ඉන්දියාවේ මෝදි ආන්ඩුව ග්‍රාමීය රැකියා පොරොන්දු වැඩපිලිවල විනාශ කර දමමින් දුප්පතුන්ට එරෙහි යුද්ධය තීව්‍ර කරයි

[මෙය India’s Modi government intensifies war on the poor by gutting rural job guarantee programme යන මැයෙන් 2025 දෙසැම්බර් 26 පල කෙරුනු ලිපියේ පරිවර්තනය යි.]

එම්ජීඑන්ආර්ඊජීඒ රැකියා යෝජනා ක්‍රමයක සේවය කරන කම්කරුවන්  [Photo: All India MGNREGA Contractual Employees Federation]

කම්කරු පන්තියට සහ ග්‍රාමීය දුප්පතුන්ට එරෙහි ප්‍රහාර තීව්‍ර කරන ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය (බීජේපී) ප්‍රමුඛ ආන්ඩුව, සංස්ථාපිත පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි පසෙකලා, දෙසැම්බර් 18-19 දිනවල, 2025 වික්සිත් භාරත්–රොස්ගාර් ප්‍රතිඥාව සහ ආජීවිකා මෙහෙවර (ග්‍රාමීන්) හෙවත් වීබී-ජී-රාම් ජී පනත් කෙටුම්පත කඩිමුඩියේ ම පාර්ලිමේන්තුව හරහා සම්මත කර ගත්තේ ය.

මෙම නීති සම්පාදනය, ග්‍රාමීය විරැකියාවට සහනයක් ලෙස ඉදිරිපත් කරන ලද, එහෙත්, වඩ වඩාත් ගැඹුරු වන සමාජ පීඩාවන් හමුවේ දිගු කලක් තිස්සේ හුදෙක් පැලැස්තරයක් ලෙස ක්‍රියාත්මක වන, දශක දෙකක් පැරනි, මහත්මා ගාන්ධි ජාතික ග්‍රාමීය රැකියා ඇපකර පනත (එම්ජීඑන්ආර්ඊජීඒ) විස්ථාපනය කෙරෙයි.

2006 පෙබරවාරි මාසයේ දී කොංග්‍රස් පක්ෂය මූලිකත්වය දුන් එක්සත් ප්‍රගතිශීලී සන්ධාන ආන්ඩුව යටතේ අගමැති මන්මෝහන් සිංගේ නායකත්වයෙන් ආරම්භ කරන ලද එම්ජීඑන්ආර්ඊජීඒ, සෑම ග්‍රාමීය නිවසක ම එක් සාමාජිකයෙකුට—මාර්ග ඉදිකිරීම සහ වාරිමාර්ග වැනි ක්ෂේත්‍රවල—වසරකට දින 100 ක නුපුහුනු කම්කරු වැඩ ලබා දීමට පොරොන්දු විය.

මෙම පොරොන්දුව කිසිදා සම්පූර්නයෙන් ඉටු වූයේ නැත. එම්ජීඑන්ආර්ඊජීඒ මගින්, දරිද්‍රතාවයෙන් පෙලෙන මිලියන සිය ගනනක් ඉන්දියානුවන්ට අතිශයින් ම අවශ්‍ය කෙරෙන යම් ආදායමක් ලබා දී ඇති බව සැබෑ ය; එසේ වුව ද, මෙය කුසගින්න, මන්දපෝෂනය, නාස්තිය සහ අනෙකුත් සමාජීය ගැටලු අඩු කර ඇති මුත් ඒවා සහමුලින් තුරන් කර නැත.

එහි පිරිවැය (එය ඉන්දියාව, මිලිටරියට සඳහා වැය කරන මුදලට සාපේක්ෂ ව සොච්චමක් වුව ද) දිගු කලක් තිස්සේ සමච්චලයට ලක් කරන සහ එය වෙලඳපොලේ ක්‍රියාකාරිත්වයට බාධා කරමින්, ග්‍රාමීය වැටුප් “ඉහල නැංවීමට” බලපා ඇති බවට පැමිනිලි කල පාලක පන්තියේ වඩාත් ම කෑදර කොටස්වල දිගුකාලීන ඉල්ලීමක් ඉටු කරමින්, ග්‍රාමීය රැකියා “පොරොන්දුව” ඉවත දමමින් සිටී.

