ආන්ඩුව සහ වැවිලි සමාගම් අතර වැටුප් වැඩි කිරීමේ ගිවිසුම: කම්කරුවන්ගේ කෝපය යටපත් කිරීමේ මංමුලා සහගත උත්සහයක්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1350  සිට රුපියල් 1,750 දක්වා රුපියල් 400 කින් වැඩි කිරීම සඳහා ආන්ඩුව  සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් (ප්‍රාදේවැස) ජනවාරි 30 වන දින ගිවිසුමක් අත්සන් කලේ ය. ගිවිසුමට අනුව, සමාගම් විසින් රුපියල් 200 ක වැඩි වීමක් ගෙවනු ලබන අතර පැමිනීමේ දීමනාවක් ලෙස ආන්ඩුව විසින් රුපියල් 200 ක් ගෙවනු ලැබේ.

එය “වසර දෙසීයක ඉතිහාසයේ විශාලත ම වැටුප් වැඩිවීම” බව පවසමින් ආන්ඩුව, වතු වෘත්තීය සමිති නායකයින්, වතු සමාගම් සහ මාධ්‍ය, ප්‍රචාර රැල්ලක යෙදී සිටිති. මෙම ස්වාර්ථකාමී  ප්‍රශංසා පිටුපස, කම්කරුවන් මුහුන  දෙන යථාර්ථය ඊට ප්‍රතිවිරුද්ධ දෙයකි, මෙම වැටුප් වැඩි කිරීම කිසි සේත් ම කම්කරුවන්ගේ මුලික අවශ්‍යතා සපුරාලීමට ප්‍රමානවත් නොවේ.

ආන්ඩුවක් සහ සමාගම් වැටුප් වැඩිවීමක් සම්බන්ධයෙන් “අවබෝධතා ගිවිසුමක්” (එම්ඕයූ) අත්සන් කල පලමු අවස්ථාව මෙයයි. එම්ඕයූව ප්‍රසිද්ධ කර නොමැති බැවින් කම්කරුවන් ලේඛනයේ  ඇති දේ හෝ ඔවුන්ගේ අයිතිවාසිකම්වලට බලපාන කිසියම් නියමයන් එහි අඩංගු දැයි නොදනී.

පෙබරවාරි 11 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක තමන් වතු කම්කරුවන් කෙරෙහි බෙහෙවින් සැලකිලිමත් යයි මවා පෑමේ අරමුන ඇති ව ඡායාරූප ප්‍රචාරනය සඳහා වතු කිහිපයක සංචාරය කලේ ය. දිසානායක තම මෝටර් රථයෙන් බැස තලවකැලේ මට්ටකැලේ වතුයායේ සහ නානුඔය-රදැල්ල මාර්ගයේ දී තේ දලු නෙලන කාන්තා කම්කරුවන්  සමඟ කතා කරමින් ඔවුන්ගේ සුභසාධනය ගැන විමසන ඡායාරූප මාධ්‍ය විසින් පල කරන ලදී.

කම්කරුවන් රැවටීමට රුපියල් 400 ක දෛනික වැටුප් වැඩිවීමක් පිලිබඳ මෙම ඝෝෂාව පිටුපස දේශපාලන වංචාවක් තිබේ.  ආන්ඩුවක්, පලමු වතාවට,පෞද්ගලික සමාගම් වෙනුවෙන් කම්කරුවන්ට පැමිනීමේ දීමනාවක් ගෙවීමට - කම්කරුවන් කෙරෙහි අනුකම්පාවේ මුවාවෙන් - අයවැයෙන් රුපියල් මිලියන 5,000 ක් වෙන් කර ඇත.

දැවැන්ත ලාභ ලබන ප්‍රාදේවස වලට කම්කරුවන්ගේ වැටුප් වැඩිවීමක් ගෙවීමට නියෝග කිරීම වෙනුවට, ආන්ඩුව මෙම සමාගම්වලට සහන ලබා දීම සඳහා මහජන මුදල් භාවිතා කරමින් සිටී. ආන්ඩුව  මෙය කර ඇත්තේ ඔවුන් විශාල ලාභ උපයන අතරතුර ය. අගලවත්ත, ආගරපතන, බලංගොඩ සහ බොගවන්තලාව වතු සමාගම් ඇතුලු වතු සමාගම් විසි දෙකක් 2024–2025 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් මිලියන 20,321.27 ක බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභයක් වාර්තා කර ඇත.

