පෙබරවාරි 20 වැනි දා සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව, “වෛද්‍ය නිලධාරීන්ගේ විරෝධතා සහ නිදහස් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ සටන” යන මැයෙන් ඔන්ලයින් රැස්වීමක් පැවැත් වීය. රැස්වීම යෝජනා දෙකක් ඒකමතික ව සම්මත කලේ ය. එක් යෝජනාවක් ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය රැක ගැනීමට කැඳවුම් කල අතර අනික එක්සත් ජනපදයේ වැඩවර්ජනයේ නිරත සෞඛ්‍ය සේවකයන්ට සහයෝගය පල කලේ ය.
මෙම රැස්වීම, කඩා වැටෙන නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කර ගැනීමටත්, එම කඩා වැටීමේ හේතු කාරකය වන ආන්ඩුව ක්‍රියාවට දමන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විධානිත කප්පාදු පියවරවලට එරෙහි වීමටත්, සමාජවාදී මූලෝපායක් ඉදිරිපත් කිරීමට ගෙන යන ව්‍යාපාරයේ කොටසක් විය. රැස්වීම පැවැත් වුනේ 20,000කට ආසන්න වෛද්‍යවරු තම දීමනා සහ සෙසු ගැටලු විසඳා ගැනීමට මසකට වඩා දිගු අරගලයක නිරතව සිටින පසුබිමේ ය.
වෛද්‍යවරු, හෙදියන් ඇතුලු සෙසු සෞඛ්‍ය සේවකයයන් ද වෙනත් ක්ෂේත්‍රවල සේවකයන් ද සිසුන්ද ආදි වශයෙන්, රැස්වීමට 90කට ආසන්න පිරිසක් රැස්වීමට සහභාගී වූහ. රැස්වීමේ කතා දෙමල බසට පරිවර්තනය කෙරුනි. උතුරු සහ මධ්‍යම පලාත් වලින් පුලුල් දෙමල ශ්‍රාවකත්වයක් එක් විය. මෙම පැතිරුනු ශ්‍රාවකත්වය, දැවැන්ත අයවැය කප්පාදු, සේවක පුරප්පාඩු සහ රෝහල්වල ගුනාත්මක බව පිරිහීම මැද ගැඹුරු වන සෞඛ්‍ය සේවයේ අර්බුදය ගැන මහජන උත්සුකයේ පිලිබිඹුවක් විය.
රැස්වීමේ මුලසුන දැරුවේ සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුවට නායකත්වය දෙන සෞඛ්‍ය සේවකයෙකු වන වෛද්‍ය ප්‍රශාන්ත ගමගේ වන අතර, ප්‍රධාන වාර්තාව ඉදිරිපත් කලේ සමාජවාදී සමානතා පක්ෂයේ දේශපාලන මන්ඩල සභික ඩබ්ලිව් ඒ සුනිල් ය.
රැස්වීම ආරම්භ කරමින් ගමගේ ආන්ඩුවේ තර්ජනවලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ජීඑම්ඕඒ) දක්වා ඇති බියගුලු ප්‍රතිචාරය හෙලා දැක්කේ ය. 2027 ජනවාරි වන තුරු වැටුප් වැඩි වීමක් ලබා නොදෙන බවට ජනාධිපති දිසානායක තර්ජනය කර තිබියදීත්, සෞඛ්‍ය සේවකයන් ඇතුලු සමස්ත කම්කරු පන්තිය බලමුලුගන්වනු වෙනුවට, සමිති නිලධරය මල්වත්ත සහ අස්ගිරි මහනායක භික්ෂූන්ට ආයාචනා කිරීමට යොමු වී ගැනීම ඔහුගේ විවේචනයට ලක් විය.
සුනිල් තම ප්‍රධාන වාර්තාව තුල දී, මහජන සෞඛ්‍ය සේවයේ අර්බුදය සහ සෞඛ්‍ය සේවකයන් මුහුන දෙන වැඩෙන පීඩනය සම්බන්ධයෙන් සාකච්ඡා කලේ මේ කොන්දේසි සහ ජවිපෙ ජාජබ ආන්ඩුව ක්‍රියාවට දමන කප්පාදු වැඩපිලිවෙල අතර සම්බන්ධය පිහිටුවමිනි. කම්කරු පන්තියේ අරගලවලින් දිනාගත් නිදහස් සෞඛ්‍ය සේවය ආන්ඩුවේ කප්පාදු පියවරවලින් අහෝසි ව යාමට කොන්දේසි සැකසෙන ආකාරය ඔහු පැහැදිලි කලේ ය.
