මෙය, අද (12) ඉන්දියාවේ මහාවර්ජනයට සම්බන්ධ වන කම්කරු කොටස් අතර දෙමල හා ඉංග්‍රීසි භාෂාවලින් මුද්‍රනය කොට බෙදා හැරෙන සසප ප්‍රකාශය යි.
***
භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුවේ රැකියා, වැටුප්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ ප්‍රධාන වශයෙන් ආයෝජක හිතවාදී කම්කරු නීති “ප්‍රතිසංස්කරන” වලට එරෙහි ව, අද (12) රටපුරා පැවැත්වෙන මහා වැඩ වර්ජනයට සහභාගී වන, කෝටි සංඛ්‍යාත ඉන්දියානු කම්කරුවන්ට ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය සිය සහෝදරාත්මක සහයෝගීතාවය පල කරයි.
ඉන්දියාවේ කම්කරුවනි, ඔබ තනි වී නැත. ඔබගේ අරගලය, ධනේශ්වර ගැති වෘත්තීය සමිති විසින් දිගු කලක් තිස්සේ යටපත් කරගෙන සිටි ගෝලීය පන්ති අරගල පුලුල් වසයෙන් පුපුරා ඒමේ කොටසකි. අද මහා වැඩ වර්ජනය බලගතු ලෙස පිලිබිඹු කරන්නේ, කම්කරු පන්තියට තමන්ගේ මූලික අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා සටන් කිරීමට අවශ්‍ය බවයි.
දශක ගනනාවක් තුල කම්කරු නීති අරභයා සිදු කල වඩාත් ම පුලුල් ප්‍රතිව්‍යුහගත කිරීම ලෙස සංගත ප්‍රභූන් විසින් ප්‍රශංසා කරන ලද, වැටුප් (2019), කාර්මික සබඳතා (2020), සමාජ ආරක්ෂනය (2020) සහ වෘත්තීය ආරක්ෂාව, සෞඛ්‍ය සහ වැඩ කිරීමේ කොන්දේසි (2020) පිලිබඳ නව කම්කරු නීති සංග්‍රහ හතරකින් - මධ්‍යම කම්කරු නීති 29 ක් විස්ථාපනය කර ඇත. අවම වැටුප්, සේවා ස්ථාන ප්‍රමිතීන් සහ විධිමත් හා අවිධිමත් අංශ හරහා සාමූහික කේවල් කිරීම ඇතුලු ව පරම්පරා ගනනාවක කටුක අරගල හරහා ලබා ගත් මෙම අයිතිවාසිකම් නිර්දය ලෙස විසුරුවා හැර විනාශ කර ඇත. මෝදි ගේ ඊනියා “ප්‍රතිසංස්කරන” වැඩ වර්ජනය කිරීමේ මූලික අයිතිය අපරාධයක් බවට පත් කරමින්, ධනේශ්වර සූරා කෑමට එරෙහි ව කම්කරුවන්ට විරුද්ධ වීමට, සංවිධානය වීමට සහ ආරක්ෂා වීමට ඇති හැකියාවට ම පහර දෙයි.
මෝදි ආන්ඩුව සේවය කරන්නේ අතලොස්සක් වූ ධනේශ්වර ප්‍රභූ පැලැන්තියේ අවශ්‍යතා සඳහා ය. නව කම්කරු නීති සංග්‍රහය සම්මත කරවා ගෙන ඇත්තේ, “ව්‍යාපාර කටයුතු පහසු කිරීම” සඳහා ඉන්දියාවේ ශ්‍රම බලකාය සූරා කෑමට දේශීය හා විදේශීය ආයෝජකයින්ට නිදහස් පාලනයක් ලබා දීම සඳහා ය. ඒ අතර ම, ආන්ඩුව සංගතවල බදු කපා හැර, කෘෂි ව්‍යාපාර-ගැති නීති සම්මත කර ඇත. නීති සංග්‍රය ක්‍රියාත්මක කරන ලෙස රජය සියලු ම ප්‍රාන්ත රාජ්‍යවලට බලපෑම් කරමින් සිටී. අප්‍රේල් 1 වන දින වන විට, භාරතීය ජනතා පක්ෂය පාලනය කරන උත්තර් ප්‍රදේශ්, මධ්‍ය ප්‍රදේශ් සහ ගුජරාටය මෙන්ම විපක්ෂය පාලනය කරන තමිල්නාඩු සහ කර්නාටක ඇතුලු, අවම වශයෙන් ප්‍රාන්ත 17 ක මෙම නීති ක්‍රියාත්මක කිරීම සඳහා දැනටමත් ප්‍රධාන පියවර ගෙන තිබේ.
