ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීමෙන් අවසන් වූ 2022 මහජන නැගිටීම අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ පොලිස් ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා මහාධිකරනයක්, පෙබරවාරි 11 වන දා, පුද්ගලයින් 12 දෙනෙකුට මරන දඬුවම නියම කලේ ය. තවත් හතර දෙනෙකුට අත්හිට වූ මාස හයක සිර දඬුවම් නියම වූ අතර 23 දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලදී.
2022 මැයි 9 වන දින පාලක පක්ෂයේ මැරයන් විසින්, කොලඹ ගාලු මුවදොර පිටිය අල්ලා ගෙන සිටි නිරායුධ විරෝධතාකරුවන්ට පොලු, පිහි සහ වෙනත් ආයුධවලින් සන්නද්ධ ව එල්ල කරන ලද ප්‍රචන්ඩ ප්‍රහාරය සම්බන්ධයෙන් රට පුරා මහජන කෝපය පුපුරා යාම මධ්‍යයේ මෙම ඝාතන සිදු විය. ජනාධිපතිගේ සහෝදරයා වන අගමැති මහින්ද රාජපක්ෂ, තම නිල නිවසට රැස් වූ පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ආධාරකරුවන් සිය ගනනක් ඇවිස්සුවේ ය. මැරයෝ පලමුව අගමැති නිලනිවස අසල සිටි විරෝධතාකරුවන්ට පහර දුන් අතර පසුව ගාලු මුවදොර පිටියේ රැස් ව සිටි අයට ප්‍රචන්ඩ ලෙස පහර දීමට පටන් ගත්හ.
රාජපක්ෂ ආන්ඩුව විසින් කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරවලින් සන්නද්ධ පොලිසිය ඒවන විටමත් ගාලු මුවදොර පිටියට යොදවා තිබුනි. නමුත් ඔවුන් ඉවත බලා සිටි අතර ප්‍රචන්ඩකාරී ප්‍රහාර නැවැත්වීමට කිසිවක් කලේ නැත. විරෝධතාකරුවන් සියයකට වැඩි පිරිසක් රෝහල් ගත කිරීමට සිදු විය. තම ආන්ඩුව විසින් ම සංවිධානය කරන ලද ප්‍රචන්ඩ ප්‍රහාරය කඩතුරාවක් ලෙස යොදා ගනිමින්, ගෝඨාභය රාජපක්ෂ දින නියමයක් නොමැතිව ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර වීදිවල ආරක්ෂක හමුදා යෙදවී ය.
ආන්ඩුව විසින් සංවිධානය කරන ලද ප්‍රචන්ඩත්වයෙන් කෝපයට පත් දස දහස් ගනනක් දිවයින පුරා වීදිවලට ගලා ආවේ ඇඳිරි නීතිය සහ හමුදා යෙදවීම නොතකා ය. කොලඹ ජාතික රෝහල සහ තැපැල් දෙපාර්තමේන්තුව ඇතුලු ආන්ඩුවේ ආයතන ගනනාවක සේවක කොටස්, විරෝධය පල කරමින් ස්වයංසිද්ධ ව වැඩ නතර කලහ. මැයි 9 වන දින රාත්‍රියේ දහස් ගනනක් වීදි බැසගත් අතර සමහරු රජයේ අමාත්‍යවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට පහර දුන්හ.
අතුකෝරල මිය ගිය සිද්ධිය සිදු වූයේ මෙම සන්දර්භය තුල ය. කොලඹ සිට කිලෝමීටර 40 ක් පමන දුරින් පිහිටි නිට්ටඹුවේ දී විරෝධතාකරුවන් පිරිසක් විසින් ඔහු නතර කරන ලදි. ඔහු හෝ ඔහුගේ පොලිස් ආරක්ෂක නිලධාරියා ජනකායට වෙඩි තබා එක් අයෙකු මරා දමා තවත් අයෙකුට බරපතල තුවාල සිදු කිරීමෙන් පසු ගැටුම උත්සන්න විය. කෝපයට පත් විරෝධතාකරුවෝ අතුකෝරල සහ ආරක්ෂක නිලධාරියා හඹා ගියහ. දෙදෙනා අසල ගොඩනැගිල්ලකට පලා ගිය අතර එහි දී දෙදෙනා ම මිය ගියහ. මුලික පොලිස් ප්‍රකාශවලින් පෙනී ගියේ අතුකෝරල තමාට ම වෙඩි තබා ගත්බව වුව ද, පශ්චාත් මරන පරීක්ෂනයකින් නිගමනය වූයේ ඔහු පහර කෑමෙන් මිය ගොස් ඇති බවයි.
