[මෙය WSWS emergency webinar articulates socialist strategy to stop US-Israeli war against Iran යන මැයෙන් 2026 මාර්තු 10 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
මාර්තු 8 වන දින, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය පිලිබඳව, ලොව පුරා දහස් ගනනක් සහභාගී වූ හදිසි ගෝලීය වෙබිනාර් රැස්වීමක් පැවැත්වීය. මෙම රැස්වීම, අන් කිසි තැනක දක්නට නොලැබුනු විප්ලවවාදී ඉදිරිදර්ශනයක්, එනම්, මෙම යුද්ධය සහ සියලු අධිරාජ්‍යවාදී යුද්ධ අවසන් කිරීමට හැකියාව ඇති එක ම සමාජ බලවේගය ලෙස ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත නැඹුරු වූ සමාජවාදී, අධිරාජ්‍ය විරෝධී විශ්ලේෂනයක් ඉදිරිපත් කලේ ය. එය ධනේශ්වර විචාරකයින් සහ ව්‍යාජ-වාම සංවිධාන එකා මෙන් යෝජනා කරන සෑම රාමුවකින්ම තියුනු ලෙස බිඳී වෙන්වුනු වැඩපිලිවෙලකි; ඒ කිසිවක්, ඉරානයට එරෙහි යුද්ධයට විරුද්ධ වන බිලියන සංඛ්‍යාත කම්කරුවන් සඳහා කිසිදු ඉදිරි මාවතක් ඉදිරිපත් නොකරයි.
මෙම වෙබ්නාර් රැස්වීම, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) නායකයින්ගෙන් සමන්විත ජාත්‍යන්තර මන්ඩලයක් එක් ව කල එකකි: ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්; සසප (කැනඩාව) හි ජාතික ලේකම් කීත් ජෝන්ස්; සසප (ජර්මනිය) හි සභාපති ක්‍රිස්ටෝෆ් වැන්ඩ්‍රියර්; සසප (එක්සත් රාජධානිය) හි සහකාර ජාතික ලේකම් ටොම් ස්ක්‍රිප්ස්; සසප (තුර්කිය) හි සභාපති උලාශ් සෙවින්ච්; යුනයිටඩ් ඔටෝ වර්කර්ස් සභාපති අපේක්ෂක මෙන්ම මැක් ට්‍රක්ස් මෝටර් රථ කම්කරුවෙකු වන විල් ලෙහ්මන්. මෙම රැස්වීම මෙහෙයවනු ලැබුවේ (එක්සත් ජනපදයේ) සසප ජාතික ලේකම් ජෝසප් කිෂෝර් සහ (නවසීලන්තයේ) සමාජවාදී සමානතා කන්ඩායමේ ටොම් පීටර්ස් විසිනි.
ඉරිදා (08) දින රැස්වීම පැවැත්වුනේ, එක්සත් ජනපද සහ ඊශ්‍රායල යුධ ගුවන් යානා අඛන්ඩ ව නව වන දිනටත් ටෙහෙරානයට ප්‍රහාර එල්ල කරමින් තිබිය දී ය; තෙල් ගබඩා පහසුකම්වලට එල්ල වූ ප්‍රහාරවලින් ඉරාන අගනුවර පුරා කලු පැහැති ඝන දුම් වලාවන් නැගෙමින් පැවතුනි. මරන සංඛ්‍යාව 1,300 ඉක්මවා ඇත; තවත් දහස් ගනනක් තුවාල ලබා ඇති අතර ට්‍රම්ප් පරිපාලනය විවෘත ව ම පා බල හමුදා යෙදවීමට සැලසුම් කරමින් සිටී.