අනෙක් අතට, රුපියල් 200 ක වැටුප් වැඩි කිරීමට එකඟ වූ සමාගම්, නව වැටුප් වැඩි කිරීම නිසා තමන්ට රුපියල් බිලියන 6 ක අමතර පාඩුවක් සිදුවන බවට විලාප නඟමින් සිටිති. එවැනි ව්‍යාජ පැමිනිලි  කරමින්, ප්‍රාදේවස දැනටමත් වැටුප් කප්පාදු කිරීමට සහ වැඩ බර වැඩි කිරීමට උපාමාරු දැමීම ආරම්භ කර ඇත.

කම්කරුවන්ට දිනකට රුපියල් 1,750 ක වැටුපක් ලැබෙන්නේ වැඩට පැමිනීම සහ  දෛනික වැඩ ඉලක්කය සම්පූර්න කරන්නේ නම් පමනි. දිනකට නෙලිය යුතු තේ දලු ප්‍රමානය වතුයායේ සාරවත් බව මත පදනම්ව කිලෝග්‍රෑම් 18–22 අතර වේ. සමාගම් විසින් නියම කර ඇති පරිදි, දලු කිරන්නන් දෛනිකව නෙලන තේ දලු වලින්  තෙතමනයට හිලව් වශයෙන් කිලෝග්‍රෑම් 6 ක් අඩු කරයි.

එහෙත්, වැඩි කල වැටුප කැපීම  සඳහා සමාගම් උපාමාරු දැමීම ආරම්භ කර ඇති බව සමහර වතුවල කම්කරුවන් කිහිප දෙනෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට  පැවැසුහ. තේ දලු නෙලීමේ ඉලක්කය දැනට පවතින කිලෝග්‍රෑම් 18–22 සිට කිලෝග්‍රෑම් 4 කින් වැඩි කිරීම එක් උත්සාහයකි. එහි තේරුම දෛනික වැඩ ඉලක්කය සම්පූර්න  කිරීම සඳහා කම්කරුවෙකු  තෙතමනය සඳහා අඩුකිරීම් ද ඇතුලුව කොඳු ඇට පෙල කැඩෙනතෙක්  දලු  කිලෝග්‍රෑම් 28–32  නෙලිය යුතු ය.

ඒ අතර ම, වත්මන් පිලිවෙතට අනුව, සමාගම් අනියම් සේවකයින්ට දිනපතා නෙලන කිලෝග්‍රෑම් ගනන අනුව පමනක් ගෙවීම් දිගට ම කරගෙන යයි.

ජනාධිපති දිසානායක මෙම වැටුප් වැඩිවීම සිදු කලේ  ඔහුගේ ආන්ඩුව  වතු කම්කරුවන් කෙරෙහි දක්වන අනුකම්පාව නිසා නොව, නරුම දේශපාලන ගනන් බැලීම් ඇති ව ය.

ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ වඩාත්ම දුප්පත් කොටස් අතරට අයත් වතු කම්කරුවන් අතර කෝපය කැකෑරෙමින් පවතී. අක්‍රමවත් වැඩ කොන්දේසි පැවතීමෙන්  පසුවත් ඔවුන් සියවසක පමන  කාලයක් දෛනික වැටුප් ක්‍රමයකට සීමා වී ඇත. ගැටලු කිහිපයක් පමනක් සඳහන් කලහොත්, නිසි සෞඛ්‍ය හෝ අධ්‍යාපන පහසුකම් නොමැතිව, ඔවුහු  තවමත් මූලික පහසුකම් රහිත  බැරැක්ක ආකාරයේ ලයින් කාමරවල ජීවත් වෙති.

2023 සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් රට තුල ක්‍රියාත්මක කරන ලද කප්පාදු පියවර හේතුවෙන් වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය තවදුරටත් නරක අතට හැරී ඇත. ඩිට්වා සුලි  කුනාටුව බොහෝ වතුවල දස දහස් ගනනක් කම්කරුවන්ට  බලපෑ අතර, දුසිම් ගනනක් මිය ගොස් නිවාස සහ ඔවුන් සන්තකයෙහි  තිබු සොච්චම් බඩු  බාහිරාදිය ද  විනාශ විය.

මෙම වැටුප් වැඩි කිරීම සිදු කිරීමෙන් දිසානායක ආන්ඩුව වතුකරයේ අරගල පුපුරා යාම අඩපන කිරීමට උත්සාහ කරයි.

ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී), කඳුරට ජනතා පෙරමුන  (යූපීඑෆ්) ජාතික කම්කරු  සංගමය (එන්යූඩබ්ලිව්) සහ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය (ඩීඩබ්ලිව්සී) වැනි දේශපාලන පක්ෂ ලෙස ද ක්‍රියාත්මක වන සාම්ප්‍රදායික ධනේශ්වර පක්ෂ සහ වෘත්තීය සමිති කෙරෙහි ඔවුන්ගේ අතෘප්තිය ගසාකමින් 2024 පාර්ලිමේන්තු මැතිවරනයේ දී වතු කම්කරුවන්ගේ බහුතර ඡන්ද ප්‍රමානයක් දිනා ගැනීමට ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනතා බලවේගය (ජවිපෙ/ජාජබ) සමත් විය.

