ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීම: වෛද්‍ය නිලධාරීන්ගේ විරෝධතා සහ නිදහස් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ සටන

සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව පෙබරවාරි 20 වන දින රාත්‍රී 8 ට “වෛද්‍ය නිලධාරීන්ගේ  විරෝධතා සහ නිදහස් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ සටන” යන මාතෘකාව යටතේ  ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීමක් පවත්වයි. මෙම සබැඳිය හරහා රැස්වීම සඳහා ලියාපදිංචි වන්න.

ජනවාරි 23 වන දින සිට, ශ්‍රී ලංකා රජයේ වෛද්‍යවරුන් 20,000 ක් පමන ජනවාරි 23-24 දිනවල දින දෙකක සංකේත වැඩ වර්ජනයක් ඇතුලු ව විරෝධතා ක්‍රියාමාර්ග දියත් කර, ඔවුන්ගේ නීත්‍යානුකූල දීමනා වැඩි කරන ලෙස ඉල්ලා සිටිති. රජයේ ප්‍රතිචාරය වී ඇත්තේ විරෝධතා දක්වන වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම සහ තර්ජන එල්ල කිරීමයි. රැස්වීම පැවැත්වෙන්නේ ආන්ඩුවේ මෙම කඩාපැනීම් වලට එරෙහිවත් නිදහස් සෞඛ්‍ය සේවාව රැකගැනීමට අරගලය කිරීමේ ක්‍රියාමාර්ගයක් සාකච්ඡා කිරීමටයි. 

ජනාධිපති අනුර කුමාර දිසානායක පෙබරවාරි 6 වන දින ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ “වීදි විරෝධතා හෝ වැඩවර්ජන කුමක් වුවත් කිසිදු දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීමක් සිදු නොකරන” බවයි. ඔහු මෙම තර්ජනය විරෝධතා දක්වන වෛද්‍යවරුන් සහ සියලුම රාජ්‍ය සේවකයින් ට එල්ල කලේ, ආන්ඩුව රාජ්‍ය වියදම් සීමා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝගවලට පමනක් අනුගත වන බව අවධාරනය කරමිනි. ආන්ඩුව රටපුරා හදිසි නිතිය පනවා සෞඛ්‍යය ඇතුලු සේවා 15 ක් අත්‍යවශ්‍ය සේවා නියෝග වලට යටකර තර්ජනාංගුලිය එල්ල කරගෙන සිටි. 

දීමනා සහ සේවා කොන්දේසි පිලිබඳ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් සාධාරන ඒවා වන අතර, අනුප්‍රාප්තික ආන්ඩු විසින් සිදු කරනු ලබන සහ වත්මන් ජනතා විමුක්ති පෙරමුන නායකත්වය දෙන ජාතික ජන බලවේගයේ ආන්ඩුව විසින් තීව්‍ර කර ඇති නිදහස් මහජන සෞඛ්‍ය පද්ධතියට එල්ල කරන පුලුල් ප්‍රහාරයෙන් ඒවා වෙන් කල නොහැක.

සෞඛ්‍ය සේවා පෞද්ගලීකරනය කිරීම සඳහා තීරනාත්මක පියවරක් සනිටුහන් කරමින්, ජනවාරි 6 වන දින කැබිනට් මන්ඩලය පෞද්ගලික ආයතනවලින් අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂන ලබා ගැනීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව පද්ධතියක් නීතිගත කිරීමට තීරනය කලේ ය.

රාජ්‍ය සෞඛ්‍ය සේවා පද්ධතිය පවතින්නේ බිඳ වැටීමේ අද්දර ය. වෛද්‍යවරුන්, හෙදියන් සහ සහායක කාර්ය මන්ඩලයේ හිඟයෙන් රෝහල් අඩපන වී ඇත. අත්‍යවශ්‍ය උපකරන සහ ඖෂධ හිඟය පුලුල්ව පැතිරී ඇති අතර යටිතල පහසුකම් දිරාපත් වෙමින් පවතී.

සෞඛ්‍ය සේවකයින් සඳහා වඩා හොඳ ජීවන සහ සමාජ කොන්දේසි දිනා ගැනීමේ අරගලය, දුප්පතුන්ගේ ද සහාය ඇති ව කම්කරු පන්තියේ කටුක අරගල මගින්  දිනාගත් නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීම සමඟ වෙන් කල නොහැකි ලෙස බැඳී තිබේ.

මේ සඳහා අරගලයක් සංවිධානය කිරීමට ඇති ප්‍රධාන බාධකය බවට පත්ව ඇත්තේ වෘත්තීය සමිති නිලධරයන් ය. වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් සම්පූර්නයෙන් ම ප්‍රතික්ෂේප කර ඇති තතු තුල, ආන්ඩුවට බලපෑම් දමා සෞඛ්‍ය සේවකයින්ගේ ඉල්ලීම් ඉටු කරගත හැකි යයි, වත්මන් විරෝධතාව කැඳවා ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු වෘත්තීය සමිති නායකයින් විසින් පතුරුවා හරින මිත්‍යාවන් යලිත් කුඩුපට්ටම් වී ඇත.

අප ඉල්ලා සිටින්නේ, සියලු ම රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සේවකයන් තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා තම ඉල්ලීම් සඳහා මෙන් ම නිදහස් මහජන සෞඛ්‍ය සේවාව රැක ගැනීමේ අරගලය සියතට ගන්නා ලෙසයි. දරුනු සූරා කෑමකට ගොදුරු වී සිටින, පෞද්ගලික සෞඛ්‍ය ආයතනවල සේවකයින් ද එලෙස මුලිකත්වය ගත යුතු  යයි අපි ඉල්ලා සිටිමු. මෙම කමිටු නිදහස් මහජන සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීමේ අරගලය වර්ධනය කිරීමට අනෙකුත් කම්කරුවන් සහ දුප්පතුන් ගේ සහයෝගය ගොනු කරගැනීමට යොමු විය යුතු බව අපි කියා සිටිමු.

අපගේ රැස්වීම මෙම මුලිකත්වය ගැනීම් මෙන් ම ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග අපගේ අරගලය සම්බන්ධ කිරීමේ මූලෝපායික අවශ්‍යතාවය සහ මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමට සහ ප්‍රති නිර්මානය කිරීමට අවශ්‍ය පුලුල් සමාජවාදී ඉදිරිදර්ශනය ද සාකච්ඡා කරනු ඇත.

රැස්වීමට සම්බන්ධ වී මෙම වැදගත් සාකච්ඡාවට සහභාගී වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

දිනය සහ වේලාව: පෙබරවාරි 20 වන සිකුරාදා, රාත්‍රී 8 ට

පහත සබැඳිය හරහා රැස්වීම සඳහා ලියාපදිංචි වන්න.

https://us06web.zoom.us/meeting/register/xeoLJBSaQxaOn8kN5YNOBA#/registration