ආන්ඩුවට එරෙහි ව වර්ධනය වන මහජන විරෝධය උගුලකට කොටු කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සම්මේලනයක් පවත්වයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) හෙට (මාර්තු 1) එහි සිව්වන පක්ෂ සම්මේලනය පවත්වන බව නිවේදනය කර ඇත. සමුලුවේ තේමාව “පන්තියට බලය, බලයට පක්ෂය” යන්නයි. පසුගිය සති කිහිපය තුල, පක්ෂය තම සම්මේලනය කැඳවන බව ජනතාවට දැනුම් දීම සඳහා, රැස්වීම් සහ පිකට් ඇතුලු විවිධ ක්‍රියා පැවැත්වූයේ ය.

පෙසප ප්‍රධාන ලේකම් කුමාර් ගුනරත්න තම පක්ෂ සම්මෙලනය දැනුම් දෙමින් මාධ්‍ය හමුවක් පවත්වමින්

පෙසප ප්‍රධාන ලේකම් කුමාර් ගුනරත්නම් විසින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශවලින් හෙලි වන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජාබ) ආන්ඩුවට එරෙහි ව කම්කරුවන්, දුප්පතුන් සහ තරුනයින් අතර වැඩෙන විරෝධය පිලිබඳව පක්ෂය කනස්සල්ලට පත් ව සිටින බවයි. දිසානායක ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) කප්පාදු න්‍යාය පත්‍රය මුර්ග ලෙස ක්‍රියාත්මක කරන අතර ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මර්දනය කරන බැවින් කම්කරුවන්, දුප්පතුන් සහ සිසුන් අතර කෝපය වර්ධනය වෙමින් පවතී.

2012 දී, කුමාර් ගුනරත්නම්ගේ නායකත්වයෙන් යුත් කන්ඩායමක් විසින් ව්‍යාජ වාම පෙසප පිහිටුවන ලද්දේ ඊට පෙර වසරේ ජවිපෙන් වෙන් වූ කන්ඩායමකිනි. මෙම කන්ඩායම ජවිපෙන් කැඩී ගොස් නව පක්ෂයක් පිහිටුවා ගත්ත ද, එහි වසර 14ක වාර්තාව තහවුරු කරන්නේ පෙසප, ජවිපෙ වර්ගවාදී සහ ධනේශ්වර ගැති දේශපාලනයෙන් මූලික වශයෙන් බිඳී නොමැති බවයි. එහි වාමාංශික වාචාල කතා සහ විරෝධතා කැඳවීම් හුදෙක් එහි ධනේශ්වර ගැති ප්‍රතිපත්ති වසන් කිරීමට යොදා ගෙන ඇත.

ගැඹුරු වන ගෝලීය අර්බුදය, ලෝක යුද්ධයේ තර්ජනය සහ ශ්‍රී ලංකාවේ නරක අතට හැරෙන අර්බුදය හේතුවෙන් එලඹෙන සම්මේලනය “විශේෂ” එකක් බව ගුනරත්නම් ප්‍රකාශ කලේ ය.

ශ්‍රී ලංකාවේ තත්වය ඔහු තවදුරටත් පැහැදිලි කලේ ය: වසර 74ක “ශාපය” අවසන් කරන බව පවසමින් එන්පීපී බලයට පත් විය. දැන් ජනතාව එහි පාලනයේ වසර එක හමාරකට ආසන්න කාලයක් අත්විඳ ඇත. 1977 සිට, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ මෙම පක්ෂ විසින් මෙහෙයවන ලද විවිධ සන්ධාන රට පාලනය කර ඇති අතර, ඒවා නව ලිබරල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර තිබේ.

“අපව පාලනය කලේ චෞර වලල්ලක්” බව ජනතාව කියා සිටි බව පෙසප ලේකම් පැවසී ය. ජවිපෙ/ජාජබ බලයට පත් වූ විට, ජනතාව සිතුවේ: “උන් අප පාලනය කලා දැන්, අපේ අය පාලනය කරන කාලයක්” උදා වූවා යනුවෙන් යැයි ඔහු පැවසී ය.

