පාසල් සංවර්ධන නිලධාරීන්ට කැඳවුමක්: රැකියා අයිතිය දිනා ගැනීමට අවශේෂ කම්කරුවන් ගේ සහාය ගොනු කර ගනිමින් සටන් වදිමු!

2025 ජනවාරි 20 වන දින කොලඹ කොටුවේ පිකට් කරන පාසල් සංවර්ධන නිලධාරීන්

ගුරු සේවයට අන්තර්ග්‍රහනය කරන ලෙස ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන් (පාසංනි) පිරිසක්, ජනවාරි 26 වැනි දා, සඳුදා සිට, කොලඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කල “මාරාන්තික උපවාසයට” මේ වන විට සතියක් ගත ව ඇත. උපවාසයේ යෙදෙන පාසංනි කිහිප දෙනෙක් මේ වන විට, විවිධ සංකූලතා හේතුවෙන් රෝහල් ගත කොට සිටිති. උපවාසය මෙහෙයවනු ලබන්නේ ලංකා පාසල් සංවර්ධන නිලධාරී සංගමය (ලපාසංනිස) විසිනි. 

රජයේ පාසල්වල ඉගැන්වීමේ කටයුතුවල නියැලී සිටින 16,000ක් පමන වූ පාසල් සංවර්ධන නිලධාරීහු, තමන් “ගුරු සේවයට” අන්තර්ග්‍රහනය කරන ලෙස ඉල්ලා දීර්ඝ කාලයක් පුරා සටන් කරමින් සිටිති. වසර හයක් පුරා ගුරු භූමිකාවට අයත් සියලු වැඩකටයුතුවල නිරත ව සිටින පාසල් සංවර්ධන නිලධාරීන්ගේ එම යුක්තියුක්ත ඉල්ලීම මත ඔවුන් ගෙන යන සටනට නිදහස් අධ්‍යාපනය උදෙසා ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුව තම පූර්න සහයෝගය පල කරයි.

අධ්‍යාපන සේවයේ නියුතු 250,000ක් පමන අන් සියලු ගුරුවරුන් ද කම්කරු පන්තියේ සෑම  කොටසක් ම ද, තම වෘත්තීය සමිති නායකයන්ගේ ආන්ඩු ගැති  ගොලුවත පිලිකුලෙන් බැහැර කර, සංවර්ධන නිලධාරි ගුරුවරුන්ගේ යුක්තියුක්ත ඉල්ලීමට සහයෝගය දිය යුතු යයි අපි ඉල්ලා සිටිමු.  

බලයට පත් සෑම ආන්ඩුවක් මෙන් ම එම ඉල්ලීම දිගින් දිගට ම ප්‍රතික්ෂේප කරන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, පාසංනි “ගුරු සේවයට” අන්තර්ග්‍රහනය කල හැක්කේ, “ගුරු සේවා ව්‍යවස්ථාවේ” සඳහන් වන පරිදි අදාල තරඟ විභාගයෙන් සමත් වුවහොත් පමනක් බව කියා සිටී.

නමුත්, මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම පිටුපස පවතින සැබෑ කරුන එය නොවේ: ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් (ජාමූඅ) වාරික වශයෙන් ලබා ගන්නා ඩොලර් බිලියන 3 ක ඇප නය වෙනුවෙන් නියම කොට ඇති කප්පාදු විධානයන් අකුරට ම ක්‍රියාත්මක කරන බවට යලි යලිත් සපථ වන ජවිපෙ/ජාජබ ආන්ඩුව, අනෙකුත් කම්කරුවන්ගේ මෙන් ම, පාසංනි ගේ ඉල්ලීම ඉටු කිරීමට අවශ්‍ය මුදල් වෙන් කිරීමට කිසිසේත් සූදානම් නැත.

තතු එසේ තිබිය දී, සමිති නායකයන් පාසංනිට දන්වා තිබුනේ, මේ දිනවල ලංකාවට පැමින සිටින ජාමූඅ නියෝජිත කන්ඩායමේ “අවධානය තම ඉල්ලීම වෙනුවෙන් යොමුකර ගැනීමේ අරමුනෙන්”, මෙම උපවාසය සංවිධානය කරන බවයි. ජාමූ අරමුදලෙන් සහන පැතීමේ මෙම වැඩපිලිවෙලේ නිස්සාරභාවය උපවාසය ආරම්භකොට දින තුනක් ඇතුලත සනාථ විය.