සිදුවීම් දිග හැරෙමින් තිබිය දී, සමාජවාදී සමානතා පක්ෂය ගාලු මුවදොර විරෝධතාකරුවන්ට සන්නද්ධ මැරයන් විසින් එල්ල කරන ලද ප්‍රහාර හෙලා දුටු අතර, මැර පිරිස සංවිධානය කිරීමට ආන්ඩුව සම්බන්ධ වී ඇති බව හෙලි කලේ ය. විරෝධතාවල නියැලී සිටින අය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස කම්කරු පන්තියට ඉල්ලීමක් නිකුත් කලේ ය. ඒ සමඟ ම, එය මෙසේ අනතුරු ඇඟවී ය: “ප්‍රගතිශීලී දේශපාලන ඉදිරිදර්ශනයක් නොමැති ව, සඳුදා රාත්‍රියේ දේපල විනාශ කිරීමට හේතු වූ කෝපයේ පුපුරා යාම්, ආන්ඩුවේ සහ ප්‍රතිගාමිත්වයේ දෑත් ශක්තිමත් කරයි.”
දැන්, දුර්වල සාක්ෂි සහ දෝෂ සහිත නීතිමය තර්ක මත පදනම් ව, වත්මන් ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහි ව නැගී එන විරෝධය බිය ගන්වා මැඬලීම සඳහා නිර්මානය කරන ලද පන්ති පලිගැනීමේ ක්‍රියාවකට සමාන වන පරිදි, අධිකරනය පුද්ගලයින් 12 දෙනෙකුට අතුකෝරල ඝාතනය සම්බන්ධයෙන් මරන දඬුවම නියම කර තිබේ. ගාලු මුවදොර විරෝධතාකරුවන්ට - සියල්ලටත් වඩා රාජපක්ෂ සහෝදරයින්ට - එම ප්‍රචන්ඩ ප්‍රහාරය උසිගැන්වූ සහ ක්‍රියාත්මක කල කිසිවෙකුට මැයි 9 වන දින ඔවුන් කල දේ සම්බන්ධයෙන් නඩු පවරා හෝ දඬුවම් කර නොමැත.
සම්පූර්න තීන්දුව තවමත් නිකුත් කර නොමැති වුව ද, අතුකෝරලට සහ ඔහුගේ ආරක්ෂකයාට සිදු වූ දේට ඇසින් දුටු සාක්ෂිකරුවන් නොමැති බව එය පිලිගෙන ඇති බව වාර්තා වේ. තීන්දුව සම්පූර්නයෙන් ම සැක සහිත පරිවේෂනීය සාක්ෂි මත රඳා පවතී. ශ්‍රී ලංකා නීති පද්ධතිය පලමුවරට, අධිකරන වෛද්‍ය මුහුනු විශ්ලේෂනය හරහා සැකකරුවන් “හඳුනා ගන්නා ලදී”. නමුත් එය ප්‍රශ්න කීපයක් මතු කරයි; හඳුනා ගත්තේ කොහේදී ද? කුමක් මගින් ද? අතුකෝරල පලා ගිය ගොඩනැගිල්ල තුල ඇත්ත වශයෙන්ම සිදු වූ දේ පෙන්වන වීඩියෝවක් තිබේද? එසේ නම්, එය අධිකරනයේ පෙන්වූවා ද?
එවැනි සාක්ෂි නොමැතිකම මගින් පෙන්නුම් කෙරෙන්නේ, විත්තිකරු අපරාධයට “යම් දායකත්වයක්” ලබා දී ඇති බව පෙන්විය හැකි නම්, ඔහු “වරදකරුවෙකු” බවට තහවුරු කල හැකි බව අධිකරනය විසින් සොයා ගෙන ඇති බවයි. නොපැහැදිලි ලෙස අර්ථ දක්වා ඇති මෙම නීතිමය සොයාගැනීම මත පදනම් ව, පුද්ගලයින් 12 දෙනෙකුට මරන දඬුවම නියම කර ඇත.
සැලකිය යුතු ලෙස, ජූරි සභාවක් නොමැති ව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක තීන්දුව 2:1 ලෙස බෙදී ගියේය. විනිසුරු මඩුල්ලේ සභාපති ජ්‍යෙෂ්ඨ විනිසුරු සහන් මාපා බන්ඩාර වරදකරුවන් කිරීමට විරුද්ධ වූ අතර, පැමිනිල්ල සාධාරන සැකයකින් තොරව නඩුව ඔප්පු කිරීමට අපොහොසත් වී ඇති බව ප්‍රකාශ කලේ ය. සියලුම විත්තිකරුවන් සියලු චෝදනාවලින් නිදොස් කර නිදහස් කල යුතු බව ඔහු පැවසී ය.