මෝදිගේ වීබී-ජී-රාම්-ජී  යටතේ, අයිතිවාසිකම් මත පදනම් වූ, ඉල්ලුම මගින් පොලඹවන ලද මෙම රැකියා “පොරොන්දුව”, ප්‍රවේශය සීමා කරන, අරමුදල් සීමා කරන සහ පලාත් හෝ මධ්‍යම ආන්ඩු මට්ටමින් තීරන ගැනීම මධ්‍යගත කරන, දැඩි පාලනයකට යටත් නිලධාරිවාදී යෝජනා ක්‍රමයක් ලෙස නැවත සකස් කර තිබේ.

ආරම්භයේ දී පුරෝකථනය කර තිබුනේ, වැඩසටහන සම්පූර්නයෙන් ම ක්‍රියාත්මක වන විට, එයට වාර්ෂික ව ඉන්දියානු රුපියල් බිලියන 400 ක් පමන (එනම්, එකල අගය අනුව ඇමරිකානු ඩොලර් බිලියන 9 ක් පමන) වැය වනු ඇති බවයි; එම අරමුදල්වලින් කොටසක්, දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින, දිලිඳුකම පිටුදැකීමේ යෝජනා ක්‍රමවලින් හරවා යවන ඒවා ය. දශක දෙකකට පසු ව ද, මෙම වියදම් සැබැවින් ම වෙනස් වී නැති තරම් ය. නිදසුනක් වශයෙන්, 2024-25 දී එම්ජීඑන්ආර්ඊජීඒ සඳහා අයවැය වෙන් කිරීම රුපියල් බිලියන 860 ක් (ආසන්න වශයෙන් ඩොලර් බිලියන 10 ක්) පමන වූ අතර උද්ධමනය, ජනගහන වර්ධනය සහ ග්‍රාමීය පීඩාවන් ඉහල යද්දීත් වත්මන් මූල්‍ය වර්ෂය සඳහා ද අරමුදල් පැවැතුනේ එම මට්ටමේ ම ය.

හින්දු පුවත්පතට අනුව නවතම ඇස්තමේන්තු පෙන්නුම් කරන්නේ, කෝටි 12.6 කට වැඩි පිරිසක් හෙවත් මිලියන 126 කට වැඩි සක්‍රීය කම්කරුවන් සංඛ්‍යාවක් එම්ජීඑන්ආර්ඊජීඒ මත විශ්වාසය තබා ඇති බව යි; එයින් අදහස් කෙරෙන්නේ, වාර්ෂික ව මිලියන සිය ගනනක් දුප්පත් ගම්බද ජනතාවට ආධාර කිරීමට එය උපකාරී වන බවයි.

එම්ජීඑන්ආර්ඊජීඒ ශ්‍රම බලකායෙන් අඩකට වඩා පිරිසක් කාන්තාවන් වන අතර, පසුගිය වසර පහ තුල ඔවුන්ගේ සහභාගීත්වය සාමාන්‍යයෙන් සියයට 58 ක් පමන වේ;  ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල කාන්තා රැකියා තිරසාර කිරීම සඳහා මෙම යෝජනා ක්‍රමයේ කේන්ද්‍රීය කාර්යභාරය එයින් ඉස්මතු කෙරෙයි.

