පොලිස් වෙඩි තැබීමකින් යාපනයේ දෙමල තරුනයෙක් ඝාතනය කෙරෙයි

අඟහරුවාදා අලුයම යාපනයේ කයිට්ස් පොලිස් කොට්ඨාසයට අයත් අල්ලයිප්පිඩ්ඩි වීදියේ දී පොලිසිය විසින් 17 හැවිරිදි ආයුබ්‍රාජ් අරුල් පයාස් නොහොත් අරුල් පයාස් වෙඩි තබා ඝාතනය කෙරිනි. පවුලේ සාමාජිකයින්ට අනුව, අරුල් පයාස් නෑදෑ තරුනයන් දෙදෙනෙකු සමග ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයකින් යමින් සිටියදී අලුයම 1:18 ට පමන මෙම වෙඩි තැබීම සිදුවී ඇත. 

මිය ගිය තරුනයාගේ දේහය

පොලිසිය කියා සිටියේ යාපනය-කයිට්ස් මාර්ගයේ අල්ලයිප්පිඩ්ඩි හන්දියේ පිහිටි මුරපොලක දී දුන් නියෝගවලට අනුව වාහනය නතර නොකල බවත්, මන්ඩයිතීව් හි ස්ථානගත කර තිබූ පොලිස් මුර සංචාරක රියකට අනතුරු ඇඟවීමෙන් පසු එය වෑන් රථය ලුහුබැඳ ගොස් අහසට වෙඩි තැබුවත් පලක් නොවූ නිසා පොලිස් නිලධාරීන් වාහනයට කෙලින්ම වෙඩි තැබූ බවයි.  

පොලිසියේ කතාව සැබෑ සාක්ෂි සහ පශ්චාත් මරන පරීක්ෂනයේ සොයාගැනීම් වලට ඉඳුරාම පටහැනි ය. වෑන් රථය මාර්ගය අයිනේ නිසි ලෙස නවතා තිබූ බව සොයා ගත් අතර, එයින් ඇඟවෙන්නේ එය නැවැත්වූ පසු වින්දිතයාට වෙඩි තබා ඇති බවයි. පොලිසිය තව දුරටත් කියා සිටියේ ඔවුන් රථයට පිටුපසින් වෙඩි තැබූ බවයි. කෙසේ වෙතත්, උන්ඩයේ ගමන් පථයෙන් පෙන්නුම් කරන්නේ රියදුරු සෘජුවම ඉලක්ක කර ගනිමින් වෑන් රථයේ ඉදිරිපසින් වෙඩි තබා ඇති බවය.

අධිකරන වෛද්‍ය නිලධාරී වෛද්‍ය එම්.මයුරනාදන් ඉදිරියේ යාපනය ශික්ෂන රෝහලේ සිදු කරන ලද පශ්චාත් මරන පරීක්ෂනයකින් තහවුරු වූයේ උන්ඩයක් අරුල් පයාස්ගේ නලලට ඇතුලු වී, ඔහුගේ හිස් කබල හරහා ගොස් මොලය  පසාරු කර, මාරාන්තික තුවාල සිදු කල බවයි.

පොලිසිය වින්දිතයා අපරාධකරුවෙකු ලෙස හංවඩු ගැසීමට ද උත්සාහ කරමින් සිටී. වාහනය ගව ජාවාරම සඳහා භාවිතා කිරීමට පසුපස ආසන ඉවත් කර ඇති බව පවසන පොලිසිය, විෂ විද්‍යා වාර්තාවලට අනුඅව තරුනයා “අයිස්” සහ හෙරොයින් භවිතා කර ඇතිබව සඳහන් කර තිබේ. මලකඩ කෑ කඩුවක්, පිහියක්, නව ලනු රෝලයක්, ගංජා සහ ගොම වාහනය තුල තිබී සොයා ගත් බව වාර්තා වේ. බොහෝ අය මෙම ප්‍රකාශයන් පිලිබඳව බරපතල සැක මතු කර ඇති අතර, ගොම වාහනයේ තිබු බවට කරන ප්‍රකාශ ගෙතූ කතා බව ද පෙන්වා දෙති.  

