[මෙය Despite “postponing” attacks on power plants, Trump expands preparation for Iran invasion යන මැයෙන් 2026 මාර්තු 24 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
සඳුදා (23) උදෑසන, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ටෲත් සෝෂල් (Truth Social) සමාජ මාධ්‍ය වේදිකාවේ, එක්සත් ජනපදය සහ ඉරානය “මැද පෙරදිග තුල අපගේ එදිරිවාදිකම් සම්පූර්නයෙන් හා පරිසමාප්ත ආකාරයෙන් විසඳීම සම්බන්ධයෙන් සාකච්ඡා” පවත්වා ඇති බව ප්‍රකාශ කලේ ය. “ඉරාන බලාගාර සහ බලශක්ති යටිතල පහසුකම් වලට එරෙහි ඕනෑ ම සහ සියලු ම මිලිටරි ප්‍රහාර දින පහක කාලයක් සඳහා කල් දැමීමට යුද දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්” බව ඔහු පැවසී ය.
පැය 48 ක් ඇතුලත හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත නොකලහොත් ඉරාන විදුලි බලාගාර විනාශ කරන බවට ට්‍රම්ප් දින දෙකකට පෙර තර්ජනය කර තිබුනි.
ඉදිරි දින පහ ඇතුලත කිසිදු ප්‍රහාරයක් එල්ල නොකරන බව ට්‍රම්ප් පැවසී ය. සාකච්ඡාමය විසඳුමක් දිශාවට විශාල ප්‍රගතියක් ලබා ඇති බවට කරන ප්‍රකාශයට මෙය සම්පූර්නයෙන් ම පටහැනි වේ. එහි තේරුම නම්, ට්‍රම්ප් කටයුතු කරන්නේ අවසාන නිවේදන රාමුව තුල බවයි. සාකච්ඡා ඉතා හොඳින් කෙරීගෙන යන්නේ යැයි සිතුවේ වුව ද—මෙම යුද්ධය දින පහක් ඇතුලත විසඳා ගත හැකි යැයි කිසිවෙක් අපේක්ෂා නොකරනු ඇත. හොඳම දෙය විය හැක්කේ, සාකච්ඡා ඉදිරියට ගෙන යාමට ඉඩ දෙනුවස් අඛන්ඩ සටන් විරාමයක් පවත්වා ගෙන යාමට හැකි වීමයි. නමුත් ට්‍රම්ප් එවැනි කිසිවක් ඇඟවුම් කර නැත. ඔහුගේ මුලු කතාව ම කිසිසේත් ම ඇදහිය නොහැකිවා පමනක් නොවේ. එය භයානක ය.
ට්‍රම්ප් පසුගිය වසර තුල තුන් වතාවක්, මිලිටරි ප්‍රහාර සඳහා ආවරනයක් ලෙස “සාකච්ඡා” භාවිතා කලේ ය. ජනවාරි මාසයේ දී, එක්සත් ජනපද විශේෂ බලකායන් විසින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ පැහැර ගනු ලැබීමට පෙර අවසන් පැය කිහිපය දක්වා ම එක්සත් ජනපද නිලධාරීන් පෙන්නුම් කලේ, ඔහු සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කරන බවකි. 2025 ජුනි මාසයේ දී, ඉරානය සමඟ වක්‍ර සාකච්ඡා සිදුවෙමින් තිබිය දී, B-2 බෝම්බ හෙලන යානා හතක් ඔපරේෂන් මිඩ්නයිට් හැමර් හි ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහර දුන්නේ ය. පෙබරවාරි 28 වන දින, ඉරානයේ උත්තරීතර නායකයා ඝාතනය කරමින් එක්සත් ජනපදය වත්මන් යුද්ධය දියත් කලේ, ඉරාන නියෝජිතයන් සමග ජිනීවා හි පැවති සාකච්ඡා අවසන් වී යන්තම් දින දෙකකට පසු ව ය. සෑම අවස්ථාවක ම, ට්‍රම්ප් සාමය ගැන කතා කරද්දී, සාපරාධී ආක්‍රමනශීලී යුද්ධයක් සැලසුම් කරමින් සිටියේ ය.