කෙසේ වෙතත්, ගුනරත්නම් ජනතාවගේ බලාපොරොත්තු බිඳ වැටී ඇතැයි, කනිපින්දම් කීවේ ය. ක්‍රියාත්මක වෙන්නේ කලින් පක්ෂවල පැරනි වැඩපිලිවෙලයි, ජවිපෙ ධනේශ්වර පක්ෂයක් බවට පත්වෙමින් තිබේ. ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරන සහ ආයෝජකයින් ආරක්ෂා කිරීම සඳහා නීති ගෙන ඒමේ රජයේ පනත් කෙටුම්පත ගැන ද ඔහු සඳහන් කලේ ය.

“ජනතාව ව්‍යාකූල වෙලා,” පරාජිත බලවේග නැවත බලයට පැමිනීමට උත්සාහ කරන බවත්, සියලු දේශපාලන කන්ඩායම් එක ම ප්‍රවාහයක ගලා යන බවත් පැවසූ පෙසප නායකයා කියා සිටියේ, “උඩුගම් බලා පිහිනීමක් අවශ්‍යයි” යනුවෙනි. ඔහු “කලකිරුනු” ජවිපෙ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේ: “අපි එක්ක එකතු වෙන්න. ඔබ මෙම පක්ෂය (ජවිපෙ) ගොඩනැගීමට කැපකිරීම් කලා” සහ එහි වැඩපිලිවෙල සඳහා සටන් කරන්න. 

ජවිපෙ තුල ශත වර්ෂ කාර්තුවක් සහ පෙසප තුල වසර 12 ක් ගත කර ඇති පුද්ගලයෙකු වන ගුනරත්නම්, කම්කරුවන් සහ තරුනයින් අමතක වීමේ රෝගයෙන් පෙලෙන බවත් ඔහුට කැමති පරිදි සත්‍යය විකෘති කල හැකි බවත් සිතන බව පෙනේ. ජවිපෙ/ජාජබ ආන්ඩුව පිලිබඳ මිථ්‍යාවන් පතුරුවන ප්‍රධාන ම සංවිධානය පෙසප සහ ගුනරත්නම් ය.

පෙසප, ජවිපෙ නායකයාගේ ජයග්‍රහනය ඔජ වඩයි 

2024 සැප්තැම්බර් 21 වන දින, ජනාධිපතිවරනයෙන් දින තුනකට පසු, දිසානායකගේ ජයග්‍රහනය ගැන ප්‍රීතියෙන් පිනා ගොස් සිටි ගුනරත්නම් මාධ්‍ය හමුවක් පවත්වමින් මෙසේ පැවසී ය: “[2022 මහජන අරගලයේ] එම අපේක්ෂාවන් මෙම මැතිවරනයේ ප්‍රතිඵල හරහා එලියට පැමින තිබේ.”

පෙසපට තමන් සමග එක් ව වැඩ කිරීමට ජනාධිපතිවරයා ආරාධනා කලොත් ඊට ප්‍රතිචාර දක්වනවා දැයි මාධ්‍යවේදියෙකු විමසූ විට, තම පක්ෂය එය සලකා බලන බව ගුනරත්නම් පිලිතුරු දුන්නේ ය.

පසුගිය වසරේ නොවැම්බර් 7 වන දින යූ ටියුබ් නාලිකාවක කතා කරමින් පෙසප නායකයා මෙසේ ප්‍රකාශ කලේ ය: “මෙය ජනතාවගේ රජයක්... අපි පැරනි දූෂිත දේශපාලනඥයන්ට නැවත ඉඩ නොදිය යුතුයි.”

