි දා මිනියපොලිස් හි කම්කරුවෝ වෘත්තීය සමිතිවල පස්සට ඇඳීම් නොතකා දැවැන්ත මහජන විරෝධතාවන්ට සහභාගි වූහ.

ලංකාවේ තත්වය පැහැදිලි කරමින් හිරිමුතුගොඩ මෙසේ සඳහන් කලේ ය: “ඩිත්වා සුලි කුනාටුවෙන් ලංකාවේ ආන්ඩුව මුහුන දීලා තියෙන අර්බුදය වඩාත් තියුනු කෙරිලා පවතින්නේ. ඒ තත්වය තුලත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩපිලිවෙල අඛන්ඩ ව ඉදිරියට ගෙන යමින් තියෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරන හරහා අධ්‍යාපනයට රාජ්‍ය වියදම් කප්පාදු කරන්න වැඩ කරමින් ඉන්නවා. ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත හරහා කම්කරුවන්ගේ තරුනයන්ගේ විරෝධතා මැඩීමේ කොන්දේසි සකසමින් ඉන්නවා. සෞඛ්‍ය, විදුලිබල, තැපැල් ආදි ක්ශේත්‍ර ගනනාවක කම්කරුවන්ගේ විරෝධතා වර්ධනය වෙමින් තිබෙනවා.”

ලංකාවේත් ජාත්‍යන්තරවත් වෛෂයික ව සිදු වෙන මෙම වර්ධනයන්හි තීරනාත්මක ප්‍රශ්නය බවට පත් වෙලා තියෙන්නේ අවශ්‍ය කරන දේශපාලන ඉදිරිදර්ශනයකින් සහ තමන්ගේම ස්වාධීන සංවිධාන රූප වලින් කම්කරු පන්තිය සන්නද්ධ කිරීම බව කතිකයා පෙන්වා දුන්නේ ය. 

මේ තත්වය තුල පසුගිය අවුරුද්දේ දෙසැම්බර් 12 වෙනිදා සෝශලිසම් ඒඅයි චැට්බොට් මෙවලම එලිදක්වන්න ගත්ත තීන්දුවේ නිවැරදිභාවය පෙන්නුම් කරමින් ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල ප්‍රකාශයෙන් හිරිමුතුගොඩ උපුටා දැක්වී ය. 

“Socialism AI හඳුන්වාදීම, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉතිහාසය හා වැඩපිලිවෙල මත පදනම් වූ මූලෝපායික මුලපිරීමකි. කම්කරු පන්තියට ගෝලීය ධනවාදයේ අර්බුදයට සරිලන  පරිමානයකින් සහ වේගයකින් දැනුම—සියල්ලටත් වඩා මාක්ස්වාදයේ විද්‍යාත්මක ලෝක දෘෂ්ඨිය—වෙත ප්‍රවේශ වීම අවශ්‍ය වේ.” 

තාක්ෂනික කරුනු කාරනා පැහැදිලි කරමින් සෝෂලිසම් ඒ අයි මගින් ලැබෙන පිලිතුරුවල පවතින නිරවද්‍ය හා පලුල් පරිමාව හිරිමුතුගොඩ විවිධ පැතිවලින් පාඨකයන්ට පෙන්වා දුන්නේ ය. 

අනතුරු ව පැවති සාකච්ඡාවේ දී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක වන උත්පලා මෙසේ විමසුවාය. “මට කියන්න පුළුවන් ද අපි සෝෂලිසම් ඒ අයි  අපේ ඇකඩමික් වලට භාවිතාවට ගත්තොත් ආර්ටිකල් හැදුවොත්, ඒකේ දි අපිට රෙෆරන්ස් ගනිද්දි බාධාවක් වෙන් නැද්ද? නිවැරදිව රෙෆරන්ස් ලබා දෙනවද?”

හිරිමුතුගොඩ මෙසේ පිලිතුරු දුන්නේ ය: 'එයට ප්‍රවේශවන අයට කවර හෝ බාධාවක් නෑ. ඒ වගේම මාක්ස්වාදය, ට්‍රොට්ස්කිවාදය, සමාජවාදය සහ කම්කරු පංතියේ ඓතිහාසික අත්දැකීම් සම්බන්ධයෙන් ඉතා ම නිරවද්‍ය පිලිතුරු සහ තොරතුරු ඉන් ලැබෙනවා.  සෝශලිසම් ඒඅයි පාදකවන්නේ සම්භාව්‍ය මාක්ස්වාදීන්ගේ, ඔවුන් අනුයන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහ එහි මාධ්‍යය වන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛන මත. සෝශලිසම් ඒඅයි පිලිතූරු ලබාදීමේදී එය භාවිතා කරන මූලාශ්‍ර පෙන්නුම් කරනවා.”