ආන්ඩුව රාජ්‍ය ආදායම් ඉහල දමා ගැනීම ගැන පම්පෝරි ගසන ගමන් සෞඛ්‍ය සේවයට මුදල් නැතැයි පවසන්නේ එහි ප්‍රමුඛතාවය ජාමූඅ වැඩපිලිවෙල යටතේ විදේශ නය ගෙවීමත් මහ ව්‍යාපාරවලට බදු සහන ලබා දීමත් නිසා බව සුනිල් පෙන්වා දුන්නේ ය. “වෛද්‍යවරු රෝගීන් ප්‍රාන ඇපයට ගෙන” වෘත්තීය ක්‍රියාමාර්ගවල යෙදෙනවාය යන ආන්ඩුවේ මුසාවාදය ඔහු ප්‍රතික්ෂේප කලේ සැබැවින් ම රෝගීන් ප්‍රාන ඇපයට ගෙන ඇත්තේ ජාමූ අරමුදලේත් මූල්‍ය වෙලඳපොලවලත් විධානයන් මත කප්පාදුව ක්‍රියාත්මක කරන ජවිපෙ/ජාජබ ආන්ඩුව බව පෙන්වා දෙමිනි.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්තමාන අර්බුදය, දශක ගනනාවක අනුප්‍රාප්තික ආන්ඩුවල කප්පාදුවල විපාක වර්තමාන ජාමූඅ ඇප නය කොන්දේසිවලින් තීව්‍රවීමේ ප්‍රතිඵලයකි. 2022 ආර්ථික අර්බුදය කිසිසේත් ම සමනය නොවුනු බව පෙන්වා දුන් ඔහු මේ තත්ත්වය ගැඹුරුවන ගෝලීය ධනේශ්වර අර්බුදයේ ම කොටසක් බව කියා සිටියේ ය.
එම අර්බුදය තුල පැන නැගි මහජන නැගිටීමේ පාඩම් උකහා ගැනීමේ වැදගත්කම සුනිල් අවධාරනය කලේ ය. වෘත්තීය සමිති නිලධරය සහ ව්‍යාජ වාම පක්ෂ කම්කරු පන්තියේ ස්වාධීන බලමලු ගැන්වීමක් අවහිර කල නිසා වර්තමාන කප්පාදු පියවරවලට පාර කැපුනු බව ඔහු අවධාරනය කලේ ය.
“සෞඛ්‍ය කම්කරුවන්ගේ අරගලයක්, ඒකාබද්ධ අරගලයකට සෙසු කම්කරු කොටස්ද ආකර්ෂනය කර ගනු ඇතැයි දන්නා නිසා සමිති නායකත්වයන් එවැන්නකට බියයි. එවන් ව්‍යාපාරයක් වර්ධනය වීම වැලක්වීම ඔවුන්ගේ අරමුනය” යැයි සුනිල් පැවසී ය.
ජාතිකවත් ජාත්‍යන්තරවත් ඒකාබද්ධ වුනු ප්‍රජාතන්ත්‍රවාදී ව තීන්දු තීරන ගන්නා ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ජාලයක් සියලු ම සෞඛ්‍ය ආයතනවල ගොඩනැගීමට කැඳවුම් කරමින් ඔහු තම වාර්තාව අවසන් කලේ ය.
අඟහරුවාදා වන විට රැස්වීමේ වීඩියෝවට නැරඹුම් වාර 2700ක් ලකුනු වී තිබුනේ නිදහස් සෞඛ්‍ය සේවය රැක ගැනීමට කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයකට කෙරුනු කැඳවුමට සහ රැස්වීම තුල මතු කෙරුනු කරුනු සම්බන්ධයෙන් වන පුලුල් උනන්දුව පිලිබිඹු කරමිනි.
නිදහස් සෞඛ්‍ය සේවය රැක ගැනීමේ යෝජනාව
ඔක්තෝබර් විප්ලවයේ ජාත්‍යන්තර බලපෑම සහ ඉන්දීය බෝල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය හා ලංකා සම සමාජ පක්ෂය වැනි මුල් සමාජවාදී ව්‍යාපාරයන්ගේ නායකත්වයෙන් කෙරුනු ඓතිහාසික කම්කරු පන්ති අරගල හරහා දිනා ගන්නා ලද ශ්‍රී ලංකාවේ නිදහස් මහජන සෞඛ්‍ය පද්ධතිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද කප්පාදු හරහා පුද්ගලීකරනයේ තියුනු ප්‍රහාරයකට මුහුන දී ඇති බව සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව පෙන්වා දෙයි.