වෙබිනාර් රැස්වීම ආරම්භ කරමින් කිෂෝර් යුද්ධයේ අධිරාජ්‍යවාදී ස්වභාවය සාරාංශගත කලේ ය: “සතියකට යන්තම් වැඩි කාලයක් තුල, මුලු මැද පෙරදිග ම සහ ඇත්ත වශයෙන් ම ලෝකය ම ගිනි තැබීමට තර්ජනය කරන අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයේ වේගවත් නැග්මක් අපි දුටුවෙමු,” යැයි ඔහු පැවසී ය. මිනාබ්හි බාලිකා පාසලකට එල්ල වූ ප්‍රහාරයෙන් ලමුන් 150 ක් මිය ගිය අතර, නගරවලට හෙලූ බෝම්බ සහ ජාත්‍යන්තර මුහුදේ නිරායුධ ඉරාන නෞකාවකට එල්ල වූ ටෝපිඩෝ ප්‍රහාරය යන මේවා යොමු වන්නේ “සමූලඝාතන යුද්ධයක් කරා” බව කිෂෝර් පැවසී ය. ට්‍රම්ප් පරිපාලනය “ජාත්‍යන්තර නීතියට හෝ ඇත්ත වශයෙන් ම, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ක්‍රියාවන්ට පවතින කිසිදු බාධාවකට බැඳී නොමැති බව ප්‍රකාශ කරයි. එය කොන්දේසි විරහිත යටත් වීමක් ඉල්ලා සිටින අතර මිලියන 90 කට අධික ජනතාවක් සිටින රටක සම්පූර්න විනාශය සහ නිසැක මරනය පොරොන්දු වේ.”
මෙම අපරාධ ඓතිහාසික ව ස්ථානගත කරමින්, ඩේවිඩ් නෝර්ත් යුද්ධය නියුරම්බර්ග් නඩු විභාගවල රාමුව තුල තැබී ය. “නියුරම්බර්ග් හි විත්තිකරුවන්ට—ගෝරිං, කීටෙල් සහ ජොඩ්ල් ට—එරෙහි ව ගෙන එන ලද ප්‍රධාන චෝදනාව වූයේ ‘සාමයට එරෙහි අපරාධ’, එනම් නීතිමය වශයෙන් කිසිදු ආකාරයකට සාධාරනීකරනය කල නොහැකි යුද්ධයක් දියත් කිරීමයි,” යැයි ඔහු පැවසී ය. “එක්සත් ජනපදයට ආසන්න තර්ජනයක් නොතිබුනි. ඉරානය න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට සූදානම් බවට වන විකාර ප්‍රකාශය ඇතුලු සෑම ප්‍රකාශයක් ම—කිසිවෙකු විශ්වාස නොකරයි. එය බොරුවක් බව සියල්ලෝ ම දනිති. එක්සත් ජනපද නායකත්වය 'නඩු පැවරීමේ පදනම සහ අවසානයේ නාසි තන්ත්‍රයේ නායකයින් ඝාතනය කිරීම සඳහා පදනම සැකසූ අපරාධවලට සම්පූර්නයෙන්ම සම්බන්ධ වී සිටි' බව නෝර්ත් ප්‍රකාශ කලේය.
සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු, අනභියෝගී ගෝලීය ආධිපත්‍යය අත්පත් කර ගැනීම සඳහා එක්සත් ජනපදය දැරූ වසර 35 ක උත්සාහයන් තුල, නෝර්ත්, යුද්ධය ස්ථානගත කලේ ය; මෙය “ට්‍රම්ප් සමඟ ආරම්භ වූ” උපාය මාර්ගයක් නොවේ. ක්‍රමවේදයන් “වඩ වඩාත් ප්‍රචන්ඩකාරී සහ පාලනයකින් තොර බවට පත්වෙමින් තිබේ; මන්ද, සමස්ත ව්‍යාපෘතිය ම මූලික වශයෙන් ගෝලීය සමූහ ඝාතන ප්‍රතිපත්තියක් හරහා මිස අන් අයුරකින් සාක්ෂාත් කරගත නොහැකි බැවිනි” යැයි ඔහු පැවසී ය. යුද්ධයේ මූලික අරමුන වන්නේ, “20 වන සියවස මකා දැමීම යි—යටත් විජිත ආධිපත්‍යය යථා තත්වයට පත් කල හැකි බවත්, අධිරාජ්‍යවාදයට පාලනය කල හැකි බවත් සලකමින්, කෙසේ හෝ, 20 වන සියවසේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී අරගලවල සියලු ප්‍රතිඵල විශාල අත්වැරැදි ලෙස සලකා අතුගා දැමීම,” බවත් එය පාලක ප්‍රභූන්ගේ මෙම පැරනි ප්‍රකාශයට සමාන බවත් නෝර්ත් පැවසීය: “වහලුන් වූ ඔබ ඉදිරිටත් වහලුන්ම ය.”
