ජනාධිපති දිසානායක, පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහනය කිරීම ප්‍රතික්ෂේප කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක, පසුගිය 03 දා, පාසල් සංවර්ධන නිලධාරීන්ගේ (පාසංනි) වෘත්තීය සමිති නායකයින් සමග පැවැත්වූ සාකච්ඡාවේ දී, පාසංනි ගේ දිගු කාලීන ඉල්ලීම වන, “තරඟ විභාගයකින් තොරව ගුරු සේවයට අන්තර්ග්‍රහනය කිරීම” එකහෙලා ප්‍රතික්ෂේප කලේ ය. පාසංනි “නීත්‍යානුකූල ව” ගුරු සේවයට බඳවාගත හැක්කේ තරඟ විභාගයකින් පමනක් බව, දිසානායක පැවසී ය. 

16600ක් පමන වන පාසංනි සියලු දෙනා ම උපාධිධාරීහු වෙති. පාසල්වල විෂය සමගාමී හා අනධ්‍යයන කටයුතුවල යොදවා ඇති ඔවුන්ට හිමි වන්නේ, “ගුරු සේවය” යටතේ රැකියාවේ නියුතු ඊට සමාන සුදුසුකම් සහිත ගුරුවරයෙකුට වඩා රුපියල් 6000 කින් පමන අඩු මාසික වැටුපකි. සවස 3.30 දක්වා පාසලේ රැදී සිටීමටත් පාසල් නිවාඩු කාලයේ දී පාසලට වාර්තා කිරීමටත්, ඔවුහු රාජකාරීමය වශයෙන් බැඳී සිටිති. ගුරුවරුන්ට හිමිවන, ප්‍රසූත නිවාඩු, ‘දුෂ්කර දීමනා’ වැනි සීමිත වරප්‍රසාද පවා ඔවුනට හිමි නොවේ. 

වසර 06 කට වැඩි කාලයක් පාසල්වල ඉගැන්වීමේ කටයුතුවල නිරත වී සිටින පාසංනි ගේ යුක්තියුක්ත ඉල්ලීම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩු විසින් ද දිගින් දිගටම ප්‍රතික්ෂේප කෙරුනි.  

ජනාධිපති දිසානායක සමග සාකච්ඡාව පැවතියේ ඊට පෙර සතියක් පුරා පාසංනි කන්ඩායමක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට “මාරාන්තික උපවාසයක” නිරත වීමෙන් පසුවයි. උපවාසයේ නිරත පාසංනි හය දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ. පෙබරවාරී 02 දා පැවති විරෝධතාවය සඳහා 1200 ක් පමන පාසං නිලධාරීහු සම්බන්ධ වූහ. උපවාසය හා විරෝධතාවය සංවිධානය කලේ ලංකා පාසල් සංවර්ධන නිලධාරී සංගමය (ලපාසංනිස) විසිනි. 

2026 වසරේ මුල පවත්වන තරඟ විභාගයකින්, ගුරු සේවය සඳහා 23000 ක පමන පිරිසක් බඳවා ගැනීමට බලාපොරොත්තු වන බවත්, ඉන් වැඩිමනත් කොටස පාසංනි ට හිමිවන බවත් දිසානායක ඉහත සාකච්ඡාවේදී පැවසී ය. එම කොටස තීරනය කෙරෙනුයේ, “නීතිපතිගේ උපදෙස්” මත බව ද ඔහු කියා සිටියේ ය. ඉතිරි පාසංනි ගුරු සේවයට බඳවාගනු ලබන්නේ, “සුදුසුකම්” සපිරූ පසු, එනම් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා සහතික පත්‍රය ලබාගැනීමෙන් පසු පමනි.  