චීනයට එරෙහි ව එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි-උපායමාර්ගික ප්‍රහාරයේ ප්‍රධාන කුලුනක් ලෙස ඉන්දියාව ස්ථානගත කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින පාලක ප්‍රභූවේ ගෝලීය අභිලාෂයන් ඉදිරියට ගෙන යාම සඳහා, මෝදිගේ ආන්ඩුව ඉන්දියානු කම්කරු පන්තියෙන් කැපකිරීම් ඉල්ලා සිටී. ධනේශ්වරය අන්කවරදාටත් වඩා, සූරාකෑම තීව්‍ර කරන අතර ම මිලිටරිවාදය දෙසට සම්පත් හරවා යවමින් සිටින්නේ මෙම අරමුන සාක්ෂාත් කර ගැනීමේ අටියෙනි. කෝටි සංඛ්‍යාත පිරිසකට තීරනාත්මක ජීවනාලියක් සපයා ඇති මහත්මා ගාන්ධි ජාතික ග්‍රාමීය රැකියා සහතික යෝජනා ක්‍රමය විසුරුවා හැරීම, දුප්පත් ග්‍රාමීය ජනතාවට දැවැන්ත ප්‍රහාරයකි. පෙබරවාරි 1 වන දින අයවැයෙන්, සමාජ වියදම් කපා හරින අතර ම මිලිටරි වියදම් සියයට 15 කින් වැඩි කිරීම මගින් ආන්ඩුවේ මෙම ප්‍රමුඛතාව පෙන්නුම් කරයි. ඉලක්කය පැහැදිලි ය: මිලිටරීකරනය සහ යුද්ධය සඳහා සූදානම් වන අතරතුර, කම්කරුවන්ගේ වියදමින් ප්‍රාග්ධනය පොහොසත් කිරීම යනාදියයි.
කොංග්‍රස්-ස්ටැලින්වාදී-ධනවාදී පක්ෂ-අනුබද්ධ වෘත්තීය සමිතිවල උගුල
අද වීදිවලට පැමිනෙන කම්කරුවන් පැහැදිලි ව මෙම කාරනය තේරුම් ගත යුතු ය: මෝදි සහ ඔහු නියෝජනය කරන සියල්ල - ධනවාදී කතිපයාධිකාරය, හින්දු ආධිපත්‍යය, අධිකාරීවාදය සහ මිලිටරිවාදය - පරාජය කිරීමට කම්කරුවන්ට මූලික වශයෙන් වෙනස් උපාය මාර්ගයක් අවශ්‍ය වේ. කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම සහ “ආයෝජක ගැති ප්‍රතිසංස්කරන” සහ ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ ඉන්දියානු ධනේශ්වරයේ චීන-විරෝධී සන්ධානයට සම්පූර්නයෙන් ම සහාය දෙන, මහා ව්‍යාපාරික කොංග්‍රස් පක්ෂය සහ ද්‍රවිඩ මුන්නේත්‍ර කළහම් (ඩීඑම්කේ) වැනි අනෙකුත් දක්ෂිනාංශික ධනේශ්වර පක්ෂවලට එය යටත් කිරීමට ගන්නා සියලු උත්සාහයන් ප්‍රතික්ෂේප කිරීම මත පදනම් වූ එකකි, මෙම උපාය මාර්ගය.