ටෙහෙරානයේ සිදුවෙමින් පවතින දේ “ගාසා තීරයේ පසුගිය වසර දෙක තුල අප දුටු දෙයෙහි සහ දකින්නට ලැබෙනු ඇති දෙයෙහි දිගුවක්” බවට ඔහු අනතුරු ඇඟවී ය. කම්කරු පන්තිය මෙය නතර නොකලහොත්, අනාගත යුද්ධවල දී ඒවා ටෙහෙරානයේ පින්තූර නොව—මොස්කව්හි පින්තූර වනු ඇත, බීජිංහි පින්තූර වනු ඇත.”
ඉරානයට එරෙහි යුද්ධයේ දී “මැදිහත්වීමේ මෝඩ නීති රීති නැත, ජාතිය ගොඩනැගීමේ මඩ ගොහොරු නැත, ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමේ අභ්‍යාස නැත, දේශපාලනික ව නිවැරදි යුද්ධ නැත. අපි සටන් කරන්නේ ජයග්‍රහනය කිරීමට ය, අපි අපගේ කාලය හෝ ජීවිත නාස්ති නොකරමු” යනුවෙන් එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කරන වීඩියෝවක්, මෙම වෙබිනාර් රැස්වීමේ දී ප්‍රදර්ශනය කෙරුනි.
ඉන්පසු කීත් ජෝන්ස්, ඉරානයේ සිවිල් ජනතාව කෙරෙහි යුද්ධයේ විනාශකාරී බලපෑම විස්තර කලේය. ඉරාන රෙඩ් ක්‍රෙසන්ට් සභාපතිවරයා උපුටා දක්වමින් ඔහු සඳහන් කලේ, සිවිල් නිවාස ඒකක 5,535 ක්, පාසල් 64 ක් සහ වෛද්‍ය මධ්‍යස්ථාන 14 ක් ඇතුලු ව සිවිල් ව්‍යුහයන් 6,000 කට වඩා හානි වී ඇති බව වාර්තා වී ඇති බවයි. බටහිර සම්බාධක හේතුවෙන් පසුගිය දශක දෙක තුල ඉරාන ජාතිකයන් ලක්ෂ ගනනක් නොවේ නම් දස දහස් ගනනක් මිය ගොස් ඇති බවත්, ට්‍රම්ප් විසින් ම, 2018 දී, ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් එක්සත් ජනපදය ඉවත් කර, “ඉරානයේ ආර්ථිකය බිඳ දැමීමේ සහ පාලන තන්ත්‍ර වෙනසක් ඇති කිරීමේ ප්‍රකාශිත අරමුනින්” සම්බාධක පැන වූ බවත් ජෝන්ස් සඳහන් කලේ ය—සම්බාධක “ජෝ බයිඩන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පරිපාලනය යටතේ බාධාවකින් තොර ව දිගට ම පැවතුනි.”
පසුගිය සතියේ ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්‍රික් මර්ස් වොෂින්ටනයට ගොස්, “ටෙහෙරානයේ මෙම භයානක පාලනය ඉවත් කිරීම සම්බන්ධයෙන් අප එකඟතාවයක සිටින” බව ට්‍රම්ප්ට පැවසූ බව ක්‍රිස්ටෝෆ් වැන්ඩ්‍රියර් වාර්තා කලේ ය. වැන්ඩ්‍රියර් හෙග්සෙත්ගේ භාෂාව සහ නාසීන්ගේ භාෂාව අතර සෘජු සමාන්තරයක් ඇඳ පෙන්වී ය: “නීති නොමැති අතර අපි ජයග්‍රහනය සඳහා සටන් කරන බව පවසන විට, ඔහු පැවසුවේ, පෝලන්තයට ප්‍රහාරය එල්ල වීමට ටික කලකට පෙර තම හමුදාවේ නිලධාරීන් අමතා කල කතාවේ දී, හිට්ලර්, ‘ඔහු පැවසුවේ සත්‍යය නැද්ද යන්න ජයග්‍රාහකයාගෙන් පසු ව විමසනු නොලැබේ. යුද්ධයක් ආරම්භ කර දියත් කරන විට, වැදගත් වන්නේ යුක්තිය නොව ජයග්‍රහනයයි,’ යනුවෙන් පැවසූ දේ ය.” ජර්මනිය “මහාද්වීපයේ බලවත් ම හමුදා බලකාය ගොඩනැගීමට සහ හිට්ලර්ගෙන් පසු නොදුටු පරිමානයකින් නැවත සන්නද්ධ කිරීමට” සැලසුම් නිවේදනය කර ඇති බව වැන්ඩ්‍රියර් තවදුරටත් පැවසී ය.
