ව්‍යාජ චෝදනා මත සහෝදර කම්කරුවන් 8 දෙනෙකුගේ සේවය අත්හිටුවීමට එරෙහි ව විරෝධතාවයේ යෙදුනු, මස්කෙලිය අප්කොට් හි ගවරවිල වත්තේ කම්කරුවන්ට විරුද්ධ ව එම වත්තේ පරිපාලනය දඩයමක් දියත් කර ඇත. මෙම වත්ත හොරන වැවිලි සමාගම යටතේ පවතියි.
තම රාජකාරිවලට බාධා කල බවට වතු කලමනාකරු විසින් ගොනු කල පැමිනිල්ලකට අනුව, පෙබරවාරි 23 සහ 24 යන දිනයන්හි දී මස්කෙලිය පොලිසිය කම්කරුවන් 11 දෙනෙකු කැඳවී ය. කෙසේ නමුත් මෙම “බාධා කිරීම” කුමක් දැයි වතු කලමනාකරු පැහැදිලි කර නොමැත.
කම්කරුවෝ මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරති. ඔවුන් කලේ, ප්‍රශ්නයක් පැන නැගුනු විට සාමාන්‍යයෙන් කලමනාකරු මුන ගැසී කතා කරන පරිදි ඔහු මුන ගැසීමට යාමයි. “විරෝධතාවයේ නිරත වුනු කම්කරුවන්ගෙන් පලිගැනීමට කලමනාකරු කටයුතු කරනවා” යැයි එම කම්කරුවෝ පැවසූහ.
පෙබරවාරි 23 වැනි දින පැමිනිල්ල විභාග කරන අවස්ථාවට කලමනාකරු පැමිනියේ නැත. නමුත් කම්කරුවෝ පැමින බලා සිටියහ. පසු දින යලි පැමිනිල්ල කැඳ වූ විට පමා වී පැමිනි ඔහු තමන් කාර්යබහුල යැයි කියමින් කඩිමුඩියේ පිට ව ගියේ ය. කම්කරුවන්ගෙන් කටඋත්තර ලබා ගත් පොලීසිය ඔවුන් පිටත් කර හැරියේ ය.
දෙසැම්බර් 24 වැනි දින සේවය අත්හිටවනු ලැබූ කම්කරුවන්ට එල්ල කෙරෙන චෝදනාව වන්නේ, පිටතින් රැගෙන ආ තාවකාලික කම්කරුවන්ට ඔවුන් බාධා කලේ ය යන්නයි. ඔවුහු මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරති.
සේවය අත්හිටවනු ලැබූ කම්කරුවන් වන්නේ කම්කරු ජාතික සංගමයේ (එන්යූඩබ්) ගවරවිල වතු ශාඛාවේ සම්බන්ධීකාරක එම් සිවකුමාර් සහ සභාපති රවීන්ද්‍රන්, පාලක ජනතා විමුක්ති පෙරමුනේ සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ වතු ශාඛාවේ සභාපති වන එම්.රමේෂ්කුමාර්, ආර්.රාජේන්ද්‍රන්, මරියසන්තනම්, ජේ.කාර්තික්, වී.මදේෂ්පරන් සහ ජේ පරමසිවම් යන අයයි. වතු කලමනාකාරු මස්කෙලිය පොලිසියට කල පැමිනිල්ලේ දී මේ අයට අමතර ව ඒ. එලිස්ටන්, එම්.නරේෂ් කුමාර් සහ වී. විනෝදන් යන අයට ද චෝදනා එල්ල කර ඇත.