කිසියම් ආකෘතියකට අනුව සාකච්ඡා සිදුවෙමින් පවතින බව බැහැර කල නොහැකි ය. නමුත් සාකච්ඡා සිදුවෙමින් පැවතියේ නම්, ඔවුන් එසේ සාකච්ඡා කොට ඇත්තේ, මරා දමන බවට ට්‍රම්ප් විසින් ප්‍රසිද්ධියේ තර්ජනය කර ඇති හෝ දැනටමත් මරා දැමීමට උත්සාහ කර ඇති පුද්ගලයින් සමඟ ය. සඳුදා (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් පුරසාරම් දෙඩී ය: “අපි නායකත්වයේ පලමු අදියර, දෙවන අදියර සහ බොහෝ දුරට තුන්වන අදියර ද විනාශ කර ඇත්තෙමු.”
දින පහක කාල රාමුව, ගොඩබිම් ආක්‍රමනයක් දියත් කරීමට සමත් නාවික හමුදා පැමිනීමේ කාලරාමුවට සමීප ව අනුරූප වේ. ආසන්න වශයෙන් නාවික භටයින් 4,500 කගෙන් සමන්විත, ගොඩබිම සහ මුහුදු සටන් සඳහා යොදාගනු ලබන නාවික කන්ඩායම් දෙකක්—ඔකිනාවා සිට එන ට්‍රිපොලි සහ සැන් ඩියාගෝ සිට එන බොක්සර්—පර්සියානු ගල්ෆ් කලාපයේ එක්‍රැස් වෙමින් සිටිති. ට්‍රිපොලි නෞකාව මේ සති අන්තයේ ලඟා වීමට නියමිත ය. දැනටමත් කලාපය පුරා එක්සත් ජනපද අතිරේක භටයින් 50,000 ක් යොදවා තිබේ.
ට්‍රම්ප් සිය නිවේදනය නිකුත් කිරීමෙන් පැය කිහිපයකට පසු ව, සඳුදා, නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත “පෙන්ටගන නිලධාරීහු ඉරාන යුද්ධයට ගුවන් හමුදා යෙදවීම ගැන සලකා බලති” යන මැයෙන් ලිපියක් පල කලේ ය. ඉරානයේ ප්‍රධාන තෙල් අපනයන මධ්‍යස්ථානය වන කාර්ග් දූපත අල්ලා ගැනීම සඳහා, 82 වන ගුවන් හමුදා කාර්යාංශයේ—පැය 18 ක් ඇතුලත ලොව ඕනෑ ම තැනකට යෙදවිය හැකි සොල්දාදුවන් 3,000 ක—“හදිසි ප්‍රහාරක බලකායේ” සටන් සේනාංකයක් යෙදවීමට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සූදානම් වන බව ලිපියේ වාර්තා විය.
සති හතරකට ආසන්න කාලයක් බෝම්බ හෙලීමෙන්—CENTCOM (එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ සටන් අනදීමේ ඒකක එකොලහෙන් එකකි) ට අනුව ඉලක්ක 8,000 කට වඩා ප්‍රහාර එල්ල විය, නාවික යාත්‍රා 130 ක් විනාශ විය, උත්තරීතර නායකයා සමග ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දුසිම් ගනනක් ඝාතනය කෙරුනි—ඉරාන ආන්ඩුව පෙරලා දැමීමට හෝ හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට නොහැකි විය. පරිපාලනය ඉටු කිරීමට අදහස් කල දේ ගුවන් ප්‍රහාරවලින් පමනක් ඉටු කල නොහැකි ය. එක්සත් ජනපද මාධ්‍ය දැනටමත් ගොඩබිම් ආක්‍රමනයක් සඳහා උද්ඝෝෂන කරමින් සිටී. කාර්ග් දූපතේ පාලනය තම අතට ගැනීම හෝමූස් සමුද්‍ර සන්ධිය බලහත්කාරයෙන් විවෘත කිරීමේ යතුර බව වෝල් ස්ට්‍රීට් ජර්නලය තර්ක කරයි.
කාර්ග් දූපත—හෝ හෝමූස් සමුද්‍ර සන්ධියට සම්බන්ධ වෙනත් ඕනෑ ම මූලෝපායික ස්ථානයක්—අල්ලා ගැනීමේ මෙහෙයුමක් හදිසියේ ම එක්තරා සති අන්තයක කල හැක්කක් නොවේ. එය සූදානම් කිරීමේ ප්‍රහාර තුලින් යුධ පිටිය හැඩගස්වා ගනිමින්, සාගර හරහා හමුදා නැවත ස්ථානගත කරමින් සහ හමුදා ඒකක සීරුවෙන් තබා ගනිමින්, සති කිහිපයකට පෙර සිට සැලසුම් කර ක්‍රියාත්මක කරනු ඇත. ධවල මන්දිර චින්තනය පිලිබඳ දැනුමක් ඇති මූලාශ්‍රයක් මාර්තු 20 වන දින ඇක්සියෝස් (Axios) මාධ්‍ය ආයතනය වෙත වෙත මෙසේ පැවසී ය: “ප්‍රහාර තුලින් ඉරාන ජාතිකයන් තවත් දුර්වල කිරීමට, දූපත අල්ලා ගැනීමට සහ පසු ව ඔවුන් සම්පූර්නයෙන් ම යටත් කර ගැනීමට සහ එය සාකච්ඡා සඳහා භාවිතා කිරීමට අපට මාසයක් පමන අවශ්‍ය වේ.”