පාසංනි ඇතුලු රජයේ රැකියාවල නියුතු උපාධිධාරීන් “ගුරු සේවයට” බඳවා ගැනීම සඳහා තරඟ විභාගයක් පවත්වන බවත්, පෙබරවාරී 05 සිට 19 දක්වා ඒ සඳහා අයඳුම්පත් කැඳවන බවත්, පෙරබරවාරී 02 දා නිකුත් කර ඇති ආන්ඩුවේ ගැසට් පත්‍රයේ සඳහන් වෙයි. කෙසේ නමුත්, විභාග පැවැත්වෙන දින එහි නිශ්චිත ව සඳහන් වන්නේ නැත. රැකියා විරහිත සහ රාජ්‍ය සේවයේ නොවන උපාධිධාරීන් “ගුරු සේවයට” බඳවා ගැනීම සඳහා වෙනත් විභාගයක් පවත්වන බවට ද ප්‍රවෘත්ති පල වුව ද මෙම ගැසට් නිවේදනයේ එවැන්නක් සඳහන් නොවේ.   

දිසානායක සහ ඔහුගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ අගමැති සහ අධ්‍යාපන ඇමති හරිනි අමරසූරිය ඇතුලු මැති-ඇමතිවරුන් පාසංනි ගේ ඉල්ලීම යලියලිත් ප්‍රතික්ෂේප කරනුයේ එය ගුරු සේවා ව්‍යවස්ථාවට පටහැනි බවට තර්ක කරමිනි. නමුත්, මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම පිටුපස පවතින සැබෑ හේතුව වනුයේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් (ජාමූඅ) වාරික වශයෙන් ලබා ගන්නා ඩොලර් බිලියන 3 ක ඇප නය වෙනුවෙන් නියම කොට ඇති කප්පාදු වැඩපිලිවෙල තුල, අනෙකුත් කම්කරුවන්ගේ මෙන් ම, පාසංනි ගේ ඉල්ලීම ඉටු කිරීමට අවශ්‍ය මුදල් වෙන් කිරීමට කවර හෝ ඉඩක් නොමැතිවීම යි. 

තරඟ විභාග නොපවත්වන ලෙස ඉල්ලා පාසංනි ගෙන ගිය අධිකරන ක්‍රියාදාමයන් නිසා පසුගිය වසරවල ගුරුවරුන් බඳවා ගැනීම් සීමා වූ බවට තවත් බේගලයක් ඇද බාමින්, දිසානායක පාසංනි සමිති නායකයන්ට කියා සිටියේ,  “මේ නඩු ක්‍රියාවලීන් නිසා රාජ්‍ය අංශයේ ආයතන ගොඩක පත්වීම් හිරවෙලා ” ඇති බවයි. 

සැබැවින්ම, රාජ්‍ය අංශයේ රැකියා ලබා දීම වෙනුවට, ජවිපෙ/ජාජබ ආන්ඩුව නිරත ව සිටින්නේ, ජාමූඅ හි විධානයන් මත රාජ්‍ය අංශයේ රැකියා මිලියන භාගයක් කප්පාදු කිරීමේ වැඩකටයුතු වලයි. 

මෙහි කොටසක් ලෙස, ලංකා විදුලිබල මන්ඩලය ඉදිරි සතිය තුල විසුරුවා හැර, එහි සේවකයන් රජය සතු සමාගම් 06 ට බෙදා වෙන් කරනු ඇත. සේවකයන් 2000ට වැඩි පිරිසක් සොච්චම් වන්දියක් මත “ස්වෙච්ඡාවෙන්” විශ්‍රාම ගන්වා ඇති අතර, ‍සේවයේ නිරත විදුලි සේවකයන්ගේ රැකියා, සේවා කොන්දේසි හා වෙනත් දීමනා සම්බන්ධ අවිනිශ්චිතභාවය වැඩෙමින් පවතී. 

පාසංනි සටනට සමගාමී ව වෛද්‍යවරුන් ද තම ඉල්ලීම් මත සටනට පිවිස සිටින අතර, විදුලිබල කම්කරුවන් ද තම රැකියා සහ සේවා කොන්දේසි ආරක්ෂා කර ගැනීම සඳහා නුදුරේ ම සටනට පිවිසීමට නියමිත ය. මෙම සෑම ඉල්ලීමක් ම ප්‍රතික්ෂේප කරන ආන්ඩුව, එම සටන් රුදුරු ලෙස තලා දැමීමට අධිෂ්ඨාන කරගෙන සිටී. දිසානායක පසුගිය සතියේ, ක්ෂේත්‍ර ගනනාවක ම අත්‍යාවශ්‍ය සේවා නියෝග යලි බලාත්මක කලේ ය. 