සේවය අත්හිටුවීමට එරෙහි ව ගවරවිල වත්තේ 60කට අධික කම්කරුවෝ පෙබරවාරි 5 වැනි දින වැඩවර්ජනයකට එක් වූහ. “ස්ථිර කම්කරුවන් වැඩකරන තැන්වලට සාමාන්‍යයෙන් තාවකාලික කම්කරුවන් යොදවන්නේ නැහැ. නමුත් දෙසැම්බර් 23 වැනි දා අපි තේ දලු නෙලමින් සිටි කොටසේ වැඩට තාවකාලික කම්කරුවන් යොදා තිබුනා. නෙලන තේ දලු කිලෝවකට ඔවුන්ට රුපියල් 60ක් ගෙවනවා. ඔවුන්ට සවස 4 වන තෙක් විවේකයක් නොගෙන නොනවත්වා වැඩ කරන්න බල කර තිබෙන කොන්දේසි යටතේ වැඩි අස්වැන්නක් නෙලන්න සිදු ව තිබෙනවා,” යැයි දඩයමට ලක් වූ කම්කරුවෙක් ලෝසවෛඅ වාර්තාකරුවන්ට පවසා සිටියේ ය.
“වතු කලමනාකාරීත්වය තාවකාලික කම්කරුවන් වැඩි වැඩ කොටසක් කරන බව පවසමින් අපටත් එ ලෙස වැඩ කරන්නට බල කරනවා. අපි මේ කම්කරුවන්ට බාධා කිරීමක් කලේ නෑ. අපි ඔවුන්ට කියා සිටියේ අපටත් බලපෑමක් ඇති කරන ආකාරයෙන් මේ සූරා කෑමේ කොන්දේසිවලට එකඟ ව වැඩ නොකරන ලෙසයි.”
සේවය අත්හිටවනු ලැබූ කම්කරුවන්ට එරෙහි ව අභ්‍යන්තර පරීක්ෂනයක් ජනවාරි 7 වැනි දින සිදු කෙරුනු අතර පරිපාලනය ඔවුන් යලි සේවයේ පිහිටුවීම ප්‍රතික්ෂේප කලේ ය. වැඩවර්ජනය දියත් කෙරුනේ මේ තීරනයට එරෙහි ව යි.
වත්තේ සෙසු කම්කරුවන් බලමුලුගැන්වීම ප්‍රතික්ෂේප කරමින් එන්යූඩබ්, සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සහ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසයේ නායකයෝ (ඩීඩබ්සී) තිදෙනා පරිපාලනයට සහ පොලිසියට වර්ජනය බිඳීමට සහය වූහ.
පෙබරවාරි 8 වැනි දා, හැටන් සහකාර පොලිස් අධිකාරීවරයාගේ කාර්යාලයේ දී හැටන් පොලිසිය භාර නිලධාරියා වන සහකාර පොලිස් අධිකාරී සහ ඩීඩබ්ලිව්සී නායක මනෝ ගෙන්ෂන් සහ එන්යූඩබ් නායක පලනි දිගම්බරම් සහ වතු කලමනාකාරීත්වයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පැවැත් වුනි. මෙහිදී වතු කලමනාකාරීත්වය කම්කරුවන්ට නැවත රැකියා ලබා දීමට පොරොන්දු වූ බව වෘත්තීය සමිති නායකයෝ කියා සිටියහ. මේ පොරොන්දුව මත නායකයෝ කම්කරුවන්ට වර්ජනය නතර කර වැඩට යාමට බල කලහ. කෙසේ නමුත්, පසු දින වතු කලමනාකාරීත්වය පොරොන්දු ප්‍රකාර ව ක්‍රියා කිරීම ප්‍රතික්ෂේප කලේ ය. මෙවිට, කම්කරුවෝ මාරාන්තික උපවාසයක් සමගින් නැවත වැඩවර්ජනය ආරම්භ කලහ.
සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ වතු කම්කරු ක්‍රියාකාරී කමිටුවේ (වකක්‍රික) සාමාජිකයෝ මෙම විරෝධතාවට මැදිහත් වූහ. උපවාසය කම්කරු සටන් ක්‍රියාමාර්ගයක් නොවන බව පෙන්වා දුන් ඔවුහු මෙම වර්ජනය සෙසු වතු කම්කරුවන් සහ අනෙකුත් අංශවල කම්කරුවන් අතරට ව්‍යාප්ත කිරීමට, පිකට් වැට සංවිධානය කිරීමට සහ විරෝධතා පැවැත්වීමට ව්‍යාපාරයක් ඇරඹීමට උද්ඝෝෂනය කරන්නැයි ඉල්ලා සිටියහ.