ජනතා විමුක්ති පෙරමුන / ජාතික ජන බලවේග ආන්ඩුව විසින් දැන් සිදු කරමින් ඇති සියලු ම පුද්ගලීකරන කටයුතු වහාම නතර කිරීම, රාජ්‍ය අරමුදල් සම්පූර්නයෙන් සෞඛ්‍ය සේවය සඳහා ප්‍රතිස්ථාපනය කිරීම, කාර්ය මන්ඩල පුරප්පාඩු සඳහා හදිසි බඳවා ගැනීම්, උද්ධමනයට අනුව සකස් කරන වැටුප් ක්‍රමයක් සහ අත්‍යවශ්‍ය ඖෂධ සහ රසායනාගාර පරීක්ෂාවන් ඇතුලු සියලු සේවා නොමිලේ රෝගීන්ට ලබා දීම සඳහා අපි සටන් වදිමු.
මේ සඳහා, සමාජ සම්පත්, නිදහස් අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා සඳහා යෙදවිය හැකි වන පරිදි වැඩ කරන ජනයා වග නොකියන විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කිරීමේ සහ බැංකු, ප්‍රධාන කොපරේට් සමාගම් ආදිය ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පාලනය යටතට ගැනීමේ අවශ්‍යතාව අපි අවධාරනය කරමු.
මෙලෙස නිදහස් මහජන සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීම සඳහා වන සටන ජවිපෙ/ජාජබ ආන්ඩුව ක්‍රියාවට දමන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව කම්කරු පන්තියේ සෙසු කොටස් සමග ඒ්කාබද්ධ ව ගෙන යන අරගලයක් හා බද්ධ වී ඇති බව අපි කියා සිටිමු.
ඒ් සදහා ධනේශ්වර පක්ෂවලින් දේශපාලන ස්වාධීනත්වය සහ සමාජ අවශ්‍යතා ලාභයට වඩා ඉහලින් තබන සමාජවාදී වැඩසටහනක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව අවධාරනය කරයි. වෘත්තීය සමිති නිලධරයන්ගේ පාවාදීම හඳුනා ගනිමින්, වැඩවර්ජන, උද්ඝෝෂන, මහජන රැස්වීම්, පිකට් ආදී පන්ති සටන් ස්වාධීන කම්කරු පන්ති සටන් ලෙස සංවිධානය කිරීම එම වැඩ පිලිවෙල ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වේ.
එම ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යාම හා සම්බන්ධීකරනය කිරීම සඳහා ජාතික ව හා ජාත්‍යන්තර ව ජාලගත කරන ක්‍රියාකාරී කමිටු සෑම රෝහලක ම සහ සායනයක ම වහා ම පිහිටුවන ලෙස අපි ඉල්ලා සිටිමු. ඒ සඳහා සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව පූර්න සහය ලබා දීමට සපථ වෙයි.
***
රැස්වීමේ කතිකයෝ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කම්කරුවන්ගේ අරගලය සෞඛ්‍ය ආරක්ෂාව පෞද්ගලික ලාභයට යට කිරීම හේතුවෙන් සිදු ව ඇති මහජන සෞඛ්‍ය සේවයේ විනාශයට එරෙහි ව ගෝලීය ව පැන නැගී ඇති සෞඛ්‍ය සේවකයන්ගේ විරෝධයක ඓන්ද්‍රීය කොටසක් බව පෙන්වා දුන්හ. සෑම රටක ම සෞඛ්‍ය සේවකයන් භයානක වැඩ කොන්දේසිවලට ගොදුරු ව සිටින බව පෙන්වා දුන්හ.
මහජන සෞඛ්‍ය සේවය සහ කෝවිඩ් වසංගතය තවදුරටත් පවතිද්දී ම එන්නත්කරනය ගැන මහජන විශ්වාසය බිඳීමට ගොඩ වෙදකම් ප්‍රවර්ධනය කරන ට්‍රම්ප් පරිපාලනය යටතේ විශේෂයෙන් ඇමරිකාව තුල මහජන සෞඛ්‍යයට එරෙහි ප්‍රහාරය ප්‍රතිගාමී මුහුනුවරක් ගෙන ඇත. මේ තතු තුල ඇමරිකාව තුල තුරන් කර තිබූ සරම්ප රෝගය වඩාත් භයානක මුහුනුවරකින් යලි මතු වී ඇත.