ශ්‍රී ලංකාවේ පොලිසිය අපරාධ හෝ වෙනත් ක්‍රියාවන් සාධාරනීකරනය කිරීම සඳහා බොරු කතන්දර ගෙතීම පිලිබඳ ව කුප්‍රකට ය. විශේෂයෙන් යුද්ධයෙන් විනාශ වූ ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පලාත් දැඩි හමුදා වාඩිලෑම යටතේ පවතින අතර, දැඩි ලෙස පොලිස් බලයක් ද ස්ථාන ගත කර ඇත. මහජනයා බිය ගැන්වීම සඳහා පොලිසිය නිතර මාර්ග බාධක දමා සෝදිසි මෙහෙයුම් කරයි.

අඟහරුවාදා කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරනය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුනයන් දෙදෙනා පෙබරවාරි 24 වන දින දක්වා රිමාන්ඩ් කරන ලදහ. කෙසේ වෙතත්, බ්‍රහස්පතින්දා මහේස්ත්‍රාත්වරයා ඔවුන් ඇප මත නිදහස් කරන ලෙස නියෝග කලේ ය. 

අරුල් පයාස් නැගෙනහිර වඩ්ඩුකොඩ්ඩෙයි හි චිත්තන්ක’නි හි ජීවත් වන දුප්පත් පවුලක අයෙකි. ඔහු මුලු පවුල ම නඩත්තු කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිටියේ ය.

අරුල් පයාස්

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවෝ කරුනු විමසීමට තරුනයාගේ නිවසට ගියහ. ඔහුගේ දේහයේ හිස වෙලුම් පටි වලින් බැඳ තබා තිබුනි. ඊයේ (පෙබරවාරි 12) අරුල් පයාස්ගේ අවමංගල්‍යය පැවැත්විනි. 

මහජන විරෝධතාවයන් පැන නැගෙනු ඇතැයි බියෙන්, පොලිසිය කිසිදු විරෝධතා උත්සවයක් පැවැත්වීම තහනම් කරමින් යාපනය මහේස්ත්‍රාත් අධිකරනයෙන් නියෝගයක් ලබා ගත්තේ ය. බිය ගැන්වීම් හේතුවෙන් අවමංගල්‍ය පෙරහැරට සහභාගී වූයේ 20 දෙනෙකු පමන සංඛ්‍යාවක් පමනි. වින්දිතයාට යුක්තිය ඉටු කරන ලෙස සහ වෙඩි තැබීමට වගකිව යුතු පොලිස් නිලධාරීන් අත්තඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ඔවුහු සටන් පාඨ හඬ නැගූහ.

ඔහුගේ පවුල දෙමාපියන් ඇතුලු සාමාජිකයින් අට දෙනෙකුගෙන් සමන්විත වේ. ඊට අමතර ව, ඔහුගේ මිත්තනිය සහ අවිවාහක නැන්දා අරුල් පයාස්ගේ ආදායම මත කෙලින්ම යැපෙති. ඔහුගේ බාල සහෝදරයා මාස හයක ලදරුවෙකි. පියා රැකියා විරහිතයෙකි. මුලු පවුල දරිද්‍රතාවයෙන් මිරිකී ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස, අරුල් පයාස්ට අධ්‍යාපනය සම්පූර්න කිරීමට පෙර පාසලෙන් ඉවත් වීමට සිදු විය. පවුලේ දිවි ගැටගැසීමට ඔහු විවිධ රැකියාවල යෙදුනි. ආහාර ද්‍රව්‍ය පිලියෙල කර ගෙයින් ගෙට විකිනීම, දෛනික වැටුපකට පෙදරේරු වැඩ ඇතුලු විවිධ රැකියාවල යෙදිමෙන් ඔහු තම පවුලට සහයෝගය දැක්වීය.

ඝාතනයට ලක් වූ තරුනයාගේ නැන්දනියක් වන එස්. ජයලක්ෂ්මි මෙසේ පැහැදිලි කලා ය: “එදා ඔහු කයිට්ස් වෙත යමින් සිටියේ කිලිනොච්චියේ කුඹුරක අස්වැන්න නෙලීමට පුද්ගලයින් කිහිප දෙනෙකු රැගෙන යාමටයි. දැන් ඔවුන් [පොලිසිය] ඔහුට එරෙහි ව විවිධ අපරාධ කතා ගොතමින් ඉන්නවා.” 