පෙසප, විවිධ දේශපාලන පක්ෂ සහ මාධ්‍ය කන්ඩායම් සමඟ එකට, මෙම ජවිපෙ/ජාජබ සන්ධානය මහා ව්‍යාපාරිකයන්ගේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කරනු ඇති බව  වසන් කිරීමට හිතාමතා ම උත්සාහයක් දරමින් ජවිපෙ/ජාජබ බලයට පත්වීම වර්නනා කලේ ය.

පෙසපට විපරීත ව, සමාජවාදී සමානතා පක්ෂය (සසප), එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය (wsws.org) ජවිපෙ දක්ෂිනාංශික පරිනාමය නිරන්තරයෙන් පැහැදිලි කර ඇත. මැතිවරන ජයග්‍රහනයෙන් පසු දින අපි මෙසේ ලිව්වෙමු:

“දූෂනය සහ පාලක ප්‍රභූන්ගේ වරප්‍රසාද තුරන් කිරීම හරහා ආර්ථිකය යලි ගොඩනැංවීම සහ මහජනයාගේ ජීවන තත්වය නඟා සිටුවීමේ දිසානායකගේ පොරොන්දු පදනම් වී ඇත්තේ බොරුවක් මත ය. ජවිපෙ/ජාජබ අවධාරනය කර ඇත්තේ, ඩොලර් බිලියන 3 ක ඇප නයක් සඳහා ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය පටවන බව යි; එහි අර්ථය වනු ඇත්තේ, රජය සතු ව්‍යවසායන් කුනු කොල්ලයට විකිනීම, රාජ්‍ය අංශයේ රැකියා මිලියන භාගයක් විනාශ කිරීම, සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි අත්‍යාවශ්‍ය සේවාවන්ට ප්‍රහාර, සහ මිල සහනාධාර ඉවත් කිරීම නිසා උද්ධමනය දිගට ම පැවතීම යි.”

පෙබරවාරි 16 වන දින පැවති පුවත්පත් සාකච්ඡාවේ දී, පෙසප නායකයා මෙසේ පැවසීය: “අපි ඉදිරි වසරවල දී මෙම පක්ෂය ගොඩනඟමු. එහි වැඩසටහන ‘නව වාමවාදි වැඩපිලිවෙලක්’.”

පක්ෂයේ වැඩපිලිවෙල ඔහු විස්තාරනය කලේ නැත. එය වාම වැඩසටහනක්, නමුත් සමාජවාදී එකක් නොවන බවට ඔහු සහතික විය. ගුනරත්නම් මෙසේ පැවසී ය: සමාජවාදී වැඩපිලිවෙලට ඉදිරියට යන. නමුත් අපගේ සමාජවාදී වැඩපිලිවෙල සෝවියට් සංගමයේ තිබූ ආකාරයට නොවෙයි; එය 21 වන සියවසට සුදුසු ආකාරයක එකක්. කෙසේ වෙතත්, ඊට පෙර ඉටු කිරීමට අපට හදිසි වැඩපිලිවෙලක් ඉටුකරන්න තිබෙනවා.”

කාල් මාක්ස් හා එංගල්ස් විසින් ඉදිරිපත් කරන ලද, 1917 ඔක්තෝබර් විප්ලවයේ දී ලෙනින් සහ ට්‍රොට්ස්කි නායකත්වය දුන් බොල්ෂෙවික් පක්ෂය විසින් ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ධනවාදය පෙරලා දමා ක්‍රියාත්මක කරන ලද,  විද්‍යාත්මක සමාජවාදී වැඩසටහන සඳහා සටන් කිරීමට පෙසප විරුද්ධ වේ. 