1979 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ආන්ඩුව විසින්, අධිකරන පද්ධතිය යටතේ, පාලක පන්තිය වෙනුවෙන් දේශපාලන තීරන ගන්නා විනිශ්චය සභා ලෙස මහාධිකරනවලට ක්‍රියා කල හැකි පරිදි, අධිකරන පනතට සංශෝධනයක් හඳුන්වා දෙන ලදී. සංශෝධිත මෙම පනත යටතේ, නීතිපතිවරයා විසින් හඳුනාගත් “විශේෂ නඩු” විභාග කිරීම සඳහා ජූරි සභාවක් නොමැති ව ත්‍රිපුද්ගල මහාධිකරන නඩු විභාග මන්ඩල ස්ථාපිත කල හැකි ය.
පුදුමයට කරුනක් නොවන පරිදි, සංස්ථාපිත පක්ෂ සහ මාධ්‍ය, “අරගලය” ලෙස හැඳින්වෙන 2022 මහජන නැගිටීමට සහභාගී වූ අයට අධිකරන තීන්දුව “පාඩමක්” බව පවසමින් එයට වහා ප්‍රශංසා කලහ. විපක්ෂ සමගි ජන බලවේගය (සජබ) පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ප්‍රකාශ කලේ නැගිටීමේ දී චෝදනා එල්ල වූ අයට එරෙහි ව “අධිකරන විසින් ලබා දුන් තීන්දුව අපි සාදරයෙන් පිලිගනිමු” යනුවෙනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ, අධිකරනය යුක්තිය ඉටු කිරීමේදී “ස්වාධීන ව” ක්‍රියා කර ඇති බවට සතුට පල කල අතර, “ත්‍රස්තවාදී ක්‍රියාවක්” ලෙස ඔහු විස්තර කල දෑ සාධාරනීකරනයේ යෙදෙන, අධිකරන තීන්දුවෙන් කෝපයට පත් සමාජ මාධ්‍ය පුද්ගලයන් හෙලා දුටුවේ ය. ජනාධිපති රාජපක්ෂ බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රනයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුන විසින් සරල ව නම් කෙරෙන “අරගලය” සම්බන්ධයෙන් පරීක්ෂනයක් ද ඔහු ඉල්ලා සිටියේ ය.
2022 නැගිටීමේ අභිලාෂයන් නියෝජනය කරන බව ව්‍යාජ ලෙස කියා සිටින ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය ආන්ඩුව, එම තීන්දුව ඵලදායී ලෙස අනුමත කර ඇත. අගමැතිනි හරිනි අමරසූරිය තීන්දුවට සිය ආශිර්වාදය පල කරමින් මෙසේ පැවසුවාය: “ඇත්ත වශයෙන් ම එය අධිකරන තීන්දුවකි. අධිකරන තීන්දු යනු අධිකරනය විසින් ගනු ලබන ඒවා ය. ඒවා දේශපාලන තීරන නොවේ.”
දේශපාලන සංස්ථාපිතයට පටහැනි ව, සසප මරන දඬුවමට නිශ්චිත ව ම විරුද්ධ වේ. මරන දඬුවම යනු පීඩිතයන් බිය ගැන්වීමට සහ මර්දනය කිරීමට ඓතිහාසික ව භාවිතා කරන ලද ම්ලේච්ඡ මෙවලමකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරයා ඝාතනය කිරීමේ නඩුවේ සියලු ම විත්තිකරුවන්ට එරෙහි සියලු චෝදනා ඉවත් කර ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටීමේ අවශ්‍යතාවය අපි කම්කරු පන්තියට අවධාරනය කරමු. 2022 මැයි 9 වන දින නිරායුධ විරෝධතාකරුවන්ට ප්‍රචන්ඩ ප්‍රහාරයක් සංවිධානය කල සැබෑ අපරාධකරුවන්ට නඩු පැවරිය යුතු ය.