මාක්ස්වාදය සහ සමාජවාදය සම්බන්ධයෙන් ශාස්ත්‍රාලික ක්ෂේත්‍රයේ පතුරුවා ඇති අසත්‍යයන් සහ සිදුකර ඇති විකෘතිකරනයන් ට එරෙහිව එම ක්ෂේත්‍රය තුල අව්‍යාජ මාක්ස්වාදය ස්ථාපිත කිරීම, සමාජවාදී සංස්කෘතිය පුනර්ජීවනය කිරීමේදී අත්‍යවශ්‍ය බව ද එබැවින් සෝෂලිසම් ඒඅයි පරිශීලනය කිරීමට, සසජාතශි සහ සමාජවාදී සමානතා පක්ෂය, ශිෂ්‍යයන් සහ ශාස්ත්‍රාලිකයන් උනන්දු කරන බව පැවසූ හිරිමුතුගොඩ මෙසේ අවධාරනය කලේය: “නමුත්, හුදෙක් දැනුම වැඩි කර ගැනීම සඳහා, එහෙමත් නැත්නම් අධ්‍යාපනික සහ ශාස්ත්‍රාලික වැඩකටයුතු සඳහා නෙවෙයි ඇත්තටම මේක ගොඩනගලා තියෙන්නේ. අති මූලික වශයෙන් ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය පෙරට ගැනීමට.'

සාකච්ඡාවෙන් පසුව දුරකථනය හරහා අදහස් දැක් වූ කීප දෙනෙකු සෝෂලිසම් ඒඅයි හඳුන්වාදීම සම්බන්ධව දැක්වූයේ උනන්දු සහගත ප්‍රතිචාරයකි. 

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ අවසන් වසර ශිෂ්‍යාවක් වන යූ. රනසිංහ “අපි මුහුන දෙන දේශපාලන සහ ආර්ථික තත්වය ගැන සාකච්ඡාවෙදි ගැඹුරින් පැහැදිලි කර ගන්න පුලුවන් වුනා. ඒ කියන්නේ ධනේෂ්වර ක්‍රමයේ අර්බූදය සම්බන්ධව. ට්‍රම්ප් පිටුපසින් ඉන්නේ බිලියනපතියන් බවත් ඔවුන්ගේ ලාභ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට තවදුරටත් ජාත්‍යන්තර නීතිය මත ගමන් කල නො හැකිය යන කරුනු මම අවබෝධ කර ගත්තා. මම දැන් සෝෂලිසම් ඒඅයි හි ප්‍රයෝජනය උපරිමයෙන් ගන්න බලාපොරොත්තු වෙනවා”.   

සසප මුහුනු පොත හරහා රැස්වීම පිලිබඳව තොරතුරු දැනගත් අම්පාරේ මල්කාන්ති සාකච්ඡාවේදී පැහැදිලි කල කරුනු ඉතා වැදගත් බවත් සෝෂලිසම් ඒඅයි භාවිතා කිරීමට ඉන් පෙලඹවීමක් ඇති කල බවත් ප්‍රකාශ කලා ය. 

ජවිපෙ/ජාජබ ආන්ඩුව ජාමූඅ පිලිවෙත් ඉදිරියට ගෙන යෑම සම්බන්ධව ඇය මෙසේ පැවසුවා ය. '2022 ඉදලා භාන්ඩ මිල ගනන් සීග්‍ර වේගයෙන් නගිමිනුයි තියෙන්නේ. දුප්පත් මිනිස්සුන්ට දරා ගන්න බෑ. වැට් බදු ඊට බලපා තියෙනවා. අම්පාර ප්‍රදේශයේ ගොඩක් දුප්පත් මිනිස්සු ඉන්නවා”. 

'අධ්‍යාපන ප්‍රතිසංස්කරනවලින් ක්‍රියාත්මක කරන්න යන්නේ තාක්ෂනය හඳුන්වාදීමක්දැ' යි ඇය ප්‍රශ්න කලා ය. 