ගුනරත්නම් පක්ෂයේ “හදිසි වැඩපිලිවෙලට” ඇතුලත් වන්නේ කුමක්දැයි පැහැදිලි නොකල ද, එය බලයේ සිටින ධනේශ්වර ආන්ඩුවලින් ප්‍රතිසංස්කරන ඉල්ලා සිටින “නව වාම වැඩසටහනකි.” පෙසප, සිංහල දේශප්‍රේමය සමග කලතා ගත් මාඕවාදය හා ස්ටලින්වාදය සමග එකට යන විප්ලවයේ අදියර දෙකක න්‍යාය මත පදනම් වූ ජවිපෙ උරුමය ඉදිරියට ගෙන යයි - පලමු ව අධිරාජ්‍යවාදයට එරෙහි ව සටන් කිරීමට ධනේශ්වරය සමඟ එක්වීම, නියත ලෙස ම, සමාජවාදය අවිනිශ්චිත අනාගතයකට ඇද දැමීම එම ස්ටැලින්වාදී අවධි දෙකයි.

“ජේවීපීයත් වෙනසක් ඇතිකරන බව ද කියා සිටියා, නමුත් එය බලයට පැමින ක්‍රියාකරන්නෙ වෙනස් විධියට. සමානාත්මතාවය සහ සාධාරනත්වය සඳහා වන ඔබේ ප්‍රකාශ අපට විශ්වාස කල හැක්කේ කෙසේද?”

 මහජනයා එවැනි ප්‍රශ්න මතු කරන්නේ නම්, බොහෝවිට පසුගිය වසර 14 තුල මෙම පක්ෂයේ වාර්තාව සහ ජවිපෙ තුල එහි පෙර භූමිකාව සැලකිල්ලට ගෙන  මතු කරන සාධාරන ප්‍රශ්නයන් ය. ජවිපෙ තුල, ඔවුන් වර්ගවාදී යුද්ධයට මුලු හදින් ම සහාය දැක්වූහ. 1988 සහ 1990 අතර කාලය තුල, ජවිපෙ දේශපාලන විරුද්ධවාදීන්, වෘත්තීය සමිති නායකයින් සහ කම්කරුවන් මරා දමමින් ජවිපෙ ෆැසිස්ට් ප්‍රහාර දියත් කල විට, ඔවුහු එම සංවිධානයේ කොටස්  ලෙස ක්‍රියාකලහ. සිංහල ස්වෝත්තමවාදී පදනමක් මත ජවිපෙ ඉන්දීය විරෝධී ව්‍යාපාරයක් ද දියත් කලේ ය. ඒ අවස්ථාවේ දී, ජවිපෙ නායකයකු වූ සමන් පියසිරි නැමැත්තා රජෙකු ලෙස පෙන්වා දීමට ඔහුගේ නම කීර්ති විජයබාහු ලෙස වෙනස් කල අතර, ගුනරත්නම් පෙනී සිටියේ “ගැමුනු” නමින් ය!

2009 අප්‍රේල් 5, සන්ඩේ ටයිම්ස් පුවත්පතට දුන් සම්මුඛ සාකච්චාවක දී දුමින්ද නාගමුව මෙසේ කීවේ ය: “මහජනයා යුද්ධය ගැන හිතලා ම චන්දය දෙනවා නම් ඔවුන් චන්දය දෙන්න ඕන ජවිපෙට.  මන්ද? ජනතා විමුක්ති පෙරමුනයි තමයි, එක දිගට විරෝධතා පවත්වමින් ආන්ඩුවට බලපෑම් දමමින් එල්ටීටීඊ පරාජය කරන්න මාවත පෙන්වා දුන්නේ.” 

පසුගිය වසර ගනනාවේ මේ පක්ෂය ආන්ඩුවලට සහ ධනපති කොම්පැනි වලට බලපෑම් දමා මුලික අයිතීන් ලබා ගත හැකිය යන මිථ්‍යා වංකගිරියක කම්කරුවන් සිරකරමින්, ධනපති පක්ෂ සමග පෙරමුනු සඳහා මානබැලූ වාර අනන්ත ය. 