වැඩසටහන ආරම්භයේ සිට ම, දූෂනය සහ අනුග්‍රහය මත ප්‍රාදේශීය පක්ෂ ප්‍රධානීන්ට අරමුදල් පැහැර ගැනීමට හැකි වනු ඇති බවට අනතුරු ඇඟවීම් මතු කෙරිනි; මෙය මීට පෙර පැවති, මේ හා සමාන සමාන රාජ්‍ය යෝජනා ක්‍රමවල ද දක්නට ලැබුනු රටාවකි. වැඩසටහන කීතුකර දැමීම සාධාරනීකරනය කිරීම සඳහා මෝදි ආන්ඩුව ප්‍රයෝජනයට ගෙන ඇත්තේ මෙම ආඛ්‍යානය යි. පාර්ලිමේන්තු ලෝක් සභාවේ විවාදයට ප්‍රතිචාර දක්වමින්, රාජ්‍ය ආන්ඩු අරමුදල් අනිසි ලෙස භාවිතා කරන බවට චෝදනා කරන ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ශිව්රාජ් සිං චෞහාන්, එම්ජීඑන්ආර්ඊජීඒ “ගැටලු” වලින් පිරී ඇති බවත්, “දූෂනය ඔඩුදුවා ඇති” බවත් කියා සිටියේ ය. ද්‍රව්‍යමය පිරිවැය, නියම කර ඇති මට්ටමට වඩා බෙහෙවින් අඩු බැවින්, වියදම් සම්මතයන් උල්ලංඝනය වී ඇති බවට ඔහු චෝදනා කලේ ය.

මෙම දූෂන චෝදනාවලට නිසැක ව ම යම් වලංගු භාවයක් පැවතිය ද, ඉන්දියාව්  වැරහැලි බවට පත් ව තිබෙන සමාජ සුභසාධන යෝජනා ක්‍රම පෞද්ගලීකරනය කර, ඒවා වෙලඳපොල මත  යැපීමට බලකර තිබෙන භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව විසින් ආරම්භ කරන ලද ඕනෑ ම ප්‍රධාන යෝජනා ක්‍රමයකට එරෙහි ව ද මේ හා සමාන ම චෝදනා එල්ල කල හැකි ය.

මෝදි ආන්ඩුව විසින් එම්ජීඑන්ආර්ඊජීඒ අහෝසි කිරීමට එරෙහි ව, කොංග්‍රස් පක්ෂය, දෙසැම්බර් 21දා, රට පුරා දිස්ත්‍රික් මූලස්ථානවල සංකේත විරෝධතා පැවැත්වීය. දෙසැම්බර් 20දා පලකල වීඩියෝ ප්‍රකාශයකින්, කොංග්‍රස් පාර්ලිමේන්තු පක්ෂ සභාපතිනි සෝනියා ගාන්ධි, මෙම නීති සම්පාදනය, මිලියන සංඛ්‍යාත ගොවීන්, කම්කරුවන් සහ ඉඩම් නොමැති දුප්පතුන්ගේ අවශ්‍යතාවලට එල්ල කරන “ප්‍රහාරයක්” ලෙස හැඳින්වූ අතර, “අයුක්තිසහගත නීතියට” එරෙහි ව සටන් කිරීමට පොරොන්දු විය. මහත්මා ගාන්ධිගේ නම යෝජනා ක්‍රමයෙන් ඉවත් කිරීම විවේචනය කල ඇය, වසර ගනනාවක් තිස්සේ මෝදි ආන්ඩුව අරමුදල් හිඳෙන්නට සලස්වා, පසුව එය “අත්තනෝමතික ලෙස” වෙනස් කර ඇති බව පැවසුවා ය.