අද දින වැඩ වර්ජනය කැඳවා ඇත්තේ, ස්ටැලින්වාදී ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) හෙවත් සීපීඑම්, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) වලට අනුබද්ධ සීඅයිටීයූ සහ ඒඅයිටීයූසී, කොංග්‍රසයට අනුබද්ධ අයිඑන්ටීයූසී සහ අනෙකුත් සම්මේලන ඇතුලත් මධ්‍යම වෘත්තීය සමිති ඒකාබද්ධ වේදිකාව (ජේපීසීටීයූ), කොංග්‍රසයට අනුබද්ධ අයිඑන්ටීයූසී සහ අනෙකුත් සම්මේලන විසිනි. මෙම නිලධාරිවාදී සංවිධාන කම්කරුවන්ගේ ආරක්ෂකයින් ලෙස පෙනී සිටින අතර, සෑම සැබෑ අරගලයක ම හුස්ම ක්‍රමානුකූල ව හිර කරයි. ඔවුන් විරෝධය හුදකලා එක්දින විරෝධතාවලට සීමා කර, පසු ව ප්‍රහාර ක්‍රියාත්මක කරන ආන්ඩුත් සමඟම සාකච්ඡා සඳහා ආයාචනා කරයි. 2025 මැයි මාසයේ දී, මෙම සමිති, මෝදිගේ පකිස්ථාන විරෝධී යුද උන්මාදය මධ්‍යයේ සැලසුම් කල වැඩ වර්ජනයක් හදිසියේ ම අවලංගු කල අතර, තමන් පන්ති අරගලයට වඩා ජාතික සමගියට කැප වී සිටින “දේශප්‍රේමී පුරවැසියන්” බව ප්‍රකාශ කලහ.
ස්ටැලින්වාදී නායකත්වයෙන් යුත් වෘත්තීය සමිති සහ කොංග්‍රස් පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති පෙබරවාරි 12දා වැඩ වර්ජනය කොංග්‍රස් නායකත්වයෙන් යුත් ඉන්දියානු විපක්ෂ කන්ඩායමට යටත් කිරීමට උත්සාහ කරයි. මෝදිට “ප්‍රජාතන්ත්‍රවාදී” විකල්පයක් ලෙස ඔවුහු කොංග්‍රසය ප්‍රවර්ධනය කරති. මෙය, දේශපාලන වංචාවකි.
කොංග්‍රස් පක්ෂය, ඉන්දියාවේ ආයෝජක ගැති “ප්‍රතිසංස්කරන” වල ප්‍රධාන නිර්මාපකයින්ගෙන් එකකි. එය, 1990 ගනන්වල ලිබරල්කරනය, පෞද්ගලීකරනය සහ නියාමනය ඉවත් කිරීම ආරම්භ කල අතර, ඉන්දියානු සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ අවශ්‍යතා නිරන්තරයෙන් ආරක්ෂා කර ඇත. අද වන විට, කොංග්‍රසය විසින් පාලිත ප්‍රාන්ත ආන්ඩු, තමන් ප්‍රසිද්ධියේ හෙලා දකින කම්කරු සංග්‍රහයන් ම ක්‍රියාකාරී ව ක්‍රියාත්මක කරමින් සිටී.
උදාහරනක් ලෙස, කර්නාටක ප්‍රාන්තයේ, කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ රජය දැනටමත් භාරතීය ජනතා පක්ෂයේ කම්කරු සංග්‍රහ ක්‍රියාත්මක කරමින් සිටින අතර එහි අනුබද්ධ වෘත්තීය සමිති ඒවාට එරෙහි ව හිස් සටන් පාඨ මතු කරයි. මෙය, පාර්ලිමේන්තු විපක්ෂය සහ වෘත්තීය සමිති උපකරන අතර නරුම වැඩ බෙදා ගැනීම හෙලිදරව් කරයි. එක් අතකින්, කොංග්‍රස් දේශපාලනඥයෝ කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කරන්නන් ලෙස පෙනී සිටිති.
බහුජාතික සංගත සඳහා රතු පලස එලන වාර්ගික-ජාතිවාදී පක්ෂයක් ද වන කොන්ග්‍රසය සමග පෙලගැසී සිටින තමිල්නාඩුවේ ඩීඑම්කේ පක්ෂයේ ආන්ඩුව කම්කරු නීති සංග්‍රහ ක්‍රියාත්මක කිරීම සඳහා සැලකිය යුතු පියවර ගෙන තිබේ. ඉන්දියාව පුරා, භාරතීය ජනතා පක්ෂය හෝ කොංග්‍රසය ප්‍රාන්ත රජයේ ප්‍රධානියා වුව ද, ප්‍රතිඵලය එක සමාන ය: එනම්, කම්කරු නීති “ප්‍රතිසංස්කරන”, පුද්ගලීකරනය, වැඩ වර්ජන මර්දනය සහ තීව්‍ර කරන ලද හිටපු සූරාකෑම ආදියයි.