“මහජන සභා” උගුල 

පක්ෂයේ විශ්වසනීයත්වය පිලිබඳ ප්‍රශ්නයට පිලිතුරු දෙමින් ගුනරත්නම් කියා සිටියේ පක්ෂයට විසඳුමක් ඇති බවයි: “අපි ඔබේ සක්‍රීය මැදිහත්වීම ඉල්ලා සිටිමු. මෙම ගැටලු පෙසපට පමනක් තනියම විසඳිය හැකි බව අපි නොකියමු. අපි ජනතා බල ව්‍යුහයක් ගොඩනැගීම ඉල්ලා සිටිමු. සෑම දිස්ත්‍රික්කයක ම ‘මහජන සභා’ ගොඩනැගීමට, සතිපතා රැස්වීම් පවත්වා තීරන ගැනීමට අපි ඉල්ලා සිටිමු.”

මෙම “සක්‍රීය මැදිහත්වීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? පක්ෂයක් මැතිවරනයකින් ආන්ඩු බලය ගතහොත්, යම් යම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහ සහන ලබා දීමට ජනතාව “පිටතින්” බලයේ සිටින අයට බලපෑම් කිරීමට මහජන සභා තුලින් අපේක්ෂා කෙරේ. පෙසප ආන්ඩු බලය ලබා ගන්නේ නම්, එය කුමක් කරනු ඇත්ද යන්න තවමත් පැහැදිලි නැත. මේ අනුව, සතිපතා රැස්වීම් පවත්වන කවුන්සිල හරහා “ජනතාව”, පෙසප තන්ත්‍රයකට බලපෑම් කරනු ඇතැයි කියනු ලැබේ. මෙම කවුන්සිල විවිධ සමාජ ස්ථර එක්රැස් වන ව්‍යුහයන් වනු ඇති අතර, අවසානයේ ධනේශ්වර පාර්ලිමේන්තු රාමුවට බැඳී ඇත. 

මෙවර සමුලුවේ තේමාව “පන්තියට බලය! බලයට පක්ෂය!” යන්නයි. පෙසප කතා කරනේ කුමන පන්තියක බලයක් ගැන ද? කම්කරු පන්තිය ගැන නම් නොවේ; කම්කරුවන්, සුලු ධනපති කන්ඩායම්  හා ඔවුන්ට අනුව ප්‍රගතිශීලි යයි කියා ගන්නා සෑම කන්ඩායමකට ම ඔවුන්ගේ මහජන සභාවල දොරහැර තිබේ,  “පන්තිය” යන වහන්තරාවෙන් වසා ඇත්තේ මේ සියලු කොටස්වල එකතුවකට ය. “බලයට” පක්ෂය -- පෙසප ක්‍රියාත්මක වන්නේ කුමන පන්තියක බලය සඳහා ද යන්න කලින් පෙන්වා දුනිමු. 

මෙම උගුලට සපුරා ම ප්‍රතිවිරුද්ධ ලෙස, සසප, ජාමුඅ කප්පාදුවට එරෙහි සටනේ දී කම්කරු පන්තිය සෑම සේවා ස්ථානයක ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනඟා, සේවා ස්ථාන හරහා ඒවා සම්බන්ධීකරනය කර, අරගලයට කම්කරුවන් බලමුලු ගන්වන ලෙස ඉල්ලා සිටියි. වෘත්තීය සමිති නිලධාරීන්ට, ධනේශ්වර පක්ෂ නියෝජිතයින්ට හෝ ඔවුන්ගේ හෙන්චයියන්ට මෙම කමිටුවල දොර විවෘත නොකල යුතු ය. කම්කරුවන් සිය ක්‍රියාකාරී කමිටු ජාත්‍යන්තර  කම්කරු ක්‍රියාකාරී කමිටුවල සන්ධානය සමග එක්සත් කල යුතු ය. සෑම රටක ම කම්කරුවන් මුහුන දෙන්නේ, රටවල් සිසාරා යන සංගතවල හා ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ ප්‍රහාරයට, ඒකාධිපති සුදානම් කිරීම්වලට, සහ ලෝක යුද තර්ජනයට ය.  