කොංග්‍රස් පක්ෂයේ විරෝධතා මුලුමනින්ම කුහක සහ ආත්මාර්ථකාමී ය. දශක දෙකකට පෙර මෙම යෝජනා ක්‍රම හඳුන්වා දීමේ දී එහි ප්‍රධාන අභිප්‍රාය වූයේ, තමන්ගේම කොල්ලකාරී වෙලඳපොල ගැති ආර්ථික ප්‍රතිපත්ති මගින් අවුලුවන ලද සමාජ නොසන්සුන්තාව අවම කිරීමයි. ඒ හා සමාන ව, අද එය බෙහෙවින් ම බියට පත් ව ඇත්තේ, එම්ජීඑන්ආර්ඊජීඒ අහෝසි කිරීම මහජන සමාජ විරෝධය කුපිත කරනු ඇත යන්න ගැන ය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ 2025 බහුමාන දරිද්‍රතා දර්ශකය (එම්පීඅයි) ට අනුව, ඉන්දියාවේ ජනගහනයෙන් සියයට 16.4 ක් පමන (එනම්, මිලියන 235 ක් පමන) 2023 දී බහුමානික ව දුප්පත් විය. මෙයින් අදහස් කෙරෙන්නේ, ඔවුන් සෞඛ්‍ය, අධ්‍යාපනය සහ මූලික ජීවන තත්වයන් වැනි අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල එකපිට එක හිඟයන්ගෙන් පීඩා විඳින බවයි— මෙය, ආන්තික මූල්‍ය දරිද්‍රතාව ලෙස බොහෝ විට හුවා දක්වන සියයට 2-5 ක අගයට වඩා බෙහෙවින් වැඩි ය. ඊට අමතර ව, ජනගහනයෙන් තවත් සියයට 18 ක් (මිලියන 269 ක ජනතාවක්) බහුමාන දරිද්‍රතාවයට ගොදුරු විය හැකි බවට වර්ගීකරනය කර ඇත; ඔවුහු මෙම සීමාවට මඳක් ඉහලින් ජීවත් වන අතර ආර්ථික කම්පන හෝ සමාජ පිහිටාධාර කප්පාදු කිරීම හේතුවෙන් අගාධයට ඇද වැටීමේ නිරන්තර අවදානමක සිටිති. ග්‍රාමීය රැකියා “පොරොන්දුව”, එය සපයන සහයෝගය තරම් ම සීමිත බැවින්, එය කපා හැරීම මිලියන සිය ගනනක් ගම්බද දිලිඳු ජනයාට අත්‍යවශ්‍ය ආර්ථික ජීවන මාර්ගයක් අහිමි කරමින්, කුසගින්න සහ සමාජ පීඩාව තියුනු ලෙස උග්‍ර කරනු ඇත.

2014 දී බලයට පත් වූ තැන් පටන් ම, මෝදි සහ ඔහුගේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂය එම්ජීඑන්ආර්ඊජීඒ සමච්චලයට ලක් කර ඇත. 2015 දී පාර්ලිමේන්තුවේ දී කතා කරමින්, අනාගත හින්දු බලවතා (මෝදි) මෙම යෝජනා ක්‍රමය කොංග්‍රස් ආන්ඩුවේ “අසාර්ථකත්වයේ’ සංකේතයක් ලෙස විස්තර කලේ ය. පසු ව ඔහුගේ ආන්ඩුව, ප්‍රධාන වශයෙන්, තියුනු අරමුදල් කප්පාදුව හරහා වැඩසටහන විසුරුවා හැරීමට පියවර ගත්තේ ය. 2024 ජනවාරි 18 වන දින, අවුට්ලුක් වාර්තා කලේ, එම්ජීඑන්ආර්ඊජීඒ අරමුදල් කප්පාදු කිරීම ග්‍රාමීය රැකියා බරපතල ලෙස අඩපන කරන බවට, පාර්ලිමේන්තු කමිටුවක්, ඉන්දියාවේ ද්වි-මන්ඩල පාර්ලිමේන්තුවේ පහල මන්ත්‍රී මන්ඩලය වන ලෝක් සභාවට පැවසූ බවයි. එම කමිටුව, අරමුදල් අඩු කිරීම, නොගෙවූ වැටුප් සහ ද්‍රව්‍යමය නය තුරුස් සාධාරනීකරනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව විවේචනය කලේ ය.  වැඩසටහන සඳහා ඉහල යන ඉල්ලුම මධ්‍යයේ වුව ද, 2022-23 මූල්‍ය වර්ෂය සඳහා ආන්ඩුවේ සංශෝධිත ඇස්තමේන්තුවල රුපියල් කෝටි 29,400 (ඩොලර් බිලියන 3.2-3.3) ක කප්පාදුවක් ගැන එය සඳහන් කලේ ය.