තමිල්නාඩුව තුල, සීපීඅයි (එම්) හි භූමිකාව විශේෂයෙන් ප්‍රතිගාමී ය. එය දේශපාලන අනුග්‍රහය සඳහා මැතිවරන සන්ධාන සහ ප්‍රචාරක සම්පත් හෙට්ටුකරමින් පාලක ඩීඑම්කේයට මුක්කු ගසයි. ඩීඑම්කේ භාරතීය ජනතා පක්ෂයේ කම්කරු නීති සංග්‍රහ බලහත්කාරයෙන් ක්‍රියාත්මක කර කම්කරු විරෝධය මර්දනය කරන අතරතුර, සීපීඑම්-සීඅයිටීයූ උපකරනය භාරතීය ජනතා පක්ෂයේ ඉදිරි ගමනක් වැලැක්වීමට ක්‍රියාත්මක වන්නේ ය පචය අඹරමින්, එය (ඩීඑම්කේ) සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. මෙම ජාතිකවාදී රැවටීම, ආන්තික සූරාකෑම මත ගොඩනගා ඇති සංගත මගින් පාලනය වන කාර්මික ව්‍යාප්තියට පහසුකම් සපයන අතර ම, වාර්ගික සහ කලාපීය රේඛා ඔස්සේ කම්කරුවන් බේදභින්න කරයි.
දශක ගනනාවක් තිස්සේ, මෝදිගේ හින්දු ස්වෝත්තමවාදයට එරෙහි ව සටන් කිරීමේ මුවාවෙන්, සීපීඅයි (එම්) ඇතුලු ස්ටැලින්වාදී පක්ෂ, භාරතීය ජනතා පක්ෂයට “ලෞකික” විකල්පයක් ලෙස පින්තාරු කරමින් කොංග්‍රස් පක්ෂයට මුක්කු ගසා ඇත. එසේ කිරීමෙන් ඔවුන්, සමාජ අසමානතාව, වාර්ගික බෙදීම් සහ වෙලඳපොලට පක්ෂපාතී “ප්‍රතිසංස්කරන” සඳහා වගකිව යුතු එක ම ධනේශ්වර සංස්ථාපිතයේ කන්ඩායමකට කම්කරු පන්තිය යටත් කරවා ඇත.
හින්දු ස්වෝත්තමවාදය සහ එයට උපත දෙන ධනේශ්වර ක්‍රමය යන දෙක ම පරාජය කල හැකි එක ම සමාජ බලවේගය වන කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම මේ ආකාරයෙන් අවහිර කිරීම මගින් ස්ටැලින්වාදීන් කම්කරුවන් දේශපාලනික ව නිරායුධ කර ඇත. භාරතීය ජනතා පක්ෂයට සහ හින්දු වාර්ගික බලවේගවලට ඔවුන්ගේ බලපෑම පුලුල් කිරීමට සහ බලය තහවුරු කර ගැනීමට හැකි ව ඇත්තේ මෙහෙයිනි. වාර්ගික ප්‍රතික්‍රියාව සහ ධනේශ්වර සූරා කෑම යන දෙක ම අවසන් කල හැකි වන්නේ, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයකට පමනකි.
අරගලය ඔබේ අතට ගන්න
මෝදි ආන්ඩුවේ රුදුරු ප්‍රහාරවලට එරෙහි කම්කරු විරෝධය, එක් දින වැඩ වර්ජනයකට/විරෝධතාවයකට සීමා නොවිය යුතු ය. කම්කරු පන්තිය වහා ම මූලිකත්වය ගෙන තම කෝපය, ස්වාධීන දේශපාලන ක්‍රියාමාර්ගයක් බවට පරිවර්තනය කල යුතු ය.
මේ සඳහා වෘත්තීය සමිති නිලධරයෙන් තීරනාත්මක බිඳීමක් අවශ්‍ය වේ. සෑම කර්මාන්ත ශාලාවක ම, කාර්යාලයක ම, රෝහලක ම, පාසලක ම සහ නිවහන් ප්‍රදේශයක ම, කම්කරුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කර ගන්නා ලද සහ සියලු ධනේශ්වර පක්ෂ සහ වෘත්තීය සමිති නිලධරයන්ගෙන් ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතු ය. මෙම කමිටු, කර්මාන්ත, රාජ්‍ය සහ වාර්ගික බෙදීම් පරයා සම්බන්ධ වෙමින් ස්ථිර හා කොන්ත්‍රාත් සේවකයින්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්, ග්‍රාමීය හා නාගරික කම්කරුවන් එක්සත් කල යුතු ය.