කම්කරු පන්තිය, ධනපති පන්තියේ සහ එහි ආධාරකරුවන ව්‍යාජ වාම පෙසප සහ වෘත්තීය සමිති ඇතුලු සියලු කොටස්වලින් බිඳී, තම ස්වාධීන කාර්මික හා දේශපාලන ශක්තිය බලමුලු ගැන්වීමට කටයුතු කල යුතු ය. 

කම්කරු පන්ති අරගලය සමඟ එක්සත් වී තම සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස සසප ග්‍රාමීය ජනතාවගෙන් ඉල්ලා තිබේ.

මෙම ක්‍රියාකාරී කමිටු මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීම සඳහා වැඩපිලිවෙලක් සසප ඉදිරිපත් කරයි. මෙය කම්කරු පන්තියට ධනවාදය පෙරලා දැමීමට සහ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීම සඳහා අරගලයකට ග්‍රාමීය ජනතාව සහ පීඩිතයන් පෙලගැස්වීමට හැකියාව ලබා දෙනු ඇත.

ව්‍යාජ අධිරාජ්‍ය විරෝධය 

මාර්තු 1 වන දින කොන්ග්‍රසය “අධිරාජ්‍ය විරෝධී සමුලුවක් වනු ඇති” යැයි ගුනරත්නම් පැවසී ය. “ඇමරිකාව වියරුවට පත් වී යුද්ධයට සූදානම් වෙමින් සිටී...” ඔහු නේටෝව යුක්රේනය තුලින් රුසියාව එරෙහි ව ගෙන යන යුද්ධය, ගාසා තීරයේ පලස්තීනුවන් යුද්ධයෙන් තලා දැමීම සහ ඉරානයට එරෙහි යුද්ධයට සූදානම් වීම උපුටා දක්වමින්, අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයකට ජාත්‍යන්තර සහයෝගය අවශ්‍ය බව තර්ක කලේය.

යුරෝපයේ, ඉන්දියාවේ සහ නේපාලයේ සමාන අදහස් ඇති වාම බලවේගවල සහයෝගය පක්ෂයට ඇති බවත්, ඒවායේ නියෝජිතයින් සම්මේලනයට සහභාගී වනු ඇති බවත් ගුනරත්නම් පැවසීය.

මේ, සමාන අදහස් ඇති ජාත්‍යන්තර “වාම” බලවේග කවුද? පසුගිය වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල දී, ගුනරත්නම් එවැනි සංවිධාන හමුවීම සඳහා “සටන්කාමි යුරෝපය සමඟ ඉදිරියට” යන තේමාව යටතේ යුරෝපයේ සංචාරය කලේ ය.

ප්‍රංශයේ දී, පෙසප නායකයා ස්ටැන් මිලර් සහ තියෝ ඇතුලු නව ධනවාදී විරෝධී පක්ෂයේ (එන්පීඒ) විධායක කමිටු සාමාජිකයින් හමුවිය. පෙසප හි ෆේස්බුක් පිටුවේ එන්පීඒ ග්‍රීසියේ, ඇමරිකා එක්සත් ජනපදයේ සහ ස්පාඤ්ඤයේ ක්‍රියාකාරී බව සඳහන් විය.

පැරිසියේ දී එන්පීඒ නායකයන් සමග සාකච්ඡා පවත්වන කුමාර් ගුනරත්නම්

එන්පීඒ යනු බොහෝ කලකට පෙර ට්‍රොට්ස්කිවාදයෙන් බිඳී ගිය පැබ්ලෝවාදී පක්ෂයකි. එය ආරම්භයේ සිට ම රුසියාවට එරෙහි ව යුක්රේනයේ නේටෝ නායකත්වයෙන් යුත් යුද්ධයට සහාය විය. 2024 දී ප්‍රංශයේ දී, එන්පීඒ, ලා ෆ්‍රාන්ස් ඉන්සූමිස් සහ මහා ව්‍යාපාරික සමාජවාදී පක්ෂය (පීඑස්) විසින් මෙහෙයවන ලද නව මහජන පෙරමුනේ (එන්පීඑෆ්) අනෙකුත් ව්‍යාජ-වාම, යුද ගැති කන්ඩායම් සමඟ එක් විය. ගුනරත්නම් ඒ සමාන වාර්තාවක් ඇති කම්කරු පක්ෂයේ (පීටී) නායක ඩැනියෙල් ග්ලක්ස්ටයින් ද ප්‍රන්සයේ දී හමුවිය.