ජාමූඅ හි නියෝජිත කන්ඩායම ලංකාවට ආවේ කම්කරුවන් හා දුගීන් මුහුන දෙන ගැටලු සොයා බැලීමට නොවේ, දිත්වා වැනි රුදුරු ව්‍යසනයකට මහජනයා මුහුන දී සිටියත්, තම වැඩපිලිවෙල අකුරට ක්‍රියාවට දමනවා ද යන්න සොයා බැලීමටයි. සිය සංචාරය අවසන් කරමින් ජනවාරි 28 දා ජාමූඅ නිලධාරින් නිකුත් කල නිකුත් කල නිවේදනයෙන් කියා සිටියේ, “මූල්‍ය හා නය තිරසාරභාවය මත ලබා ගත් ජයග්‍රහන ආරක්ෂා කිරීමට” ආන්ඩුව ප්‍රමුඛ බලධාරීන් “කැප වී සිටින” බවයි. 

කෙසේ නමුත්, පාසංනි ඉල්ලීම යලි වතාවක් යට ගැසීමේ උපමාරුවක් ලෙස, පෙබරවාරි 03 දා සාකච්ඡාවක් ලබා දෙන බවට ජනාධිපති දිසානායක පොරොන්දු වී ඇත. වැඩෙන පංති අරගල මාලාවකට අභිමුඛ ව සිටින ජනාධිපති දිසානායක සූදානම් වන්නේ පංති යුද්ධයකට ය. සෞඛ්‍යය, විදුලිබලය ඇතුලු අංශ කිහිපයක ම වර්ධනය වන පන්ති සටන් මධ්‍යයේ දී දිසානායක පසුගිය සතියේ ක්ෂේත්‍ර ගනනාවක ම රුදුරු අත්‍යාවශ්‍ය සේවා නියෝග යලි බලාත්මක කලේ ය. 

මේ අතර, ආන්ඩුවට එරෙහි ව වැඩෙන විරුද්ධත්වය ගසාකෑමේ අරමුනෙන්, විපක්ෂ සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීහු උපවාස භූමියට දිනපතා පැමිනෙමින් පාසංනි සටනට සහයෝගය දෙන බවට සපථ වෙති. ලපාසංනිස ලේකම් විරාජ් මනුරංග ඇතුලු එහි නායකත්වය සජබයේ එම කුහක අවශ්‍යතාවයට උපවාසය වේදිකාවක් කර දී තිබේ.     

ජනවාරි 31 සෙනසුරාදා එහි පැමිනි ප්‍රේමදාස මාධ්‍ය අමතමින් සිටිය දී, සමිති නායක මනුරංග ප්‍රේමදාසගෙන් මෙසේ ප්‍රශ්න කලේය: “03 දා සාකච්ඡාව අසාර්ථක වුවහොත්, සර්ගේ ආන්ඩුවක් යටතේ පාසංනි ප්‍රශ්නයට විසඳුම් ලබා දෙනවාද?” ප්‍රේමදාසගේ පිලිතුර මෙසේ ය:  “අනිවාර්යෙන්ම ඉෂ්ඨ කරනවා. ඒක අපි ලෙයින් සහතික කර දෙනවා.” මෙය, පිටපත කලින් ලියූ නාට්‍ය සංදර්ශනයක් බවට සෑම ඇඟවුමක්ම පවතී. ප්‍රේමදාස යහපාලන ආන්ඩුවේ ඇමතියෙකු ලෙස සහ, කලින් යුඑන්පීයේ ප්‍රමුඛයෙකු ලෙස සිටිමින් සිදු කල කම්කරු විරෝධී ක්‍රියා ගැන ද, ජාමූඅ ගැත්තෙකු බව ද අමතක නොකරන්න. 

ආන්ඩු බලයේ සිටින දිසානායකගේ ජවිපෙ/ජාජබ සහ විපක්ෂ සජබ ඇතුලු ධනපති සංස්ථාපිතයේ සියලු පක්ෂ හා ධනපති ක්‍රමයට බැඳී ගත් වෘත්තීය සමිති පිලිබඳව පාසංනි කිසිදු විශ්වාසයක් නො තැබිය යුතු අතර ම ඔබගේ ප්‍රශ්න ඔවුනට ගසා කෑමට ඉඩ නොදිය යුතු ය.    

බලයට ඒමට පෙර මැතිවරන උද්ඝෝෂනයන් තුල පාසංනි ගැටලුව ‘ප්‍රමුඛ කාර්යයක් සේ සලකා පලමු අයවැයෙන් විසඳන’ බවට ජවිපෙ/ජාජබ ලබා දුන් බොරු පොරොන්දු කුනු කූඩයට දමා ඇත. 2024 දෙසැම්බර් 02 වැනි දා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවති පාසංනි විරෝධතාවයට පහර දී සිවුදෙනෙකු අත්අඩංගුවට ගත් ආන්ඩුව පොලිස් නිලධාරීන්ට පිහි පහර එල්ල කලේ ය යන අභූත යෝජනා එල්ල කරමින් පාසංනි බිය ගැන්වීම සඳහා පොලිස් දඩයමක් දියත් කලේ ය. 