“ඔවුන් මකබෑවිලා ගිය එක හොඳයි, ඔවුන් නිරයේ කුනු වෙච්චාවෙ” යැයි පවසමින්, ඉරාන නායකයින්ගේ ඝාතන ගැන ප්‍රීති වූ, ජෑන් වැන් ඒකන් සභාපති වන, ජර්මනියේ වාම පක්ෂයේ භූමිකාව ද වැන්ඩ්‍රියර් හෙලිදරව් කලේ ය. වැන්ඩ්‍රියර් වැන් ඒකන් යුද අපරාධකරුවන් සහ නීති විරෝධී ලෙස චෝදනාවන් එල්ල කරන අතර ම, “නමුත් ඔහු ඒ සමඟම එහි ප්‍රතිඵලය නීත්‍යානුකූල කර එහි අරමුනුවලට සහාය දක්වන,” බව පැවසී ය.
ටොම් ස්ක්‍රිප්ස් බ්‍රිතාන්‍යයේ අනුග්‍රහය ගැන කතා කලේ ය. “නැවතත් වරක්, කම්කරු ආන්ඩුවක් ජනගහනයේ අතිමහත් විරෝධයට එරෙහි ව මැද පෙරදිග සාපරාධී යුද්ධයකට එක්සත් රාජධානිය සම්බන්ධ කර ගනිමින් සිටී,” යැයි ඔහු පැවසී ය. බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ෂක කවුන්සිලයෙන් කාන්දු වූ වාර්තාවලින් පෙනී ගියේ, සති දෙකකට පෙර ආරම්භක ප්‍රහාර පිලිබඳව ආන්ඩුවට දැනුම් දී තිබූ බවයි. ජ්‍යෙෂ්ඨ බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන් “එක්සත් රාජධානියේ ආන්ඩුව තම මැදිහත්වීම සඳහා යම් ආකාරයක සාධාරනීකරනයක් ඉල්ලා සිටීමට ඉඩ සලසන ඉල්ලීමක් සකස් කරන්නේ කෙසේද යන්න පිලිබඳව තම ඇමරිකානු සගයන් සමඟ” කතා කර තිබේ.
තුර්කියේ ඉස්මීර් හි පොලියැක් අයිනෙස් පතලේ පතල් කම්කරුවන් 1,200 කට වැඩි පිරිසක් විසින් දියත් කරන ලද, වෘත්තීය සමිතිවලට පිටින් සිදු වූ හදිසි වැඩ වර්ජනය උලාශ් සෙවින්ච් විසින් ඉස්මතු කරන ලද අතර එය යුද්ධයට පෙර පුපුරා ගොස් එහි මුල් දිනවල ද පැවතුනි. “මෙම හදිසි වැඩ වර්ජනය අතරතුර, පතලේ පාලනය අල්ලා ගන්නට තමන්ට පුලුවන් නම්, තමන්ට රටේ පාලනය ද අල්ලා ගත හැකි නොවේ ද යන්න පිලිබඳව කම්කරුවන් අතර විවෘතව සාකච්ඡා ඇති වුනා,” යැයි ඔහු පැවසී ය. “අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව බලමුලු ගැන්විය යුතු සමාජ බලවේගයක්, සමාජ බලයක් ඇති බව ඔවුන් වෛෂයික ව පෙන්නුම් කලා.'
ඇමරිකානු කම්කරුවන් අතර යුද්ධයේ දැවැන්ත අප්‍රසාදය පිලිබඳව විල් ලෙහ්මන් වාර්තා කලේ ය. “ඉරානයේ යුද්ධය සඳහා ඇමරිකානු පුරවැසියන් අතර අනුමැතිය සියයට 20 ක් පමනි—කම්කරුවන් සමඟ කතා කිරීමෙන් මට පෙනී යන්නේ එම සියයට 20ත් පුම්බන ලද සංඛ්‍යාවක් බවයි,” යැයි ඔහු පැවසී ය. පෙන්සිල්වේනියාවේ ක්වේකර්ටවුන් හි ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) ඒජන්සිය විරෝධතා දැක්වූ උසස් පාසල් සිසුන්ට එල්ල කල පොලිස් ප්‍රහාරය පිලිබඳව ඔහු වාර්තා කලේ, සිවිල් යුද්ධයට පෙර, පලායන වහලුන් පිලිබඳ පනතට අභියෝග කිරීමේ ප්‍රදේශයේ විප්ලවීය සම්ප්‍රදායන් ගැන සඳහන් කරමිනි. “පුලුල් විරෝධයක් තිබේ. පෙන්සිල්වේනියාවේ නැවත විප්ලවයක් වෙනුවෙන් කැකෑරෙන හැඟීමක් නිශ්චිතවම තිබේ,” යැයි ලෙහ්මන් පැවසී ය.