ඉරාන විදේශ අමාත්‍යවරයා ට්‍රම්ප්ගේ ප්‍රකාශ සෘජු ව ම ප්‍රතික්ෂේප කර තිබේ. “එක්සත් ජනපදය සමඟ සාකච්ඡා නැත,” යැයි ඔහු පැවසී ය. “ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශ, බලශක්ති මිල අඩු කිරීමට සහ මිලිටරි සැලසුම් සඳහා කාලය මිල දී ගැනීමට දරන උත්සාහයකි.” මෙම තක්සේරුව වෛෂයික යථාර්ථයට අනුරූප ය. ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරන ලද දින පහක විරාමය කිසිදු විශ්වාසදායක සාකච්ඡා කාලසටහනකට අනුකූල නොවන නමුත්, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කරන ප්‍රහාර දින පහක කාලයක් තිස්සේ දිගට ම පවතිද්දී, සමුද්‍රික සහ නාවික බලයන් රංගපථය වෙත පැමිනීමත්, ඉරාන ආරක්ෂාව තවදුරටත් “මෘදු කිරීමත්” සමඟ සමපාත වේ.
කාර්ග් දූපත යනු, සලකා බලනු ලබන එක ම හෝ ප්‍රධාන විකල්පය ලෙස සැලකිය නොහැකිය. “දිවයින අත්පත් කර ගැනීම” කෙරෙහි ඇති දැඩි මහජන අවධානය වෙනස් මිලිටරි අරමුනක් සැඟවීමේ උත්සාහයක් විය හැකි ය: ප්‍රධාන වරාය ප්‍රදේශ ඇතුලු ව හෝමූස් සමුද්‍ර සන්ධියට ප්‍රවේශයන් භෞතික ව පාලනය කිරීම අරමුනු කරගත් වෙරලබඩ අල්ලා ගැනීමක්; නැතහොත්, ඉරාන භූමිය අත්පත් කර ගැනීම සඳහා දහස් ගනනක් හමුදා භටයින් අවශ්‍ය වන සහ ඉස්ෆහාන් හෝ නටාන්ස් වැනි න්‍යෂ්ටික ස්ථාන මත ගැඹුරු අභ්‍යන්තර වැටලීම් ඒ අතර විය හැක.
82 වන ගුවන් හමුදා ඒකකය දූපත් අල්ලා ගන්නේ නැත. එය ගුවන් තොටුපලවල් සහ රට අභ්‍යන්තරයේ වැදගත් ස්ථාන අල්ලා ගනිමින්, පසුපස හඹා යන හමුදා සඳහා ආරක්ෂක පවුරක් ස්ථාපිත කරයි. හිටපු සහකාර ආරක්ෂක ලේකම්වරයෙක් ඉස්ෆහාන් සිද්ධිය විස්තර කලේ, “ඒකාබද්ධ විශේෂ මෙහෙයුම් විධානයෙන්, ප්‍රභූ ඒකකවල සැලකිය යුතු ප්‍රහාරක බලකායක පහසුකම් සුරක්ෂිත කිරීමට හැකි වන පරිදි ආරක්ෂිත වලල්ලක් ස්ථාපිත කිරීම සඳහා ගුවන් හමුදාව ප්‍රදේශය අල්ලා ගැනීම” සමඟ ආරම්භ වන බවයි. 82 වන ගුවන් හමුදා ඒකකය පුහුනු කරන්නේ ඒ සඳහා ය. එහි මැදිහත්වීම යෝජනා කරන්නේ, ගොඩබිමෙන් සහ ජලයෙන් එල්ල කරන දූපත් ප්‍රහාරයක් නොව රට අභ්‍යන්තරයේ මෙහෙයුමකි.
තෝරා ගැනීමට ඇති හෝ දැනටමත් තෝරාගෙන ඇති විකල්පය කුමක් වුවත්, එය ඉරාන සහ ඇමරිකානු යන දෙ අංශයෙන් ම දැවැන්ත ජීවිත හානිවලට හේතු වනු ඇත.