2025 නොවැම්බර් මාසයේ, පාසංනි වෘත්තීය සමිති නායකයන් පිරිසක් සමග පැවති සාකච්ඡාවක දී අගමැතිනි හරිනි අමරසූරිය යලි කියා සිටියේ, පාසංනි ගුරු සේවයට අන්තර්ග්‍රහනය කල හැක්කේ ගුරු ව්‍යවස්ථාවට අනුකූලව පමනක් බවයි. ශ්‍රේෂ්ඨාධිකරනයේ නියමය ද එය බව යැයි ඇය කියා සිටියා ය. 

ආන්ඩුව, උපාධිධාරීන් 35000 ක් බඳවා ගන්නා බවට දුන් පොරොන්දු යට ගසා, රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව මිලියන භාගයකින් කප්පාදු කිරීමේ ජාමූඅ නියෝගය ක්‍රියාවට දමමින් සිටී. 400 කට අධික රාජය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම තුලින් ලක්ෂ සංඛ්‍යාත රජයේ රැකියා විනාශ කිරීම ආන්ඩුවේ අරමුනයි. මෙම තතු තුල, අලුතින් තරග විභාග පවත්වා ගුරු සේවය ඇතුලු රාජ්‍ය අංශයේ රැකියා වලට බඳවා ගැනීම කෙසේ වෙතත්, පලාත් අනුව පැවැත් වූ තරග විභාගවලින් ද බඳවා ගෙන ඇත්තේ සීමිත පිරිසක් පමනි. 

සජබ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු හෝ එක්සත් ජාතික පක්ෂ පාලනයක් පැවතියේ නම් තත්වය මීට වෙනස් නොවේ. 2020 වසරේ දී ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව මගින් සංවර්ධන නිලධාරී යන තනතුර හඳුන්වා දුන්නේ රැකියා විරහිතව සිටි උපාධිධාරීන් අඩු වැටුපකට සූරාකෑමේ අරමුනෙනි. 

ඉගැන්වීමේ සහ විෂය සමගාමී කටයුතු වලට අමතර ව කාර්යාල වැඩකටයුතුවල ද මෙම පාසල් සංවර්ධන නිලධාරීහු නිරත ව සිටිති. නමුත් ඔවුන්ට හිමි වන්නේ ඊට සමාන ගුරුවරයෙකුට වඩා රුපියල් 6000 ක් පමන අඩු වැටුපකි. සවස 3.30 දක්වා පාසලේ රැදී සිටීමටත් පාසල් නිවාඩු කාලයේ දී පාසලට වාර්තා කිරීමටත් රාජකාරීමය වශයෙන් ඔවුහු බැඳී සිටිති. ගුරුවරුන්ට හිමිවන, ප්‍රසූත නිවාඩු, ‘දුෂ්කර දීමනා’ වැනි සීමිත වරප්‍රසාද පවා හිමි නොවේ. තම වෘත්තීය සුදුසුකම් වැඩි කර ගැනීම සඳහා පවතින කාර්යක්ෂමතා කඩඉම් විභාග සමත්වීමේ ලකුනු මට්ටම 40 සිට 50 දක්වා වැඩි කර තිබේ. අවශ්‍ය ඕනෑ ම මොහොතක ඔවුන් වෙනත් අමාත්‍යාංශවල රාජකාරී සඳහා යොමු කිරීමේ හැකියාව ද බලධාරීන්ට තිබේ. 

පාසංනි වෘත්තීය සමිති පසුගිය වසර කිහිපය පුරා, ආන්ඩුවලට පීඩනය යොදා තම ඉල්ලීම් ජයග්‍රහනය කිරීමේ එල්ලයෙන්, උපවාස පැවැත්වීම, අධිකරනයේ නඩු පැවරීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (ජාමූඅ) ආයාචනාත්මක ලිපි යැවීම ආදි නිෂ්ඵල ප්‍රයත්නයන්හි නිරත වූහ. මෙම සමිති, රැකියා විරහිත උපාධිධාරීන් රැකියා වලට බඳවා ගැනීම “රජයට මූල්‍යමය බරක් වන” බව කියා සිටිමින් ඔවුන් ගුරු සේවයට බඳවා ගැනීම නතර කොට තම සාමාජිකයන් බදවා ගන්නා ලෙස ඉල්ලා සිටියහ. 