එවැනි කමිටුවලට අව්‍යාජ වැඩ වර්ජන ක්‍රියාමාර්ග සම්බන්ධීකරනය කිරීමට, පාවාදීම් වැලැක්වීමට සහ සංගතවල ලාභය නොව, කම්කරුවන්ගේ අවශ්‍යතා මත පදනම් ව ඉල්ලීම් සකස් කිරීමට හැකි ය. පුද්ගලීකරනයට එරෙහි ව සටන් කරන සනීපාරක්ෂක සේවකයින්, දොට්ට දැමීම්වලට එරෙහි කාර්මික සේවකයින් සහ කුසගින්න හා අසරනභාවයට මුහුන දෙන ගම්බද ජනයා ඒකාබද්ධ කිරීමට ඒවාට හැකි ය.
සියල්ලට මත් වඩා, අරගලය සමාජවාදී වැඩසටහනකින් මෙහෙයවිය යුතු ය. සටන මෝදිගේ ප්‍රතිපත්තිවලට එරෙහි ව පමනක් නොව, එම ප්‍රතිපත්ති සම්පාදනය කරන ධනේශ්වර ක්‍රමයට එරෙහි ව ය. කම්කරුවන් සැමට සුරක්ෂිත රැකියා, උද්ධමනයට අනුව ජීවන වැටුපක්, වැඩ වර්ජනය කිරීමේ අයිතිය, පුද්ගලීකරනය අවසන් කිරීම සහ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ සුභසාධනය වෙනුවෙන් මිලිටරිය සඳහා කෙරෙන වියදම් හරවා යැවීම ඉල්ලා සිටිය යුතු ය. ප්‍රධාන සංස්ථා සහ බැංකු, පොදු අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදීව කම්කරුවන්ගේ පාලනය යටතේ තැබිය යුතු ය.
ඉන්දියානු කම්කරු පන්තිය, දකුනු ආසියාව පුරා සහ ගෝලීය වශයෙන් ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනක දී දකුනු ආසියාව පුරා සහ ගෝලීය වශයෙන් කම්කරුවන් සමඟ අත්වැල් බැඳ ගත යුතු ය. ඉන්දියානු ශ්‍රමය සූරාකන එක ම ගෝලීය සංගත, සෑම තැනක ම කම්කරුවන් සූරාකයි. බාහිර ප්‍රතිවාදීන්ට එරෙහි ව යුද්ධයට සූදානම් වන එම ආන්ඩු ම, තම රටේ වැඩ කරන ජනතාවට එරෙහි ව යුද්ධ කරමින් සිටියි.
ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්, සමාජ සමානාත්මතාව සහ සැබෑ නිදහස සාක්ෂාත් කරගත හැකිවන්නේ, සමාජවාදී පරිවර්තනය සඳහා කම්කරු පන්තිය ස්වාධීන ව දේශපාලනික ව බලමුලු ගැන්වීමෙන් පමනක් බව අවබෝධ කර ගනිමින්, ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ වැඩසටහන මත පදනම් වූ විප්ලවවාදී නායකත්වයේ වර්ධනයට, ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සම්බන්ධ කල යුතු ය.
ට්‍රොට්ස්කිවාදී හතරවන ජාත්‍යන්තරයේ (හජාජාක) ජාත්‍යන්තර කමිටුවේ දේශීය ශාඛාව ලෙස ශ්‍රී ලංකාවේ සසප, ඉන්දියාවේ කම්කරු පන්තියේ එම තීරනාත්මක විප්ලවවාදී නායකත්වය ගොඩනැගීම සඳහා, එනම් ඉන්දියාවේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ගොඩනැගීම සඳහා සටන් කරයි. එම අරගලයේ දී හජාජාක/සසප හා එක්වන ලෙසත්, ඉන්දියාවේ සහ ගෝලීය වශයෙන් වර්ධනයන් පිලිබඳ මාක්ස්වාදී දේශපාලන විශ්ලේෂන දෛනික ව සම්පාදනය කරන ලෝක සමාජවාදී වෙබ් අඩවියට (wsws.org) පිවිසීමට සහ නිරන්තරව එය කියවන ලෙස අපි ඉන්දියාවේ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.
අපව සම්බන්ධ කරගන්න: wswscmb@sltnet.lk
WhatsApp: +94773562327