මේ කොන්දේසි නිව්යෝර්ක් නගරයේ හෙදියන් 15 000ක් දෙනා සහ කැලිෆෝනියාවේ සහ හවායි හි කයිසර් පර්මනන්ටේ හි 35 000ක් සෞඛ්‍ය සේවකයන් වැඩ වර්ජනවලට යොමු කර ඇත.
ඇමරිකාවේ වැඩවර්ජිත සෞඛ්‍ය කම්කරුවන්ට පූර්න සහය පල කරන යෝජනාව
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව, වැඩ වර්ජනවලට අවතීර්න වී සිටින නිව්යෝර්ක් ප්‍රෙස්බිටේරියන් රෝහලේ, කැලිපෝනියාවේ කයිසර් පර්මෙන්ටේ ආයතනයේ සහ එක්සත් ජනපදයේ සෙසු ප්‍රදේශවල හෙදියන්, ඔෂධවේදීන්, රසායනාගාර ශිල්පීන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයින් සමඟ සිය පූර්න සහයෝගීතාව ප්‍රකාශ කර සිටී. මෙම වැඩවර්ජන කලක් තිස්සේ පවතින කාර්ය මන්ඩල හිඟයට, සෞඛ්‍ය ආරක්ෂාව බිඳවැටීමේ තත්වයන්ට සහ රෝගී සත්කාරයට වඩා ලාභයට ප්‍රමුඛතාවය දීමට එරෙහි ව කරන සටන් වන අතර සියලු ම සෞඛ්‍ය සේවකයින් සහ පුලුල් කම්කරු පන්තිය එක්සත් ජනපද සෙෘඛ්‍ය සේවකයන්ගේ එම අරගල ආරක්ෂා කල යුතුය.
හෙදියන් ඇතුලු සෞඛ්‍ය සේවකයින්ගේ ඉල්ලීම් පාවා දෙන ගිවිසුම් පැනවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් නිව්යෝර්ක් ප්‍රාන්ත හෙද සංගමයේ නායකත්වය අපි හෙලා දකිමු. සටනේ සිටින සෞඛ්‍ය සේවකයින්ගේ පිකට් වැටවල් බිඳීමට එරෙහි වෙමින් වැඩ වර්ජන පුලුල් කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා අන්‍යෝන්‍ය වශයෙන් සහාය දක්වන ක්‍රියාමාර්ග, එනම් පිකට්, උද්ඝෝෂන, පෙලපාලි හා ඒකාබද්ධ මහජන රැස්වීම් බලමුලු ගැන්විය යුතු ය.
ඒ් සඳහා නිව්යෝර්ක් සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව සමඟ පූර්න සහයෝගීතාව ප්‍රකාශ කරන ලංකාවේ සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සෞඛ්‍ය සේවකයින්ගෙන් හා අනෙකුත් සේවකයින්ගෙන් ඉල්ලා සිටින්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව නායකත්වය දෙන ජාත්‍යන්තර කම්කරු සන්ධානය සමඟ ඒ්කාබද්ධ වීමට සිය වැඩපලවල ස්වාධීන සේවක ක්‍රියාකාරී කමිටු තනා ගැනීමට වහ වහා ඉදිරියට එන ලෙසයි.
***
සමිති නිලධරයේ ද්‍රෝහීත්වය ගැන යෝජනාව කල අනතුරු ඇඟවීම් පෙරදක්නා සුලු විය. පෙබරවාරි 21 වැනි දා, නිව්යෝර්ක් ප්‍රාන්ත හෙද සංගමය නිව්යෝර්ක් ප්‍රෙස්බිටීරියන් හෙදියන්ගේ වර්ජනය නවතා දමමින් ගිවිසුමකට එකඟ විය. දින දෙකකට පසු කැලිෆෝනියාවේ එක්සත් හෙද සංගමය/සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ සංගමය 31 000ක් වන කයිසර් පර්මනන්ටේ සේවකයන්ගේ සති 4ක වර්ජනය ගිවිසුමක් සහතික කර ගැනීමෙන් තොර ව ම එක පාර ම නවතා දැමී ය.
මේ පාවා දීම් පෙන්වා දෙන්නේ සෑම රටක ම ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව කල කැඳවුමේ වැදගත්කමයි. වෛද්‍යවරුන්, හෙදියන් සහ සෙසු සෞඛ්‍ය සේවකයන් ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය යටතේ තම අරගල ජාතික සීමා ඉක්මවමින් ඒකාබද්ධ කල යුතු ය.