මෙම යෝජනා ක්‍රමය දියත් කරන ලද්දේ, 1997 සිට වසර දහයක කාලයක් තිස්සේ, පහත වැටෙන ජීවන තත්වයන්, ඉහල යන නය බර සහ 25,000 කට අධික ගොවීන් පිරිසක් සියදිවි නසාගැනීම මගින් සලකුනු වූ උග්‍ර ග්‍රාමීය අර්බුදයක් මධ්‍යයේ ය. මෙම කොන්දේසි, 1990 දශකයේ මුල් භාගයේ සිට කොංග්‍රස් පක්ෂය සහ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ආන්ඩු දෙක ම විසින් අනුගමනය කරන ලද කොල්ලකාරී වෙලඳපොල-හිතකාමී ප්‍රතිපත්ති සමඟ බැඳී පැවතුනි. ඉන්දියාවේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය, පාර්ලිමේන්තුව තුල යූපීඒ ආන්ඩුවට මුක්කු ගසමින්, ඉන්දියාවේ වේගයෙන් වර්ධනය වන නාගරික මධ්‍යස්ථානවල ග්‍රාමීය දුක්ඛිතභාවය, ආර්ථික අනාරක්ෂිතභාවය සහ දුප්පත්කම ගැඹුරු කල නව ලිබරල් “ප්‍රතිසංස්කරන” අඛන්ඩ ව පවත්වාගෙන යමින් තිබීමේ කාරනය  වසන් කිරීමට සේවය කරන තත්වයන් යටතේ, මෙම වැඩසටහන දේශපාලන පලිහක් ලෙස ක්‍රියාත්මක විය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2025 පෙබරවාරි 13 වන බ්‍රහස්පතින්දා වොෂින්ටනයේ ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමු වෙයි [AP Photo/Alex Brandon]

මෝදි ආන්ඩුව තම වීබී-ජී-රාම්-ජී පනත “ප්‍රතිසංස්කරනයක්” වසයෙන් ඉදිරිපත් කිරීමට උත්සාහ කරමින් සිටින්නේ, ආන්ඩුව මෙම වැඩසටහන යටතේ වසරකට වැඩ දින 100 සිට 125 දක්වා සහතික කරන බව පවසමිනි. මෙය සම්පූර්න ප්‍රෝඩාවකි.

පලමු ව, වත්මන් වැඩසටහන භාවිතා කරන ඉන්දියානුවන්ගෙන් අතිමහත් බහුතරයකට වසරක් සඳහා දින සියයකට ආසන්න වැඩ ප්‍රමානයක් ලබා ගැනීමට හැකි වී නොමැත. පසුගිය වසර දෙක තුල, සහතික කර ඇති දින ගනන සම්පූර්නයෙන් ම  ප්‍රයෝජන ගැනීමට හැකි ව ඇත්තේ, කුටුම්භවලින් සියයට 7 කට පමනි.

දෙවනු ව, මෙම යෝජනා ක්‍රමය ඇතැම් දිස්ත්‍රික්කවලට සීමා කිරීමට ආන්ඩුව තමාට බලතල පවරා ගනී. එම්ජීඑන්ආර්ඊජීඒ ඉන්දියාවේ සෑම ග්‍රාමීය දිස්ත්‍රික්කයකට ම අදාල වන අතර, කුටුම්භවලට ඒවායේ පලාත් පාලන ආයතනවලින් වැඩ ඉල්ලා සිටීමට අයිතියක් තිබේ; නමුත් දැන්, සමස්ත ප්‍රදේශ පිටින් මෙම සහතික කිරීමෙන් පරිබාහිර ව පවත්වා ගැනීමට සැබැවින් ම ඉඩ සලසමින්, සුදුසු ප්‍රදේශ කවරේද යන්න “නම් කිරීමේ” අභිමත බලය මධ්‍යම ආන්ඩුවට ලැබී තිබේ.