ජැකොබින් සහ ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් විසින් ප්‍රවර්ධනය කරන ඇමරිකාව ඊශ්‍රායලයේ යුද්ධයකට පැටලී සිටිනවා ය යන්න නෝර්ත් නිශ්චිත ව ම ප්‍රතික්ෂේප කරමින් ඔහු මෙසේ පැවසී ය: “වලිගය ඉතා වේගයෙන් වැනිය හැකි මුත්, එය වනන්නේ බල්ලා ය. ඇමරිකානු ප්‍රතිපත්තිය තීරනය කරන්නේ ඊශ්‍රායලය නොවේ.” ඉරානයේ 1953 කුමන්ත්‍රනය සම්පූර්නයෙන්ම එක්සත් ජනපදය විසින් සංවිධානය කරන ලද බවත්, ෂා “පර්සියානු ගල්ෆ්හි පොලිස්කාරයා” ලෙස ක්‍රියා කර ඇති බවත් ඔහු සඳහන් කලේ ය—ඒ වන විට එය ඊශ්‍රායලයේ භූමිකාවට වඩා බෙහෙවින් වැදගත් කාර්යභාරයකි. “මෙය හුදෙක් ඊශ්‍රායල යුද්ධයක් ලෙස ඉදිරිපත් කිරීම ඇමරිකානු අධිරාජ්‍යවාදය කොක්කෙන් ගලවා හැරීමක් වන අතර මෙම යුද්ධය එක්සත් ජනපදයේ සමස්ත ගෝලීය උපාය මාර්ගයෙන් උකහා ගැනීමකි.”
ඉරාන ජනතාවගේ ප්‍රතිරෝධය නිසා පමනක් නොව, “වඩාත් මූලික වශයෙන්, යුද්ධයේ ස්වභාවය සහ එයට හේතු වූ ප්‍රතිවිරෝධතා ම, සෑම ධනේශ්වර රටක ම සමාජ ප්‍රතිවිරෝධතා තීව්‍ර කරමින් පවතින බැවින්, එක්සත් ජනපදය මෙම යුද්ධයෙන් පරාජය වනු ඇති බවට” නෝර්ත් අනාවැකි පල කලේ ය. ඔහු ට්‍රොට්ස්කිගේ 1934 “යුද්ධය සහ හතරවන ජාත්‍යන්තරය” ලේඛනය උපුටා දක්වමින්, “යුද සිතියම නොව පන්ති අරගලයේ සිතියම අනුගමනය කිරීමේ” අවශ්‍යතාවය අවධාරනය කලේ ය.
“ආන්ඩු යුද්ධ ආරම්භ කරන්නේ තමන් අන් කවරදාටත් වඩා දුර්වල විට ය” යන ලෙනින්ගේ නිරීක්ෂනය උපුටා දක්වමින් නෝර්ත් කල අවසාන ප්‍රකාශයේ දී තරුන පරම්පරාවට සෘජු ව ම ආමන්ත්‍රනය කලේ ය. “සියලු ම බොරු ප්‍රචාරයන්ගෙන්, සමහර විට වඩාත්ම නොමඟ යවන සුලු සංකල්පය වන්නේ, මෙම ආන්ඩුව සර්වබලධාරී බවට ඇති සංකල්පයයි. එය එසේ නොවේ,” යැයි ඔහු පැවසී ය. “ට්‍රම්ප්, මෙම ආන්ඩුව, මෙම යුද්ධයේ දී සියල්ල අවදානමට ලක් කරයි.” “මානව වර්ගයාගේ අදහස්වලට උචිත ගෞරවය” සඳහා නිදහස් ප්‍රකාශනයේ ඉල්ලීම කැඳවුම් කරමින් ඔහු මෙසේ විමසී ය: “මෙම ආන්ඩුව කිසිවෙකුගේ අදහස්වලට උචිත ගෞරවයක් පෙන්වා තිබේ ද? ඒ මෝඩ, නීච, අපරාධකාර ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ දේශපාලනික තක්කඩි කල්ලියේ අදහස්වලට හැර? ඔවුන්ට කිසිවෙකු කෙරෙහි ගෞරවයක් නැත. ඔවුන්ට ඇමරිකානු ජනතාව කෙරෙහි ගෞරවයක් නැත. ඔවුන්ට ලෝකයේ මතය කෙරෙහි ගෞරවයක් නැත.”