වෘත්තීය සමිති නායකයෝ, කලමනාකාරීත්වය සහ පොලිසිය සසප/වකක්‍රික මැදිහත් වීම සම්බන්ධයෙන් සැලකිලිමත් විය.
වත්තේ අනෙක් කොටස් තුනේ කම්කරුවන් සහ සෙසු වතුවල කම්කරුවන් අතරට වර්ජනය ව්‍යාප්ත වෙතැයි බියපත් නුවරඑලිය ජාතික ජන බලවේග (ජාජබ) පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කලෛසෙල්වී වතු කලමනාකාරීත්වය හමු වූවා ය. සාකච්ඡාවන්ට අනතුරු ව, ඇය විරෝධතාකාරුවන්ට කියා සිටියේ සියලු ම කම්කරුවන් යලි සේවයේ පිහිටුවීමට නිලධාරීන් එකඟ වූ බවයි. විරෝධතාවය අවසන් කල කම්කරුවෝ නැවත වැඩට ගියහ. කලමනාකාරීත්වය කම්කරුවන් හය දෙනෙකුට පමනක් නැවත රැකියාව ලබා දුන්න ද, එන්යූඩබ් ශාඛා නායකයන් වන සිවකුමාර්ට සහ රවීන්ද්‍රන්ට රැකියා ලබා දීම ප්‍රතික්ෂේප කලේ ය.
ගවරවිල වතු කලමනාකාරීත්වය ස්ථිර කම්කරුවන් සමග අනියම් කම්කරුවන් එකට වැඩට යෙදවීම ඔවුන් අතර ගැටුමක් නිර්මානය කිරීමට ගනන් බලා සිදු කල ප්‍රකෝපකාරී ක්‍රියාවකි.
ස්ථිර කම්කරුවන්ට වැඩි අස්වැන්නක් නෙලා ගැනීමට අනියම් කම්කරුවන් මෙන් කඹුරන්නට යැයි සිදු කෙරෙන බලපෑම් පෙන්නුම් කරන්නේ ප්‍රාදේශීය වතු සමාගම් වතුවල රුදුරු සූරා කෑම නව වටයකින් තීව්‍ර කීරීමට කැස කවමින් සිටින බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුව සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් ජනවාරි මස අග දී අවබෝධතා ගිවිසුමක් අස්සන් කලේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වර්ධනයක් - රුපියල් 1350 සිට 1750 දක්වා - නිවේදනය කරමිනි. මෙම රුපියල් 400 වැටුප් වැඩිවීම සමන්විත වන්නේ පැමිනීමේ දීමනා වශයෙන් ආන්ඩුවෙන් රුපියල් 200කුත් ඉතිරි රුපියල් 200 සමාගමේ දායකත්වයෙනුත් ය.
මෙම අවබෝධතා ගිවිසුම අස්සන් කලේ කම්කරුවන්ට හොර රහසේ ය. රාජ්‍ය ආයතනවල ම තක්සේරු කර ඇති කම්කරුවෙකුගේ පවුලකට අවැසි අවම වැටුප ආන්ඩුව නොතකා හැර ඇත. මෙම සොච්චම් වැඩි කිරීමේ මූලික අරමුන වූයේ දරා ගත නොහැකි ජීවන කොන්දේසිවලට එරෙහි ව වතු කම්කරුවන් අතර වර්ධනය වන විරෝධත්වයට වල කැපීම ය.