එහෙත්, ආන්ඩුවේ  කප්පාදු වැඩපිලිවෙල  ගැන කලකිරීම නිසා 2025 මැයි මාසයේ පලාත් පාලන මැතිවරනය වන විට, ජවිපෙ /ජාජබ  විසින් වතු කම්කරුවන්ගෙන් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහත වැටුනි.

ඉදිරි පලාත් සභා මැතිවරනයේ දී වතුකරයේ ජවිපෙ/ජාජබ ඡන්ද ප්‍රතිශතය වැඩි කර ගැනීමට  දිසානායක උත්සාහ කරයි. ජවිපෙ නායකත්වය දෙන, එතරම් සාමාජිකයන්  නොමැති, සමස්ත ලංකා වතු සේවක සංගමයේ නිලධාරීන් අනෙකුත් වෘත්තීය සමිති නායකයින්ගේ උපාංගයක් ලෙස ක්‍රියා කර ඇත. එය දැන් එහි සාමාජිකත්වය වැඩි කරගැනීමට උත්සාහ කරමින් සිටින අතර, එය ජවිපෙ පාලනය කරන අනෙකුත් වෘත්තීය සමිති මෙන් හොරිකඩකම්  සහ වැඩ වර්ජන බිඳීමේ කාර්යභාරයක් ඉටු කරනු ඇත. එම අරගල ආන්ඩුව සමග ගැටෙන බැවින්, වෘත්තීය ක්‍රියාමාර්ග දියත් නොකරන ලෙස ජවිපෙ රාජ්‍ය අංශයේ සිය සියලුම වෘත්තීය සමිති නිලධරයන්ට නියෝග කර තිබේ.

වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුනු කිරීම සඳහා සොච්චම් වැටුප් වැඩිවීමක් ප්‍රමානවත් නොවේ. කම්කරුවෙකු නියමිත වැඩ ඉලක්කය සම්පූර්න කර මසකට දින 25 ක් වැඩ කලත්, දිනකට රුපියල් 1,750 බැගින් ඔහුගේ  මාසික ආදායම රුපියල් 43,750 ක් පමනි. සේවක අර්ථසාධක අරමුදල, කෝවිල් ගාස්තු සහ වෘත්තීය සමිති සාමාජික මුදල්  අඩු කිරීමෙන් පසු ඔහුට ලැබෙන මුදල ඊටත් වඩා අඩු ය.

ආන්ඩුවේ  දත්ත වලට අනුව, 2023 දරුවන් දෙදෙනෙකු ඇතුලුව හතර දෙනෙකුගෙන් යුත් පවුලකට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට රුපියල් 92,000 ත් 100,000 ත් අතර මුදලක් අවශ්‍ය වේ. 2023 ආන්ඩුවේ සමීක්ෂනයකට අනුව, “කෝවිඩ් -19 වසංගතය ආරම්භයේ සිට වතුකරයේ ගෘහ වියදම් සියයට 90.3 කින් වැඩි වී තිබේ.”

කෝවිඩ් -19 වසංගතය සහ අධිරාජ්‍යවාදී යුද්ධය විසින් උග්‍ර කරන ලද ලෝක ධනවාදයේ අර්බුදය මධ්‍යයේ 2022 දී ශ්‍රී ලංකාවේ පුපුරා ගිය ආර්ථික අර්බුදය තවමත් පහ ව ගොස් නැත; එය ගැඹුරු වෙමින් පවතී. ජාමූඅ  කප්පාදු වැඩපිලිවෙල  හරහා දිසානායක ආන්ඩුව එම අර්බුදයේ බර කම්කරු පන්තිය මත පටවමින් සිටී.

පැමිනීමේ දීමනාව ගෙවීම සඳහා ආන්ඩුව මහජන මුදල් භාවිතා කිරීමට විපක්ෂයේ සමගි ජන බලවේගය වංචනික ලෙස විරුද්ධ වී තිබේ. ඇත්ත වශයෙන් ම ඔවුන්ගේ විරුද්ධත්වය වතු කම්කරුවන් සඳහා වන ඕනෑ ම වැටුප් වැඩිවීමකට ය.