තෙවනු ව,  වීබී-ජී-රාම්-ජී යටතේ  කෘෂි කර්මාන්තයේ උච්චතම කාල සමයේ දින 60ක් පුරා මෙම වැඩ ලබා දීමේ සහතිකය අත්හිටවනු ලැබේ. වෙනත් විදියකින් කිවහොත්,  වැපිරීම, බද්ධ කිරීම සහ අස්වැන්න නෙලීම සඳහා ඉහලම ශ්‍රම යෙදවුම් අවශ්‍ය වන මාස දෙක තුල “රැකියා සහතික කිරීමේ” වැඩසටහනට අනුව වැඩ කිරීම තහනම් කෙරේ.

ආන්ඩුව මෙය සාධාරනීකරනය කරන්නේ, මෙය වසර පුරා රැකියා ස්ථාවර කිරීමට උපකාරී වනු ඇති බව පවසමිනි. ගොවිතැන් කටයුතුවල කන්නයේ උච්චතම අවස්ථාවේ දී සහතිකය අත්හිටුවීමේ සැබෑ අරමුන සහ බලපෑම වනුයේ කෘෂිකාර්මික කම්කරුවන්ගේ වැටුප් පහත හෙලීමයි.

කෘෂිකාර්මික කටයුතුවල උච්චතම සමයේ දී රාජ්‍ය රැකියා අත්හිටුවීමෙන්, රාජ්‍යය තීරනාත්මක විකල්ප සේවා යෝජකයෙකු ඉවත් කරමින්, සේවකයින්ගේ කේවල් කිරීමේ හැකියාව දුර්වල කරයි. එම රීතිය, සැබැවින් ම වැටුප්-විනයගත කිරීමේ යාන්ත්‍රනයක් බවට පත් කරමින්, ඉල්ලුම ඉහල යන විට, මෙය කම්කරුවන් නැවතත් පුද්ගලික වෙලඳපොලට තල්ලු කරයි, සැපයුම පුලුල් කරයි, වැටුප් වර්ධනය සීමා කරයි, සේවායෝජක ආධිපත්‍යය වැඩි දියුනු කරයි. මෙය නව යෝජනා ක්‍රමයේ කේන්ද්‍රීය අරමුනක් බවත්, නව නීතිය මඟින් ලාභ ශ්‍රමයේ ස්ථාවර සැපයුම පිලිබඳ ගැටලුව විසඳනු ඇති බවත් අවධාරනය කරමින්, ග්‍රාම සංවර්ධන අමාත්‍ය චෞහාන්, කෘෂිකාර්මික කටයුතුවල උච්චතම කාලවල දී “(දැන්) කම්කරුවන් ලබා ගත හැකි” බව කියා සිටියේ ය.

ආරම්භයේ දී, එම්ජීඑන්ආර්ඊජීඒ මුලින් ම හුවා දක්වන ලද්දේ, රැකියා ඉල්ලීම් සපුරාලීම සඳහා අරමුදල් පුලුල් කරන සහ රැකියා දිනවල ස්ථාවර සීමාවක් නොමැති, ඉල්ලුම මත පදනම් වූ වැඩසටහනක් ලෙස ය. බීජේපීය මෙම “ප්‍රතිසංස්කරනය” හඳුන්වා දෙන්නේ, වියදම් සහ වැඩ කරන දින යන දෙක ම සීමා කරන, ස්ථාවර, රාජ්‍ය මට්ටමේ අයවැය ප්‍රතිපාදනයක් ලෙස ය. මධ්‍යම ආන්ඩුවෙන් සහ ප්‍රාදේශීය ආන්ඩු විසින් මේ අරමුදල සඳහා ලබා දෙන දායකත්වයේ   අනුපාතය ද 90:10 සිට 60:40 (එනම් මධ්‍යම ආන්ඩුවෙන් සියයට 60ක් ලෙස සහ ප්‍රාදේශීය  ආන්ඩුවෙන් සියයට 40 දක්වා) වෙනස් වී ඇති අතර, එය ප්‍රාදේශීය ආන්ඩු මත මූල්‍ය පීඩනය වැඩි කරයි. අරමුදල් අවසන් වූ පසු, නීතිමය හිමිකම මධ්‍යගත ව පාලනය වන, සලාකනය කරන ලද සුභසාධන යෝජනා ක්‍රමයක් බවට තීරනාත්මක ව පරිවර්තනය කරමින්, අවශ්‍යතාවය නොතකා, වැඩ ලබා දීම ප්‍රතික්ෂේප කල හැක.