ඔහුගේ මව වන 37 හැවිරිදි අයුබ්‍රාජ් ජානකී මෙසේ පැවසුවාය: “පොලිසිය මගේ පුතාට වෙඩි තබා මරා දමල මගේ පවුල අසරන කර තිබෙනවා. මගේ පුතා ක්‍රියා කලේ මේ පවුලේ පියා වගේ. ඔහුගේ සහෝදර සහෝදරියන් ඉගෙන ගත්තේ මගේ පුතාගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම මතයි. දැන් ඔක්කොම ඉවරයි.”

මව අයුබ්‍රාජ් ජානකී

පොලිසියට චෝදනා කරමින් ඇය මෙසේ පැවසුවාය: “මගේ පුතා යම් වැරැද්දක් කලා නම්,  ඔහු අත්තඩංගුවට ගන්ඩ බැරිද? එයාට වෙඩි තබා මරා දැමුවේ ඇයි? අපි හොඳට ම නය වෙලා ඉන්නෙ, ඒවා ගෙවීමට ඔහු රෑ දවල් නොබලා වෙහෙස මහන්සි වී වැඩ කලා. මගේ පුතාට කිසි ම ආකාරයක මත්ද්‍රව්‍ය පුරුදු තිබුනේ නැහැ. ඔහුගේ ඝාතනය වසන් කිරීමට සමහරු මෙම චෝදනා පතුරුවනවා. අපට යුක්තිය අවශ්‍යයි!”

ඔහුගේ මිත්තනිය ජේ. විජයලක්ෂ්මි ද මෙසේ පැවසුවාය: “සාමාන්‍ය මිනිසුන් වැරදීමකින් මරා දැමුවහොත්, ශ්‍රී ලංකාවේ අධිකරනය ඔවුන්ට මරන දඬුවම ලබා දෙනවා නේද. ඒ හා සමාන ව, මගේ මුනුපුරා අසාධාරන ලෙස ඝාතනය කල පොලිසියට මරන දඬුවම ලබා දෙයි ද?”

මිත්තනිය ජේ. විජයලක්ෂ්මි

“ආන්ඩුව යුක්තිය ඉටු කිරීමට සූදානම්ද? මම මගේ මුනුපුරා මත විශ්වාසය තබා ජීවත් වුනා. දැන් මාව අනාථයෙක් කරලා.”

“අපේ නිවස වටා රහස් පොලිසිය දමල. ඔවුන්ගේ සෝදිසි කිරීම් නිසා මිනිසුන් භීතියට පත්ව සිටිනවා. මිනිස්සු ශෝකය පලකරන්න නිවසට එන්න පවා බයයි,” ඥාතියෙක් පැවසීය.

මෙම අපරාධය හුදකලා සිද්ධියක් නොවේ. 2016 ඔක්තෝබර් මාසයේදී, කොකුවිල්-කුලප්පිඩ්ඩි හි මුරපොලකදී, පොලිසිය විසින් යාපනය විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු වන පවන්රාජා සුලක්ෂන් සහ නඩරාජා ගජන් වෙඩි තබා ඝාතනය කලහ. බීමතින් සිටි සිසුන්ගේ යතුරුපැදිය අහම්බෙන් තාප්පයක ගැටී එම මරන සිදු වූ  බව පවසමින් පොලිසිය මුලින් තම වගකීම වසන් කිරීමට උත්සාහ කලේ ය. පොලිස් වෙඩි තැබීමකින් සිසුන් මිය ගිය බව තහවුරු වුයේ අධිකරන වෛද්‍ය නිලධාරියෙකුගේ පරීක්ෂනයෙන් පසුවයි. 