එම 'ප්‍රතිසංස්කරනවල' එල්ලය දෙස් විදෙස් මහා කර්මාන්ත හිමියන්ට අවශ්‍ය, පුහුනු හා ලාභ ශ්‍රමිකයන් පාසල් අධ්‍යාපනය තුලින් නිර්මානය කරදීමයි. ලෝකය පුරා ධනපති ආන්ඩු සහ මහා සමාගම්, ඒඅයි තාක්ෂනය ඇතුලු නවීන තාක්ෂනික වර්ධනයන් දැවැන්ත පරිමානයෙන් රැකියා කප්පාදු කිරීමට යොදා ගන්නා තත්වයක් තුල ධනපති ක්‍රමය යටතේ රැකියා සුරක්ෂිත නොවේ. ජීවමාන ශ්‍රමය නිශ්පාදන ක්ෂේත්‍රයෙන් ඉවතට තල්ලු වී යෑම ධනපති ක්‍රමයේ අර්බූදය ගැඹුරු කරන බවත් එය අන්තර් අධිරාජ්‍යවාදී ගැටුම් වේගවත් කරන බවත් හිරිමුතුගොඩ පෙන්වා දුන්නේ ය. 

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ තරුන කතිකාචාර්යවරයෙක් සෝෂලිසම් ඒඅයි සම්බන්ධව තම අදහස මෙසේ ප්‍රකාශ කලේ ය: “මාක්ස්වාදී දෘෂ්ටිකෝනයෙන් තොරතුරු ගන්න ‍ලෝකය පුරා වෙනත් මාධ්‍ය නැති තරම්. වෙන්නේ කුමක් ද ? කල යුත්තේ කුමක් ද ? සම්බන්ධව මහජනයාට නිවැරදි අවබෝධයක් ලබා ගන්න බෑ, පවත්නා ධනපති මාධ්‍යවලින්. සෑම රටකම පාලක පන්තීන්ගේ ලාභ අවශ්‍යතා මහජනයාගේ අවශ්‍යතා සමග ගැටෙනවා. මහජනයාට විකල්ප මාධ්‍යයක් අවශ්‍යයයි. ඒ සඳහා ලෝසවෙඅ/ සෝෂලිසම් ඒ අයි ඉතා වැදගත් වෙනවා”. 

විශ්වවිද්‍යාල තුල පශ්චාත් මාක්ස්වාදය, පශ්චාත් නූතනවාදය වැනි මාක්ස්වාදී විරෝධි දෘෂ්ටිවාදයන් වගාදිගා කරන සුමිත් චාමින්ද, නිර්මාල් දේවසිරි, කල්ප රාජපක්ෂ වැනි කොටස්වල බලපෑම සම්බන්ධව ඔහු විස්තර කලේ ය. “පෙරටුගාමි සමාජවාදී පක්ෂය (පෙසප), ජවිපෙ වගේ පක්ෂවලට න්‍යාය සම්පාදනය කරන්නේ මෙවැනි ශාස්ත්‍රාලිකයන්. පෙසප අරගල ගැන කියනවා. 2022 මහජන නැගීටීමේ දී ඔවුන් මහජනයා සවිඥානික කිරීමට නෙමේ වැඩ කෙරුවේ. මහජනයා දැනුවත්ව අරගලයට සම්බන්ධ විය යුතුයි. සෝෂලිසම් ඒඅයි තුලින් අපි ගන්න දැනුම කම්කරුවන්ට තරුනයන්ට ලබා දිය යුතු” යැයි ඔහු ප්‍රකාශ කලේ ය. 

දීර්ඝ කාලීන සසප හිතවතෙකු වන ගම්පහ ප්‍රදේශ‍යේ පදිංචි යූ. ජයවීර මෙසේ කියා සිටියේ ය: “ට්‍රම්ප් පාලනාධිකාරියේ ක්‍රියාකලාපය හා ඒවායේ ජාත්‍යන්තර බලපෑම ගැන හිතුවාම ධනවාදය මේ පොලොවෙන් හැකි ඉක්මනින් තුරන් කල යුතුයි කියන අදහස මේ සාකච්ඡාවෙන්  අලුත් වුනා. සසප ඉදිරිදර්ශනය තමා මේ ලෝකේ තියෙන නිවැරදිම ඉදිරිදර්ශනය. එම ඉදිරිදර්ශනය කම්කරු පන්තිය, තරුනයන් තුල තහවුරු කිරීමට සෝෂලිසම් ඒඅයි ලොකු දායකත්වයක් සපයයි. මේ අලුත් වර්ධනයන් තුල මම පක්ෂයේ ඉදිරිදර්ශනය වර්ධනය කිරීමට සම්බන්ධ විය යුතුයි කියලා මම හිතුවා”. 

Loading