වොෂින්ටන් පෝස්ට් පුවත්පත පසුගිය සතියේ වාර්තා කලේ, යුද්ධයට අරමුදල් සැපයීම සඳහා පරිපාලනය කොංග්‍රසයෙන් ඩොලර් බිලියන 200 ක් ඉල්ලා සිටින බවත්, එය මෙම වසරේ සෘජු මිලිටරි වියදම වන ඩොලර් ට්‍රිලියන 1 ඉක්මවා යනු ඇති ව්‍යරේකයක් වන බවත් ය. සංසන්දනාත්මක ව ගතහොත්, ඉරාක වාඩිලෑමේ උච්ඡතම අවස්ථාවේ දී, ඇමරිකානු සොල්දාදුවන් 170,000 ක් භූමියේ සිටිය දී, වාර්ෂික යුද වියදම් ඩොලර් බිලියන 144 දක්වා ලඟා විය. ඉරාන යුද්ධයට තවමත් භූමි භට පිරිස් යොදවා නොමැති අතර, පරිපාලනය දැනටමත් තවත් භට පිරිස් ඉල්ලා සිටී.
මෙම යුද්ධය, ගෝලීය යුද්ධයක් හරහා ඇමරිකානු ගෝලීය ආධිපත්‍යය නැවත ස්ථාපිත කිරීමේ සැලැස්මක කොටසකි. ඩොලර් බිලියන 200 ක පරිපූරකය වනාහි සීමිත යුද්ධයක පිරිවැයක් නොවේ. එය අවසානයේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන සියලු ම බොරතෙල් වලින් සියයට 37.7 ක් මිල දී ගන්නා චීනයට එල්ල කරන, තීව්‍ර වන ගෝලීය යුද්ධයක් වෙනුවෙන් මූලික ගෙවීම යි.
මේ සියල්ල දිග හැරෙන්නේ සම්පූර්න නීති විරෝධී රාමුවක් තුල ය. එක්සත් ජනපදය— නියුරම්බර්ග් නඩු විභාගයේ දී නාසි නායකයින් අපරාධකරුවන් බවට පත් කෙරුනු—ආක්‍රමනශීලී යුද්ධයක් දියත් කර ඇත. ඉරානයේ දේශපාලන හා හමුදා නායකයින් ක්‍රමානුකූල ව ඝාතනය කිරීම, සන්නද්ධ ගැටුම් නීති මගින් තහනම් කර ඇති නීති විරෝධී ඝාතන ව්‍යාපාරයකි.
යුද්ධය දියත් කරන ලද්දේ, යුද ප්‍රකාශ කිරීමක් හෝ කොංග්‍රස් අනුමැතියක් නොමැති ව ය. කෙසේ වෙතත්, යුද්ධයට විරුද්ධ වීම වෙනුවට, ඩිමොක්‍රටික් පක්ෂය එයට අරමුදල් සපයා අනුමත කර ඇත. සමස්ත ඩිමොක්‍රටික් නායකත්වය ම—එනම්, ෂූමර්, ජෙෆ්‍රිස්, ඩර්බින්, ක්ලාක්, අගුයිලර්—ඩොලර් බිලියන 839 ක මිලිටරි අයවැයට ඡන්දය දුන්හ. මේ සතියේ දී, හිටපු ඩිමොක්‍රටික් ජාතික කමිටුවේ (DNC) සභාපති ඩොනා බ්‍රසීල් ඒබීසී හි “දිස් වීක්” හි මෙසේ ප්‍රකාශ කලාය: “ඉරානය, කලාපයට, ගල්ෆ් කලාපයට පමනක් නොව, ලෝකයට ම තර්ජනයක් එල්ල කර ඇති බව ඩිමොක්‍රටික් පක්ෂය වටහා ගනී.”
හෙලිදරව් වෙමින් පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රනයන්හි සම්පූර්න බිඳවැටීමකි. ජනාධිපතිවරයෙක් නීති විරෝධී යුද්ධයක් දියත් කරයි; රටක නායකයින් ඝාතනය කරයි; මිලියන 90 ක ජනතාවක් සිටින ජාතියකට එරෙහි ව සමූලඝාතන යුද්ධයකට තර්ජනය කරයි—තවද මෙම නිරන්තරයෙන් ප්‍රසාරනය වන යුද්ධය නැවැත්වීමට තබා විරුද්ධ වීමට හෝ සමත් යාන්ත්‍රනයක් දේශපාලන සංස්ථාපිතය තුල නොමැත.