2017 දී, යාපනයේ තුන්නාලෙයි ගම්මානයේ 24 හැවිරිදි යෝගරාජා තිනේෂ්, ලොරියක පිටුපස ගමන් කරමින් සිටියදී පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යතුරුපැදියකින් වාහනය ලුහුබැඳ ගොස් ලොරියේ පිටුපසින් සිටි ඔහුට වෙඩි තැබූ නමුත් කියා සිටියේ රිය නතර කිරීමට එසේ වෙඩි තැබූ බවයි. ඝාතනය සාධාරනීකරනය කරමින්, ලොරිය නීති විරෝධී ලෙස එකතු කරන ලද වැලි ප්‍රවාහනය කල බව පොලිසිය කියා සිටියේය. 

මෙම පොලිස් අපරාධවලට එරෙහිව මහජනයා විරෝධතා සහ මුලු යාපන අර්ධද්-දීපය අලලා ගත් හර්තාල් පවත්වා ඇත. පොලිසිය හෝ කොලඹ ආන්ඩු මෙම විරෝධතා තඹයකට ගනන්ගෙන නැත.  අල්ලප්පිඩ්ඩි හි සිදුවීම රාජ්‍ය ප්‍රචන්ඩත්වයේ භයානක සාමාන්‍යකරනයක් පෙන්නුම් කරයි, එහිදී පොලිස් මුරපොලවල්වල නතර වීමට ‘අපොහොසත් වීම’ මාරාන්තික බලය සඳහා සාධාරනීකරනයක් ලෙස සලකනු ලැබේ.

වේලනයි සහ මන්ඩතීව් දූපත්වල දී ජවිපෙ/ජාජබ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතික සමගියේ කප්පිත්තෙකු ලෙස පෙනී සිටිමින් පසුගිය මාසයේ මුල තෛපොංගල් උත්සවය සැමරුවේ ය. අඟහරුවාදා වෙඩි තැබීම සිදු වූයේ ඒ ආසන්න ප්‍රදේශයේ ය.

පොලිසියේ කෘරතර ක්‍රියාව පිලිබඳව ආන්ඩුව නිහඬ ව සිටී. එය උතුරු සහ නැගෙනහිර පලාත්වල හමුදා වාඩි ලා ගැනීම සහ පොලිසියේ මර්දනකාරී යාන්ත්‍රනය දිගටම පවත්වා ගෙන යයි.

මෙම පොලිස් වෙඩි තැබීම හුදකලා සිදුවීමක් හෝ හුදෙක් පොලිස් නිලධාරින් කිහිප දෙනෙකුගේ අත්තනෝමතික ක්‍රියාවක් නොවේ. 2009 මැයි මාසයේදී අවසන් වූ උතුරු සහ නැගෙනහිර වසර 26 ක දෙමල විරෝධී වාර්ගික යුද්ධය අතරතුර වර්ධනය කරන ලද පොලිස්-රාජ්‍ය විධික්‍රම හා යාන්ත්‍රනය, අනුප්‍රාප්තික රජයන් විසින් දිගට ම මුවහත් කරමින් පවත්වා ගෙන ගොස් ඇති අතර රට පුරා එය විහිදුවා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද කප්පාදු පියවරයන්ට එරෙහි මහජන විරෝධයට මුහුන දෙන, ජවිපෙ/ජාජබ ආන්ඩුව පොලිස්-රාජ්‍ය විධික්‍රම මත යැපීම තීව්‍ර කරමින් සිටී. දිත්වා සුලි කුනාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු, ජනාධිපති අනුර කුමාර දිසානායක රට පුරා කුරිරු හදිසි නීතියක් පනවා ඇති අතර එය නැවත නැවතත් දීර්ඝ කරමින් පොලිසියේ සහ හමුදාවන්ගේ බලතල ශක්තිමත් කර ඇත. ආන්ඩුව රාජ්‍ය අංශයේ සේවාවන් 15 ක් අත්‍යවශ්‍ය සේවා යටතේ තබා ඇත. එය 'නීති-විරෝධී' ලෙස කාර්මික ක්‍රියාමාර්ග වල යෙදුන හොත් කම්කරුවන් සිරගත කරන බවට තර්ජනය කරන නීතියකි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම' යන නමින් පනතක් කෙටුම්පත් කර ඇති ආන්ඩුව ඊටත් වඩා මර්දනකාරී රෙගුලාසි ද ඊට ඇතුලත් කර තිබේ.

Loading