ගාසා විරෝධතාවල දේශපාලන පාඩම් උකහා ගනිමින් කිෂෝර්, ගාසා තීරයේ එක්සත් ජනපද පිටුබලය ලත් ඊශ්‍රායල ජන සංහාරය, ඉරානය ඉලක්ක කරගත් පුලුල් යුද්ධයක එක් පෙරමුනක් බවට ලෝසවෙඅ ආරම්භයේ සිට ම අනතුරු ඇඟවූ බව සඳහන් කලේ ය. “සැබවින් ම අවශ්‍ය වන්නේ කම්කරු පන්තියේ සමාජ බලය බලමුලු ගන්වමින් කම්කරු පන්තිය තුල ව්‍යාපාරයක් වර්ධනය කිරීම ව තිබියදී,” දේශපාලන සංස්ථාපිතයට බලපෑම් කිරීමේ ඉදිරිදර්ශනය පිටුපසින් විවිධ සංවිධාන විසින් දැවැන්ත විරෝධතා මෙහෙයවන ලදී. “ආයුධ නිෂ්පාදනය, ප්‍රවාහනය, සැපයුම්— කම්කරු පන්තියට මෙම තත්වයට මැදිහත් වීමට දැවැන්ත බලයක් ඇත.” ඩීඑස්ඒ හි “නිරපේක්ෂ දේශපාලන බංකොලොත්භාවය” හෙලිදරවු කරමින්, නිව්යෝර්ක් නගරයේ ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී නගරාධිපති සොහ්රාන් මම්දානි “ඉරානයට බෝම්බ හෙලීමේ ආසන්නයේ ම” ධවල මන්දිරයට ගොස් ට්‍රම්ප් සමඟ අතට අත දුන් බව ඔහු උපුටා දැක්වී ය.
කථිකයන්ගේ දායකත්වයන් උපයෝගී කරගනිමින් පීටර්ස් නිගමනයේ දී අවධාරනය කලේ, “කම්කරු පන්තිය බල රහිත නොවේ; එය යුද්ධයට, ආර්ථික අර්බුදයට සහ එහි ජීවන තත්වයන්ට එල්ල වන ප්‍රහාරවලට මෙන් ම එක්සත් ජනපදයේ, යුරෝපයේ සහ වෙනත් තැන්වල ෆැසිස්ට්වාදයේ සහ ඒකාධිපතිවාදයේ වර්ධනයට එරෙහි ව ප්‍රතිචාර දක්වනු ඇත. නමුත් ගෝලීය පරිමානයෙන් වර්ධනය වනු ඇති සහ වර්ධනය වන මෙම ව්‍යාපාරයට දේශපාලන නායකත්වයක් අවශ්‍ය වන අතර එය ජාත්‍යන්තර විය යුතු ය; ඉතිහාසය පුරා විප්ලවවාදී අරගලවල පාඩම් මත පදනම් විය යුතුය.”
ඉරිදා (08) වෙබිනාර් රැස්වීම, ඉරානයට එරෙහි යුද්ධය පිලිබඳ එකම බැරෑරුම් දේශපාලන විශ්ලේෂනය ලෙස පවතින අතර, එය නැවැත්විය හැකි සහ නැවැත්විය යුතු සමාජ බලවේගය ලෙස ජාත්‍යන්තර කම්කරු පන්තිය හඳුනා ගනී. වෙබිනාර් රැස්වීම නරඹන ලෙසත්, එය හැකිතාක් පුලුල් ලෙස බෙදා ගන්නා ලෙසත්, එහි පාඩම් සහ ඉදිරි මාවත පිලිබඳ සගයන්, පවුලේ අය සහ මිතුරන් සමඟ සාකච්ඡා කරන ලෙසත් අපි අපගේ සියලු ම පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු. සියල්ලටත් වඩා, ඔබේ රටේ, සමාජවාදී සමානතා පක්ෂ ශාඛාවක් තිබේ නම්, එයට බැඳීමට හෝ නොමැති නම්, එවැන්නක් ගොඩනැගීමට මූලිකත්වය ගැනීමට අද ම තීරනය කරන්න.