වැටුප් වැඩි කිරීමට පසු, ගවරවිල වත්තේ කලමනාකාරීත්වය වහා ම කම්කරුවෙකුගේ දෛනික තේ දලු නෙලීමේ ඉලක්කය කිලෝ 18 සිට කිලෝ 20 දක්වා කිලෝ දෙකකින් ඉහල දැම්මේ ය. සැකයකින් තොර ව, සෙසු වතු ද මෙම පියවර වහා ම ගනු ඇත. ස්ථිර කම්කරුවන් සහ අනියම් කම්කරුවන් අතර ගැටුම් ඇති කරමින් ඔවුන් බිඳ වීම මෙම තීව්‍රතර සූරා කෑම සඳහා වන තල්ලුවේ පියවරකි.
පෞද්ගලීකරනය කරන ලද වතු පාලනය කරන ප්‍රාදේශීය වැවිලි සමාගම් සෙසු වතුවලින් දස දහස් ගනනින් රැකියා විරහිත අනියම් කම්කරුවන් සේවයට බඳවා ගනියි.
කඩදාසියට පමනක් සීමා වුනු පැය අටේ වැඩ දිනය, ස්ථිර කම්කරුවන්ට හිමි විශ්‍රාම වැටුප් සහ නිවාඩු ආදී සීමිත අයිතීන් පවා අනියම් කම්කරුවන්ට අහිමි ය. නමුත් ඔවුන් මත වැඩ කන්දක් පටවා ඇත. ඔවුන්ට වැඩිපුර මුදලක් උපයා ගත හැකිවන්නේ නෙලා ගන්නා තේ දලු ප්‍රමානය වැඩි වන පමනට ය. මෙ නිසා, මේ කම්කරුවෝ තම කායික සෞඛ්‍ය ගැන පවා නොතකා විවේක නොලබා ම තේ දලු කැඩීමට උත්සහ දරති.
අනියම් කම්කරුවෝ වතුකරයේ පැතිර පවතින අන්ත දුගී බවේ ප්‍රතිඵලයකි. අඩු වැටුප් නිසා, බොහෝ ස්ථිර කම්කරුවන්ට ද හිඟ ජීවන වියදම් උපයා ගැනීමට වතුවලින් පිටට රැකියා සොයා යාමට සිදු ව ඇත. දිගු කාලීන රැකියා නොමැති නිසා නැවත වතුවලට පැමිනීමට බල කෙරෙන ඔවුන්ට අනියම් හෝ කොන්ත්‍රාත් කම්කරුවන් මෙන් වැඩ කිරීමට සිදු ව ඇත. වත්තේ දලු අස්වැන්න ඉහල යන කාලවල දී අසල්වැසි සිංහල ගම්මානවල රැකියා විරහිතයෝ ද අනියම් පදනමින් වැඩට බඳවා ගැනෙති.
සමාගම්වල කාර්මික පොලීසියක් මෙන් ක්‍රියා කරන වෘත්තීය සමිති නිලධරයෝ මෙම කම්කරුවන් මුලුමනින් ම නොතකා හරිති. ඔවුන් තම සමිතිවලට බඳවා ගන්නේ ස්ථිර කම්කරුවන් පමනි. ඒ සාමාජික ගාස්තු තම බැංකු ගිනුමට කපා ගත හැක්කේ මෙම කම්කරුවන්ගෙන් පමනක් වන නිසා ය.
ගවරවිල වත්තේ දඩයම සහ කම්කරුවන් මත අධික වැඩ බරක් පැටවීම සමස්ත වතුකරයේ ම කම්කරුවන්ට අනතුරු ඇඟවීමකි. ආන්ඩුව සහ මහා ව්‍යාපාරිකය කම්කරුවන් අතීත අරගලවලින් දිනා ගත් අයිතීන් කටු ගා දමා “ව්‍යාපාරවලට හිතැති”, “ඕනෑ විට වැඩට ගෙන වැඩ නැති විට දොට්ට දැමිය හැකි” අනියම් සහ කොන්ත්‍රාත් ක්‍රමයක් පිහිටු වීමට අදිටන් කරගෙන සිටිති.