වතු වෘත්තීය සමිති නිරන්තරයෙන් වතු කම්කරුවන් දරිද්‍රතා වැටුප්වලට යටත් කර ඇති අතර වතු හිමියන් සහ සමාගම් විසින් කම්කරුවන් සූරාකෑමට සහාය දී ඇත. වැටුප් ඉල්ලීම් මත හෝ කටුක සේවා කොන්දේසි වලට එරෙහි සෑම අරගලයක් ම පාවා දීමේ කුප්‍රකට වාර්තාවක් ඔවුන්ට ඇත.

නිදසුනක් වශයෙන්, 2019 දෙසැම්බර් මාසයේ දී, වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 500 සිට 1,000 දක්වා සියයට 100 කින් වැඩි කරන ලෙස ඉල්ලා දින නවයක් පුරා පැවති වැඩ වර්ජනය, වතු සමාගම්වල වැටුප් යෝජනාවට එකඟ වීමෙන්, වෘත්තීය සමිති විසින් අවසන් කරන ලදී. වෘත්තීය සමිති විසින් එය සියයට 40 ක වැටුප් වැඩිවීමක් බව කියා සිටිය ද, පැමිනීමේ සහ දිරි දීමනා ලෙස ගෙවන ලද රුපියල් 200 අහෝසි කිරීමට එකඟ වූ බැවින්, සැබෑ වැඩිවීම රුපියල් 20 ක් පමනක් විය.

වතුකරයේ සියවස් දෙකකට වැඩි කාලයක් පැවති දෛනික වැටුප් ක්‍රමය අවසන් කල යුතු ය. පලමු ව බ්‍රිතාන්‍ය විජිත පාලනය යටතේ ද,  1948 සිට කොලඹ පාලනය යටතේ ද බ්‍රිතාන්‍ය වැවිලිකරුවන් විසින් පාලනය කරන ලද වතු, 1972 දී ජනසතු කිරීමෙන් පසුව සහ 1992 දී පෞද්ගලීකරනයෙන් පසුව ප්‍රාදේවස යටතේ මෙම ක්‍රමය වහල් ශ්‍රම කොන්දේසිවල කොටසක් ලෙස පවත්වාගෙන යනු ලබයි.

දිසානායක පාලන තන්ත්‍රයට අවශ්‍ය වන්නේ, සමාගම්වල සහාය ඇති ව වතුකරයේ ප්‍රධාන “ප්‍රතිව්‍යුහගත කිරීම” සඳහා සූදානම් වන අතර ම, පැරනි වැටුප් ක්‍රමය දිගට ම පවත්වා ගෙන යාමටයි. කම්කරුවන්ගේ රැකියා, වැටුප් සහ කොන්දේසි වලට බලපානු ඇති, බොහෝ සෙයින් හුවා දක්වනු ලබන,  වතු “ප්‍රතිව්‍යුහගත කිරීමේ” සැලැස්ම ආන්ඩුව තවමත් හෙලි කර නොමැත.

• සියලු ම වතු කම්කරුවන්ට මාසික වැටුපක් ගෙවිය යුතු අතර, එය සියලු මූලික ජීවන අවශ්‍යතාවල පිරිවැය අනුව ගනනය කර ජීවන වියදමේ වැඩිවීමට ගැලපිය යුතු ය. එය විශ්‍රාම වැටුප් සහිත විය යුතු ය. මෙය වෛද්‍ය නිවාඩු ඇතුලු ව වැටුප් සහිත නිවාඩු ක්‍රමයක් සමඟ තිබිය යුතු ය.

• අනියම් සහ කොන්ත්‍රාත් රැකියා ක්‍රමය අවසන් කර එම කම්කරුවන්ට ස්ථිර රැකියා ලබා දිය යුතු ය.

• සියලු ම කම්කරුවන් සඳහා සම්පූර්න  පහසුකම් සහිත හොඳ නිවාස.

• ගුනාත්මක සෞඛ්‍ය සහ අධ්‍යාපන පහසුකම්.

මෙම ඉල්ලීම් සඳහා සටන් කිරීමට  වෘත්තීය සමිති නිලධරයන්ගෙන් සහ ධනේශ්වර පක්ෂවලින් ස්වාධීන ව කම්කරුවන් වතු සහ අසල්වැසි ප්‍රදේශවල තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු සංවිධානය කල යුතු ය.

ආන්ඩුව හෝ සමාගම් මෙම ඉල්ලීම් ඉටු කරනු ඇතැයි ඔවුන්ට අපේක්ෂා කල නොහැක. සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන් කරන ලෙස සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.  එනම් වතු, බැංකු සහ විශාල සමාගම් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ තැබීමයි. එවැනි වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කල හැක්කේ, ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත හැරී ඒ සමඟ එකමුතු ව තහවුරු කර ගැනීමෙනි.

Loading