ඔහු තම සංචාරය අතරතුර ජර්මනියේ මාක්ස්වාදී-ලෙනින්වාදී පක්ෂය (එම්එල්පීඩී) සමඟ නමැති මාඕවාදී කන්ඩායම සමග සාකච්ඡා පැවැත්වීය.ඉන්දියාවේ, පෙසප, ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී-ලෙනින්වාදී) නම් වූ මාඕවාදීන් සමඟ සම්බන්ධතා පවත්වන අතර, නේපාලයේ දී ද එය මාඕවාදී භේදකාරී කන්ඩායම් සමඟ සබඳතා පවත්වාගෙන යයි. 

සමහර විට, මෙම සියලු අධිරාජ්‍යවාදී ගැති සහ ධනවාදී ගැති කන්ඩායම් යුක්තිය ඉල්ලා සිටින අතර ම අධිරාජ්‍යවාදී ආක්‍රමන පිලිබඳ සංකේතාත්මක විවේචන ඉදිරිපත් කරමින් ප්‍රකාශ නිකුත් කරති. පෙසප සහ එහි “සමාන අදහස් ඇති” ව්‍යාජ-වාම සහචරයින්ගේ කාර්යභාරය වන්නේ අධිරාජ්‍යවාදයට එරෙහි කම්කරුවන්ගේ සැබෑ අරගලයකට ඉඩනොදී ඔවුන් පීලි පැන්වීමයි.

ගෝලීය ආධිපත්‍යයට ධාවනයේ යෙදෙන එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදී බලවතුන්, මෙම පෘථිවි තලය ලෝක යුද්ධයක් කරා වේගයෙන් තල්ලු කරමින් සිටී. එන්පීඒ වැනි යුද ගැති පක්ෂවලට සහාය දීමෙන් හෝ යුක්තිය සඳහා අධිරාජ්‍යවාදයට ආයාචනා කිරීමෙන් මෙය නැවැත්විය නොහැක. ධනවාදී පාලන තන්ත්‍රයන් ගැඹුරු වන අර්බුදයේ බර වැඩ කරන ජනතාව මත පටවමින් සිටී.

විනාශකාරී යුද්ධයක් නැවැත්වීමට හැකියාව ඇති එක ම බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තියයි. සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා වන කම්කරු පන්ති අරගල යුද්ධයට එරෙහි අරගලයට සම්බන්ධ කල යුතු ය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි සමාජවාදී සමානතා පක්ෂ ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයේ හොඳම සම්ප්‍රදායන් මත පදනම් ව මෙම වැඩසටහන සඳහා සටන් කරයි.

ව්‍යාජ-වාම සහ අනෙකුත් අවස්ථාවාදී කන්ඩායම් සමඟ එක්වීම, ජාත්‍යන්තරවාදය නොවේ. එය ඒ ඒ රටවල ඔවුන්ගේ ද්‍රෝහී භූමිකාව ආවරනය කරගනිමින් සිය ද්‍රෝහී භුමිකාව් රඟ දැක්වීමේ ප්‍රයත්නයකි. 

2022 මහජන නැගිටීම සහ පෙසප 

ශ්‍රී ලංකාවේ අප්‍රේල්-ජූලි මහජන නැගිටීම පෙසප සහ ඒ හා සමාන ව්‍යාජ-වාම කන්ඩායම් වල ක්‍රියාකලාපය උරගා බැලුනු අරගලයකි . පෙසප වෘත්තීය සමිති නිලධරය සහ ධනේශ්වර පක්ෂ සමඟ එක් වී ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීම සඳහා එහි කාර්යභාරය ඉටු කලේ ය.