දැන් ඔබ අප ඉදිරියේ ඇත්තේ වසර ගනනාවක් පුරා ගොඩ ගැසුනු කර්කශ අත්දැකීම් ය. සමිති නායකයන් කියා සිටි, විවිධ ක්‍රියාමාර්ගවල ඔබ යෙදී ඇත. අවසානයේ, පාලකයන්ගේ අනුකම්පාව යැදීමේ නමින් ඉදිරිපත් කෙරුනු සත්‍යග්‍රහයකට පසුව, මරනයෙන් කෙලවර විය හැකි උපවාසයකට පවා සූදානම නිවේදනය කර ඇත. 

සංවර්ධන නිලධාරි ගුරුවරුන් ක්‍රියාකල යුත්තේ, මෙවන් වඳ ක්‍රියාවන් තුල තම ශක්තිය වාෂ්ප කර දැමීමට තව දුරටත් ඉඩ නොදී සිය පන්ති සගයන්--අවශේෂ ගුරුවරුන් ඇතුලු කම්කරුවන් ගේ සහයෝගය ඉල්ලා සිටිමින් පන්ති සටනට එලඹීමයි; රැකියා විරහිත උපාධිධාරීන් ගේ අරගලයට සහයෝගය දෙමින්, ඔවුන්ගේ සහයෝගය ගොනුකර ගැනීමයි; “ගුරු ව්‍යවස්ථාව” ලෙලවමින් ජෝසප් ස්ටාලින් ගේ ලංකා ගුරු සංගමය සහ ජවිපෙ නායකත්වය දෙන ලංකා ගුරු සේවා සංගමය ඇතුලු අනෙකුත් ගුරු සංගම් නායකයන්, පාසල් සංවර්ධන නිලධාරීන් ගේ යුක්තියුක්ත ඉල්ලීමට විරුද්ධ ව ක්‍රියා කිරීමට එරෙහි ව ගුරුවරුන්ගේ සහාය තමන් වෙත දිනා ගැනීමට උද්ඝෝෂනයක යෙදීමයි. 

ආන්ඩුව හා ධනපති පක්ෂ පස්සෙන් දුවන සමිති නායකයන් මෙවන් අරගලයකට එරෙහි වනු ඇත. මන්ද යත්, කම්කරු පන්තියේ කිසි ම කොටසක යුක්ති සහගත ඉල්ලිමක් ඉටු කිරීමට සුදානම් නැති ආන්ඩුවලට හා ධනපති ක්‍රමයට මේ නායකයන් කඹුරන නිසාවෙනි. ඔබට ධනපති ආන්ඩු හා අර්බුදයෙන් පෙලෙන ධනපති ක්‍රමය තුල විසඳුම් සොයා ගත නොහැකි ය. 

ඔබේ අරගලය සෙසු වැඩකරන ජනතාවගේ සහයෝගය ගොනුකරගත් බලවත් අරගලයක් බවට පත්කර ගතහැක්කේ කෙසේ ද? 

සමිති නායකයන්ගේ මගවැලහිම් ප්‍රතික්ෂේප කරමින්, තමන්ගේ ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගාගෙන සටනට එලඹීමයි. අවශේෂ කම්කරු ක්ෂේත්‍රවල, වෙලදපොලවල හා ආයතන වල සේවකයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ එබඳුම ක්‍රියාකාරී කමිටු ගොඩනගා තම අයිතීන් සඳහා මෙන්ම, සංවර්ධන නිලධාරින් හා අනෙකුත් කම්කරු කොටස්වල අරගල වලට සහාය දෙමින් තම පන්ති ශක්තිය ගොනුකර ගන්නා ලෙසයි. මන්ද? සියලු කම්කරුවන්, විවිධාකාරයෙන් වුව,  මුහුනපා සිටින්නේ එක ම ප්‍රහාරයකට හෙයිනි, ජාමූඅ නියෝග මත එම ප්‍රහාර උසිගන්වා ඇත්තේ ධනපති ආන්ඩුව හා ධනපති පන්තිය හෙයින් පන්ති ශක්තිය මෙහෙයවා එම ප්‍රහාර පරාජය කල යුතු ය.  

මෙය, එම ප්‍රහාරවල එරෙහි ව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අරගලයක් සංවිධානය කිරීමේ සටනකි.  ජාත්‍යන්තර නය හිමියන්ගේ හා මහා ව්‍යාපාරිකයන් ගේ ආන්ඩුවට ධනපති ක්‍රමයට එරෙහි ව සටන් කිරීමකින් තොර ව වැඩ කරන ජනයාගේ අයිතීන් රැක ගැනීමට නොහැකි ය.

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම සඳහා ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුව මෙම ක්‍රියාමාර්ගය සඳහා සටන් කිරීමට ඔබ සමග එක්ව සිටි. අප සමග සාකච්ඡාවට එලඹෙන්න.

Loading