ගවරවිල වත්තේ දඩයමට එරෙහි වීම යනු සියලු ම වතු කම්කරුවන්ගේත් සමස්ත කම්කරු පන්තියේමත් ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැක ගැනීමේ සටනේ කොටසකි.
වකක්‍රික පහත ඉල්ලීම් වෙනුවෙන් සටන් කල යුතු යැයි කම්කරුවන්ට කියා සිටියි:
- ගවරවිල වත්තේ කම්කරු දඩයම නවතනු! සියලු ම කම්කරුවන්, සේවය අත් හිට වූ දිනයන් සඳහා වැටුප් සහිත ව සේවයේ පිහිටුවනු!
- ස්ථීර සහ අනියම් කම්කරුවන් කෙටවීමේ ප්‍රාදේශීය වැවිලි සමාගම්වල කූටෝපායන්ට එරෙහිවනු! කම්කරු පන්තියේ එකමුතු ව උදෙසා සටන් කරනු!
එබඳු එකමුතුවකට සතුරු වෘත්තීය සමිති නායකයන් නියෝජනය කරන්නේ කම්කරුවන් නොව, සමාගම්වල ඕනෑ එපාකම් ය. ඔවුන්ගේ නායකත්වය යටතේ වෘත්තීය සමිතිවල ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩක් නැත. ගවරවිල වත්තේ විරෝධතාවය තුල ඔවුන්ගේ භූමිකාව නැවත වරක් සනාථ කලේ මෙයයි.
මේ නිසා, ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කර ගන්නා නියෝජිතයන්ගෙන් සමන්විත තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු සෑම වතුයායක ම, ෆැක්ටරියක ම ගොඩනගා ගන්නා ලෙස සසප සහ වකක්‍රික කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි. අනියම් සහ කොන්ත්‍රාත් කම්කරුවන්ගේ නියෝජිතයන්ට ද මෙම කමිටු විවෘත විය යුතු ය. වෘත්තීය සමිති නායකයන් සහ ධනපති පක්ෂවල ඒජන්තයන් මෙම කමිටු තුලට වැද්ද නොගත යුතු ය.
මෙ බඳු, කමිටු ගොඩනගා ගැනීමෙන් කම්කරුවන්ට තමන් සටන් කල යුත්තේ කුමක් උදෙසා ද, අනෙක් වතුවල සහ සෙසු ක්ෂේත්‍රවල කම්කරුවන් සමග තම අරගල ඒකාබද්ධ කර ගන්නේ කෙසේ ද යන්න ගැන ප්‍රජාතන්ත්‍රවාදී ව සාකච්ඡා කිරීමට හැකි වනු ඇත. එබඳු අව්‍යාජ පියවරකින් තම අරගල ජාතිකවත් ජාත්‍යන්තරවත් ඒකාබද්ධ කිරීමට කම්කරුවන්ට ඉඩ සැලසෙනු ඇත.
සසප සහ වකක්‍රික කම්කරුවන්ගේ අයිතීන් උදෙසා පොදු අරගලයකට කැඳවුම් කරයි. මෙම ඉල්ලීම් ඊට ඇතුලත්වේ:
- දරිද්‍රතා දෛනික වැටුප් ක්‍රමය එපා!
- ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කිරීමට හැකි, ජීවන වියදම් අනුව වැඩි වන මාසික වැටුපක් ඕනෑ!
- වැටුප් සහිත නිවාඩු සහ විශ්‍රාම වැටුපක් ඕනෑ!
- සම්පූර්න පහසුකම් සහිත නිවාස, ගුනාත්මක සෞඛ්‍ය සහ අධ්‍යාපන පහසුකම්!
මෙම ඉල්ලීම් ආන්ඩුව හෝ සමාගම් ලබා දෙතැයි කම්කරුවන්ට බලා සිටිය නොහැකියි. මෙම ඉල්ලීම් සඳහා වන අරගලය යනු, වතු, බැංකු සහ මහ සමාගම් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගන්නා සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා වන සටනකි.