පාසංනි සහ ජනාධිපති දිසානායක අතර සාකච්ඡාවෙන් පෙන්නුම් කල අනෙක් කාරනය වන්නේ ලපාසංනිස ඇතුලු වෘත්තීය සමිතිවල, ධනපති ආන්ඩුවලට බලපෑම් ‍දැමීමේ ක්‍රියාමාර්ගවල බංකොලොත්භාවයයි. 

02 දා පැවති විරෝධතාවයේ දී ලපාසංනිස ලේකම් විරාජ් මනුරංග, “අපි ඔය සාම්ප්‍රදායික විභාග අමුඩයට එකඟ නෑ. අපි මේ අරගලය ජයග්‍රහනයකින් පමනයි කෙලවර කරන්නේ” යනුවෙන් බෙරිහන් දුන් නමුත්, දිසානායකගේ තරඟ විභාග යෝජනාවට එකඟත්වය පල කර සියලු වෘත්තීය ක්‍රියාමාර්ග හකුලා දමා තිබේ. 

“ඔබ තුමාවවත්, ආන්ඩුවවත් අපහසුතාවයට ලක් කරන්න අපිට අවශ්‍ය නෑ. අපි කියන්නේ තරඟ විභාග පැවැත්වුවහොත් අපි යලි රාජ්‍ය සේවයේ මුලට යනවා. ඒක නතර කරන්න” යයි මනුරංග දිසානායකගෙන් ඉල්ලා සිටියේ ය. 

ලපාසංනිස විසින් “මාරාන්තික උපවාසය” ආරම්භ කලේ, පසුගිය වසර කිහිපය පුරා තම ඉල්ලීම් ජයග්‍රහනය කිරීමේ එල්ලයෙන් බලයට පත් ආන්ඩුවලට බලපෑම් දැමීමේ විරෝධතා, සත්‍යග්‍රහ, අධිකරනයේ නඩු පැවරීම් හා ජාමූඅ ට ආයාචනාත්මක ලිපි යැවීම ආදි පන්ති අරගලයේ ක්‍රියාමාර්ගවලින් ඉවත් වූ නිෂ්ඵල ප්‍රයත්න රැසකින් පසුවයි. 

පසුගිය සතියේ පැවති උපවාසයේ ප්‍රධාන ඉලක්ක වූයේ, ඒ වන විට ලංකාවට පැමින සිටි ජාමූඅ නියෝජිත කන්ඩායමේ අවධානය ලබා ගැනීම බව සමිති නායකයන් සිය සමාජිකයන්ට යැවූ සමාජ මාධ්‍ය පනිවිඩයක සඳහන් කර තිබුනි. 

පසුගිය වසරේ ජාමූඅ වෙත යැවූ ලිපියෙන් සමිති නායකයන් ඉල්ලා සිටියේ “රජයට මූල්‍යමය බරක් වන” නවක උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම නතර කරන ලෙසයි. නවක උපාධිධාරීන්ගේ රැකියා අයිතියට වල කැපීමේ මෙම අන්ත ප්‍රතිගාමී ඉල්ලීම ඉදිරිපත් කරමින්, “දැනටමත් සේවයේ නිරත ව සිටින පාසංනි ඒ සඳහා යොදා ගැනීමෙන් වාර්ෂික ව රුපියල් බිලියන 12.65 ක් ආන්ඩුවට ඉතිරි කරගත හැකි” බවට ඔවුන් ජාමූඅ ට සහ ආන්ඩුවට උපදෙස් දෙයි. 

ජාමූඅ නියෝජිත කන්ඩායම් ලංකාවට ‌නිරන්තර ව පැමිනෙන්නේ දිසානායක ආන්ඩුව තම කප්පාදු ඒ ආකාරයෙන්ම ක්‍රියාවේ යොදවන බව තහවුරු කර ගැනීමට මිස මහජනයා මත සහන ප්‍රදානය කිරීමට නොවේ.   

කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කරනු වස් ජාමූඅ කප්පාදු වලින් බැටකන අනෙකුත් කම්කරු කොටස් වෙතට හැරෙනු වෙනුවට ලපාසංනිස සමිති නිලධරය හැරුනේ, බලයේ සිටිය දී තම ගැටලු උග්‍ර කරමින් නිදහස් අධ්‍යාපන අයිතියට ප්‍රහාර එල්ල කල විපක්ෂයේ සමගි ජන බලවේගය ඇතුලු ධනපති පක්ෂ වෙතයි. 

ධනපති ආන්ඩුවලට බලපෑම් දමා, ධනපති ක්‍රමය තුල ම ප්‍රශ්න විසඳා ගත හැකිය යන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ප්‍රතික්ෂේප කරමින් රැකියා හා නිදහස් අධ්‍යාපන අයිතිය දිනා ගැනීමට පාසංනි අවශේෂ කම්කරු පන්තිය හා තරුනයන් සමග ඒකාබද්ධ ව තම සටන පෙරට ගත යුතු බව නිදහස් අධ්‍යාපන ආරක්ෂා කිරීමේ ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුව විරෝධතාවයේ නිරත පාසංනි සමග කල සාකච්ඡාවන්හි දී පැහැදිලි කලේ ය. 

ගාල්ල දිස්ත්‍රිකයේ පාසං නිලධාරියෙකු  වන චින්තක මෙසේ කියා සිටියේ ය: “දැන් මතුවෙලා තියෙන තත්වය ගැන ගැටලුවක් තියෙනවා. අපට ආයිමත් විභාගය ලියන්න සිද්ධ වුනා. ඒ කිව්ව විදියට විභාගයෙන් කන්ඩායමක් ගනියි. ඉතුරු වෙන අයට මොකද වෙන්නේ. කන්ඩායම අඩු වුනා ම ඊට පස්සේ උද්ඝෝෂන වලට එන කන්ඩායමක් අඩු වෙනවා. දැන් පෙබරවාරි 02 දා 1000 ට වැඩිය ආවා. ඒ මදි. අපිට මේ උද්ඝෝෂන වලට ඇවිත් එපා වෙලා, මම අවුරුදු පහක් තිස්සේ එනවා. දැන් මගේ වයස අවුරුදු හතලිහක්. ක්‍රියාකාරී කමිටු හදාගෙන අනෙක් කම්කරුවන් එක්ක සංවිධානය කරන්න සටන් කරන එක හොඳයි. මම කැමතියි ඒ පිලිබඳව තවදුර කතා කරන්න.”‍‍

මධ්‍යම පලාතේ පාසං නිලධාරීවරයෙක් මෙසේ කියා සිටියේ ය: “සමිති කරපු වැඩේට මගේ එකඟත්වයක් නෑ. කිව්වේ එකක් කෙරුවේ එකක්.” 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසං නිලධාරීවරයෙක් පසුගිය වසරවල පැවති තරග විභාගවලට දහස් ගනනක් පෙනී සිටියත් බඳවා ගෙන ඇත්තේ සීමිත පිරිසක් බවත්, පවත්වන්නට යන විභාග ඊට නොදෙවෙනි බවත් කියා සිටියේ ය. “සමිති නායකයෝ එලියේ කෑ ගැහුවා, විභාග එපා කියලා. නමුත් ජනාධිපතිගේ කීමට යට වෙලා ආවා. මම වැඩ කරන පාසලේ ස්වේච්ඡාවෙන් උගන්වන හය දෙනෙක් ඉන්නවා. ඒ අයට පොඩි පඩියක් දෙන්නේ ගුරු මන්ඩලයේ අයගේ හා පන්සලෙන් දෙන ආධාර මුදල්වලින් සල්ලි එකතු කරලා. මේ පැතිවල ගුරු පුරප්පාඩු ඕනා තරම්.”

Loading