දූෂනයට එරෙහි ව සටන් කිරීමේ නාමයෙන්, බීජේපී ආන්ඩුව වැඩසටහනේ පාලනය සියතට ගෙන සිටින අතර, එමඟින් එයට ලැබිය යුතු රාජ්‍ය අනුග්‍රහය අඩු කිරීමටත්, එය තමන්ගේ ම අනුග්‍රාහක ජාලයන්ට වඩා හොඳින් සම්බන්ධ කිරීමටත් ඉඩ සැලසේ. ජල සම්පාදන වැව්, පාංශු සංරක්ෂනය හෝ ග්‍රාමීය මාර්ග වැනි ප්‍රාදේශීය වශයෙන් තීරනය වන අවශ්‍යතා සපුරාලීම වෙනුවට, එය මහා ව්‍යාපාරවලට අවශ්‍ය යටිතල පහසුකම් අවශ්‍යතා සඳහා ‍වඩා හොඳින් සේවාවේ යෙදවීමට ආන්ඩුවට හැකිවනු ඇත.

හින්දු පුවත්පතේ ලිපියකට අනුව, මෙම වර්ධනයන්, “සුලු කැපුම් පහරවල් දහසකින් මරනය” නැමැති පුලුල් උපාය මාර්ගයක කොටසක් වේ: එනම්, “එම්ජීඑන්ආර්ඊජීඒ සම්පූර්නයෙන් ම අහෝසි කරනවා වෙනුවට, ආන්ඩුව සමස්තයක් ලෙස—ආවරනය සීමා කිරීම, අයවැය සීමා කිරීම, ගෙවීම් ප්‍රමාද කිරීම, මූල්‍ය බර දැරීමෙන් ඉවත්වීම, අවශ්‍ය ම කාලවල දී වැඩ අත්හිටුවීම සහ මධ්‍යගත සැලසුම්කරනය හරහා—එහි කාර්යක්ෂමතාව අඩු කරන ආකාරයේ ක්‍රමානුකූල වෙනස්කම් සිදු කරමින් සිටී. කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම්වලට සිදු කරමින් පවතින ඛාදනය, සංකේතාත්මක රූපයකින් පවතින වැඩසටහනේ නෛතික පැවැත්ම මගින් වසන් කරයි.”