එය ඉදිරිපත් කල වැඩ පිලිවෙල කුමක්ද? “[දේශපාලන අර්බුදයට] යථාර්ථවාදී විසඳුම නම්, මැතිවරනයක් “ඉක්මනින් පවත්වන” තුරු “පාර්ලිමේන්තුවෙන් පිටත අරගල කන්ඩායම්” සමඟ වැඩ කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු ම විරුද්ධ පක්ෂ අන්තර්කාලීන පරිපාලනයක් ස්ථාපිත කිරීමයි.”

ජේවීපී/ජාජබ සහ සමගි ජන බලවේගය ද එක්සත් ජාතික පක්ෂය, ශ්‍රීලනිප සහ ශ්‍රීලපොපෙ  ඇතුලු සියලු ම පාර්ලිමේන්තු පක්ෂවල අන්තර්කාලීන පාලනයක් යෝජනා කලහ. පාර්ලිමේන්තුවෙන් පිටත අරගල කන්ඩායම් අතර පෙසප ප්‍රමුඛ වූ අතර එය මෙම අපකීර්තිමත් පක්ෂ සමඟ හවුල්කාරීත්වයක් අපේක්ෂා කලේ ය - ගුනරත්නම් සහ අනෙකුත් පෙසප නායකයෝ දැන් දිනපතා උදේ සිට රෑ වනතුරු රූපවාහිනී කතා සංදර්ශන සහ ප්‍රසිද්ධ රැස්වීම්වල දී මෙම පක්ෂවලට බොරුවට තඩිබාති.

මෙම උපාමාරුවලින් අපකීර්තිමත් පාර්ලිමේන්තුවට ජාමූඅ -ගැති, ඇමරිකානු-ගැති චරිතයක් වන, කිසිදු මහජන සහයෝගයක් නැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස තෝරා පත් කර ගැනීමට ඉඩ සලසා දුන්නේ ය. 

කම්කරුවන්, ග්‍රාමීය දුප්පතුන් සහ තරුනයින් අතර කෝපය වර්ධනය වන විට, ධනේශ්වර පන්තිය ඉදිරිය 2022 මහජන අරගලයේ අවතාරය හොල්මන් කරයි. එම පන්තියේ අවශ්‍යතා වෙනුවෙන් සේවය කරන පෙසප, ධනවාදය ආරක්ෂා කිරීම සඳහා තම කාර්යභාරය ඉටු කිරීමට සූදානම් වෙමින් සිටී. එහි සිව්වන සම්මේලනය තම  ජාත්‍යන්තර සහචරයින් සමඟ එක් ව මෙම උගුල අටවන්නේ කෙසේ ද යන්න සාකච්ඡා කරනු ඇත. මෙම භූමිකාව සංවිධානයේ පන්ති ස්වභාවයෙන් ගලා එයි. සමාන ව්‍යාජ-වාම කන්ඩායම් මෙන් ම පෙසප ද සෑදී ඇත්තේ ධනේශ්වර ක්‍රමය තුල වරප්‍රසාද සොයන ඉහල මධ්‍යම පන්තියේ කොටස් මත ය.

සසප සහ එහි තරුන අංශය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානයෙහි ජාත්‍යන්තර ඉදිරිදර්ශනය සහ ක්‍රියා මාර්ගය  අධ්‍යයනය කරන ලෙස අපි කම්කරුවන්ගෙන් සහ තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු. අප සමග සාකච්ඡාවන්ට එලඹෙන ලෙස ද අද්‍යතන මාක්ස්වාදය, එනම්, ට්‍රොට්ස්කිවාදය මත පදනම් වූ විප්ලවවාදී පක්ෂයක් තහවුරු කිරීමට අප සමග එක්වන ලෙස ද අපි ඉල්ලමු. 

Loading