මැයි 9 වන දින සිදුවීම්, රට විදේශ නය ගෙවීම පැහැර හැරීමෙන් පසු ජීවන තත්වයන් බිඳ වැටීමට එරෙහි රාජ්‍ය විරෝධී නැගිටීමේ තීරනාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් විය. අප්‍රේල් 28 සහ මැයි 6 යන දිනවල පැවති එක්දින මහා වැඩවර්ජනවලට මිලියන සංඛ්‍යාත කම්කරුවන් එක් විය. නැගිටීම මැඬ පැවැත්වීමේ මංමුලා සහගත උත්සාහයක දී ජනාධිපති රාජපක්ෂ දෙවන වරටත් හදිසි නීතිය පැනවී ය. ඊට ප්‍රතිචාර වශයෙන්, මැයි 11 වන දිනට නියමිත ව තිබූ අවිනිශ්චිත තුන්වන මහා වැඩවර්ජනය වෘත්තීය සමිති ඵලදායී ලෙස අවලංගු කල අතර එය ආන්ඩුවට ක්‍රියාත්මක වීමට දිරිගැන්වීමක් විය - ගාලු මුවදොර පිටියට එල්ල වූ මැර ප්‍රහාරය එහි ප්‍රතිඵලයයි. නමුත් මැයි 9 වන දින ඇඳිරි නීතිය නොතකා ජනතාව වීදිවලට ගලා ආ අතර විරෝධතා පැතිර ගිය පසු මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය.
එය ආන්ඩුවේ අවසානයෙහි ආරම්භය විය. මාස දෙකකට පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පලා ගොස් ඉල්ලා අස්විය. ගැඹුරු දේශපාලන අර්බුදයකට මුහුන දෙමින්, සියලු ම සංස්ථාපිත පක්ෂ මෙන් ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ වෘත්තීය සමිති වැනි ව්‍යාජ වාම සංවිධාන, නව ධනේශ්වර ආන්ඩුවක් මහජනතාව සඳහා ආර්ථික හා සමාජ අර්බුදය විසඳනු ඇතැයි යන බොරුව ප්‍රවර්ධනය කිරීමට එක් විය. ඔවුන්ගේ ව්‍යවස්ථා විරෝධී පාර්ලිමේන්තු කුමන්ත්‍රනවල ප්‍රතිඵලය වූයේ, දැඩි කප්පාදු කොන්දේසි යටතේ ජාමූඅ සමඟ ඇපකර නයකට ගිවිසුම්ගත වූ ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ පත් කිරීමයි. ජවිපෙ/ජාජබ ආන්ඩුව විසින් එම කප්පාදු අඛන්ඩ ව ඉදිරියට ගෙන යනු ලබයි.
මහජන නැගිටීම සඳහා විප්ලවීය විකල්පයක් ඉදිරිපත් කලේ සසප පමනි. එය, සෑම වැඩබිමකම ද ග්‍රාමීය ජනතාව අතර ද ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට ඉල්ලා සිටියේ ය. එහි වැඩපිලිවෙල පාදක වූයේ, ශ්‍රීලපොපෙ නායකත්වයෙන් යුත් ආන්ඩුව බලයෙන් පහ කර ජාත්‍යන්තර සමාජවාදයේ පදනම මත සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කරනුවස්, ග්‍රාමීය දුප්පතුන් සහ පීඩිතයන් සමඟ සන්ධාන ගත ව කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීම මත ය.
විරෝධතාකරුවන් 12 දෙනෙකුට මරන දඬුවම් පැනවීම, ජීවන තත්වයන්ට ආන්ඩුව එල්ල කරන ගැඹුරු වන ප්‍රහාරයට එරෙහි ව කම්කරුවන් සහ ග්‍රාමීය දුප්පතුන් අතර වැඩෙන විරෝධය මැඬ පැවැත්වීම සඳහා පාලක පන්තිය කිසිවක් නතර නොකරන බවට අනතුරු ඇඟවීමකි. දැඩි දඬුවම් තර්ජනයක් යටතේ වැඩ වර්ජන තහනම් කිරීම සඳහා ආන්ඩුව දැනටමත් අත්‍යවශ්‍ය සේවා නියෝග වෙත යොමුවෙමින් සිටී. තීරනාත්මක පාඩම වනුයේ, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, කම්කරු පන්තිය සියලු ධනේශ්වර පක්ෂවලින් සහ ඔවුන්ගේ ව්‍යාජ-වාම අනුබද්ධයන්ගෙන් සම්පූර්නයෙන්ම දේශපාලනික ව බිඳී යාමක් අවශ්‍ය කරන, සමාජවාදී ඉදිරිදර්ශනයක් සඳහා වන සටන සමඟ බැඳී ඇති බවයි.