ග්‍රාමීය රැකියා සහතික කිරීමේ වැඩසටහන කපා හැරීම, කම්කරු සූරා කෑම නාටකාකාර ලෙස තීව්‍ර කිරීමටත්, රාජ්‍ය සම්පත්වලින් තවත් විශාල කොටසක් මහා ව්‍යාපාර සඳහා බදු කප්පාදුවලට හරවා යැවීමටත්, ඉන්දියාවේ මිලිටරිය දැවැන්ත ලෙස ගොඩනැගීමටත් යොමු කිරීමට මෝදි ආන්ඩුව ගන්නා වේගවත් කිරීමේ තල්ලුවේ කොටසකි. මෑත සතිවල දී, විශාල සේවා යෝජකයින්ට සමූහ දොට්ට දැමීම් සහ කම්හල් වැසීමට පහසු වන ආකාරයට, ඉන්දියානු කම්කරු නීති සංග්‍රහයේ පුලුල් වෙනස්කම් ක්‍රියාත්මක කර ඇත; එය ආන්ඩුවේ අස්ථිර කොන්ත්‍රාත්-කම්කරු රැකියා ප්‍රවර්ධනය කිරීම සහ වැඩ වර්ජන සීමා කිරීම පහසු කර තිබේ. ඒ සමඟම, එය විශේෂයෙන් මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින්, වැඩිවන සමාජ කෝපය අපසරනය කිරීමට, කම්කරු පන්තිය බෙදීමට සහ ආර්එස්එස් නායකත්වයෙන් යුත් සංග් පරිවාර් (ජාලය) තුල එහි අන්ත දක්ෂිනාංශික ආධාරකරුවන් ධෛර්යමත් කිරීමට ජාතිවාදය අවුස්සමින් සිටී. (හින්දුත්ව දෘෂ්ටිවාදයට අනුව ඉන්දියාවේ දේශපාලනය, සංස්කෘතිය සහ සමාජය හැඩගැස්වීමට උත්සාහ කරන සංවිධානවල පුලුල්, අන්තර් සම්බන්ධිත පරිසර පද්ධතියක් වන එහි දෘෂ්ටිවාදාත්මක කොඳු නාරටිය ලෙස ක්‍රියාත්මක වන්නේ ආර්එස්එස් ය - පරිවර්තක)

මෙම පන්ති-යුද ප්‍රහාරයට එරෙහි ව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට කැමති හෝ සමත් කිසිදු කන්ඩායමක් දේශපාලන සංස්ථාපිතය තුල නොමැත. දෙසැම්බර් 17 වන දින, ස්ටැලින්වාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ (මාක්ස්වාදී) ප්‍රකාශනය වන පීපල්ස් ඩිමොක්‍රසි, සීපීඅයි, සීපීඅයි (එම්එල්) ලිබරේෂන්, විප්ලවවාදී සමාජවාදී පක්ෂය සහ සමස්ත ඉන්දීය ප්‍රගතිශීලී කන්ඩායම ඇතුලු අනෙකුත් ස්ටැලින්වාදී සහ මාඕවාදී පක්ෂ සමඟ ඒකාබද්ධ ප්‍රකාශයක් ප්‍රකාශයට පත් කරමින්, දෙසැම්බර් 22 වන දින එම්ජීඑන්ආර්ඊජීඒ හි වෙනස්කිරීම් වලට එරෙහිව “සමස්ත ඉන්දීය විරෝධතා දිනයක්” ඉල්ලා සිටියේය. “වාම” පීඩනය හේතුවෙන් 2006 දී යූපීඒ (එක්සත් ප්‍රගතිශීලී සන්ධාන) ආන්ඩුව විසින් මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන ලද බව කියා සිටින මෙම ප්‍රකාශය, විකාර සහගත ලෙස විශ්වව්‍යාපී කිරීම (making it universal) මගින් එය “ශක්තිමත්” කරන ලෙස භාරතීය ජනතා පක්ෂයෙන් ඉල්ලා සිටියේ ය. මහා ව්‍යාපාරික කොංග්‍රස් පක්ෂයේ පක්ෂපාතී සගයන් වන මෙම පක්ෂ, කම්කරු පන්තිය හෝ ගම්බද දුගීන් බලමුලු ගැන්වීමට අසමත් විය. වෙලඳපොල ගැති “ප්‍රතිසංස්කරන” සහ චීන විරෝධී ඉන්දු-ඇමරිකානු “ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වය” සඳහා විකල්ප දක්ෂිනාංශික ධනේශ්වර තන්ත්‍රයක් පොරොන්දු වූ දෙසැම්බර් 22දා ක්‍රියාමාර්ග, 2029 සඳහා නියමිත ඊලඟ මහ මැතිවරනයේ දී මෝදි ආන්ඩුව  විස්ථාපනය කිරීමේ ප්‍රතිගාමී ඉදිරිදර්ශනය මත පදනම් වූ විසිරුනු ප්‍රාදේශීය විරෝධතාවලට සීමා විය.

Loading